Sunday, December 1, 2019

බිල්බෝ බැගින්ස්ගේ වීරචාරිකාවෙන් ආරම්භ වූ ෆෝඩෝ බැගින්ස්ගෙන් අවසන් වූ බල මුදුවේ මිතුරු හවුලේ කතාන්දරය 2 කොටස


පළවෙනි කොටස නොබලපු අය මෙතනින් ගිහින් එ්ක බලල එන්න >>  මෙතන click කරන්න

   මම පළවෙනි කොටසෙදි ඔයාලට පැහැදිලි කලා හොබිට් ලෝකෙ වැඩ කටයුතු සිද්ධ වෙන ආකාරය.

ඉරු දෙයියො දෙයියො කාව කාවද මැව්වෙ

පළවෙනි ඩාක් ලෝඩ් කාව කාවද මැව්වෙ කියන එක

ඒ වගේම හොබිට් චිත්‍රපටය ගැනත් ඔයාල යමක් කමක් ඒකෙන් දැනගන්න ඇති කියල මම හිතනව.

එහෙනම් අපි දැන් යමු දෙවනි කතාවට,
එහෙමත් නැත්නම් Lord of the rings චිත්‍රපටය වෙතට

මේ කතාව ආරම්භ උනේ බලයේ  මුදු නිර්මාණය කිරීමෙන්. Celebrimbor කියන සුරයන්ගෙ කම්මල්කරුවාගේ අතින් යහපත් අරමුණෙන් තමයි මේව නිර්මාණය උනේ.මේකට ඩාක් ලෝඩ් සවුරෝනුත් උදව් කලා.

🔥මුදු තුනක් අහස යට ඉන්න අමරණීය සුරයන්ට, ( මේ මුදු තුන සුවිශේෂී උනා, Celebrimbor මේව හදන්න සවුරෝන්ගේ උදව් ගත්තෙ නෑ ඔහු තනිවමයි මේ තුන හැදුවෙ)

🔥මුදු හතක් ගල් ගුහා වල ශාලාවල  ඉන්න කුරුමිටි අධිපතියන්ට

🔥නවයක් මරණය උරුම  කරගත්ත මිනිසුන්ට

ඔවුන්ට එම මුදු මගින් තමන්ගෙ වර්ගයා රැක ගැනීමට බලයක් හා ශක්තියක් ලබා දුන්නා

නමුත් ඔවුන් නොදන්න තවත් දෙයක් තිබුනා

ඔවුන්ට රහසින් තවත් මුදුවක් නිර්මාණය උනා

මෝඩෝර්වල මරණයේ ගිනි කන්දෙ ගිනි දලු වලින් ඩාක් ලෝඩ් සවුරෝන් සැමට රහසින් සියලු බල මුදු පාලනය කළ හැකි තනි මුද්දක් නිර්මාණය කලා.
ඔහු විසින්මයි මෙම මුද්ද නිර්මාණය කලේ
ඔහු මේ මුද්දට ඔහු සතු සියලුම නපුරත් ඇතුළත් කලා.

සියල්ල පාලනය කළ හැකි තනි මුද්ද. මේ මුද්ද සහ සෞරෝන් කියන්නෙ දෙකක් නෙවෙයි එකක්!!!

(Ash nazg durbatulûk,
Ash nazg gimbatul,
Ash nazg thrakatulûk
Agh burzum-ishi krimpatul)

One Ring to rule them all,
One Ring to find them,
One Ring to bring them all,
And in the darkness bind them.

සවුරෝන් එක් දිනක් මුද්ද පැළඳ සියලු දෙනා තම වහලුන් කරගෙන පාලනය කරන්න ආරම්භ කලා.

නමුත් සවුරෝන් මුද්ද ඇඟිල්ලට දා ගත්ත ගමන් සුරයන්ට වැරැද්දක් දැනුනා, ඔවුන් වහාම තමන්ගෙ මුදු ඇඟිල්ලෙන් ගලවා ඉවත්කලා.

සිද්ධිය දැනගත්ත සවුරෝන් මුදු නැවත ලබාගැනීමේ අරමුණෙන්  සුරයන්ට විරුද්ධව යුධ ප්‍රකාශ කලා.
නමුත් සුරයන් තමන්ගෙ ශ්‍රේෂ්ඨ ශාකය අසල සැඟවිලා සවුරෝන්ගෙන් දිවි රැකගත්තා.

සවුරෝන් මීලඟට තම අවධානය  යොමු කලේ අනෙක් මුදු 16 ටයි.

මේ මුදු 16 න් 7 ක් ගත්ත කුරුමිටි අධිපතියනුත් සෞරෝන්ගෙ පාලනයට යටත් උනේ නෑ. ගුහා වල වාසය කිරීම නිසා යම් නොදන්නා හේතුවක් නිසා ඔවුන් සවුරෝන්ගෙ බලයෙන් ගැලවුනත් මෙම මුදු නිසා ඔවුන්ගෙ මනස විකෘති උනා. ඔවුන් අසීමිතව ධනයට කෑදර පිරිසක් බවට පත්වුනා. ධනය නිසාම ඔවුන් විනාශයට පැමිණුනා..

එතකොට මුදු 9 ගත්ත මිනිස්සු. මේ මුදු නවය ගත්තෙ මනුෂ්‍යයන්ගෙ ශ්‍රේෂ්ඨතම රඡවරුන් නව දෙනෙක් විසින්. මොවුන් සියලු දෙනාම සවුරෝන්ගෙ වහලුන් බවට පත්වුනා.
මරණයත් ඡීවිතයත් අතරමඟ නැවතුන ඔවුන් නාස්ගුල් නම් සවුරෝන්ගේ සුවිශේෂී සෙබලු බවට පත්වුනා
Witch king of Angmar තමයි මේ නාස්ගුල් සෙබලුන්ගෙ නායකය උනේ. වරක මධ්‍යම පෘථිවියෙ ශ්‍රේෂ්ඨතම රඡෙක් උන ඔහු පසුව සවුරෝන්ගෙ ප්‍රධාන සේවකය උනා.

නමුත් මෙයට විරුද්ධ පිරිසකුත් හිටියා. මිනිසුන් සහ සුරයන්ගේ අවසාන බලඇණි මෝඩෝර් වෙත ගමන්කලා..
ඔවුන් බොහෝ දෙනෙකුට සිදුවුනේ මරණයේ ගිනි කන්ද පාමුල මරණයට පත්වෙන්නයි.

අවසානයේ මිනිසුන් සහ සුරයන් සටන ඡයගත්තා, නමුත් බලයේ මුද්ද අත දරාගෙන පැමිණි සවුරෝන් හට එරෙහි වීමට ඔවුන්ට නොහැකි උනා

නමුත් එක් මොහොතක සියල්ල වෙනස්වුනා , මනුෂ්‍ය රඡතුමාගේ පුත් ඉසිල්ඩූර් තම පියාණන්ගේ අසිපතින් සවුරෝන්ගේ මුද්ද සහිත ඇඟිලි කපා දැමුවා

සවුරෝන් පරාඡය උනා

ඒ සමගම ඉසිල්ඩූර් මධ්‍යම පෘථිවියේ සියලු දෙනාට නිදහස උරුම කර දුන්නා

සවුරෝන්ගේ අතින් ගැලවුණු බල මුදුව ඉසිල්ඩූර් අතට පත්වුනා,,,

නමුත් බල මුදුවේ බලයට වහල්වුණු ඉසිල්ඩූර් මරණයේ ගිණි කන්දට දමා මුද්ද විනාශ නොකොට එය තමන් සතු කරගත්තා

නමුත් ඉසිල්ඩූර් හට මුද්ද රැගෙන තම රාඡධානිය කරා යාමට හැකියාවක් ලැබුනේ නැහැ,

ඕක් සෙබලුන්ගෙ හදිසි පහර දීමක් නිසා ඉසිල්ඩූර් මියගියා, ඔහු සමඟ වතුරට වැටුණු බල මුදුව අතුරුදන් වෙලා ගියා

වසර සිය ගණන් ගෙවී ගියා

අතීතය පුරාවෘතයයක් උනා , පුරාවෘතය මිත්‍යාවක් උනා

වසර 2500කට පසු එක් දිනයක දියේගොල් කියන හොබිට්ටෙක් දිය යට තිබිල බල මුදුව සොයා ගත්තා,,පසුව ස්මිගොල් කියන ඔහුගේ සහෝදරය ඔහුව මරල මුද්ද තමන් සතු කරගත්ත.

නමුත් පහත් ගති ඇති ඒ ස්මිගොල් හොබිට්ට අවසානයේ මුද්දට ආශා කරන ගොලම් සත්වයෙකු බවට පත්වුනා.
 ඔහු වසර 500 බල මුදුව තමන් ලඟ තබාගෙන සිටියා

දැන් අපි හොබිට් චිත්‍රපටය අවසන් උන තැනින්ම මේ කතාව පටන්ගන්න එක තමයි හොඳ

 හොබිට් කතාවෙ අවසානයට ,,,

කුරුමිට්ටන් ඕක් සෙබලු සමඟ තිබුන සටන ඡයග්‍රහණය කර නැවතත් ඔවුන්ගෙ කන්දෙ රාඡධානිය අත්පත් කරගත්ත. ( මේ සටනින් අසොග් කියන ඕක් නායකය වගේම කුරුමිටි රඡු තෝරින් ඕකන්ෂීල්ඩ් මියගියා , ඔහුගේ සහෝදරය නව රඡතුමා බවට පත්වුනා)

ලේඩි ගැලැඩ්‍රියෙල් විසින් සවුරෝන්ගෙ ආත්මය ඒක අරක්ගෙන හිටපු තැනින් පිටුවල් කලා, එල්ෆ් රඡු එ් පිටුපස ගිහින් ඒක විනාශ කරන්න පිරිසක් යවන්න උත්සාහ කලත් , මායාකාර සරුමාන් ඒ ගැන එයා විසින්ම බලාගන්නම් කියල පොරොන්දු වෙලා එල්ෆ් රඡුව නතරකලා.

එතකොට හොබිට් සිනමාපටයෙ පුංචි වීරය බිල්බෝ බැගින්ස් , එයා වීර චාරිකාව අස්සෙ ගොලම් සත්වයගෙ ගුහාවෙන් බල මුදුව ලබා ගත්තා. නමුත්  බල මුදුව ගැන හරිහැටි තේරුමක් නැති ඔහු එහි මායා බලයට වශී වෙලා එය මායාකාර ගැන්ඩල්ෆ්ටත් හොරෙන් බල මුදුව ⁣අරගෙන ගෙදර ගියා


      මේ සිද්ධිය වෙන්නෙ ඒ ඔක්කොම වෙලා වසර 60 කට පස්සෙයි.

     බල මුදුව බිල්බෝ අතේ තිබෙන කාලය ඇතුලෙ ඔහු නොදැන බොහෝ දේවල් සිදුවුනා.

 හොබිට් චිත්‍රපටයෙ අවසානයේ සවුරෝන්ව පරාඡය කරන බවට එල්ෆ් රඡුට සහ ලේඩි ගැලැඩ්‍රියෙල් හට පොරොන්දු වී ගිය සරුමාන් නම් මායාකරු කට්ටියට ද්‍රෝහි වෙලා සවුරෝන් හට එකතුවෙලා මෝඩෝර් ශක්තිමත් කිරීමට උපකාර කලා.
මේ අනුව මෝඩෝර්හි මායා ඇස සහිත අති විශාල කුලුණක් ගොඩ නැගුනා.
අඳුරු බලමුලු ශක්තිමත් උනා.

       එක්තරා දවසක ගොලම් සත්වයාව මෝඩෝර් වල සෙබලු අල්ලා ගත්තා. ගොලම් සත්වයා " ෂයර් " සහ " බැගින්ස්වරු යනුවෙන් ඔහු දන්නා සියලුම දේ සතුරන් ඉදිරියේ වැමෑරුවා.

මෙහි අවසාන ප්‍රතිඵලය උනේ මෝඩෝර් වල අති බිහිසුණු නාසිගුල් ⁣සේනාව ෂයර් ගමේ බැගින්ස්වරු සොයා ඒමයි..

මේ වෙලාව වෙනකොට බිල්බෝ බැගින්ස් බල මුද්ද තමන්ගෙ ඥාතියක් උන ෆෝඩෝ බැගින්ස්ට පවරල චාරිකාවකට පිටත්වෙලා ගිහින්.

සිද්ධිය දැනගත්ත ගැන්ඩල්ෆ් ෆෝඩෝට කියනව පැනල යන්න කියල.
පැනල යන ෆෝඩෝ එක්ක සෑම් , මේරි හා පිපින් කියන යාලුවො තුන් දෙනත් එකතුවෙනව.

මගදි මොවුන්ට හමුවුනා තරුණ වන ආරක්ෂකයෙක්

අවසානයේ මෙයාල රිවර්ඩේල් වල සුර නගරයට යනව. ඒ බල මුද්දේ අනාගතය ගැන තීරණයක් අරගන්නයි.


එතනදි මේ ගැන සාකච්ඡා කරන්න විවිධ රාඡධානි වලින්  නියෝඡිතයන් එකතු උනා

මෙහිදී අවසන් තීරණය ගැන කට්ටිය වාද කරද්දි ෆෝඩෝ කියනව තමන් මෝඩෝර් වල ගිනි කන්දට මුද්ද ගිහින් දාන්නම් කියල..
මොකද මෝඩෝර්වල ගිනි කන්දෙ ගින්නෙන් විතරයි මේ මුද්ද විනාශ කරන්න පුලුවන්.

හැබැයි මෝඩෝර් වලට යන එක ලේසි වැඩක් නෙවෙයි , මොකද මෝඩෝර් කියන්නෙ අඳුරු රාඡධානියටයි. ඒකෙ මැද තියෙන ගිනි කන්දට යන එක. ඒක ඊට වඩා අමාරු වැඩක්

ෆෝඩෝගෙ තීරණයට ගරු කරපු සියලුම දෙනා එකතු වෙලා මෝඩෝර් වෙත යන ෆෝඩෝගෙ  චාරිකාවට උදව් කරන්න සන්ධානයක් හැදුව.

Fellowship of the Ring කියල නම් කරේ මේ ගමනට සහභාගි උන අයයි.

"බල මුදුවේ මිතුරු හවුල මොවුනුයි"

මේ කණ්ඩායමේ සාමාඡිකයන් මෙන්න මෙහෙමයි. (වරහන් ඇතුලෙ කට්ටියගෙ වයස සටහන් කරල තියෙනව.

* ෆෝඩෝ බැග්න්ස් (50)- මුද්දේ බාර කරුවා වගේම මුද්ද රැගෙන යන්නා

* සෑම් (38) - ෆෝඩෝගෙ ආරක්ෂකයා

* ගැන්ඩල්ෆ් ද ග්රේ ( අතිපෞරාණිකයි) - අලු පැහැ ඇඳුම් ඇඳි මහලු මායාකාරයා වගේම පිරිසේ නායකයා

* ලෙගොලස් (500+) -  Mirkwood  වල සුර රඡුගේ පුත්‍රයා. අති දක්ෂ දුණුවායා

* ග්‍රිම්ලි (139) - එල්බෝරයේ කුරුමිට්ටන් නියෝජනය කරන ගොලින්ගෙ පුත්‍රයා.

* ඇරගොන් (87) - උතුරු වන ආරක්ෂකයින්ගෙ ප්‍රධානියා, ඒ වගේම ඉසිල්ඩූර් රඡුගෙ උරුමක්කාරයා , ගොන්ඩෝර් හි ඔටුන්නෙ සැබෑ හිමිකාරයා

* බොරමියර් (40) - ගොන්ඩෝර්හි බාරකාරයගෙ පුත්‍රයා

* මේරි (36) සහ පිපින් (28) - ෆෝඩෝගෙ මිතුරන්

අවසානයේ මොවුන් ගමනට පිටත්වුනා,,

අතරමගදි උන විවිධ හැල හැප්පීම් මැද්දෙ ගැන්ඩල්ෆ් යක්ෂයෙක් හා සටන් කරන්න ගිහින් හෙලකට වැටිල අතුරුදන් උනා.
බොරමියර් ඕක් සෙබලුන්ගෙ ප්‍රහාරයකින් මියගියා..

මේරි සහ පිපින්ව ඕක්වරුන් පැහැරගත්තා

අවසානයේ ෆෝඩෝ සහ සෑම් තනිවම චාරිකාවේ ඉතුරු ටික අවසන් කරන්න තීරණය කරද්දි,,

ග්‍රිම්ලි , ලෙගොලස් සහ ඇරගෝන් ප්‍රමුඛ  වීරයො තුන්දෙනා මේරි සහ පිපින්ව බේරගන්න පිටත්වුනා..


ඔය විදියට බල මුදුවේ මිතුරු හවුල බිඳිල ගියා.

⁣⁣තනිවම ගමන්කල ෆෝඩෝ සහ සෑම්ට ගොලම් නම් මුද්දට ආශා කරන සත්වයාව මුණ ගැසුනා, සත්වයා ෆෝඩෝ සහ සෑම්ට මරණයේ ගිණි කන්දට යාමට කෙටි මාර්ගයක් ලබා දුන්නා , ඔවුන් ඒ මග ගමන් ගනිද්දී,,

මේරි සහ පිපින් ආරක්ෂිත බව මඟදි හමුවූ ධවල පැහැදිලි ගැන්ඩල්ෆ්ගෙන් දැනගන්නා වීරයන් තිදෙනා ගැන්ඩල්ෆ් සමඟ රොහාන් රාඡධානිය කරා ගමන්කලා..

සරුමාන් නම් දුෂ්ට මායාකරුගේ උගුලකට හසු වී සිටි රොහාන් රඡුව බේරාගත් ගැන්ඩල්ෆ් සහ පිරිස රොහාන් රාඡධානිය ආක්‍රමණය පිණිස පැමිණි සරුමාන්ගේ ඕක් හමුදාව සුරයන්ගේද උදව් ඇතුව පරාඡය කර දැමුවා,,

මීලඟට ඇරඹුණේ ගොන්ඩෝර් රාඡධානියේ සටනයි...

ගොන්ඩෝර්හි බාරකාර රඡු තම තම පුත්‍රයා බොරමියර් නැති වූ දුකින් උමතු වෙද්දී,,

මෝඩෝර් හි අති බිහිසුණු හමුදා ගොන්ඩෝර් ආක්‍රමණය කරන්නට පටන්ගත්තා.

මෙහිදී ඇරගෝන් ප්‍රමුඛ වීරයන් රොහාන් දේශයේ රඡු හා හමුදාව සමඟ සටනට එකතු වීමට ගමන්කලා,,,
  සවුරෝන් පරාඡය කළ ඉසිල්ඩූර් රඡුගේ පෙළපතින් ලැබුණු සුවිශේෂී කඩුවේ බලයෙන් මරණීය ශාපලත් සේනාවක් නැවතත් සටන් බිමට ගෙන්වූ අැරගෝන් විශාල ඡීවිත හානි හමුවේ එම සටනත් ඡයග්‍රහණය කලා.

රොහාන් දේශයේ මහරඡුගේ ඡීවිතයත් එයට වැයවුනා..

මේ සටන අවසානයේ  ෆෝඩෝ මෝඩෝර්හි ගිණිකන්දට ආසන්න බව පිරිසට දැනගන්න ලැබුනා.

   ඇරගෝන් තීරණය කලා ෆෝඩෝ හට ගිනිකන්ද වෙත යාම පහසු කරවීමට  අවසාන සටන ආරම්භ කරන්න..
      ගැන්ඩල්ෆ් , අැරගෝන් , ලෙගොලස් , ග්‍රිම්ලි ප්‍රධාන පිරිස ඉතුරු සේනාවත් රැගෙන මෝඩෝර්හි දොරටුව වෙතට ගියේ අවසාන සටන ආරම්භ කිරීමටයි. වීරයන් තමන්ගේ පරාඡය නියත බව දැන දැන ආරම්භ කල මේ සටන පැතිරී යදිදී , ෆෝඩෝ සහ ගොලම් අතර මුදුව වෙනුවෙන් සටනක් ආරම්භ උනා.

අවසානයේ ගොලම් මුද්ද සමඟ මොඩෝර් හි ගිනිකන්දට බිලි උනා.

⁣සෑම්ගේ උපකාර නිසා ෆෝඩෝ තමන්ගේ දිවි රැකගත්තා..

සවුරෝන්ගේ පරාඡය සිදුවුනා!!!

මේ සමඟම සුරයන්ගේ යුගය ගෙවී ගොස් මධ්‍යම පෘථිවියේ මනුෂ්‍යයන්ගේ යුගය උදා උනා..

චිත්‍රපටයේ අවසානයට,,,

අැරගෝන් ගොන්ඩෝර්හි රඡු බවට පත්වුනා..
සුරයන් සදහටම මධ්‍යම පෘථිවියෙන් යන්නට ගියා. ඔවුන් සමඟ ෆෝඩෝ , බිල්බෝ  සහ ගැන්ඩල්ෆ් ද මධ්‍යම පෘථිවියෙන් පිටත්වුනා...

කතාව අවසානයි.

ලෝඩ් ඔෆ්ද රින්ග්ස් කතාව ඉවර උනාට ප්‍රශ්න ඉවර නෑ නේද😂😂😂

අන්න ඒවට උත්තර දෙන වෙලාව තමයි දැන් ඇවිත් තියෙන්නෙ..


1. බිල්බෝ බැගින්ස්ගේ වයස කීයද?

හොබිට් චිත්‍රපටයෙදි ගැන්ඩල්ෆ්ව හම්බවෙනකොට බිල්බෝට අවුරුදු 50 යි. චිත්‍රපටය අවසන් වෙනකොට අවුරුදු 51යි.

ලෝඩ් ඔෆ්ද රින්ග්ස් චිත්‍රපටය පටන්ගන්නෙ හොබිට් චිත්‍රපටය අවසන්වෙලා හරියටම අවුරුදු 60 කට පස්සෙයි. එතකොට බිල්බෝ ට අවුරුදු 111 වෙනව.
නමුත් අනෙක් හොබිට්වරු වගේ නැතුව ඔහු තරුණව ක්‍රියාශීලිව හිටියෙ බල මුද්දේ බලපෑම නිසයි.

2. ගැන්ඩල්ෆ්ගෙ වයස කීයද?

          පොතේ හැටියට ලෝඩ් ඔෆ්ද රින්ග්ස් සිද්ධිය පටන්ගන්නකොට ගැන්ඩල්ෆ්ට වයස අවුරුදු 54,960 වෙනව.
     ඒ වගේම ගැන්ඩල්ෆ් තමන්ගෙ දිව්‍යමය ස්වරූපය හංගගෙන ඉන්න නිසා මධ්‍යම පෘථිවියෙ බොහෝ දෙනෙක් ගැන්ඩල්ෆ් කියන්නෙ සාමාන්‍ය ගිනිකෙළි පෙන්නන කෙනෙක් සහ වන්දනාකාරයෙක් කියලයි හිතන්නෙ.

3. ලෝඩ් ඔෆ්ද රින්ග්ස් සිද්ධිය වෙනකොට ඇරගෝන්ගෙ වයස 87 උනේ කොහොමද?

  මේකත් හරි හුටපටයක් තමයි.. ඇරගෝන්ගෙ පරම්පරාවෙ ආදි මී මුත්ත Elros කියන්නෙ රිවන්ඩේල් වල සුර රඡතුමාගෙ නිවුන් සහෝදරයයි.
  රිවන්ඩේල් වල සුර රඡතුමා කියල මම හැදින්වුවෙ Elrond ව. එහෙමත් නැත්නම් ඇරගෝන් විවාහ වුන ආර්වෙන්ගෙ තාත්ත..
          කාලෙකට ඉහත සුරයන්ට අවස්ථාවක් ආව අමරණීයත්වය සහ මරණීය ඡීවිතය තමන්ට අවශ්‍ය විදියට තෝර ගන්න. අන්න ඒ වෙලාවෙදි Elrond අමරණීයත්වය තෝර ගත්තට , Elros මරණීය ඡීවිතය තමයි තෝර ගත්තෙ..
       මෙන්න මේ elros ගෙ පරම්පරාවෙ අය ඩූනෙඩයින්වරු කියන නමින් හැදින්වුවා
 මනුෂ්‍යත්වය තෝර ගත්ත සුරයන් උන මොවුන්ට මුලින්ම වසර 500 පමණ ආයු කාලයක් හිමි වුනා,
පස්සෙ පරම්පරාවෙ ලේ සබඳතා එක්ක ටික ටික මේක පරපුරෙන් පරපුරට අඩු උනා,
ඉසිල්ඩූර්ගෙ පියා මැරුනෙ අවුරුදු 330 කින් වගේ.
ඇරගෝන් අවුරුදු 210 ඡීවත්වුනා

4. ඇරගොන්ගෙ ප්‍රේමවන්තිය සුරයෙක්ද?

      ඔව් ඇය ඇත්තටම අමරණීය ඡීවිතයක් හිමි සුරයෙක්. ඇය ඒ වගේම අති දක්ෂ රණකාමී කාන්තාවක් වගේම , ඇගේ අත්තම්මා ගැලැඩ්‍රියෙල්ගෙන් ලැබුන මායාවනුත් ඇයට තියෙනව.
         ලෝඩ් ඔෆ්ද රින්ග්ස් චිත්‍රපටයේ විශේෂ සටන් දර්ශනයට ඇය සහභාගි වීමට නියමිතව හිටියත් අධ්‍යක්ෂකතුමා ඒක කපා හැරල තියෙනව.

5. රිවන්ඩේල් වලදී බිල්බෝ බැගින්ස් විසින් ෆෝඩෝ බැගින්ස් හට ලබාදෙන තෑගි මොනවාද?

 බිල්බෝ ෆෝඩෝට දෙන්නෙ , බිල්බෝ තමන්ගෙ පළවෙනි චාරිකාවෙදි ට්‍රෝල් වරුන්ගෙ ගුහාවකින් සොයාගත්ත අසිපතයි. මේ අසිපත හදල තියෙන්නෙ අවුරුදු ගානකට කලින් සුරයන් විසිනුයි. මේ අසිපත් තලය ඕක්ල ලඟපාත ඉන්නව නම් නිල්පාට වෙනව.  පළවෙනි චාරිකාවෙදි තෝරින් ඕකන්ෂීල්ඩ්  බිල්බෝට පරිත්‍යාග කළ මිත්‍රිල් කියන යුධ ආවරණයි. මේ යුධ ආවරණය කුරුමිට්ටන්ගෙ සුවිශේෂී වස්තුවක්. මේක මධ්‍යම පෘථිවියෙ තියෙන හොඳම යුධ කබායන්ගෙන් එකක්.

6. ගැන්ඩල්ෆ් , ෆෝඩෝ ඇතුලු පිරිස මොරියා වල දොරටුවෙන් ඇතුලු වීමට උත්සහ කිරීමෙදි ඔවුන්ට වතුරෙ ඉදල පහර දුන් අත්භූත සතා කවුද?

Watcher in the Water කියල හඳුන්වන මේ අත්භූත සත්වයා මොරියා වල ගේට්ටුවෙ ආරක්ෂකයා විදියට කටයුතු කරනව.ආරක්ෂකයට වඩා මේ සතා භයානක ඡීවියෙක් විදියට තමා හඳුන්වන්නෙ.
මොකද මේ සත්වයා oin කියන රණකාමී කුරුමිට්ටවත් මීට කාලෙකට කලින් මරල දාල තියෙනව. එයා ග්‍රිම්ලිගෙ ලඟම නෑයෙක්.
    මේ සතාගෙ උපත ගැන අපිට හරි පැහැදිලි කිරීමක් නෑ. නමුත් මොහු දෙවනි යුගයෙදි බිහිවුනා කියලයි විශ්වාස කරන්නෙ. , නමුත් ගැන්ඩල්ෆ් කියන විදියට මොහු ඕක්ලටත් වඩා පරණ ඡීවියෙක්.

7. කවුද මේ ගැන්ඩල්ෆ් ඇතුලු පිරිසට මොරියා වල පතල ඇතුලෙදි හමුවුන Balrogs කියන යක්ෂයා. කොහොමද ඔහු ගැන්ඩල්ෆ්ටත් පාලනය කරන්න බැරි තරම් බලවත් උනේ?

     Balrogs එහෙමත් නැත්නම් Valaraukar කියල හඳුන්වන යක්ෂයන් කියන්නෙ පළවෙනි අඳුරු අධිපති Melkor ගෙ සේවයට පැමිණි maiar ( ගැන්ඩල්ෆ් අයිතිවෙන වර්ගයේ දිව්‍යමය ඡීවීන්) පිරිසක්.. මොවුන් ගැන්ඩල්ෆ් වගේ අහිංසක මනුෂ්‍ය ස්වරූපයකින් නම් නෙවෙයි ආවෙ. පේනවනෙ හැටි. ට්‍රෝල්ලගෙ පෙනුම අරගෙන තමයි මෙයාල ආවෙ.
    පළවෙනි අඳුරු අධිපතියගෙ බිඳවැටීම එක්ක බිඳවැටුණු මොවුන්ව ශ්‍රෙෂ්ඨ රණකාමින් සහ රඡවරුන් විසින් මරන්න පටන්ගත්ත. රණකාමියොත් බර ගානක් මැරුන මුන්ව මරන්න ගිහින්.
  මේ සංහාරයෙන් බේරුන අය පෘථිවියෙ ගැඹුරුම ගුහා වල සැඟවුනා..
        මෙහෙම ගුහාවක පතුලෙ යුග දෙකක්ම නිදාගෙන හිටපු balrog කෙනෙක්ව තමයි මොරියා වල පතල් හාරපු කුරුමිට්ටන් ඇහැරෙව්වෙ. ධනයට තියෙන තණ්හාව නිසා සීමාව ඉක්මවල හාරන්න ගිහින් මොවුන් balrogව ඇහැරෙව්ව..

තව අනිවාර්යයෙන්ම කියන්න දෙයක් තියෙනව මේ balrog කට්ටිය සවුරෝන්ගෙ මට්ටමේ අය උනත් ඔවුන් සවුරෝන්ට වඩා චුට්ටක් විතර බලයෙන් අඩුයි..

ඒ වගේම මකරුන්ට වඩාත් බලයෙන් ටිකක් අඩුයි.

8. කවුද මේ ගැලැඩ්‍රියෙල් එහෙමත් නැත්නම් ආලෝකයේ ආර්යාව , ඇයි ඇය ෆෝඩෝ බල මුදුව දුන්නම  බාර නොගත්තෙ?


 ගැලැඩ්‍රියෙල් කියන්නෙ මධ්‍යම පෘථිවියේ ඉන්න බලවත්ම සුරයන්ගෙන් කෙනෙක්. කෙටියෙන් කිව්වොත් ඉන්න බලවත්ම කෙනා තමා ඇය. ඇය විවාහ වෙලා ඉන්නෙ Celeborn කියන සුර නායකය සමඟයි.
   පළවෙනි යුගය පටන්ගන්නත් කලින් ඉපදුන ගැලැඩ්‍රියෙල් තමන්ගෙ සැමියට වඩා අවුරුදු 500+ වැඩිමල් කෙනෙක්.
     ඇයට උපතින්ම ලැබුන මායා බලයට අමතරව ඇය පැළඳගෙන ඉන්න සුරයන්ට අයත් බල මුදුව නිසා ඇය මධ්‍යම පෘථිවියෙ බලවත්ම ඡීවීන්ගෙනුත් කෙනෙක් වෙනව.
     මැය ඇයි මෙච්චර වයස වෙලත් අනෙක් සුරයන් වගේ නොමියෙන භූමියට නොගියේ. ඒකට හේතුවක් තියෙනව.
අනෙක් සාමාන්‍ය සුරයන් වගේ නෙවෙයි ගැලැඩ්‍රියෙල් ඉපදුනේ මධ්‍යම පෘථිවියෙ නෙවෙයි ඇය ඉපදුනේ  අමරණීය භූමියෙයි. නමුත් ඇය විසින් සුරයන් කිහිප දෙනෙක්ව ඝාතනය කිරීම නිසා ඇයව බොහෝ කාලකට කලින් මධ්‍යම පෘථිවියට පිටුවහල් කලා.
      ෆෝඩෝ බල මුදුව ලබා දීම ඇයට ලැබුණු පරීක්ෂණයක්. ඇය එය අතට නොගෙන එපා කියල එයින් සමත්වුන නිසා ඇයට නැවතත් අමරණීය භූමියට යන්න අවස්ථාව හිමිවුනා..
බැරිවෙලාවත් අැය මුද්ද අතට ගත්ත නම්,,,

""අඳුරු රඡු වෙනුවට ඔබ⁣ට සිටීවි රැඡිනක්.ඒ වගේම මම අඳුරු නොවේවි. උදෑසන වගේ ලස්සන වේවි , රාත්‍රිය වගේ භයංකාර වේවි.පෘථිවියේ අත්තිවාරමටත් වඩා මම ශක්තිමත් වේවි. හැමෝම මට ආදරය කරල බලාපොරොත්තු සුන් කර ගනීවි""

මේ ඇයගෙ වචනයි. මේ අනුව පැහැදිලි වෙනව ඇය මුද්ද පැළඳ ගතතොත් සවුරෝන්ට වඩා බලවත් වෙන බව වගේම අැය කාටවත් නතර කිරීමට බැරි බලවේගයක් බවට පත් වෙන බව. නමුත් ඇය ඒ අවධානම ගන්නෙ නෑ.

9. Balrog එක්ක පහලට වැටුන අලු පැහැති ගැන්ඩල්ෆ් කොහොමද සුදු ඇඳුමක් ඇඳගෙන ආපහු ආවෙ..

       මේක ගැන කියනව නම් ගැන්ඩල්ෆ් ලොකු සටනකට පස්සෙ balrogව පරාඡය කලා, නමුත් ඒකට වැයවුන ශක්තිය නිසා ගැන්ඩල්ෆුත් මියගියා.නමුත් ගැන්ඩල්ෆ් කියන්නෙත් දිව්‍යමය ඡීවියෙක් , ඉතිං එයාගෙ භෞතික ස්වරූපය  මියගියාට එයා මියයන්නෑ.
    ගැන්ඩල්ෆ්ගෙ ආධ්‍යාත්මික ස්වරූපය දෙවියන් විසින් නැවත හරවල එව්ව සරුමාන් විදියට. දෙවියො සරුමාන් හෙවත් ධවල මායාකරුව හැදුවෙ යහපත් බවේ සංකේතයක් විදියටයි. නමුත් සරුමාන් යහපත් බවට පිටුපෑව..
      සරුමාන්ට පස්සෙ ඉන්න බලවත්ම මායාකාරය තමයි ගැන්ඩල්ෆ්. සරුමාන් තමන්ගෙ නමට ගැලපෙන රාඡකාරිය හරියට කරන්නෙ නැත්නම් , ධවල මායාකර පදවිය ගැන්ඩල්ෆ්ට දෙන්න දෙවියො තීරණය කරල තමයි ගැන්ඩල්ෆ්ව ආපසු එව්වෙ.

10. කවුද මේරි සහ පිපින්ට අමුතුම පණ තියෙන ගහ?

Treebeard එහෙමත් නැත්නම් Fangorn කියන්නෙ මධ්‍යම පෘථිවියෙ ඡීවත්වුන වයසම ගස් බාරකරුව වගේම ඔවුන්ගෙ ප්‍රධානිය. මෙයා මධ්‍යම පෘථිවියෙ ඡීවත්වෙන වයසකම අයගෙන් කෙනෙක් කියල ගැන්ඩල්ෆ් හඳුන්වනව.
සුරයන් විසින් ගස් වලට කතා බහ කරන්න උගන්නව පවා ඔහුට මතකයි
    ඔහු කාගෙවත් පැත්ත ගත්ත කෙනෙක් නෙවෙයි, ඔහු ගස් වල පැත්ත ගත්ත කෙනෙක්. එම නිසා ඔහු සවුරෝන් සමඟ ඇතිවුන යුද්ධයට කිසිම දායකත්වයක් නොදක්වන්න තීරණය කලත් ,, සරුමාන් ගස් වලට කරන විනාශය දැකල ඔහු ඔහුගෙ තීරණය වෙනස් කර ගන්නව.
අවසානයේ සරුමාන්ව යටත් කරගන්නෙ මොහු සහ මොහුගෙ පිරිස විසින්.

11. මොකක්ද මේ ඇරගෝන් හට රිවන්ඩේල් වල රඡු  ගෙනල්ල දීපු සුවිශේෂී අසිපත?

Andúril එහෙමත් නැත්නම් උතුරේ ගිණි සිලුව කියල හඳුන්වන මේ අසිපත ගොන්ඩෝර් වල රඡ පෙළපතට උරුම එකක්.
මේක මුලින්ම හැඳින්වුවෙ නාසිහිල්හි අසිපත කියලයි. පළවෙනි යුගයෙදි තමයි මේ අසිපත නිර්මාණය වෙලා තියෙන්නෙ.
සවුරෝන් සමඟ පුරාණ සටනෙදි කැඩි ගියපු මේ අසිපත පාවිච්චි කරල තමයි ඉසිල්ඩූර් රඡු සවුරෝන්ගෙ අතේ ඇඟිලි කපල දැම්මෙ.
     සටනින් පස්සෙ කැබලි උන මෙම අසිපත වසර ගානක් රිවන්ඩේල් වල කෞතුක වස්තුවක් විදියට තියල තිබ්බත් අරෙවන්ගෙ ඉල්ලීම මත ඇයගෙ පියා මේක ආපහු හදවල ඇරගෝන් හට ලබා දෙනව..
      මේ අසිපතෙන් තම උරුමය තහවුරු කරගන්න ඇරගෝන් ගොන්ඩෝර් වල සටනට, ඔහුගේ මුතුන්මිත්ත ඉසිල්ඩූර් ශාප කරපු හමුදාවක් මේ කඩුව යොදාගෙන කැඳවන්න සමත්වෙනව.

12. මෝඩෝර් වලදි ෆෝඩෝව කන්න ආපු මකුලුව මොකාද?

Shelob කියන නමින් හදුන්වන මේ මකුලුව ගැහැණු සතෙක්.Ungoliant නමින් හඳුන්වන මකුලු ස්වරූපයක් ගත්ත දුෂ්ට ආත්මයෙ අවසාන දරුව තමයි මේ shelob කියන්නෙ.
      මෙයාව සවුරෝන් දුර්ග මාර්ගයේ ගුහා වල ආරක්ෂාවට යොදවලයි තියෙන්නෙ. මෙයා සවුරෝන්ගේ සිරකරුවන්ව කමින් සතුරන්ගෙන් ගුහා ටික ආරක්ෂා කරගෙන ඡීවත්වෙනව

13. කොහොමද ගැහැණියක් නාස්ගුල් හමුදාවෙ ප්‍රධානියාව එහෙමත් නැත්නම් Witch King of Angmar ව මැරුවෙ.

    මේක දෛවයට අනුව උන දෙයක් . නාස්ගුල් ප්‍රධානියා බිමට ආපු වෙලාවෙ මෙරි පිටුපසින් ඔහුට ඇන්න නිසා ඔහුගෙ අවධානය වෙනස්වුනා
 මීලඟට එයොවින් විසින් ඔහුගෙ මුහුණටම ප්‍රහාරයක් එල්ල කලා.

     අතීතයේ මේ witch king ට ශාපයක් එල්ල වෙලා තියෙනව කාන්තාවගෙ අතින් මැරෙන්න. අන්න ඒකත් එයා ⁣කාන්තාවකගෙ අතින්ම මැරෙන්න හේතුවක්.

14. දැන් අපි එමු අවසාන ප්‍රශ්නයට. කතාවෙ අවසානයට ෆෝඩෝ ඇතුලු පිරිස නැව් නැගල කොහෙද ගියේ?

    මෙයාල හැමෝම ගියේ මම පළවෙනි පෝස්ට් එකේ පැහැදිලි කරපු දිව්‍යමය ඡීවීන් ඉන්න  අමරණීය දූපතටයි..
  ෆෝඩෝ සහ බිල්බෝ දෙදෙනාට එහෙට යන්න හේතු කිහිපයක් තිබුන. එකක් තමයි මුද්ද බොහෝ කාලයක් තබා ගැනීම නිසා ඔවුගේ ආත්මයට උන හානිය ⁣සාමාන්‍ය ලෝකෙදි සනීප කරගන්න බැරි වීම.
අනෙක් එක තමයි අර මකුලුවා සමඟ සටනින් ෆෝඩෝට උන හානියටත් සාමාන්‍ය ලෝකෙ බෙහෙත් නොතිබීම..

ගැන්ඩල්ෆ් එහෙ යන්න හේතුව තමයි ඔහු කලයුතු රාඡකාරිය අවසන් වීම..

15. එතකොට දැන් අමරණීය භූමියට ගියාම ෆෝඩෝ මැරෙන්නෙ නැද්ද?

හපෝ නෑ, ෆෝඩෝ සහ බිල්බෝ බැගින්ස් අනිවාර්යයෙන්ම මැරෙනව. මොකද එහෙ භූමිය අමරණීය නෑ. එහෙ ඉන්න ඡීවීන් විතරයි අමරණීය..
     නමුත් සුරයන් සහ ගැන්ඩල්ෆ් නම් මැරෙන්නෙ නෑ ඔවුන් අමරණීය ඡීවීන් නිසා..

දැන් කතාව අවසානයිද?

නෑ අවසාන වශයෙන් ඔයාලට කියන්න දේවල් වගයකුත් තියෙනව.

ගොන්ඩෝර් රාඡ්‍යයේ රඡ උන ඇරගෝන් වසර 210 රඡකම් කරල මියගියා.. ඔහුගේ බිරිඳ අමරණීය එරොවෙන්.
ඇය ඇරගෝන් මැරුන දුකට හදවතේ වේදනාවෙන් මියගියා..

එතකොට අපේ ලෙගොලස් සහ ග්‍රිම්ලි තව තව වීරකම් ගොඩක් කරල අවසානයේ බෝට්ටුවක් හදාගෙන අමරණීය දූපතට ගියා.. අමරණීය දූපතට ගිය එකම කුරුමිට්ට උනෙත් ග්‍රිම්ලි..

මේරි සහ පිපින් නම් රාඡ්‍ය සේවයේ යෙදිල මිය ගියා..

එතකොට කතාවෙ සැබෑ වීරය සෑම්. ඔහුත් සාමාන්‍ය ඡීවිතයක් ගත කරල බිරිඳ මිය ගියාට පස්සෙ අමරණීය දූපතට ගියා. මොකද ඔහුත් තාවකාලිකව හරි බල මුදුව ලඟ තබාගත්ත නිසා..

එහෙනම් බල මුදුවේ මිතුරු හවුලේ කතාන්දරය මෙතනින් අවසන් වෙනව..

කරුණු පැහැදිලි කිරීමට සහ තවත් තොරතුරු ඇතුලත් කරල මම ඡායාරූප දාල ඇති ඒ ටිකත් අනිවාර්යයෙන් බලන්න.


3 comments:

  1. ///ඇරගෝන්ගෙ පරම්පරාවෙ ආදි මී මුත්ත Elros කියන්නෙ රිවන්ඩේල් වල සුර රඡතුමාගෙ නිවුන් සහෝදරයයි.
    රිවන්ඩේල් වල සුර රඡතුමා කියල මම හැදින්වුවෙ Elrond ව. එහෙමත් නැත්නම් ඇරගෝන් විවාහ වුන ආර්වෙන්ගෙ තාත්ත..///

    ඒ කියන්නෙ ඇරගොන් බැඳල තියෙන්නෙ තමන්ගෙ මී මිත්තණියක් - නෑකමට බැලුවොත්

    ReplyDelete
  2. මුල සිට එක හුස්මට කියෙව්ව...

    ReplyDelete