Tuesday, January 31, 2023

බිලී පළමු කොටස



මගේ නම තමයි බිලී. මම අවුරුදු 12 ක පිරිමි ළමයෙක්. අපේ ඉස්කෝලෙ ඉන්න හැමෝම කියන්නෙ මම මහ අමුතු ගතිගුණ තියෙන ළමයෙක් කියල.ඒ නිසා මට ඉස්කෝලෙ කිසිම යාලුවෙක් නෑ..
     හැබැයි ඉස්කෝලෙ යාලුවො නැති උනාට මට එකම එක යාලුවෙක් ඉන්නව. එයාගෙ නම තමයි සාරා. මට එයාව හම්බවෙලා දැන් මාසයක් විතර ඇති. මම තමයි එයාට ඒ ලස්සන නම තිබ්බෙත්. සාරා අවුරුදු විස්සක් විතර වෙන ලස්සන ගොලු ගෑණු ළමයෙක්. එයා ඉන්නෙ අපේ ගෙදර පිටිපස්සෙ තියෙන අතහැරල දාපු පරණ මඩුවෙ. අම්මයි තාත්තයි දොරවල් ඇරගෙන ඒක ඇතුළට යන්නෙ නැති නිසා මම එතනට වෙලා සාරත් එක්ක සතුටින් සෙල්ලම් කලා.මට සාරව හම්බවුනේ මාව තනියෙම ගෙදර තියල මගේ අම්මයි තාත්තයි ආච්චිලගෙ ගෙදර ගිය දවසෙදියි. එයා අපේ ගේ පිටිපස්සෙ තියෙන කැලේ සිහිය නැතුව වැටිලයි හිටියෙ. මම එයාව බොහොම අමාරුවෙන් අරගෙන ඇවිත් අපේ රොකීගෙ කූඩුවට දැම්මා. රොකී කියන්නෙ මගෙ හුරතල් බල්ලා. එයා ගිය සතියෙ තමයි මැරුනෙ. මම සාරට කෑම බීම එහෙමත් ගෙනල්ල දෙනවා. හැබැයි අපේ අම්මයි තාත්තයි නම් මට කියන්නෙ එයාව අමතක කරන්න කියලයි. එයාල කියන විදිහට මනංකල්පිත යාලුවො එක්ක සෙල්ලම් කරන්න මම දැන් ලොකු වැඩියි. අවුරුදු විස්සක ගෑණු ළමයෙක්ව යාලුවෙක් කරගන්න ඔයාට තව කල් තියෙනව කියලත් එයාල කියනව. හැබැයි මම සාරට ගිහින් දෙන්න කෑම ඉල්ලද්දි අපේ අම්ම මට මුකුත් කියන්නෙ නැතුව කෑම ගොඩාරියක් දෙනවා..අම්ම කියන විදිහට මම ගොඩක් මහත් වෙලා තියෙන්නෙ සාරට කෑම ගිහින් දෙන නිසාලු. ඒත් සාරා කෑම කෑවහම මාව මහත් වෙන්නෙ කොහොමද කියල මට නම් කොහොමටවත්ම හිතාගන්න බෑ..
           මම මේ කියන සිද්ධිය උනේ ඊයෙ හවස. ඊයෙ හවස අපේ අම්මයි තාත්තයි මට එන්න කියල නරක ආරංචියක් කියන්න තියෙනව කිව්වා. ඒ තමයි තාත්ත අලුත් කාර් එකක් ගේන නිසා එයාලට පරණ මඩුව කඩල අලුත් මඩුවක් ගහන්න වෙනව කියන එක. එ් නිසා සාරාව අමතක කරන්න කියලත් එයාල මට කිව්වා. අපේ තාත්තට ඉස්සර ඉදලම සාරාව පෙන්නන්න බෑ.මම එයා ගැන කතා කරන්න හදනකොට තාත්ත මගෙ දිහා රවල බලල එතනින් යන්න යනවා. මෙදා පාර අම්මත් තාත්තගෙ අදහසට එකඟවෙලා..
             මට මේක දරාගන්න බෑ. ඒත් දෙමව්පියන්ගෙ තීරණ වලට දරුවෙක් විදිහට විරුද්ධ වෙන්න බෑ කියල මට තේරෙනව.. මම එයාව මරල රොකීව වලලපු තැනින් වළලන්නද කියල එයාලගෙන් ඇහුවා. වත්තෙ වලවල් හාරන්නෙ නැතුව ඕන දෙයක් කරන්න කියලයි තාත්ත කිව්වෙ..මට හරි දුකයි ඒත් කරන්න ඕන දේ කරන්නම වෙනවා..

මට අද උදේ ඇහැරුනේ සද්දයක් ඇහිලා..මගේ අම්මයි තාත්තයි මහ හයියෙන් කෑ ගහනව.මට පේන විදිහට එයාලට වත්ත පිටිපස්සෙ කැලෑවෙ තිබිල සාරගෙ මිනිය හම්බවෙලා..එයාල පොලීසියට කෝල් කරන්න වගේ හදන්නෙ...

      සාරට කැමති දෙයක් කරන්න කියල එයාල කිව්ව නිසයි මම මීට කලින් රොකී එක්ක තරහවුන දවසෙ රොකීට දුන්න විදිහටම වහ කලවම් කරපු කෑම එකක් සාරටත් දුන්නෙ. ගෙදර වත්තෙ වලවල් හාරන්න එපා කිව්වෙත් ඒ දෙන්නමයි. ඒක නිසයි මට සාරගෙ මිනිය වළ නොදා වත්ත පිටිස්සෙ කැලෑවට ගිහින් දාන්න උනෙත්. මට කරන්න ඕන හැමදේකටම උපදෙස් දීලා දැන් එයාල බයවෙලා වගේ කෑ ගහනව. ඇත්තටම මට තේරෙන්නෙ නෑ මේ වැඩිහිටියො හැසිරෙන විදිහ.

පළමු කොටසේ නිමාව..

1 comment: