Tuesday, January 31, 2023

බිලී තෙවනි කොටස



      මම හිතපු විදිහට කුරුලු සුප් බිව්වට අම්මට සනීප උනේ නෑ. කුරුලු සුප් බීල දවසක් දෙකක් යද්දි දොස්තර අංකල් ඇවිත් අම්මව ඉස්පිරිතාලෙ නවත්තන්න කියන තත්වයටම අම්මගෙ ලෙඩේ වැඩිවුනා. අම්මව ඉස්පිරිතාලෙ ගිහින් නතර කරන්න ආවෙ මගේ ආච්චියි සීයයි. එයාල අම්මව එක්කගෙන ගිහින් ඉස්පිරිතාලෙ නවත්තලා අම්මව හොඳ වෙනකන්  බලාගන්න ලස්සන නර්ස් ඇන්ටි කෙනෙක්වත් අම්ම ලඟ නතර කලා.ආච්චි එයාලගෙ වත්තෙ වැඩ කරන්න එන අයට බොරු වැරදි පෙන්නලා පඩි නොගෙවා ඉන්නව වගේ දෙයක් නොකර පඩිය හරියට ගෙව්වොත් ඒ නර්ස් ඇන්ටි බෙහෙත් වරද්දල දීලා අම්මව ම(ර)ල දාන්නෙ නැතුව එයාව හොඳට බලා ගනියි කියල මට හොඳටම විශ්වාසයි..
        අම්මව ඉස්පිරිතාලෙ නතර කලාට පස්සෙ මට නම් ඕන උනේ තනියෙම අපේ ගෙදරට වෙලා ඉන්න. ඒත් මගෙ ආච්චිට ඕන උනේ අම්මට හොඳ වෙනකං මාව ආච්චිගෙ ගෙදර ගිහින් තියාගන්න. මම ආච්චිගෙ ගෙදර කිව්වට හරියටම කිව්වොත් ඒක මගේ සීයගෙ ගෙදර.. මගේ තාත්තගෙ තාත්තට තමයි ඒ ගෙදර අයිති. ඒත් මම සීයට වඩා ආච්චිට ආදරේ නිසා මම එහෙට කියන්නෙ ආච්චිගෙ ගෙදර කියලයි.මගේ ආච්චිගෙ ගෙදර තිබුනෙ දුර ඈත පළාතක ලොකුම ලොකු ඉඩමක හරි මැද්දට වෙන්න. ඒ ගෙදර ගෙයක් කිව්වට ගල් වලින් හදපු මහා විසාල මන්දිරයක් වගේ එකක්.ආච්චියි සීයයි මැරුනට පස්සෙ එයාලගෙ එකම පුතා උන අපේ තාත්තට තමයි කවදහරි ඒක අයිති වෙන්නෙ. තාත්ත මැරුනම ඒක මට අයිති වෙනව.. මට සමහර ⁣වෙලාවට හිතෙනව හැමෝවම ම(ර)ල දාල ඉක්මනින්ම ඒ ගෙදර මගේ කරගන්න.ඒක එච්චරටම ලස්සන ගෙයක්.ඒත් පවුලෙ කට්ටිය නැතුව තනියෙම ඒ ලොකුම ලොකු ⁣ගෙදර ඉන්න එක කම්මැලි වෙයි කියල හිතෙන නිසා මම කවදහරි කසාද  බදිනකං එයාලව ම(ර)න්නෙ නෑ කියල මම තීරණය කරලයි තියෙන්නෙ..
         ඉතින් ආච්චි මාව කොහොමහරි එයාලගෙ ගෙදර අරගෙන ආවා. අපේ අම්ම වගේ නෙවෙයි , ආච්චි හැමදාම වැඩ කරන්නෙ එකම එක පිළිවෙළකට. ආච්චි හැමදාම උදේම නැගිටලා කෑම හදනවා. ඊට පස්සෙ මට කෑම කවලා හවස් වෙනකන්ම එයා මට පාඩම් කියල දෙනවා..පාඩම් වැඩ කියන්නෙ මහ එපාවෙන වැඩක්. ඒත් ඉගෙන ගන්නෙ නැතුව කවදාවත් ඉහළට යන්න බෑ කියල අම්ම මට කියල තියෙන නිසා මම උනන්දුවෙන් පාඩම් වැඩ කරනවා..  මගෙ ආච්චි හරිම භක්තිමත් කාන්තාවක්.ඔක්කොම වැඩ ඉවර කරාට පස්සෙ ආච්චි හවසට පල්ලියට යනවා..එතකොට සීයා..? එයා තාත්තව බේරගන්න නීතිඥයො හම්බවෙන්න ගිහින් ගෙදර එන්නෙ ගොඩක් රෑ වෙලා. එයා ගෙදර ඉන්න දවසටත් පත්තරයක් බල බල තනියෙම ඉන්න තමයි ගොඩක්ම කැමති..
             හවස තමයි මගේ සෙල්ලම් කරන වෙලාව. ආච්චිලගෙ ගෙදර ඒකට මට අපූරු යාලුවෙකුත් ඉන්නවා. ඒ තමයි රොජර්.. රොජර් කියන්නෙ ආච්චිලගෙ ගෙදර හුරතලේටයි ආරක්ෂාවටයි දෙකටම ඉන්න බලු තඩියා..මහතම මහත බෝලයක් වගේ ඉන්න රොජර්ට මම හරිම ආසයි.. එයා අපේ ගෙදර හිටපු රොකී වගේ කේන්ති ගියාම මාව කන්න පනින ජාතියෙ නරක බල්ලෙක් නෙවෙයි. ඉතින් ආච්චි පල්ලි ගියහම මමයි රොජරුයි වත්ත පුරාම දුවන එක තමයි කලේ..
           ආච්චිලගෙ වත්තෙ එක තැනක තියෙනව ලොකුම ලොකු සොහොන් කොතක්.අපේ තාත්ත ඉස්සර මට කියල දීල තියෙන විදිහට එතන මිහිදන් කරල ඉන්නෙ මගේ සීයගෙ තාත්ත උන ලොකු  ජෝර්ජ් සීයා. එයා තමයි ආච්චියි සීයයි ඉන්න ඒ විශාල ගෙදර හදපු කෙනා.. අපේ පවුලෙ කවුරුවත් එයා ගැන වැඩිය කතා කරන්නෙ නෑ..එයාල කියන විදිහට ලොකු ජෝර්ජ් සීයා කියන්නෙ පවුලට ලොකු අපකීර්තියක් ගෙනාපු නරක මනුස්සයෙක්..  මට ඔය අපකීර්තිය වගේ ලොකු වචන තේරෙන්නැ..  හැබැයි ලොකු ජෝර්ජ් සීයා  හදපු ගෙදරට වෙලා ඉදගෙන එයාව අමතක කරනවා එක නං නරක නපුරු වැඩක් කියල මට තේරෙනවා. මම ලොකු ජෝර්ජ් සීයා උනා නං රෑට මිනි වලෙන් නැගිටලා ඇවිත් ගෙදර ඉන්න හැමෝගෙම බෙලි ටික කපලා ම(ර)ල දාලා යනවා..  ඒත් ජෝර්ජ් සීයා දැනටමත් මැ(රි)ලා නිසා එයාට ආපහු පළිගන්න එන්න බෑ.. ඒක හරිම දුකක්..
    මොනා උනත් ලොකු ජෝර්ජ් සීයට සාදාරණයක් කරන්න ඕන කියන එක කාලයක් තිස්සෙම මගේ හිතට ගොඩක් වද දුන්න කාරණාවක්.. අන්න ඒක නිසයි එදා හවස මම ඒ දේ  කරන්න තීරණය කලේ..

     සීත කාලෙට රස්නෙ තියාගන්න ගෙදර මැද්දෙ හදල තියෙන තියෙන ගිණි උදුනෙ උස කණ්ඩිය තමයි ආච්චිලගෙ ගෙදර තියෙන වටිනාම සහ වැදගත්ම තැන. මම ඒක එහෙමයි කියල හිතුවෙ අපේ ආච්චි එතන දෙවියන් වහන්සේගේ ප්‍රතිමාව තියන්න තෝරගෙන තිබුන නිසා.

           මම හැමදාම හවසට ගේ පිටිපස්සෙ තිබුන සවල අරන් ගිහින් ටික ටික ලොකු ජෝර්ජ් සීයගෙ මිනිවල හාරලා අන්තිමට ගොඩට ගත්ත ලොකු ජෝර්ජ් සීයගෙ මිනි ඔලුව එදා හවස ගෙදරට ගෙනල්ලා ගිණි උඳුනෙ කණ්ඩිය උඩ දේව ප්‍රතිමාව ලඟින්ම තියල මිනි ඔලුව උඩින් ඉටිපන්දමක් පත්තු කලාට ආච්චිට මෙච්චර කේන්ති ගිහින් තියෙන්නෙ ඇයි කියල මට නම් තේරෙන්නෙ නෑ...

මම ලොකු ජෝර්ජ් සීයගෙ මිනි ඔලුව එතනින් තියලා ඉටිපන්දමක් පත්තු කලේ මේ ගේ හදපු ලොකු ජෝර්ජ් සීයට ගෞරව කරන්නයි..

පල්ලි ගිහින් ආව ආච්චි ඒක දැකලා මට කෑ ගැහුවෙ , "මේ ළමයට යක්ෂයෙක් වැහිලා"  කියලයි..

ආච්චිගෙ කෑ ගැහිල්ල ඇහිල එතනට ආව සීය ඒක දිහා බලලා , ඊට පස්සෙ මගෙ දිහාත් අමුතු විදිහට බලල  "එයා මගෙ තාත්ත වගේ කෙනෙක්" කියලත් කිව්වා.

ඒ කියන්නෙ මම ලොකු ජෝර්ජ් සීය වගේද? ඒක නං සතුටු හිතෙන කාරණාවක්..මේ වගේ ලොකු ගෙයක් හදපු මනුස්සයෙක් වගේ වෙනව කියන්නෙ ඒක ලේසි පහසු කාරණාවක් නෙවෙයි..

මොනා උනත් ආච්චිගෙ කරදරේ නිසා සීයට ලොකු ජෝර්ජ් සීයගෙ  මිනි ඔලුව ආපහු  මම හාරපු මිනී වලටම ගිහින් දාන්න උනා.  ඒ වගේම ආච්චි මට ආපහු හවසට සෙල්ලම් කරන්න වත්තට යන එකත් තහනම් කලා , එයා හවසට මාව පල්ලි එක්කගෙන යන්න ගත්ත තීරණයත් ඒ වගේමයි. සීයටවත් ඒක වෙනස් කරන්න බැරිවුනා.

දැන් ඉතින් මම හවසට පල්ලි යන්නත් ඕන..

ඒ උනාට මේ වෙච්ච  දේවල් නිසා මගේ පුංචි හිත ඇතුලෙ මේ ලොකු ජෝර්ජ් සීයා කවුද?
එයාගෙ නම කිව්වත් අපේ ආච්චිට මෙච්චර තරහ යන්න එයා මොනාද කරල තියෙන්නෙ..? වගේ ප්‍රශ්න ගොඩාක් ඇති උනා. අම්මට සනීප වෙලා අාච්චිලගෙ ගෙදරින් ආපහු මගේ ගෙදරට යන දවස එන්න කලින් මම මේ ප්‍රශ්න වලට අනිවාර්යයෙන්ම උත්තර හොයාගන්න ඕන..නැත්නම් මට රෑට නින්ද යන එකකුත්  නෑ..

ඇත්තටම කවුද මේ ලොකු ජෝර්ජ් සීයා..?

බිලී තෙවන කොටසේ නිමාව..

No comments:

Post a Comment