Friday, September 22, 2023

ගුරුකම



       මහා රාත්‍රීයේ බොරැල්ල කනත්ත වෙත පැමිණි ගුරුන්නාන්සේත් මමත් සූදානම් වූයේ මීට දින තුනකට මත්තෙන් නැසී මිය පරළොව ගිය කෝටිපති ව්‍යාපාරික ජයසිංහ කොඩිතුවක්කු මහතාගේ මෘත දේහය සම්බන්ධයෙන් සුවිශේෂී රාජකාරියක් සිදු කිරීමටයි.නැසී යාමට ප්‍රථම රෝගාතුරව සිටියදී එතුමා ගුරුන්නාන්සේ සමඟ මෙම ගුරුකම සම්බන්ධයෙන් සාකච්ඡා කොට ගාස්තු වශයෙන් ඉතා විශාල මුදලක් ගෙවා තිබූ අතර මුදලාලි හට පොරොන්දු වූ පරිදි ගුරුන්නාන්සේත් , ඔහුගේ හොඳම ගෝලයා වූ මමත් , ජයසිංහ මුදලාලි⁣ගේ එකම පුත්‍රයා වූ සංජීවත් මුදලාලිගේ මරණයෙන් තුන් දිනකට පසුව මෙම රාජකාරිය සඳහා බොරැල්ල කනත්ත වෙත පැමිණියෙමු.. ගමේ බසින් කිවහොත් නාහෙට නාහන ඉලන්දාරියෙකු වූ සංජීව මෙම ගමනට එකතු වූයේ එතරම් කැමැත්තෙන් නොවේ..

    ⁣  අපගේ රාජකාරියේ බරපතළ බව මෙන්ම රහස්ගත බව නිසා අපි වෙන කිසිවෙකුට මේ ගමන ගැන නොපැවසූ අතර , කිසිවෙකු මේ ගමනට රැගෙන නොආවෙමු..


 කනත්තේ මුරකරුවා හට ගුරුන්නාන්සේ විසින් සවස් වරුවේදීම  පුංචි සන්තෝෂමක් දී තිබූ අතර ඔහු මේ වනවිටත් එය රැගෙන තැබෑරුමක් සොයා ගොස් තිබුණි.. නැවත පැමිණියද බීමතින් සිටින ඔහුගෙන් අපට ගැ⁣ටලුවක් නොවන බව ගුරුන්නාන්සේගේ විශ්වාසය විය..


මුදලාලිගේ මිනිය පැවතියේ ඔහු වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය කරන ලද සොහොන් ගෙයක් තුළයි.. රැගෙන ආ යතුරෙන් සොහොන්ගෙය විවෘත කර ඇතුල් වී රැගෙන ආ විශාල විදුලි ලාම්පුව දල්වා සොහොන් ගෙයි කොනකින් තැබූ ගුරුන්නාන්සේ ,


"හ්ම්ම් ඔය ගල් ලෑල්ල පැත්තකට කරලා පෙට්ටිය එළියට අරන් මිනිය හොඳට පේන්න සැලැස්සුව නං" යනුවෙන් අප දෙදෙනා හට පැවසුවේය..


ඒ අනුව මුදලාලිගේ පුතා වූ සංජීවත් මමත් ⁣දේහය සහිත පෙට්ටිය තැම්පත් කර තිබූ විශාල ගල් පෙට්ටියේ පියන පසෙකට ඇද දමා මිණි පෙට්ටිය ඉන් ඉවතට ගෙන , එය විවෘත කර  මුදලාලිගේ දේහය සොහොන් කුටියෙයි බිම වැතිරුවෙමු..


ගුරුන්නාන්සේ විසින් පෙර උපදෙස් දී තිබූ පරිද්දෙන් සැකසූ මුදලාලිගේ අන්තිම කැමති පත්‍රයට අනුව මුදලාලිගේ මිනිය එම්බාම් කර නොතිබූ හෙයින් මිනියෙන් පැමිණියේ අමු මිණී කුණු ගඳකි.. ඊට අමතරව  මුදලාලිගේ මිණියේ  මුහුනේ මතුව තිබූ තුවාල වැනි කැලැල් තුළින් ඔජස් ගලනුද ලාම්පු එළියෙන් අපි දුටුවෙමු..


"තුහ් විතරක්" , සංජීව පිළිකුල දරා ඉවසාගත නොහැකිව නාසය වසාගෙන එළියට ගොස් කෙළ ගසා ඇතුලට නොපැමිණ එළියටම වී සිටින්නට විය..


අනාථයෙක් වී සිටි මා හදා වඩාගෙන කුඩා කල සිට යන්ත්‍ර මන්ත්‍ර උගන්වා පුරුදු පුහුණු කලේ ගුරුන්නාන්සේ විසිනි..මටද එම ගඳ දරාගත නොහැකි වූවත් ගුරුන්නාන්සේගේ ප්‍රධාන ගෝලයා වශයෙන් ඉටු කළ යුතු යුතුකම් කොටසක් පැවති බැවින් මම එය අපහසුවෙන් උවද දරාගෙන එම ස්ථානයටම වී සිටියෙමි..


"මෙහාට වරෙන්..! ඔය තොගෙ තාත්ත යකෝ.." එකවරම ගුරුන්නාන්සේ කල නියෝගයෙන් සංජීව තක්කු මුක්කු වී ගිය අතර ඒ සමඟ බියත් පිළිකුලත් ⁣අපහසුවෙන් සඟවාගත් සංජීව නැවතත් කුටිය තුළට පැමිණියේය..


"ඔය දොර වහල දාපං.. මේක හදල තියෙන්නෙ ඇතුලෙන් කිසිම සද්දයක් එළියට ඇහෙන්නෙ නැති වෙන්න..නැත්නම් අපි මෙතන මතුරන්න ගන්නකොට පාරෙ යන එවුනුත් මොකක්ද සද්දෙ බලන්න එයි.." ගුරුන්නාන්සේ පැවසීය..


අවසානයේ ගුරුන්නාන්සේ මැතිරීම ආරම්භ කලේ සොහොන් ගෙයි දොර වසා අපි මිනිය වටේ හිටගත් පසුවයි..


"ඕ රීන් ගිරු ගරූං , සල්යා වාඩි පොඩි තුරා.මාරා බලා තුලා වාහ්" එසේ මැතිරූ ගුරුන්නාන්සේ "ඕං රී යක්ෂයා එනවා හොඳයි... මහමුහුද පලාගෙන ඇවිත් මගේ අණ ඉෂ්ට කරනවා හොඳයි.."  වැන  අණකිරීම්ද ගුරුකම අතරතුර සිදුකරන්නට විය..


බොහෝ වේලාවක් මැතිරීම් සහ ජප කිරීම් සිදු කිරීමෙන්  පසු අවසානයේ ගුරුන්නාන්සේ විසින් මා හට අවශ්‍ය කරන ඉඟිය ලබා දුන්නේය..    "උක්කුවා දැන්..."


එ් සමගම මම ඉණෙහි සඟවාගෙන තිබූ කිණිස්ස ඉවතට ගෙන මා ඉදිරියට වී යාතුකර්මය දෙස බලා සිටින සංජීවගේ පපුවට ඉන් වේගවත් පහරක් එල්ල කලෙමි..


⁣කිණිස්ස පපුව සිදුරු කරමින් ඇතුල්වීමත් සමඟ සංජීව කපා හෙලූ ගසක් සේ බිමට පතිත විය..බිම වැටුණු ඔහුගේ හිස පැත්තට කඩා වැටී තිබූ නමුත් කට යන්තමින් සෙලවුණේ උදව් ඉල්ලන්නාක් මෙනි..


හ්ම්ම් .. දැන් ගුරුකම සම්පූර්ණ කරමු.. 


මියගිය සංජීවගේ වම් අත ගෙන මුදලාලිගේ දේහයේ දකුණු අත උඩින් තැබූ මා  , ඉණේ තිබූ උෟරු තෙල් කුප්පියෙන් තෙල් ටිකක් ගෙන ගුරුන්නාන්සේගේ කලමණා පෙට්ටියෙන් ගත් පහණක් ඉන්  පත්තු කර දෙදෙනාගේ අත් උඩින් තබා  සියල්ල සූදානම් කලෙමි...


ගුරුන්නාන්සේ මහ හඬින් මතුරන්නට විය..මම ඒ අසලට වී බලා සිටියෙමි.


ටික වේලාවක්  ගුරුන්නාන්සේ මතුරන විට ජයසිංහ මුදලාලිගේ මිනියේ යම් දැඟලීමක් මම දුටුවෙමි..මම සෙමෙන් ගුරුන්නාන්සේට තට්ටු කලෙමි..


එසෙද බැලූ ගුරුන්නාන්සේ මැතිරීම වේගවත් කරන්නට විය..ඒ සමඟම මිනියේ දැඟලීමද වේගවත් විය..


"දැන් තමයි වෙලාව , මාරු කරපං කැවුත්ත.." එකවරම ගුරුන්නාන්සේ මහ හඬින් අණ දීමත් සමඟ මම වහාම ක්‍රියාත්මක වීමී..


මුදලාලිගේ පුත්‍රයාගේ මිනියේ පපුව විවෘත කල මම ඔහුගේ හදවත ගලවා පැත්තකින් තැබුවෙමි.. මීලඟට මම පැලුවේ මුදලාලිගේ මිනියයි..පුත්‍රයාගේ හදවත නිහඬව පැවතියත් මුදලාලිගේ හදවත වේගයෙන් ගැහෙමින් පැවතුනි..


"වෙලාව පරක්කු වෙනවා. ඉක්මන් කරහං" ගුරුන්නාන්සේගේ ගෝරනාඩුව මගේ කාර්‍යය තවත් ඉක්මන් කලේය..


 මුදලාලිගේ හදවත පුත්‍රයාගේ සිරුරට ඇතුල් කල මම , පුත්‍රයාගේ හදවත මුදලාලිගේ සිරුරට ඇතුලු කලෙමි..මගේ කටයුතු නිමා කලත්ම ගුරුන්නාන්සේ මැතිරීම නවත්තා දෑසට නොපෙනෙන යම් බලවේගකට අණ ලබා දෙන්නට විය.


"එකම ලේ ධාතුව , තොපි ඌ වෙනුවට මූව අරන් පලයල්ලා.." 


ඒ සමඟම  මුදලාලිගේ පුත්‍රයාගේ ශරීරයේ තිබූ තුවාලය සම්පූර්ණයෙන්ම සුවවී අතුරුදන් වී ගිය අතර එකවරම ඔහු තම දෑස් ඇර වටපිට බලන්නට විය..


ඔහු අසලට ගිය ගුරුන්නාන්සේ තම දෑත දිගු කොට ඔහුට නැගී සිටීමට උපකාර කලේය..


"ගුරුන්නාන්සෙ අපූරුවට වැඩේ කලා" මියගිය මුදලාලි තම පුත් සංජීවගේ ශරීරය තුළින් නැගී සිටිමින් පැවසීය..


"කොල්ලො උබ ඔය බඩු ටිකයි මිනියයි ඔක්කොම එකතු කරල ඔය ගල් පෙට්ටියට දාල වහල දාපං.." මා හට එසේ පැවසූ ගුරුන්නාන්සේ මුදලාලි සමඟ දොර විවෘත කර සොහොන් ගෙයින් පිටතට ගියේය...


වැඩකටයුතු අවසන් කළ යුතු වූවත් , ගුරුන්නාන්සේ හා මරණයෙන් අවධි වූ මුදලාලි අතර සිදුවන කතාබහ අසා ගැනීමට ඇතිවූ අසීමිත ආසාව නිසා මම විවෘතව පැවති දොර අයිනට ගොස් ඔවුන්ගේ කතා බහට කන් දුන්නෙමි..


ඔවුන් කතා කරමින් සිටියේ ගුරුකමේ තත්වය පිළිබඳවයි..


"කොහොමද සරීරේ..?" ගුරුන්නාන්සේ මුදලාලිගෙන් විමසීය..


"කලින් එකාට වඩා හොඳයි..මූ කොහොමත් ඔක්කොටම වඩා ඇඟපත ගැන හිතපු එකානේ.." මුදලාලි  පැවසීය..


"එහෙනං වැඩේ හරි. දැන් ඉතින් කලින් කලා වගේම නාකි වෙනකං මේ කොලුවගෙ ඇඟට වෙලා ඉන්න එක තමයි තියෙන්නෙ.." ගුරුන්නාන්සේ මුදලාලි දෙස බලා පැවසීය..


"මට කොලුව පවු කියලත් හිතෙනව බං.."  මුදලාලි පැවසීය..


"මොනා කරන්නද බං. අපිට මේ ගුරුකම කරන්න නම් එකම ලේ ධාතුව තියෙන තරුණ එකෙක් හොයා නොගෙනම බෑ." ගුරුන්නාන්සේ පැවසීය..


"උබත් දැන් නාකි වීගෙන එන්නෙ. උබට තරුණ වෙන්න අදහසක් එහෙම නැද්ද ගුරුන්නාන්සේ."මුදලාලි විමසීය.


මොකෝ බං නැත්තෙ.."කාලෙ ආවම මම වැඩේ කොරගන්නංකෝ.."


"ගුරුන්නාන්සෙට පුතාල ඉන්නවැයි..?"


"අර ඉන්නෙ ඇතුළට වෙලා."


"අර අරූ , ගෝල කොලුවා..ඔව්. ඌ හිතාගෙන ඉන්නෙ ඌ අනාතයෙක් කියලා..ඒත් ඌ මගෙ එකා.පුංචි කාලෙම උගෙ අම්ම නැති උනානෙ.."


"මොකෝ බං උබ ඌට ඇත්ත කිව්වෙ නැත්තෙ..?"


"ඇත්ත කියලා මම ඌව ලන්කර ගත්ත කියමුකො.. එහෙම කෙරුවැයි කියල මම ඌව නොමර ඉන්නද? මෙදාපාර මට ඉන්න එකම පුත්තරයා ඌ විතරයි. මේ නහින දෙහින කාලෙ ඉන්න මම ආයි ළමයි හදන්න යෑ. ඌව ආරක්ෂා කරන්න ගියොත් මට මැරෙන්නයි වෙන්නෙ.." ගුරුන්නාන්සේ ආවේගයෙන් මෙන් පවසාගෙන ගියේය..


එය ඇසූ මගේ සියොළඟ වෙවුලා ගියේය.. "එහෙනං ඒ මගෙ තාත්තා.."  

"අමුනුස්සයෙක් වගේ වැඩ අරන් මට අගුපිළේ නිදියගන්න ඇරලා මාව බිලිදෙන්න හිතාගෙන ඉන්න තාත්තා.."


කෝපය සමඟ අා වේදනාව මගේ නහර රත් කරමින් ගලාගෙන යනු මට දැනිණි..


සිත තදකරගත් මා කිසිවක් නොවුනා සේ වැඩ අවසන් කර ශබ්ද නගා හති අරිමින් සොහොන් කුටියෙන් පිටතට පැමිණියෙමි..


"වැඩ ටික ඔක්කොම ඉවරද බං..?" ගුරුන්නාන්සේ මගෙන් විමසීය..


ඔක්කොම හරි ගුරුන්නාන්සේ ,තව එක වැඩයි තියෙන්නෙ.. අර ගල් ලෑල්ල දාල පෙට්ටිය වහගන්න ඕන..ඒක මට උස්සගන්න බෑ..මගෙ පපුවත් රිදෙනව වගේ ඒක උස්සන්න ගිහින්..


"කොල්ලෙක් නේද උබ..? අනේ මන්දා අද කාලෙ හැදෙන කොල්ලෝ.., උබ ඔහෙන් වාඩි වෙලා හිටපං මමයි මුදලාලියි ඒක වහල දාල එන්න.." එසේ පැවසූ ගුරුන්නාන්සේ මුදලාලි සමඟ සොහොන් ගෙය තුළට පිවිසුනෝය..


අපහසුවෙන් සොහොන් ගෙයි දොර ලඟට ගොස් ඔවුන් දෙදෙනා ගල් ලෑල්ල අසලට යන අයුරු බලා සිටි මා , ඔවුන් ගල් ලෑල්ල ඔසවත්ම වහාම සොහොන් ගෙයි දොර වසා දමා , මා දොරේ තවමත් රැදී තිබූ යතුරෙන් එය අගුලු ලා ඔවුන්ව සොහොන්ගෙය ඇතුලේ සිර කලෙමි..


කිසිඳු ශබ්දයක් නැත. ගුරුන්නාන්සේ පෙර සඳහන් කළ පරිදිම සොහොන්ගෙය සාදා තිබුනේ ඇතුලේ කිසිම සද්දයක් පිටතට නොඇසෙන පරිද්දෙනි.. එය ගුරුකම කිරීමට උපකාර වූ විලසම මෙම මෘර්ග මිනිසුන් දෙදෙනාව මරණය තෙක් සිර කිරීමටද උපකාර වනු ඇත..


 සොහොන්ගෙය අසල ගුරුන්නාන්සේ විසින් හේත්තු කර තිබූ බෙරය ගෙන කරේ එල්ලාගත් මා ,  බීමතින් කනත්තේ දොරටුව අසල මුර මඩුවේ වැතිර නිදා සිටි මුරකරුවා දෙසද බලා , කිසිවක් නොවූ විලස එම ස්ථානයෙන් පිටත්ව ආවෙමි..


නිමි..


                      - තරිඳු ලක්ශාන් -

No comments:

Post a Comment