Friday, September 22, 2023

නිදර්ශකය



ජර්මනියේ පැවති භෞතික විද්‍යා සම්මේලනයකි.ලොව නන්දෙසින් පැමිණි විද්වතුන්ගෙන් පිරී පැවති ශාලාව පැවතියේ අඩ අඳුරේයි.වේදිකාව පමණක් ලා පැහැති සියුම් ආලෝකයකින් ආලෝකමත් කර තිබුණි.

     ආරාධිත කථිකයා වූ වයස අවුරුදු හැටක් පමණ වන මහාචාර්ය ලියනාඩෝ සභාවේ වේදිකාව මතට පැමිණියේ කුඩා පර්යේෂණ නළයක් ද රැගෙනයි. එම නළය විද්‍යාගාර තුළ  භාවිතා කරන පාරදෘශ්‍යය වීදුරු නළයක් බවත් , එම අවස්ථාවේදී එය හිස්ව පැවති බවත් සියලුදෙනාටම බැලූ බැල්මට පෙනුනි. කෙසේ නමුත් එය හොඳින් වැසෙන ලෙස එහි ඉහළින් කිරළ මූඩියක් සවිකර තිබුනි..


වේදිකාව මැද තිබූ මේසය මතින් සැමටම පෙනෙන පරිදි ආධාරකයක් සවිකර එහි පර්යේෂණ නළය රැඳවු ඔහු බැරෑරුම් ස්වරයෙන් මෙසේ පැවසීය..


"මම මේ සභාවට භූතයෙක් ගෙනාවා..."


ඒ සමඟම සභාවේ සිටි සියල්ලෝම සිනාසුනෝය.


නමුත් එම සිනාවට මහාචාර්යවරයාගේ බැරෑරුම් ස්වරූපය වෙනස් කිරීමට හැකියාවක් නොපැවතුණි.එවර ඔහු සභාව දෙස බලා නිර්භීත අයෙක් සිටී නම් ඇවිත් මෙම පර්යේෂණ නළයේ මූඩිය විවර කරන්න යැයි පැවසීය..


 ඒ සමඟ මුලු සභාව පුරාම  පැතිර ගියේ දැඩි නිශ්ශබ්දතාවයකි.


අදාල සිදුවීම සම්බන්ධයෙන්  සිනාසීමට පහසු වූවත් භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් සම්මානලාභී මහාචාර්ය ලියනාඩෝගේ අභියෝගය භාර ගැනීමට තරම් ධෛර්යයක්  ඔවුන් කිසිවෙකු තුළ නොවුනි.මන්ද කොතරම් සිනාසුනද සිතේ අභ්‍යන්තරයේ ඈත කොනක මෙම සම්මානලාභී මහාචාර්යවරයා නිවැරැදි වේදෝයි යන සැකයක් ඔවුන්ගේ සිත් තුළ සැඟවී පැවතුණි..


සභාවේ නිහඬ බව තේරුම් ගත් මහාචාර්යවරයා ඊලඟට තම සාක්කුවට අත දමා ගත්තේ ජායාරූපයකි.එහි තිබුනේ පර්යේෂණ නලයක ජායාරූපයකි.අනතුරුව ඔහු තම කතාව ආරම්භ කලේය.


"මෙතන ඉන්න බහුතරයක් භෞතික විද්‍යා මහාචාර්යවරු , අනෙක් අයත් ලෝකය පිළිගත්ත විද්‍යාව සම්බන්ධ මහාචාර්ය තනතුරු හොබවන පිරිස්. ඔයාල හැමෝම දන්නවා මේ ජායාරූයේ තියෙන්නෙ මොකක්ද කියල. හැමෝම දන්න විදිහට මේකෙ තියෙන්නෙ තෝමස් අල්වා එඩිසන්ගේ අන්තිම හුස්ම ඇතුළත් පර්යේෂණ නළයේ ජායාරූපයක්..." (මෙය මිචිගන්හි හෙන්රි ෆෝඩ් කෞතුකාගාරයේ අදටත් දැක ගත හැකිය.)

        "හුස්මක් කියන්නෙ මොකක්ද කියල මම වගේම ඔයාලත් දන්නවනේ.ඒ ගැන අමුතුවෙන් කියල දෙන්න අවශ්‍ය නෑනේ. මනුස්සයෙක්ගෙ හුස්ම වල තියෙන්නෙ වායූන් එකතුවක්..හරියටම කිව්වොත් වැඩිපුරම තියෙන්නෙ ඔක්සිජන් සහ කාබන්ඩයොක්සයිඩ් .හැම මනුස්සයම හුස්ම ගන්නකොට ඒ වායූන් පිටවෙනවා. එහෙනං ඇයි මේ මිනිස්සු තෝමස් අල්වා එඩිසන්ගෙන් පිටවුන වායූන් ටිකක් පර්යේෂණ නළයක දාගෙන ඒක මහ වටින දෙයක් විදිහට සමාජයට පෙන්නන්නෙ. විද්‍යාඥයො විදිහට දැන් මට හිනාවුනා වගේ අපි ඇයි ඒකට මහ සද්දෙන් හිනා වෙන්නෙ නැත්තෙ..? ⁣

     ඒකට හේතුව තමයි හිත ඇතුලෙන් ඔයාල දන්නවා ඒ අවසන් හුස්ම කියන දේ සමහරවිට නිකම්ම වායූන් එකතුවක් වෙන්න පුළුවන් වගේම නොවෙන්නත් පුළුවන් කියලා.ඒ අදහස තියෙන්නෙ ඔයාලගෙ හිතේ අභ්‍යන්තරයේ ඈත කොනක.. ඔයාල ඒක ලේසියෙන් පිළිගන්නෙ නෑ. නමුත් ඔයාල දන්නවා.." මහාචාර්යවරයා අවසාන කොටස පැවසුවේ ආවේගශීලී ස්වරූපයකිනි..


     "හොඳයි අපි මේ කතාව තවත් රසවත් කරමුකො.. මම කියනවා මේ සභාවෙ බූතයෙක් ඉන්නව කියල. ඔහේලා ඒකට හිනාවෙනවා.හැබැයි මම ඔහේලට ඇවිත් මේ බෝතලේ අරින්න කිව්වම ඔහේලා කවුරුවත් ඒක කරන්න කැමති නෑ. හරි එහෙනං මම මේක අරින්නම්කො.මහාචාර්යවරයා පවසන්ද්දී කිසිවෙක් වචනයක්වත් නොකීවෝය.. 


 පර්යේෂණ නළය ආධාරකයෙන් ගලවා තම අතට ගත් මහාචාර්යවරයා ඉන් අනතුරුව එහි ගසා තිබූ කිරළ මූඩිය ගලවා දැමීය..


සියලු දෙනාම දෑස් දල්වා බලා සිටියෝය..


කිසිවක් සිදු නොවුනි..


 මහාචාර්යවරයාගේ සමකාලීනයෙකු වූ මහාචාර්ය බෙල් අවසානයේ තම හඬ අවධි කිරීමට සමත් විය..


"කෝ මුකුත් නෑනෙ."


ඒත් සමගම මහාචාර්යවරයා මහ හඬින් සිනාසෙන්නට විය..බෙල් මගෙ මිත්‍රයා.  ඔබත්...?


ඔහේල ඔක්කොම මේ ලෝකය දිහා බලන්නෙ බොහොම පුංචි රාමුවකින් , මමත් ඉස්සර එහෙම තමයි බැලුවෙ.. ඒ නිසා ඔහේලට ඒ ගැන වැරැද්දක් කියන්නත් බෑ. ඒත් දැන් කාලය ඇවිත් ලෝකෙ තියෙන ලොකු පින්තූරය දිහා බලන්න , බලල ඉගෙන ගන්න..! මම ඔහේල ගැන මෙච්චරටම හිතන නිසයි මේ වැඩේ කලේ.. මම අද ඔහේලට ලබා දුන්නෙ ලෝකෙ කවුරුවත් ලබා නොදෙන අවස්ථාවක්...!


අනතුරුව මහාචාර්යවරයා තවත් යමක් පැවසීමට ගියත් ඔහුට කැස්සක් පැමිණියේය.., ආයාසයෙන් තම කැස්ස යටපත් කරගත් ඔහු , මම ඉක්මනින් එළියට ගිහින් එන්නම් යනුවෙන් පවසමින් වේදිකාව පසුපස තිබූ කුඩා දොරටුවෙන් පිටවිය..


මහාචාර්යවරයා පිටව ගිය පසු සියලු දෙනාම කතාකලේ ඔහුගේ මෙම අරුම පුදුම පර්යේෂණ නළයේ සිදුවීම සම්බන්ධවයි. ඔවුන් එසේ සාකච්ඡා කරමින් අතරතුර එකවරම ශාලාවේ දොරටු විවර විය..


විවෘත වූ දොරෙන් එම ස්ථානයට පැමිණියේ අදාල දේශනය සංවිධානය කළ පිරිසෙන් අයෙකි.. 


ඔහුගේ මුහුණ කිසියම් භීතියකට නිරාවරණය උනාක් මෙන් විරූපී වී පැවතුණි..


සියලු දෙනාම තම කතාබස් නවත්වා ඔහු දෙස බැලීය..


ඔහු බියපත් හඬකින් මෙසේ පැවසීය...


"දැන් ටිකකට කලින් මහාචාර්ය ලියනාඩෝ නවාතැන් අරන් හිටපු හෝටලයෙන් අපිට කතා කලා"


"මහාචාර්යතුමා රාත්‍රීයේ ඇතිවුන හදිසි හෘදයාබාධයකින් මිය ගිහින්. ඔවුන් දැන් ටිකකට කලින් කාමරේ තිබිල එතුමගෙ සිරුර හොයාගෙන..!"


නිමි..


             - තරිඳු ලක්ශාන් -

4 comments:

  1. එක හුස්මට කියවගෙන යන්න පුලුවන් මල්ලී. කෙටි කතා හැකියාව ඉස්සරට වඩා දියුණු වෙලා ඔයාගෙ. සතුටුයි.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ..❤️

      Delete
  2. මම ආපහු බ්ලොග්වලට ආ බව කියන්නයි ආවේ. ලිපිය කියවන්න ආයෙත් එන්නම්...

    ReplyDelete