Saturday, October 21, 2023

ලෝක හොරා



සර් , ඔබතුමාව හම්බවෙන්න අමුත්තෙක් ඇවිත්.."


"එයාව එක්කගෙන එන්න."


සේවකයා සමඟ දොන් මුරලියෝ හමුවීමට පැමිණ සිටියේ කෙටි උඩුරැවුලක් සහිත වයස අවුරුදු 40 ක පමණ පුද්ගලයෙකි. කෙට්ටු ඇඟපතක් තිබූ මෙම පුද්ගලයා කුමන වෘත්තීයක නිරත වන්නේද හෝ කුමන තරාතිරමකට අයත් වන්නේද යන්න  බැලූ බැල්මට පැවසීමට හැකියාවක් නොමැති ආකාරයේ පුද්ගලයෙක් විය..


"ඔබතුමා මගේ සේවය ඉල්ලලා තිබුනා.මම පියෙට්‍රෝ.." පැමිණි පුද්ගලයා මුරලියෝ දෙස බලා ඉතාමත් යටහත් පහත්ව සෙමෙන් රහසින් පැවසීය.


"පියෙට්‍රෝ , ලෝකප්‍රසිද්ධ හොරා , ගෙවල් බිඳින්නා ,අති සූක්ෂම තක්කඩියා..."


"ඔබතුමා මට අපහාස කරනව වගේ..."


 "ඒක අපහාසයක් කියල හිතන්න එපා.. මම ඒක කිව්වෙ ඔහේව වර්ණනා කරන්න මිසක් අපහාස කරන අදහසකින් නෙවෙයි." දොන් මුරලියෝ සිනාසෙමින් පැවසීය...


"ඉතින් ඔබතුමා මට කතා කලේ මොකද කිව්ව නම්..? මම හිතන්නෙ නෑ ඔබතුමා මට කතා කලේ රාත්‍රී භෝජන සංග්‍රහයකට ඇරයුම් කරන්න කියල..?"


"හා හා.. රාත්‍රී භෝජන සංග්‍රහයක්. තමුසෙ මම කියන වැඩේ හරියට කලොත් මොකද බැරි..?" මහ හඬින් සිනාසුණු දොන් මුරලියෝ ඉන්පසුව බැරෑරුම් පෙනුමකින් කතා කරන්නට විය.. "අපි යමුකො අර පැත්තට.."

"පියෙට්‍රෝ කියන්නෙ හොයාගන්න ගොඩක් අමාරු මනුස්සයෙක්නෙ.. මට සෑහෙන ගානක් වියදම් උනා තමුසෙව හොයාගන්නත්."


"පොලීසියෙන් , රහස් පරීක්ෂකයන්ගෙන් විතරයි නෙවෙයි.. මම තරහකරගත්ත තවත් ගොඩක් බලවත් මිනිස්සු මේ රටේ ඉන්නව... ඔබතුමාට තේරෙනව ඇතිනෙ , මම මගේ පරිස්සම ගැන හිතන්න එපැයි."


"හ්ම්ම් ඒකත් ඇත්ත තමයි..මම පියෙට්‍රෝව ගෙන්නුවෙ ගොඩක් වැදගත් කාරණාවකට.. මගේ සේවකයන්ට තියා පවුලෙ අයටවත් මේක දැනගන්න තියන්න බෑ."


"මෙහාට එනවකො..."


"ඔහේ දන්නවනෙ , මම අල්පොන්සෝ මුරලියෝ..මගේ පුංචි රටේ ඉන්න ලොකුම සල්ලිකාර පවුල තමයි අපේ පවුල.. මගේ තාත්ත තමයි අල්පොන්සෝ ගුස්ටාවෝ.. තමුසෙ අහල ඇතිනෙ එයාගෙ නමත්.. අපි තමයි මේ රටේ මුලින්ම වයින් හදන්න ගත්තෙ.. අපේ පරම්පරාව තමයි මේ රටේ අංක එකේ වයින් නිශ්පාදකයො."

            "ඔහේ දන්නවද? කොච්චර සල්ලි තිබුනත් ජීවිතේ ලඟා කරගන්න බැරි දේවල් මිනිස්සුන්ට තියෙනව.. මේකත් ඒ වගේ දෙයක් ගැන ප්‍රශ්නයක්.."

      "මගේ තාත්තට තරුණ කාලෙ ඉදලම හීනයක් තිබුනා ලෝකෙ තියෙන ඉස්තරම්ම වයින් බෝතල් වල එකතුවක් හදන්න.. තාත්ත ඒකට උපරිම උත්සාහ කලා.."


"මගෙත් එක්ක එනවකො.."


පියෙට්‍රෝව කැටුව මුරලියෝ ගියේ ඔහුගේ පෞද්ගලික කාර්යාල කාමරයටයි.. එහි විශාල රාක්කයක් මත වයින් බෝතල් තිහක පමණ ප්‍රමාණයක් පැවතුනි...


"මේ බලනවා.. මේවා ඔක්කොම බොහොම දුර්ලභ ජාතියෙ වයින් බෝතල්. මෙතන තියෙන සමහර එ්වා ලෝකෙටම එකයි තියෙන්නෙ.මේවයින් එකක් විතරක් ඩොලර් මිලියන ගානක් වටිනවා. මෙතන තියෙන ඒවයෙන් බාගෙකට වඩා එකතු කලේ මගෙ තාත්තා. ඉතුරු ටික එකතු කලේ මේ මම.. මේ ටික ඩොලර් මිලියන සීයකට වඩා වටිනවා.."


ලබන සෙනසුරාදාට  මගෙ තාත්තගෙ 80 වෙනි උපන්දිනේ..එදාට මම එයාට මේ වයින් රාක්කෙ සම්පූර්ණ කරල දෙන්න ඉන්නෙ.. මම හිතන්නෙ නෑ මම එයාට දිව්‍යලෝකෙට යන්න ටිකට් එකක් අරන් දුන්නත් එච්චර සතුටු වෙයි කියල...හහ් හහ් හා..

"තමුසෙට පේනවද මේ රාක්කෙ මුදුන.."


පියෙට්‍රෝ ඉහළ බැලීය.. රාක්කය මුදුනේ වයින් බෝතලයක් තැබීමට ඉඩ තිබූ නමුත් එහි වයින් බෝතලයක් නොවීය. ඒ වෙනුවට පැවතියේ හිස් ඉඩකි...


ඔය මුදුනෙ තියන්න පුළුවන් එකම එක වයින් බෝතලයයි තියෙන්නෙ.. ඒ තමයි රැජිනගෙ  ඔටුනු පැළැන්දවීම වෙනුවෙන් එංගලන්තෙ ජෝන් කෝල් සමාගමෙන් හදපු රක්ත සිහිනය..ලෝකෙ හොඳම රතු වයින්...!! දියමන්ති බෝතලේක දාලා...!!! දැන් වයින් හදපු ජෝන් කෝල් එකත් නෑ, වහල දාලා , වයින් බීපු රැජිනත් නෑ...  ඒත් රක්ත සිහිනය.. ඒක තාම ඉතුරුයි..


"ජෝර්ජ් කෝල් සමාගමෙන් රැජිනට හැදුවෙ ගොඩක් සුවිශේෂී වයින් බෝතලයක් , ඒක ලෝකෙටම එකක් වෙන වයින් එකක්.. ඒත් වයින් බෝතල් කියන්නෙ බිඳෙන ජාතියක්..!!!"

 ඉතින් එයාල වයින් බෝතල් දෙකක් හැදුවා. එකකට මොකක්හරි උනොත් අනික ගන්න තමයි එයාල එහෙම කලේ. හහ් හහ්.. හැබැයි රැජිනට දෙන්න හිටපු බෝතලේ බිඳුනෙ නෑ...


"රැජින ඒක බිව්වා.. අනික...! අනික මගේ ලඟට ගන්න තමයි මට ඔහේගෙන් උදව් ඕන.."


"ඔබතුමාට කොච්චර සල්ලි තියෙනවද? ඔබතුමාට බැරිද ඒක සල්ලි වලට ගන්න.."


"සල්ලි වලට ගන්න තිබුන නං මම දැනටමත් ඒක අරගෙන ඉවරයි.. ඒක තියෙන්නෙ කෞතුකාගාරෙ.. බ්‍රිතාන්‍යය කෞතුකාගාරෙ..!"


"අන්න ඒකයි මම ඔහේව ගෙන්නුවේ.ඔහේ ගිහින් ලබන සෙනසුරාදාට කලින් මට වයින් බෝතලේ ගෙනල්ල දෙනවා..වැඩේ හරියට කලොත් මම ඔහේට දෙනවා ඩොලර් මිලියනයක්.!!!"


පියෙට්‍රෝ වයින් රාක්කය දෙස බලමින් කල්පනා කලේය..


අනතුරුව සිනාමුසු මුහුණකින් මුරලියෝ දෙස බැලූ ඔහු "ඔබතුමාගෙ වැඩේ කෙරුනයි කියල හිතාගන්න යැයි පැවසීය.."


තම කාර්යාල මේසයේ ලාච්චුව විවෘත කල මුරලියෝ ඉන් ඉවතට ගත්තේ ගුවන් ටිකට්පතක් සහ තරමක් විශාල මුදල් මිටියකි..


"මෙන්න හෙට උදේ පාන්දරම ලන්ඩන් වලට යන්න ගුවන් ටිකට් එකක්.. මෙතන අමතර වියදමට සල්ලි ටිකකුත් තියෙනව... මේ ටික ගන්නව.."


"බොහොම ස්තූතියි සර්.."


"මාකස්..!!" මුරලියෝගේ හඬ ඇසුණු ඔහුගේ සේවකයෙක් වහාම එම ස්ථානයට පැමිණියේය..


හොඳයි එහෙනං.දැන් හවස් වෙලා වෙලා..තමුසෙ අද මෙහෙට වෙලා ඉදල හෙට උදේ පාන්දරින්ම එයාපෝට් එකට යනවා. මම ඔහේව පාන්දරින් එයාපෝට් ගෙනියන්න කියල මාකස්ට කියලයි තියෙන්නෙ. මිනිහ අපේ වාහනේකින් තමුසෙව පාන්දරින්ම එයාපෝර්ට් එකට ගිහින් දායි..


තමුසෙට තව මොනාහරි තියෙනව නම් මාකස්ට කියනව..එයා අඩුපාඩු  ඔක්කොම බලාගනියි..


හොඳයි සර්..


එහෙනං..,  "මාකස් දැන් මේ මනුස්සයව අමුත්තන්ගෙ කාමරේකට එක්කගෙන යනවා."


"හොඳමයි සර්.."


පියෙට්‍රෝව සේවකයා සමඟ යවා තම දෛනික රාජකාරි නිම කළ දොන් මුරලියෝ තම සයනය වෙත ගියේ උතුරා යන සතුටකිනි..  හෙට උදෑසන එංගලන්තය බලා යන සූක්ෂම සොරදෙටුවා තම බලාපොරොත්තුව නිසැක වශයෙන්ම ඉටු කරනු ඇත.. අවසානයේ තම මහලු පියා සහ සොහොයුරන් හට තමන්ගේ හැකියාව පෙන්වීමට ඔහුට අවස්ථාව උදා වී ඇත. පියා හට තවදුරටත් තමාට කුඩා දරුවෙකු ලෙස සැලකීමට මින් පසුව හැකියාවක් නැත.. වයින් රාක්කය දැක සතුටට පත්වන පියා නිසැක වශයෙන්ම තම සොහොයුරන්ට නොව තමා හට වයින් අධිරාජ්‍යයේ යතුර නිසැකවම ලබා දේවි යන සිතුවිල්ල එදින ඔහුට ඉතාමත් සුවබර නින්දක් ගෙන ආවේය..


පසුදා උදෑසනින් අවධි වූ මුරලියෝ තම මන්දිරයෙන් පිටතට පැමිණියේ පියෙට්‍රෝ ගැන සොයා බැලීමටයි.. නමුත් ඒ වනවිටත් මාකස් ඔහුව එයාපෝට් එක වෙත වෙත අැරලවා නැවතත් පැමිණ තිබුනි..


සර් ෆ්ලයිට් එක තිබුනෙ පාන්දර හතරට..සර්ට කරදර කරන්න ඕන නෑ , සර් ඕන කරන ඔක්කොම දීලයි තියෙන්නෙ කියල ⁣පියෙට්‍රෝ කිව්වා... ඉතින් මමත් සර්ට කරදර කරේ නෑ..


ආ ඒකට කමක්නෑ මාකස්...


"සර් මොනාද මිනිහට ගෙනියන්න දුන්නෙ...?" මිනිහ බොහොම පරිස්සමෙන් තමයි පාර්සල් ටික උස්සගෙන ගියේ..වට්ටයි කියල අඩුමගානෙ මටවත් ඒ ටික අල්ලන්න දුන්නෙ නෑ...


"පාර්සල්...? ඒ මොනවද?   ආ..  කමක්නෑ මිනිහගෙ මොනාහරි වෙන්නැති..."


"සර් පියෙට්‍රෝ යන්න කලින් සර්ට මෙන්න මේ ලියුමත් දෙන්න කිව්වා.. සේවකයා තම සාක්කුවෙන් ලියුමක් ගෙන දොන් මුරලියෝ අත තැබීය.."


ලියුම කඩා දැමූ මුරෙලියෝ එහි ලියා ඇති දේ කියව්වේය..


""ආගන්තුක සත්කාර වලට බොහොම ස්තූතියි..සමාවෙන්න. ඒත් ඔබගේ රාජකාරිය බාර ගැනීමට මට හැකියාවක් නැහැ.. ඩොලර් මිලියනයකට වඩා , ඩොලර් මිලියන සීයකට ගන්නා අවදානම වඩා වටිනා බව මට ඊයෙ රෑ පෙනීගියා.."


           "මීට විශ්වාසී පියෙට්‍රෝ"


         

ලියුම කියවූ දොන් මුර⁣ලියෝ පිස්සෙකු මෙන් තම රාජකාරි කාමරය වෙත දුවන්නට විය.. රාජකාරි කාමරය වෙත ගිය ඔහු දුටුවේ කුමක්ද?


ඔහු දුටුවේ හිස්වූ වයින් රාක්කයක් මිස අන් කිසිවක් නොවේ...



නිමි..










 ⁣


7 comments:

  1. එක හුස්මටම කියවගෙන ගියා මල්ලී. රහ පිරි නිර්මාණයක්. ලස්සනයි
    ජ්

    ReplyDelete
  2. තාර්කික හොරෙක්..අපූරු කතාව..
    (මට ආයෙ පරන බ්ලොග් වයිබ් එකක් දැනෙනවා..)

    ReplyDelete
  3. අජිත් ඩී - රුසියාවOctober 26, 2023 at 11:19 PM

    තරමක් රසවත් කතාවක් ලක්ෂාන් මල්ලි.

    ReplyDelete