Saturday, October 14, 2023

රුසියානුවා



    මම දිව්වෙ වැටි වැටී.. දැන් ඔයාල අහන්න පුළුවන් ඇයි මම වැටි වැටි දිව්වෙ කියල.. ඒ හිම නිසා.. දණකට වඩා හිම.. අඩිය තියන්න තියන්න එරෙනවා.. 

       මාව මරන්න එන රුසියානු සොල්දාදුවන්ගෙන් බේරිලා ක්‍රිස්ටෝ ඉන්න පුංචි ගෙදරට දිව්වෙ මට තියෙන එකම බලාපොරොත්තුව එයා නිසා...


දැන් ඔයාල බලනව ඇති ක්‍රිස්ටෝ කියන්නෙ කවුද කියල.  ක්‍රිස්ටෝ කියන්නෙ ක්‍රිස්ටෝපර් ජේකබ්ට.  එයා නිව්යෝර්ක් ටයිම්ස් පත්තරේ පත්තර වාර්තාකාරයෙක්.  ඒත් එයා රුසියාව ගැන තොරතුරු එකතු කරන ඇමරිකානු ඔත්තුකාරයෙක් විදිහට තව රස්සාවකුත් කලා.. මට එයාව හමුවුනේ මීට අවුරුදු තුනකට කලින් මම ක්‍රෙම්ලීන් වල තේ හදන කොල්ලෙක් වෙලා හිටපු කාලෙ..

     ක්‍රෙම්ලීන් තමයි රුසියානු යුධ සැලසුම් හදන තැන. තේ හැදුවට එයාල මට ගෙව්වෙ බොහොම පුංචි ගානයි.. ඒත් දවසක් අහම්බෙන් මට හම්බවුන ක්‍රිස්ටෝ මට හීනෙන්වත් හිතන්න බැරි තරම් ගානක් ගෙව්ව..ඒ හිතන්නවත් බැරි තරම් පුංචි තොරතුරු වලට..


උදාහරණයක් විදිහට කිව්වොත් අපේ හමුදාව උදේ ඉන්නෙ කොතනද කියව්වත් මට මගෙ මාසෙ පඩිය විතර ගානක් ගන්න පුළුවන් උනා... තමන්ගෙ රටට ආදරය කරන රුසියානුවෙක් විදිහට මම ක්‍රිස්ටෝව හමුදාවට අල්ලල දෙන්න ඕන උනත් මම එහෙම කලේ නෑ. ඒකට හේතුව මම රටට ආදරේ නැති නිසා නෙවෙයි.. අපේ සොල්දාදුවො හොඳ නැති නිසා.  උන් මට සැලකුවෙ සතෙක්ට වගේ. ඉතින් මම මොකටද උන්ට උදව් කරන්නෙ.. ඕක තමයි අපේ කතාව..


ඒත් මෙදාපාර මට වැරදුනා.. උන් දැනගත්තා මම තමයි රහස් පිට කරන්නෙ කියල.. ඉතින්  මම පුළුවන් ⁣වෙලාවෙ ජෙනරාල්ගෙ සැලසුමක් හොරකම් කරගෙන ක්‍රිස්ටෝ හොයාගෙන දිව්වා.. අපේ සොල්දාදුවො මගෙ පස්සෙ පැන්නුවෙ පිස්සු බල්ලො වගේ..


ඒත් මම උන් අල්ලගන්න කලින්  ක්‍රිස්ටෝගෙ ගෙදරට රිංගන්න වාසනාවන්ත උනා..


"මොකද ඉවාන් බයවෙලා.?" ක්‍රිස්ටෝ ඇහුවා.


"ඔක්කොම ඉවරයි. මාව අහුවෙන්න ගියා.. මම මේකත් අරන්  පැනගත්තා.. උන් පිස්සු බල්ලො වගේ මාව හොයනව ඇති.. ක්‍රිස්ටෝගෙ අතට ෆයිල් කවරෙ දෙන ගමන් මම කිව්වා.."


"එහෙනං මෙතනින් පැනගන්න වෙලාව හරි"කියපු ක්‍රිස්ටෝ මගෙ අතට සල්ලි වගයක් දීල සුබ ගමන් කිව්වා..


" සුබ ගමන්..? මම කොහෙ හැංගෙන්නද.? මේ පාලු පැත්තටම තියෙන්නෙ මේ ගෙදර විතරයි..එළියෙ හිමට බැස්සොත් මම මැරෙයි.. මාවත් අරන් යන්න" මම ක්‍රිස්ටෝට කිව්වා..


" හිම කරත්තෙ දෙන්නෙක් ගියොත් වේගෙත් අඩුවෙනවා... ඒත් කමක්නෑ. මම කරත්තෙ ලෑස්ති කරන්නං. තමුසෙ මේකත් තියාගෙන ඔතනින් ඉන්නවා.." වොඩ්ක බෝතලයක් මගෙ අතට දීපු ක්‍රිස්ටො හිම කබායකුත් ඇඳගෙන ගෙයින් එළියට බැහැල ගෙට එහාපැත්තෙ තිබුන මඩුවට ගියා.  හිම කරත්තෙයි බල්ලො ටිකයි හිටියෙ ඒකෙ...


ඇමරිකන්කාරයො කියන්නෙ විශ්වාස කරන්න බැරි එවුන් කියල මම දැනගෙන හිටියා.. ඒත් ක්‍රිස්ටො පහුගිය අවුරුදු තුන ඇතුළත මගෙ හොඳම මිත්‍රයෙක් උනා..ඉතින් මිනිහ මාව දාල යන්නෙ නෑ කියල මට හොඳ විශ්වාසක් තිබ්බා..


වොඩ්ක උගුරක් බිබී ජනේලෙන් මඩුව පැත්ත බල ඉන්න මට එකපාරටම එළියෙන් අමුතු සද්දයක් ඇහුන නිසා මම එහා පැත්තෙ ජනේලෙන් මම ආව පාර දිහා බැලුවා... 


සොල්දාදුවෝ.. බල්ලොත් අරගෙන උන් මගේ ඉව පස්සෙ ඇවිත්..  මම දොර පැත්තට දිව්වා.. එතකොට මම දැක්කෙ මොකක්ද දන්නවද..?


කාලකණ්ණි ක්‍රිස්ටෝ කරත්තෙ නැගල තනියෙම පැනල යනවා.


දුවල වැඩක්නැති බව මම තේරුම් ගත්තා. ලඟ තිබුන පුටුවෙන් වාඩිවුන මම වොඩ්ක උගුරක් බිබී සෙබලු ටික මගෙ ලඟට එනකං බලන් හිටියා...


*****  ******   *******  ********* **** 


අවුරුදු 40.. ඔව් මගෙ දඬුවම් කාලෙ උනේ අවුරුදු 40 ක්.. මම හිරෙන් එළියට එනකොට මට වයස අවුරුදු 65 ක්.. ඔව් මම උන්ට අහුනේ වයස අවුරුදු 25 දි..


හිරෙන් එළියට ආව මට කන්න අදින්න තියා ජීවත්වෙන්නවත් විදිහක් තිබුනෙ නෑ.. අවුරුදු හැට ගණන්වල මනුස්සයෙක්ට රස්සාවක් දෙන්න කවුරුවත් කැමති උනෙත් නෑ..


ඒත් ගොඩක් උත්සාහ කරල ලොකු මහත්තයෙක්ගෙ ගෙදර වත්ත සුද්ද කරන රස්සාවක් මට හොයාගන්න පුළුවන් උනා.."මේක තමයි ජීවිතේ" මට හැමවෙලාවෙම හිතුනෙ එහෙම.. එතනින්ම කකා සත පහක්වත් වියදම් නොකර අවුරුදු දෙකක් රස්සාව කලාට පස්සෙ ඇමරිකාවට යන නැවක ටිකට් එකක් ගන්න මට පුළුවන් උනා..


මම මගෙ ජීවිතේ ගත්ත මෝඩ තීන්දු තීරණ එක්ක රස්සාව අතහැරල ඇමරිකාවට යන්න ගත්ත තීරණය මහලොකු තීරණයක් උනේ නෑ..


ඉතින් මම ඇමරිකාවට ගොඩබැස්සා..ඇමරිකාවට ආපු මට ක්‍රිස්ටෝව හොයාගන්න එක මහ දෙයක් උනේ නෑ.. මොකද ඇමරිකාව කොච්චර විශාල රටක් උනත් මිනිහ වැඩ කරපු නිව්යෝර්ක් ටයිම්ස් පත්තර තිබුනෙ රටටම එකයි... මම ගිහින් ප්‍රධාන කාර්‍යයාලයෙන් ඉස්සර යුද වාර්තා ලිපි ලියපු ක්‍රිස්ටෝ ගැන ඇහුවම එයාල මිනිහගෙ ගෙදර විස්තර පවා මට කිව්වා. දැන් ඔයාල බලයි මම කොහොමද ඉංග්‍රීසි දන්නෙ කියලා.. ඒ කාලෙ ක්‍රිස්ටෝ තමයි මට ඉංග්‍රීසි කතා කරන්න ඉගැන්නුවෙ..හොඳටම බැරි උනත් යමක් අහන්න ⁣, තේරුම් ගන්න පුළුවන්  තරමට මිනිහා මට ඉංග්‍රීසි ඉගැන්නුවා.  ඒ අතින් මිනිහ හොඳ මිනිහෙක්...


   අන්තිමට මම ක්‍රිස්ටෝගෙ ගේ හොයාගත්තා.. එ්ක ලොකු මන්දිරයක්.. ඒකෙ ආරක්ෂාව උපරිමයි..මට ඒ වත්තට යන්න පුළුවන්කමක් කොහොමවත් ලැබෙන්නෙ නෑ..


   එත් මම කලිනුත් කිව්ව වගේ මම වාසනාවන්ත මනුස්සයෙක්.. අද ඒ ගෙදර ළමයෙක්ගෙ උපන්දිනේ.. ක්‍රිස්ටෝගෙ මිනිපිරීගෙ උපන්දිනේ.. ⁣ගේට්ටු ඔක්කොම අැරල දාලා.. පවුලෙ අය ඔක්කොම මිදුලට වෙලා උත්සවයක් සමරනවා..


මමත් හිමින් හිමින් ඇතුළට ගියා.. මේන් ක්‍රිස්ටෝ.. මිනිහා අවුරුදු 75 ක විතර නාකියෙක්.. කවුද හි⁣තුවෙ හැඩකාර ක්‍රිස්ටොත් මේ විදිහට නාකි වෙයි කියලා..


මම සෙනඟ අස්සෙන් හිමීට ක්‍රිස්ටො ලඟට ගිහින් එයාගෙ මූණ දිහා බැලුවා.. ඒත් එයා මාව අඳුරගත්තෙ නෑ. එයා පුදුමෙන් වගේ මගෙ දිහා බැලුවා..


"ක්‍රිස්ටෝ.. මම ඉවාන්.." මම හිමීට එහෙම කියද්දි  ක්‍රිස්ටෝගෙ ඇස් ලොකුවුනා.. මම කබාය අස්සෙ හංගගෙන හිටපු පිහිය මිනිහගෙ පපුව හරහා යවද්දිත් මිනිහගෙ අැස් තිබුනෙ ඒ විදිහටමයි...


කට්ටියට කියන්න පුළුවන් මට සමාව දෙන්න තිබුන කියලා. ඒත් අපි රුසියානුවෝ.. අපි මැරෙනකං සමාව දෙන මිනිස්සු නෙවෙයි..


ක්‍රිස්ටොගෙ පවුලෙ හැමෝම බයේ ඒ මේ අත දුවන්න ගත්තා.. මම එතන තිබුන පුටුවකින් වාඩිවෙලා මාව අල්ලං යන්න නිළධාරියො එනකං කබාය අස්සෙ හංගං හිටපු වොඩ්ක බෝතලය අරන් බොන්න පටන්ගත්තෙ මීට අවුරුදු 43 කට කලින් ක්‍රිස්ටො මාව දාල ගියහම රුසියානු හමුදාව මාව අල්ලන්න එද්දි බිව්ව විදිහටමයි..


නිමි..


16 comments:

  1. ක්‍රෙම්ලීනයට ඔබ අපව රැගෙන ගියා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඔයාලගෙ වැඩ නිසා තමයි ආයි ලියන්න හිතුනෙ❤️

      Delete
    2. ඇහුවත් සතුටුයි බං!

      Delete
  2. පුරුදු කතා රසය අදත් දැණුනා මල්ලී. ලස්සනයි.
    ජයවේවා !!!
    වෙලාවක බලන්න.
    https://dumindasanchare.blogspot.com/2023/10/blog-post_14.html?m=1

    ReplyDelete
    Replies
    1. මම නිතරම ගොඩ වෙනව අයියේ.. කොමෙන්ට් දාන්න ලොග් වෙලා නැති එකයි අවුල.. මම ⁣ලොග් වෙලා ඇවිත් කොමෙන්ටුවකුත් දාලම යන්නම් වෙලාවක

      Delete
  3. ඉස්සර කාලේ රුසියානු පරිවර්තන කියවපු මතකය අවදි උනා.

    ReplyDelete
    Replies
    1. ඔව් බං! උඹ "ශනිදා දහය" එක්ක සෙට් උනේ නැත?

      Delete
    2. බොහොම ස්තූතියි

      Delete
  4. ෂාාාා අපූරුයි නෙව....
    රුසියානුවෝ සමාව නුදුන්නත් ලංකාවේ අපි සමාව දෙනවා නේ

    කොළොම්පුරේ අසංග

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ..

      Delete
  5. Replies
    1. ස්තූතියි ඩ්‍රැකී අයියේ..

      Delete
  6. ෙමාන්තක්‍රිස්ෙතා් කතාෙව ෙබ්ර්තුච්චිෙයා් මතක් වුණා

    ReplyDelete
  7. හුම්. අගෙයි. මරැ කතාව!
    දිගටම ලියන්ට. ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි

      Delete