Monday, December 7, 2020

ලංකාපුර දේව

      කාලයේ වැලි තලාවට යටවුණු එක්තරා වීරයෙකුගේ කතාවක්!!!

  


          මේ ක්‍රිස්තු වර්ෂ 1166 අවුරුද්දයි. එක්තරා සුවිශාල මහා දේශයක පිහිටි තවත් එක සුවිශාල රාඡධානියක රඡකම වෙනුවෙන් මහා බල අරගලයක් නිර්මාණය වෙමින් පැවතිණි. තරුණ කුමාරයෙක්  රාඡධානියේ රඡකම වෙනුවෙන් එවකට සිටි රඡතුමා හා සටනට පිවිසියේය. එම මහා දේශයේ බල කෑදර කුමන්ත්‍රණකාරී වෙනත් රාඡ්‍යන්ගෙන් ද උපකාර ලබාගත් තරුණ කුමරා යුද්ධයයේ වාසිය තමා වෙත ලඟාකරගනිද්දී අසරණ වූ රඡතුමා තම පැරණි මිත්‍රයෙකු වූ මුහුදෙන් එතෙර පිහිටි කුඩා දූපත්  රාඡ්‍යයක රඡ කෙනෙකුගෙන් උපකාර පැතීය.

    උපකාර පැතූ රාඡ්‍යය  දූපත්වාසී කුඩා රාඡ්‍යයක් වූවද එම රාඡ්‍යයේ රඡතුමා මහා චක්‍රවර්තී අධිරාඡ්‍යයෙකුට නොදෙවනි වූවෙකු විය. සතර දිශාවෙහි අධිරාඡ්‍යන්ගෙන් පවා ගරු බුහුමන් ලැබූ මෙම රඡතුමා තමා⁣ගෙන් උදව් ඉල්ලූ කෙනෙකුට කිසිදා පිටු නොපාන අන්දමේ සුරු විරු පාලකයෙක් විය..

           හසුන්පත අතලැබූ මහරඡතුමා වහාම තම සෙනෙවියන්ගෙන්⁣ ⁣ශ්‍රේෂ්ඨතම  සෙනෙවියන්ගෙන් කෙනෙක් කැඳවීය..


ඔහු නමින් "ලංකාපුර දේවයි"


මිත්‍රවරුනි මෙය තවත් සුරංගනා කතාවක් නෙවේ.. මෙය ඉතිහාසයයේ වැලි තලාවෙන් යටවී ගිය අපේ ඡාතියේ ශ්‍රේෂ්ඨත්වය පෙන්නූ කාලයයි.

 

මේ පරාක්‍රමබාහු යුගයයි!!!


     ඉන්දියාවේ පාණ්ඩ දේශයේ සිංහාසනයට එකල විශාල බල අරගලයක් ඇතිවිය. සිහසුනට උරුමකම් කියූ කුලසේකර නම් කුමාරයා පාණ්ඩ පාලක පරාක්‍රම රඡුගේ මදුරාවේලිය නම් නුවරට චෝල රඡුගේ උපකාර ඇතිව තද බල ප්‍රහාරයක් එල්ල කලේය.

          අසරණ වූ පාණ්ඩ පාලක පරාක්‍රම රඡු ලංකාවේ පරාක්‍රමබාහු රඡුගෙන් උදව් පැතුවේය.


   හසුන්පත ලැබූ වහාම ලංකාපුර මහසෙනවි යටතේ ලංකාවේ විශාල සේනාවක් ඉන්දියාව ආක්‍රමණය සඳහා පිටත්කිරීමට රඡතුමා තීරණය කලේය.

          නමුත් ලංකාපුර සෙනෙවි තම හමුදාවන් සූදානම් කරන අතරතුර ලංකාවට තවත් පුවතක් ලැබුණි.


එනම්


"" පාණ්ඩ පාලක  පරාක්‍රම රඡු හා පවුලේ සියලු දෙනාවම සතුරන් විසින් මරා දමා ඇති බවයි"""


    තම රැකවරණය පැතූ අසරණ රඡු , තමන්ගේ උපකාර ලබා දීමටද පෙර මියයාම පරාක්‍රමබාහු රඡතුමාහට සිදුවූ මහා අපහාසයක් මෙන් විය.


  නැවතත් තම සේනාපති ලංකාපුර කැඳවූ පරාක්‍රමබාහු රඡු වහාම ඉන්දියාව ආක්‍රමණය කර බලෙන් පාණ්ඩ්‍ය දේශයේ සිහසුන ලබාගත් කුලසේකර රඡු පරදවා රඡකමට සුදුසු වෙනත් කෙනෙක් හට එහි රඡකම ලබාදෙන ලෙස අණකෙරීය.


          තම රඡුගේ අණ හිස්මුදුනෙන්  පිළිගත් මහා වීරයෙකු වූ ලංකාපුර , තම මහා සේනාවද ගෙන නැව් නැග ඉන්දියාව කරා යාත්‍රා කලේ මුලු මහත් ලංකාවටම ⁣මහා ගෞරවයක් ගෙන දෙන යුධ පෙරමුනේ නායකයා වෙමිනි.මෙය ලංකා ඉතිහාසයේ අමරණීය ගමනකි


      පාණ්ඩ්‍ය දේශයේ සතුරන් හට තම මරණය මතක් කරමින් ,, ලංකාපුර මහ සෙනෙවි ප්‍රමුඛ ලාංකික හමුදාව පාණ්ඩ්‍ය දේශයේම නැව් තොටකට බලෙන්ම ගොඩ බැස්සෝය.

          ලංකාවේ සිංහනාදය මහා අධිරාජ්‍යයක් සසල කල පළමු පියවර එය විය.ඉන් අනතුරුව ඇති වූයේ මහා විශාල සුවිශාල යුද්ධයකි.

       දිනෙන් දිනම මහ සටන් තුළින් ඡයග්‍රහණ පිට ඡයග්‍රහණ ලබා ගත් මහ සෙනෙවි ඉන්දියාවේ එක්තරා ප්‍රදේශයක් ඡයගෙන පරාක්‍රම පුර නමින් නව නගරයක්ද එ⁣හි බිහි කෙරීය.  මෙය ලංකා ඉතිහාසයේ තවත් එක පරිච්ඡේදයකි.


       නව නගරයේ මහා යුධ අගල් වලින් සපිරි අංගසම්පූර්ණ බලකොටුවක් ගොඩ නැගූ ලංකාපුර ඉන් අනතුරුව ඉන්දියාවෙන් සිරකරුවන් සහ සුවිශාල  වස්තුවද ලබා ගෙන එ්වා නැව් වලින් තම මාතෘභූමිය වූ  ලංකාව වෙත එවීමටද සමත්විය.

       ලංකාපුර බලකොටුවකට වී සිටින බව දැනගත් කුලසේකර ලංකාපුර පරාඡය කිරීමට සේනාවක් ගෙන ආවද ලංකාවේ අභිමානය රැන්දූ මේ මහා වීරයා ඒ සටන ඉතා පහසුවෙන් ඡය ගත්තේය..

         අනතුරුව ලංකාපුර ඉතා සැලසුම් සහගතව ඉන්දියානු දේශයේ කොටසින් කොටස යටත් කරගැනීමට පය තැබීය. සටන් කලාවන් මෙන්ම දේශපාලනයද හොඳින් දැන සිටි මොහු පාණ්ඩ්‍ය දේශයේ දමිළ ප්‍රධානීන් තෑගි බෝග ලබා දී තම පක්ෂයට ගැනීමටද සමත්විය. 


       මෙසේ ඡයග්‍රහණ ලබමින් සිටින ලංකාපුරට මියගිය පාණ්ඩ්‍ය පාලක පරාක්‍රමගේ එක් පුතෙකු ඡීවතුන් අතර සැඟවී සිටින බව සැල විය. තම ඔත්තුකරුවන් ලවා වහාම තරුණ කුමරා තමා ලඟට ගත් ලංකාපුර ,,


හසුනක් යවා තම රඡුගේ ආශිර්වාදය ලබාගෙන සටනේ දෙවනි පියවර තබන්නට විය.

 

       තරුණ කුමාරයාට තම රැකවරණය ලබා දුන් ලංකාපුර මහ සෙනවි පාණ්ඩ්‍ය දේශයේ නව අගනුවර වූ මධුරාපුරයට තම ආක්‍රමණය මෙහෙය වීය. ලංකාපුර සතු හමුදාවේ ප්‍රභල බව හා ශ්‍රෙෂ්ඨත්වය දැක බියට පත් වූ කුලසේකර කුමරුගේ පිරිස්ද ලංකාපුර හට සහයදීමට පැමිණියෝය..

       ඔවුන් සියලු දෙනාගේ සහය ඇතිව ලංකාපුර සෙනෙවි මධුරාපුරය යටත් කර ගැනීමට සමත්විය. පරාඡය වී ගිය කුලසේකර නැවත පැමිණියද ඔහුව නැවතත් පරාඡය කිරීමට ලංකාපුරට හැකි විය.

       අවසානයේ පාණ්ඩු කිරුළ උරුමකරුට ලබා දීමට ලංකාපුර සෙනෙවිට හැකි විය.


     ලංකා ඉතිහාසයේ ලංකාපුර විරුවා සහ පිරිස පිළිබඳව කතාව එතනින් අවසන් වේ.මොහු නැවත ලංකාවට පැමිණියාද ඔහුට සහ ඔහුගේ සේනාවට කුමක් සිදුවුනාද  යන්න ඉතිහාසයේ කාලයේ වැලි තලාවෙන් වැසුණු රහසකි.

       නමුත් ඉන්දියානු ශිලා ලිපියක චෝල අධිරාජ්‍යයාට එරෙහිව සටන් කිරීමට ගොස් පරාජය වූ  ලංකාපුර සහ ඔහුගේ සහයක සියලු සෙනෙවි වරුන්ගේ හිස් ,, චෝල රාඡ්‍යයේ අධිරාජ්‍යයාගේ තාප්පයේ ගසා තිබූ බව සටහන්ව ඇත.නමුත් ඔහුගේ මධුරාපුරය ඡයග්‍රහණය , සහ ඔහුගේ ආක්‍රමණය ගැන ඉන්දියානු ඉතිහාසයේ කිසිඳු සඳහනක් නැත.


ඇතැම් විට හමුදාව සඳහා යොදාගත් ඉන්දියානුවන්ගේ පාවාදීමකට ලක් වූ ලංකාපුර චෝළ භූමියේ සටන් භූමියක මිය යන්නට ඇත. 

නැත්නම්  ඇතැම් ඉන්දියානු සෙල්ලිපි අනුව යමින් චෝල අධිරාජ්‍යයා තම නම්බුව රැක ගැනීම පිණිස බොරුවක් රචනා කරන්නට ඇත.

       ඇතැම් විට ලංකාපුර තම ඡයග්‍රහණය ද රැගෙන ලංකාවට පැමිණ ඡීවත්වන්නට අැත.

         කෙසේ වෙතත් ලංකාපුර සහ ඔහුගේ වීර සෙබලුන් පිරිස කළ රාඡකාරිය ඉතිහාසයට එකතු වී ඇත. අප  ඒ ඉතිහාසය අමතක කොට දමා ඇත.


මේ ඒ ඉතිහාසය මතක් කරදීමට දැරූ ඉතා කුඩා වෑයමකි. 


(ඡායාරූපය අන්තර්ඡාලයෙනි , තොරතුරු මගේ මතකයේ පරිදි ගොනු කර ඇති අතර අඩුපාඩු ඇත්නම් පෙන්වා දෙන ලෙස ඉල්ලා සිටිමි)


~තරිදු ලක්ශාන්~


     


Wednesday, October 28, 2020

බජිරා

                                           


බස්නාහිර පළාතේ කොළඹ ඇතුලු අනෙකුත් දිස්ත්‍රික්ක සමඟ සැසදීමේදී කලුතර දිස්ත්‍රික්කය පහුගිය කාලය පුරාම ඉතාමත් සාමකාමී දිස්ත්‍රික්කයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලාගෙන පැවතුණි.අතරින් පතර අල්ලාගත් සොරුන් , කුඩුකාරයන් හා තක්කඩියන් කිහිපදෙනෙකු හැරෙන්නට වෙනස් කිසිදු සාහසික  අපරාධයක් අසන්නට නොලැබුණු  මෙම කළුතර දිස්ත්‍රික්කය එක්වරම සලිත වූයේ කලුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සමඟයි.  

  

කලුතර දිස්ත්‍රික්කයම සසල කරමින් මියගොස් සිටියේ ඩැනියෙල් කරූ නැමැති තිස් පස් හැවිරිදි විවාහක පුරුෂයෙකි. තිදරු පියෙක් වූ මොහුව හවස තම වෙළඳසැල වසා දමා නිවසට පැමිණෙන අතරතුර කිසිවෙකු විසින් හිසට පොල්ලකින් පහර දී මරා දමා තිබුණි. මොහුගේ ඝාතනය රටේ , ලෝකයේ සිදුවන මිනිමැරුම් සමඟ ගත් කල සාමාන්‍ය සිදුවීමක් විය හැකි වූවත් , මෙම සිදුවීම ඒවායින් වෙනස් වූයේ මෙම සිද්ධියේ ඇති එක් සුවිශේෂී ලක්ෂණයක් නිසායි. එම ලක්ෂණය නම් මියගොස් සිටි පුද්ගලයාගේ හෘද වස්තුව මෘත ශරීරය තුළ නොමැති වීමයි. මිනිමරුවා විසින් මිය ගිය පුද්ගලයාගේ පපු ප්‍රදේශය කපා විවර කර හෘද වස්තුව රැගෙන ගොස් තිබුනි. මෙම මරණය සමඟ ආරම්භ උන කලුතර භීතිය තවත් උත්සන්න වූයේ, මේ පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී මාස තුනක් යන්නටත් පෙර තවත් මරණ තුනක් මේ ආකාරයෙන්ම සිදු වීමෙනි. 


ප්‍රාදේශීය පොලිස් ස්ථාන කිසිවකට මෙම සිද්ධිය පිළිබඳව කිසිවක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ අතර මෙම සිදුවීම්වල බරපතළ බව තේරුම් ගත් දිස්ත්‍රික් බාර ප්‍රධාන පොලිස්පතිතුමා විසින් මේ සිද්ධිය අනාවරණය කිරීම සඳහා පොලිස් පරීක්ෂක එදිරිමුණි ඡයවික්‍රම ප්‍රමුඛ කණ්ඩායමකට බාර දෙන ලදී. අපරාධ විශාල සංඛ්‍යාවක් අනාවරණය කරගෙන සම්මානයට පාත්‍ර වී සිටි අකුරටම වැඩ කරන පොලිස් නිළධාරියෙකු වූ එදිරිමුණි මහතා මෙම පරීක්ෂණය බාර ගත්තේ නිසැකවම අපරාධකරුවා අල්ලා නීතිය හමුවට ගෙන ඒමේ අදිටනෙනි. එදිරිමුණි මහතා සමඟ සෑම විටම ඔහුගේ හිතවත්ම මිත්‍රයෙකු බඳු වූ  උප පොලිස් පරීක්ෂක රත්නවීර විය. 


"රත්නවීර , ඔයා දන්නවද අපේ පොලීසි වලට මේ අපරාධය අල්ලගන්න බැරි වෙලා තියෙන්නෙ මොකද කියල?" එදිරිමුණි මහතා ඇසීය. 


"නෑ සර්" 


"මේ ඝාතන ඔක්කොම වෙලා තියෙන්නෙ එක එක පොලිස් වසම්වල. කොච්චර කොහොම උනත් රත්නවීර , එක පොලීසියකින්වත් කැමති නෑ තවත් පොලීසියක් ඇවිත් තමන්ගෙ පැත්තෙ වැඩ වලට ඇඟිලි ගහනවට.මේ වැඩේ නිසා තමා පොලීසියට  ඕන කරන ගොඩක් වටිනා  සාක්ෂි යට යන්නෙ" 


"ඉතින් සර් මේ තත්ව යටතෙ අපි  කොහොමද බාදා වීම් නැතුව මේ පරීක්ෂනේ කරන්නෙ?" 


අපිට තියෙනව පොලිස්පතිතුමා අපේ පරික්ෂණය නිදහසේ කරගෙන යන්න දීපු අවසරය. අපිට ඕන තැනකට ගිහින් ඔන විදියකට ප්‍රශ්න කරල තොරතුරු අරගෙන මේක විසඳන්න පුලුවන්. 


"ඉතින් සර් අපි කොහෙන්ද මේක පටන්ගන්නෙ?" 


"අපි යමු පළවෙනි ගොදුර ඩැනියල්  කරූ ගේ ගෙදරට"


"අනිත් කට්ටියව යවන්න අනිත් මර්ඩර් තුන සිද්ධවුන ගෙවල් වලට, ඒ ගෙවල්වල විස්තර , නෑයන්ගෙ විස්තර , මරණය ගැන මරණ පරීක්ෂක වාර්ථා , ඒ ගැන අදාල පොලිස් වාර්ථා විතරක් නෙවෙයි , එයාලට කියන්න සිද්ධිය ගැන පරීක්ෂණ කරපු නිළධාරීන් එක්කත් ටිකක් කතා බහ කරල තොරතුරු අරගෙන හෙට හවස් වෙන්න කලින් හොයාගත්ත තොරතුරු මගේ මේසෙ උඩ තියන්න කියල’’ 


“හොඳයි සර් මම ඒ ඔක්කොම ලෑස්ති කරන්නම්.’’ 


මිනිමරුවාගේ පළවෙනි ගොදුර වූ ඩැනියල් කරූ මහතා වෘත්තීයෙන් ව්‍යාපාරිකයෙක් විය. ඔහු විසින් බේරුවල ප්‍රදේශයේ හාඩ්වෙයාර් එකක් කරගෙන යමින් සිටියේය. 


"ගෙදර කවුද?..ගෙදර කවුද?.. අපි මේ පොලීසියෙන්’’ 


 අවුරුදු පහක පමණ ලමයෙක් වඩාගෙන තිස් හය හැවිරිදි වියේ  පමණ පසුවන කාන්තාවක්  නිවසේ දොර විවෘත කලාය. 


" එන්න සර් ඇතුලට " 


අපි මේ ආවෙ ඩැනියල් කරූ මහත්මයගෙ මරණය ගැන කරුණු ටිකක් ගැන දැනගන්න. 


"සර් අපි හැමදෙයක්ම කලින් ආපු පොලීසියෙ සර්ලට කියුවනේ ... අනේ සර් ... මගෙ මහත්තයව මරපු කෙනාව අල්ලල දඬුවම් දෙන්න මහත්තයා ‘’ 


"අපි ඒකට තමයි මේ මහන්සි වෙන්නේ, මට ඔබතුමියගෙන් අහන්න ප්‍රශ්න කිහිපයක් තියෙනව , මහත්තයට හතුරො එහෙම හිටියද’’ 


"මගෙ මහත්තයට හතුරො කියල කවුරුවත් හිටියෙ නෑ, මගෙ මහත්තය ගොඩක් අහිංසක කෙනෙක්. උදේ හාඩ්වෙයාර් එකට ගිහින් හවසට එනව හැරෙන්න එයාට කා එක්කවත් කතා කරන්නවත් වෙලාවක් තිබුනෙ නෑ’’ 


"එතකොට මහත්තයගෙ යාලුවො’’ 


"එයාට යාලුවොත් හිටියෙ නෑ. එයා වැඩිය කාවවත් ආශ්‍රය කරන මනුස්සයෙක් නෙවෙයි’’ 


"ගෙදරයි හාඩ්වෙයාර් එකයි හැරුනහම එයාට වෙන ඡීවිතයක් තිබුනෙ නෑ" 


"එතකොට හාඩ්වෙයාර් එකේ සේවකයො?" 


"ඒක පොඩි හාඩ්වෙයාර් එකක් සර්, මගෙ මහත්තය ඒකෙ වැඩ ටික තනියෙමයි කරගත්තෙ" 


"එතකොට මහත්තය වැඩ ඇරිල එනකොට හාඩ්වෙයාර් එකේ දවසෙ ආදායම එහෙම ගෙදර ගේනවද" 


"නෑ සර්  එයා හාඩ්වෙයාර් එකේ සල්ලි ඔක්කොම හාඩ්වෙයාර් එකේම තියෙන සේප්පුවෙ දාල තියන්නෙ. එයා හැම සෙනසුරාදම සේප්පුව ඇරල ඔක්කොම ගණන් හදල බඩු ගේන්න ඕන වෙන සල්ලි එහෙම තියල , වැඩිපුර සල්ලි බැංකුවට දාල ගෙදර පාවිච්චියට අවශ්‍ය ගාන විතරයි අරගෙන එන්නෙ’’ 


"හොඳයි අපි ගිහින්  එන්නං, නැවත ඕන උනොත් අපි එනවා ‘’ 


"හොඳයි සර්. ඉක්මනින්ම මේ  අපරාධකාරයට දඬුවම් ලබාදෙන්න’’ 


"නිවසින් එළියට බැස ජිප් රථය අසලට ගිය එදිරිමුණි මහතා රථයට නොනැගම බර කල්පනාවක නියැලී සිටියේය...⁣ 


"මොකක්ද සර් ප්‍රශ්නෙ?" 


“මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනව රත්නවීර” 


“මේ මනුස්සයට යාලුවෙක් කියන්න කෙනෙක් නෑ , තරහකාරයෙක් කියන්න කෙනෙක් නෑ. අපි හෘද වස්තුව ගැන ප්‍රශ්නෙ ටිකකට අමතක කරමුකො. ඒත් මේ මනුස්සයව මංකොල්ල කන්නවත් හේතුවක් නෑ. මේ මනුස්සය සල්ලි ගේන්නෙ සෙනසුරාදා දවසක. ඒත් මරල දාල තියෙන්නෙ බදාදා දවසක.... මම මුලින්ම හිතුවෙ මේ ඔක්කොම මුදල් හොරකම් කරන අපරාධ කල්ලියක වැඩක් වෙන්න පුලුවන් කියලයි.  නමුත් ඒකත් එහෙම නෙවෙන පාටයි ‘’ 


“සර් මෙයාගෙ වයිෆ්ගෙ වෙන සම්බන්ධයක්’’ 


‘’මම හිතන්නෑ රත්නවීර දරුවො තුන්දෙනෙක් එක්ක හෙළවෙන්න බැරුව ඉන්න මේ ගෑනු කෙනාට වෙන සම්බන්ධයක් තිබුන කියල. මොකද පොඩි ළමය උනත් නිතරම අම්ම එක්ක ගෙදර. අනිත් එක කරූගෙ තාත්තත් මේ ගෙදරලු ඉන්නෙ ... මේක නං මම හිතුවට  වඩා ලොකු  ප්‍රශ්නයක් වෙන පාටයි... අපි යමුකො පොලීසියට අනිත් කට්ටිය දැන් වාර්තා ටිකත් හදල එවල ඇතිනෙ’’ 


පොලිසියට නැවත පැමින ඝාතන පහ සම්බන්ධ වාර්තා අතට ගත් එදිරිමුණි මහතා නැවතත් එකින් එක කියවා බලා මේසය උඩින් තැබීය..ඔහු මේවා නැවතත් කියවූයේ දසවන වතාවටයි, කොතරම් වෙහෙස වූවද තමාට මරණකරුවන් අතර ශක්තිමත්  සම්බන්ධයක් ගොඩනගාගැනීමට නොහැකි වීම ගැන ඔහුට ඔහු කෙරෙහිම ආවේ පුදුම කෝපයකි. මරණකරුවන් සියලුම දෙනා මරා දමා තිබුනේ කිසිවෙකුත් නොදකින  අවස්ථා වලයි. එමෙන්ම තම දෛනික රාඡකාරි සිදුකරන විටයි.හරියට අපරාධකරු නිවැරැදිවම තම ගොදුර ඩැහැගත හැකි තැන දැනසිටියාක් මෙන්විය. 


එදිරිමුණි මහතා හිස් කඩදාසි කොළයක් ගෙන තම සාක්ෂි සටහන් කරගන්නට විය.. 


ඩැනියල් කරූ මහතා (බේරුවල) හවස හාඩ්වෙයාර් එකේ සිට නිවසට එනවිට හිසට පොල්ලකින් පහර දී මරා දමා හෘදය ගලවා ගැනීම.*සාක්ෂි කරුවන් හෝ කිසිදු සාක්ෂියක් නොමැත 


ප්‍රියංකර ඡයසුන්දර මහතා (මතුගම) හවස වැඩ නිමවී එන විට පාලු පාරකදී හිසට පොල්ලකින් පහරදී හෘද වස්තුව ගලවා ගැනීම.*සාක්ෂි කරුවන් හෝ කිසිදු සාක්ෂියක් නොමැත 


සාගර කස්තුරිආරච්චි මහතා (පානදුර) හවස මුහුදු වෙරළේ සක්මන් කිරීමට ගිය විට හිසට පොල්ලකින් පහර දී හෘද වස්තුව ගලවා ගැනීම *සාක්ෂි කරුවන් හෝ කිසිදු සාක්ෂියක් නොමැත 


කරුණාතිලක සූරියආරච්චි මහතා (පයාගල) සවස මෝටර් බයිසිකලයෙන් වැඩ ඇරී නිවසට එන අතරතුර මගදී බයිසිකලය නවතා , ඔහුව ලන්දකට ගෙන ගොස් පොල්ලකින් පහර දී මරාදමා හෘද වස්තුව ගලවාගෙන තිබුනි *සාක්ෂි කරුවන් හෝ කිසිදු සාක්ෂියක් නොමැත. 


ඒ ඒ ප්‍රදේශ බාර පොලිසි විසින් මරණ කරුවන් පිළිබඳව සම්පූර්ණ විමර්ශනයක් සිදු කර තිබූ අතර වාර්තා පරික්ෂා කිරීමේදී එදිරිමුණි මහතාට පෙනී ගියේ මේ ඝාතන සියල්ල පෞද්ගලික හේතු හෝ මුදල් කොල්ලකෑමේ අරමුණින් කල ඒවා නොවන බවයි.. 


හෘද වස්තුව ගලවා ගැනීම හැර  , මරණකරුවන් අතර සම්බන්ධයක් හෝ එකම එක සුවිශේෂී  කරුණක් , මිනිමරුවා අතින් සුලු අත්වැද්දක් සිදු වී තිබුනා නම්!!! .... එදිරිමුණි මහතාගේ හිස යකාගේ කම්මල මෙන් විය, ඔහු නැවතත් කරුණාතිලකගේ සිද්ධිය දෙස බලද්දී බයිසිකලය ගැන එකවරම හිතට සැකයක් ආවේය , ඔහු වහාම ඇමතුමක් ගත්තේ තම සහයකයා වූ රත්නවීරටයි. 

"රත්නවීර ...අර පයාගල කේස් එක ගැන විස්තර ගෙනාව කෙනාට ඉක්මනින් මෙහෙට එන්න කියනව’’ 


"සර් මට කතා කලාද?" 


"ආ නිශ්ශංක , තමුසෙද විස්තර හොයන්න ගියේ?" 


“ඔව් සර්’’ 


“මට දැනගන්න ඕන  සිද්ධිය උන තැන තිබුන බයිසිකලය ගැන.. මොනවද නිශ්ශංකට ඒ බයිසිකලේ  ගැන හොයාගන්න පුලුවන් උනේ. ඔයා මට ගෙනල්ල දීපු වාර්තාවෙ ඒ ගැන හරි තොරතුරක් නෑ ‘’ 


“ බජාජ් 125 බයික් එකක්, මරණකාරය හැමදාම එකෙන් තමයි වැඩට යන්නෙ එන්නෙ. මරණය උන දවසෙත් ඔහු ඒකෙන් තමයි වැඩට ගිහින් තිබුනෙ. හවස එනකොට තමයි ඔහුව මරල දාල තියෙන්නෙ. මිනිය හම්බවුන තැනට ආසන්නයේම පාර අයිනෙ බයිසිකලේ නවත්තල තියෙනකොට තමා හම්බවෙලා තියෙන්නෙ සර්’’ 


"බයිසිකලේ ස්ටෑන්ඩර්ඩ් ගහලද නවත්තල තියෙන්නෙ?" 


“ඔව් සර්..’’ 


"එතකොට බයිසිකලේ නවත්තල තිබුන එක ගැන පයාගල පොලීසිය මොකක්ද නිගමනය කරල තියෙන්නෙ .. ‘’ 


“සර් ඒ හරිය ගොඩක් පාලු පැත්තක්. බයිසිකලේ බලෙන් නවත්ත ගන්න ඇති කියලයි එයාල හිතන්නෙ” 


“එතකොට නිශ්ශංක... මරණය සිද්ධවුන තැන පාරෙ ලී කොටයක් , එහෙම නැත්නම් මොකක්හරි බාදකයක් දාපු සලකුණක් දකින්න ලැබිල තියෙනව ද?" 


“නෑ සර් , සර් නිතරම ඔය වගේ  ප්‍රශ්න අහන නිසා මම කේස් එක හැඩ්ල් කරපු නිලධාරියවම හම්බවෙලා ඔය ගැන ඇහුව. එයා කියපු හැටියට එතන එහෙම කිසිම දෙයක් තිබිල නෑ ‘’ 


“එතකොට බයිසිකලේට මොනවහරි හානි එහෙම වෙලා තිබිල තියෙනව ද ‘’ 


“නෑ සර් එහෙම දෙයක් වෙලා නෑ. මම යනකොටත් පොලිස් රථ ගාලෙ බයිසිකලේ තිබුන. මම පරික්ෂා කරල බැලුව’’ 


"හ්ම්ම් ඔයාට යන්න පුලුවන්!" 


"හොඳයි සර්" 


ඔය කියන ආකාරයට බයිසිකල්කරුව බලෙන්  නවත්වාගෙන නැති බව තීරණය කිරීමට දක්ෂ අපරාධ පරීක්ෂකයෙකු වූ එදිරිමුණි මහතාට දෙපාරක් සිතීමට අවශ්‍ය නොවීය. බලෙන් බයිසිකලය නවතාගෙන මිනිහෙක් මැරීමට බලාපොරොත්තු අයෙක් හෝ පිරිසක් ඔහු බයිසිකලයේ ස්ටෑන්ඩ් එක ගසන තුරු ඉවසිලිමත් නොවන බව ඔහුගේ පළපුරුදු ඉවට තහවුරු විය. ඔවුන් කලබල වී කරුණාතිලක මහතාව ..බයිසිකලයෙන් ඇද ගන්නට ගියා නම් බයිසිකලය බිම පෙරළි තැලීම් සහ සීරීම් ලකුණු තිබිය යුතු බවද එදිරිමුණි මහතා කල්පනා කලේය. අනිවාර්යයෙන් හඳුනන කිසියම් අයෙකු මොහුව වැඩ ඇරී යන අතරමගදී නවතාගෙන ඇතිබව ඔහුට ඉතාමත් හොඳින් අවබෝධවිය. මරණකරු පාරේ යන විට ඔහුට පෙනෙන්නට සිටිමින් ඔහුගේ අවධානය ලබාගෙන කතාබහක් සඳහා ඔහුව මාර්ගයෙන් ඈතට රැගෙන ගොස් මරා දමා ඇති බව තේරුම් ගැනීමට එදිරිමුණි මහතාගේ පළපුරුදු තීක්ෂණ ඥානයට වැඩි වේලාවක් නොගියේය, මේ මනුස්සයට ඔහොම නං උනේ අනික් අයටත් වෙන්න ඇත්තෙ ඔහොම වෙන්න පුලුවන්, මේ මිනිස්සු ගැන හොඳටම දන්න කෙනෙක් තමයි මේක කරල තියෙන්නෙ, ඒත් මෙයාල හැමෝම දන්න මේ කෙනා කවුද.. එදිරිමුණි මහතා වහාම රත්නවීරව තම කාර්යාල කාමරයට කැඳවීය. 


“රත්නවීර , අර මැරණ අයගෙ ගෙවල් වලට ගිහින් ඒ මිනිස්සු  ඡීවත්උන දවස්වල පොටෝ  ටිකක් එකතු කරගන්නව.ඊට පස්සෙ  පොටෝ ටිකත් අරගෙන මැරුන අය  හැමෝගෙම ගෙවල් වලට ආපහු යනව,  

ගිහින් එයාලට ඔය පිංතූර පෙන්නල ඒවයෙ ඉන්න අයව  කලින් දැකල තියෙනව ද අහනව’’ 


“සර් දැනටම අනික් පොලීසි වලින් ඒ ගැන හොයල ඇති.. ‘’ 


“ඒකෙන් වැඩක්නෑ රත්නවීර. මට ඕන ඔයා මේ දේ කරනව දකින්න ‘’ 


"හොඳයි සර්" 


ප්‍රශ්නය ගැන කල්පනා කරමින් එදිරිමුණි මහතා දවසම තම කාර්යාලයට වී සිටියේය, හවස වැඩ නිමවීමට මොහොතක පෙර උප පොලිස් පරීක්ෂක රත්නවීර පැමිණියේය. 


“තමුසෙ වෙලාවට ආව රත්නවීර. ඉතින් කොහොමද මම බාරදීපු රාඡකාරියෙ ප්‍රතිඵල?" 


“වැඩක් නෑ සර් එයාලගෙ පවුල් වල  කවුරුවත්ම කාවවත් අඳුර ගත්තෙ නෑ.’’ 


“ශික්, මම හිතුව මෙතනින් හරි අපිට පොටක් පාද ගන්න පුලුවන් වෙයි කියල , ගන්නව බලන්න තමුසෙ ඒ ගෙවල්වලින් ඉල්ල ගත්ත පොටෝ ටික’’ 


"මේ තියෙන්නෙ සර්" 


“මේ ප්‍රියන්කරගෙ පොටෝ එක කවද ගත්ත එකක්ද කියල තමුසෙ අහගත්තද රත්නවීර..’’ 


“ඔව් සර් , පැහැදිලිව අඳුරගන්න ඕන නිසා මම ලඟදි ගහපු ෆෝටෝමයි ඉල්ලගත්තෙ.  මේක මේ මනුස්සය මැරෙන්න සතියකට කලින් ගහපු එකක් සර්..’’ 



“ඩ්‍රයිවර්ට කියනව ඉක්මනින් වාහනේ ලෑස්ති කරන්න කියල. අපි ඉක්මනින්ම යන්න ඕන ඩැනියල් කරූගෙ ගෙදරට’’ 


"ඒත් ඒ මොකටද සර්?" 


“මගේ යකා අවුස්සන්නේ නැතුව මං කියන එක කරනවා රත්නවීර ඉක්මනට‘’ 


........................................... 


‘’ගෙදර කවූද ..මිසිස් ඩැනියෙල් අපි පොලිසියෙන් .. දොර අරින්න’’ 


‘’සර් ආයෙමත් ‘’ 


‘’සමාවෙන්න මිසිස් ඩැනියෙල්  අද දවසෙම ආපහු පාරක් කරදර කරන්න උනාට, එත් ඔබතුමියගෙන් මේ ගැන මටම දැනගෙන තහවුරු කරගන්න ඕන උන නිසාමයි මම ආපහු  මේ ආවෙ, මැඩම් කලිනුත් බැලුවට කමක්නෑ , මම කියනවට මැඩම් ආපහු පාරක්  මෙන්න මේ පොටෝ ටික අරගෙන හොඳට බලන්න. දැකල පුරුදු මූණක් තියෙනව ද කියල’’ 



‘’නෑ ඉන්ස්පෙක්ටර් නෑ’’ 


‘’එහෙනං කමක්නෑ මැඩම්, මම දැන් අනෙක් ගෙවල්වලටත් ගිහින් මේව පෙන්නල බලන්න ඕන, මේ අපේ කට්ටිය මම කියන හැටියටම වැඩ කරනවද කියල කවුද දන්නෙ. ඒ නිසා මමම ගිහින් බලන එකනෙ හොඳ , එදිරිමුණි ඇය දෙස බලා සිනා සෙමින් පැවසීය’’ 


එය ඇසූ උප පොලිස් පරීක්ෂක රත්නවීරගේ මුහුණ කඡු ලෙල්ලක් මෙන් ඇඹරී යනු එදිරිමුණි මහතා දුටුවේය.. 


“ඔබතුමිය අපිට දීපු සහයෝගයට ගොඩක් ස්තූතියි ... කෝ පොඩි එක්කෙනා ... මටත් ඉන්නවා ඒ වයසෙම  කොල්ලෙක් ‘’ 


එසේ පවසා වටපිට බලත්ම කාමරයේ සැඟවී සිටි අවුරුදු පහක් පමණ වු කුඩා දරුවා , සැඟවී සිටි තැනින් එළියට පැමිණ මව හාදැවටෙන්නට විය. 


"ආ මේ ආවෙ .... කෝ එන්ඩ බලන්ඩ  චූටී පුතා ‘’ 


යැයි පවසා දරුවා ලඟට ගෙන ටික වේලාවක් සුරතල් කරමින් සිට 


“ආ පුතාට ලස්සන මාලෙකුත් තියෙන්නේ ....  කවුද පුතාට මේ මාලේ ඇරගන දුන්නේ ‘’


“දරුවට අපලයි කියල සුරය දැම්මේ... මහත්තයගේ මළගේ නිසා නිසා කිල්ලට අහුවෙනවට ගලවල තියල ... දැන් තුන්මාසෙත් ඉවර නිසා ආපහු දැම්මා’’ 


“මගේ පුතාගෙත් වෙළාව  බැලුවම කිව්වා එයාට හොඳටම අපලයි කියල. මාත් සෙත්සාන්තියක් කරගන්න හොද තැනක් හොය හොය හිටියේ ‘’ 


‘’යටදොළ දේවාලේ ගුණතුංග කපු මහත්තය ලඟට යන්න  සර්, තක්කෙටම හරියනවා , අපේ මහත්තයත් අවුරුදු ගානක ඉදල එහෙන් තමයි  වැඩකරගත්තේ ... මේ සුරයත් හදලා දුන්නේ ඒ ගුරුන්නාන්සෙම තමා’’


‘’කලින් වෙලාව වෙන්කරගන්ඩ   ඕනද ..ෆොන් නම්බර් එකක් එහෙම තියනවද ‘’ 


‘’නෑ නෑ සර් එතන එච්චර ප්‍රසිද්ධ තැනක් නං නෙවෙයි.. නොම්බරය තියනවා මම දෙන්නං ‘’ 


‘’ බොහොම ස්තුතියි මැඩම්  ... අපි ගිහින් එන්නං ‘’ 


ජිප් රථයට නැගුන එදිරිමුණි  මැද කණ්ණාඩිය හරහා පිටු පස සිටින කෝපය සහ කලකිරීම මුසුවූ රත්න වීරගේ මුහුණ දැක සිනාසෙමින් 


"මොකද රතන්වීර තමුසෙට මළපැනලා" 


‘’නෑ සර් එහෙම එකක්නෑ...’’ 


‘’නැත්තෙ මොකද ඕයි ... තමුසේ දැන් හිතන්නේ මං අර ගෑණිට වහවැටිලා, ඒ ගෙදරට රිංගලා, ඒ ගෑනි ඉස්සරහ තමුසෙව පාච්චල් කරලා කතා කරා කියලනේ ... මම තමුසේ රාජකාරි හරියට කරනවද බලන්ඩ ආවා කියුවේ .. බැරිවෙලා හරි ඒ මනුස්සයා මේකට සම්බන්දයක් තිබුන නං තොරතුරු වසන්කරන හින්දා ... බලනවා මේ පින්තුරේ’’ 


එදිරිමුණි ඡායාරූපයක් අතට ගෙන වාහනයේ පිටුපස ආසනයේ සිටි රත්නවීර අතට දුන්නේය.. 


"මේ අර මම අරගෙන ආව  මැරිච්ච ප්‍රියංකරගෙ ෆොටෝ එකනෙ සර්?" 


‘’ඔව් ඒක තමා, ආයේ පාරක් හොදට බලනව මිනිහගෙ බෙල්ල දිහා’’ 


‘’සර් පෙන්නුවමනෙ සර් මමත් ඒක දැක්කෙ. අර ගෙදර පොඩි ළමයගේ ඡාතියෙම සුරයක්නෙ මේ මනුස්සය දාගෙන ඉන්නෙත්’’  


‘’ඔය ඡාතියෙ සුර කඩවල්වල ගන්ඩ නෑ. ඕක සුවිශේෂී ක්‍රමයකට කැටයම් කප්පවල හදවපු සුරයක්, මම කලින් ආපු පාර ළමයගේ කරේ තිබුන සුරේ දැක්කා, මේ කේස්වල සමානකමක් තිබුනට සම්බන්දයක් තිබුනේ නැනේ... දැන් අපිට පොටක් පෑදුන මනුස්සයෝ... අපි මෙහෙම්මම යටදොළ ඔය කියන දේවාලයට යන්ඩ ඕන’’ 



හිතුවාට වඩා සුවිශාල දේවාලයක් වූ එම දේවාලය , පුරාණ රඡ කාලයට අයිති වූවක් බව එහි ගලින් බැඳ තිබූ බිත්ති වලින් පෙනී ගියේය,නමුත් ඔවුන් යන අවස්ථාව වන විට දේවාලය වසා දමා තිබුණි. දේවාල භූමියේ පසෙක වාඩි සිටි වයස අවුරුදු හැටක පමණ  පුද්ගලයෙකු දුටු එදිරිමුණි මහතා ඔහුගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසීමට තීරණය කළේය. 


"ලොකු උන්නැහේ, කෝ කපු මහත්තය නැද්ද" 


"මොකෝ මහත්තයෝ ඔය මහත්තුරු කපු මහත්තය ගැන හොයන්නෙ" 


‘’මම මේ ලඟ රාඡකාරි වැඩකට ආව ගමන්, කපුමහත්තයට කියලා සෙත්සාන්ති කරගත්ත කිහිප දෙනෙක්ම මට කියුවා මේ දේවාලේ හාස්කං තියන තැනක් කියලා ... මටත් පොඩි වැඩක් තියනවා කරගන්ඩ ...කපු මහත්තයව හම්බෙලා ඒ ගැන කතා කරගන්ඩ ආවේ’’ 


‘’අද නං කපු මහත්තය නෑ මහත්තයෝ, අද දවස අවුරුදු ගානකට පස්සෙ එන විශේෂ අමාවක දවසක්ලු, ඒ නිසා කපු මහත්තය විශේෂ පූඡාවක් තියන්න උදේ පාන්දරම රත්නපුරේ ගියා එන්න දවස් තුනක්වත් යයි කියල තමා කිව්වෙ, මං තමයි දේවාලේ බලාගන්නේ’’ 


"එතකොට කපු මහත්තයගේ ගේ තියෙන්නේ කොහෙද , මට වෙන දවසක ගෙදරට ගිහින් හරි හම්බෙන්ඩ බැරියෑ’’ 


‘’දැන්නං ගෙදරත් කවුරුත් නෑ ... කපු මහත්තය තනියමනේ ඉන්නේ .... ඔය මහත්තයල ආව ප්‍රධාන පාරන් මතුගම පැත්තට  යනකොට හැරෙන්න හම්බවෙන පළවෙනි  පාරෙ වම් පැත්තේ තුන්වෙනි ගේ’’ 


‘’එහෙනං අපි ගිහින් එන්නං ලොකු උන්නැහේ’’ 


පිරිස දේවාල භූමියෙන් එන්නට පිටත් වූ නමුත් එදිරිමුණි මහතාගේ සිත දීර්ඝ කල්පනාවක පැටලී තිබුණි.. 


‘’සර් අපි දැන් කොහේද යන්නේ’’  


‘’කපුවගේ ගේ පැත්තට හරවලා වාහනේ අයින් කරල නවත්තනවා’’ 


යැයි පවසා ජංගම දුරකථනය ගෙන කිසිවෙකු හෝ ඇමතු එදිරිමුණි 


‘’මචං .. ශාමන්ත මම එදිරී ... උඹට කොහොමද .. මට උදව්වක් ඕන,   පර්මිශන් ඇරගන්න වෙලාවක් නෑ රේඩ් එකක ඉන්නේ, පුලුවන් තරං ඉක්මනට මම කියන මේ නම්බර් එකේ ලෝකේෂන් ඩීටේල් මට දාහං, හෙඩ් ඔෆිස් හරහා රික්වෙස්ට් එකක් මම හෙට එවන්නං ..කම්පණි එකට.... රයිට් ඕකේ  ෂුවර් මචං ෂුවර්... ඒ විනාඩි පහ මම මෙතනම ඉන්නං’’ 


යැයි පවසා විනාඩි කිහිපයක් ජංගම දුරකතනය දෙසම බලා සිටි එදිරිමුණි 


‘’රත්නවීර ... කපුවා කොහේවත් ගිහින් නෑ ... අද උදේ පාන්දරම ගෙදර තියන හරියෙදි ෆෝන් එක වැඩකරලා තියනවා, ඉක්මනට ඒ ගෙදරට යමු’’ 


කපු මහතාගේ නිවස වෙත ගිය නිළධාරීන් ඇමතු එදිරිමුණි 


‘’ වටේ ගාඩ් කරනවා පැනල යන්ඩ දෙන්ඩ එපා , කඩනවා පිටිපස්සේ දොර ‘’ 


‘’සර් සෝදිසි වරෙන්තුවක් ‘’ 


‘’ මගෙන් කුණු හරප අහගන්ඩ එපා ඕයි ... කඩනවා දොර ... එකවගේ සුර .. මිනිස්සුන්ගේ පපු පළලා හදවත් ඇරගන ... මේක සීරියස් කේස් එකක්’’ 


‘’මෙතන ඇති දෙයක් නෑ සර්, අපරාදේ අපි ඇතුලට ආවේ, පැන්ෂන් එකටත් කෙලවෙයි සර්’’ 


‘’ මගුලක් කියවන්නේ නැතුව හොදට හොයනවා ඕයි’’


සර් මෙහෙට එන්න මේ ෆිඡ් එකේ ඇතුලෙ ලේ , රතන්වීර කෑ ගැසීය.. 


‘’පේන හැටියට මේව මිනිස් ලේ පැල්ලම් ... රත්නවීර..මේ කපුවා තමයි අර මිනිස්සු පස් දෙනාව මරල තියෙන්නෙ .. ගන්නව ඡීප් එක ඉක්මනින්ම යමු දේවාලෙට’’ 


පිරිස දේවාල භූමියට යන විටත් වයසක මිනිසා බුලත් විටක් කමින් දේවාල භූමියට වී සිටියේය.. ඔහුට කතා කිරීමටවත් අවසරක් ලබා නොදුන් එදිරිමුණි මහතා ඔහුගේ ගෙලින් අල්ලා තර්ඡනාත්මක ඔහු ඇමතීය 


‘’කෝ කපුවා’’ 


‘’මම සර්ලට කලිනුත් කිව්වෙ රත්නපුරේ ගියා’’ 


‘’මැරුම් කන්ඩ එපා මිනිහෝ, ඔක්කොම එළිදරව් වෙලා තියෙන්නෙ. තමුසෙගෙ කපුවා මිනීමරුවෙක්..’’ 


‘’මිනීමරුවෙක්’’ 


ඔහු විසල් දෑසෙන් යුක්තව ඇසීය.. 


‘’ඔව් මිනීමරුවෙක්.මිනිහ තමයි අර කලුතර දිස්ත්‍රික්කයම කළඹපු මිනීමැරුම් ටික කරල තියෙන්නෙ තමුසෙත් දන්න දේවල් දැන්ම කිව්වෙ නැත්නම් , තමුසෙටත් කපුව එක්කම පෝරකේට යන්න තමයි වෙන්නෙ, බලනව මේ පිංතූර ටික තමුසෙ දැකල තියෙන අය ඉන්නවද කියල, මෙයාලව තමයි ඒ මරල දාල තිබුනෙ’’ 


‘’මොනවා..කරූ මහත්තය, සාගර මහත්තය, මේ අනිත් අය හැමෝමත් දේවාලෙට ආවගිය මහත්තුරුනෙ..අනේ බුදු මහත්තයෝ මම මේ කිසිදෙයක් දැනන් උන්නේ නෑ , කපු මහත්තයා දේවාලෙ ඇතුලෙමයි ඉන්නෙ , එයා කිව්ව අද දවසම විශේෂ පූඡාවක් කරනවා ඒක ඉවරවෙනකං  කාටවත් එයා ඉන්න තැන කියන්න එපා, රත්නපුරේ ගියා කියල එන අයව හරවල යවන්න කියල’’ 


‘’රත්නවීර බලා ඉදල බෑ කඩමු දොර’’ 


‘’ ලොකු උන්නැහැ තමුසේ කොහේවත් ගිහින් වැඩ වරද්දගන්නැ මෙතනම ඉදගන ඉන්ඩ ඕන’’ 


ඉතාමත් අපහසුවෙන් දේවාලයේ දොරේ අගුල කඩා දැමූ පොලිස් නිලධාරීන්ට දේවාලයේ කොහෙන්වත්  කපුවා සොයා ගැනීමට නොහැකි විය, නමුත් විමසිලි සහගතව සොයා බැලීමේදී , දේවාලයේ ප්‍රධාන දේව රූපයට පිටුපසින් පොළව යටට යම් උමං මාර්ගයක් විවෘත වී ඇති බව ඔවුන්ට දැක ගැනීමට හැකි විය. ගලෙන් බැඳ තිබූ මෙම උමං මාර්ගය දේවාලය තරමටම පැරණි එකක් විය.. 


‘’රත්නවීර ලඟම පොලීසියට කතා කරල වහාම උදව් ඉල්ලනව.. හරි සර් මම මැසේඡ් එකක් දැම්මා, එයාල එන්න තව පැය බාගයක් විතර යයි..’’ 


‘’අපිට එච්චර වෙලා බලන්න ඉන්න බෑ.  කවුද දන්නෙ මෙතන මොනව වෙනවද කියල..අපි මේ උමගට ගිහින් බලන්න ඕන, බණ්ඩාර තමුසෙත් එනවා’’ 


පොලිස් පරීක්ෂක එදිරිමුණි පැවසීය. 


පොළව මතුපිටින් ආරම්භ වූ ගුහාව කෙමෙන් කෙමෙන් පොළව අභ්‍යන්තරය කරා දිවෙන බව මේ වන විට පොලිස් පරීක්ෂකතුමා හට අවධාරණය වී තිබුණි.. 


‘’මේක අපි හිතුවට වඩා ලොකු ගුහාවක්නෙ සර්.. කොච්චර ගියත් කෙළවරක් නෑ වගේ..මිනිමරු ගුණතුංගය උනත් මෙතන හැංගෙයි කියල මට නං හිතෙන්නෑ සර්’’ 


‘’ගුණතුංගය හැංගෙන තැනයි, හැංගෙන්නැති තැනයි දැනගන්න තමුසෙ ගුණතුංගගෙ තාත්තද බණ්ඩර කටපියාගෙන එනවා ‘’ 


උමග තුළ විනාඩි පහළොවක පමණ ගමනකින් පසු ඔවුන් බලාපොරොත්තු වූ ස්ථානයට පැමිණි බව ඔවුන් හට පැහැදිලි වූයේ , උමග කෙළවර වූ විශාල ශාලාවක යම් විශාල ආලෝකයක් දක්නට ලැබීමෙණි..හිමින් සීරුවේ ඒ දෙස බැලූ නිළධාරීන් හට දැකගත හැකි වූයේ ගුහාව තුළ වූ පිළිරුවක් වටා මනුෂ්‍ය හදවතක් තබාගෙන, ඒ පිළිමයට පහන් පත්තු කර වන්දනා කරමින් යම් යාතිකාවක නිරතවෙන ගුණතුංග කපුවායි.. නිළධාරීන් බලා සිටියදීම යාතිකාව  අවසන් කල ගුණතුංග කපුවා වේවැළක් ගෙන වේගයෙන් ඒ මේ අත හඩ නැගෙන පරිදි වනන්නට විය........ඒත් සමගම පුරාණ ප්‍රභූ වරයෙකු මෙන් සැරසුන, ආරෝහ පරිණාහ දේහයකින් යුතු  , කඩවසම් තරුණයෙක් දේවාලයේ අඳුරු කොනක සිට පැමිණියේය..ඔහුගේ දෑත දෙපය විශාල යකඩ දම්වැලකින් විලංගු දා තිබුණි. ඔහුට ඇවිදීමට හැකි වූයේ දම්වැලේ දිගට පමණි.


‘’කාපිය මේකත් කාපිය’’ 


යැයි අණකරමින් ගුණතුංග කපුවා වේවැළෙන් තරුණයාට පහර දෙන්නට විය, තරුණයා මිනිස් හෘදය ගෙන තම මුවට ලංකරන විට, තවත් බලා සිටිය නොහැකි වූ එදිරිමුණි මහතා තම රාඡකාරි පිස්තෝලය ගෙන ඉදිරියට පැමිණියේය.. 


‘’නවත්තපං ඔය පාහර වැඩේ’’ 


තමාගේ කෑ ගැසීමත් සමඟ බියපත් වන කපුවා වේවැළ බිම දමා යටත් වේයැයි එදිරිමුණි මහතා සිතුවත් සිදුවූයේ අනෙකකි.. 


බලවත්ව කිපුනු මුහුණකින් යුත් කපුවා එදිරිමුණි මහතාට පහරදීමට තැත් කලේය.. 


ඩොං... 


වෙඩි හඬින් මුලු ගුහාවම දෙදරුම් කෑවේය, එදිරිමුණි මහතාගේ පිටුපසින් සිටි රත්නවීර , එදිරිමුණි මහතාට පහර දීමට උත්සාහ කල කපු මහතාට වෙඩි තබා තිබුනි, බිම වැටුණු කපු මහතා පෙරළෙමින් කෙඳිරිගාමින්, කතා කරන්නට විය.. 


‘’ඕකට මම කැවුතු තුනක් කැව්වා  ඔය අන්තිම කැවුත්තත් ඌට  කන්න දියව් , නැත්නම් මගෙ මහන්සිය වතුරේ යනුවෙන් පවසමින් සදහටම දෑස් පියා ගත්තේය’’ 


කපුවාගේ ඡීවිතය බේරා ගැනීමට ඔවුන්ට කළ හැකි දෙයක් නොමැති බව තේරුම් ගත් එදිරිමුණි  තම දෑස දම්වැලින් බැඳි තරුණයා දෙසට යොමු කලේය...  පුරාණ ප්‍රභූ වරයෙකු මෙන් ඇඳුම හැර වෙනත් විශේෂත්වයක් නැති අහිංසක පෙනුමක් සහිත ඔහු කම්පනයට පත්ව සිටිනවා වැනි පෙනුමක් දිස්විය. 


‘’තමුන් කවුද, කොහොමද මූට අහුවුනේ, ගම කොහෙද’’ 


එදිරිමුණි මහතා තරුණයාගෙන් විමසුවේ ඔහුව දම්වැල් වලින් මුදාගෙන දේවාලයෙන් පිටතට රැගෙන ඒන අතරතුරය. 

  

වික්ශිප්ත බවක් පෙන්වූ තරුණයා , කිසිවක් නොපවසමින් එදිරිමුණි දෙස ඔහේ බලා සිටියේය 


‘’සර් සර් , රත්නවීර මහත්තය සර්ව ඉක්මනට පහලට එක්කං එන්න කියුවා’’ 


උමග තුල රැදී උන් බණ්ඩාර දේවාලයෙන් පිටතට පැමීන රත්නවීර නැවතත් තමන්ට උමග තුලට පැමිනෙනමෙන් යැයි ඉල්ලා සිටිනවා යැයි කියන්නේ මන්දැයි සිතමින් , ඒ වනවිටත් පොලිස් අණට කීකරුව රැදී උන් මහලු මිනිසා අසලින්ම තරුණයා බිම හිදුවා 


‘’ ලොකු උන්නැහැ මෙයාව හොදට බලාගන්නවා ‘’ 


යැයි පවසා බණ්ඩාරත් සමග නැවතත් උමග තුලට පිවිසුනේය 


‘’සර් මේ බලන්ඩ’’ 


රත්නවීර තම අත තිබූ සාක්කු විදුලි පහන කපුවා විසින්  පුඡා පැවැත්වූ පිළිමයට එල්ල කලේය, එම පිළිමයේ නෙළා තිබූ ඇඳුමේ සිට මුහුණේ හැඩය පවා සර්ව සම්පූර්ණයෙන්ම .. ඔවුන් විසින් බේරාගන පිටතට රැගෙන ගිය තරුණයාට සමාන විය, එම පිළිමට කෙලින් අනිත් පස තිබෙන පිළිමයේ බියකරු මුහුණක් සහ විශාල නිය පිරුණු අත්පාද සමඟ සතෙක් මෙන් පෙනෙන පිළිමයේ ඇඳුමද අනෙක් පිළිමයේ සහ තරුණයාගේ ඇඳුමට සමාන විය. 


‘’ ඉක්මන් කරනවා ... යමු එලියට’’ 


රත්නවීර සහ බන්ඩාරත් කැටුව එදිරිමුණි දේවාලයේ මිදුලට දිව එනවිට 


දේවාලය බලාගන්නා මහලු මිනිසාගේ මළ සිරුර වැලි පොලව මත වැතිර තිබුණි.. ඔහුගේ හදවත ගලවා කමින් සිටියේ අර්ධ මනුෂ්‍ය ස්වරූපයෙන් යුත් සත්වයෙකි.. ඒ සත්වයාගේ ශරීරය ආවරණය වී තිබුනේ පොලිස් නිළධාරීන් විසින් මීට සුලු වේලාවකට පෙර කපු මහතාගේ ග්‍රහණයෙන් බේරා ගත් තරුණයාගේ ඇඳුම් වලිනි. මහ හඬින් හූ හඩ තබමින් එදිරිමුණි මහතා සහ රත්නවීර මහතා දෙස බැලූ සත්වයා එක්වරම අතුරුදන් වී ගියේය.. 


‘’සර් සර් දැක්ක, රත්නවීර දාඩිය පිස දමමින් ඇසීය..’’ 


‘’ඔව් මම දැක්ක රත්නවීර’’ 


"ඒ මොකෙක්ද සර් ඒ" 


‘’මම දන්නෑ මනුස්සයෝ’’ 


‘’අපි කොහොමද සර් මේක රිපෝට් කරන්නේ, මේ මනුස්සයගෙ මරණෙ ගැන අපි කොහොමද සර් කියන්නෙ දැන්, අපි ලොකු අමාරුවක වැටුනෙ, දැන් අපේ කට්ටිය මේ ලගටම ඇවිත් ඇති’’ 


‘’නෑ රත්නවීර, අපි මේක ගැන කාටවත් කියන්නෑ , බණ්ඩාර තමුසෙත් අහගන නේද ඉන්නේ’’ 


ඒ වන විටත් අතිශයින් බියට පත්ව බිම හිදගන සිටි බණ්ඩාර ඇමතු එදිරිමුණි 


"මේ මනුස්සයව මැරුවෙත් කපුවම තමයි" 


සහයක පිරිස් එන තෙක් බලාසිට , දේවාල මුරකරුවාගෙ මරණයද කපු මහතාගේ ගිණුමට බැර කල එදිරිමුණි ඉතාමත් සාර්ථකව තම රාඡකාරිය ඉටු කරමින් අපරාධකරුවා පරාඡය කොට  තම ප්‍රධානීන්ගේ නොමද පැසසුමට භාඡනය වී කලක් ගෙවී ගියද එදිරිමුණි ගේ හිතට සැනසීම නොලැබුනේ මුහුණ දුන් සිද්ධියේ අත්භූතකම නිසාය. 


තමන්ගේ පාසැල් මිතුරෙකු වන ප්‍රසිද්ධ පුරාවිද්‍යාඥකු වන අබේසුමනට මුහුණ දුන්න සත්‍ය සිද්ධිය නොපවසා යටදොළ දේවාලය පිලිබදව පුරාවිද්‍යා විමර්ශනයක් කරන මෙන් ඉල්ලා සිටියේය , එම දේවාලය සහ කිසිවෙක් දැන නොසිටි උමග තුල තිබුන දේවාලය පිලිබදව කිසිදු පර්යේෂණයක් කලින් සිදුකර නොතිබුන නිසාම , පහසුවෙන්ම අවසර ලබාගන මාස කිහිපයක් ඒ වෙනුවෙන් වෙහෙසුන අබේසුමන දිනක් එදිරිමුණි හමු වීමට පැමිණියේය. 


‘’ගොඩක් ස්තූතියි... එදිරි .... මට මේ හෝඩුවාව දුන්නට, මීට කලින් මේ ගැන විමර්ශනයක් කරල නැත්තෙ ඇයි කියල මට හිතාගන්න බෑ. එතන ඒ තරමටම වටිනා අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් තියෙන තැනක්’’ 


"ඉතින් අබේ  මොනවද හොයාගන්න ලැබුනේ’’ 


‘’මම කලිනුත් කිව්ව වගේ මේක අවුරුදු දහස් ගානක ඉතිහාසයක් තියෙන තැනක්. මේක හදපු කෙනෙක්වත් , හදපු කාලයක් ගැනවත් තාම මට හරියටම නිගමනයකට එන්න බැරිවුනා. ඒකට කාබන් පරීක්ෂණයක් කරන්න වෙයි..’’ 


‘’අර උමග යට තියන පිළිම ගැන මොකද හිතෙන්නේ ‘’ 



‘’ඒ පිළිමයත් දේවාලය හදපු කාලෙම හදපු එකක්. මම ඒ ප්‍රදේශය පුරාම කරපු විමර්ශන වලින්  මට ගැමියන්ගෙන් මෙන්න මෙහෙම කතාවක් දැනගන්න ලැබුනා..’’ 


 ඔය පොළව යට තියන දේවාලෙ හදලා තියෙන්නේ "බජිරා" කියල ප්‍රාදේශිය දෙවි කෙනෙක් වෙනුවෙන්!!! 

      බජිර කියන්නෙ ඒ ප්‍රදේශයේ ඈත අතීතයේ හිටපු ප්‍රාදේශීය නායකයෙක්ගෙ පුතෙක්. මිනිහ ඒ කාලෙ ඒ පැත්තෙ වීරයෙක් වගේ හිටපු කෙනෙක්. මිනිහ තරුණ කාලෙදිම තමන්ගේ තාත්තට අයිති ප්‍රදේශයක් හතුරන්ගෙන් ආරක්ෂාකරගන්න කරපු සටනකදි මියගිහිල්ලා, ඊට පස්සෙ තමයි දේවත්වයට පත්වෙලා තියෙන්නෙ ,

    වසර සීයකට වරක් එන අමාවක රැයක ⁣එ් දෙවියා යක්ෂයෙක් බවට පත්වෙලා ඒ ප්‍රදේශයේම ඉන්න මිනිස්සු මරලා දානවා කියල ප්‍රදේශයේ පැරැන්නන්ගේ විශ්වාසයක් තියනවා , ඒකට හේතුව මිනිහ මරණයට පත්වෙන්නෙ අමාවක දවසක කාසි  වලට තමන්ගෙම ගමේ මිනිස්සු කරපු  පාවා දීමක් නිසාය කියලයි කියන්නේ. 


මේකට පිළියමක් විදියට ඒ දේවාලෙ පරණ කපු මහත්තුරු අවුරුදු ගානකින් එන විශේෂ අමාවක දවසකට මේ කියන අර්ධ දෙවියව මන්තර වලින්  අල්ලල බැඳල හිර කරනවලු, ඊට පස්සෙ ඔවුන් තෝරාගත්ත බැතිමත්තු හතර දෙනෙක්ගෙ හදවත් ඒ අර්ධ දෙවියාට කන්න දීල ඔහුගේ යක්ෂ ස්වරූපය සන්සුන් කරල ඊට පස්සෙ දවසෙ උදේට මුදාහරිනව කියලයි කියන්නෙ.... 


‘’මේ ගුණතුංග කියන කපුවත් මට හිතෙන හැටියට ඔය කියන පරම්පරාවෙ එකෙක්. මිනිහත් ඔය දේව පූජා කරන්ඩයි උත්සාහ කරන්ඩ ඇත්තේ , මිත්‍යා විශ්වාස පස්සෙ යන මෝඩ මිනිස්සු මේ සමාඡයටම පිළිලයක් , දරුපවුල් හතරකට පියා අහිමි උන එක විතරයි... නැද්ද එදිරී’’ 


තම මිතුරාට පෙනෙන ලෙස සැහැල්ලු සිනහමුසු මුහුණක් මවාගත් එදිරිමුණි 


"" ඔව් බහුබූත පස්සෙ යන මෝඩයෝ ""


යනුවෙන් පැවසීය.

Tuesday, September 22, 2020

කතෘ බූතයා



          අද උදේ ඉදලම මම පසුවුනේ ගොඩාක් සතුටින්. ප්‍රසිද්ධ අත්භූත කතා ලේඛක බටුවන්ගල මහත්තයා එයාගෙ අලුත්ම කෘතියෙ පිටපත් වලින් එකක් මට දෙන්න තීරණය කලා කියන ආරංචිය අහපු දවසෙ පටන්ගත්ත මගෙ සතුට අද වෙනකොට දෝරෙ ගලාගෙන ගියේ අද තෑග්ග මගේ අතට ලැබෙන්න තියෙන දවස නිසා..

                  පහුගිය දවස්වල මුහුණුපොත හරහා තිබුන හොඳම පාඨකයා තෝරන තරඟයකින් තමයි මට ඒ පොත දිනාගන්න අවස්ථාව ලැබුනේ. බටුවන්ගල මහත්තයා විසින්ම පවත්වපු ඒ තරඟෙදි එතුමා විසින් එතුමගෙ පොත්වල තිබුන විවිධ කරුණු ඔස්සේ පාඨකයන්ගෙන් විවිධ ප්‍රශ්න විමසුවා. හැබැයි එතන හිටපු එක පාඨකයෙක්ටවත් මාව නං පරාද කරන්න පුළුවන් උනේ නෑ. 

     සොහොන් පිටියෙන් ආ පිල්ලිය , අඳුරු නැකත , ගුප්ත සුරපුරයේ මරණීය කන්‍යාව , රාක්ෂ දියණිය , අත්භූත පෙට්ටිය , මාරක උදෑසන ඇතුලු බටුවන්ගල මහත්තයාගෙ දැනට ආපු සියලුම පොත් ,  මම වගේ දහවතාවකටත් වඩා කියවල තිබුන පාඨකයෙක් එතන නොසිටපු නිසා මට ඡයග්‍රහණය ලැබුනේ නිතරඟයෙන්. තරඟය ඡයග්‍රහණය කලාට පස්සෙ මුහුණුපොත හරහා ම⁣ට සුබපතපු බටුවන්ගල මහත්මයා මට ලබාදෙන තෑග්ග හැකි ඉක්මනින් තැපැල් කරන බව පැවසුවා.එතුමා තැපැල් කරපු දිනේ එක්ක බලනකොට හරිනං අද තෑග්ග එන්න ඕන දවස.

                     තෑග්ගට ලැබෙන අලුත් පොත ගැන හීනලෝකෙක අතරමං වෙලා තිබුන මගෙ හිත අාපහු මේ ලෝකයට අරගෙන ආවෙ ලියුම් මා⁣මගෙ බයිසිකලේ ටිලිං ටිලිං , ටිලිං ටිලිං ගාන සද්දෙ. සද්දෙ අැහුන ගමන් මම එක හුස්මටම මිදුලට දිව්වා. මම හිතුව වගේම තෑග්ග එවල තිබුනා. ඒක හොඳට ඔතපු ටිකක් ලොකු පෙට්ටියක්. අද සෙනසුරාදා  දවසක් නිසා අම්මයි තාත්තයි දෙන්නම පොළට ගිහින් තාම ගෙදර ඇවිත් තිබුනේ නෑ. ඒ දෙන්න  එනකං තෑග්ග කඩන්නැතුව බලන්න ඉන්න තරම් මගෙ ලඟ ඒ වෙනකොටත් ඉවසීමක් ඉතුරු වෙලා තිබුනෙ නැති නිසා මම පුළුවන් තරම් ඉක්මනින් තෑගි පෙට්ටියත් අරන් කාමරේට දිවුවා. තෑගි පෙට්ටිය  ලස්සනට තෑගි ඔතන කොළ වලින් ඔතලයි තිබුනෙ. කතුරක් අරගෙන හිමීට ⁣පෙට්ටියෙ උඩ හරිය කපපු මං පෙට්ටිය අරිනවත් එක්කම , ඉමිහිරි වැනිල සුවඳක් එක්ක  පෙට්ටිය ඇතුලෙන් අත්භූත කටහඬක් ආවා...


"සුබ උදෑසනක් වේවා තරිඳු !!!"


     පුදුමයට වගේම බයට පත්වුන මම පෙට්ටියත් ඇඳ උඩ අතහැරලා කාමරේ දොර දිහාවට දිව්වේ මේ මොකක්ද වෙන්න යන්නෙ කියල හිතාගන්න බැරුව.බටුවන්ගල මහත්මයගෙ අත්භූත පෙට්ටිය කතාවෙත් මෙහෙම සිද්ධියක් උනා කියල මගෙ හිතට ආවෙ අකුණක් ගහන තරම් වේගයෙන්. ඒ කතාවෙ හැටියට ඒ අත්භූත පෙට්ටියෙ සද්දෙ බලන්න ගිය හැමෝමව පෙට්ටියේ යකා ගිලල දැම්මා .දොර ලඟ නතරවෙලා පෙට්ටිය දිහා බලපු මම දැක්කෙ හරිම පුදුමාකාර දෙයක්. පුංචි මනුස්සයෙක් පෙට්ටියේ පියන ඉරාගෙන එලියට බොහොම අමාරුවෙන් එළියට ආවා. එයාට ටිකක් කැරකිල්ල වගේ මට පෙනුනෙ. පෙට්ටියෙන් එළියට ආව එයා ඇඳ උඩින් වාඩි වෙලා මගෙ දිහා බලල කතාකරන්න පටන්ගත්තා..


"බයවෙන්න එපා තරිඳු. මම ඔයාට කරදරයක් කරන්නෙ නෑ. මම අහිංසක කෙනෙක්"


එයාගෙ ප්‍රමාණයයි. අහිංසක පෙනුමයි , කටහඩේ තිබුන සන්සුන් ගතියයි දැකපු මම ,  මගේ බය පැත්තකට දාල ටිකක් ලඟට ගිහින් එයාට කතා කලා.


"ක ක ක කවුද ඔයා? "


"මම කතෘ බූතයෙක්." ඒ කුඩා මිනිසා කිව්වා..


"බූ බූ බූතයෙක්.."


"හා හා බයවෙන්න එපා ළමයෝ මම මිනිස්සුන්ට කරදර කරන ඡාතියේ බූතයෙක් නෙවෙයි. මම මිනිස්සුන්ට උදව් කරන ඡාතියේ බූතයෙක්." බූතයා සිනාසෙමින් කිව්වෙ කාලයක ඉදලම මාව අඳුරන කෙනෙක් වගේ.


"ඔයා කොහොමද මාව දන්නෙ?"


"ඔයා කොහොමද මේ පෙට්ටිය ඇතුළට ආවෙ.."


"මමනෙ ඔයාට මේ ලස්සන තෑගි පෙට්ටිය හැදුවෙ , මම මුහුණුපොත හරහා බටුවන්ගල මහත්මයගෙ ගිණුමෙන් ඔයා එක්ක කොච්චර කතා බහ කරල තියෙනවද?" ඉතින් මම කොහොමද ඔයාගෙ නම නොදැන ඉන්නෙ.


"ඒ කියන්නෙ ඔයා බටුවන්ගල මහත්තයගෙ ගෙදර ඉදලද ආවෙ?"


 "එතකොට ඔයාද ඇත්තටම  බටුවන්ගල කියන්නෙ? " 


    මම මගේ හිතට ආපු ප්‍රශ්න ඔක්කොම එයා ඉදිරියේ දිගහැරියා. මම හිතාගෙන හිටියෙ බටුවන්ගල මහත්තයා කියන්නෙ මැදි වයසෙ හිටපු ටිකක් මහත , කුරු කොන්ඩයක් තියෙන මහත්මයෙක් කියලයි. එතුමගෙ පොත් ඔක්කෝගෙම වගේ දාල තිබුනෙ ඒ වගේ ඡායාරූපයක්..එතකොට ඇත්තටම එයා මනුස්සයෙක් නෙවෙයි බූතයෙක්වත්ද?


"ඔව් මම බටුවන්ගල මහත්මයගෙ ගෙදර  ඉදල තමයි ආවෙ." බූතයා කිව්වා කිව්වා.


"හැබැයි මම බටුවන්ගල නෙවෙයි." බූතයා සිනාසෙමින් කිව්වා.


මම තමයි එයාගෙ කතෘ බූතයා.


බූතයගෙ කතාව එක්ක මට එයා අහිංසකයි කියල තේරිලයි තිබුනෙ. මොකද දරුණු කෙනෙක් උනා නං දැනටම එයාට මාව අල්ලගෙන කරදර කරන්න පුළුවන්කම තිබුනා. ඒ වගේම අඳුර බලවේග දවල් කාලයට ක්‍රියාත්මක වෙන්නෑ කියලයි මම අහල තිබුනෙ. ඒ නිසා මම මගේ බය පැත්තකට දාල එයාගෙ ලඟට ගියා..


"ඒ කියන්නෙ බටුවන්ගල මහත්තයා එයාගෙ වැඩ කරවගන්නෙ බූතයො ලව්වද?"


"ඔයා එයාගෙ ගෙදරින් පැනල ආව බූතයෙක් ද?" මම ඇහුවා..


"හපෝ නෑ ළමයෝ. බටුවන්ගලට බූතයො ලව්ව තියා මිනිස්සු ලව්වවත් හරිහැටි වැඩක් කරගන්න බෑ."

 "අනිත් එක මම එහෙන් පැනල ආවෙ නෑ.මම එයා එක්ක තරහවෙලයි එන්න ආවෙ." බූතයා කිව්වා..

    " ඔයා මගෙ ගැන හරි හැටි නොදන්න නිසා ඔයා මට තාමත් බය ඇති. ඒ නිසා ඉන්නකො මම ඔයාට  මගෙ ගැන විස්තර කියන්න." බූතයා කතාව පටන්ගත්තා..


    "මම ඔයාට කලිනුත් කිව්ව වගේ මම කතෘ බූතයෙක්. කතෘ බූතයො  තමයි ලස්සන ලස්සන අදහස් තියෙන අයව දක්ෂ ලේඛකයො කරන්නෙ. අපි අපේ සහඡ ඉවෙන්  හොයාගන්නවා දක්ෂ නිර්මාණාත්මක අදහස් තියෙන මිනිස්සුන්ව. ඊට පස්සෙ අපි එයාලව හොයාගෙන ගිහින් රෑට එයාලගෙ අදහස් වලට පණ දෙනවා.. එයාල ඒ අත්දැකීම් විඳලා , ඒවයෙ තියෙන විශාල මාලිගාවල ඉදල ඇල්පෙනෙති තුඩවල් වෙනකං දේවල් මතක තියාගෙන ඒ කරුණු එකතු කරලා ලස්සන පොත් විදිහට ලියලා ඔයාල අතට එවනවා."


"ඒ කියන්නෙ හැම ලේඛකයෙක්ටම එයාගෙ කියල කතෘ බූතයෙක් ඉන්නවද?" මම බූතයගෙන් ඇහුවා.


"හපෝ නෑ. ගොඩක් නිර්මාණශීලී අය ලඟට විතරයි කතෘ බූතයො යන්නෙ.. අපේ වර්ගෙ අය මේ ලෝකෙ ඉන්නෙත් බොහොම ටික දෙනයි.  ලෝකප්‍රසිද්ධ ලේඛකයො ලඟ විතරයි ගොඩක් වෙලාවට අපි ඉන්නෙ.  අපි පෝෂණ වෙන්නෙ එයාලගෙන්"


"ඒ කිව්වෙ ?" මම ඇහුවා.


කතෘ බූතයො ඡීවත්වෙන්නෙ කතෘවරුන්ගෙ චින්තන ශක්තිය ආහාරයට අරගෙන..


"ඒ කියන්නෙ ඔයා එයාගෙ චින්තන හැකියාව කාල නැතිකරල දානවද?" මම ඇහුවා.


හපෝ නෑ ළමයෝ. ඔයා හිතල බලන්නකො ඔයාගෙ වත්තෙ ලස්සන සමන්පිච්ච මලක් හැදිල තියෙනවා කියල. ඒක හරිම සුවඳයි. ඔයා ඒ සුවඳ වින්දා කියල මලට කරදරයක් වෙන්නෙ නෑ නේද? ඒ මදිවට ඔයා ඒ සුවඳ  වින්ඳට පස්සෙ මල් ගහ තව මල් වලින් පුරවන්න කියල හිතාගෙන ඒ ගහට පෝර වතුර දානව නේද? අන්න ඒ වගේ දෙයක් තමයි කතෘ බූතයොත් කරන්නෙ..

    අපි එයාගෙ චින්තන ශක්තිය රසවිඳිනවා. ඒකට හරියන්න අපි එයාට දක්ෂ ලේඛකයෙක් වෙන්න එයාගෙ චින්තන ශක්තියට පණ දෙනවා.


"ඉතින් ඔයා බටුවන්ගල මහත්තයව දාල මගෙ ලඟට ආවෙ එයාව අතහැරල  මාව දක්ෂ  ලේඛකයෙක් කරන්නද?" මම ඇහුවේ ⁣හරිම කුතුහලයෙන්..


"හාහ් හහ් හා හපෝ නෑ ළමයෝ." කතෘ බූතයා සිනාසුනා..


"මම එතනින් එන්න ආවෙ මම එයා එක්ක තරහවුන නිසා."


"ඒ කියන්නෙ එයා ඔයාව හිර කරල කරදර කලාද?"


නෑ නෑ ළමයෝ හරියටම කියනව නම් මෙන්න මේකයි උනේ. මම බටුවන්ගල මහත්තය ගාව ඉන්නෙ එයා පොත් ලියන්න පටන්ගත්ත මුල් කාලෙ ඉදලමයි. එයා ඒ කාලෙ ඉදලම ගොඩක් නිර්මාණශීලී කොල්ලෙක්. එයාගෙ නිර්මාණ හැකියාව උපරිමයටම අරගෙන යන්න එයාට උදව් කලේ මං. එයා දැන් සාර්ථක ලේඛකයෙක්ගෙනුත් එහාට ගිහින් අති සාර්ථක ලේඛකයෙක් වෙලා ඉවරයි..

   ඒත් එයා දැන් එයාගෙ නිර්මාණකරණයට එයාගෙ චින්තන ශක්තිය පාවිච්චි කරන්නෙ නෑ. එයා අවුරුද්දකටම එක පොතක් ලියල ඉතුරු දවස් ටික මාධ්‍යය සාකච්ඡා වලයි , සම්මන්ත්‍රණ ශාලාවයි ගත කරනව. අඩුමගානෙ එයාට නිදාගන්නවත් වෙලාවක් නෑ. ඉතින් එයා එයාගෙ චින්තන ශක්තිය පාවිච්චි කරන්නෙ නැති උනහම කෝ මට කෑම ?.  මම ටිකෙන් ටික දුර්වල වෙනවා.

      පහුගිය කාලෙ එයා පාඨකයො ගැන පවා හිතුවෙ නෑ. මමයි එයාගෙ මුහුණුපොතෙන් විවිධ තරඟ පවත්වල එයාව මිනිස්සුන්ට සමීප කරන්න උත්සාහ කලෙත්. මට ඔයාව හම්බවුනෙත් ඒ විදිහට..

     ඉතින් මම එයාගෙ වෙනස් වීම ගැන එයාට කියන්න කීප දවසක්ම උත්සාහ කලා..ඒත් එයාට ඒව අහන්නවත් වෙලාවක් නෑ. ඒකයි මම එයා එක්ක තරහවෙලා එන්න ආවෙ.


"ඉතින් මගෙන් ඔයාට මොනවද වෙන්න ඕන? " ඇයි ඔයා මෙහාටම ආවෙ..

මම කතෘ බූතයාගෙන් ඇහුවා.


මම බටුවන්ගල මහත්තයගෙ කතෘ බූතයා. මට හැමෝවම විශ්වාස කරන්න බෑ. ඒත් ඔයා එක්ක කතා කලාම මට තේරුනා ඔයා විශ්වාස කරන්න පුළුවන් හොඳ දරුවෙක් කියලා..


"මගේ අගය බටුවන්ගල මහත්මයාට ආපහු තේරෙනකම් ඔයාට මාව ඔයාගෙ කාමරේ තියාගන්න පුළුවන් ද?" බූතයා ඇහුවා.


මේ අපූරු බූතයාව එළවල දාන්න මගෙ හිත මට ඉඩ දුන්නෙ නෑ. එයාගෙ අපූරු හැකියාව බලාගන්නත් මට පුදුමාකාර ආසාවක් තිබුනෙ..ඒ නිසා මම එයාට අලුත් ලේඛකයෙක් ලැබෙනකම් මගෙ කාමරේට වෙලා ඉන්න ඉඩදුන්නා. හැබැයි ඒ එක පොරොන්දුවක් උඩ.


ඒ තමයි එයාගෙ අපූරු බලය මටත් පෙන්නනව කියන පොරොන්දුව!!!


          මේ බූතයා ගැන අපූරු කතාවත් හංගගෙන එදා දවස ගෙදරට වෙලා ඉන්න එක ගොඩක් අමාරු දෙයක් වෙලයි තිබුනෙ.


අම්ම කීප වතාවක්ම මට මොකක්හරි ලෙඩක්වත් හැදීගෙන එනවද කියල ඇහුව මට ලාවට මතකයි.. 


කොහොමහරි රෑ මම කලින්ම නිදාගන්න කියල කාමරේට ආවෙ කතෘ බූතයගෙ අපූරු හැකියාව බලාගන්නත් එක්ක.


හොඳයි දරුවෝ. ඔයා නිදාගන්න කලින් ඔයාගෙ මනස හොඳට නිදහස් කරල එක දෙයක් ගැන හොඳට හිත යොමු කරන්න. ලස්සන දෙයක්..


මම කොච්චර හිතුවත් මට කිසිම  දෙයක් හිතාගන්න බැරිවුනා.. ඒත් ටිකක් කල්පනා කලාම මට මතක්වුනා  ඊයෙ රෑ බලපු ඡැක් සහ මායා බෝංචි වැල චිත්‍රපටය ගැන..


මට එච්චරයි මතක.


"ඡැක් පුතේ නැගිටින්න."


     මම අවදිවුනේ පුංචි කුඩා ගෙදරක. ඒ ගෙදර ලස්සන කාන්තාවක් හිටියා. එයා මගෙ අම්ම..


ඔව් මම තමයි ඡැක්..


මට බූතයගෙ බලයෙන් රෑ වෙච්ච දේවල් ඔක්කොම  ඔයාලට කියන්න බෑ. ඒත් මම එලදෙනව දීල ගත්ත බොංචි ඇටවලින් පැළවුන සුවිශාල බෝංචි වැලෙන් අහසෙ මාලිගාවට ගිහින් යෝධයගෙ රත්තරන් බිත්තර දාන කිකිලිව හොරකම් කරගෙන ඇවිත් ලොකු සල්ලිකාරයෙක් උන හැටි මට තාමත් මතකයි. 

          එලදෙනව දීල බොංචි ඇට ගෙනාව වෙලාවෙ අම්ම ඇන්න ටොක්කට තාමත් මගෙ ඔලුව රිදෙනව.


 ඒත් මම තාමත් ගෙදර ඇඳ උඩ. අද ඉරිද . දැන් වෙලාව උදේ අටයි.


එතකොට ඊයෙ රෑ උන දේවල්. මම ඒ ලෝකෙ ගතකරපු දවස් ගාන. මගෙ ඇගට දැනුන දැනීම්.



"පොඩ්⁣ඩෝ ඔයා නැගිට්ටද?" කතෘ බූත⁣යගෙ කටහඬ මගේ කණ ගාවින් ඇහුනෙ හීන් කෙදිරියක් වගේ..


"කොහොමද ඊයෙ රෑ"


මට හිතාගන්න බෑ ඒ මොකක්ද උනේ කියල..


"ඒක තමයි මගේ  බලය. මට  පුළුවන් ඔයා හිතන දේ ඇතුලට ඔයාව අරගෙන ගිහින් ඔයාගෙ සිතුවිලි අංගසම්පූර්ණ නිර්මාණයක් කරන්න.." බූතයා කිව්වා


ඕහ් ඒක නම් පුදුමාකාරයි..


"හරිනම් ඔයා ඒක ලියගන්න ඕන පොඩ්ඩෝ..ඒක ලස්සන කතාවක්"


ඔව් ඒක ගොඩක් ලස්සනයි. හැබැයි ඒක දැනටමත් ලෝකෙ හැමෝම දන්න කතාවක්. මම බූතයට කිව්වා..


ඊයෙ රෑ පුරාම ඇහැරිලා ඉදගෙන ඔයාගෙ සිතුවිලි වලට පණ දීල මට ටිකක් මහන්සියි.  මම පෙට්ටිය ඇතුලට වෙලා නිදාගන්නව. සුබ දවසක් පො⁣ඩ්ඩෝ. එහෙම කියපු බූතයා අර කාඩ්බොඩ් පෙට්ටිය ඇතුලට රිංගාගත්තා..


පෙට්ටිය මගේ මේසෙ කෙලවරකින් තියපු මං කාමරේටම වෙලා පොතක් කියවන්න ගත්තෙ බූතයව දාල යන්න හිත හදාගන්න අමාරු කමට..


පුතා මෙන්න ඔයාව හම්බවෙන්න කවුද ඇවිල්ලා..

අම්ම කතාකරන සද්දෙ එක්ක මම කියව කියව හිටපු පොත ඇඳ උඩින් තියල සාලයට ගියේ මගේ කරදරකාර යාලුව සිතිඡ ඇවිත් කියල හිතාගෙන. නමුත් ඒ ඇවිත් හිටියෙ මම තුන්හිතකින්වත් හිතපු කෙනෙක් නෙවෙයි..


බටුවන්ගල මහත්තයා!!!


 පුතා මට ගෙදරට එන්න කියන්නෙ නැද්ද. එතුමා නිවසේ දොරකඩට වෙලා ඉදගෙන ඇහුවා..

      එතුමා සිනාසුන බවක් පිටතට පෙන්නුවත් මට නම් පෙනුනෙ හිතේ තිබුල දුක්බර බව මුහුණෙන් පෙනෙන බවක්..


එන්න සර් ගෙට.. මම බටුවන්ගල මහතාට කිව්වා.


මේ කවුද පුතා . ඔයා මට ඒ ගැන කියන්නෙ නැද්ද?


ඒ කතා කලේ අම්මා..


මේ බටුවන්ගල සර් අම්මේ. අර පොත් ලියන සර්.   මට අර තෑග්ගක් එවනව කිව්ව කෙනා..


"එවනව කිව්වෙ තෑග්ග තාම ආවෙ නැද්ද?" බටුවන්ගල මහත්මයා කලබල වෙලා වගේ මගෙන් ඇහුවා..


ආව සර්.කලබලයට පත්වුන මම කිව්වා..

       

    මිස් මම මෙහෙට ආවෙ මිස්ගෙ පුතාව හම්බවෙන්න.මට හිතෙන්නෙ මගෙ අතින් වැරදීමකින් මගෙ වටින යමක් එයාගෙ තෑගි පෙට්ටියට වැටිල කියලයි..


"එතුමා කියන්නෙ බූතය ගැනද?" මගේ හදවත ඩිහ් ඩිහ් ගෑවා..


"මොකක්ද නැතිවෙලා තියෙන්නෙ මිස්ටර් බටුවන්ගල . ගොඩක් වටින දෙයක්ද?" මගෙ අම්මා ඇහුවා..


"නෑ නෑ මැඩම් කලබල වෙන්න එපා. එහෙම දෙයක් නෙවෙයි මේ මට ආව ලියුමක්." බටුවන්ගල මහතා අපහසුවෙන් පිළිතුරු දුන්නා..


"ඔයාට පුළුවන් නම් මට තෑග්ග ආව පෙට්ටිය පෙන්නනවද පුතේ."


මට කියන්න දෙයක් ඉතුරු උනේ නෑ. කාමරයට ගිය මම බූතයව ඇහැරවල සිද්ධිය ගැන කිව්වා..


ළමයෝ මම මෙහෙ ඉන්නව කියල බටුවන්ගලට දැනගන්න තියන්න එපා බූතයා  කිව්වා.


බූතය එළියට ආවට පස්සෙ මම පෙට්ටිය අරගෙන ගිහින් බටුවන්ගල මහත්මයාට පෙන්නුවා..


පෙට්ටිය අතට අරගෙන ටිකක් වෙලා ඒ දිහා බලාගෙන හිටපු බටුවන්ගල මහත්මයා ,


මට වැරදීමක් වෙලා වගේ මම ගිහින් එන්නම් කියල අපේ ගෙදරින් යන්න පිටත්වුනා....


ඔහුගේ පෙනුමෙ තිබුනෙ සතුටට පත්වුන බවක්...


      එතුමා අපේ ගෙදරින් පිටත්වුන ගමන් මම නැවතත් දුවගෙන ගියේ මගෙ කාමරේට. බූතයා මම එනකං මේසෙ උඩ වාඩිවෙලා හිටියා..


"එයාට දැන් මාව මතක්වෙලා වගේ ඇවිත් තියෙන්නෙ. පහුගිය කාලෙත් එයා ඔය වගේ මගෙ ගැන හෙව්වනං මට මෙහෙම එයාව දාල එන්න වෙන්නෙ නෑනෙ." එයාට තව ටිකක් මහන්සි වෙන්න අරින්න ඕන බූතයා කිව්වා...


කොහොමහරි එදා දවසම බූතයයි මමයි විවිධ දේවල් ගැන කතා කර කර තමයි ගත කලේ..


භූතයා විසින් ඈත සමයේ ප්‍රකට ලේඛක හැගාඩ් මහතා සමඟ ගතකල කාලය ගැන මට විස්තර කිව්වා..

 පෙනුමෙන් අවුරුදු තිහක පමණ තරුණයෙක් උනත් බූතයා අවුරුදු දහස් ගානක් වයස බවයි මට කතාවෙන් කතාවෙන් තේරුනේ..

  

බූතයා නිතරම වැනිල බොන්න පුරුදු වෙලා හිටපු නිසා එයාගෙ ලඟින් නිතරම වැනිල සුවඳ එන බවත් එයා කිව්වා.. මම ඒ සුවඳට ගොඩක් ආස කලා.


අපි ගොඩක් සතුටින් කාලය ගත කලා...


කොහොමහරි ඉරිද රෑත් උදාවුනා..


මම එදා රෑ නම් කිසිම දෙයක් හිතේ තියා නොගෙනයි නිදාගත්තෙ. මොකද බූතයව තවත් වෙහෙසට පත් කරන්න මට හිතුනෙ නෑ. මටත් නොදැනි මගේ හිත පුරාම හිටියෙ කතෘ බූතයා විතරමයි..


    පුදුමයකට වගේ කලින් දවසෙ වගේම කතෘ බූතයා එදා රෑත් මාව පුදුමාකාර සිදුවීමකට අරගෙන ගියා.

 

සඳුද උදේ නැගිටපු ගමන් මම මුලින්ම කලේ මම රාත්‍රීයෙ විදපු අද්දැකීම එක හුස්මටම මම ලෑස්ති කරගත්ත පොතක ලියපු එක.. 

         මම ඒකට ලස්සන නමකුත් දැම්මා.


ඒක ආයි පාරක් කියවල බැලුවම මට හිතුනෙ ඒක අමුතුම  කෙටිකතාවක් කියලයි.


අද ඉතින් සඳුදා. සතියෙ දවසක්!!!

 

 ඉතින් මට පාසල් යන්න උනා.. මම කතෘ බූතයට පෙට්ටිය ඇතුලෙ හැංගෙන්න කියලයි ඉස්කෝලෙ ගියේ.

මොකද අම්ම කාමරේට අැවිත් බූතයව දැක්කොත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියල මට තේරිලයි තිබුනෙ.


මට එදා දවසෙ , ඉස්කෝලෙ කිසිම පාඩමක් ගැන සිහියක් තිබුනෙ නෑ. මට ගෙදර එන්න තමයි ඕන උනේ.. කොහොමහරි ඉස්කෝලෙ ඇරෙන වෙලාව පැමිණීමත් එක්ක මම එක හුස්මටම ගෙදර දුවගෙන ගියේ කතෘ බූතයව දැකගන්න..


එ්ත් ගෙදර ගියාට මගෙ කාමරේ කතෘ බූතය හිටියෙ නෑ. මම හැමතැනම කතෘ බූතය හිටපු පෙට්ටිය හෙව්වා.ඒකත් නෑ..


හොයල හොයල බැරිමතැන මම අම්මගෙන් ඒ ගැන අහන්න තීරණය කලා..


අම්මේ කෝ මට අර බටුවන්ගල මහත්මයගෙන් තෑග්ග ලැබුන පෙට්ටිය ? මම අම්මගෙන් ඇහුවා..


"පුතේ ඔයා ඉස්කෝලෙ ගියාට පස්සෙ ආපහු බටුවන්ගල මහත්තයා ආවා.. එයාගෙ ලියුම එයා ඔයාට තෑගි දීපු පොතක් අස්සෙද දන්නෑ කියල එයාට ගෙදර ගියාට පස්සෙ හිතුනලු. මම එයාට කිව්ව ඔයාගෙ කාමරේට ගිහින් හොයල බලන්න කියල..

    ඒ ගිය ගමන් තමයි එයා ඔය පෙට්ටිය අරගත්තෙ. එයා මගෙන් ඒක ඉල්ලුව තව ලමයෙක්ට තෑග්ගක් යවන්න තියෙනව කියල..එයා ලඟ තිබුන පෙට්ටි ඔක්කොම ඉවරලු."


"මම කිව්ව කමක්නෑ ගෙනියන්න කියල. හිස් පෙට්ටියක්නෙ පුතේ. අනික ඒක ඔයාට එව්වෙත් එයානෙ....."


ඉවරයි!!"

ඔක්කොම ඉවරයි.


මට දැනුනෙ මුලු ඔක්කොම විනාස වෙලා වගේ. බටුවන්ගල මහත්තයා කොහොමහරි එයාගෙ බූතයව අරගෙන ගිහින්. මගෙ යාලුවව මට නොකියම අරගෙන ගිහින්..


මම අම්මට මුකුත්ම නොකියා කාමරේට ආවා.

ඇවිත් මට පුළුවන් තරම්ම ඇඬුවා..


එත් මොනව කරන්නද කතෘ  බූතය ආපහු එන්නෑ. බටුවන්ගල මහත්තයා එයාව අරගෙන ගිහින්. එයාල දෙන්න දැන් මොනව කරනවද දන්නෑ. ගෙදරින් පැනල ආවට බටුවන්ගල මහත්තයා බූතයට දඬුවම් කරනවද දන්නෙත් නෑ...


අඬල අඬල මගෙ නහයත් හිරවුනා. මම නහය පිහදාගන්න ලඟපාත ලේන්සුවත් නැති නිසා අැද උඩ තිබුන පොරවන රෙද්දවත්  අරගන්න ඕන කියල හිතල ඒක උස්සනකොට මම දැක්කා එතන ලියමක් තියෙනවා..


ඒක ලියල තිබුනෙ බටුවන්ගල මහත්තයා!!! හැබැයි එයා ඒක ලියල තිබුනෙ කතෘ බූතයා වෙනුවෙන්...


...................................................................


     ආදරණීය තරිඳු ,,


       ඔයා ඉස්කෝලෙ  ගියාට පස්සෙ බටුවන්ගල මහත්තයා  මාව හොයාගෙන ආවා. එයා මම ඔයාගෙ ලඟ ඉන්න බව දැනගෙන තියෙන්නෙ පොත් පෙට්ටිය ආව ලිපිනයෙන්. පෙට්ටියෙන් ආව වැනිල සුවඳින් එයා හරියටම මම මෙහෙ ඉන්නවා කියල දැනගෙන..  අද අපි දෙන්න පහුගිය කාලයේ වෙච්ච දේවල් ගැන ගොඩක් කතා කලා..ඒ වෙනකොටත් නිර්මාණ ශක්තිය නැතුව මම ගොඩක් දුර්වල වෙලයි හිටියෙ. බටුවන්ගල මහත්මයා  වෙච්ච දේවල් වලට මගෙන් සමාව ඉල්ලුවා. එයා අත්භූත භයානක කතාවල අත්දැකීම් රෑ පුරා විඳල වෙහෙසට පත්වුන නිසාලු වැඩිය නිර්මාණ වලට හිත යොමු නොකලේ. 

     මම එයාට කිව්වා අත්භූත පැත්තෙන් ටිකක් මිදිලා වික්‍රමාන්විත රහස්පරීෂක කතා පැත්ත⁣ට හිත යොමු කරන්න කියලා.

     මම දන්නවා ටිකක් කාර්යබහුල උනාට එයා හොඳ මනුස්සයෙක් කියල. එයා මට පොරොන්දු උනා ආයි මාව බඩගින්නෙ තියන්නෙ නෑ කියල. ඉතින් මම එයා එක්ක ආපහු යන්න තීරණය කලා. පහුගිය දවස් දෙකේ මාව බලාගත්තට ඔයාට ගොඩක් ස්තූතියි. ඔයාට පුළුවන් වෙලාවට මාව බලල යන්න එන්න. බටුවන්ගල මහත්මයා ඒකට මුකුත් කියන්නෑ කියල මට පොරොන්දු උනා..

        ඔයා කවදහරි දවසක හොඳ නිර්මාණ ශක්තියක් තියෙන දක්ෂ ලේඛකයෙක් වෙයි කියල මම විශ්වාස කරනවා.. එතකොට ඔයාව හොයාගෙන ඔයාගෙම කතෘ බූතයෙක් එයි..

  

               මීට ඔයාගෙ යාලු කතෘ බූතයා


ඊට යටින් බටුවන්ගල මහත්මයාත් වචන ස්වල්පයක් ලියල තිබුනා..


       තරිඳු පුතේ , ඔයා මගේ කතෘ බූතයව පරිස්සමට බලාගෙන තියෙනවා කියල මට පේනවා. ඒකට ගොඩාක් ස්තූතියි. ඔයාට කැමති වෙලාවක මගේ ගෙදර අැවිත් කතෘ බූතයව බලල යන්න. මගේ අලුත්ම පොත් පිරුණු රාක්කයකුත් ඔයා වෙනුවෙන් එහේ බලාගෙන ඉන්නවා. අපේ පුංචි රහස රහසක් විදහටම තියාගන්න...


තාමත් ඔයාගේ ප්‍රියතම ලේඛකයා යැයි සිතන මම බටුවන්ගල.


......................................................................


ලියුම කියවපු මම , ලඟදිම බූතයව බලන්න යනව කියලත් හිතාගෙන ඒ ලියුම පරිස්සමට නවලා කතෘ බූතයා ගැන මට ඉතුරු වුන අනෙක් වටිනාම මතක සටහන ඇතුලෙන් දැම්මා..

    ඔව් ඒ මතක සටහන තමයි මම කතෘ බූතයගෙ බලයෙන් ඉරිද රෑ සිහිනයෙන් විදපු අත්දැකීම් ගැන ලියපු පොත. මට දැනුනෙ ඒ ලියුමත් එ් පොතේ තිබුන කතාවෙම කොටසක් වගේ..


 ඒ පොත වහද්දි මම ඒදා රෑ විඳපු අත්දැකීම සම්බන්ධ කෙටිකතාවට දාපු නම රතුපාටින් පැහැදිලිව පෙනුනා.


ඒකෙ නම තමයි කතෘ බූතයා!!!

     




Sunday, July 5, 2020

හිරු නොබසින අධිරාඡ්‍යයේ මහරැඡිනිගෙ කතන්දරේ👑😅


    මටත් ඉදල හිටල එකපාරටම එක එක පිස්සු හැදෙනවනෙ. ඊයෙ රෑ දහයට විතර පොතක එංගලන්තයේ මහරැඡිනගෙ දියමන්ති ඡුබිලිය ගැන කියව කියව ඉන්න ගමන් මට හිතුනා රැඡිනගෙ  සැමියා ගැන පොඩ්ඩක් අන්තර්ඡාලයෙන් හොයල බලන්න..
     ඒක හොයන්න ගියාම තමා මම දැනගත්තෙ එයා තාමත් සුවෙන් සනීපෙන් අවුරුදු 99 ක් ආයු වලඳමින් ඉන්නව කියල. මැන්ඩෙලා ඉෆෙක්ට් එකට අහුවෙලාද කොහෙද මම මෙච්චර දවස් හිතාගෙන හිටියෙ පිලිප් කුමාරය කප් එක ගහල ගොඩක් කල් කියලයි😅

මම ඉතින් මේ ගැන මහා ලොකු ඇවිස්සිල්ලක් ඇවිස්සුවේ නෑ. බොහොම සරල හොයා බැලිල්ලක් තමා කලේ. හැබැයි ඔයාල දන්නවනෙ මම ඉතින් යමක් ගැන හොයන්න ගත්තම චුට්ටක් විතර අක් මුල් හොයන්න යනවනෙ.       එහෙම ගිය ගමන අන්තිමට නතර උනේ එංගලන්තයේ ඔටුන්න තියාගෙන හිටපු හැඩකාර යුවතිය වික්ටෝරියා මහාරාඡිනිය ගාවින්🤭

මම මුලින්ම කියන්න කැමතියි මේක කියවන්න කලින් මම දාන ඉමොඡි ගැන හොඳට හිතේ තියාගෙන කියවන්න කියන එක.

👑 ඉමොඡිය දාල තියෙන්නෙ රඡ උන අයට

🌟 ඉමොඡිය තියෙන්නෙ රඡ නොවුනත් අතිශය වැදගත් අයට

👑💔 ඉමොඡිය දාල තියෙන්නෙ රඡකම අහිමි උන අයට

මම මගේ හෙවිල්ල අවසන් කලේ වික්ටෝරියා මහ රැඡිනගෙන් කියල මම කලින්ම කිව්වනෙ. දැන් එහෙනං අපි එතනින් පටන්ගමු.

..........................................................................

👑 වික්ටෝරියා මහ රැඡින (Queen Alexandrina Victoria) තමයි ඈත අතීතයේ ලංකාව යටත්විජිතයක් උන සමයේ , ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් ශර්ලොක් හෝම්ස් ලියපු කාලයේ එංගලන්තෙ පාලනය කොරාපු රැඡින.

ඇයගෙ උපත - 24 May 1819
ඇය මියගියේ - 22 January 1901

අර මේ ලඟදි තඩි යට ඇඳුමක් බර ගානකට වෙන්දේසි උනේ මේ රැඡිනගෙ තමා🤭

ඇය විවාහ වෙලා හිටියෙ ඇල්බට් කුමාරයා (Prince Francis Albert Augustus Charles Emmanuel) එක්කයි. ඔවුන් දෙදෙනට  ළමයි නව දෙනෙක්ම ඉන්නව. ඒ කාලෙ ඉතිම් පවුල වැඩි තරමට හොඳ ඇති. හ්ම්ම්..

මේ නවයෙන්

👑 හත්වන එඩ්වඩ් (Edward VII)කියන ලොකු පුතාට තමා ඇයගෙ ඇවෑමෙන් හිරු නොබසින අධිරාඡ්‍යයේ රඡකම ලැබෙන්නෙ.

🌟 තව ඇලිස් කියල දුවෙකුත් ඉන්නව (princess Alice Maud Mary) ..( මෙයාවත් විශේෂයෙන්ම මතක තියාගන්න)

..........................................................................

👑 අම්මගෙන් රඡකම ලබාගත්ත හත්වන එඩ්වඩ් රඡතුමා (King Edward VII) වසර හයක් රට පාලනය කලා.

හත්වන එඩ්වඩ් රඡුට (Edward VII)  සහ ⁣ඔහුගේ බිරිඳ ඩෙන්මාර්කයේ ඇලෙක්සැන්ඩ්‍රා කුමරියට (Alexandra Caroline Marie Charlotte Louise Julia) ළමයි හය දෙනෙක් හිටියා.

ඒ අතරින් ඔහුට  හිටියා රඡකමට උරුමකම් කියන ලොකුම ලොකු පුතෙක්👑👑👑

👑💔 ඔහුගේ නම තමයි ඇල්බට් වික්ටර්. (Albert Victor Christian Edward) මොහු විවාහ ගිවිසගෙන  හිටියෙ මේරි කුමරිය (Princess Victoria Mary Augusta Louise Olga Pauline Claudine Agnes) එක්ක.
 නමුත් අවාසනාවන්ත අසනීපයකින් මෙයා අවුරුදු 28 න් මිය යනව.

හැබැයි කොල්ල මැරුන කියල මේරි කුමරිය නම් තනිකඩව ඉන්නෑ. ඇය බඳිනව ඔහුගෙ බාල සහෝදරය පස්වන ඡෝර්ඡ්ව. (George Frederick Ernest Albert)

👑අයිය මැරුන නිසා තාත්තගෙ ඇවෑමෙන් එංගලන්තෙ රඡ පුටුවයි අයියගෙ බිරිඳ වෙන්න ගිය කෙනාවයි දෙකම අයිති කරගන්නෙ මෙන්න මේ පස්වන ඡෝර්ඡ් කුමාරයයි. (George Frederick Ernest Albert)

..........................................................................

👑 පස්වන ඡෝර්ඡ් රඡතුමාත් වසර විස්සක පමණ කාලයක් හිරු නොබසින අධිරාඡ්‍යය පාලනය කරනව.

ඔහුට සහ ඔහුගේ බිරිඳ මේරි කුමරියට ළමයි හය දෙනෙක් ඉන්නව..

මේ අතරින් වැඩිමලා සහ ඔටුන්නට හිමිකම් කියන්න ඉන්නව කුමාරයෙක්..

ඔහු තමයි 👑💔 අටවන එඩ්වඩ්.

👑💔 අටවන එඩ්වඩ් තමන්ගෙ උරුමයේ හැටියට රඡකම බාර ගන්නව(Edward Albert Christian George Andrew Patrick David)

..........................................................................

මේ 👑💔 අටවන එඩ්වඩ් (King Edward Albert Christian George Andrew Patrick David) කියන්නෙ සුවිශේෂී රඡ කෙනෙක්.

  මොහුට ආදරයක් ඇති වෙනව දෙපාරක් දික්කසාද ⁣උන ගෑනු කෙනෙක්ට. ඇයගෙ නම තමයි Wallis Simpson.

 තමන්ගෙ රඡතුමා දෙවරක් දික්කසාද උන ගැහැණියක් සමඟ විවාහ උනොත් රටේ රාඡකීයත්වයට ලොකු අපකීර්තියක් වෙනව වගේම  විශේෂයෙන්ම ඇය දික්කසාද උන සැමියෙන් ඡීවතුන් අතර සිටින නිසා ඇයට විවාහ උනත් රැඡින කියල ආමන්ත්‍රණය කරන්න බැරි බව පාර්ලිමේන්තුව සහ අගමැතිවරයා ප්‍රකාශ කරනව. මේක බ්‍රිතාන්‍යයේ නම්බුවට කනේ පහරක් වෙන්න යන බව තමා හැම අතින්ම කියවෙන්නෙ.

      මේ ගැන දුරදිග හිතන රඡතුමා  ඔටුන්නද ආදරයද කියන තැන අතරමං වෙලා අවසානයේ දැඩි තීරණයක් ගන්නව.

ඒ තමයි ඔහුගෙ රඡකම ඔහුගේ සොයුරා 👑 හයවන ඡෝර්ඡ්ට (Albert Frederick Arthur George) දීල ප්‍රේමයේ නාමයෙන් අර කාන්තාවව විවාහ කරගන්න. අන්න රඡවරු😍😍😍

        ඔහු අවසානයේ  මාස එකොළහයි රඡකම් කරල , රඡකම අතහැරල තමන් ආදරය කරන කාන්තාවව විවාහ කරගන්නව. නමුත් ඒකෙ ප්‍රතිඵලය වෙන්නෙ ඔහු සහ ඔහුගේ පරපුරට එංගලන්තයේ රඡකමට ඇති අයිතිය  නැති වීමයි.

ප්‍රසිද්ධ තොරතුර තමයි අටවන එඩ්වඩ් රඡතුමාට ළමයි නෑ කියන එක.

😑නමුත් කතාවක් තියෙනව ඔහුට දියණියක් සහ පුතෙක් හිටපු බව. ඔවුන් ගැන ඉතිහාසයේ නම් හරි සඳහනක් නෑ.

..........................................................................

කොහොමහරි අටවන එඩ්වඩ් රඡතුමා රඡකම අතහැරීම එක්ක ඔහුගේ සහෝදරයා උන 👑 හයවන ඡෝර්ඡ්ට රඡකම ලැබෙනව.(King Albert Frederick Arthur George)

ඔහු විවාහ වෙන්නෙ එළිසබෙත් (Elizabeth Angela Marguerite Bowes-Lyon) කියල කුමාරිකාවක් එක්කයි. මේ කියන්නෙ වර්තමාන මහරැජිනගෙ අම්ම ගැන.

එම විවාහයෙන් ඔවුන් දෙදෙනට ඉන්නෙ එකම ගෑනු දරුවන් දෙන්නෙක් විතරයි.

ඒ අතරින් වැඩිමල් දරුවව ඔවුන් නම් කරනව 👑👑👑 දෙවන එළිසබෙත් කියල.(Elizabeth Alexandra Mary)

..........................................................................

👑👑👑තම පියාවන හයවෙනි ඡොර්ඡ්ගෙන් රඡකම ලබාගෙන මේ වෙනකොටත්  දෙවන එළිසබෙත් රැඡින (Queen Elizabeth Alexandra Mary) එංගලන්තය පාලනය කරනව👑👑👑


🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

    දැන් ඒ කතාව හමාරයි. අපි ආපහු කතාවෙ මුලට යමු.

ඔයාලට මතකද දන්නෑ මම මුලින්ම කිව්වා 👑 වික්ටෝරියා රැඡිනට ළමයි නව දෙනෙක්ම හිටපු බව.

මේ අතරින් එලිසබෙත් රැඡිනගෙ ලොකු පුතා 👑 හත්වන එඩ්වඩ්ට  රඡකම ලැබෙද්දි , වික්ටෝරියා රැඡිනට තව 🌟 ඇලිස් (Alice Maud Mary) කියල දුවෙකුත් හිටිය කියල මම ඔයාලට මුලින්ම කිව්වා.

මෙන්න මේ 🌟ඇලිස් කුමාරිකාව හතරවන ලුයිස් කියල ඩියුක් කෙනෙක්ව (Frederick William Louis Charles) විවාහ කරගන්නව.

මොවුන්ට ළමයි හත් දෙනෙක් ඉන්නව.

මේ අතරින් 🌟වික්ටෝරියා (Victoria Alberta Elisabeth Mathilde Marie) කියන කුමරිය සුවිශේෂීයි. (මෙයා රැඡින නෙවේ ඈ, රැඡින⁣ගෙ මිණිබිරියක්🙃)

ඇය විවාහ වෙනව තවත් ලුයිස් ලුයිස් ( prince Louis Alexander Mountbatten) කියල නම තියෙන ඡර්මන්  කුමාරයෙක් එක්ක. (තාත්⁣තගෙ නමම තියෙන කෙනෙක්😅)

ඔවුන්ට ළමයි හතර දෙනෙක් ඉන්නව.

ඒ අතරින් වැඩිමල් දුව 🌟 ඇලිස් (Victoria Alice Elizabeth Julia Marie) සුවිශේෂීයි. (එකම නම ඈ😅)

මේ ඇලිස් විවාහ වෙනව ඇන්ඩෲ කියල ග්‍රීක (Prince Andrew of Greece) කුමාරයෙක් එක්ක.

මොවුන්ට ළමයි පස් දෙනෙක් ඉන්නව.

ඒ අතරින් සුවිශේෂී දරුවා තමා පවුලේ බාලයා උන  🌟🌟🌟පිලිප් කුමාරයා.

පස්සෙ කාලෙක එංගලන්තෙ රැඡින උන 👑👑👑 දෙවන එළිසබෙත්ව බැන්දෙ ඔය කියන 🌟🌟🌟පිලිප් කුමාරයා තමා.

       අන්තිමට බලනකොට දෙන්නම  වික්ටෝරියා මහ රැඡිනි අාච්චි අම්මගෙ ළමයි තමා😍






Wednesday, June 24, 2020

හැබෑටම මොකක්ද මේ මැන්ඩෙලා බලපෑම


               මේ මැන්ඩෙලා බලපෑම , එහෙමත් නැත්නම් මැන්ඩෙලා ඉෆෙක්ට් කියන්නෙ විශාල පුද්ගලයන් පිරිසක් විසින් කිසිම විදියකට සිද්ධඋනේ නැති දෙයක් ගැන විශ්වාස කිරීම.

ඇත්තටම මේ මැන්ඩෙලා සිදුවීම ගැන ලෝකයා දැනගත්තේ කොහොමද? මේකට මැන්ඩෙලා බලපෑම කියන නම වැටුනේ කොහොමද කියන එක ගැන අපි දැන් විමසා බලමු..

      2009 වසරෙදි Fiona Broome  කියන මාධ්‍යවේදිනිය තමන්ගෙ වෙබ් පිටුවේ කතා බහක නිරත වෙන ගමන් ප්‍රකාශ කරනවා ඇයට 1980 දි දකුණු අප්‍රිකානු සිර මැදිරයකදි අප්‍රිකානු ඡනාධිපති නෙල්සන් මැන්ඩෙලා මහත්මයා  මිය ගිය එකේ මතකයන් ගැන.
      නමුත් නෙල්සන් මැන්ඩෙලා මහත්මයා සැබෑවටම මිය යන්නෙ 2013 වසරෙදියි.

  2013 එතුමා මිය ගියාට පස්සෙ Fiona Broome මහත්මිය නැවතත් මැන්ඩෙලා 1980 හිරේදි මියගියා කියල හිතන ඇයගෙ මතකය ගැන වෙබ් සටහනක් පළ කරනවා. එතකොට තමයි සිද්ධිය ගින්නක් වගේ ඇවිලිලා යන්නෙ.
   1980 දි මැන්ඩෙලා මහත්මයා මියගියා කියල හිතන , ඒක ගැන නිව්ස් එහෙමත් කියෙව්වා කියල හිතන බොහෝ පිරිසක් ඇය එක්ක ඒකරාශි වෙනව..
මැන්ඩෙලා 2013 දි නම් මියගියේ ,,,, මිනිස්සුන්ට 1980 තිබුන ඔහුගේ මළගෙයක් ගැන හිතේ තියෙන්නෙ කොහොමද?

       මේ සිද්ධිය ගැන පුදුමඋන Fiona Broome ,, තවත් වෙබ් අඩවියක් ආරම්භ කරනවා mandela effect එක හා ඒ සමාන අත්දැකීම් බෙදාහදා ගන්න.

එතනින් තමයි ලස්සනම ⁣සිද්ධි ටික එළියට එන්නෙ.
මේ තියෙන්නෙ ඒකෙදි හෙළිවුන ප්‍රසිද්ධ සිද්ධි කිහිපයක්.

1. බ්‍රිතාන්‍යයේ මිනිස්සු බොහෝ පිරිසකට අටවෙනි හෙන්රි රඡතුමා කළුකුම් කකුලක් කන චිත්‍රයක් ගැන මතක තියෙනව. නමුත් සැබෑවටම එහෙම චිත්‍රයක් නෑ.

2. ස්ටාර් වෝර්ස් පිස්සන් බොහෝ දෙනෙකුට Star Wars: Episode V තුළ ඩාත් වේඩාර් විසින් තමන්ගෙ පුතා ලූක් ස්කයිවෝකර්ට ,,

"Luke, I am your father."  කියන දෙබස කියනවා හොඳට මතක තියෙනව..

නමුත් සැබෑ චිත්‍රපටය තුළ ලූක් කියල වදනක් නෑ.

"No, I am your father." කියලයි තියෙන්නෙ.

3. නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාවෙ පිහිටීම ගැනත් මිනිස්සුන්ට මෙවැනිම බලපෑමක් වෙලා තියෙනව.

මිනිස්සු බොහෝ පිරිසකට මතක තිබිල තියෙන්නෙ ඕස්ට්‍රේලියාවට ඊසාන දෙසින් නවසීලන්තය පිහිටා තිබෙන බවයි..

නමුත් සැබෑවටම නවසීලන්තය පිහිටා තියෙන්නෙ ඕස්ට්‍රේලියාවට ගිණිකොණ දෙසින්

4. තවත් පිරිසකට 1990 ආව Shazaam කියල චිත්‍රපටයක් ගැන මතකයක් තිබිල තියෙනව. නමුත් සැබෑවටම ඒ කාලෙ එහෙම චිත්‍රපටයක් තිබිල නෑ. නමුත් Kazaam කියල ලමා චිත්‍රපටයක් නම් තිබිල තියෙනව

5.  ඇමරිකානු පාසල් වල උගන්වන ආකාරයට ඇමරිකා එක්සත් ඡනපදයේ පියා තමයි Alexander Hamilton.  නමුත් ඔහු කවදාවත් ඇමරිකාවෙ ඡනාධිපතිවරයෙක් බවට පත්වුනේ නෑ.
          නමුත් අහඹු ලෙස ඇමරිකානුවන් 100 ක් ගත්තොත් ඉන් කිහිපදෙනෙක්ම කියනව alexander hamilton ඇමරිකානු ඡනාධිපතිවරයෙක් වෙලා හිටපු බව.

6. ලංකාව සහ ඉන්දියාවේ පිහිටීම ගත්තම ඇතැම් අයට ලංකාව ඉන්දියාවට පහළින් තියෙනව වගේ මතකයක් තියෙනව කියල කතාවකුත් තියෙනව. (මේක නම් සමහරවිට අපේ සිතියම් බැලිල්ලෙ වැරැද්දක් වෙන්න පුළුවන්)

ඇත්තටම ලංකාව තියෙන්නෙ ඉන්දියාවෙ දකුණු පසට වෙන්න. ගොඩක්ම පහළින් නෙවේ.

      මේ හැමදේකටම හේතුව යථාර්ථ කිහිපයක් තිබීම කියල පිරිසක් විශ්වාස කරනව.(Alternate Realities) ඇතැම් වෙලාවට මේ යථාර්ථ එකිනෙක එක්ක කලවම් වීම නිසා මිනිස්සුන්ගෙ මතක වෙනස්වෙන බව තමයි එතනදි ඔවුන් කියන්නෙ. එතනදි අලුතෙන් හැදුන යථාර්තයෙ මතකයන් පිරුණු මිනිස්සු බහුලව සිටියත් පරණ යථාර්ථය ගැන මතක අයත් ඒ අතර ඉන්න පුළුවන් කියන එක තමා ඔවුන්ගෙ තියරිය.

    ඒ කියන්නෙ සැබෑවටම නෙල්සන් මැන්ඩෙලා 1980 මියගිහින් අවමංගල්‍යයක් උනා. හැබැයි තවත් යථාර්ථයක නෙල්සන් මැන්ඩෙලා දිගටම ඡීවත්වෙලා 2013 මියගියා..
     පස්සෙ දෙක එකට මික්ස් වෙලා මැන්ඩෙලා 1980 මියගිය යථාර්ථය නෙල්සන් මැන්ඩෙලා 2013 මියගිය යථාර්ථයට ෆිට් උනා.. 

දැන් තියෙන්නෙ කලවම් යථාර්ථයක්.

ඒකෙ සමහර අයට පරණ යථාර්ථය මතක තිබුනා වගේම සමහර අයට ඒක  එහෙම උනේ නෑ කියල තමා ඔවුන් කියන්නෙ.

 මේ ගැන තියෙන තවත් තියරියක් තමයි එකවර බොහෝ පිරිසකගෙ මතකය නැති වීම.
   ඔවුන්  කියන්නෙ අලුත් මතකයන් එක පිට එක ගොඩගැසීම එක්ක මිනිස්සුන්ගෙ පරණ මතක යට ගිහින් අවුල් වෙලා වෙනස් වෙලා මතක නැතිවෙන්න හැකියාවක් තියෙනව කියලයි.

තවත් පිරිසක් මේක මානසික රෝගයක් විදියටත් අර්ථ දක්වලා තියෙනව..

තවත් පිරිසක් කියනව මේක කාල තරණය කරල නෙල්සන් මැන්ඩෙලාව මැරෙන්න නොදී බේරගත්ත නිසා උන දෙයක් කියලත්.

තවත් පිරිසක් කියනව මේක සැලසුම් සහගතව මනසට කා වද්දපු බොරුවක් බව..

කවුද දන්නෙ ඇත්ත මොකක්ද කියල🙄

කොහොම නමුත් කොච්චර මත ආවත් යථාර්ථ කිහිපයක් ගැන මතය තමයි මේ මැන්ඩෙලා බලපෑම ගැන තියෙන ප්‍රසිද්ධම මතය විදියට සලකන්නෙ.

කොහොම නමුත් මැන්ඩෙලා බලපෑම ගැන තවදුරටත් දැනගන්න ආස අයට අන්තර්ඡාලය හරහා ගොඩක් තොරතුරු දැනගන්න පුළුවන්..මම  පළ කලාට වඩා ගොඩක් තොරතුරු මේ සම්බන්ධව තියෙනව.
   mandela effect කියල ලස්සන මූවි එකකුත් තියෙනව 2019 ආව. බයිස්කෝප් එකෙන් උපසිරැසි එහෙමත් දීල තියෙන ඒ ෆිල්ම් එකත් අනිවාර්යයෙන් බලන්න වටින එකක්.

මේ සම්බන්ධ ප්‍රසිද්ධ උදාහරණ කිහිපයක් මම පහළින් දාන්නම්..












හොල්මන

තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...