Friday, December 7, 2018

මහාචාර්යවරයාගේ දියණිය හෙවත් සීලියා


ශරීරය ක්‍රියාවිරහිත වීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මකයි

1.2.3.Start

හරිම පුදුමයි මහාචාර්යතුමා!
 ඇත්තටම  ඒ පුද්ගලයට මොකක්ද සිදුවුණේ,
විසි නව හැවිරිදි තරුණ විද්‍යාඥයෙකු වූ කාරියවසම් තම මහාචාර්යවරයා වූ හැට හැවිරිදි හෙක්ටර් ගුණතිලක මහතාගෙන් විමසීය.
    මහාචාර්යවරයා සහ තරුණයා සිටියේ මහාචාර්යවරයාගේ නිවසේ බිම් මහළ තුළ පැවති රහස් විද්‍යාගාරය තුළ මහාචාර්යවරයාගේ නව නිර්මාණය පිරික්සමිනි.

  මගේ නවීනතම නිර්මාණය උන මෙන්න මේ පැලැස්තර කැබැල්ලෙන් තමයි ඔය ඉන්න පුද්ගලයට ඒ දේ උනේ.

මහාචාර්ය තුමා ඉතාමත් කුඩා චිපයක් සහිත පැලැස්තර කැබැල්ලක් ගෙන කාරියවසම්ගේ මුහුණට කිට්ටු කරමින් ඉතාමත් සතුටින් පැවසීය.

  මේක සාමාන්‍ය තුවාල වලට ගහන පැලැස්තර කැබැල්ලක් නෙවෙයි. මේක මම නිෂ්පාදනය කරපු අති විශේෂ චිපයක් ඇතුළත් පැලැස්තර කැබැල්ලක්. මේ පැලැස්තරය අපිට අවශ්‍ය පුද්ගලයගෙ  හිසේ කුඩා මොළය ප්‍රදේශයෙ ඇලෙව්වහම අපිට පුළුවන් ඒ පුද්ගලයව අපිට අවශ්‍ය ඕනෑම මොහොතක අකර්මණ්‍ය කරල දාන්න.

ඔබට තේරෙනව නේද ඒකෙ තියෙන වැදගත්කම.
බැරෑරුම් මුහුණක් ආරූඩ කරගත් මහාචාර්ය වරයා පැවසීය.

තව දුරටත් මේ රටට සිර මැදිරි අවශ්‍ය නැහැ. අපිට පුළුවන් ඕනම අපරාධකරුවෙක්ව මේ පැලැස්තරය සවි කරල සමාඡයට මුදා හරින්න..

ඒක හරියන්නෑ මහාචාර්ය තුමා.තරුණ කාරියවසම් එසේ පවසද්දී, මහාචාර්යවරයා ඔහු දෙස බලාපොරොත්තු කඩවුණු බැල්මක් හෙළමින් ඒ මන්දැයි විමසීය.

දැන් අපි නිදහස් කරන අපරාධකරුවාට පුළුවන්නෙ ඔහුට අවශ්‍ය ඕනම වෙලාවක ඔහුගෙ හිසට සවි කරපු ප්ලාස්ටරය  ඉවත්කරගන්න!

එතකොට ඔබතුමාගෙ වැඩේ අසාර්ථකයි නේද?

ඇත්තම නේන්නම් මට ඒ ගැන කල්පනා උනේම නැහැ. අද කාලෙ තරුණ තරුණියො අපේ කාලෙ අයට වඩා ගොඩක් බුද්ධිමත් තමයි. අපේ සීලියට උනත් මහාචාර්ය කෙනෙක් උන මට වඩා ගොඩාක් බුද්ධිමත් අදහස් තියෙනවනෙ.
එයා තමයි මේ උපකරණය ගොඩනගන්න අදහස මගෙ හිතට දැම්මෙත්.
    සීලියා යනු මහාචාර්ය වරයාගේ තරුණ දියණියයි.විසි තුන්වන වියේ පසුවන ඇය මේ වන විට ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක අවසන් වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.තම පියාගේ අඩි පාරේ යමින් දක්ෂ විද්‍යාඥයෙකු වීම ඇගේ එකම අරමුණයි.

වසර කිහිපයක් මහාචාර්යවරයාගේ සහයකයා ලෙස ක්‍රියා කළ කාරියවසම් හා මහාචාර්යවරයාගේ දියණිය අතර යම් පෙම් සබඳතාවයක් පසුගිය කාලයේ ඇතිවී තිබුණි.
මේ පිළිබඳව දැනුවත් වූ මහාචාර්යවරයා වහාම එම සබඳතාවය බිඳ වැටෙන ලෙස කටයුතු සිදු කරන ලදී.
මෙහිදී නැවතත් කාරියවසම් ඉදිරියේ තම දියණියගේ නම සිහි කරමින් තමන් සිදුකරන ලද්දේ වැරැද්දක් දැයි මහාචාර්යවරයා තුළ සිතුවිල්ලක් ඇති වන්නට විය.
මේ හැඟීම ඇතිවූ තැනින්ම නැති කළ යුතුය.

කාරියවසම් ඔයා දැන් යන්න. මට මගේ වැඩේට හිත යොමු කරන්න අවශ්‍යයි.මට අවශ්‍යතාවයක් උනොත් ෆ්‍රැන්සිස් ඉන්නවනෙ..

ෆ්‍රැන්සිස් යනු මහාචාර්ය වරයාගේ නිවසේ සිටින මෙහෙකරුවායි..

තවත් වසර කිහිපයක් ගෙවී ගියේ ලොවටම රහසේය.

මහාචාර්ය හෙක්ටර් තව නව නිපැයුම වඩාත් සාර්ථක අයුරින් ප්‍රතිනිර්මාණය කලේය.
තම අති විශේෂ පරීක්ෂණය ලොවට හෙළි කිරීමට පෙර පෞද්ගලිකව අත්හදා බැලීමට ඔහුට අවශ්‍ය විය..

සීලියා,
ෆ්‍රැන්සිස් තාම ආවෙ නැද්ද?

තාම ආවෙ නෑ ඩැඩී.

මේ මනුස්යට මම අද උදේනෙ එන්න කියල කිව්වෙ.ගෙදර ගිහින් එන්නම් කියල ගිහින් පැළ උනාද? දැන් ඉතින් මම මේ පරීක්ෂණයට නිදර්ශකයක් විදියට ගන්න කෙනෙක් කොහෙන් හොයා ගන්නද?

ගෙදර කවුද?
ගෙදර  කවුද?

කවුද ඒ පාර මේ වෙලාවෙම දොරට ගහන්නෙ.
දුව, ඔයා ගිහින් බලල එන්න..

ඩැඩී ඩොක්ට කාරියවසම් ඇවිත්

ආ.කාරියවසම්!!!

තම දියණිය සිටින මොහොතේ කාරියවසම් පැමිණීම ගැන මහාචාර්යතුමාට ඇති වූයේ කෝපයකි.
නමුත් මේ මොහොතේ වටිනාකම ගැන සලකන විට එය එතරම් සැලකිය යුත්තක් නොවේ.
තම කෝපය සිත තුළම සඟවාගත් මහාචාර්යවරයා ව්‍යාඡ සිනාවක් මුවෙහි රඳවාගෙන කාරියවසම් හට ඇමතුවේය.

ඉලන්දාරියා තමුසෙව මේ වෙලාවෙ දැකගන්න ලැබුන එකත් ලොකු දෙයක්.

මට මේ පරීක්ෂණේ ඉවර කරගන්න බැරුව හිටියෙ ෆ්‍රැන්සිස් නැතුව.
කොහෙද මේ යකා හරියටම අදම හොයාගන්න නෑනෙ.

මොකක්ද මහාචාර්ය තුමා වෙන්න ඕන.මට මැරෙන්න වෙන වැඩක් එහෙම නෙවේ නේද?
කාරියවසම් සිනාසෙමින් ඇසීය.
හපෝ නෑ, ඔහේට මතකද මම අර ඉස්සර දවසක් ඔහේට පෙන්නපු චිප් එකක් සවි කරපු පැලැස්තරේ.
මම ඒක තවත් වැඩිදියුණු කලා..

මහාචාර්යවරයා ආඩම්බර සිතින් පැවසීය

මට දැන් ඒක පරික්ෂා කරගන්නයි ඕන.

ඩැඩී ඩැඩී

ඇයි සීලියා,

ඩැඩීට මේ විද්‍යාත්මක වැඩ නිසා මනුස්ස ගුණධර්ම පවා අමතක වෙලා.
ගෙදරට ආපු අමුත්තෙක්ට ඔහොම සලකන එක හරිද ඩැඩී..
ගෙදරට ආපු මනුස්සයෙක්ව ඔයාට ඔහොම අවධානම් පරීක්ෂණ වලට යොදාගන්න එක හොඳද?

ඒකට කමක්නෑ සීලියා කාරියවසම් පැවසීය..

හැබෑටම දුව කියනං මට ඒ ගැන කල්පනාවට ආවෙත් නෑනෙ..ඒකක් ඇත්ත තමා මගෙ දරුවා...

හොඳයි හොඳයි

මගේ පරීක්ෂණයෙ නිදර්ශකය මම ම වෙන්නම්කො. එතකොට මට මේකෙ තත්වය ගැනත් හරියටම දැනගන්න පුළුවන් වෙනව.

සීලියා ඔයා දන්නව නේද මේක ක්‍රියාත්මක කරන හැටි

ඔව් තාත්තේ,,
මගෙ උදව්වට කාරියවසම්  ඉන්නවනෙ.ඔයා බයවෙන්න එපා.

කාරියවසම් මේ අහගන්නව,
මම කලින් පාර හදපු පැලැස්තරේට පුළුවන් උනේ මනුස්සයෙක්ව මුලුමනින්ම අක්‍රිය කරන්න විතරයි.ඒ වෙලාවෙ ඉදල ඔහුට මුකුත්ම කරගන්න බෑ , සිහියත් නැහැ.
     ඒත් මම මෙදා සැරේ කරපු නවීකරණ කිරීමත් එක්ක මේක වෙනස්ම විදිහකට තමයි  ක්‍රියාත්මක වෙන්නෙ..
ශරීරය අක්‍රිය වෙන්න නිල් බොත්තම ඔබල. අර අතන තියෙන විශේෂ රතු බොත්තම එබුවහම,
අක්‍රීය වෙච්ච පුද්ගලයගෙ සම්පූර්ණ ශරීර අභ්‍යන්තර ක්‍රියාවලි වැඩ කරන්න පටන්ගන්නව.ඒ කියන්නෙ, අපි පැලැස්තරේ අලවපු මනුස්සයට අත පය හොලවන්න විතරයි බැරි.ඔහුගෙ ඇස් කන් , මනස හොඳටම ක්‍රියාත්මක වෙන්න ගන්නව.හිතන්න පතන්න උනත් පුළුවන්. ඒව ක්‍රියාත්මක කරන්න විතරයි බැරි.
ඒ විතරක් නෙවෙයි, දැන් මේ පැලැස්තරේ සවි කරල ශරීරය අක්‍රිය කලාට පස්සෙ,
පැලැස්තරේ හිසෙන් ඉවත්කලත් ශරීරය ක්‍රියාත්මක වෙන්නෑ. නැවත ක්‍රියාත්මක වෙන්න නම් නැවතත් මේ පැලැස්තරේ අලවල නිල් බොත්තම ඔබල විද්‍යුත් ධාරාවක් මොළයට ලබා දීල උත්තේඡනයක් දෙන්නම ඕන.

මේ ක්‍රමය භාවිතා කරල ඉතාමත් දරුණු අපරාධකාරයො පුටු වල හේත්තු කරවල අපිට එයාලට යහපත් සාරධර්ම උගන්නන්න පුළුවන් වෙයි.මේක බන්ධනාගාර ක්‍රමය තුළ විප්ලවයක් ඇති කරන්න පුළුවන් නිර්මාණයක්.

කාරියවසම් තමුන් වෛද්‍ය විද්‍යාව ගැන ඉගෙනගත්තට මගෙත් එක්ක ඉදල ඉලෙක්ට්‍රොනික් වැඩ ගැනත් ටිකක් දන්නව නේද?
ප්‍රශ්නයක් ආවොත් මගෙ දුව කියන විදියටම කරනව.

දැන් අර පැලැස්තරය අරගෙන මගෙ හිස පිටුපස්සෙ අලවනව.

හරි මහාචාර්යතුමා හරි..

ආහ්, වැඩේ සාර්ථකයි.
තමුසෙ මම හිතුවට වඩා දක්ෂයෙක්නෙ..

දැන් මම මේ මේසෙ හාන්සි වෙන්නම්..
සීලියා
ඔයා නිල් බොත්තම ඔබන්න...

මහලු මහාචාර්යවරයා තම විද්‍යාගාරයේ පැවති මේසයේ සැතපුණු අතර ඔහුගේ දියණිය වූ සීලියා විසින් නිල් පැහැ බොත්තම ඔබන ලදී..

ඩැඩී ඩැඩී!!!
ඩැඩී!

වැඩේ සාර්ථකයි!!!

ඉන්පසුව සිදු වූයේ කුමක්ද?

ඉන්පසුව අති විශේෂ රතු බොත්තම ඔබා මහාචාර්යවරයාගේ මනස ක්‍රියාත්මක කළ සීලියා, ඔහුගේ මුහුණ විද්‍යාගාරයයේ සෑම කොනම පෙනෙන පරිද්දෙන් පැත්තට හැරවූවාය...

ඉන්පසු අැය,
එක්වරම තරුණ විද්‍යාඥ  කාරියවසම් අසළට පැමිණ ඔහුව සිපවැළඳ ගත්තාය.

මහලු මහාචාර්යවරයාට සිදුව ඇත්තේ තම දියණියගේ මෙම පිළිකුල්සහගත හැසිරීම , ඇසිපිය නොහෙලා බලා සිටීම පමණි. මන්දයත් මේ වන විට ඔහුගේ මුලු ශරීරයම අක්‍රීයව පැවතිණි.

සිපගැනීමෙන් පසුව මේසයේ දිගා වී සිටින මහලු මහාචාර්යවරයාගේ මුහුණ අසලට පැමණි තරුණ දියණිය ඔහු දෙස බලමින් කතාව ආරම්භ කලාය.

ඩැඩී දන්නවනෙ මගෙයි කාරිගෙයි ලව් එෆෙයාර් එකක් තිබුන බව.
ඩැඩී ඔයා මට ඒ දවස්වලම කාරියවසම්ව විවාහ කරල දුන්නනම් මේ කිසි දෙයක් වෙන්නෑනෙ..
ඔයාට ඕන උනේ, ඔයාගෙ යාලුව මහාචාර්ය සිරිපාලගෙ  පුතා සුනිල්ට මාව විවාහ කරල දෙන්නනෙ,
කොච්චර ලඟින් ආශ්‍රය කලත් ඔයා කාරියවසම්ට කැමති උනේම නෑනෙ.කාරියවසම් හොඳට ඉගෙනගන්න , හොඳ රස්සාවක් කරන කෙනෙක්, ඒත් ඔයාට එයාගෙ දුප්පත් පවුල් පසුබිම අමතක කරන්න බැරි උනානෙ ඩැඩී.
එයා මගෙ ඡීවිතේ කියල මම ඔයාට කොච්චර කිව්වද?
 මම ආස කෙනාව විවාහ කරගන්න අවසර දෙන්න කියල,
මම ඔයාගෙන් කොච්චර වැඳවැටිල ඉල්ලුවද?
ඔයා මගෙ හැඟීම් ගැන පොඩ්ඩක්වත් හිතුවෙ නෑ ඩැඩී.
ඔයාට ඕන කලේ මහ ලොකු ප්‍රසිද්ධියයි , ඡනතා සේවයයි විතරයි.
ඔයාගෙ දුවගෙ හැඟීම් තේරුම්ගන්න ඔයා චුට්වත් උත්සාහ කලේ නෑ ඩැඩී..

ඔයාම තමයි මේ දේ කරන තැනට මාව අසරණ කලේ.

කාරී, ඔයා ගිහින් ෆ්‍රැන්සිස්ට එන්න කියන්න.
මිනිහ ඉස්සරහ ගේට්ටුව ලඟ ඇති.මම මිනිහට එතන ඉන්න කියල ඇත්තෙ පරීක්ෂණ ඉවරවෙනකම්.
ඊට කලින් ඔයා අර පැලැස්තර කෑල්ල අයින්කරල, තාත්තව ගෙදර සාලෙට ගෙනියන්න උදව්කරන්න..
ඊට පස්සෙ මේ දොර සදහටම වහල දාන්න.

සුලු මොහොතකට පසු කාරියවසම් විසින් කරන ලද දැනුම්දීම මත ෆ්‍රැන්සිස් නිවසට පැමිණියේය....

      සාලයේ එක් කෙළවරක වැටී සිටි මහලු මහාචාර්යවරයාගේ හිස තම උකුළ මත තබාගෙන මහාචාර්යවරයාගේ තරුණ දියණිය අඬමින් සිටින අයුරු ඔහුට දක්නට ලැබිණි.

බලන්නකො ෆ්‍රැන්සිස් මගෙ ඩැඩීට වෙච්ච දේ...

අදත් මොකක්ද පරීක්ෂණයක් තියෙනව කියල නොකා නොබී වැඩ කර කර හි⁣ටියෙ..
ඔයා දන්නවනෙ පහුගිය කාලෙම ඩැඩීගෙ හැසිරීම..
හරියට කෑමක් බීමක් නෑ.
හරියට පිස්සු හැදිල වගේ පරීක්ෂණ වලට මහන්සි උනේ, මට පේන්නෙ ඩැඩීගෙ පෙෂර් වැඩි වෙලා පැරලයිස් වෙල⁣ා...

මගෙ දෙයියනේ,
මගෙ ඩැඩීට මේ මොකද උනේ.

මාස කිහිපයක් ගත විය.
   
පැරලයිස් තත්වයට පත් වූ මහාචාර්යවරයාට කොතරම් වෛද්‍ය ප්‍රතිකාර කළද  ඒ සියල්ල ගඟට කැපූ ඉණි මෙන් අසාර්ථක විය.අවසානයේ ඔහුට ප්‍රතිකාර කිරීම අත්හැර දමන්නට සියලු දෙනාට සිදු විය.
මහාචාර්යවරයා⁣ෙග් නිවසේ , ඔහුගේ දියණිය හා ඇගේ සැමියා වූ කාරියවසම් ඉතාමත්  සතුටෙන් දිවි ගෙවුවෝය. දියණියක් වශයෙන් සීලියා අසනීප වූ තම පියාවද ඉතා හොඳින් රැකබලා ගනිමින් නිවසේ කටයුතුද බලාගනිමින්  කරන කාර්යභාරය, හිතවතුන් සැමගේ ප්‍රශංසාවට ලක්විය.
   තවත් ටික කලකට පසු සීලියා හා කාරියවසම්ගේ ලෝකය තුළට කුඩා දියණියක්ද පැමිනිණි.
සති කිහිපයක් දියණිය සමඟ කාලය ගත කල කාරියවසම් නැවත රැකියාව වෙත පිටත්ව ගිය අතර, නිවසේ තනිවූ  සීලියාට එක්වරම ඇති වූ සිතිවිල්ලක් මත ඇය තම අලුත උපන් ළදරුවා සිය පියාණන් පෙන්වීමට තීරණය කළාය.
දරුවා පියාණන් හට පෙන්නූ සීලියා ආපසු යෑමට හැරෙනවිට  දුටුවේ මෙතෙක් නෙසෙල්වී දැඩිව පැවති තම පියාණන්ගේ දෑස තුළින් කඳුලු බිඳු ගලා එන බවයි...
වහා තම කාමරය වෙත දිව ගිය ඇය. දරුවා තොටිල්ල මත තබා,
අල්මාරිය විවර කර එයින් යතුරක් ගෙන.
හැකි වේගයෙන් නිවසේ යටි මහළේ පැවති පියාගේ විද්‍යාගාරය වෙත ගියාය. එහි මළකා තිබූ දොර අපහසුවේන් විවෘත කරගත් ඇය, විද්‍යාගාරයයේ එක් පසෙක තිබූ,
බොහෝ කළකින් විවර නොකෙරූ සේප්පුවට තම⁣ා රැගෙන ආ විශේෂ යතුර දමා විවෘතකර, එය තුළ තිබූ පෙට්ටියක් අතට ගත්තාය. ඉන්පසු පෙට්ටිය විවර කළ ඇය ඒ තුළින් ගත්තේ වසර ගණනකට පෙර ඇගේ පියා නිර්මාණය කළ චිපය සවි කළ පැලැස්තර කැබැල්ලයි. ඉන්පසු අැය ඒ ආසන්නයේ පැවති නිල් පැහැ බොත්තම සහිත පැනලය දෙස බැලූයේ බලාපොරොත්තු සපිරි දෑසකිනි.

Monday, November 26, 2018

සිද්ධාලේප ටැක්ටරය හදන හැටි සරලව ඡායාරූප හා වීඩියෝ


   අද මම ඔයාලට කියල දෙන්න  හදන්නෙ පොඩ්ඩන්ට සෙල්ලම් කරන්න ගෙදර තියෙන සරල දේවල් කිහිපයකින් හදාගන්න පුළුවන් සෙල්ලම් බඩුවක් වෙන සිද්ධාලේප ටැක්ටරේ හදන හැටි ගැන. මේ සෙල්ලම් බඩුවට ඒ අපූරු නම වැටෙන්න හේතුව තමයි මේක හදන්න හිස් සිද්ධාලේප කුප්පියක් යොදා ගැනීම. එහෙනම් කතා ඇති, අපි බලමුකො කොහොමද මේක හදන්නෙ කියල.

අවශ්‍ය ද්‍රව්‍යය

1.මැදින් සිදුරු කරන ලද හිස් සිද්ධාලේප කුප්පියක්

2.මැදින් සිදුරු කරල ලද කුඩා ඉටිපන්දම් කැබැල්ලක් (නූල ඉවත්කර එම සිදුර විශාල කරගන්න)

3.රබර්පටියක්

5.ඉරටු කැබැල්ලක්



සාදන ආකාරය

1.මුලින්ම රබර්පටිය අරගෙන ඒක සිද්ධාලේප කුප්පියෙ හදපු  සිදුර හරහා ඉවතට අරගන්න.


2. ඊට පස්සෙ සිද්ධාලේප කුප්පියේ මූඩිය පැත්තෙන් එළියට ගත්ත රබර්පටිය, සිදුරු කරගත්ත ඉටිපන්දම් කැබැල්ලෙ සිදුර හරහාත් යවල එළියට ගන්න.

3. ඊලඟට ඉරටු කෑල්ල අරගෙන එ්කෙන් පොඩි කෑල්ලක් කඩල , ඒක සිද්ධාලේප කුප්පිය පිටිපස්සෙ තියෙන රබර්පටියේ ඇතුලෙන්  යවල  රබර්පටිය එළියට එන එක වැළකෙන්න හිරකරගන්න.



4.දැන් ඉතුරු ඉරටු කෑල්ල අරගෙන ඉටිපන්දම් කැබැල්ලෙ සිදුරෙන් එළියට ආපු රබර්පටි කොටසෙ ඒක හොඳට පටලවා ගන්න.ඇදල ගැටයක් ගැහුවත් කමක්නෑ(ඉරටු කැබැල්ල ඉටිපන්දම් කොටසට හිරවන ආකාරයට)

5. දැන් සිද්ධාලේප ටැක්ටරය සූදානම්. මේක යවන්න ඔයාලට කරන්න තියෙන්නෙ , ඉරටු කෑල්ල සිද්ධාලේප කුප්පිය වටේට කරකවල හොඳට වයින් කරල බිමින් තියන එක විතරයි. ටැක්ටරේ නියමෙට යන්න පටන්ගනියි.

මේ වීඩියෝ එක බලන්න >>


මුලින්ම පැන පැන කඩාගෙන යයි. නමුත් මේක පදම් උනාට පස්සෙ කොච්චර වයින් කලත් එකම වේගයක් තමයි තියෙන්නෙ.. හරියට ගමන්කරන ටැක්ටරේ , සිද්ධාලේප කුප්පිය කැරකුනාට ඉටිපන්දම් කැබැල්ල කරකැවෙන්නෙ නැහැ, ඒක සිද්ධාලේප කුප්පියෙ මූඩියෙ දැවටෙමින් වේගය අඩාල කරනව..

* මේ සෙල්ලම් බඩුව හදන්න ඔයාල ගාව සිද්ධාලේප කුප්පි නැත්නම් ඔයාලට ඉවරවුන බයින්ඩර් ගම් බෝතල⁣යකින් උනත් මේක  හදාගන්න පුළුවන්.එ්කට හොඳ ප්‍රතිඵල ලබා ගන්න ලොකු ඉටිපන්දම් කැබැල්ලකුත් භාවිතා කරන්න ඕන.

ටැක්ටරේ උඩ අතට හරවල තිබ්බම , රවුම වටේට කැරකෙන ඉරටුව, ඔයාට සෙක්කුවකුත් සිහිපත් කරයි.

 මේ වීඩියෝ එක බලන්න >>



Thursday, November 22, 2018

ගණදෙවියන්ට අලි හිසක් ලැබීම ගැන කතා දෙකක්

 
    ගණ දෙවියන්ට අලියෙකුගෙ හිසක් ලැබීම කියන්නෙහින්දු දේව කතා වල එන තවත් අපූරු කතාවක්. මෙහිදී හින්දු භක්තිකයන් විශ්වාස කරන ප්‍රධාන කතාවයි , ඊට අමතරව මගේ සීය මට කුඩා කාලෙ කියල දීපු අපූරු කතාවකුයි කතා දෙකක් මම ඔයාලට අරගෙන ආව.අපි මුලින්ම හින්දු භක්තිකයන් විශ්වාස කරන ප්‍රධාන කතාව කියවල බලමුකො.
   ඔයාලට මතක ඇති මම පළවෙනි ලිපියෙන් ගණ දෙවියන්ගෙ උපත ගැන ඔයාලට කියල දුන්න. ඒක බලපු නැති කෙනෙක් ඉන්නව නම් මෙතනින් ගිහින් බලල එන්න >>ගණ දෙවිඳුන්ගේ උපත

   ඉතින් මේ කතාවෙ හැටියට ගණ දෙවියො කියන්නෙ හරිම ආඩම්බරකාර , අම්මගෙ කීම විතරක් අහන කොලු පැටියෙක්.
මෙයා උපදින දවස් වෙනකොට ශිව දෙවියන් කෛලාෂයෙ හිටියෙ නැහැ. එතුමා දීර්ඝ තපසක නිරතවෙලා තමයි හිටියෙ.
ඔන්න ඉතින් දෛවයේ හැටියට දවසක් ශිව දෙවියො තමන්ගෙ කටුක තපසින් අවධි වෙලා තමන්ගෙ නිවස උන කෛලාෂයට යන්න පිටත්උනා..
ශිව දෙවියො අවධිවෙලා කෛලාෂයට යන්න පිටත්උන බව දැනගත්ත දෙවිවරුත් පුළුවන් තරම් ඉක්මනින් කෛලාෂය යන්න පිටත්වුනා.ඒ ශිව දෙවියන්ව පිළිගන්න.
       මෙන්න මේ වැදගත් ආරංචිය ලැබෙන දවසෙ උදේ, සිද්ධිය ගැන කිසිම දෙයක් ආරංචි නොවුන පාර්වතී දේවිය වෙනද වගේම ඡල ස්නානයට යන්න පිටත්වුනා.
 ඇය ඡලය ස්නානය කරන වෙලාවට කවුරුවත් කෛලාෂයට එනවට ඇය කැමති උනේ නැහැ. ඒ නිසා ඇය ඇගේ පුතණුවන් උන ගණේෂට රාඡකාරියක් බාර දුන්න.ඒ තමයි ඇය ඡලය ස්නානය කරල අවසන් වෙලා එනකම් කිසිවෙකුටත් මාලිගයට එන්න නොදී ආරක්ෂා කරන එක.
   අම්මගෙ කීම එකහෙළාම පිළිගන්න ගණේෂ කෛලාෂයේ දොරටුව ලඟට වෙලා දොරටුව මුර කරන්න පටන්ගත්ත.මේ අවස්ථාවේදී තමයි ශිව දෙවියන් තපසෙන් අවධිවෙලා කියන ආරංචිය අරගෙන දෙවිවරු කෛලාෂයට ආවෙ.නමුත් කෛලාෂයෙ දොරටු පාලක උන ගණේෂ ඒ කිසිම කෙනෙක්ට ඇතුළට යන්න ඉඩ දුන්නෙ නැහැ. ඉඩනොදී හිටිය විතරක් නෙවෙයි, ගණේෂ එයාල කියන වචනයකවටත් ඇහුන්කන් දුන්නෙ නෑ.
⁣ගණේෂ කියන්⁣ෙන කවුද කියල හරියට නොදැන හිටපු දෙවිවරු අවසානයේ ගණේෂට පහර දීල කෛලාෂයට ඇතුල් වෙන්න තීරණය කලා. නමුත් ගණේෂ ඉතාමත් පහසුවෙන් ඔවුන්ව පරාඡය කරල සිරකරල දැම්ම.
   ඊලඟට ආවෙ ප්‍රධාන ශිව භක්තිකයෙක් වගේම ශිව දෙවියන්ගෙ වාහනය නන්දි ගවයා
. ගණේෂ ඔහුවත් ඉතාමත් පහසුවෙන් පරාඡය කරල දැම්ම.
කුඩා ළමයෙකුගෙ අතින් මේ උන පරාඡය නිසා සම්පූර්ණයෙන්ම අසරණ තත්වයට පත්උන දෙවිවරු ත්‍රිමුර්තියෙන් උදව් ඉල්ලන්න තීරණය කලා.(ත්‍රිමූර්තිය කිව්වෙ විශ්ණු , බ්‍රහ්ම හා ශිව කියන ප්‍රධාන දෙවිවරු තිදෙනා)
     විෂ්ණු සහ බ්‍රහ්ම දෙවිවරු ගණේෂගෙ උපත ගැන හැමදේම දන්නව. ඔවුන් ඇවිත්  ගණේෂට මේ වෙන සිදුවීම පහදා දෙන්න උත්සාහ කලා. නමුත් ගණේෂ ඒ වෙනකොට හිටියෙ කිසිවෙක්ට සවන් නොදෙන තත්වයක. ඔහු විෂ්ණු දේවයන්ට සහ බ්‍රහ්ම දේවයන්ටත් පහර එල්ලකලා.
    මෙන්න මේ අවස්ථාවේදී තමයි ශිව දෙවියන් කෛලාෂයට පැමිණියෙ. ඔහු සම්පූර්ණ සිද්ධියම දැක්ක.
තමන්ගෙම පුත්‍රයා උනත් කිසිවෙක්ට ඇහුම්කන් නොදී ඔහු මේ කරන පහරදීම් දැකල ශිව දෙවියන්ගෙ කෝපයත් ඉහළ ගියා. ශිව දෙවියන්ව දැකපු ගණේෂ තවත් ආගන්තුකයෙක් කියල හිතල ශිව දෙවියන්ට පහර දෙන්න උත්සාහ කලා.ඒකෙන් තවත් කෝපයට පත් උන ශිව දෙවියො එයාගෙ ත්‍රිශූලය අරගෙන ගණේෂට පහරක් එල්ල කලා. එයින් ගණේෂගෙ හිස කඳින් වෙන් වෙලා අලු බවට පත් උනා.

(ශිව දෙවියන්ගෙ මේ හදිසි කෝපය සහ තමන්ගෙ පුත්‍රයට පහර දීම පිටුපස තවත් කතාවක් තියෙනව. කාලෙකට ඉහතදි තමන්ගෙ බලයෙන් උඩඟු බවට පත් උන සූර්ය දෙවියන් තමන්ගෙ රාඡකාරි කිසිවක් ඉටු නොකර ලෝකයට පීඩා කරන්න පටන්ගත්ත.මේක දැකපු ශිව දෙවියො ඔහුට සත්‍ය තේරුම් කරල දෙන්න ඔහු ලඟට ගියා. නමුත් උඬගු බවින් හිටපු සූර්ය දෙවියො ශිව දෙවියන්ට පහර දුන්න. මෙයින් කෝපයට පත් උන ශිව දෙවියනුත් ඔහුට සිහි නැති වෙන්න පහරක් එල්ල කලා. සිහි නැති උන සූර්ය දෙවියන්ව දැකපු ඔහුගේ පියා කාශ්‍යප ඝෘෂි තුමා  හිතුව ශිව දෙවියන් තමන්ගෙ පුතාව මරල දැම්ම කියලයි. ඔහු ශිව දෙවියන්ට ශාප කලා කවදහරි දවසක තමන්ගෙ අධික කෝපයෙන් තමන්ගෙම පුතාව මරන තත්වයකට ශිව දෙවියො පත් වේවා කියල. පස්සෙ පුතාට සිහි නැතිවුනා විතරයි කියල ඝෘෂි තුමා දැනගත්තත්, එතුමා කරපු ශාපය නැවත ගන්න ක්‍රමයක් තිබුනෙ නෑ. ඒ ශාපය තමයි මේ අවස්ථාවෙදි ශිව දෙවියන්ට බලපෑව කියල කියවෙන්නෙ)

 මේ අවස්ථාවේදී තමයි පාර්වතී මෑනියො ඡල ස්නානය අවසන් කරල  කෛලාෂයෙ දොරටුව දිහාවට එන්නෙ.
තමන්ගෙ පුත්‍රයාට මේ උන විපත දැකල ඇය ඉතාමත් දුකට පත් උනා.
මවගේ කීම අහපු දරුවෙක්ට මේ කරපු දේ ඉතාමත් අයුක්ති සහගත බව ඇය පැවසුවා.
අවසානයේ ශිව දෙවියන්ටත් ඇගේ කීම පිළිගන්න සිද්ධවුනා.
 නමුත් ගණේෂට පණ ⁣ෙදන එක ඔහුව විනාශ කරපු තරම්  ්සරල දෙයක් උනේ නෑ.ශිව දෙවියන්ගෙ ත්‍රිශූලයෙන් විනාශ උන යමක් නැවත ගොඩනගන එක ශිව දෙවියන්ටවත් කරන්න පුළුවන් කමක් තිබුනෙ නැහැ. ඒකෙ තේරුම උනේ ගණේෂගෙ අලු බවට පත් උන හිස කවදාවත් තිබුන විදියට නැවත හදන්න බෑ කියන එක.
නමුත් පුත්‍රයාට ප්‍රාණය දීම අත්‍යවශ්‍ය දෙයක් නිසා ශිව දෙවියො දේවි වරුන්ට කිව්ව හිරු නැ⁣ෙගන දිශාවට ගිහින් මුලින්ම හම්බවෙන කෙනාගෙ හිස හෝරාවක් අැතුලත අරගෙන එන්න කියල.
මොවුන් හිසක් සොයාගෙන බොහෝ වෙලා ගියත් කිසිවෙක්ව හමු උනේ නෑ.හෝරාව අවසන් වෙන්න කිට්ටු වෙලාවෙදි ඔවුන්ට  මිය යෑමට ආසන්න අලුත උපන් ඇත් පැටවෙක්ව හමු උනා.ශිව දෙවියන්ගෙ වචනය මතක්කරගත්ත ඔවුන් ඇත් පැටියගෙ හිස අරගෙන ආපසු ආව..
ශිව දෙවියො තමන්ගෙ බලය භාවිතා කරල ගණේෂගේ හිස සුන් සිරුරට අලි හිස සවි කරල ඡීවය ලබා දුන්න.
අලි හිස සවි කිරීමෙන් පස්සෙ ඡීවය ලැබුණු ගණේෂ පෙර සිටිය කෙනාටත් වඩා බුද්ධිමත් උන බව තමයි සැලකෙන්නෙ.

       දැන් අපි යමු මට අපේ සීය කියල දීපු දෙවනි කතාවට.මේ කතාව පළවෙනි කතාවට වඩා ගොඩක් වෙනස් මුරුගන් හෙවත් කතරගම දෙවියනුත් ලංකාවත් සම්බන්ධ වෙනස්ම විදිහෙ ලස්සන කතාවක්.

    මේ කතාන්දරයෙ හැටියට තාරක අසුරයව මරා දැමීමෙන් පස්සෙ ලංකාවට එන මුරුගන් හෙවත් කතරගම දෙවිඳුන්ට ආරංචියක් ලැබෙනව , ලංකාවෙ ඈත වනාන්තරයක වැද්දන් සමඟ දිවි ගෙවන දිව්‍යාංගනාවක් වගේ ලස්සන වල්ලි කියන වැදි තරුණියක් ගැන.
මේ ලස්සන තරුණිය ගැන ආරංචි උන මුරුගන් තීරණය කලා මේ සුන්දර වැදි තරුණියව තමන්ගේ බිරිඳ කරගන්න. ඉතින් මුරුගන් තීරණය කලා ඈත වනාන්තරයට ගිහින් ඇයව මුණ ගැසිල ආදරය දිනාගන්න. මුරුගන් දෙවියෙක් උනත් කලු වර්ණයෙන් යුත් දමිල තරුණයෙක්ගෙ පෙනුමට තමයි හිටියෙ. ඉතින් ඉතාමත් රූමත් කාන්තාවක් උන වල්ලි මොහුව දැකපු ගමන් බයේ පැනල ගියා.
මේ සිද්ධිය නිසා හිත අවුල්ගිය මුරුගන්, තමන්ගෙ ආදර ප්‍රශ්නයට මල්ලිගෙන් එහෙමත් නැත්නම් ගණේෂගෙන් උපදෙස් ගන්න කියල කෛලාෂයට ගියා..
සිද්ධිය හොඳට අහ⁣ගෙන හිටපු ගණේෂ තමන්ගෙ බුද්ධිය පාවිච්චි කරල සැලැස්මක් හැදුව..
මෙහෙමයි සැලැස්ම.

ගණේෂ ඉතාමත් දරුණු ඇතෙක්ගෙ රූපයක් දරාගෙන කැලේ තනියෙම ඉන්න වල්ලි ඉදිරියට එනව. ඇය ඇතාට බයවෙලා දුවන අවස්ථාවේදී මුරුගන් ඉදිරිපත් වෙලා ඇයව ඇතාගෙන් බේරගන්නව.

    ගණේෂ ස්වරූපය වෙනස් කරගත්තට ඔහුට සැබෑ ස්වරූපය ගන්න නම් ඔහුට මතුරපු ඡලය ඉහින්න අවශ්‍ය උනා. ඊට අමතරව ගණේෂ හෝරාවකට වඩා ඇත් ස්වරූපයෙන් හිටියොත් ඒක ස්ථීර තත්වයට හැරෙනව. එහෙම උනොත් ආයෙ ගණේෂට මනුෂ්‍ය ස්වරූපයක් ගන්නත් බැහැ.
ඉතින් වැඩේ පටන්ගන්න කලින්ම ගණේෂ ඔය කතාව මුරුගන්ට කියල. මතුරපු වතුර මුට්ටිය මුරුගන්ට දුන්න. ඒ නිසි වෙලාවට ඇවිත් තමන්ට වතුර ඉහළ සැබෑ ස්වරූපය අරගෙන දෙන්න කියල පොරෙ⁣ාන්දුවකුත් අරගෙන..

   දැන් දෙන්න ලංකාවෙ තිබුන  වනාන්තරයට ඇවිත් කතාකරගත්ත විදියට සැළසුම දියත් කලා.
දරුණු ඇතාව දැකල බයවුන වල්ලි දුවගෙන ගිහින් කවුරුත් බලාපොරොත්තු නොවුන විදියට මුරුගන්ට තුරුලු උනා. මේ උන සිද්ධියෙන් අන්දමන්ද උන මුරුගන් වතුර මුට්ටිය පැත්තට දාල ප්‍රේමයෙන් මුසපත් වෙලා ඇයත් එක්ක වනයේ අැවිදින්න ගියා...ලු

   අයිය එනකම් බලාගෙන හිටපු ගණේෂ , දැන්  වෙලාවත් පහුවීගෙන එන බව දැකල කලබල වෙලා හයියෙන් කුඥ්චනාද කලා.. අන්න ඒ සද්දෙ ඇහුනට පස්සෙ තමයි මුරුගන්ට ආපහු සහෝදරය ගැන මතක්උනෙ. ඔහු මතුරපු ඡලය තියපු මුට්ටිය හෙව්ව හෙව්ව ඔහුට ඒක හොයාගන්න බැහැ. අන්තිමේදි මුලු කැලෑවම පීරල ඔහු ඒක හොයාගත්ත..
   ඔහු ගණේෂ ගාවට දුවගෙන එනකොටත් ගණේෂ කියපු කාලය අවසන් වීගෙන යමිනුයි තිබ්බෙ..මුරුගන් හැකිතාක් වේගයෙන් ගණේෂට වතුර විසි කලා. ඒ සමඟම කාලයත් ගෙවිල ගියා..
 අවාසනාවට මුරුගන් ඡලය ඉසින කොටම කාලයත් ගෙවිල යන්න පටන් අරගෙන ඉවරයි..
 මුලින්ම ඡල පහර වැදුන ගනේෂගෙ ශරීරය නැවතත් මුලින් තිබුන තත්වයට ආවත්, ගණේෂගෙ හිසට ඡලය වැටුනෙ පරක්කු වෙලා. එතකොට හෝරාව ගෙවිල ඉවරයි.

   ඉතින් අහිංසක තරුණියක් බියපත් කරල සහෝදරයට උදව් කරන්න ගිය ගණේෂට සිද්ධ උනේ අලි හිසක් සහ මනුෂ්‍ය ශරීරයක් ඇතිව සදහටම දිවි ගෙවන්න.

කොහොම උනත් ගණේෂගෙ සැලැස්ම නම් වැඩකලා.. වැඩි කාලයක් යන්න කලින් මුරුගන් වල්ලි සමඟ විවාහ උනා.. කතරගම දෙවියන් සහ වල්ලි අම්මා මෑණියන් අදටත් ලංකාවෙ ප්‍රසිද්ධ දේව යුවලක්.

Wednesday, November 7, 2018

ගණදෙවියන්ගේ උපත

 ගණේෂ් / විනායගර් / පුල්ලෙයාර් එහෙමත් නැත්නම් ගණ දෙවියො කියල කියන්නෙ ශිව දෙවියන්ගෙ එහෙමත් නැත්නම් ඊශ්වර දෙවියන්ගෙ සහ පාර්වතී මාතාවගෙ බාල පුතාටයි. ඔවුන්ගෙ වැඩිමහල් පුතා තමයි කාර්තිකේයන් හෙවත් කතරගම දෙවියන්..
   බාල පුතා උනාට ගණ දෙවියන් නුවණට අධිපති කියල තමයි කියන්නෙ.මෙයාගෙ මේ අසීමිත නුවණ නිසාම මෙයා හින්දු දේව මණ්ඩලේ ප්‍රධාන දෙවියන් කියන තනතුර ලබාගෙන තියෙනව. ඒ නිසා හින්දු භක්තිකයන් මොන සුබ වැඩේ පටන්ගත්තත් ගණේෂට පූඡාවක් තියලයි වැඩ ආරම්භ කරන්න ඕන.
     ගණ දෙවියො මෙච්චර බුද්ධිමතෙක් වෙන්න හේතුව තමයි ඔහුට මනුෂ්‍ය හිසක් වෙනුවට අලියෙකුගෙ හිසක් පිහිටා තිබීම කියල කට්ටිය කිව්වට ඒක එක්තරා කතා ගොඩකින් එක කතාවක් විතරයි
ගනේෂට මේ අලි හිස ලැබීම ගැන කතන්දර කිහිපයක්ම තියෙනව. අපි ඉදිරියෙදි ඒ ගැනත් බලමුකො.
ශිව දෙවියන්ගෙ පළමු බිරිඳ උනේ ආදි ශක්ති මාතාවගේ පළමු මනුෂ්‍ය උපත උන සතී දේවියයි.
නමුත් සති දේවියගෙ පියා උන බ්‍රහ්ම පුත්‍ර මහා ප්‍රඡාපතී දක්ෂිණන්ගෙ ක්‍රියාකලාපය නිසා සති සහ ශිව අතර රංඩුවක් ඇති වෙලා සති දේවිය පියා ලඟට ගියා. අනතුරුව පියා ඇයට කරන අපහාස නිසා ඒව ඉවසගන්න බැරුව ඇය සියදිවි නසාගත්ත.
සති කියන මනුෂ්‍ය ශරීරයෙන් මිය ගිය ආදි ශක්ති මාතාව කාලයක් ගිහින් පාර්වතී කියන නමින් නැවත මනුෂ්‍ය උප්පත්තියක් ලැබුව.ඒ නැවත ශිව දෙවියන්ව ලබාගන්න කියල හිතාගෙන.වෙන් වෙලා හිටපු ශිව දෙවියන්ව සහ පාර්වතී දේවියව එකතු කරන්න වැදගත් කාර්යභාරයක් කරපු කෙනෙක් තමයි අනංග දේවය හෙවත් අනංගයා. වසර ගානක් දෑස් පියාගෙන භාවනාවක අතරමන් වෙලා හිටපු ශිව දෙවියන්ව අවධිකරල පාර්වතී දේවිය ගැන ආදරයක් පහළ කරන්න කියල හිතාගෙන අනංගය ශිව දෙවියන්ට මල් දුන්නෙන් විදිනව ,(ඒ හීය වදින කෙනා ප්‍රේමයෙන් අන්ධ වෙන බව තමයි කියවෙන්නෙ) එ් හී පහර නිසා යෝග භාවනාවෙන් අවධි වෙලා කෝපයට පත් වන ශිව දෙවියන්  එතුමගෙ තෙවනි ඇස විවෘත කරල අනංගයා හෙවත් මල්සරාව දවා අලු කරල දානව.
 (තෙවනි ඇස කියන්නෙ ශිව දෙවියන්ට පමණක් තිබෙන විශේෂ ශක්තියක්. නළල මැද තිබෙන තුන්වෙන් ඇසක් විවෘත කිරීම මගින් අති බලවත්  ගින්නක් පිට කිරීම තමයි එහිදී වෙන්නෙ, ශිව දෙවියන් අධික කෝපයට පත් වුන අවස්ථා වලදි විතරක් මෙම ඇස විවෘත වෙනව.මේ තෙවනි ඇසෙන් එන ගින්න කොපමණ බලවත්ද කියනව නම් මේකට අහුවෙන මනුෂ්‍ය / අසුර / දේව යන කිසිම කෙනෙක්ට මේකෙ ප්‍රහාරයකින් දිවි බේරගන්න බැහැ. ඔවුන් ඕනම කෙනෙක් දැවිල අලු බවට පත් වෙනව)

තමන්ගෙ සැමිය නැතිවුන එම අවස්ථාවේදී දුකටත් කෝපයට පත් උන අනංගයගෙ බිරිඳ හෙවත් රති දේවිය පාර්වතී දේවියට ශාපයක් කලා කවදාවත් පාර්වතී දේවියගෙ ගර්භයෙන් දරුවෙක් බිහි නොවේවා කියල. මේ නිසා පාර්වතී දේවිය හා ශිව දෙවියන් දරුවන් නැතුව බොහෝ කාලයක් හි⁣ටිය.
  පසුව විශ්වයේ පවතින ගැටලු ගැන හිතල පාර්වතී හා ශිව දරුවෙක් හදන්න තීරණය කලා. රති දේවියගෙ ශාපය නිසා කුසින් දරුවෙක් නොලැබෙන නිසා ඔවුන් දෙදෙනා භාවනා කරල යෝගී බලයෙන් ඔවුන් පළමු දරුවා වන කාර්තිකේයන්ව මැවීම සිදුකලා.
    කාර්තිකේයන්ගෙ උපතින් කාලයකට පස්සෙ ඔහු දේව සභාවෙ සේනාපති තනතුර ලබාගෙන අසුරයන්ගෙන් ලෝකය ආරක්ෂා කිරීමට පිටත්වෙලා යනව.
ඊට ටික කාලයකට පස්සෙ ශිව දෙවියොත් තමන්ගෙ තපස නැවතත් ආරම්භ කිරීමට පිටත්වෙන්න තීරණය කරනව. නමුත් මනුෂ්‍ය කාන්තාවක් උන පාර්වතී දේවියට ශිව දෙවිඳුන් වගේ දීර්ඝ තපස් රකින්න ආසාවක් නැහැ. (පාර්වතී දේවිය කියන්නෙ ආදි ශක්තිගෙ මනුෂ්‍ය ස්වරූපයකට, මේ ආදිශක්ති කියන්නෙ පුරාණ විශ්ව බලයක මනුෂ්‍ය ඉපදීමක්. ඒ බලය මනුෂ්‍ය ස්වරූපයෙන් ඉපදුන නිසා එය තුළ තවමත් මනුෂ්‍ය ගති තියෙනව කියල කියවෙනව.මනුෂ්‍යයෙක් උනත් පාර්වතී උත්සාහය අත් නොහැර කටුක තපස් රැකල ශිව දෙවිඳුන්ව තමන්ගෙ සැමිය බවට පත් කරගෙන දේවත්වයට පත්වෙනව. නමුත් ඇය දේවත්වයට පත් උනත් ඇය තුළ තිබෙන මනුෂ්‍ය ගතිගුණ පහවෙලා යන්නෙ නැහැ)
ඉතිං සැමියයි පුත්‍රයයි පිටත්වෙලා ගියාට පස්සෙ පාලුවෙන් තනියෙම ඉන්න පාර්වතී දේවිය තීරණය කරනව තවත් පුතෙක්ට ඡන්මය ලබා දෙන්න. ඒ ඇගේ තනිකම සහ පාලුව මකා ගැනීමටයි.
නමුත් ඇය මැවීම් ගැන හරියට දන්නෙ නැහැ. ශිව දෙවියන් නැති නිසා දරුවෙක්ව ලබාගන්න ක්‍රමයක් නැති බව කල්පනා කරන පාර්වතී දේවිය ඉතාමත් පාලුවෙන් කල් ගෙවනව , දිනක් ඇය ස්නානය කරන ගමන් ඇයගේ ඇගේ ගාපු කහ ස්වල්පයක්(ඇතැම් අය මෙය කුණු කියලත් අර්ථ දක්වනව) අරගෙන තමන්ගෙ හිතේ ඇඳිල ඉන්න දරුවාව එයින් අඹනව..
ඒ අතරම ඇය පාර්ථනය කරනව මේ දරුවා,

විෂ්ණු තරමටම රූමත්,
මහා බ්‍රහ්මය තරමටම බුද්ධිමත්,
ඊශ්වර නැත්නම් ශිව වගේම බලවත්

සැබෑ දරුවෙක් වේවා කියල.

ඉන් අනතුරුව ඇය ස්නානය කරල ඉවරවෙලා ඇවිත් පසෙකින් තබපු කහ රූපය දිහා බලනකොට එය සැබෑ බවට පත් වෙලා තියෙනව.
   ඒ වගේම ඒ දරුව අැය බලාපොරොත්තු උන සියලුම දේවල් වලින් සමන්විත වෙලා සිටිය කියල තමයි කියවෙන්නෙ..
   විශ්ණු වගේම රූමත් උන, බ්‍රහ්ම තරමටම බුද්ධිමත් උන මේ දරුව කවදාවත් තමන්ගෙ මවගෙ කීමට පිටින් කිසිම දෙයක් නොකරන අයෙක්. ඔහුගේ දිවියෙ අරමුණ වෙන්නෙ මෑණියන්ගෙ නියෝග වලට කීකරු වීම පමණමයි.මොහු වැනි බලවත් ශක්තිමත් බුද්ධිමත් දේව දරුවෙක් කිසි කලෙක බිහි වෙලා තිබුනෙ නැහැ. ඉතින් මොහු කාර්තිකේයන් වගේ මෑනියන්ගෙන් දුරස් නොවී මෑනියන් අසලටම වෙලා කාලය ගත කර කර හිටිය.

දෙවනි ලිපිය
(ගණ දෙවිඳුන්ට අලියෙකුගේ හිසක් ලැබීමේ පුවත බලාපොරොත්තු වන්න)

Thursday, October 18, 2018

පැරණි සිනමාවේ සැඟවුණු කෘරත්වයට නිදසුනක් cannibal holocaust (21+)

 
පැරණි කාලෙ කියන්නෙ අද කාලෙ වගේ කාලයක් නෙවෙයි.තාක්ෂණික ප්‍රයෝග, පරිගණක නිර්මාණ ඉතාමත් දුර්වලව පැවති ඒ කා⁣ලයේ , චිත්‍රපටියක් නිර්මාණය කරන්න අධ්‍යක්ෂකවරු උන මහන්සිය වචනයෙන් විස්තර කරන්න බැහැ. අදකාලෙ ලස්සන ලස්සන කලාගාර වලට වෙලා මාසෙන් දෙකෙන් කරන රූපගතකිරීමුයි, ඒ කාලෙ වසර කිහිපයක් ෆීල්ඩ් එකට බැහැල කරන රූගතකිරීමුයි අතර තියෙන්නෙ විශාල වෙනස්කමක්..
වර්තමානයේ තාක්ෂණය කොච්චර දියුණු උනත් ඉස්සර හදපු චිත්‍රපට වලට සමාන චිත්‍රපට අද බිහි නොවන්න හේතුව ඒකයි.
Jurassic park චිත්‍රපට පෙළේ භයානකකම justice world චිත්‍රපට වල නොමැති වීමටත් pradiator පැරණි චිත්‍රපට වල සඡීවිබව වර්තමාන pradiator චිත්‍රපටයෙහි නොමැති වීමටත් , jaws චිත්‍රපට වල තිබූ භයානකකම meg චිත්‍රපටයෙන් නොදැනීමත් මේකට හොඳම උදාහරණ කියල අපට පෙන්නන්න පුළුවන්.
       එහෙනං දැන් මාතෘකාවට එමු, අද මම ලියන්න කල්පනා කලේ cannibal holocaust කියන චිත්‍රපටය ගැන. මේ චිත්‍රපටය වෙනුවෙන් අධ්‍යක්ෂකවරය කළ කී දේ ගැන. Cannibal Holocaust කියන්නෙ 1980 දි තිරගත උන horror චිත්‍රපටයක්.මේ චිත්‍රපටය ඉතාලි චිත්‍රපටයක්.මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කලේ Ruggero Deodato කියන අධ්‍යක්ෂකතුමා. මේකෙ තිර පිටපත සකස්කලේ Gianfranco Clerici කියන තිර පිටපත් රචකයා. කොහොම නමුත් ඔහුගේ තිර පිටපතේ සමහර කොටස් කපල කොටල තමා චිත්‍රපටය නිෂ්පාදනය තියෙන්නෙ.
චිත්‍රපටයෙ කතාව ගලාගෙන යන්නෙ මෙහෙමයි.

1970 වසරෙදි ඇමසන් වල මිනී මස්කන ගෝත්‍රිකයො ගැන වාර්තාමය චිත්‍රපටයක් හදන්න තරුණ තරුණියො කිහිපදෙනෙක් පිටත් ⁣ෙවනව.නමුත් ඔවුන් ආපහු එන්නෙ නැහැ,
මෙවුන්ට සිදුවුණු දේ සොයාගෙන බේරගෙන එන බලාපොරොත්තුවෙන් නිව්යොක් විශ්ව විද්‍යාලයෙ මහාචාර්යවරයෙක් වනාන්තරය කරා යනව.එතුම⁣ට මෙයාලව හම්බවෙයිද?
ඒ ගැන කියන එක හොඳ නෑ.⁣ඒක චිත්‍රපටය නොබලපු අයට කරන අසාධාරණයක්. එයාල මේ චිත්‍රපටය  බලලම  තේරුම් ගන්න.

මේ චිත්‍රපටය රූගත කිරීමට රටවල් කිහිපයකම වනාන්තර යොදාගෙන තියෙනව , ඒ අතරින් අැමසන් වනාන්තරය වශේෂයි. මොකද එහෙ තියෙන බිහිසුණුකම නිසාම ගොඩක් අය එහෙ යන්නෑ.

මෙම චිත්‍රපටය ඉතාලියෙ මිලානෝ නගරයේ තිරගත වීමෙන් පස්සෙ චිත්‍රපටයට විවිධ චෝදනා එල්ල වෙලා තියෙනව.අධ්‍යක්ෂක Ruggero Deodato මිනිමැරුම් චෝදනාමත අත්අඩංගුවට අරගන්න අතර ඔහුට එල්ල උන චෝදනා උනේ චිත්‍රපටයේ දර්ශන වෙනුවෙන් මිනි මැරීමයි.
අවසානයේ අධ්‍යක්ෂකවරයා කොහොමහරි නලු නිළියන්ව උසාවියට ගෙනල්ල ඔවුන් ඡීවත් වෙන බව ඔප්පු කරන්න සමත් වෙනව.
⁣ඒ නිසා අධ්‍යක්ෂකතුමා මිනිමැරුම් චෝදනාවෙන් නිදහස් උනත්, ඇතැම් දර්ශන වල ස්වාභාවයන් නිසා චිත්‍රපටය තවත් වසර තුනකට ඉතාලියෙ ප්‍රදර්ශනය තහනම් වෙනව..

මෙම චිත්‍රපටයෙ සිදුවුන සතුන් මැරීමේ දර්ශන සියල්ලම තියෙන්නෙ ඇත්ත දේවල්.ඒ වගේම ඒව සඡීවීව පෙන්නන්න තරම් අධ්‍යක්ෂක තුමා කෘරද කලාකාමිද කියන එක නම් ප්‍රශ්නයක්?

ඉබ්බෙක්






නයෙක්


මකුළු වඳුරන් දෙදෙනෙක්



ඌරෙක්



දුර්ලභ දිවි මකුළුවෙක්



මේ චිත්‍රපටය වෙනුවෙන් මරා දමනව.
ඉබ්බගෙ මරණය නම් ඉතාමත් කෘර ක්‍රියාවක් කියල බොහෝ දෙනාගෙ පිළිකුළට භාඡනය වෙලා තියෙනව.

 මේ චිත්‍රපටය ඉතාමත් අපකීර්තිමත් චිත්‍රපටයක් විදියට ලෝකෙ පුරාම කතා බහට පත් වෙනව. ඒ නිසා මේක රටවල් 50කට වඩා අධික ප්‍රමාණයක තහනම් වෙන අතරම වඩාත් තහනමට ලක්වුන චිත්‍රපටය විදියට ලෝක වාර්තාවකටත් හිමිකම් කියල තියෙනව.

මේකෙ අධ්‍යක්ෂක තුමාට පිරානා ප්‍රහාරයක් ගැන කොටස් කිහිපයකුත් චිත්‍රපටයට එකතු කරන්න උවමනාවක් තිබුනත් වතුර යට වැඩකරන කැමරා නොමැති වීම නිසා ඔහු අකමැත්තෙන් තමන්ගෙ අදහස වෙනස්කර ගන්නව.(සමහර විට ඒකෙ රඟපාපු එවුන්ට වාසනාවක් තියෙන්න ඇති පීරානල අතින් මැරෙන්නැතුව ඉන්න)

මෙම චිත්‍රපටයෙ තියෙන තවත් අති බිහිසුණු දර්ශනයක් තමයි කාන්තාවක් උළ තබල තිබෙන දර්ශනය.
මේක රූගත කරන්න, අධ්‍යක්ෂක තුමාගෙ අධීක්ෂණය යටතෙ බයිසිකල් සීට් එකක් කොටයකට සවි කරල, ඒක උඩ කාන්තාව වාඩි කරවල කටට තවත් ලී කැබැල්ලක් සවි කලා කියලයි කියවෙන්නෙ
(නමුත් මේ දර්ශනට සැබෑම මළ සිරුරක් ගෙනවිත් උළ තැබීමක් කලා කියලත් යටින් කතාවක් තියෙනව)ඒ කාලයෙ හැටිය⁣ට ඒක පුදුමාකාර විදියට තාත්විකයි.

2005 වසරෙදි චිත්‍රපටයෙ ප්‍රධාන නලුවෙකු උන Carl
Gabriel Yorke (Alan Yates) කියල තියෙන ආකාරයට , චිත්‍රපටයේ ඔහුත් Francesca Ciardi (Faye Daniels)අතර තිබුණු ලිංගික සංසර්ගය පුහුණු වීමෙදි එය සැබෑවටම සිදු කලාලු. කැලෑව මැදට ගිය ඩබල සැබෑවටම ඩිස්ටි ඩිඩිං කලාලු. නමුත් පස්සෙ තරුණිය මේක ගැන හිත් අමනාපෙකින් හිටපු බවත් කියල තියෙනව.

මේ චිත්‍රපටයේ ගෝත්‍රිකයෙක් නිරුවත් කාන්තාවකට වද දෙන දර්ශනයකුත් තියෙනව.
මේ සඳහා අධ්‍යක්ෂකවරයා ස්වදේශීය කාන්තාවක් සොයා ගැනීමට කොච්චර උත්සාහ කලත් වැඩේ හරි ගිහින් නැහැ . අවසානයේදි විදේශික නිළියක් වන Lucia Costantini ගෙ මුලු ඇගේම මඩ ගාල මෙම දර්ශනයට ගෝත්‍රික කාන්තාවක් විදියට අරගෙන තියෙනව.

මේ චිත්‍රපටය හදන්න ඒ අය කරල තියෙන දේවල් බලනකොට, චිත්‍රපටයක් කියන්නෙ හුදෙක් පැයක දෙකක ආතල් එකක් ගන්න  නිර්මාණයක් විතරක් නෙවෙයි කියල ඔයාලට තේරුනාද?

අන්න ඒක තමයි මට ඔයාලට පෙන්නන්න ඕන උනෙ.

සමාඡය දියුණු කරන්නෙත්, පිරිහීමට පත් කරන්නෙත් මිනිස්සුම තමයි. චිත්‍රපටයෙ අරමුණ ඒක පෙන්නල දෙන එක.
නමුත් චිත්‍රපටය හදපු අයගෙ මතයට අනුව සත්තුන්ගෙ පැවැත්ම කලාවට අදාල නෑ වගේ.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ , මේකෙ තියෙන දර්ශන අතිශය වැඩිහිටියන්ට තමයි සුදුසු..ඉතිං සංවේදී හිත් තියෙන ළමයි වගේ වැඩිහිටියොත් මේක නොබලන එක තමා වඩාත් සුදුසු.

බිලී පස්වන සහ අවසාන කොටස

උදේට පාඩම් කරන්නයි , හවසට පල්ලි යන්නයි.., ආච්චිගෙ නීති එක්ක ආච්චිට ඕන විදිහට ඉන්න එක මට මේ වෙනකොට  එපාවෙලයි  තියෙන්නෙ.  ලොකු ජෝර්ජ් සීයා ගැ...