Monday, November 26, 2018

සිද්ධාලේප ටැක්ටරය හදන හැටි සරලව ඡායාරූප හා වීඩියෝ


   අද මම ඔයාලට කියල දෙන්න  හදන්නෙ පොඩ්ඩන්ට සෙල්ලම් කරන්න ගෙදර තියෙන සරල දේවල් කිහිපයකින් හදාගන්න පුළුවන් සෙල්ලම් බඩුවක් වෙන සිද්ධාලේප ටැක්ටරේ හදන හැටි ගැන. මේ සෙල්ලම් බඩුවට ඒ අපූරු නම වැටෙන්න හේතුව තමයි මේක හදන්න හිස් සිද්ධාලේප කුප්පියක් යොදා ගැනීම. එහෙනම් කතා ඇති, අපි බලමුකො කොහොමද මේක හදන්නෙ කියල.

අවශ්‍ය ද්‍රව්‍යය

1.මැදින් සිදුරු කරන ලද හිස් සිද්ධාලේප කුප්පියක්

2.මැදින් සිදුරු කරල ලද කුඩා ඉටිපන්දම් කැබැල්ලක් (නූල ඉවත්කර එම සිදුර විශාල කරගන්න)

3.රබර්පටියක්

5.ඉරටු කැබැල්ලක්



සාදන ආකාරය

1.මුලින්ම රබර්පටිය අරගෙන ඒක සිද්ධාලේප කුප්පියෙ හදපු  සිදුර හරහා ඉවතට අරගන්න.


2. ඊට පස්සෙ සිද්ධාලේප කුප්පියේ මූඩිය පැත්තෙන් එළියට ගත්ත රබර්පටිය, සිදුරු කරගත්ත ඉටිපන්දම් කැබැල්ලෙ සිදුර හරහාත් යවල එළියට ගන්න.

3. ඊලඟට ඉරටු කෑල්ල අරගෙන එ්කෙන් පොඩි කෑල්ලක් කඩල , ඒක සිද්ධාලේප කුප්පිය පිටිපස්සෙ තියෙන රබර්පටියේ ඇතුලෙන්  යවල  රබර්පටිය එළියට එන එක වැළකෙන්න හිරකරගන්න.



4.දැන් ඉතුරු ඉරටු කෑල්ල අරගෙන ඉටිපන්දම් කැබැල්ලෙ සිදුරෙන් එළියට ආපු රබර්පටි කොටසෙ ඒක හොඳට පටලවා ගන්න.ඇදල ගැටයක් ගැහුවත් කමක්නෑ(ඉරටු කැබැල්ල ඉටිපන්දම් කොටසට හිරවන ආකාරයට)

5. දැන් සිද්ධාලේප ටැක්ටරය සූදානම්. මේක යවන්න ඔයාලට කරන්න තියෙන්නෙ , ඉරටු කෑල්ල සිද්ධාලේප කුප්පිය වටේට කරකවල හොඳට වයින් කරල බිමින් තියන එක විතරයි. ටැක්ටරේ නියමෙට යන්න පටන්ගනියි.

මේ වීඩියෝ එක බලන්න >>


මුලින්ම පැන පැන කඩාගෙන යයි. නමුත් මේක පදම් උනාට පස්සෙ කොච්චර වයින් කලත් එකම වේගයක් තමයි තියෙන්නෙ.. හරියට ගමන්කරන ටැක්ටරේ , සිද්ධාලේප කුප්පිය කැරකුනාට ඉටිපන්දම් කැබැල්ල කරකැවෙන්නෙ නැහැ, ඒක සිද්ධාලේප කුප්පියෙ මූඩියෙ දැවටෙමින් වේගය අඩාල කරනව..

* මේ සෙල්ලම් බඩුව හදන්න ඔයාල ගාව සිද්ධාලේප කුප්පි නැත්නම් ඔයාලට ඉවරවුන බයින්ඩර් ගම් බෝතල⁣යකින් උනත් මේක  හදාගන්න පුළුවන්.එ්කට හොඳ ප්‍රතිඵල ලබා ගන්න ලොකු ඉටිපන්දම් කැබැල්ලකුත් භාවිතා කරන්න ඕන.

ටැක්ටරේ උඩ අතට හරවල තිබ්බම , රවුම වටේට කැරකෙන ඉරටුව, ඔයාට සෙක්කුවකුත් සිහිපත් කරයි.

 මේ වීඩියෝ එක බලන්න >>



Thursday, November 22, 2018

ගණදෙවියන්ට අලි හිසක් ලැබීම ගැන කතා දෙකක්

 
    ගණ දෙවියන්ට අලියෙකුගෙ හිසක් ලැබීම කියන්නෙහින්දු දේව කතා වල එන තවත් අපූරු කතාවක්. මෙහිදී හින්දු භක්තිකයන් විශ්වාස කරන ප්‍රධාන කතාවයි , ඊට අමතරව මගේ සීය මට කුඩා කාලෙ කියල දීපු අපූරු කතාවකුයි කතා දෙකක් මම ඔයාලට අරගෙන ආව.අපි මුලින්ම හින්දු භක්තිකයන් විශ්වාස කරන ප්‍රධාන කතාව කියවල බලමුකො.
   ඔයාලට මතක ඇති මම පළවෙනි ලිපියෙන් ගණ දෙවියන්ගෙ උපත ගැන ඔයාලට කියල දුන්න. ඒක බලපු නැති කෙනෙක් ඉන්නව නම් මෙතනින් ගිහින් බලල එන්න >>ගණ දෙවිඳුන්ගේ උපත

   ඉතින් මේ කතාවෙ හැටියට ගණ දෙවියො කියන්නෙ හරිම ආඩම්බරකාර , අම්මගෙ කීම විතරක් අහන කොලු පැටියෙක්.
මෙයා උපදින දවස් වෙනකොට ශිව දෙවියන් කෛලාෂයෙ හිටියෙ නැහැ. එතුමා දීර්ඝ තපසක නිරතවෙලා තමයි හිටියෙ.
ඔන්න ඉතින් දෛවයේ හැටියට දවසක් ශිව දෙවියො තමන්ගෙ කටුක තපසින් අවධි වෙලා තමන්ගෙ නිවස උන කෛලාෂයට යන්න පිටත්උනා..
ශිව දෙවියො අවධිවෙලා කෛලාෂයට යන්න පිටත්උන බව දැනගත්ත දෙවිවරුත් පුළුවන් තරම් ඉක්මනින් කෛලාෂය යන්න පිටත්වුනා.ඒ ශිව දෙවියන්ව පිළිගන්න.
       මෙන්න මේ වැදගත් ආරංචිය ලැබෙන දවසෙ උදේ, සිද්ධිය ගැන කිසිම දෙයක් ආරංචි නොවුන පාර්වතී දේවිය වෙනද වගේම ඡල ස්නානයට යන්න පිටත්වුනා.
 ඇය ඡලය ස්නානය කරන වෙලාවට කවුරුවත් කෛලාෂයට එනවට ඇය කැමති උනේ නැහැ. ඒ නිසා ඇය ඇගේ පුතණුවන් උන ගණේෂට රාඡකාරියක් බාර දුන්න.ඒ තමයි ඇය ඡලය ස්නානය කරල අවසන් වෙලා එනකම් කිසිවෙකුටත් මාලිගයට එන්න නොදී ආරක්ෂා කරන එක.
   අම්මගෙ කීම එකහෙළාම පිළිගන්න ගණේෂ කෛලාෂයේ දොරටුව ලඟට වෙලා දොරටුව මුර කරන්න පටන්ගත්ත.මේ අවස්ථාවේදී තමයි ශිව දෙවියන් තපසෙන් අවධිවෙලා කියන ආරංචිය අරගෙන දෙවිවරු කෛලාෂයට ආවෙ.නමුත් කෛලාෂයෙ දොරටු පාලක උන ගණේෂ ඒ කිසිම කෙනෙක්ට ඇතුළට යන්න ඉඩ දුන්නෙ නැහැ. ඉඩනොදී හිටිය විතරක් නෙවෙයි, ගණේෂ එයාල කියන වචනයකවටත් ඇහුන්කන් දුන්නෙ නෑ.
⁣ගණේෂ කියන්⁣ෙන කවුද කියල හරියට නොදැන හිටපු දෙවිවරු අවසානයේ ගණේෂට පහර දීල කෛලාෂයට ඇතුල් වෙන්න තීරණය කලා. නමුත් ගණේෂ ඉතාමත් පහසුවෙන් ඔවුන්ව පරාඡය කරල සිරකරල දැම්ම.
   ඊලඟට ආවෙ ප්‍රධාන ශිව භක්තිකයෙක් වගේම ශිව දෙවියන්ගෙ වාහනය නන්දි ගවයා
. ගණේෂ ඔහුවත් ඉතාමත් පහසුවෙන් පරාඡය කරල දැම්ම.
කුඩා ළමයෙකුගෙ අතින් මේ උන පරාඡය නිසා සම්පූර්ණයෙන්ම අසරණ තත්වයට පත්උන දෙවිවරු ත්‍රිමුර්තියෙන් උදව් ඉල්ලන්න තීරණය කලා.(ත්‍රිමූර්තිය කිව්වෙ විශ්ණු , බ්‍රහ්ම හා ශිව කියන ප්‍රධාන දෙවිවරු තිදෙනා)
     විෂ්ණු සහ බ්‍රහ්ම දෙවිවරු ගණේෂගෙ උපත ගැන හැමදේම දන්නව. ඔවුන් ඇවිත්  ගණේෂට මේ වෙන සිදුවීම පහදා දෙන්න උත්සාහ කලා. නමුත් ගණේෂ ඒ වෙනකොට හිටියෙ කිසිවෙක්ට සවන් නොදෙන තත්වයක. ඔහු විෂ්ණු දේවයන්ට සහ බ්‍රහ්ම දේවයන්ටත් පහර එල්ලකලා.
    මෙන්න මේ අවස්ථාවේදී තමයි ශිව දෙවියන් කෛලාෂයට පැමිණියෙ. ඔහු සම්පූර්ණ සිද්ධියම දැක්ක.
තමන්ගෙම පුත්‍රයා උනත් කිසිවෙක්ට ඇහුම්කන් නොදී ඔහු මේ කරන පහරදීම් දැකල ශිව දෙවියන්ගෙ කෝපයත් ඉහළ ගියා. ශිව දෙවියන්ව දැකපු ගණේෂ තවත් ආගන්තුකයෙක් කියල හිතල ශිව දෙවියන්ට පහර දෙන්න උත්සාහ කලා.ඒකෙන් තවත් කෝපයට පත් උන ශිව දෙවියො එයාගෙ ත්‍රිශූලය අරගෙන ගණේෂට පහරක් එල්ල කලා. එයින් ගණේෂගෙ හිස කඳින් වෙන් වෙලා අලු බවට පත් උනා.

(ශිව දෙවියන්ගෙ මේ හදිසි කෝපය සහ තමන්ගෙ පුත්‍රයට පහර දීම පිටුපස තවත් කතාවක් තියෙනව. කාලෙකට ඉහතදි තමන්ගෙ බලයෙන් උඩඟු බවට පත් උන සූර්ය දෙවියන් තමන්ගෙ රාඡකාරි කිසිවක් ඉටු නොකර ලෝකයට පීඩා කරන්න පටන්ගත්ත.මේක දැකපු ශිව දෙවියො ඔහුට සත්‍ය තේරුම් කරල දෙන්න ඔහු ලඟට ගියා. නමුත් උඬගු බවින් හිටපු සූර්ය දෙවියො ශිව දෙවියන්ට පහර දුන්න. මෙයින් කෝපයට පත් උන ශිව දෙවියනුත් ඔහුට සිහි නැති වෙන්න පහරක් එල්ල කලා. සිහි නැති උන සූර්ය දෙවියන්ව දැකපු ඔහුගේ පියා කාශ්‍යප ඝෘෂි තුමා  හිතුව ශිව දෙවියන් තමන්ගෙ පුතාව මරල දැම්ම කියලයි. ඔහු ශිව දෙවියන්ට ශාප කලා කවදහරි දවසක තමන්ගෙ අධික කෝපයෙන් තමන්ගෙම පුතාව මරන තත්වයකට ශිව දෙවියො පත් වේවා කියල. පස්සෙ පුතාට සිහි නැතිවුනා විතරයි කියල ඝෘෂි තුමා දැනගත්තත්, එතුමා කරපු ශාපය නැවත ගන්න ක්‍රමයක් තිබුනෙ නෑ. ඒ ශාපය තමයි මේ අවස්ථාවෙදි ශිව දෙවියන්ට බලපෑව කියල කියවෙන්නෙ)

 මේ අවස්ථාවේදී තමයි පාර්වතී මෑනියො ඡල ස්නානය අවසන් කරල  කෛලාෂයෙ දොරටුව දිහාවට එන්නෙ.
තමන්ගෙ පුත්‍රයාට මේ උන විපත දැකල ඇය ඉතාමත් දුකට පත් උනා.
මවගේ කීම අහපු දරුවෙක්ට මේ කරපු දේ ඉතාමත් අයුක්ති සහගත බව ඇය පැවසුවා.
අවසානයේ ශිව දෙවියන්ටත් ඇගේ කීම පිළිගන්න සිද්ධවුනා.
 නමුත් ගණේෂට පණ ⁣ෙදන එක ඔහුව විනාශ කරපු තරම්  ්සරල දෙයක් උනේ නෑ.ශිව දෙවියන්ගෙ ත්‍රිශූලයෙන් විනාශ උන යමක් නැවත ගොඩනගන එක ශිව දෙවියන්ටවත් කරන්න පුළුවන් කමක් තිබුනෙ නැහැ. ඒකෙ තේරුම උනේ ගණේෂගෙ අලු බවට පත් උන හිස කවදාවත් තිබුන විදියට නැවත හදන්න බෑ කියන එක.
නමුත් පුත්‍රයාට ප්‍රාණය දීම අත්‍යවශ්‍ය දෙයක් නිසා ශිව දෙවියො දේවි වරුන්ට කිව්ව හිරු නැ⁣ෙගන දිශාවට ගිහින් මුලින්ම හම්බවෙන කෙනාගෙ හිස හෝරාවක් අැතුලත අරගෙන එන්න කියල.
මොවුන් හිසක් සොයාගෙන බොහෝ වෙලා ගියත් කිසිවෙක්ව හමු උනේ නෑ.හෝරාව අවසන් වෙන්න කිට්ටු වෙලාවෙදි ඔවුන්ට  මිය යෑමට ආසන්න අලුත උපන් ඇත් පැටවෙක්ව හමු උනා.ශිව දෙවියන්ගෙ වචනය මතක්කරගත්ත ඔවුන් ඇත් පැටියගෙ හිස අරගෙන ආපසු ආව..
ශිව දෙවියො තමන්ගෙ බලය භාවිතා කරල ගණේෂගේ හිස සුන් සිරුරට අලි හිස සවි කරල ඡීවය ලබා දුන්න.
අලි හිස සවි කිරීමෙන් පස්සෙ ඡීවය ලැබුණු ගණේෂ පෙර සිටිය කෙනාටත් වඩා බුද්ධිමත් උන බව තමයි සැලකෙන්නෙ.

       දැන් අපි යමු මට අපේ සීය කියල දීපු දෙවනි කතාවට.මේ කතාව පළවෙනි කතාවට වඩා ගොඩක් වෙනස් මුරුගන් හෙවත් කතරගම දෙවියනුත් ලංකාවත් සම්බන්ධ වෙනස්ම විදිහෙ ලස්සන කතාවක්.

    මේ කතාන්දරයෙ හැටියට තාරක අසුරයව මරා දැමීමෙන් පස්සෙ ලංකාවට එන මුරුගන් හෙවත් කතරගම දෙවිඳුන්ට ආරංචියක් ලැබෙනව , ලංකාවෙ ඈත වනාන්තරයක වැද්දන් සමඟ දිවි ගෙවන දිව්‍යාංගනාවක් වගේ ලස්සන වල්ලි කියන වැදි තරුණියක් ගැන.
මේ ලස්සන තරුණිය ගැන ආරංචි උන මුරුගන් තීරණය කලා මේ සුන්දර වැදි තරුණියව තමන්ගේ බිරිඳ කරගන්න. ඉතින් මුරුගන් තීරණය කලා ඈත වනාන්තරයට ගිහින් ඇයව මුණ ගැසිල ආදරය දිනාගන්න. මුරුගන් දෙවියෙක් උනත් කලු වර්ණයෙන් යුත් දමිල තරුණයෙක්ගෙ පෙනුමට තමයි හිටියෙ. ඉතින් ඉතාමත් රූමත් කාන්තාවක් උන වල්ලි මොහුව දැකපු ගමන් බයේ පැනල ගියා.
මේ සිද්ධිය නිසා හිත අවුල්ගිය මුරුගන්, තමන්ගෙ ආදර ප්‍රශ්නයට මල්ලිගෙන් එහෙමත් නැත්නම් ගණේෂගෙන් උපදෙස් ගන්න කියල කෛලාෂයට ගියා..
සිද්ධිය හොඳට අහ⁣ගෙන හිටපු ගණේෂ තමන්ගෙ බුද්ධිය පාවිච්චි කරල සැලැස්මක් හැදුව..
මෙහෙමයි සැලැස්ම.

ගණේෂ ඉතාමත් දරුණු ඇතෙක්ගෙ රූපයක් දරාගෙන කැලේ තනියෙම ඉන්න වල්ලි ඉදිරියට එනව. ඇය ඇතාට බයවෙලා දුවන අවස්ථාවේදී මුරුගන් ඉදිරිපත් වෙලා ඇයව ඇතාගෙන් බේරගන්නව.

    ගණේෂ ස්වරූපය වෙනස් කරගත්තට ඔහුට සැබෑ ස්වරූපය ගන්න නම් ඔහුට මතුරපු ඡලය ඉහින්න අවශ්‍ය උනා. ඊට අමතරව ගණේෂ හෝරාවකට වඩා ඇත් ස්වරූපයෙන් හිටියොත් ඒක ස්ථීර තත්වයට හැරෙනව. එහෙම උනොත් ආයෙ ගණේෂට මනුෂ්‍ය ස්වරූපයක් ගන්නත් බැහැ.
ඉතින් වැඩේ පටන්ගන්න කලින්ම ගණේෂ ඔය කතාව මුරුගන්ට කියල. මතුරපු වතුර මුට්ටිය මුරුගන්ට දුන්න. ඒ නිසි වෙලාවට ඇවිත් තමන්ට වතුර ඉහළ සැබෑ ස්වරූපය අරගෙන දෙන්න කියල පොරෙ⁣ාන්දුවකුත් අරගෙන..

   දැන් දෙන්න ලංකාවෙ තිබුන  වනාන්තරයට ඇවිත් කතාකරගත්ත විදියට සැළසුම දියත් කලා.
දරුණු ඇතාව දැකල බයවුන වල්ලි දුවගෙන ගිහින් කවුරුත් බලාපොරොත්තු නොවුන විදියට මුරුගන්ට තුරුලු උනා. මේ උන සිද්ධියෙන් අන්දමන්ද උන මුරුගන් වතුර මුට්ටිය පැත්තට දාල ප්‍රේමයෙන් මුසපත් වෙලා ඇයත් එක්ක වනයේ අැවිදින්න ගියා...ලු

   අයිය එනකම් බලාගෙන හිටපු ගණේෂ , දැන්  වෙලාවත් පහුවීගෙන එන බව දැකල කලබල වෙලා හයියෙන් කුඥ්චනාද කලා.. අන්න ඒ සද්දෙ ඇහුනට පස්සෙ තමයි මුරුගන්ට ආපහු සහෝදරය ගැන මතක්උනෙ. ඔහු මතුරපු ඡලය තියපු මුට්ටිය හෙව්ව හෙව්ව ඔහුට ඒක හොයාගන්න බැහැ. අන්තිමේදි මුලු කැලෑවම පීරල ඔහු ඒක හොයාගත්ත..
   ඔහු ගණේෂ ගාවට දුවගෙන එනකොටත් ගණේෂ කියපු කාලය අවසන් වීගෙන යමිනුයි තිබ්බෙ..මුරුගන් හැකිතාක් වේගයෙන් ගණේෂට වතුර විසි කලා. ඒ සමඟම කාලයත් ගෙවිල ගියා..
 අවාසනාවට මුරුගන් ඡලය ඉසින කොටම කාලයත් ගෙවිල යන්න පටන් අරගෙන ඉවරයි..
 මුලින්ම ඡල පහර වැදුන ගනේෂගෙ ශරීරය නැවතත් මුලින් තිබුන තත්වයට ආවත්, ගණේෂගෙ හිසට ඡලය වැටුනෙ පරක්කු වෙලා. එතකොට හෝරාව ගෙවිල ඉවරයි.

   ඉතින් අහිංසක තරුණියක් බියපත් කරල සහෝදරයට උදව් කරන්න ගිය ගණේෂට සිද්ධ උනේ අලි හිසක් සහ මනුෂ්‍ය ශරීරයක් ඇතිව සදහටම දිවි ගෙවන්න.

කොහොම උනත් ගණේෂගෙ සැලැස්ම නම් වැඩකලා.. වැඩි කාලයක් යන්න කලින් මුරුගන් වල්ලි සමඟ විවාහ උනා.. කතරගම දෙවියන් සහ වල්ලි අම්මා මෑණියන් අදටත් ලංකාවෙ ප්‍රසිද්ධ දේව යුවලක්.

Wednesday, November 7, 2018

ගණදෙවියන්ගේ උපත

 ගණේෂ් / විනායගර් / පුල්ලෙයාර් එහෙමත් නැත්නම් ගණ දෙවියො කියල කියන්නෙ ශිව දෙවියන්ගෙ එහෙමත් නැත්නම් ඊශ්වර දෙවියන්ගෙ සහ පාර්වතී මාතාවගෙ බාල පුතාටයි. ඔවුන්ගෙ වැඩිමහල් පුතා තමයි කාර්තිකේයන් හෙවත් කතරගම දෙවියන්..
   බාල පුතා උනාට ගණ දෙවියන් නුවණට අධිපති කියල තමයි කියන්නෙ.මෙයාගෙ මේ අසීමිත නුවණ නිසාම මෙයා හින්දු දේව මණ්ඩලේ ප්‍රධාන දෙවියන් කියන තනතුර ලබාගෙන තියෙනව. ඒ නිසා හින්දු භක්තිකයන් මොන සුබ වැඩේ පටන්ගත්තත් ගණේෂට පූඡාවක් තියලයි වැඩ ආරම්භ කරන්න ඕන.
     ගණ දෙවියො මෙච්චර බුද්ධිමතෙක් වෙන්න හේතුව තමයි ඔහුට මනුෂ්‍ය හිසක් වෙනුවට අලියෙකුගෙ හිසක් පිහිටා තිබීම කියල කට්ටිය කිව්වට ඒක එක්තරා කතා ගොඩකින් එක කතාවක් විතරයි
ගනේෂට මේ අලි හිස ලැබීම ගැන කතන්දර කිහිපයක්ම තියෙනව. අපි ඉදිරියෙදි ඒ ගැනත් බලමුකො.
ශිව දෙවියන්ගෙ පළමු බිරිඳ උනේ ආදි ශක්ති මාතාවගේ පළමු මනුෂ්‍ය උපත උන සතී දේවියයි.
නමුත් සති දේවියගෙ පියා උන බ්‍රහ්ම පුත්‍ර මහා ප්‍රඡාපතී දක්ෂිණන්ගෙ ක්‍රියාකලාපය නිසා සති සහ ශිව අතර රංඩුවක් ඇති වෙලා සති දේවිය පියා ලඟට ගියා. අනතුරුව පියා ඇයට කරන අපහාස නිසා ඒව ඉවසගන්න බැරුව ඇය සියදිවි නසාගත්ත.
සති කියන මනුෂ්‍ය ශරීරයෙන් මිය ගිය ආදි ශක්ති මාතාව කාලයක් ගිහින් පාර්වතී කියන නමින් නැවත මනුෂ්‍ය උප්පත්තියක් ලැබුව.ඒ නැවත ශිව දෙවියන්ව ලබාගන්න කියල හිතාගෙන.වෙන් වෙලා හිටපු ශිව දෙවියන්ව සහ පාර්වතී දේවියව එකතු කරන්න වැදගත් කාර්යභාරයක් කරපු කෙනෙක් තමයි අනංග දේවය හෙවත් අනංගයා. වසර ගානක් දෑස් පියාගෙන භාවනාවක අතරමන් වෙලා හිටපු ශිව දෙවියන්ව අවධිකරල පාර්වතී දේවිය ගැන ආදරයක් පහළ කරන්න කියල හිතාගෙන අනංගය ශිව දෙවියන්ට මල් දුන්නෙන් විදිනව ,(ඒ හීය වදින කෙනා ප්‍රේමයෙන් අන්ධ වෙන බව තමයි කියවෙන්නෙ) එ් හී පහර නිසා යෝග භාවනාවෙන් අවධි වෙලා කෝපයට පත් වන ශිව දෙවියන්  එතුමගෙ තෙවනි ඇස විවෘත කරල අනංගයා හෙවත් මල්සරාව දවා අලු කරල දානව.
 (තෙවනි ඇස කියන්නෙ ශිව දෙවියන්ට පමණක් තිබෙන විශේෂ ශක්තියක්. නළල මැද තිබෙන තුන්වෙන් ඇසක් විවෘත කිරීම මගින් අති බලවත්  ගින්නක් පිට කිරීම තමයි එහිදී වෙන්නෙ, ශිව දෙවියන් අධික කෝපයට පත් වුන අවස්ථා වලදි විතරක් මෙම ඇස විවෘත වෙනව.මේ තෙවනි ඇසෙන් එන ගින්න කොපමණ බලවත්ද කියනව නම් මේකට අහුවෙන මනුෂ්‍ය / අසුර / දේව යන කිසිම කෙනෙක්ට මේකෙ ප්‍රහාරයකින් දිවි බේරගන්න බැහැ. ඔවුන් ඕනම කෙනෙක් දැවිල අලු බවට පත් වෙනව)

තමන්ගෙ සැමිය නැතිවුන එම අවස්ථාවේදී දුකටත් කෝපයට පත් උන අනංගයගෙ බිරිඳ හෙවත් රති දේවිය පාර්වතී දේවියට ශාපයක් කලා කවදාවත් පාර්වතී දේවියගෙ ගර්භයෙන් දරුවෙක් බිහි නොවේවා කියල. මේ නිසා පාර්වතී දේවිය හා ශිව දෙවියන් දරුවන් නැතුව බොහෝ කාලයක් හි⁣ටිය.
  පසුව විශ්වයේ පවතින ගැටලු ගැන හිතල පාර්වතී හා ශිව දරුවෙක් හදන්න තීරණය කලා. රති දේවියගෙ ශාපය නිසා කුසින් දරුවෙක් නොලැබෙන නිසා ඔවුන් දෙදෙනා භාවනා කරල යෝගී බලයෙන් ඔවුන් පළමු දරුවා වන කාර්තිකේයන්ව මැවීම සිදුකලා.
    කාර්තිකේයන්ගෙ උපතින් කාලයකට පස්සෙ ඔහු දේව සභාවෙ සේනාපති තනතුර ලබාගෙන අසුරයන්ගෙන් ලෝකය ආරක්ෂා කිරීමට පිටත්වෙලා යනව.
ඊට ටික කාලයකට පස්සෙ ශිව දෙවියොත් තමන්ගෙ තපස නැවතත් ආරම්භ කිරීමට පිටත්වෙන්න තීරණය කරනව. නමුත් මනුෂ්‍ය කාන්තාවක් උන පාර්වතී දේවියට ශිව දෙවිඳුන් වගේ දීර්ඝ තපස් රකින්න ආසාවක් නැහැ. (පාර්වතී දේවිය කියන්නෙ ආදි ශක්තිගෙ මනුෂ්‍ය ස්වරූපයකට, මේ ආදිශක්ති කියන්නෙ පුරාණ විශ්ව බලයක මනුෂ්‍ය ඉපදීමක්. ඒ බලය මනුෂ්‍ය ස්වරූපයෙන් ඉපදුන නිසා එය තුළ තවමත් මනුෂ්‍ය ගති තියෙනව කියල කියවෙනව.මනුෂ්‍යයෙක් උනත් පාර්වතී උත්සාහය අත් නොහැර කටුක තපස් රැකල ශිව දෙවිඳුන්ව තමන්ගෙ සැමිය බවට පත් කරගෙන දේවත්වයට පත්වෙනව. නමුත් ඇය දේවත්වයට පත් උනත් ඇය තුළ තිබෙන මනුෂ්‍ය ගතිගුණ පහවෙලා යන්නෙ නැහැ)
ඉතිං සැමියයි පුත්‍රයයි පිටත්වෙලා ගියාට පස්සෙ පාලුවෙන් තනියෙම ඉන්න පාර්වතී දේවිය තීරණය කරනව තවත් පුතෙක්ට ඡන්මය ලබා දෙන්න. ඒ ඇගේ තනිකම සහ පාලුව මකා ගැනීමටයි.
නමුත් ඇය මැවීම් ගැන හරියට දන්නෙ නැහැ. ශිව දෙවියන් නැති නිසා දරුවෙක්ව ලබාගන්න ක්‍රමයක් නැති බව කල්පනා කරන පාර්වතී දේවිය ඉතාමත් පාලුවෙන් කල් ගෙවනව , දිනක් ඇය ස්නානය කරන ගමන් ඇයගේ ඇගේ ගාපු කහ ස්වල්පයක්(ඇතැම් අය මෙය කුණු කියලත් අර්ථ දක්වනව) අරගෙන තමන්ගෙ හිතේ ඇඳිල ඉන්න දරුවාව එයින් අඹනව..
ඒ අතරම ඇය පාර්ථනය කරනව මේ දරුවා,

විෂ්ණු තරමටම රූමත්,
මහා බ්‍රහ්මය තරමටම බුද්ධිමත්,
ඊශ්වර නැත්නම් ශිව වගේම බලවත්

සැබෑ දරුවෙක් වේවා කියල.

ඉන් අනතුරුව ඇය ස්නානය කරල ඉවරවෙලා ඇවිත් පසෙකින් තබපු කහ රූපය දිහා බලනකොට එය සැබෑ බවට පත් වෙලා තියෙනව.
   ඒ වගේම ඒ දරුව අැය බලාපොරොත්තු උන සියලුම දේවල් වලින් සමන්විත වෙලා සිටිය කියල තමයි කියවෙන්නෙ..
   විශ්ණු වගේම රූමත් උන, බ්‍රහ්ම තරමටම බුද්ධිමත් උන මේ දරුව කවදාවත් තමන්ගෙ මවගෙ කීමට පිටින් කිසිම දෙයක් නොකරන අයෙක්. ඔහුගේ දිවියෙ අරමුණ වෙන්නෙ මෑණියන්ගෙ නියෝග වලට කීකරු වීම පමණමයි.මොහු වැනි බලවත් ශක්තිමත් බුද්ධිමත් දේව දරුවෙක් කිසි කලෙක බිහි වෙලා තිබුනෙ නැහැ. ඉතින් මොහු කාර්තිකේයන් වගේ මෑනියන්ගෙන් දුරස් නොවී මෑනියන් අසලටම වෙලා කාලය ගත කර කර හිටිය.

දෙවනි ලිපිය
(ගණ දෙවිඳුන්ට අලියෙකුගේ හිසක් ලැබීමේ පුවත බලාපොරොත්තු වන්න)

හොල්මන

තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...