Friday, September 22, 2023

නිදර්ශකය



ජර්මනියේ පැවති භෞතික විද්‍යා සම්මේලනයකි.ලොව නන්දෙසින් පැමිණි විද්වතුන්ගෙන් පිරී පැවති ශාලාව පැවතියේ අඩ අඳුරේයි.වේදිකාව පමණක් ලා පැහැති සියුම් ආලෝකයකින් ආලෝකමත් කර තිබුණි.

     ආරාධිත කථිකයා වූ වයස අවුරුදු හැටක් පමණ වන මහාචාර්ය ලියනාඩෝ සභාවේ වේදිකාව මතට පැමිණියේ කුඩා පර්යේෂණ නළයක් ද රැගෙනයි. එම නළය විද්‍යාගාර තුළ  භාවිතා කරන පාරදෘශ්‍යය වීදුරු නළයක් බවත් , එම අවස්ථාවේදී එය හිස්ව පැවති බවත් සියලුදෙනාටම බැලූ බැල්මට පෙනුනි. කෙසේ නමුත් එය හොඳින් වැසෙන ලෙස එහි ඉහළින් කිරළ මූඩියක් සවිකර තිබුනි..


වේදිකාව මැද තිබූ මේසය මතින් සැමටම පෙනෙන පරිදි ආධාරකයක් සවිකර එහි පර්යේෂණ නළය රැඳවු ඔහු බැරෑරුම් ස්වරයෙන් මෙසේ පැවසීය..


"මම මේ සභාවට භූතයෙක් ගෙනාවා..."


ඒ සමඟම සභාවේ සිටි සියල්ලෝම සිනාසුනෝය.


නමුත් එම සිනාවට මහාචාර්යවරයාගේ බැරෑරුම් ස්වරූපය වෙනස් කිරීමට හැකියාවක් නොපැවතුණි.එවර ඔහු සභාව දෙස බලා නිර්භීත අයෙක් සිටී නම් ඇවිත් මෙම පර්යේෂණ නළයේ මූඩිය විවර කරන්න යැයි පැවසීය..


 ඒ සමඟ මුලු සභාව පුරාම  පැතිර ගියේ දැඩි නිශ්ශබ්දතාවයකි.


අදාල සිදුවීම සම්බන්ධයෙන්  සිනාසීමට පහසු වූවත් භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් සම්මානලාභී මහාචාර්ය ලියනාඩෝගේ අභියෝගය භාර ගැනීමට තරම් ධෛර්යයක්  ඔවුන් කිසිවෙකු තුළ නොවුනි.මන්ද කොතරම් සිනාසුනද සිතේ අභ්‍යන්තරයේ ඈත කොනක මෙම සම්මානලාභී මහාචාර්යවරයා නිවැරැදි වේදෝයි යන සැකයක් ඔවුන්ගේ සිත් තුළ සැඟවී පැවතුණි..


සභාවේ නිහඬ බව තේරුම් ගත් මහාචාර්යවරයා ඊලඟට තම සාක්කුවට අත දමා ගත්තේ ජායාරූපයකි.එහි තිබුනේ පර්යේෂණ නලයක ජායාරූපයකි.අනතුරුව ඔහු තම කතාව ආරම්භ කලේය.


"මෙතන ඉන්න බහුතරයක් භෞතික විද්‍යා මහාචාර්යවරු , අනෙක් අයත් ලෝකය පිළිගත්ත විද්‍යාව සම්බන්ධ මහාචාර්ය තනතුරු හොබවන පිරිස්. ඔයාල හැමෝම දන්නවා මේ ජායාරූයේ තියෙන්නෙ මොකක්ද කියල. හැමෝම දන්න විදිහට මේකෙ තියෙන්නෙ තෝමස් අල්වා එඩිසන්ගේ අන්තිම හුස්ම ඇතුළත් පර්යේෂණ නළයේ ජායාරූපයක්..." (මෙය මිචිගන්හි හෙන්රි ෆෝඩ් කෞතුකාගාරයේ අදටත් දැක ගත හැකිය.)

        "හුස්මක් කියන්නෙ මොකක්ද කියල මම වගේම ඔයාලත් දන්නවනේ.ඒ ගැන අමුතුවෙන් කියල දෙන්න අවශ්‍ය නෑනේ. මනුස්සයෙක්ගෙ හුස්ම වල තියෙන්නෙ වායූන් එකතුවක්..හරියටම කිව්වොත් වැඩිපුරම තියෙන්නෙ ඔක්සිජන් සහ කාබන්ඩයොක්සයිඩ් .හැම මනුස්සයම හුස්ම ගන්නකොට ඒ වායූන් පිටවෙනවා. එහෙනං ඇයි මේ මිනිස්සු තෝමස් අල්වා එඩිසන්ගෙන් පිටවුන වායූන් ටිකක් පර්යේෂණ නළයක දාගෙන ඒක මහ වටින දෙයක් විදිහට සමාජයට පෙන්නන්නෙ. විද්‍යාඥයො විදිහට දැන් මට හිනාවුනා වගේ අපි ඇයි ඒකට මහ සද්දෙන් හිනා වෙන්නෙ නැත්තෙ..? ⁣

     ඒකට හේතුව තමයි හිත ඇතුලෙන් ඔයාල දන්නවා ඒ අවසන් හුස්ම කියන දේ සමහරවිට නිකම්ම වායූන් එකතුවක් වෙන්න පුළුවන් වගේම නොවෙන්නත් පුළුවන් කියලා.ඒ අදහස තියෙන්නෙ ඔයාලගෙ හිතේ අභ්‍යන්තරයේ ඈත කොනක.. ඔයාල ඒක ලේසියෙන් පිළිගන්නෙ නෑ. නමුත් ඔයාල දන්නවා.." මහාචාර්යවරයා අවසාන කොටස පැවසුවේ ආවේගශීලී ස්වරූපයකිනි..


     "හොඳයි අපි මේ කතාව තවත් රසවත් කරමුකො.. මම කියනවා මේ සභාවෙ බූතයෙක් ඉන්නව කියල. ඔහේලා ඒකට හිනාවෙනවා.හැබැයි මම ඔහේලට ඇවිත් මේ බෝතලේ අරින්න කිව්වම ඔහේලා කවුරුවත් ඒක කරන්න කැමති නෑ. හරි එහෙනං මම මේක අරින්නම්කො.මහාචාර්යවරයා පවසන්ද්දී කිසිවෙක් වචනයක්වත් නොකීවෝය.. 


 පර්යේෂණ නළය ආධාරකයෙන් ගලවා තම අතට ගත් මහාචාර්යවරයා ඉන් අනතුරුව එහි ගසා තිබූ කිරළ මූඩිය ගලවා දැමීය..


සියලු දෙනාම දෑස් දල්වා බලා සිටියෝය..


කිසිවක් සිදු නොවුනි..


 මහාචාර්යවරයාගේ සමකාලීනයෙකු වූ මහාචාර්ය බෙල් අවසානයේ තම හඬ අවධි කිරීමට සමත් විය..


"කෝ මුකුත් නෑනෙ."


ඒත් සමගම මහාචාර්යවරයා මහ හඬින් සිනාසෙන්නට විය..බෙල් මගෙ මිත්‍රයා.  ඔබත්...?


ඔහේල ඔක්කොම මේ ලෝකය දිහා බලන්නෙ බොහොම පුංචි රාමුවකින් , මමත් ඉස්සර එහෙම තමයි බැලුවෙ.. ඒ නිසා ඔහේලට ඒ ගැන වැරැද්දක් කියන්නත් බෑ. ඒත් දැන් කාලය ඇවිත් ලෝකෙ තියෙන ලොකු පින්තූරය දිහා බලන්න , බලල ඉගෙන ගන්න..! මම ඔහේල ගැන මෙච්චරටම හිතන නිසයි මේ වැඩේ කලේ.. මම අද ඔහේලට ලබා දුන්නෙ ලෝකෙ කවුරුවත් ලබා නොදෙන අවස්ථාවක්...!


අනතුරුව මහාචාර්යවරයා තවත් යමක් පැවසීමට ගියත් ඔහුට කැස්සක් පැමිණියේය.., ආයාසයෙන් තම කැස්ස යටපත් කරගත් ඔහු , මම ඉක්මනින් එළියට ගිහින් එන්නම් යනුවෙන් පවසමින් වේදිකාව පසුපස තිබූ කුඩා දොරටුවෙන් පිටවිය..


මහාචාර්යවරයා පිටව ගිය පසු සියලු දෙනාම කතාකලේ ඔහුගේ මෙම අරුම පුදුම පර්යේෂණ නළයේ සිදුවීම සම්බන්ධවයි. ඔවුන් එසේ සාකච්ඡා කරමින් අතරතුර එකවරම ශාලාවේ දොරටු විවර විය..


විවෘත වූ දොරෙන් එම ස්ථානයට පැමිණියේ අදාල දේශනය සංවිධානය කළ පිරිසෙන් අයෙකි.. 


ඔහුගේ මුහුණ කිසියම් භීතියකට නිරාවරණය උනාක් මෙන් විරූපී වී පැවතුණි..


සියලු දෙනාම තම කතාබස් නවත්වා ඔහු දෙස බැලීය..


ඔහු බියපත් හඬකින් මෙසේ පැවසීය...


"දැන් ටිකකට කලින් මහාචාර්ය ලියනාඩෝ නවාතැන් අරන් හිටපු හෝටලයෙන් අපිට කතා කලා"


"මහාචාර්යතුමා රාත්‍රීයේ ඇතිවුන හදිසි හෘදයාබාධයකින් මිය ගිහින්. ඔවුන් දැන් ටිකකට කලින් කාමරේ තිබිල එතුමගෙ සිරුර හොයාගෙන..!"


නිමි..


             - තරිඳු ලක්ශාන් -

ගුරුකම



       මහා රාත්‍රීයේ බොරැල්ල කනත්ත වෙත පැමිණි ගුරුන්නාන්සේත් මමත් සූදානම් වූයේ මීට දින තුනකට මත්තෙන් නැසී මිය පරළොව ගිය කෝටිපති ව්‍යාපාරික ජයසිංහ කොඩිතුවක්කු මහතාගේ මෘත දේහය සම්බන්ධයෙන් සුවිශේෂී රාජකාරියක් සිදු කිරීමටයි.නැසී යාමට ප්‍රථම රෝගාතුරව සිටියදී එතුමා ගුරුන්නාන්සේ සමඟ මෙම ගුරුකම සම්බන්ධයෙන් සාකච්ඡා කොට ගාස්තු වශයෙන් ඉතා විශාල මුදලක් ගෙවා තිබූ අතර මුදලාලි හට පොරොන්දු වූ පරිදි ගුරුන්නාන්සේත් , ඔහුගේ හොඳම ගෝලයා වූ මමත් , ජයසිංහ මුදලාලි⁣ගේ එකම පුත්‍රයා වූ සංජීවත් මුදලාලිගේ මරණයෙන් තුන් දිනකට පසුව මෙම රාජකාරිය සඳහා බොරැල්ල කනත්ත වෙත පැමිණියෙමු.. ගමේ බසින් කිවහොත් නාහෙට නාහන ඉලන්දාරියෙකු වූ සංජීව මෙම ගමනට එකතු වූයේ එතරම් කැමැත්තෙන් නොවේ..

    ⁣  අපගේ රාජකාරියේ බරපතළ බව මෙන්ම රහස්ගත බව නිසා අපි වෙන කිසිවෙකුට මේ ගමන ගැන නොපැවසූ අතර , කිසිවෙකු මේ ගමනට රැගෙන නොආවෙමු..


 කනත්තේ මුරකරුවා හට ගුරුන්නාන්සේ විසින් සවස් වරුවේදීම  පුංචි සන්තෝෂමක් දී තිබූ අතර ඔහු මේ වනවිටත් එය රැගෙන තැබෑරුමක් සොයා ගොස් තිබුණි.. නැවත පැමිණියද බීමතින් සිටින ඔහුගෙන් අපට ගැ⁣ටලුවක් නොවන බව ගුරුන්නාන්සේගේ විශ්වාසය විය..


මුදලාලිගේ මිනිය පැවතියේ ඔහු වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය කරන ලද සොහොන් ගෙයක් තුළයි.. රැගෙන ආ යතුරෙන් සොහොන්ගෙය විවෘත කර ඇතුල් වී රැගෙන ආ විශාල විදුලි ලාම්පුව දල්වා සොහොන් ගෙයි කොනකින් තැබූ ගුරුන්නාන්සේ ,


"හ්ම්ම් ඔය ගල් ලෑල්ල පැත්තකට කරලා පෙට්ටිය එළියට අරන් මිනිය හොඳට පේන්න සැලැස්සුව නං" යනුවෙන් අප දෙදෙනා හට පැවසුවේය..


ඒ අනුව මුදලාලිගේ පුතා වූ සංජීවත් මමත් ⁣දේහය සහිත පෙට්ටිය තැම්පත් කර තිබූ විශාල ගල් පෙට්ටියේ පියන පසෙකට ඇද දමා මිණි පෙට්ටිය ඉන් ඉවතට ගෙන , එය විවෘත කර  මුදලාලිගේ දේහය සොහොන් කුටියෙයි බිම වැතිරුවෙමු..


ගුරුන්නාන්සේ විසින් පෙර උපදෙස් දී තිබූ පරිද්දෙන් සැකසූ මුදලාලිගේ අන්තිම කැමති පත්‍රයට අනුව මුදලාලිගේ මිනිය එම්බාම් කර නොතිබූ හෙයින් මිනියෙන් පැමිණියේ අමු මිණී කුණු ගඳකි.. ඊට අමතරව  මුදලාලිගේ මිණියේ  මුහුනේ මතුව තිබූ තුවාල වැනි කැලැල් තුළින් ඔජස් ගලනුද ලාම්පු එළියෙන් අපි දුටුවෙමු..


"තුහ් විතරක්" , සංජීව පිළිකුල දරා ඉවසාගත නොහැකිව නාසය වසාගෙන එළියට ගොස් කෙළ ගසා ඇතුලට නොපැමිණ එළියටම වී සිටින්නට විය..


අනාථයෙක් වී සිටි මා හදා වඩාගෙන කුඩා කල සිට යන්ත්‍ර මන්ත්‍ර උගන්වා පුරුදු පුහුණු කලේ ගුරුන්නාන්සේ විසිනි..මටද එම ගඳ දරාගත නොහැකි වූවත් ගුරුන්නාන්සේගේ ප්‍රධාන ගෝලයා වශයෙන් ඉටු කළ යුතු යුතුකම් කොටසක් පැවති බැවින් මම එය අපහසුවෙන් උවද දරාගෙන එම ස්ථානයටම වී සිටියෙමි..


"මෙහාට වරෙන්..! ඔය තොගෙ තාත්ත යකෝ.." එකවරම ගුරුන්නාන්සේ කල නියෝගයෙන් සංජීව තක්කු මුක්කු වී ගිය අතර ඒ සමඟ බියත් පිළිකුලත් ⁣අපහසුවෙන් සඟවාගත් සංජීව නැවතත් කුටිය තුළට පැමිණියේය..


"ඔය දොර වහල දාපං.. මේක හදල තියෙන්නෙ ඇතුලෙන් කිසිම සද්දයක් එළියට ඇහෙන්නෙ නැති වෙන්න..නැත්නම් අපි මෙතන මතුරන්න ගන්නකොට පාරෙ යන එවුනුත් මොකක්ද සද්දෙ බලන්න එයි.." ගුරුන්නාන්සේ පැවසීය..


අවසානයේ ගුරුන්නාන්සේ මැතිරීම ආරම්භ කලේ සොහොන් ගෙයි දොර වසා අපි මිනිය වටේ හිටගත් පසුවයි..


"ඕ රීන් ගිරු ගරූං , සල්යා වාඩි පොඩි තුරා.මාරා බලා තුලා වාහ්" එසේ මැතිරූ ගුරුන්නාන්සේ "ඕං රී යක්ෂයා එනවා හොඳයි... මහමුහුද පලාගෙන ඇවිත් මගේ අණ ඉෂ්ට කරනවා හොඳයි.."  වැන  අණකිරීම්ද ගුරුකම අතරතුර සිදුකරන්නට විය..


බොහෝ වේලාවක් මැතිරීම් සහ ජප කිරීම් සිදු කිරීමෙන්  පසු අවසානයේ ගුරුන්නාන්සේ විසින් මා හට අවශ්‍ය කරන ඉඟිය ලබා දුන්නේය..    "උක්කුවා දැන්..."


එ් සමගම මම ඉණෙහි සඟවාගෙන තිබූ කිණිස්ස ඉවතට ගෙන මා ඉදිරියට වී යාතුකර්මය දෙස බලා සිටින සංජීවගේ පපුවට ඉන් වේගවත් පහරක් එල්ල කලෙමි..


⁣කිණිස්ස පපුව සිදුරු කරමින් ඇතුල්වීමත් සමඟ සංජීව කපා හෙලූ ගසක් සේ බිමට පතිත විය..බිම වැටුණු ඔහුගේ හිස පැත්තට කඩා වැටී තිබූ නමුත් කට යන්තමින් සෙලවුණේ උදව් ඉල්ලන්නාක් මෙනි..


හ්ම්ම් .. දැන් ගුරුකම සම්පූර්ණ කරමු.. 


මියගිය සංජීවගේ වම් අත ගෙන මුදලාලිගේ දේහයේ දකුණු අත උඩින් තැබූ මා  , ඉණේ තිබූ උෟරු තෙල් කුප්පියෙන් තෙල් ටිකක් ගෙන ගුරුන්නාන්සේගේ කලමණා පෙට්ටියෙන් ගත් පහණක් ඉන්  පත්තු කර දෙදෙනාගේ අත් උඩින් තබා  සියල්ල සූදානම් කලෙමි...


ගුරුන්නාන්සේ මහ හඬින් මතුරන්නට විය..මම ඒ අසලට වී බලා සිටියෙමි.


ටික වේලාවක්  ගුරුන්නාන්සේ මතුරන විට ජයසිංහ මුදලාලිගේ මිනියේ යම් දැඟලීමක් මම දුටුවෙමි..මම සෙමෙන් ගුරුන්නාන්සේට තට්ටු කලෙමි..


එසෙද බැලූ ගුරුන්නාන්සේ මැතිරීම වේගවත් කරන්නට විය..ඒ සමඟම මිනියේ දැඟලීමද වේගවත් විය..


"දැන් තමයි වෙලාව , මාරු කරපං කැවුත්ත.." එකවරම ගුරුන්නාන්සේ මහ හඬින් අණ දීමත් සමඟ මම වහාම ක්‍රියාත්මක වීමී..


මුදලාලිගේ පුත්‍රයාගේ මිනියේ පපුව විවෘත කල මම ඔහුගේ හදවත ගලවා පැත්තකින් තැබුවෙමි.. මීලඟට මම පැලුවේ මුදලාලිගේ මිනියයි..පුත්‍රයාගේ හදවත නිහඬව පැවතියත් මුදලාලිගේ හදවත වේගයෙන් ගැහෙමින් පැවතුනි..


"වෙලාව පරක්කු වෙනවා. ඉක්මන් කරහං" ගුරුන්නාන්සේගේ ගෝරනාඩුව මගේ කාර්‍යය තවත් ඉක්මන් කලේය..


 මුදලාලිගේ හදවත පුත්‍රයාගේ සිරුරට ඇතුල් කල මම , පුත්‍රයාගේ හදවත මුදලාලිගේ සිරුරට ඇතුලු කලෙමි..මගේ කටයුතු නිමා කලත්ම ගුරුන්නාන්සේ මැතිරීම නවත්තා දෑසට නොපෙනෙන යම් බලවේගකට අණ ලබා දෙන්නට විය.


"එකම ලේ ධාතුව , තොපි ඌ වෙනුවට මූව අරන් පලයල්ලා.." 


ඒ සමඟම  මුදලාලිගේ පුත්‍රයාගේ ශරීරයේ තිබූ තුවාලය සම්පූර්ණයෙන්ම සුවවී අතුරුදන් වී ගිය අතර එකවරම ඔහු තම දෑස් ඇර වටපිට බලන්නට විය..


ඔහු අසලට ගිය ගුරුන්නාන්සේ තම දෑත දිගු කොට ඔහුට නැගී සිටීමට උපකාර කලේය..


"ගුරුන්නාන්සෙ අපූරුවට වැඩේ කලා" මියගිය මුදලාලි තම පුත් සංජීවගේ ශරීරය තුළින් නැගී සිටිමින් පැවසීය..


"කොල්ලො උබ ඔය බඩු ටිකයි මිනියයි ඔක්කොම එකතු කරල ඔය ගල් පෙට්ටියට දාල වහල දාපං.." මා හට එසේ පැවසූ ගුරුන්නාන්සේ මුදලාලි සමඟ දොර විවෘත කර සොහොන් ගෙයින් පිටතට ගියේය...


වැඩකටයුතු අවසන් කළ යුතු වූවත් , ගුරුන්නාන්සේ හා මරණයෙන් අවධි වූ මුදලාලි අතර සිදුවන කතාබහ අසා ගැනීමට ඇතිවූ අසීමිත ආසාව නිසා මම විවෘතව පැවති දොර අයිනට ගොස් ඔවුන්ගේ කතා බහට කන් දුන්නෙමි..


ඔවුන් කතා කරමින් සිටියේ ගුරුකමේ තත්වය පිළිබඳවයි..


"කොහොමද සරීරේ..?" ගුරුන්නාන්සේ මුදලාලිගෙන් විමසීය..


"කලින් එකාට වඩා හොඳයි..මූ කොහොමත් ඔක්කොටම වඩා ඇඟපත ගැන හිතපු එකානේ.." මුදලාලි  පැවසීය..


"එහෙනං වැඩේ හරි. දැන් ඉතින් කලින් කලා වගේම නාකි වෙනකං මේ කොලුවගෙ ඇඟට වෙලා ඉන්න එක තමයි තියෙන්නෙ.." ගුරුන්නාන්සේ මුදලාලි දෙස බලා පැවසීය..


"මට කොලුව පවු කියලත් හිතෙනව බං.."  මුදලාලි පැවසීය..


"මොනා කරන්නද බං. අපිට මේ ගුරුකම කරන්න නම් එකම ලේ ධාතුව තියෙන තරුණ එකෙක් හොයා නොගෙනම බෑ." ගුරුන්නාන්සේ පැවසීය..


"උබත් දැන් නාකි වීගෙන එන්නෙ. උබට තරුණ වෙන්න අදහසක් එහෙම නැද්ද ගුරුන්නාන්සේ."මුදලාලි විමසීය.


මොකෝ බං නැත්තෙ.."කාලෙ ආවම මම වැඩේ කොරගන්නංකෝ.."


"ගුරුන්නාන්සෙට පුතාල ඉන්නවැයි..?"


"අර ඉන්නෙ ඇතුළට වෙලා."


"අර අරූ , ගෝල කොලුවා..ඔව්. ඌ හිතාගෙන ඉන්නෙ ඌ අනාතයෙක් කියලා..ඒත් ඌ මගෙ එකා.පුංචි කාලෙම උගෙ අම්ම නැති උනානෙ.."


"මොකෝ බං උබ ඌට ඇත්ත කිව්වෙ නැත්තෙ..?"


"ඇත්ත කියලා මම ඌව ලන්කර ගත්ත කියමුකො.. එහෙම කෙරුවැයි කියල මම ඌව නොමර ඉන්නද? මෙදාපාර මට ඉන්න එකම පුත්තරයා ඌ විතරයි. මේ නහින දෙහින කාලෙ ඉන්න මම ආයි ළමයි හදන්න යෑ. ඌව ආරක්ෂා කරන්න ගියොත් මට මැරෙන්නයි වෙන්නෙ.." ගුරුන්නාන්සේ ආවේගයෙන් මෙන් පවසාගෙන ගියේය..


එය ඇසූ මගේ සියොළඟ වෙවුලා ගියේය.. "එහෙනං ඒ මගෙ තාත්තා.."  

"අමුනුස්සයෙක් වගේ වැඩ අරන් මට අගුපිළේ නිදියගන්න ඇරලා මාව බිලිදෙන්න හිතාගෙන ඉන්න තාත්තා.."


කෝපය සමඟ අා වේදනාව මගේ නහර රත් කරමින් ගලාගෙන යනු මට දැනිණි..


සිත තදකරගත් මා කිසිවක් නොවුනා සේ වැඩ අවසන් කර ශබ්ද නගා හති අරිමින් සොහොන් කුටියෙන් පිටතට පැමිණියෙමි..


"වැඩ ටික ඔක්කොම ඉවරද බං..?" ගුරුන්නාන්සේ මගෙන් විමසීය..


ඔක්කොම හරි ගුරුන්නාන්සේ ,තව එක වැඩයි තියෙන්නෙ.. අර ගල් ලෑල්ල දාල පෙට්ටිය වහගන්න ඕන..ඒක මට උස්සගන්න බෑ..මගෙ පපුවත් රිදෙනව වගේ ඒක උස්සන්න ගිහින්..


"කොල්ලෙක් නේද උබ..? අනේ මන්දා අද කාලෙ හැදෙන කොල්ලෝ.., උබ ඔහෙන් වාඩි වෙලා හිටපං මමයි මුදලාලියි ඒක වහල දාල එන්න.." එසේ පැවසූ ගුරුන්නාන්සේ මුදලාලි සමඟ සොහොන් ගෙය තුළට පිවිසුනෝය..


අපහසුවෙන් සොහොන් ගෙයි දොර ලඟට ගොස් ඔවුන් දෙදෙනා ගල් ලෑල්ල අසලට යන අයුරු බලා සිටි මා , ඔවුන් ගල් ලෑල්ල ඔසවත්ම වහාම සොහොන් ගෙයි දොර වසා දමා , මා දොරේ තවමත් රැදී තිබූ යතුරෙන් එය අගුලු ලා ඔවුන්ව සොහොන්ගෙය ඇතුලේ සිර කලෙමි..


කිසිඳු ශබ්දයක් නැත. ගුරුන්නාන්සේ පෙර සඳහන් කළ පරිදිම සොහොන්ගෙය සාදා තිබුනේ ඇතුලේ කිසිම සද්දයක් පිටතට නොඇසෙන පරිද්දෙනි.. එය ගුරුකම කිරීමට උපකාර වූ විලසම මෙම මෘර්ග මිනිසුන් දෙදෙනාව මරණය තෙක් සිර කිරීමටද උපකාර වනු ඇත..


 සොහොන්ගෙය අසල ගුරුන්නාන්සේ විසින් හේත්තු කර තිබූ බෙරය ගෙන කරේ එල්ලාගත් මා ,  බීමතින් කනත්තේ දොරටුව අසල මුර මඩුවේ වැතිර නිදා සිටි මුරකරුවා දෙසද බලා , කිසිවක් නොවූ විලස එම ස්ථානයෙන් පිටත්ව ආවෙමි..


නිමි..


                      - තරිඳු ලක්ශාන් -

Friday, September 15, 2023

මානසික රෝගියා

 ~ මානසික රෝගියා ~



"නම..?"


"පුංචප්පු"


"ගම..?"


"මාතර"


"වයස..?"


"අවුරුදු 243 යි.."


   මෙතෙක් වෙලා රෝගීන්ගේ තොරතුරු සටහන් කරගන්නා පොත දෙස බලාසිටි වෛද්‍යවරයා එදින දහවල් ආහාරයට පෙර තමාව හමු වීමට පැමිණි අවසන්  රෝගියා දෙස අවධානයෙන් බැලීමට ගත්තේ එම ප්‍රකාශයෙන් පසුවයි....


වෛද්‍යවරයා ඉදිරියේ වාඩි වී සිටියේ හොදින් ඇඳ පැළඳගත් වයස අවුරුදු 30 පමණ ගැමි පෙනුමකින් යුත් ප්‍රියමනාප තරුණයෙකි..


"වයස අවුරුදු 243 වෙනවා ඔහේට..?"


"ඔව්.."


ඒ වචනය ඇසීමෙන්ම මොහු මානසික ⁣රෝගී පුද්ගයෙක් වන බව වෛද්‍යවරයාට වැටහුණි.


    මම දැන් මෙයාට මොකක්ද කරන්නෙ..? මම මෙතනින් නැගිටලා යන්න ගියොත් මේ මනුස්සයා කලබල කරන්න පුළුවන්. මේ වෙලාවෙ කරන්න පුළුවන් හොඳම දේ තමයි මෙයා එක්ක හිමින් ⁣සීරුවේ කතා කරලා මෙයාගෙ විස්තර ටිකක් අරගන්න එක. ඊට පස්සෙ පුළුවන් උනොත් මම මෙයාව කැමැත්තෙන්ම මානසික රෝග සායනයට යවනවා. එහෙම බැරි උනොත් මිනිහගෙන් විස්තර අරන් ඒ ටික ඩොක්ටර් ජයමාන්නට දීල මේ මනුස්සයව මානසික රෝහලකට හරි යවන්න ඕන.. මෙසේ කල්පනා කල වෛද්‍යවරයා රෝගියාගේ විශ්වාසය දිනාගැනීම පිණිස ඔහු සමඟ කතා කිරීම ආරම්භ කලේය...


"අවුරුදු 243 ක්. හ්ම්ම් ..ඒ කියන්නෙ ලොකු කාලයක්.. එහෙනං ඔහේ නිදහස් සටනටත් ඉදල තියෙනව නේද? "


"ඔව් මම හිටියා."


"සුද්දො එක්ක සටන් එහෙමත් කරන්න ඇති..?"


"නෑ. මම සටන් කලේ සිංහල මිනිස්සු එක්ක.."


"ඒ මොකද ඒ..?"


"මොකද මම හිටියෙ සුද්දන්ගෙ පැත්තෙ නිසා.." රෝගියා සිනාසෙමින් පැවසීය..


"ඔහේ පුදුම මනුස්සයෙක්නෙ.. සිංහලයෙක් වෙලත් ඇයි ඒ විදිහට වැඩ කලේ..?"


"මොනා කරන්නද මහත්තයෝ. මගෙ ලෙඩේ හොඳ කරගන්න නම් මට ඒක කරන්නම උනා.."


"මොනවා ලෙඩේට බෙහෙත් කරන්න..? මොකක්ද සිංහලයන්ට ද්‍රෝහි වෙන්න තරම් තමුසෙට හැදිල තිබුන ලෙඩේ..?" වෛද්‍යවරයා එය ඇසුවේ රෝගියාගේ අසනීපය ගැන දැනුවත් වීමටත් වඩා , මෙම කතාව තුළින් ඔහු තුළ මතු වූ කුතුහලය නිවාගැනීමේ අටියෙනි..


"වයසට යන එක."


"වයසට යන එක ලෙඩක් නෙවෙයිනෙ..ඉපදුන හැමෝම වයසට යනවා.."  වෛද්‍යවරයා පැවසුවේ වැඩිහිටියෙකු දරුවෙකුට නොදන්නා යමක් පැහැදිලි කරදෙන ස්වරූපයෙනි..


"ඒ ඔබතුමා හිතන හැටි."


"වයසට යන එක ලෙඩක් නම් , තමුසෙ ලඟ ඒකට බෙහෙතකුත් තියෙනව නම් , තමුසෙ මට කියනවකො බලන්න තමුසෙ ඒකට හොයාගත්ත බෙහෙත.." ⁣වෛද්‍යවරයා පැවසුවේ කෝපයෙනි.. රෝගියාගේ කතාව වෛද්‍යවරයා තුළ ඇතිකල කෝපය ඔහු මානසික රෝගියෙක් බව පවා අමතක කර දැමීමට පවා සමත්විය..


"මම බෙහෙතක් හොයාගත්තෙ නෑ , මට බෙහෙතක් දුන්නා.."රෝගියා පැවසීය..


"කවුද දුන්නෙ..?"


"රීරි යකා.."


"යක්කුන්ට පුළුවන් ද මනුස්⁣සයෝ මිනිස්සුන්ට බෙහෙත් කරන්න..?"


"මමත් ඒ යකාව හම්බවෙන්න කලින් ඔහොම තමයි හිතාගෙන හිටියෙ.."


"ඉතින් මොකක්ද යකා ඔහේට දීපු බෙහෙත..?"


"වරමක්..!!!"


"වරමක්..?" වෛද්‍යවරයා ඇසීය.


"ඔව් වරමක්..මම ඒ කාලෙ ලංකායෙ රජතුමාගෙ ගහලයා විදිහ⁣ට රස්සාව කලේ. මම දවසට මිනිස්සු විස්සක් තිහක් එළොව යැව්වා.. ඒ⁣ක රීරි යකාට කැපවුණ භූමිය , ඉතින් ඒ සතුටට දවසක් රීරි යකා ඇවිත් මට වරමක් දුන්නා.."


"මොකක්ද ඒ වරම..?"


" මම අහිංසක නිර්දෝෂී ගුණයහපත් මනුස්සයෙක්ව මරන වාරයක් ගානෙ යකා මට ජීවත්වෙන්න අවුරුදු දහයක ආයු කාලයක් දෙනවා.යක්කු හරි ආසයි හොඳ මිනිස්සුව බිලි ගන්න."


"ඉතින් ඔහේ පහුගිය කාලෙම ඔය වරම ගන්න මිනිස්සු මැරුවද?" මෙම පුද්ගලයා ඝාතන මානසිකවයකින් පෙළෙන බව වටහා ගත් වෛද්‍යවරයා විමසුවේ බියෙනුයි..


"හපෝ නෑ.."


"මම කලිනුත් කිව්වනෙ මම නිදහස් සටනෙදි ඉංග්‍රීසින්ගෙ පැත්තෙ හිටියා කියලා..ඉතින් මගෙ වැඩ නිසා අහිංසක නිර්දෝෂී ගුණයහපත් මිනිස්සු ගොඩාක් මැරිල ගියා.ඉතින් මට ලොකු කාලෙකට මගෙ ආයුෂ  වැඩි කරගන්න කාවවත් මරන්න ඕන උනේ නෑ.."


එය ඇසූ වෛද්‍යවරයා හට දැනුනේ විශාල සැනසීමකි.


" මීට අවුරුදු බර ගානකට කලින් සිද්ධවුන දේවල් කියල හිතින් මවාගත්ත දේවල් ගැන කියන්නෙ මිනිහ තාම ඝාතන මානසිකවයකට ඇවිත් නෑ." වෛද්‍යවරයා එසේ කල්පනා කලේය..


"ඉතින් ඉතින් , ඔහේට තියෙන ලෙඩෙත් ඔහේ දන්නව නම් , බෙහෙතත් ඔහේ දන්නව නම්. ඇයි ඔහේ මාව හම්බවෙන්න ආවෙ..?" මේ වන විට වෛද්‍යවරයා සතුව තිබූ කුතුහලය නිසා රෝගියා මානසික රෝගියෙක් බවද අමතක කරමින් වෛද්‍යවරයා නැවතත් ඔහු වෙත ප්‍රශ්නයක් යොමු කෙරුවේය..


"මට ආරංචි උනා ඔබතුමා ගිය සතියෙ ලෙඩ්ඩු වගේකට නොමිලේ ඇස් කණ්ණාඩි වගයක් බෙදල දුන්න කියල.."


"ආ.. ඒ කියන්නෙ ඔහේටත් ඇස් කණ්ණාඩියක් ඕනද? ඔහේව දැක්කම නම් පෙනීම වරදක් තියෙනව කියල පෙනුනෙම නෑ , තාම තරුණ වයසෙ කෙනෙක්නෙ.. මගෙ ලඟ නොමිලේ බෙදල දෙන්න තිබුන කණ්ණාඩි ටික නම් දැන් බෙදල ඉවරයි. ඒත් මට පුළුවන් වෙයි ඔහේටත් එකක් හොයල දෙන්න.. මට ඔහේගෙ නමයි , ගමයි ඇඩ්රස් එකයි දෙනවකො." වෛද්‍යවරයා රෝගියාගේ තොරතුරු ලබාගැනීමේ අරමුණින් කපටි ප්‍රශ්නයක් රෝගියා වෙත එල්ල කරමින් විමසීය..


"මගෙ නම තමයි  අමල්ක හිමේෂාන් , මම පදිංචි ⁣වෙලා ඉන්නෙ හෝමාගම.. ඒත් ඩොක්ටර් මට ඇස් කණ්ණාඩි අවශ්‍ය නෑ.."


මෙය ඇසීමත් සමඟ වෛද්‍යවරයා පත්වූයේ තවත් පැටලිලි සහගත තත්වයකටයි.. නමුත් මානසික රෝගියෙකුගෙන් මීට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු විය නොහැකි බව ඔහු දැන සිටියේය.  බොහෝදුරට තරුණයාගේ ඇත්ත නම මෙය විය හැකි බව වෛද්‍යවරයා තුළ විශ්වාසයක් විය. එම නිසා ඒ ගැන තහවුරු කර ගැනීම සදහා වෛද්‍යවරයා මෙසේ විමසීය..


"ඔහේ දැන් ටිකකට කලින් ඔහේගෙ නම පුංචප්පු කියල කිව්වා..දැන් කියනවා අමල්ක කියල.දැන් ටිකකට කලින් කිව්වා මාතර තමයි ගම කියල , දැන් කියනවා හෝමාගම තමයි ගම කියලා.. ඇත්තටම තමුසෙ කියන දේවල් තේරුම් ගන්න හරිම අමාරුයිනේ..."


"ඔය දෙකම හරි නම් තමයි මහත්තයෝ.. ඔබතුමා හිතුවද අවුරුදු 243 ක් ජීවත්වෙනකොට එකම නම දාගෙන එකම ගමේ ජීවත්වෙන්න තරම් මට පිස්සුවක් තියෙනව කියලා.ඒ විදිහට මම එකම නමකින් එකම තැන හිටිය නම් යකෙක් කියල හිතල මිනිස්සු මාව අල්ලගෙන ඇඟේ ගලක් ගැට ගහල ⁣ගඟට දායි , නැත්නම් මාව කට්ටිය අල්ලගෙන ගිහින් හිරකරල වද දීල පරීක්ෂණ කරයි."


"මම කාලෙන් කාලෙට මගේ නම් වෙනස් කලා , ගම් වෙනස් කලා.  එහෙම තමයි මම මෙච්චර කාලයක් ආරක්ෂිත විදිහට  ජීවත්වුනේ..මම කාටවත් මේව කියන්න නෙවෙයි හිතාගෙන හිටියෙ..."


"ඉතින් දැන් ඔහේ ඔය ඔක්කොම මට කිව්වනෙ? මාව එච්චර විශ්වාස ද?" 


"මහත්තය නම් විශ්වාස තියන්න පුළුවන් මිනිහෙක් විත්තිය මම දන්නවා. ඒත් ඒක නෙවෙයි මම මහත්තයට ඇත්ත කියන්න හේතුව..අතන කවුලුවෙන් අපි දිහා බලන් ඉන්න නර්ස් නෝනා දවල් කෑමට යනකං ⁣මම මොනාහරි කිය කිය ඔබතුමා එක්ක ඉන්නත් එපැයි...ඔන්න දැනුයි ඒ නෝනා කෑමට ගියේ..එතකං තමයි මම ඔබතුමාට මගේ ජීවිත කතාව කිව්වෙ.."


"ඒ මොකටද තමුසෙ ඒ නර්ස් නෝනා යනකං ඉන්නෙ..?" වෛද්‍යවරයා විමසුවේ පුදුමයට පත්වයි..


මෙන්න මේකට..!


තම ඉණෙහි සඟවාගෙන සිටි කිණිස්ස එළියට ගත් රෝගියා වෛද්‍යවරයා වෙත ඉන් ප(හ)ර කිහිපයක් එල්ල කර ඔහුව ඝාතනය කලේය.. 


අනතුරුව ලේ වැකුණු කිණිස්ස තව සාක්කුවෙන් ගත් රෙදි කැබැල්ලකින් පිස දැමූ ඔහු එය නැවතත් තම ඉණෙහි සගවාගෙන වෛද්‍යවරයාගේ මළකඳ දෙස බැලුවේය...


"නොමිලේ ඇස් කණ්ණාඩි නොබෙදුව නම් ,  මම කියන දේ අහගෙන ඉන්නෙ නැතුව වෙන මිනිස්සු වගේ මාව මෙතනින් පන්නල දැම්ම නම්..., ඔබතුමා තාමත් ජීවතුන් අතර..,

        අහිංසක නිර්දෝෂී ගුණයහපත් මිනිස්සු කියන්නෙම විහින් අමාරුවෙ වැටිල මැරෙන්නම ඉපදුණු කට්ටියක්..!!!මට දුක තියෙන්නෙ මේ රටේ එහෙම උන් බොහොම ටිකක් ඉන්න එක ගැන විතරයි.."

     එසේ තමා හටම පවසාගත්  රෝගියා ඔහු මානසික රෝගියෙක්ද එසේත්  නැත්නම් සැබෑ ලෙසම වරමක් හිමි කර ගත් අයෙක්ද යන්න ගැන ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරමින් එම ස්ථානයෙන් පිටව ගියේය..


නිමි..


                 

 

හොල්මන

තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...