Sunday, December 1, 2019

බිල්බෝ බැගින්ස්ගේ වීරචාරිකාවෙන් ආරම්භ වූ ෆෝඩෝ බැගින්ස්ගෙන් අවසන් වූ බල මුදුවේ මිතුරු හවුලේ කතාන්දරය 2 කොටස


පළවෙනි කොටස නොබලපු අය මෙතනින් ගිහින් එ්ක බලල එන්න >>  මෙතන click කරන්න

   මම පළවෙනි කොටසෙදි ඔයාලට පැහැදිලි කලා හොබිට් ලෝකෙ වැඩ කටයුතු සිද්ධ වෙන ආකාරය.

ඉරු දෙයියො දෙයියො කාව කාවද මැව්වෙ

පළවෙනි ඩාක් ලෝඩ් කාව කාවද මැව්වෙ කියන එක

ඒ වගේම හොබිට් චිත්‍රපටය ගැනත් ඔයාල යමක් කමක් ඒකෙන් දැනගන්න ඇති කියල මම හිතනව.

එහෙනම් අපි දැන් යමු දෙවනි කතාවට,
එහෙමත් නැත්නම් Lord of the rings චිත්‍රපටය වෙතට

මේ කතාව ආරම්භ උනේ බලයේ  මුදු නිර්මාණය කිරීමෙන්. Celebrimbor කියන සුරයන්ගෙ කම්මල්කරුවාගේ අතින් යහපත් අරමුණෙන් තමයි මේව නිර්මාණය උනේ.මේකට ඩාක් ලෝඩ් සවුරෝනුත් උදව් කලා.

🔥මුදු තුනක් අහස යට ඉන්න අමරණීය සුරයන්ට, ( මේ මුදු තුන සුවිශේෂී උනා, Celebrimbor මේව හදන්න සවුරෝන්ගේ උදව් ගත්තෙ නෑ ඔහු තනිවමයි මේ තුන හැදුවෙ)

🔥මුදු හතක් ගල් ගුහා වල ශාලාවල  ඉන්න කුරුමිටි අධිපතියන්ට

🔥නවයක් මරණය උරුම  කරගත්ත මිනිසුන්ට

ඔවුන්ට එම මුදු මගින් තමන්ගෙ වර්ගයා රැක ගැනීමට බලයක් හා ශක්තියක් ලබා දුන්නා

නමුත් ඔවුන් නොදන්න තවත් දෙයක් තිබුනා

ඔවුන්ට රහසින් තවත් මුදුවක් නිර්මාණය උනා

මෝඩෝර්වල මරණයේ ගිනි කන්දෙ ගිනි දලු වලින් ඩාක් ලෝඩ් සවුරෝන් සැමට රහසින් සියලු බල මුදු පාලනය කළ හැකි තනි මුද්දක් නිර්මාණය කලා.
ඔහු විසින්මයි මෙම මුද්ද නිර්මාණය කලේ
ඔහු මේ මුද්දට ඔහු සතු සියලුම නපුරත් ඇතුළත් කලා.

සියල්ල පාලනය කළ හැකි තනි මුද්ද. මේ මුද්ද සහ සෞරෝන් කියන්නෙ දෙකක් නෙවෙයි එකක්!!!

(Ash nazg durbatulûk,
Ash nazg gimbatul,
Ash nazg thrakatulûk
Agh burzum-ishi krimpatul)

One Ring to rule them all,
One Ring to find them,
One Ring to bring them all,
And in the darkness bind them.

සවුරෝන් එක් දිනක් මුද්ද පැළඳ සියලු දෙනා තම වහලුන් කරගෙන පාලනය කරන්න ආරම්භ කලා.

නමුත් සවුරෝන් මුද්ද ඇඟිල්ලට දා ගත්ත ගමන් සුරයන්ට වැරැද්දක් දැනුනා, ඔවුන් වහාම තමන්ගෙ මුදු ඇඟිල්ලෙන් ගලවා ඉවත්කලා.

සිද්ධිය දැනගත්ත සවුරෝන් මුදු නැවත ලබාගැනීමේ අරමුණෙන්  සුරයන්ට විරුද්ධව යුධ ප්‍රකාශ කලා.
නමුත් සුරයන් තමන්ගෙ ශ්‍රේෂ්ඨ ශාකය අසල සැඟවිලා සවුරෝන්ගෙන් දිවි රැකගත්තා.

සවුරෝන් මීලඟට තම අවධානය  යොමු කලේ අනෙක් මුදු 16 ටයි.

මේ මුදු 16 න් 7 ක් ගත්ත කුරුමිටි අධිපතියනුත් සෞරෝන්ගෙ පාලනයට යටත් උනේ නෑ. ගුහා වල වාසය කිරීම නිසා යම් නොදන්නා හේතුවක් නිසා ඔවුන් සවුරෝන්ගෙ බලයෙන් ගැලවුනත් මෙම මුදු නිසා ඔවුන්ගෙ මනස විකෘති උනා. ඔවුන් අසීමිතව ධනයට කෑදර පිරිසක් බවට පත්වුනා. ධනය නිසාම ඔවුන් විනාශයට පැමිණුනා..

එතකොට මුදු 9 ගත්ත මිනිස්සු. මේ මුදු නවය ගත්තෙ මනුෂ්‍යයන්ගෙ ශ්‍රේෂ්ඨතම රඡවරුන් නව දෙනෙක් විසින්. මොවුන් සියලු දෙනාම සවුරෝන්ගෙ වහලුන් බවට පත්වුනා.
මරණයත් ඡීවිතයත් අතරමඟ නැවතුන ඔවුන් නාස්ගුල් නම් සවුරෝන්ගේ සුවිශේෂී සෙබලු බවට පත්වුනා
Witch king of Angmar තමයි මේ නාස්ගුල් සෙබලුන්ගෙ නායකය උනේ. වරක මධ්‍යම පෘථිවියෙ ශ්‍රේෂ්ඨතම රඡෙක් උන ඔහු පසුව සවුරෝන්ගෙ ප්‍රධාන සේවකය උනා.

නමුත් මෙයට විරුද්ධ පිරිසකුත් හිටියා. මිනිසුන් සහ සුරයන්ගේ අවසාන බලඇණි මෝඩෝර් වෙත ගමන්කලා..
ඔවුන් බොහෝ දෙනෙකුට සිදුවුනේ මරණයේ ගිනි කන්ද පාමුල මරණයට පත්වෙන්නයි.

අවසානයේ මිනිසුන් සහ සුරයන් සටන ඡයගත්තා, නමුත් බලයේ මුද්ද අත දරාගෙන පැමිණි සවුරෝන් හට එරෙහි වීමට ඔවුන්ට නොහැකි උනා

නමුත් එක් මොහොතක සියල්ල වෙනස්වුනා , මනුෂ්‍ය රඡතුමාගේ පුත් ඉසිල්ඩූර් තම පියාණන්ගේ අසිපතින් සවුරෝන්ගේ මුද්ද සහිත ඇඟිලි කපා දැමුවා

සවුරෝන් පරාඡය උනා

ඒ සමගම ඉසිල්ඩූර් මධ්‍යම පෘථිවියේ සියලු දෙනාට නිදහස උරුම කර දුන්නා

සවුරෝන්ගේ අතින් ගැලවුණු බල මුදුව ඉසිල්ඩූර් අතට පත්වුනා,,,

නමුත් බල මුදුවේ බලයට වහල්වුණු ඉසිල්ඩූර් මරණයේ ගිණි කන්දට දමා මුද්ද විනාශ නොකොට එය තමන් සතු කරගත්තා

නමුත් ඉසිල්ඩූර් හට මුද්ද රැගෙන තම රාඡධානිය කරා යාමට හැකියාවක් ලැබුනේ නැහැ,

ඕක් සෙබලුන්ගෙ හදිසි පහර දීමක් නිසා ඉසිල්ඩූර් මියගියා, ඔහු සමඟ වතුරට වැටුණු බල මුදුව අතුරුදන් වෙලා ගියා

වසර සිය ගණන් ගෙවී ගියා

අතීතය පුරාවෘතයයක් උනා , පුරාවෘතය මිත්‍යාවක් උනා

වසර 2500කට පසු එක් දිනයක දියේගොල් කියන හොබිට්ටෙක් දිය යට තිබිල බල මුදුව සොයා ගත්තා,,පසුව ස්මිගොල් කියන ඔහුගේ සහෝදරය ඔහුව මරල මුද්ද තමන් සතු කරගත්ත.

නමුත් පහත් ගති ඇති ඒ ස්මිගොල් හොබිට්ට අවසානයේ මුද්දට ආශා කරන ගොලම් සත්වයෙකු බවට පත්වුනා.
 ඔහු වසර 500 බල මුදුව තමන් ලඟ තබාගෙන සිටියා

දැන් අපි හොබිට් චිත්‍රපටය අවසන් උන තැනින්ම මේ කතාව පටන්ගන්න එක තමයි හොඳ

 හොබිට් කතාවෙ අවසානයට ,,,

කුරුමිට්ටන් ඕක් සෙබලු සමඟ තිබුන සටන ඡයග්‍රහණය කර නැවතත් ඔවුන්ගෙ කන්දෙ රාඡධානිය අත්පත් කරගත්ත. ( මේ සටනින් අසොග් කියන ඕක් නායකය වගේම කුරුමිටි රඡු තෝරින් ඕකන්ෂීල්ඩ් මියගියා , ඔහුගේ සහෝදරය නව රඡතුමා බවට පත්වුනා)

ලේඩි ගැලැඩ්‍රියෙල් විසින් සවුරෝන්ගෙ ආත්මය ඒක අරක්ගෙන හිටපු තැනින් පිටුවල් කලා, එල්ෆ් රඡු එ් පිටුපස ගිහින් ඒක විනාශ කරන්න පිරිසක් යවන්න උත්සාහ කලත් , මායාකාර සරුමාන් ඒ ගැන එයා විසින්ම බලාගන්නම් කියල පොරොන්දු වෙලා එල්ෆ් රඡුව නතරකලා.

එතකොට හොබිට් සිනමාපටයෙ පුංචි වීරය බිල්බෝ බැගින්ස් , එයා වීර චාරිකාව අස්සෙ ගොලම් සත්වයගෙ ගුහාවෙන් බල මුදුව ලබා ගත්තා. නමුත්  බල මුදුව ගැන හරිහැටි තේරුමක් නැති ඔහු එහි මායා බලයට වශී වෙලා එය මායාකාර ගැන්ඩල්ෆ්ටත් හොරෙන් බල මුදුව ⁣අරගෙන ගෙදර ගියා


      මේ සිද්ධිය වෙන්නෙ ඒ ඔක්කොම වෙලා වසර 60 කට පස්සෙයි.

     බල මුදුව බිල්බෝ අතේ තිබෙන කාලය ඇතුලෙ ඔහු නොදැන බොහෝ දේවල් සිදුවුනා.

 හොබිට් චිත්‍රපටයෙ අවසානයේ සවුරෝන්ව පරාඡය කරන බවට එල්ෆ් රඡුට සහ ලේඩි ගැලැඩ්‍රියෙල් හට පොරොන්දු වී ගිය සරුමාන් නම් මායාකරු කට්ටියට ද්‍රෝහි වෙලා සවුරෝන් හට එකතුවෙලා මෝඩෝර් ශක්තිමත් කිරීමට උපකාර කලා.
මේ අනුව මෝඩෝර්හි මායා ඇස සහිත අති විශාල කුලුණක් ගොඩ නැගුනා.
අඳුරු බලමුලු ශක්තිමත් උනා.

       එක්තරා දවසක ගොලම් සත්වයාව මෝඩෝර් වල සෙබලු අල්ලා ගත්තා. ගොලම් සත්වයා " ෂයර් " සහ " බැගින්ස්වරු යනුවෙන් ඔහු දන්නා සියලුම දේ සතුරන් ඉදිරියේ වැමෑරුවා.

මෙහි අවසාන ප්‍රතිඵලය උනේ මෝඩෝර් වල අති බිහිසුණු නාසිගුල් ⁣සේනාව ෂයර් ගමේ බැගින්ස්වරු සොයා ඒමයි..

මේ වෙලාව වෙනකොට බිල්බෝ බැගින්ස් බල මුද්ද තමන්ගෙ ඥාතියක් උන ෆෝඩෝ බැගින්ස්ට පවරල චාරිකාවකට පිටත්වෙලා ගිහින්.

සිද්ධිය දැනගත්ත ගැන්ඩල්ෆ් ෆෝඩෝට කියනව පැනල යන්න කියල.
පැනල යන ෆෝඩෝ එක්ක සෑම් , මේරි හා පිපින් කියන යාලුවො තුන් දෙනත් එකතුවෙනව.

මගදි මොවුන්ට හමුවුනා තරුණ වන ආරක්ෂකයෙක්

අවසානයේ මෙයාල රිවර්ඩේල් වල සුර නගරයට යනව. ඒ බල මුද්දේ අනාගතය ගැන තීරණයක් අරගන්නයි.


එතනදි මේ ගැන සාකච්ඡා කරන්න විවිධ රාඡධානි වලින්  නියෝඡිතයන් එකතු උනා

මෙහිදී අවසන් තීරණය ගැන කට්ටිය වාද කරද්දි ෆෝඩෝ කියනව තමන් මෝඩෝර් වල ගිනි කන්දට මුද්ද ගිහින් දාන්නම් කියල..
මොකද මෝඩෝර්වල ගිනි කන්දෙ ගින්නෙන් විතරයි මේ මුද්ද විනාශ කරන්න පුලුවන්.

හැබැයි මෝඩෝර් වලට යන එක ලේසි වැඩක් නෙවෙයි , මොකද මෝඩෝර් කියන්නෙ අඳුරු රාඡධානියටයි. ඒකෙ මැද තියෙන ගිනි කන්දට යන එක. ඒක ඊට වඩා අමාරු වැඩක්

ෆෝඩෝගෙ තීරණයට ගරු කරපු සියලුම දෙනා එකතු වෙලා මෝඩෝර් වෙත යන ෆෝඩෝගෙ  චාරිකාවට උදව් කරන්න සන්ධානයක් හැදුව.

Fellowship of the Ring කියල නම් කරේ මේ ගමනට සහභාගි උන අයයි.

"බල මුදුවේ මිතුරු හවුල මොවුනුයි"

මේ කණ්ඩායමේ සාමාඡිකයන් මෙන්න මෙහෙමයි. (වරහන් ඇතුලෙ කට්ටියගෙ වයස සටහන් කරල තියෙනව.

* ෆෝඩෝ බැග්න්ස් (50)- මුද්දේ බාර කරුවා වගේම මුද්ද රැගෙන යන්නා

* සෑම් (38) - ෆෝඩෝගෙ ආරක්ෂකයා

* ගැන්ඩල්ෆ් ද ග්රේ ( අතිපෞරාණිකයි) - අලු පැහැ ඇඳුම් ඇඳි මහලු මායාකාරයා වගේම පිරිසේ නායකයා

* ලෙගොලස් (500+) -  Mirkwood  වල සුර රඡුගේ පුත්‍රයා. අති දක්ෂ දුණුවායා

* ග්‍රිම්ලි (139) - එල්බෝරයේ කුරුමිට්ටන් නියෝජනය කරන ගොලින්ගෙ පුත්‍රයා.

* ඇරගොන් (87) - උතුරු වන ආරක්ෂකයින්ගෙ ප්‍රධානියා, ඒ වගේම ඉසිල්ඩූර් රඡුගෙ උරුමක්කාරයා , ගොන්ඩෝර් හි ඔටුන්නෙ සැබෑ හිමිකාරයා

* බොරමියර් (40) - ගොන්ඩෝර්හි බාරකාරයගෙ පුත්‍රයා

* මේරි (36) සහ පිපින් (28) - ෆෝඩෝගෙ මිතුරන්

අවසානයේ මොවුන් ගමනට පිටත්වුනා,,

අතරමගදි උන විවිධ හැල හැප්පීම් මැද්දෙ ගැන්ඩල්ෆ් යක්ෂයෙක් හා සටන් කරන්න ගිහින් හෙලකට වැටිල අතුරුදන් උනා.
බොරමියර් ඕක් සෙබලුන්ගෙ ප්‍රහාරයකින් මියගියා..

මේරි සහ පිපින්ව ඕක්වරුන් පැහැරගත්තා

අවසානයේ ෆෝඩෝ සහ සෑම් තනිවම චාරිකාවේ ඉතුරු ටික අවසන් කරන්න තීරණය කරද්දි,,

ග්‍රිම්ලි , ලෙගොලස් සහ ඇරගෝන් ප්‍රමුඛ  වීරයො තුන්දෙනා මේරි සහ පිපින්ව බේරගන්න පිටත්වුනා..


ඔය විදියට බල මුදුවේ මිතුරු හවුල බිඳිල ගියා.

⁣⁣තනිවම ගමන්කල ෆෝඩෝ සහ සෑම්ට ගොලම් නම් මුද්දට ආශා කරන සත්වයාව මුණ ගැසුනා, සත්වයා ෆෝඩෝ සහ සෑම්ට මරණයේ ගිණි කන්දට යාමට කෙටි මාර්ගයක් ලබා දුන්නා , ඔවුන් ඒ මග ගමන් ගනිද්දී,,

මේරි සහ පිපින් ආරක්ෂිත බව මඟදි හමුවූ ධවල පැහැදිලි ගැන්ඩල්ෆ්ගෙන් දැනගන්නා වීරයන් තිදෙනා ගැන්ඩල්ෆ් සමඟ රොහාන් රාඡධානිය කරා ගමන්කලා..

සරුමාන් නම් දුෂ්ට මායාකරුගේ උගුලකට හසු වී සිටි රොහාන් රඡුව බේරාගත් ගැන්ඩල්ෆ් සහ පිරිස රොහාන් රාඡධානිය ආක්‍රමණය පිණිස පැමිණි සරුමාන්ගේ ඕක් හමුදාව සුරයන්ගේද උදව් ඇතුව පරාඡය කර දැමුවා,,

මීලඟට ඇරඹුණේ ගොන්ඩෝර් රාඡධානියේ සටනයි...

ගොන්ඩෝර්හි බාරකාර රඡු තම තම පුත්‍රයා බොරමියර් නැති වූ දුකින් උමතු වෙද්දී,,

මෝඩෝර් හි අති බිහිසුණු හමුදා ගොන්ඩෝර් ආක්‍රමණය කරන්නට පටන්ගත්තා.

මෙහිදී ඇරගෝන් ප්‍රමුඛ වීරයන් රොහාන් දේශයේ රඡු හා හමුදාව සමඟ සටනට එකතු වීමට ගමන්කලා,,,
  සවුරෝන් පරාඡය කළ ඉසිල්ඩූර් රඡුගේ පෙළපතින් ලැබුණු සුවිශේෂී කඩුවේ බලයෙන් මරණීය ශාපලත් සේනාවක් නැවතත් සටන් බිමට ගෙන්වූ අැරගෝන් විශාල ඡීවිත හානි හමුවේ එම සටනත් ඡයග්‍රහණය කලා.

රොහාන් දේශයේ මහරඡුගේ ඡීවිතයත් එයට වැයවුනා..

මේ සටන අවසානයේ  ෆෝඩෝ මෝඩෝර්හි ගිණිකන්දට ආසන්න බව පිරිසට දැනගන්න ලැබුනා.

   ඇරගෝන් තීරණය කලා ෆෝඩෝ හට ගිනිකන්ද වෙත යාම පහසු කරවීමට  අවසාන සටන ආරම්භ කරන්න..
      ගැන්ඩල්ෆ් , අැරගෝන් , ලෙගොලස් , ග්‍රිම්ලි ප්‍රධාන පිරිස ඉතුරු සේනාවත් රැගෙන මෝඩෝර්හි දොරටුව වෙතට ගියේ අවසාන සටන ආරම්භ කිරීමටයි. වීරයන් තමන්ගේ පරාඡය නියත බව දැන දැන ආරම්භ කල මේ සටන පැතිරී යදිදී , ෆෝඩෝ සහ ගොලම් අතර මුදුව වෙනුවෙන් සටනක් ආරම්භ උනා.

අවසානයේ ගොලම් මුද්ද සමඟ මොඩෝර් හි ගිනිකන්දට බිලි උනා.

⁣සෑම්ගේ උපකාර නිසා ෆෝඩෝ තමන්ගේ දිවි රැකගත්තා..

සවුරෝන්ගේ පරාඡය සිදුවුනා!!!

මේ සමඟම සුරයන්ගේ යුගය ගෙවී ගොස් මධ්‍යම පෘථිවියේ මනුෂ්‍යයන්ගේ යුගය උදා උනා..

චිත්‍රපටයේ අවසානයට,,,

අැරගෝන් ගොන්ඩෝර්හි රඡු බවට පත්වුනා..
සුරයන් සදහටම මධ්‍යම පෘථිවියෙන් යන්නට ගියා. ඔවුන් සමඟ ෆෝඩෝ , බිල්බෝ  සහ ගැන්ඩල්ෆ් ද මධ්‍යම පෘථිවියෙන් පිටත්වුනා...

කතාව අවසානයි.

ලෝඩ් ඔෆ්ද රින්ග්ස් කතාව ඉවර උනාට ප්‍රශ්න ඉවර නෑ නේද😂😂😂

අන්න ඒවට උත්තර දෙන වෙලාව තමයි දැන් ඇවිත් තියෙන්නෙ..


1. බිල්බෝ බැගින්ස්ගේ වයස කීයද?

හොබිට් චිත්‍රපටයෙදි ගැන්ඩල්ෆ්ව හම්බවෙනකොට බිල්බෝට අවුරුදු 50 යි. චිත්‍රපටය අවසන් වෙනකොට අවුරුදු 51යි.

ලෝඩ් ඔෆ්ද රින්ග්ස් චිත්‍රපටය පටන්ගන්නෙ හොබිට් චිත්‍රපටය අවසන්වෙලා හරියටම අවුරුදු 60 කට පස්සෙයි. එතකොට බිල්බෝ ට අවුරුදු 111 වෙනව.
නමුත් අනෙක් හොබිට්වරු වගේ නැතුව ඔහු තරුණව ක්‍රියාශීලිව හිටියෙ බල මුද්දේ බලපෑම නිසයි.

2. ගැන්ඩල්ෆ්ගෙ වයස කීයද?

          පොතේ හැටියට ලෝඩ් ඔෆ්ද රින්ග්ස් සිද්ධිය පටන්ගන්නකොට ගැන්ඩල්ෆ්ට වයස අවුරුදු 54,960 වෙනව.
     ඒ වගේම ගැන්ඩල්ෆ් තමන්ගෙ දිව්‍යමය ස්වරූපය හංගගෙන ඉන්න නිසා මධ්‍යම පෘථිවියෙ බොහෝ දෙනෙක් ගැන්ඩල්ෆ් කියන්නෙ සාමාන්‍ය ගිනිකෙළි පෙන්නන කෙනෙක් සහ වන්දනාකාරයෙක් කියලයි හිතන්නෙ.

3. ලෝඩ් ඔෆ්ද රින්ග්ස් සිද්ධිය වෙනකොට ඇරගෝන්ගෙ වයස 87 උනේ කොහොමද?

  මේකත් හරි හුටපටයක් තමයි.. ඇරගෝන්ගෙ පරම්පරාවෙ ආදි මී මුත්ත Elros කියන්නෙ රිවන්ඩේල් වල සුර රඡතුමාගෙ නිවුන් සහෝදරයයි.
  රිවන්ඩේල් වල සුර රඡතුමා කියල මම හැදින්වුවෙ Elrond ව. එහෙමත් නැත්නම් ඇරගෝන් විවාහ වුන ආර්වෙන්ගෙ තාත්ත..
          කාලෙකට ඉහත සුරයන්ට අවස්ථාවක් ආව අමරණීයත්වය සහ මරණීය ඡීවිතය තමන්ට අවශ්‍ය විදියට තෝර ගන්න. අන්න ඒ වෙලාවෙදි Elrond අමරණීයත්වය තෝර ගත්තට , Elros මරණීය ඡීවිතය තමයි තෝර ගත්තෙ..
       මෙන්න මේ elros ගෙ පරම්පරාවෙ අය ඩූනෙඩයින්වරු කියන නමින් හැදින්වුවා
 මනුෂ්‍යත්වය තෝර ගත්ත සුරයන් උන මොවුන්ට මුලින්ම වසර 500 පමණ ආයු කාලයක් හිමි වුනා,
පස්සෙ පරම්පරාවෙ ලේ සබඳතා එක්ක ටික ටික මේක පරපුරෙන් පරපුරට අඩු උනා,
ඉසිල්ඩූර්ගෙ පියා මැරුනෙ අවුරුදු 330 කින් වගේ.
ඇරගෝන් අවුරුදු 210 ඡීවත්වුනා

4. ඇරගොන්ගෙ ප්‍රේමවන්තිය සුරයෙක්ද?

      ඔව් ඇය ඇත්තටම අමරණීය ඡීවිතයක් හිමි සුරයෙක්. ඇය ඒ වගේම අති දක්ෂ රණකාමී කාන්තාවක් වගේම , ඇගේ අත්තම්මා ගැලැඩ්‍රියෙල්ගෙන් ලැබුන මායාවනුත් ඇයට තියෙනව.
         ලෝඩ් ඔෆ්ද රින්ග්ස් චිත්‍රපටයේ විශේෂ සටන් දර්ශනයට ඇය සහභාගි වීමට නියමිතව හිටියත් අධ්‍යක්ෂකතුමා ඒක කපා හැරල තියෙනව.

5. රිවන්ඩේල් වලදී බිල්බෝ බැගින්ස් විසින් ෆෝඩෝ බැගින්ස් හට ලබාදෙන තෑගි මොනවාද?

 බිල්බෝ ෆෝඩෝට දෙන්නෙ , බිල්බෝ තමන්ගෙ පළවෙනි චාරිකාවෙදි ට්‍රෝල් වරුන්ගෙ ගුහාවකින් සොයාගත්ත අසිපතයි. මේ අසිපත හදල තියෙන්නෙ අවුරුදු ගානකට කලින් සුරයන් විසිනුයි. මේ අසිපත් තලය ඕක්ල ලඟපාත ඉන්නව නම් නිල්පාට වෙනව.  පළවෙනි චාරිකාවෙදි තෝරින් ඕකන්ෂීල්ඩ්  බිල්බෝට පරිත්‍යාග කළ මිත්‍රිල් කියන යුධ ආවරණයි. මේ යුධ ආවරණය කුරුමිට්ටන්ගෙ සුවිශේෂී වස්තුවක්. මේක මධ්‍යම පෘථිවියෙ තියෙන හොඳම යුධ කබායන්ගෙන් එකක්.

6. ගැන්ඩල්ෆ් , ෆෝඩෝ ඇතුලු පිරිස මොරියා වල දොරටුවෙන් ඇතුලු වීමට උත්සහ කිරීමෙදි ඔවුන්ට වතුරෙ ඉදල පහර දුන් අත්භූත සතා කවුද?

Watcher in the Water කියල හඳුන්වන මේ අත්භූත සත්වයා මොරියා වල ගේට්ටුවෙ ආරක්ෂකයා විදියට කටයුතු කරනව.ආරක්ෂකයට වඩා මේ සතා භයානක ඡීවියෙක් විදියට තමා හඳුන්වන්නෙ.
මොකද මේ සත්වයා oin කියන රණකාමී කුරුමිට්ටවත් මීට කාලෙකට කලින් මරල දාල තියෙනව. එයා ග්‍රිම්ලිගෙ ලඟම නෑයෙක්.
    මේ සතාගෙ උපත ගැන අපිට හරි පැහැදිලි කිරීමක් නෑ. නමුත් මොහු දෙවනි යුගයෙදි බිහිවුනා කියලයි විශ්වාස කරන්නෙ. , නමුත් ගැන්ඩල්ෆ් කියන විදියට මොහු ඕක්ලටත් වඩා පරණ ඡීවියෙක්.

7. කවුද මේ ගැන්ඩල්ෆ් ඇතුලු පිරිසට මොරියා වල පතල ඇතුලෙදි හමුවුන Balrogs කියන යක්ෂයා. කොහොමද ඔහු ගැන්ඩල්ෆ්ටත් පාලනය කරන්න බැරි තරම් බලවත් උනේ?

     Balrogs එහෙමත් නැත්නම් Valaraukar කියල හඳුන්වන යක්ෂයන් කියන්නෙ පළවෙනි අඳුරු අධිපති Melkor ගෙ සේවයට පැමිණි maiar ( ගැන්ඩල්ෆ් අයිතිවෙන වර්ගයේ දිව්‍යමය ඡීවීන්) පිරිසක්.. මොවුන් ගැන්ඩල්ෆ් වගේ අහිංසක මනුෂ්‍ය ස්වරූපයකින් නම් නෙවෙයි ආවෙ. පේනවනෙ හැටි. ට්‍රෝල්ලගෙ පෙනුම අරගෙන තමයි මෙයාල ආවෙ.
    පළවෙනි අඳුරු අධිපතියගෙ බිඳවැටීම එක්ක බිඳවැටුණු මොවුන්ව ශ්‍රෙෂ්ඨ රණකාමින් සහ රඡවරුන් විසින් මරන්න පටන්ගත්ත. රණකාමියොත් බර ගානක් මැරුන මුන්ව මරන්න ගිහින්.
  මේ සංහාරයෙන් බේරුන අය පෘථිවියෙ ගැඹුරුම ගුහා වල සැඟවුනා..
        මෙහෙම ගුහාවක පතුලෙ යුග දෙකක්ම නිදාගෙන හිටපු balrog කෙනෙක්ව තමයි මොරියා වල පතල් හාරපු කුරුමිට්ටන් ඇහැරෙව්වෙ. ධනයට තියෙන තණ්හාව නිසා සීමාව ඉක්මවල හාරන්න ගිහින් මොවුන් balrogව ඇහැරෙව්ව..

තව අනිවාර්යයෙන්ම කියන්න දෙයක් තියෙනව මේ balrog කට්ටිය සවුරෝන්ගෙ මට්ටමේ අය උනත් ඔවුන් සවුරෝන්ට වඩා චුට්ටක් විතර බලයෙන් අඩුයි..

ඒ වගේම මකරුන්ට වඩාත් බලයෙන් ටිකක් අඩුයි.

8. කවුද මේ ගැලැඩ්‍රියෙල් එහෙමත් නැත්නම් ආලෝකයේ ආර්යාව , ඇයි ඇය ෆෝඩෝ බල මුදුව දුන්නම  බාර නොගත්තෙ?


 ගැලැඩ්‍රියෙල් කියන්නෙ මධ්‍යම පෘථිවියේ ඉන්න බලවත්ම සුරයන්ගෙන් කෙනෙක්. කෙටියෙන් කිව්වොත් ඉන්න බලවත්ම කෙනා තමා ඇය. ඇය විවාහ වෙලා ඉන්නෙ Celeborn කියන සුර නායකය සමඟයි.
   පළවෙනි යුගය පටන්ගන්නත් කලින් ඉපදුන ගැලැඩ්‍රියෙල් තමන්ගෙ සැමියට වඩා අවුරුදු 500+ වැඩිමල් කෙනෙක්.
     ඇයට උපතින්ම ලැබුන මායා බලයට අමතරව ඇය පැළඳගෙන ඉන්න සුරයන්ට අයත් බල මුදුව නිසා ඇය මධ්‍යම පෘථිවියෙ බලවත්ම ඡීවීන්ගෙනුත් කෙනෙක් වෙනව.
     මැය ඇයි මෙච්චර වයස වෙලත් අනෙක් සුරයන් වගේ නොමියෙන භූමියට නොගියේ. ඒකට හේතුවක් තියෙනව.
අනෙක් සාමාන්‍ය සුරයන් වගේ නෙවෙයි ගැලැඩ්‍රියෙල් ඉපදුනේ මධ්‍යම පෘථිවියෙ නෙවෙයි ඇය ඉපදුනේ  අමරණීය භූමියෙයි. නමුත් ඇය විසින් සුරයන් කිහිප දෙනෙක්ව ඝාතනය කිරීම නිසා ඇයව බොහෝ කාලකට කලින් මධ්‍යම පෘථිවියට පිටුවහල් කලා.
      ෆෝඩෝ බල මුදුව ලබා දීම ඇයට ලැබුණු පරීක්ෂණයක්. ඇය එය අතට නොගෙන එපා කියල එයින් සමත්වුන නිසා ඇයට නැවතත් අමරණීය භූමියට යන්න අවස්ථාව හිමිවුනා..
බැරිවෙලාවත් අැය මුද්ද අතට ගත්ත නම්,,,

""අඳුරු රඡු වෙනුවට ඔබ⁣ට සිටීවි රැඡිනක්.ඒ වගේම මම අඳුරු නොවේවි. උදෑසන වගේ ලස්සන වේවි , රාත්‍රිය වගේ භයංකාර වේවි.පෘථිවියේ අත්තිවාරමටත් වඩා මම ශක්තිමත් වේවි. හැමෝම මට ආදරය කරල බලාපොරොත්තු සුන් කර ගනීවි""

මේ ඇයගෙ වචනයි. මේ අනුව පැහැදිලි වෙනව ඇය මුද්ද පැළඳ ගතතොත් සවුරෝන්ට වඩා බලවත් වෙන බව වගේම අැය කාටවත් නතර කිරීමට බැරි බලවේගයක් බවට පත් වෙන බව. නමුත් ඇය ඒ අවධානම ගන්නෙ නෑ.

9. Balrog එක්ක පහලට වැටුන අලු පැහැති ගැන්ඩල්ෆ් කොහොමද සුදු ඇඳුමක් ඇඳගෙන ආපහු ආවෙ..

       මේක ගැන කියනව නම් ගැන්ඩල්ෆ් ලොකු සටනකට පස්සෙ balrogව පරාඡය කලා, නමුත් ඒකට වැයවුන ශක්තිය නිසා ගැන්ඩල්ෆුත් මියගියා.නමුත් ගැන්ඩල්ෆ් කියන්නෙත් දිව්‍යමය ඡීවියෙක් , ඉතිං එයාගෙ භෞතික ස්වරූපය  මියගියාට එයා මියයන්නෑ.
    ගැන්ඩල්ෆ්ගෙ ආධ්‍යාත්මික ස්වරූපය දෙවියන් විසින් නැවත හරවල එව්ව සරුමාන් විදියට. දෙවියො සරුමාන් හෙවත් ධවල මායාකරුව හැදුවෙ යහපත් බවේ සංකේතයක් විදියටයි. නමුත් සරුමාන් යහපත් බවට පිටුපෑව..
      සරුමාන්ට පස්සෙ ඉන්න බලවත්ම මායාකාරය තමයි ගැන්ඩල්ෆ්. සරුමාන් තමන්ගෙ නමට ගැලපෙන රාඡකාරිය හරියට කරන්නෙ නැත්නම් , ධවල මායාකර පදවිය ගැන්ඩල්ෆ්ට දෙන්න දෙවියො තීරණය කරල තමයි ගැන්ඩල්ෆ්ව ආපසු එව්වෙ.

10. කවුද මේරි සහ පිපින්ට අමුතුම පණ තියෙන ගහ?

Treebeard එහෙමත් නැත්නම් Fangorn කියන්නෙ මධ්‍යම පෘථිවියෙ ඡීවත්වුන වයසම ගස් බාරකරුව වගේම ඔවුන්ගෙ ප්‍රධානිය. මෙයා මධ්‍යම පෘථිවියෙ ඡීවත්වෙන වයසකම අයගෙන් කෙනෙක් කියල ගැන්ඩල්ෆ් හඳුන්වනව.
සුරයන් විසින් ගස් වලට කතා බහ කරන්න උගන්නව පවා ඔහුට මතකයි
    ඔහු කාගෙවත් පැත්ත ගත්ත කෙනෙක් නෙවෙයි, ඔහු ගස් වල පැත්ත ගත්ත කෙනෙක්. එම නිසා ඔහු සවුරෝන් සමඟ ඇතිවුන යුද්ධයට කිසිම දායකත්වයක් නොදක්වන්න තීරණය කලත් ,, සරුමාන් ගස් වලට කරන විනාශය දැකල ඔහු ඔහුගෙ තීරණය වෙනස් කර ගන්නව.
අවසානයේ සරුමාන්ව යටත් කරගන්නෙ මොහු සහ මොහුගෙ පිරිස විසින්.

11. මොකක්ද මේ ඇරගෝන් හට රිවන්ඩේල් වල රඡු  ගෙනල්ල දීපු සුවිශේෂී අසිපත?

Andúril එහෙමත් නැත්නම් උතුරේ ගිණි සිලුව කියල හඳුන්වන මේ අසිපත ගොන්ඩෝර් වල රඡ පෙළපතට උරුම එකක්.
මේක මුලින්ම හැඳින්වුවෙ නාසිහිල්හි අසිපත කියලයි. පළවෙනි යුගයෙදි තමයි මේ අසිපත නිර්මාණය වෙලා තියෙන්නෙ.
සවුරෝන් සමඟ පුරාණ සටනෙදි කැඩි ගියපු මේ අසිපත පාවිච්චි කරල තමයි ඉසිල්ඩූර් රඡු සවුරෝන්ගෙ අතේ ඇඟිලි කපල දැම්මෙ.
     සටනින් පස්සෙ කැබලි උන මෙම අසිපත වසර ගානක් රිවන්ඩේල් වල කෞතුක වස්තුවක් විදියට තියල තිබ්බත් අරෙවන්ගෙ ඉල්ලීම මත ඇයගෙ පියා මේක ආපහු හදවල ඇරගෝන් හට ලබා දෙනව..
      මේ අසිපතෙන් තම උරුමය තහවුරු කරගන්න ඇරගෝන් ගොන්ඩෝර් වල සටනට, ඔහුගේ මුතුන්මිත්ත ඉසිල්ඩූර් ශාප කරපු හමුදාවක් මේ කඩුව යොදාගෙන කැඳවන්න සමත්වෙනව.

12. මෝඩෝර් වලදි ෆෝඩෝව කන්න ආපු මකුලුව මොකාද?

Shelob කියන නමින් හදුන්වන මේ මකුලුව ගැහැණු සතෙක්.Ungoliant නමින් හඳුන්වන මකුලු ස්වරූපයක් ගත්ත දුෂ්ට ආත්මයෙ අවසාන දරුව තමයි මේ shelob කියන්නෙ.
      මෙයාව සවුරෝන් දුර්ග මාර්ගයේ ගුහා වල ආරක්ෂාවට යොදවලයි තියෙන්නෙ. මෙයා සවුරෝන්ගේ සිරකරුවන්ව කමින් සතුරන්ගෙන් ගුහා ටික ආරක්ෂා කරගෙන ඡීවත්වෙනව

13. කොහොමද ගැහැණියක් නාස්ගුල් හමුදාවෙ ප්‍රධානියාව එහෙමත් නැත්නම් Witch King of Angmar ව මැරුවෙ.

    මේක දෛවයට අනුව උන දෙයක් . නාස්ගුල් ප්‍රධානියා බිමට ආපු වෙලාවෙ මෙරි පිටුපසින් ඔහුට ඇන්න නිසා ඔහුගෙ අවධානය වෙනස්වුනා
 මීලඟට එයොවින් විසින් ඔහුගෙ මුහුණටම ප්‍රහාරයක් එල්ල කලා.

     අතීතයේ මේ witch king ට ශාපයක් එල්ල වෙලා තියෙනව කාන්තාවගෙ අතින් මැරෙන්න. අන්න ඒකත් එයා ⁣කාන්තාවකගෙ අතින්ම මැරෙන්න හේතුවක්.

14. දැන් අපි එමු අවසාන ප්‍රශ්නයට. කතාවෙ අවසානයට ෆෝඩෝ ඇතුලු පිරිස නැව් නැගල කොහෙද ගියේ?

    මෙයාල හැමෝම ගියේ මම පළවෙනි පෝස්ට් එකේ පැහැදිලි කරපු දිව්‍යමය ඡීවීන් ඉන්න  අමරණීය දූපතටයි..
  ෆෝඩෝ සහ බිල්බෝ දෙදෙනාට එහෙට යන්න හේතු කිහිපයක් තිබුන. එකක් තමයි මුද්ද බොහෝ කාලයක් තබා ගැනීම නිසා ඔවුගේ ආත්මයට උන හානිය ⁣සාමාන්‍ය ලෝකෙදි සනීප කරගන්න බැරි වීම.
අනෙක් එක තමයි අර මකුලුවා සමඟ සටනින් ෆෝඩෝට උන හානියටත් සාමාන්‍ය ලෝකෙ බෙහෙත් නොතිබීම..

ගැන්ඩල්ෆ් එහෙ යන්න හේතුව තමයි ඔහු කලයුතු රාඡකාරිය අවසන් වීම..

15. එතකොට දැන් අමරණීය භූමියට ගියාම ෆෝඩෝ මැරෙන්නෙ නැද්ද?

හපෝ නෑ, ෆෝඩෝ සහ බිල්බෝ බැගින්ස් අනිවාර්යයෙන්ම මැරෙනව. මොකද එහෙ භූමිය අමරණීය නෑ. එහෙ ඉන්න ඡීවීන් විතරයි අමරණීය..
     නමුත් සුරයන් සහ ගැන්ඩල්ෆ් නම් මැරෙන්නෙ නෑ ඔවුන් අමරණීය ඡීවීන් නිසා..

දැන් කතාව අවසානයිද?

නෑ අවසාන වශයෙන් ඔයාලට කියන්න දේවල් වගයකුත් තියෙනව.

ගොන්ඩෝර් රාඡ්‍යයේ රඡ උන ඇරගෝන් වසර 210 රඡකම් කරල මියගියා.. ඔහුගේ බිරිඳ අමරණීය එරොවෙන්.
ඇය ඇරගෝන් මැරුන දුකට හදවතේ වේදනාවෙන් මියගියා..

එතකොට අපේ ලෙගොලස් සහ ග්‍රිම්ලි තව තව වීරකම් ගොඩක් කරල අවසානයේ බෝට්ටුවක් හදාගෙන අමරණීය දූපතට ගියා.. අමරණීය දූපතට ගිය එකම කුරුමිට්ට උනෙත් ග්‍රිම්ලි..

මේරි සහ පිපින් නම් රාඡ්‍ය සේවයේ යෙදිල මිය ගියා..

එතකොට කතාවෙ සැබෑ වීරය සෑම්. ඔහුත් සාමාන්‍ය ඡීවිතයක් ගත කරල බිරිඳ මිය ගියාට පස්සෙ අමරණීය දූපතට ගියා. මොකද ඔහුත් තාවකාලිකව හරි බල මුදුව ලඟ තබාගත්ත නිසා..

එහෙනම් බල මුදුවේ මිතුරු හවුලේ කතාන්දරය මෙතනින් අවසන් වෙනව..

කරුණු පැහැදිලි කිරීමට සහ තවත් තොරතුරු ඇතුලත් කරල මම ඡායාරූප දාල ඇති ඒ ටිකත් අනිවාර්යයෙන් බලන්න.


බිල්බෝ බැගින්ස්ගේ වීරචාරිකාවෙන් ආරම්භ වූ ෆෝඩෝ බැගින්ස්ගෙන් අවසන් වූ බල මුදුවේ මිතුරු හවුලේ කතාන්දරය

   
       අඳුරු අධිපතියෙකුගේ කූට උපක්‍රම මත ආරම්භ වූ යුද්ධයක්. යුද්ධයේ ඉරණම තීන්දු කරන අතුරුදන් වූ  මහා බලගතු මුද්දක්.
       අඟුටු මිට්ටන්ගේ වාසභූමිය බේරාගැනීමට යන සටනට එක්වූ කල කුඩා හොබිට්ටෙක්ගේ ඉරණමට එකතු වන මේ මුදුව  වසර සියයක්ට පසු ඔහු විසින් ඔහුගේ ඥාති පුත්‍රයා වන ෆෝඩෝ හට ලබා දුන්නේ ලෝකයේ ඉරණම ගැන කිසිවක් නොදැනද?
      අවසානයේ බල අරගලයේ උච්චතම ⁣නිමේෂයේ බලගතු මුද්ද විනාශ කිරීමට මරණයේ ගිනිකන්ද වෙත යන පා ගමන උදෙසා ෆෝඩෝ සමඟ යාමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ වීර හොබිට්ටන් තුන් දෙනෙක් දෙනෙක් සහ අසහාය  වීරයන් පස්දෙනෙක්ගේ ඉරණම කෙසේ විසදේවිද?
       මධ්‍යම පෘතුවියේ ඉරණම තීන්දු කරන අවසාන බලාපොරොත්තුව වූ මොවුන්ගේ ගමන සඵල වේවිද?

      මම මේ වචන ටික කිව්ව ගමන් ඔයාල හැමෝම දන්නවනෙ ⁣මම මේ මොකක් ගැනද ලියන්නෙ කියල.  ඔව් ඔව් ටෝල්ස්කින් මහත්මයගෙ පොත් ඇසුරෙන් නිර්මාණය උන  lord of the rings නම් අසහාය චිත්‍රපට ත්‍රිත්වය සහ hobbt චිත්‍රපට ත්‍රිත්වය ගැන තමයි මම මේ කතා කරන්න හදන්නෙ.
   මේ චිත්‍රපට ත්‍රිත්ව නොබලපු කිසිම කෙනෙක් අද වනවිට නැතිව ඇති කියලයි මම හිතන්නෙ. මොකද මේක එච්චරටම ඡනප්‍රිය නිර්මාණයක්.
        මම lord of the rings  චිත්‍රපට ත්‍රිත්වය මුලින්ම බැලුවෙ සිරස නාලිකාවෙ  නිවාඩු කාලෙ යන උදෑසන ළමා චිත්‍රපට වලින්. පොඩි ළමයෙක් උන මම ඒ කාලෙ ඉස්කෝලෙ නිවාඩුව ඉවරවුනාමත් ඕක පෙන්නුව නිසා අවසන් කොටස් බලන්න හොර නිවාඩු  දාල බැනුම් ඇහුව කියල මට තාම මතකයි.
     කොහොම හරි මේ ලඟදි මගේ මිත්‍ර කවිශාන් හිරුදික මිත්‍රයා මට මේ චිත්‍රපට හයේම extended කට් ටික දීල ආයෙ බලන්න කියල මාව යොමු කලා. මම හරියටම මේ චිත්‍රපට රසවින්දෙ මේ extended cut ටික බලල තමයි.
     මේ සම්පූර්ණ චිත්‍රපට හයේම Extended කට් එක බලපු මට පොත් ටික කියවන්න බැරි උනත් මේ චිත්‍රපටයෙ චරිත , සහ පසුබිම ගැන  විස්තර  හොයන්න ගොඩාක් ලොකු ආසාවක් ආව.

ඒ ආව ආසාවෙ ප්‍රතිඵලය උනේ මම හොයාගත්ත මෙන්න  මේ කරුණුයි.

මෙව්ව 100% නිවැරදිද කියන්න මම දන්නෑ. වැරදීම් නිවැරැදි කිරීම ඔබලා සතුයි

  ටෝල්කින් මහත්මයගෙ  පොත් වලට අනුව ඉරු (eru) කියන දෙවිය තමයි  හැමදේකම නිර්මාණකරුවා උනේ.
         මුලින්ම ඉරු දෙවියන් අයිනූර් (ainur) කියල දිව්‍යමය ඡීවීන් කොට්ඨාසයක් මැව්ව. මේ ඡීවීන්ගෙන් බලවත්ම අය  Valar සහ තරමක් දුර්වල අය maiar කියල තමයි හඳුවන්වනු ලැබුවෙ.
        මීලඟට ඉරු දෙවියන් විසින් මැව්වෙ ලෝකය. මේ ලෝකය පොත්වල හැඳින්වුයෙ ආද්‍රා යන නමින් (Arda). ( ආද්‍රා කියන්නෙ පෘථිවියෙම පරණ ආකෘතියක් වගේ එකක්).
     ඊලඟට ඉරු තමන් මවපු ලෝකයෙ Valinor කියන දූපතක් සහ middle earth ( මධ්‍යම පෘථිවිය )කියල මහද්වීපයක් නිර්මාණය කලා. ඊලඟට ඔහු ainur හෙවත් පළවෙනි දිව්‍යමය ඡීවීන්ව valinor දූපතේ පදිංචි කලා.
ඉරු මීලඟට

Elves එල්ෆ්වරුන් හෙවත් සුරයන්
Mens මිනිසුන්
Dwarves කුරුමිට්ටන්

  සහ තවත් ගොඩාක්  ඡීවීන් සමඟ අංගසම්පූර්ණ ලෝකයක්  middle earth වල මැව්ව.

         මේ සියල්ලම මවල කට්ටිය සතුටින් ඡීවත්වෙනකොට දෙවියන් වහන්සේ මුලින්ම මවල valinor දූපතේ පදිංචි කරපු ainur කියන දිව්‍යමය ඡීවීන්ටත් ඕන උනා middle earth පැත්තට ඇවිත් බලන්න. මෙයාල දිව්‍යමය ඡීවීන් නිසා ඒ බව හංගගෙන middle earth වල ඉන්න සාමාන්‍ය ඡීවීන්ගෙ ස්වරූප අරගෙන තමයි middle earth වලට ආවෙ
 මේ එන අය ගොඩක් සුවිශේෂීයි,මොකද මෙයාල ස්වරූපය වෙනස් කරගෙන ආවට මෙයාල මධ්‍යම පෘථිවියෙ ඉන්න සාමාන්‍ය ඡීවීන්ගෙ හැකියාවන් ඉක්මවූ දිව්‍යමය පිරිසක්,,
මොවුන්ගෙ පැමිණීම  මධ්‍යම පෘථිවියෙ රාඡධානි සහ ඡීවීන්ගෙ ඉරණම වෙනස් මගකට යොමු කලා.

දැන් අපි බලමු valinor දූපතෙන් මධ්‍යම පෘථිවියට ආව අයගෙන් අපි අනිවාර්යයෙන් දැනගතයුතු අය කවුද කියල.

Molroth එහෙමත් නැත්නම් moloch  (valar අති බලවත් ) මොහු තමයි දෙවියන් වහන්සේගේ බලවත්ම නිර්මාණය. මොහු ගොඩාක් බලවත් අමරණීය දිව්‍යමය ඡීවියෙක්. මොහු දෙවියන්ට පමණක් දෙවනි වෙන කෙනෙක් කිව්වත් වැරදි නෑ.
          මෙයා middle earth වලට ආවෙ එහෙ පාලනය කරන්න කියල හිතාගෙන. මෙයා middle earth වලට ආවට පස්සෙ මෙයා පළවෙනි අඳුරු අධිපතිය බවට පත්වුනා වගේම ඕක් , ට්‍රෝල් , ඩ්‍රැගන් වැනි දුෂ්ඨ බලවත් ඡීවීන්  නිර්මාණය කලෙත් මොහු විසින් තමයි. මේ ඡීවීන්ව නිර්මාණය කරන්න ගිහින්  මෙයාගෙ අසීමිත බලය වැයවෙලා මෙයා තරමක් දුර්වල උනා.

Sauron (maiar තරමක් දුර්වල ) moloch ගෙ සේවකය වන මොහු moloch සමඟ මධ්‍යම පෘථිවියට ඇවිත් ඔහුගේ ලඟම සේවකය වෙලා ඉදල ඔහුගෙ බිඳවැටීම සමඟ දෙවනි අඳුරු අධිපතිය බවට පත් වෙනව.මොහුත් ස්වාමියාගෙ අමුණ වෙනුවෙන් අඳුරු රාඡ්‍යයක් ගොඩ නගන්න තමා කැප වුනේ. සවුරෝන් බල මුද්ද දාගෙන හිටපු උපරිම බලවත් කාලයෙදිවත් ඔහු⁣ට  moloch ගෙ දුර්වල කාලෙ බලයට සමාන වෙන්න බැරි උනා කියල තමා  කියවෙන්නෙ..
කොහොම නමුත් ලෝඩ් ඔෆ්ද රින්ග්ස් සහ හොබිට් සිනමාපට වල ප්‍රධාන දුෂ්ටය විදියට අපිට හමුවෙන්නෙ මෙයාව.  ඒ නිසා මෙයාව අනිවාර්යයෙන් මතකයේ රඳවගන්න.

මීලඟට සරුමාන් සහ ගැන්ඩල්ෆ් ප්‍රමුඛ මායාකරුවන්  පස්දෙනා (maiar වර්ගයේ සෙලෙස්ටියල්ල) මොවුන් මහලු මනුෂ්‍ය වේශයක් මවාගෙන මධ්‍යම පෘථිවියට ආවෙ පෘථිවිය අඳුරෙන් ආරක්ෂා කරන්නයි.
මෙතන මායාකරුවන් අතරින් සරුමාන් බලවත් සහ ශේෂ්ඨතමයා වෙනව වගේම ගැන්ඩල්ෆ් බුද්ධියත්ම කෙනා වෙනව.

දැන් යමු ඊලඟ කතාවට

මේ ඉරු දෙවියන් විසින් මවපු ලෝකය ප්‍රධාන යුග කිහිපයකට බෙදෙනව

පළවෙනි යුගය - මේකෙදි තමයි molochගෙ නැගී සිටීම සහ බිඳවැටීම සිදු වෙන කාලය.
මොහු අඳුරු අධිපතිය විදියට හිස ඔසවල ලෝකය පාලනය කරන්න උත්සාහ කරන්නෙත් , කට්ටිය එකතුවෙලා මොහුව පරාඡය කරල දම්වැල් වලින් ගැට ගහල සදාකාලිකව හිර කරන්නෙත් මේ කාලෙදි තමයි. ( අමරණීය නිසා මරන්න බෑ)

දෙවනි යුගය - මේකෙදි තමයි සවුරෝන් නැගී සිටින්නෙ.. වංචනික ආකාරයට කුරුමිට්ටන් , මනුෂ්‍යන් සහ සුරයන්ට බලවත්  මුදු ලබාදීල ඔහුගේ රහස්ගත අති බලවත් මුද්දෙන්  ,, අර අනෙක් මුදු දාපු අයව පාලනය කරන්න උත්සහ කරන්නෙත්,,, අවසානයේ විශාල යුද්ධයකින් පස්සෙ සවුරෝන් පරාඡයට පත් වෙන්නෙත් මේ කාලයෙදියි.

තුන්වෙනි යුගය - හොබිට් සහ ලෝඩ් ඔෆ්ද රින්ග් චිත්‍රපට දෙකට පාදකවෙන කාලය තියෙන්නෙ මේ යුගයෙයි. සවුරෝන් තමන්ගෙ අතුරුදන් උන බල මුදුව සොයාගෙන නැවත නැගී සිටීමට උත්සහ දැරීම පරාඡය කිරීමත් සමඟ මේ යුගය අවසන් වෙනව.

හතරවන යුගය - මේක ගැන වැඩි විස්තර නෑ , ලෝඩ් ඔෆ්ද රින්ග් චිත්‍රපටයෙ පෙන්නපු ශේ්‍රෂ්ඨ රඡු ඇ⁣රගෝන්ගේ මරණයත් , අතීත වීරයන්ගෙ වීර කතා පුරාවෘත්ත බවට පත් වීමත්, මිනිස්සුන්ට අතීතය සම්පූර්ණයෙන්ම අමතක වීමත් වෙන්නෙ මේ කාලයෙදියි..

දැන් අපි ලෝකය ගැන දැනගත්ත.

දැන් අපි හොබිට් කතාවට ඇතුලුවෙමු.


හොබිට් කතාව නොදන්න කෙනෙක් නෑනෙ. ඒ නිසා මම ඒ ගැන වැඩිය කියන්න යන්නෑ

ගැන්ඩල්ෆ් කියන මායාකාරය සහ තෝරින් ඕකන්ෂීල්ඩ් කියන කුරුමිටි අධිපතිය ප්‍රමුඛ කරගත්ත අඟුටු මිට්ටන් පිරිසක් බිල්බෝ බැගින්ස් කියන හොබිට්වත් එකතුකරගෙන ආකම් ස්ටෝන් කියන කුරුමිට්ටන්ගෙ  රාඡකීය පළිඟුව හොයාගෙන ඒකෙන් කුරුමිටි හමුදා එකතු කරගෙන  මකරෙක් විසින් අත්පත් කරගත්ත තමන්ගෙ රාඡධානිය ලබාගන්න යුද්යක් පටන් ගන්න යනව

ඒ අස්සෙ ශරීරය මියගිහින් අන්ධකාරයෙ ඉන්න සවුරෝන් කියන අඳුරු අධිපතියට දැනෙනව තමන්ගෙ සැඟවුන බල මුද්ද නැවතත් එළියට ඇවිත් කියල. (චාරිකාවෙදි බිල්බෝ ඒක ගුහාවක තිබිල ගොලම් කියන සතාගෙන් උස්සල සාමාන්‍ය ලෝකෙට අරගෙන එනව)
ඒ නිසා සවුරෝන් එයාගෙ අඳුරු සේනා නැවත සූදානම් කරනව🙏

අවසානයේ විශාල සටන් කිහිපයක්  වෙලා මකර මැරෙනව. සවුරෝන්ගෙ හමුදා පරාඡය වෙනව. තෝරින් ඕකන්ෂීල්ඩ් නියම රණකාමියෙක් විදියට මිය යනව. තෝරින්ගෙ සහෝදරය කුරුමිට්ටන්ගෙ අලුත් රඡතුමා වෙනව වගේම කුරුමිට්ටන්ට නැවතත් ඔවුන්ගෙ අහිමි උන නිවහන , කඳුකර රාඡධානිය නැවත ලැබෙනව.

සටන අවසානයේ බිල්බෝ බැගින්ස් කියන හොබිට් සවුරෝන්ගේ බල මුදුවත් අරගෙන ගෙදර යනව(මිනිහ දන්නෑ මිනිහ ගෙනිච්චෙ මොකක්ද කියල)

එතනින් තමයි හොබිට් කතාව ඉවරවෙලා ලෝඩ් ඔෆ් ද රින්ග් කතාවෙ ආරම්භය සිද්ධවෙන්නෙ..

මේ ලිපිය පළවෙනි ලිපිය විතරයි. මට වෙලාවක් ලැබුන ගමන් ඉතුරු ලිපියත් ලියන්නම් lord of the rings ගැන.

බල මුදුවේ මිතුර හවුලේ අවසානය ගැන ලියන්න බොහෝ දේ තිබේ😍😍😍
   

Sunday, July 7, 2019

චීස් කෑල්ලට මොකද උනේ???


 
  මේක ඇවිත් 1980 කාලෙ කතාවක්. මංතුමා මෙළොව එළිය දැකලවත් නැති කාලෙ ඕං
     ඒ කාලෙ අපේ අම්මල , ලොකුඅම්මලත් බොහොම පොඩි ළමයි.මේක අපේ ලොකුඅම්මගෙ වික්‍රමයක්. මම මේක අටන්පහියට ලිව්ව කියල දැනගත්තනං එයා මට හොඳ පාඩමක් උගන්නව සුවර්.  එයා අන්තර්ඡාලය ,facebook පෙන්නන්න බැරි සැර කෙනෙක්. එහෙමයි කියල එයා මට කරන ආදරෙත් අඩුවක් නෑ😏😏😏
             අපේ සීයගෙ බාල සහෝදරය ඒ කාලෙ හෝටලේක  තමයි වැඩ කරල තියෙන්නෙ. එයා දවසක් උදේම අපේ ගෙදර ඇවිත් හෝටලෙන්  ගෙනාපු චීස් කුට්ටියක් අපේ ආච්චි අම්මට දීල ගිහින් ළමයින්ට කන්න දෙන්න කියල.
    ඒ කාලෙ වෙනකොට අපේ සීයගෙන් නාහ අපේ ආච්චි මුකුත්ම කරන්නෙ නෑ. පස්සෙ කාලෙක ආච්චිගෙන් නාහ සීයට මුකුත් කරගන්න බැරිඋන එක වෙනම කතාවක්, එව්වයෙන් වැඩක් නෑනෙ.
       චීස් කෑල්ල ලැබුනු වෙලාවෙ අපේ සීය ගෙදර ඉදල නෑ. අාච්චි චීස් කාල තිබුනට අපේ අම්මල ලොකුඅම්මල ඒ කාලෙ චීස් කුට්ටියක් දැකලවත් තිබිල නෑ. කවදාවත් නොකාපු චීස් දීල ලමයින්ට බඩේ කැක්කුමක්වත් හැදුනොත් කියල හිතපු ආච්චි චීස් කුට්ටිය හොඳ සුදු රෙදි කෑල්ල  ඔතල අල්මාරියෙන් දාල රස්සාවට ගිහින් තියෙන්නෙ හවසට සීයත් ආවම චීස් කෑල්ල එයාටත්  පෙන්නලම ළමයින්ට දෙනව කියල හිතලයි.
ඒ කාලෙ අපිට ෆිඡ් එකක් තිබිල නැති නිසා තමා අල්මාරියෙ දාල තියෙන්නෙ.😔
මේ කාලෙ වෙනකොට අපේ අම්ම ඇබින්දන් වයසෙත්,, ලොකුඅම්ම ටිකක් ලොකු වයසකත් තමයි ඉදල තියෙන්නෙ. ලොකු කිව්වට අවුරුදු 12 -13 වගේ.
   ⁣ඉතින් කොහොමින් කොහොමින් හරි දවස ගෙවිල ගිහින් ආච්චි වැඩ ඇරිල ඇවිත් සීයත් ගෙදර ආවට පස්සෙ ආච්චි සීයටත් චීස් කුට්ටියෙ විස්තරේ කියල චීස් කෑල්ල කන්න හිතල අල්මාරිය ඇරල තියෙනව.
සුදු රෙදි කෑල්ල තියෙනව ලු.

චීස් කුට්ටිය අතුරුදන්"!!!

චීස් කෑල්ලට උන දේ හරි ප්‍රශ්නයක් වෙලා.
චීස් කෑල්ල ගැන බරපතළ විමර්ශනයක යෙදුන අපේ ආච්චිට පෙනිල තියෙනව අපේ ලොකුඅම්මගෙ මූණෙ පොඩි හොර  පෙනුමක්.
ඒ පාර ආච්චිඅම්ම එයාව සීයයි ආච්චියි ඉන්න දෙපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියට අරගෙන ගිහින් ප්‍රශ්න කරන්න පටන් අරගෙන..

     ඒ වෙලාවෙ ලොකුඅම්මගෙයි ආච්චිගෙයි සංවාදෙ තමයි මේ..

ආච්චි - කෝ ළමයෝ මම අල්මාරියෙ දාල තිබුන චීස් කුට්ටිය.

ලොකුඅම්මා - මම චීස් කුට්ටියක් ගත්තෙ නෑ

ආච්චි - ඇත්ත කියන්න. මම ඔයාට ගහන්නෑ. ඔයා අල්මාරිය ඇරියද නැද්ද?

ලොකුඅම්මා - අල්මාරිය නම් ඇරියා

ආච්චි - අල්මාරිය අැරියං නං චීස් කුට්ටියට මොකද කලේ කියනව ළමයා

ඒ පාර අපේ ලොකුඅම්ම ඇස් දෙකේ කඳුලු පුරෝගෙන මේම කිව්වලු,,,

මම  චීස් කෑල්ලක් ගත්තෙ නෑ. මම ඉස්කෝලෙ ගිහින් ඇවිත් සුදු ගවුම හෝදන්න  ලිඳ ගාවට ගියාම ලිඳ ලඟ තිබුන සබන් කෑල්ල ඉවර වෙලා හින්දයි අල්මාරිය ඇරියෙ.
 මම ඒකෙ අර සුදු රෙදි කෑල්ලකින් ඔතල තිබුන සල්ලයිට් බාගෙ විතරයි ගත්තෙ.
 ගවුම හෝදල සබන් කෑල්ල ලිඳ ලඟම තියල ආව. මාව විශ්වාස නැත්නම් ගිහින් බලන්න මම ගත්ත සල්ලයිට් බාගෙත් එතන තාම ඇති.
මම චීස් කෑල්ලක් නම් ගත්තෙ නෑ!!!

Wednesday, January 2, 2019

ගම් තුලානේ රස කතා නෑයෝ

       
 ඔන්න මම ඔයාලට මෙදා පොටේ අරගෙන ආවෙ ඇත්තම ඇත්ත ගැමි රස කතාවක්.මේකට ගෑවුන අයගෙ පරම්පරාවෙ අයට අදටත් ඔය සිද්දිය මතක් කළාම හොඳටෝම කේන්ති යනවලු
    එකදාස් නමසිය බර ගනන්වල(මට කතාව කියපු කෙනාටත් කාලෙ මතක නෑ 1950 - 60 අතර කාලය වෙන්න ඕන) මේ කියන ගම්මානයට බස් එකක් තිබිල නැහැ. කොළඹ ඉදල කලුතරට එක බස් එකකිනුත් ඉතිරි ටික තව බස් එකකිනුත් ගම ඇතුලට  කරත්තෙනුත් තමයි යන්න තිබිල තියෙන්නෙ.
     දවසක් ගමේ හිටපු එක්තරා පවුලකට එයාලගෙ කෑගල්ලෙ හිටපු නැන්ද කෙනෙක් ලියුමක් එවල තියෙනව. ලියුමක් කිව්වට මේක තැපැල් ලියුමක් නම් නෙවෙයි, කෑගල්⁣ෙල ඉදල ආපු ගමේ ගෙයක් බඳින්න මනුස්සයෙක්  අතේ එවපු කොළ කෑල්ලක්.
      ඒ කාලෙ අද කාලෙ වගේ නෙවෙයි දුර බැහැර නෑයො නෑගම් එන්නෙ ගොඩාක් කාලෙකින්නෙ.මේ කියන නැන්දත් කසාඳ බැඳල ගම අතහැරල ගිහින් අවුරුදු පහළොවකට වැඩීලු. එදායින් පස්සෙ නැන්ද ⁣එවපු පළවෙනි පණිවිඩේ තමයි ඒ ලියුම් කඩදහිය.
ලියුම ගෙනාපු මනුස්සය කියල තියෙන විදිහට ඒ මනුස්සය නැන්දලගෙ ලඟම අසල්වැසියෙක් , මිනිහ ගෙයක් බදින වැඩකට මේ කියන ගමට යනව කිව්වම නැන්ද ලියුම් කෑල්ල දුන්නලු ගිහින් දෙන්න කියල.
         නැන්දගෙ ලොකු පුතයි. යාලුවො කිහිප දෙනෙකුයි එකතුවෙලා අම්මගෙ උපන්ගම බල⁣ාගන්න තව සතියකින් එනව කියල තමයි ලියුම් කෑල්ලෙ ලියල තියෙන්නෙ.එයාලට පවුලෙ අයට වගේ සලකන්න කියල ලියල එවල.
            ඉතින් මේ පවුලෙ අය නැන්දගෙ පුතාල එන්න සතියකට කලින් ඉදලම එයාලව පිළිගන්න ලෑස්ති වෙලා.මොකද අවුරුදු පහළොවකට පස්සෙ එන  නෑයොනෙ.කෙසෙල් ඉදවල,
මී කිරි මුදවල, දඩ මස් හොයල  ඔක්කොම ලෑස්ති කරල තමයි තියල තියෙන්නෙ.
      ඔන්න කට්ටිය එන දවසත් ආවලු. ⁣ඉතින් ගෙදර අය ගෙදර හිටපු තරුණ ඉලන්දාරි දෙතුන්දෙනෙක් කරත්ත දෙකක් එක්ක ටවුමට පිටත්කලාලු නෑයන්ව එක්කන් එන්න කියල.
          ටවුමට ගිය ගමේ ඉලන්දාරි කට්ටිය බස් එක එනකම් බස් නවත්තන තැනට වෙලා බලන්හිටියලු.
    ඔන්න ඉතින් බස් එක ඇවිත්  නැවැත්තුවලු , බර සෙනගක් බස් එකෙන් බැස්සලු. ඒ කාලෙ දවසට තිබ්බ එකම බස් එක ඒකලු.
     අවුරුදු විස්සක විතර පෙනුම තියෙන ගඡ ඉලන්දාරි හය දෙනෙක් බස් එ⁣ෙකන් බැහැල වට පිට බල බල ඉන්නවලු.
අපේ අයත් දැකපු ගමන් කට්ටියව අඳුනගෙන කරත්තෙ දාගෙන එක්කගෙන ආවලු.
   මේ ඉලන්දාරි අතර හිටපු ලස්සන සුදු මහත ඉලන්දාරිය තමන් නැන්දගෙ පුතා කියල අඳුන්වල දුන්නලු.
 ගමේ අය කවදාවත් ඉලන්දාරියව දැකල නෑනෙ
    දුර බැහැර ඉදල ආපු නැන්දගෙ පුතාට ගමේ අම්මගෙ නෑයො රඡ සැළකිලි සැළකිලි කලාලු..
    ඒ අතරතුර ගමේ අය අම්ම ගැන, කෑගල්ල ගැන  විස්තර එහෙමත් ඇහුවලු.
ඉලන්දාරිය ඒ ගැන කියන්න ටිකක් අකමැතිලු.
නැන්දගෙ පුතත් එක්ක ආපු ඉලන්දාරි ටික ගෙදර අයව පැත්තකට අඩ ගහගෙන ගිහින් කිව්වලු ගමේ ප්‍රේම සම්බන්දෙකට අම්ම විරුද්ධ උන නිසා ඉලන්දාරියා අම්ම ගැන කතා කරන්න කැමති නෑ කියල. මිනිහ ගමෙන් ටික දවසකට ඈත්වෙන්න ඕන නිසයි මේ ගමන ආවෙත් කියල කිව්වලු.
මෙයාලත් කල්පනා කලාලු අවුරුදු පහළොවකින් ආපු දරුවගෙ හිත රිද්දන්නෙ මොකටද කියල.
කොහොමින් කොහොමින් හරි ගමට ඇවිත් දවස් තුනකට පස්සෙ නැන්දගෙ පුතයි යාලුවො ටිකයි ආපහු කෑගලු යන්න ලකලෑස්ති උනාලු.
   ගෙදර කට්ටිය කොලුවව තව ටික දවසක් නවත්තගන්න කොච්චර උත්සාහ කලත් වැඩේ හරි ගියෙ නැහැලු..
   ඉතින් කොලුව ආපහු යනකොට ගෙනියන්න, හාල් මලු දෙකකුයි, වේලපු දඩ මසුයි,ගෙදර හදපු පහේ වර්ගයි,ගම්මිරිස්, පුවක් ,කරාබුනැ⁣ටි මලු වගයක් වගේම ගෙදර මහපු පන් පැදුරු පහකුයි, රෙදි වගේකුයි, අත්තම්මගෙ කරාබු කුට්ටමයිත් දුන්නලු.
      ඊට පස්සෙ නෑයන්ගෙ දෙපා වැඳපු නැන්දගෙ පුතා කාපු බීපුවටත් ස්තුති කරල ආපහු එන්නත් පොරොන්දු වෙලා යාලුවො නඩයත් එක්ක යන්න පිටත්වුනාලු

හොඳම හරිය වෙල⁣ා තියෙන්නෙ මේ සිද්ධිය වෙලා අවුරුදු පහකට පස්සෙ.
 
      ඕන් ඉතින් මේ සිද්ධියෙන් අවුරුදු පහකට පස්සෙ දවසක් කසාදයක් ගැන දැනුම් දෙන්න කියල හිතාගෙන මෙයාල නැන්දව බලන්න කෑගලු ගිහින්..
 ගියාට පස්සෙ තමයි මෙයාල දැනගෙන තියෙන්නෙ. නැන්ද එවපු ලියුමකුත් නෑ නැන්දට ළමයිත් නෑ,
නැන්ද කසාඳ බැඳල ගිය  කාලෙම මිනිහ දාල ගිහින්,ඊට පස්සෙ එහෙදි අසනීප වෙල⁣ා මැරිල කියල. ඒ කාලෙ නැන්දගෙ ගමට දැනුම්දෙන්න කවුරුවත් ඉදලත් නැති නිසා ඒ මරණෙ එ⁣ෙහදිම කටයුතු කරල දාලලු..
අනේ අපොයි!!!

Friday, December 7, 2018

මහාචාර්යවරයාගේ දියණිය හෙවත් සීලියා


ශරීරය ක්‍රියාවිරහිත වීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මකයි

1.2.3.Start

හරිම පුදුමයි මහාචාර්යතුමා!
 ඇත්තටම  ඒ පුද්ගලයට මොකක්ද සිදුවුණේ,
විසි නව හැවිරිදි තරුණ විද්‍යාඥයෙකු වූ කාරියවසම් තම මහාචාර්යවරයා වූ හැට හැවිරිදි හෙක්ටර් ගුණතිලක මහතාගෙන් විමසීය.
    මහාචාර්යවරයා සහ තරුණයා සිටියේ මහාචාර්යවරයාගේ නිවසේ බිම් මහළ තුළ පැවති රහස් විද්‍යාගාරය තුළ මහාචාර්යවරයාගේ නව නිර්මාණය පිරික්සමිනි.

  මගේ නවීනතම නිර්මාණය උන මෙන්න මේ පැලැස්තර කැබැල්ලෙන් තමයි ඔය ඉන්න පුද්ගලයට ඒ දේ උනේ.

මහාචාර්ය තුමා ඉතාමත් කුඩා චිපයක් සහිත පැලැස්තර කැබැල්ලක් ගෙන කාරියවසම්ගේ මුහුණට කිට්ටු කරමින් ඉතාමත් සතුටින් පැවසීය.

  මේක සාමාන්‍ය තුවාල වලට ගහන පැලැස්තර කැබැල්ලක් නෙවෙයි. මේක මම නිෂ්පාදනය කරපු අති විශේෂ චිපයක් ඇතුළත් පැලැස්තර කැබැල්ලක්. මේ පැලැස්තරය අපිට අවශ්‍ය පුද්ගලයගෙ  හිසේ කුඩා මොළය ප්‍රදේශයෙ ඇලෙව්වහම අපිට පුළුවන් ඒ පුද්ගලයව අපිට අවශ්‍ය ඕනෑම මොහොතක අකර්මණ්‍ය කරල දාන්න.

ඔබට තේරෙනව නේද ඒකෙ තියෙන වැදගත්කම.
බැරෑරුම් මුහුණක් ආරූඩ කරගත් මහාචාර්ය වරයා පැවසීය.

තව දුරටත් මේ රටට සිර මැදිරි අවශ්‍ය නැහැ. අපිට පුළුවන් ඕනම අපරාධකරුවෙක්ව මේ පැලැස්තරය සවි කරල සමාඡයට මුදා හරින්න..

ඒක හරියන්නෑ මහාචාර්ය තුමා.තරුණ කාරියවසම් එසේ පවසද්දී, මහාචාර්යවරයා ඔහු දෙස බලාපොරොත්තු කඩවුණු බැල්මක් හෙළමින් ඒ මන්දැයි විමසීය.

දැන් අපි නිදහස් කරන අපරාධකරුවාට පුළුවන්නෙ ඔහුට අවශ්‍ය ඕනම වෙලාවක ඔහුගෙ හිසට සවි කරපු ප්ලාස්ටරය  ඉවත්කරගන්න!

එතකොට ඔබතුමාගෙ වැඩේ අසාර්ථකයි නේද?

ඇත්තම නේන්නම් මට ඒ ගැන කල්පනා උනේම නැහැ. අද කාලෙ තරුණ තරුණියො අපේ කාලෙ අයට වඩා ගොඩක් බුද්ධිමත් තමයි. අපේ සීලියට උනත් මහාචාර්ය කෙනෙක් උන මට වඩා ගොඩාක් බුද්ධිමත් අදහස් තියෙනවනෙ.
එයා තමයි මේ උපකරණය ගොඩනගන්න අදහස මගෙ හිතට දැම්මෙත්.
    සීලියා යනු මහාචාර්ය වරයාගේ තරුණ දියණියයි.විසි තුන්වන වියේ පසුවන ඇය මේ වන විට ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක අවසන් වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.තම පියාගේ අඩි පාරේ යමින් දක්ෂ විද්‍යාඥයෙකු වීම ඇගේ එකම අරමුණයි.

වසර කිහිපයක් මහාචාර්යවරයාගේ සහයකයා ලෙස ක්‍රියා කළ කාරියවසම් හා මහාචාර්යවරයාගේ දියණිය අතර යම් පෙම් සබඳතාවයක් පසුගිය කාලයේ ඇතිවී තිබුණි.
මේ පිළිබඳව දැනුවත් වූ මහාචාර්යවරයා වහාම එම සබඳතාවය බිඳ වැටෙන ලෙස කටයුතු සිදු කරන ලදී.
මෙහිදී නැවතත් කාරියවසම් ඉදිරියේ තම දියණියගේ නම සිහි කරමින් තමන් සිදුකරන ලද්දේ වැරැද්දක් දැයි මහාචාර්යවරයා තුළ සිතුවිල්ලක් ඇති වන්නට විය.
මේ හැඟීම ඇතිවූ තැනින්ම නැති කළ යුතුය.

කාරියවසම් ඔයා දැන් යන්න. මට මගේ වැඩේට හිත යොමු කරන්න අවශ්‍යයි.මට අවශ්‍යතාවයක් උනොත් ෆ්‍රැන්සිස් ඉන්නවනෙ..

ෆ්‍රැන්සිස් යනු මහාචාර්ය වරයාගේ නිවසේ සිටින මෙහෙකරුවායි..

තවත් වසර කිහිපයක් ගෙවී ගියේ ලොවටම රහසේය.

මහාචාර්ය හෙක්ටර් තව නව නිපැයුම වඩාත් සාර්ථක අයුරින් ප්‍රතිනිර්මාණය කලේය.
තම අති විශේෂ පරීක්ෂණය ලොවට හෙළි කිරීමට පෙර පෞද්ගලිකව අත්හදා බැලීමට ඔහුට අවශ්‍ය විය..

සීලියා,
ෆ්‍රැන්සිස් තාම ආවෙ නැද්ද?

තාම ආවෙ නෑ ඩැඩී.

මේ මනුස්යට මම අද උදේනෙ එන්න කියල කිව්වෙ.ගෙදර ගිහින් එන්නම් කියල ගිහින් පැළ උනාද? දැන් ඉතින් මම මේ පරීක්ෂණයට නිදර්ශකයක් විදියට ගන්න කෙනෙක් කොහෙන් හොයා ගන්නද?

ගෙදර කවුද?
ගෙදර  කවුද?

කවුද ඒ පාර මේ වෙලාවෙම දොරට ගහන්නෙ.
දුව, ඔයා ගිහින් බලල එන්න..

ඩැඩී ඩොක්ට කාරියවසම් ඇවිත්

ආ.කාරියවසම්!!!

තම දියණිය සිටින මොහොතේ කාරියවසම් පැමිණීම ගැන මහාචාර්යතුමාට ඇති වූයේ කෝපයකි.
නමුත් මේ මොහොතේ වටිනාකම ගැන සලකන විට එය එතරම් සැලකිය යුත්තක් නොවේ.
තම කෝපය සිත තුළම සඟවාගත් මහාචාර්යවරයා ව්‍යාඡ සිනාවක් මුවෙහි රඳවාගෙන කාරියවසම් හට ඇමතුවේය.

ඉලන්දාරියා තමුසෙව මේ වෙලාවෙ දැකගන්න ලැබුන එකත් ලොකු දෙයක්.

මට මේ පරීක්ෂණේ ඉවර කරගන්න බැරුව හිටියෙ ෆ්‍රැන්සිස් නැතුව.
කොහෙද මේ යකා හරියටම අදම හොයාගන්න නෑනෙ.

මොකක්ද මහාචාර්ය තුමා වෙන්න ඕන.මට මැරෙන්න වෙන වැඩක් එහෙම නෙවේ නේද?
කාරියවසම් සිනාසෙමින් ඇසීය.
හපෝ නෑ, ඔහේට මතකද මම අර ඉස්සර දවසක් ඔහේට පෙන්නපු චිප් එකක් සවි කරපු පැලැස්තරේ.
මම ඒක තවත් වැඩිදියුණු කලා..

මහාචාර්යවරයා ආඩම්බර සිතින් පැවසීය

මට දැන් ඒක පරික්ෂා කරගන්නයි ඕන.

ඩැඩී ඩැඩී

ඇයි සීලියා,

ඩැඩීට මේ විද්‍යාත්මක වැඩ නිසා මනුස්ස ගුණධර්ම පවා අමතක වෙලා.
ගෙදරට ආපු අමුත්තෙක්ට ඔහොම සලකන එක හරිද ඩැඩී..
ගෙදරට ආපු මනුස්සයෙක්ව ඔයාට ඔහොම අවධානම් පරීක්ෂණ වලට යොදාගන්න එක හොඳද?

ඒකට කමක්නෑ සීලියා කාරියවසම් පැවසීය..

හැබෑටම දුව කියනං මට ඒ ගැන කල්පනාවට ආවෙත් නෑනෙ..ඒකක් ඇත්ත තමා මගෙ දරුවා...

හොඳයි හොඳයි

මගේ පරීක්ෂණයෙ නිදර්ශකය මම ම වෙන්නම්කො. එතකොට මට මේකෙ තත්වය ගැනත් හරියටම දැනගන්න පුළුවන් වෙනව.

සීලියා ඔයා දන්නව නේද මේක ක්‍රියාත්මක කරන හැටි

ඔව් තාත්තේ,,
මගෙ උදව්වට කාරියවසම්  ඉන්නවනෙ.ඔයා බයවෙන්න එපා.

කාරියවසම් මේ අහගන්නව,
මම කලින් පාර හදපු පැලැස්තරේට පුළුවන් උනේ මනුස්සයෙක්ව මුලුමනින්ම අක්‍රිය කරන්න විතරයි.ඒ වෙලාවෙ ඉදල ඔහුට මුකුත්ම කරගන්න බෑ , සිහියත් නැහැ.
     ඒත් මම මෙදා සැරේ කරපු නවීකරණ කිරීමත් එක්ක මේක වෙනස්ම විදිහකට තමයි  ක්‍රියාත්මක වෙන්නෙ..
ශරීරය අක්‍රිය වෙන්න නිල් බොත්තම ඔබල. අර අතන තියෙන විශේෂ රතු බොත්තම එබුවහම,
අක්‍රීය වෙච්ච පුද්ගලයගෙ සම්පූර්ණ ශරීර අභ්‍යන්තර ක්‍රියාවලි වැඩ කරන්න පටන්ගන්නව.ඒ කියන්නෙ, අපි පැලැස්තරේ අලවපු මනුස්සයට අත පය හොලවන්න විතරයි බැරි.ඔහුගෙ ඇස් කන් , මනස හොඳටම ක්‍රියාත්මක වෙන්න ගන්නව.හිතන්න පතන්න උනත් පුළුවන්. ඒව ක්‍රියාත්මක කරන්න විතරයි බැරි.
ඒ විතරක් නෙවෙයි, දැන් මේ පැලැස්තරේ සවි කරල ශරීරය අක්‍රිය කලාට පස්සෙ,
පැලැස්තරේ හිසෙන් ඉවත්කලත් ශරීරය ක්‍රියාත්මක වෙන්නෑ. නැවත ක්‍රියාත්මක වෙන්න නම් නැවතත් මේ පැලැස්තරේ අලවල නිල් බොත්තම ඔබල විද්‍යුත් ධාරාවක් මොළයට ලබා දීල උත්තේඡනයක් දෙන්නම ඕන.

මේ ක්‍රමය භාවිතා කරල ඉතාමත් දරුණු අපරාධකාරයො පුටු වල හේත්තු කරවල අපිට එයාලට යහපත් සාරධර්ම උගන්නන්න පුළුවන් වෙයි.මේක බන්ධනාගාර ක්‍රමය තුළ විප්ලවයක් ඇති කරන්න පුළුවන් නිර්මාණයක්.

කාරියවසම් තමුන් වෛද්‍ය විද්‍යාව ගැන ඉගෙනගත්තට මගෙත් එක්ක ඉදල ඉලෙක්ට්‍රොනික් වැඩ ගැනත් ටිකක් දන්නව නේද?
ප්‍රශ්නයක් ආවොත් මගෙ දුව කියන විදියටම කරනව.

දැන් අර පැලැස්තරය අරගෙන මගෙ හිස පිටුපස්සෙ අලවනව.

හරි මහාචාර්යතුමා හරි..

ආහ්, වැඩේ සාර්ථකයි.
තමුසෙ මම හිතුවට වඩා දක්ෂයෙක්නෙ..

දැන් මම මේ මේසෙ හාන්සි වෙන්නම්..
සීලියා
ඔයා නිල් බොත්තම ඔබන්න...

මහලු මහාචාර්යවරයා තම විද්‍යාගාරයේ පැවති මේසයේ සැතපුණු අතර ඔහුගේ දියණිය වූ සීලියා විසින් නිල් පැහැ බොත්තම ඔබන ලදී..

ඩැඩී ඩැඩී!!!
ඩැඩී!

වැඩේ සාර්ථකයි!!!

ඉන්පසුව සිදු වූයේ කුමක්ද?

ඉන්පසුව අති විශේෂ රතු බොත්තම ඔබා මහාචාර්යවරයාගේ මනස ක්‍රියාත්මක කළ සීලියා, ඔහුගේ මුහුණ විද්‍යාගාරයයේ සෑම කොනම පෙනෙන පරිද්දෙන් පැත්තට හැරවූවාය...

ඉන්පසු අැය,
එක්වරම තරුණ විද්‍යාඥ  කාරියවසම් අසළට පැමිණ ඔහුව සිපවැළඳ ගත්තාය.

මහලු මහාචාර්යවරයාට සිදුව ඇත්තේ තම දියණියගේ මෙම පිළිකුල්සහගත හැසිරීම , ඇසිපිය නොහෙලා බලා සිටීම පමණි. මන්දයත් මේ වන විට ඔහුගේ මුලු ශරීරයම අක්‍රීයව පැවතිණි.

සිපගැනීමෙන් පසුව මේසයේ දිගා වී සිටින මහලු මහාචාර්යවරයාගේ මුහුණ අසලට පැමණි තරුණ දියණිය ඔහු දෙස බලමින් කතාව ආරම්භ කලාය.

ඩැඩී දන්නවනෙ මගෙයි කාරිගෙයි ලව් එෆෙයාර් එකක් තිබුන බව.
ඩැඩී ඔයා මට ඒ දවස්වලම කාරියවසම්ව විවාහ කරල දුන්නනම් මේ කිසි දෙයක් වෙන්නෑනෙ..
ඔයාට ඕන උනේ, ඔයාගෙ යාලුව මහාචාර්ය සිරිපාලගෙ  පුතා සුනිල්ට මාව විවාහ කරල දෙන්නනෙ,
කොච්චර ලඟින් ආශ්‍රය කලත් ඔයා කාරියවසම්ට කැමති උනේම නෑනෙ.කාරියවසම් හොඳට ඉගෙනගන්න , හොඳ රස්සාවක් කරන කෙනෙක්, ඒත් ඔයාට එයාගෙ දුප්පත් පවුල් පසුබිම අමතක කරන්න බැරි උනානෙ ඩැඩී.
එයා මගෙ ඡීවිතේ කියල මම ඔයාට කොච්චර කිව්වද?
 මම ආස කෙනාව විවාහ කරගන්න අවසර දෙන්න කියල,
මම ඔයාගෙන් කොච්චර වැඳවැටිල ඉල්ලුවද?
ඔයා මගෙ හැඟීම් ගැන පොඩ්ඩක්වත් හිතුවෙ නෑ ඩැඩී.
ඔයාට ඕන කලේ මහ ලොකු ප්‍රසිද්ධියයි , ඡනතා සේවයයි විතරයි.
ඔයාගෙ දුවගෙ හැඟීම් තේරුම්ගන්න ඔයා චුට්වත් උත්සාහ කලේ නෑ ඩැඩී..

ඔයාම තමයි මේ දේ කරන තැනට මාව අසරණ කලේ.

කාරී, ඔයා ගිහින් ෆ්‍රැන්සිස්ට එන්න කියන්න.
මිනිහ ඉස්සරහ ගේට්ටුව ලඟ ඇති.මම මිනිහට එතන ඉන්න කියල ඇත්තෙ පරීක්ෂණ ඉවරවෙනකම්.
ඊට කලින් ඔයා අර පැලැස්තර කෑල්ල අයින්කරල, තාත්තව ගෙදර සාලෙට ගෙනියන්න උදව්කරන්න..
ඊට පස්සෙ මේ දොර සදහටම වහල දාන්න.

සුලු මොහොතකට පසු කාරියවසම් විසින් කරන ලද දැනුම්දීම මත ෆ්‍රැන්සිස් නිවසට පැමිණියේය....

      සාලයේ එක් කෙළවරක වැටී සිටි මහලු මහාචාර්යවරයාගේ හිස තම උකුළ මත තබාගෙන මහාචාර්යවරයාගේ තරුණ දියණිය අඬමින් සිටින අයුරු ඔහුට දක්නට ලැබිණි.

බලන්නකො ෆ්‍රැන්සිස් මගෙ ඩැඩීට වෙච්ච දේ...

අදත් මොකක්ද පරීක්ෂණයක් තියෙනව කියල නොකා නොබී වැඩ කර කර හි⁣ටියෙ..
ඔයා දන්නවනෙ පහුගිය කාලෙම ඩැඩීගෙ හැසිරීම..
හරියට කෑමක් බීමක් නෑ.
හරියට පිස්සු හැදිල වගේ පරීක්ෂණ වලට මහන්සි උනේ, මට පේන්නෙ ඩැඩීගෙ පෙෂර් වැඩි වෙලා පැරලයිස් වෙල⁣ා...

මගෙ දෙයියනේ,
මගෙ ඩැඩීට මේ මොකද උනේ.

මාස කිහිපයක් ගත විය.
   
පැරලයිස් තත්වයට පත් වූ මහාචාර්යවරයාට කොතරම් වෛද්‍ය ප්‍රතිකාර කළද  ඒ සියල්ල ගඟට කැපූ ඉණි මෙන් අසාර්ථක විය.අවසානයේ ඔහුට ප්‍රතිකාර කිරීම අත්හැර දමන්නට සියලු දෙනාට සිදු විය.
මහාචාර්යවරයා⁣ෙග් නිවසේ , ඔහුගේ දියණිය හා ඇගේ සැමියා වූ කාරියවසම් ඉතාමත්  සතුටෙන් දිවි ගෙවුවෝය. දියණියක් වශයෙන් සීලියා අසනීප වූ තම පියාවද ඉතා හොඳින් රැකබලා ගනිමින් නිවසේ කටයුතුද බලාගනිමින්  කරන කාර්යභාරය, හිතවතුන් සැමගේ ප්‍රශංසාවට ලක්විය.
   තවත් ටික කලකට පසු සීලියා හා කාරියවසම්ගේ ලෝකය තුළට කුඩා දියණියක්ද පැමිනිණි.
සති කිහිපයක් දියණිය සමඟ කාලය ගත කල කාරියවසම් නැවත රැකියාව වෙත පිටත්ව ගිය අතර, නිවසේ තනිවූ  සීලියාට එක්වරම ඇති වූ සිතිවිල්ලක් මත ඇය තම අලුත උපන් ළදරුවා සිය පියාණන් පෙන්වීමට තීරණය කළාය.
දරුවා පියාණන් හට පෙන්නූ සීලියා ආපසු යෑමට හැරෙනවිට  දුටුවේ මෙතෙක් නෙසෙල්වී දැඩිව පැවති තම පියාණන්ගේ දෑස තුළින් කඳුලු බිඳු ගලා එන බවයි...
වහා තම කාමරය වෙත දිව ගිය ඇය. දරුවා තොටිල්ල මත තබා,
අල්මාරිය විවර කර එයින් යතුරක් ගෙන.
හැකි වේගයෙන් නිවසේ යටි මහළේ පැවති පියාගේ විද්‍යාගාරය වෙත ගියාය. එහි මළකා තිබූ දොර අපහසුවේන් විවෘත කරගත් ඇය, විද්‍යාගාරයයේ එක් පසෙක තිබූ,
බොහෝ කළකින් විවර නොකෙරූ සේප්පුවට තම⁣ා රැගෙන ආ විශේෂ යතුර දමා විවෘතකර, එය තුළ තිබූ පෙට්ටියක් අතට ගත්තාය. ඉන්පසු පෙට්ටිය විවර කළ ඇය ඒ තුළින් ගත්තේ වසර ගණනකට පෙර ඇගේ පියා නිර්මාණය කළ චිපය සවි කළ පැලැස්තර කැබැල්ලයි. ඉන්පසු අැය ඒ ආසන්නයේ පැවති නිල් පැහැ බොත්තම සහිත පැනලය දෙස බැලූයේ බලාපොරොත්තු සපිරි දෑසකිනි.

Monday, November 26, 2018

සිද්ධාලේප ටැක්ටරය හදන හැටි සරලව ඡායාරූප හා වීඩියෝ


   අද මම ඔයාලට කියල දෙන්න  හදන්නෙ පොඩ්ඩන්ට සෙල්ලම් කරන්න ගෙදර තියෙන සරල දේවල් කිහිපයකින් හදාගන්න පුළුවන් සෙල්ලම් බඩුවක් වෙන සිද්ධාලේප ටැක්ටරේ හදන හැටි ගැන. මේ සෙල්ලම් බඩුවට ඒ අපූරු නම වැටෙන්න හේතුව තමයි මේක හදන්න හිස් සිද්ධාලේප කුප්පියක් යොදා ගැනීම. එහෙනම් කතා ඇති, අපි බලමුකො කොහොමද මේක හදන්නෙ කියල.

අවශ්‍ය ද්‍රව්‍යය

1.මැදින් සිදුරු කරන ලද හිස් සිද්ධාලේප කුප්පියක්

2.මැදින් සිදුරු කරල ලද කුඩා ඉටිපන්දම් කැබැල්ලක් (නූල ඉවත්කර එම සිදුර විශාල කරගන්න)

3.රබර්පටියක්

5.ඉරටු කැබැල්ලක්



සාදන ආකාරය

1.මුලින්ම රබර්පටිය අරගෙන ඒක සිද්ධාලේප කුප්පියෙ හදපු  සිදුර හරහා ඉවතට අරගන්න.


2. ඊට පස්සෙ සිද්ධාලේප කුප්පියේ මූඩිය පැත්තෙන් එළියට ගත්ත රබර්පටිය, සිදුරු කරගත්ත ඉටිපන්දම් කැබැල්ලෙ සිදුර හරහාත් යවල එළියට ගන්න.

3. ඊලඟට ඉරටු කෑල්ල අරගෙන එ්කෙන් පොඩි කෑල්ලක් කඩල , ඒක සිද්ධාලේප කුප්පිය පිටිපස්සෙ තියෙන රබර්පටියේ ඇතුලෙන්  යවල  රබර්පටිය එළියට එන එක වැළකෙන්න හිරකරගන්න.



4.දැන් ඉතුරු ඉරටු කෑල්ල අරගෙන ඉටිපන්දම් කැබැල්ලෙ සිදුරෙන් එළියට ආපු රබර්පටි කොටසෙ ඒක හොඳට පටලවා ගන්න.ඇදල ගැටයක් ගැහුවත් කමක්නෑ(ඉරටු කැබැල්ල ඉටිපන්දම් කොටසට හිරවන ආකාරයට)

5. දැන් සිද්ධාලේප ටැක්ටරය සූදානම්. මේක යවන්න ඔයාලට කරන්න තියෙන්නෙ , ඉරටු කෑල්ල සිද්ධාලේප කුප්පිය වටේට කරකවල හොඳට වයින් කරල බිමින් තියන එක විතරයි. ටැක්ටරේ නියමෙට යන්න පටන්ගනියි.

මේ වීඩියෝ එක බලන්න >>


මුලින්ම පැන පැන කඩාගෙන යයි. නමුත් මේක පදම් උනාට පස්සෙ කොච්චර වයින් කලත් එකම වේගයක් තමයි තියෙන්නෙ.. හරියට ගමන්කරන ටැක්ටරේ , සිද්ධාලේප කුප්පිය කැරකුනාට ඉටිපන්දම් කැබැල්ල කරකැවෙන්නෙ නැහැ, ඒක සිද්ධාලේප කුප්පියෙ මූඩියෙ දැවටෙමින් වේගය අඩාල කරනව..

* මේ සෙල්ලම් බඩුව හදන්න ඔයාල ගාව සිද්ධාලේප කුප්පි නැත්නම් ඔයාලට ඉවරවුන බයින්ඩර් ගම් බෝතල⁣යකින් උනත් මේක  හදාගන්න පුළුවන්.එ්කට හොඳ ප්‍රතිඵල ලබා ගන්න ලොකු ඉටිපන්දම් කැබැල්ලකුත් භාවිතා කරන්න ඕන.

ටැක්ටරේ උඩ අතට හරවල තිබ්බම , රවුම වටේට කැරකෙන ඉරටුව, ඔයාට සෙක්කුවකුත් සිහිපත් කරයි.

 මේ වීඩියෝ එක බලන්න >>



බිල්බෝ බැගින්ස්ගේ වීරචාරිකාවෙන් ආරම්භ වූ ෆෝඩෝ බැගින්ස්ගෙන් අවසන් වූ බල මුදුවේ මිතුරු හවුලේ කතාන්දරය 2 කොටස

පළවෙනි කොටස නොබලපු අය මෙතනින් ගිහින් එ්ක බලල එන්න >>   මෙතන click කරන්න    මම පළවෙනි කොටසෙදි ඔයාලට පැහැදිලි කලා හොබිට් ලෝකෙ වැඩ කටය...