Tuesday, September 22, 2020

කතෘ බූතයා



          අද උදේ ඉදලම මම පසුවුනේ ගොඩාක් සතුටින්. ප්‍රසිද්ධ අත්භූත කතා ලේඛක බටුවන්ගල මහත්තයා එයාගෙ අලුත්ම කෘතියෙ පිටපත් වලින් එකක් මට දෙන්න තීරණය කලා කියන ආරංචිය අහපු දවසෙ පටන්ගත්ත මගෙ සතුට අද වෙනකොට දෝරෙ ගලාගෙන ගියේ අද තෑග්ග මගේ අතට ලැබෙන්න තියෙන දවස නිසා..

                  පහුගිය දවස්වල මුහුණුපොත හරහා තිබුන හොඳම පාඨකයා තෝරන තරඟයකින් තමයි මට ඒ පොත දිනාගන්න අවස්ථාව ලැබුනේ. බටුවන්ගල මහත්තයා විසින්ම පවත්වපු ඒ තරඟෙදි එතුමා විසින් එතුමගෙ පොත්වල තිබුන විවිධ කරුණු ඔස්සේ පාඨකයන්ගෙන් විවිධ ප්‍රශ්න විමසුවා. හැබැයි එතන හිටපු එක පාඨකයෙක්ටවත් මාව නං පරාද කරන්න පුළුවන් උනේ නෑ. 

     සොහොන් පිටියෙන් ආ පිල්ලිය , අඳුරු නැකත , ගුප්ත සුරපුරයේ මරණීය කන්‍යාව , රාක්ෂ දියණිය , අත්භූත පෙට්ටිය , මාරක උදෑසන ඇතුලු බටුවන්ගල මහත්තයාගෙ දැනට ආපු සියලුම පොත් ,  මම වගේ දහවතාවකටත් වඩා කියවල තිබුන පාඨකයෙක් එතන නොසිටපු නිසා මට ඡයග්‍රහණය ලැබුනේ නිතරඟයෙන්. තරඟය ඡයග්‍රහණය කලාට පස්සෙ මුහුණුපොත හරහා ම⁣ට සුබපතපු බටුවන්ගල මහත්මයා මට ලබාදෙන තෑග්ග හැකි ඉක්මනින් තැපැල් කරන බව පැවසුවා.එතුමා තැපැල් කරපු දිනේ එක්ක බලනකොට හරිනං අද තෑග්ග එන්න ඕන දවස.

                     තෑග්ගට ලැබෙන අලුත් පොත ගැන හීනලෝකෙක අතරමං වෙලා තිබුන මගෙ හිත අාපහු මේ ලෝකයට අරගෙන ආවෙ ලියුම් මා⁣මගෙ බයිසිකලේ ටිලිං ටිලිං , ටිලිං ටිලිං ගාන සද්දෙ. සද්දෙ අැහුන ගමන් මම එක හුස්මටම මිදුලට දිව්වා. මම හිතුව වගේම තෑග්ග එවල තිබුනා. ඒක හොඳට ඔතපු ටිකක් ලොකු පෙට්ටියක්. අද සෙනසුරාදා  දවසක් නිසා අම්මයි තාත්තයි දෙන්නම පොළට ගිහින් තාම ගෙදර ඇවිත් තිබුනේ නෑ. ඒ දෙන්න  එනකං තෑග්ග කඩන්නැතුව බලන්න ඉන්න තරම් මගෙ ලඟ ඒ වෙනකොටත් ඉවසීමක් ඉතුරු වෙලා තිබුනෙ නැති නිසා මම පුළුවන් තරම් ඉක්මනින් තෑගි පෙට්ටියත් අරන් කාමරේට දිවුවා. තෑගි පෙට්ටිය  ලස්සනට තෑගි ඔතන කොළ වලින් ඔතලයි තිබුනෙ. කතුරක් අරගෙන හිමීට ⁣පෙට්ටියෙ උඩ හරිය කපපු මං පෙට්ටිය අරිනවත් එක්කම , ඉමිහිරි වැනිල සුවඳක් එක්ක  පෙට්ටිය ඇතුලෙන් අත්භූත කටහඬක් ආවා...


"සුබ උදෑසනක් වේවා තරිඳු !!!"


     පුදුමයට වගේම බයට පත්වුන මම පෙට්ටියත් ඇඳ උඩ අතහැරලා කාමරේ දොර දිහාවට දිව්වේ මේ මොකක්ද වෙන්න යන්නෙ කියල හිතාගන්න බැරුව.බටුවන්ගල මහත්මයගෙ අත්භූත පෙට්ටිය කතාවෙත් මෙහෙම සිද්ධියක් උනා කියල මගෙ හිතට ආවෙ අකුණක් ගහන තරම් වේගයෙන්. ඒ කතාවෙ හැටියට ඒ අත්භූත පෙට්ටියෙ සද්දෙ බලන්න ගිය හැමෝමව පෙට්ටියේ යකා ගිලල දැම්මා .දොර ලඟ නතරවෙලා පෙට්ටිය දිහා බලපු මම දැක්කෙ හරිම පුදුමාකාර දෙයක්. පුංචි මනුස්සයෙක් පෙට්ටියේ පියන ඉරාගෙන එලියට බොහොම අමාරුවෙන් එළියට ආවා. එයාට ටිකක් කැරකිල්ල වගේ මට පෙනුනෙ. පෙට්ටියෙන් එළියට ආව එයා ඇඳ උඩින් වාඩි වෙලා මගෙ දිහා බලල කතාකරන්න පටන්ගත්තා..


"බයවෙන්න එපා තරිඳු. මම ඔයාට කරදරයක් කරන්නෙ නෑ. මම අහිංසක කෙනෙක්"


එයාගෙ ප්‍රමාණයයි. අහිංසක පෙනුමයි , කටහඩේ තිබුන සන්සුන් ගතියයි දැකපු මම ,  මගේ බය පැත්තකට දාල ටිකක් ලඟට ගිහින් එයාට කතා කලා.


"ක ක ක කවුද ඔයා? "


"මම කතෘ බූතයෙක්." ඒ කුඩා මිනිසා කිව්වා..


"බූ බූ බූතයෙක්.."


"හා හා බයවෙන්න එපා ළමයෝ මම මිනිස්සුන්ට කරදර කරන ඡාතියේ බූතයෙක් නෙවෙයි. මම මිනිස්සුන්ට උදව් කරන ඡාතියේ බූතයෙක්." බූතයා සිනාසෙමින් කිව්වෙ කාලයක ඉදලම මාව අඳුරන කෙනෙක් වගේ.


"ඔයා කොහොමද මාව දන්නෙ?"


"ඔයා කොහොමද මේ පෙට්ටිය ඇතුළට ආවෙ.."


"මමනෙ ඔයාට මේ ලස්සන තෑගි පෙට්ටිය හැදුවෙ , මම මුහුණුපොත හරහා බටුවන්ගල මහත්මයගෙ ගිණුමෙන් ඔයා එක්ක කොච්චර කතා බහ කරල තියෙනවද?" ඉතින් මම කොහොමද ඔයාගෙ නම නොදැන ඉන්නෙ.


"ඒ කියන්නෙ ඔයා බටුවන්ගල මහත්තයගෙ ගෙදර ඉදලද ආවෙ?"


 "එතකොට ඔයාද ඇත්තටම  බටුවන්ගල කියන්නෙ? " 


    මම මගේ හිතට ආපු ප්‍රශ්න ඔක්කොම එයා ඉදිරියේ දිගහැරියා. මම හිතාගෙන හිටියෙ බටුවන්ගල මහත්තයා කියන්නෙ මැදි වයසෙ හිටපු ටිකක් මහත , කුරු කොන්ඩයක් තියෙන මහත්මයෙක් කියලයි. එතුමගෙ පොත් ඔක්කෝගෙම වගේ දාල තිබුනෙ ඒ වගේ ඡායාරූපයක්..එතකොට ඇත්තටම එයා මනුස්සයෙක් නෙවෙයි බූතයෙක්වත්ද?


"ඔව් මම බටුවන්ගල මහත්මයගෙ ගෙදර  ඉදල තමයි ආවෙ." බූතයා කිව්වා කිව්වා.


"හැබැයි මම බටුවන්ගල නෙවෙයි." බූතයා සිනාසෙමින් කිව්වා.


මම තමයි එයාගෙ කතෘ බූතයා.


බූතයගෙ කතාව එක්ක මට එයා අහිංසකයි කියල තේරිලයි තිබුනෙ. මොකද දරුණු කෙනෙක් උනා නං දැනටම එයාට මාව අල්ලගෙන කරදර කරන්න පුළුවන්කම තිබුනා. ඒ වගේම අඳුර බලවේග දවල් කාලයට ක්‍රියාත්මක වෙන්නෑ කියලයි මම අහල තිබුනෙ. ඒ නිසා මම මගේ බය පැත්තකට දාල එයාගෙ ලඟට ගියා..


"ඒ කියන්නෙ බටුවන්ගල මහත්තයා එයාගෙ වැඩ කරවගන්නෙ බූතයො ලව්වද?"


"ඔයා එයාගෙ ගෙදරින් පැනල ආව බූතයෙක් ද?" මම ඇහුවා..


"හපෝ නෑ ළමයෝ. බටුවන්ගලට බූතයො ලව්ව තියා මිනිස්සු ලව්වවත් හරිහැටි වැඩක් කරගන්න බෑ."

 "අනිත් එක මම එහෙන් පැනල ආවෙ නෑ.මම එයා එක්ක තරහවෙලයි එන්න ආවෙ." බූතයා කිව්වා..

    " ඔයා මගෙ ගැන හරි හැටි නොදන්න නිසා ඔයා මට තාමත් බය ඇති. ඒ නිසා ඉන්නකො මම ඔයාට  මගෙ ගැන විස්තර කියන්න." බූතයා කතාව පටන්ගත්තා..


    "මම ඔයාට කලිනුත් කිව්ව වගේ මම කතෘ බූතයෙක්. කතෘ බූතයො  තමයි ලස්සන ලස්සන අදහස් තියෙන අයව දක්ෂ ලේඛකයො කරන්නෙ. අපි අපේ සහඡ ඉවෙන්  හොයාගන්නවා දක්ෂ නිර්මාණාත්මක අදහස් තියෙන මිනිස්සුන්ව. ඊට පස්සෙ අපි එයාලව හොයාගෙන ගිහින් රෑට එයාලගෙ අදහස් වලට පණ දෙනවා.. එයාල ඒ අත්දැකීම් විඳලා , ඒවයෙ තියෙන විශාල මාලිගාවල ඉදල ඇල්පෙනෙති තුඩවල් වෙනකං දේවල් මතක තියාගෙන ඒ කරුණු එකතු කරලා ලස්සන පොත් විදිහට ලියලා ඔයාල අතට එවනවා."


"ඒ කියන්නෙ හැම ලේඛකයෙක්ටම එයාගෙ කියල කතෘ බූතයෙක් ඉන්නවද?" මම බූතයගෙන් ඇහුවා.


"හපෝ නෑ. ගොඩක් නිර්මාණශීලී අය ලඟට විතරයි කතෘ බූතයො යන්නෙ.. අපේ වර්ගෙ අය මේ ලෝකෙ ඉන්නෙත් බොහොම ටික දෙනයි.  ලෝකප්‍රසිද්ධ ලේඛකයො ලඟ විතරයි ගොඩක් වෙලාවට අපි ඉන්නෙ.  අපි පෝෂණ වෙන්නෙ එයාලගෙන්"


"ඒ කිව්වෙ ?" මම ඇහුවා.


කතෘ බූතයො ඡීවත්වෙන්නෙ කතෘවරුන්ගෙ චින්තන ශක්තිය ආහාරයට අරගෙන..


"ඒ කියන්නෙ ඔයා එයාගෙ චින්තන හැකියාව කාල නැතිකරල දානවද?" මම ඇහුවා.


හපෝ නෑ ළමයෝ. ඔයා හිතල බලන්නකො ඔයාගෙ වත්තෙ ලස්සන සමන්පිච්ච මලක් හැදිල තියෙනවා කියල. ඒක හරිම සුවඳයි. ඔයා ඒ සුවඳ වින්දා කියල මලට කරදරයක් වෙන්නෙ නෑ නේද? ඒ මදිවට ඔයා ඒ සුවඳ  වින්ඳට පස්සෙ මල් ගහ තව මල් වලින් පුරවන්න කියල හිතාගෙන ඒ ගහට පෝර වතුර දානව නේද? අන්න ඒ වගේ දෙයක් තමයි කතෘ බූතයොත් කරන්නෙ..

    අපි එයාගෙ චින්තන ශක්තිය රසවිඳිනවා. ඒකට හරියන්න අපි එයාට දක්ෂ ලේඛකයෙක් වෙන්න එයාගෙ චින්තන ශක්තියට පණ දෙනවා.


"ඉතින් ඔයා බටුවන්ගල මහත්තයව දාල මගෙ ලඟට ආවෙ එයාව අතහැරල  මාව දක්ෂ  ලේඛකයෙක් කරන්නද?" මම ඇහුවේ ⁣හරිම කුතුහලයෙන්..


"හාහ් හහ් හා හපෝ නෑ ළමයෝ." කතෘ බූතයා සිනාසුනා..


"මම එතනින් එන්න ආවෙ මම එයා එක්ක තරහවුන නිසා."


"ඒ කියන්නෙ එයා ඔයාව හිර කරල කරදර කලාද?"


නෑ නෑ ළමයෝ හරියටම කියනව නම් මෙන්න මේකයි උනේ. මම බටුවන්ගල මහත්තය ගාව ඉන්නෙ එයා පොත් ලියන්න පටන්ගත්ත මුල් කාලෙ ඉදලමයි. එයා ඒ කාලෙ ඉදලම ගොඩක් නිර්මාණශීලී කොල්ලෙක්. එයාගෙ නිර්මාණ හැකියාව උපරිමයටම අරගෙන යන්න එයාට උදව් කලේ මං. එයා දැන් සාර්ථක ලේඛකයෙක්ගෙනුත් එහාට ගිහින් අති සාර්ථක ලේඛකයෙක් වෙලා ඉවරයි..

   ඒත් එයා දැන් එයාගෙ නිර්මාණකරණයට එයාගෙ චින්තන ශක්තිය පාවිච්චි කරන්නෙ නෑ. එයා අවුරුද්දකටම එක පොතක් ලියල ඉතුරු දවස් ටික මාධ්‍යය සාකච්ඡා වලයි , සම්මන්ත්‍රණ ශාලාවයි ගත කරනව. අඩුමගානෙ එයාට නිදාගන්නවත් වෙලාවක් නෑ. ඉතින් එයා එයාගෙ චින්තන ශක්තිය පාවිච්චි කරන්නෙ නැති උනහම කෝ මට කෑම ?.  මම ටිකෙන් ටික දුර්වල වෙනවා.

      පහුගිය කාලෙ එයා පාඨකයො ගැන පවා හිතුවෙ නෑ. මමයි එයාගෙ මුහුණුපොතෙන් විවිධ තරඟ පවත්වල එයාව මිනිස්සුන්ට සමීප කරන්න උත්සාහ කලෙත්. මට ඔයාව හම්බවුනෙත් ඒ විදිහට..

     ඉතින් මම එයාගෙ වෙනස් වීම ගැන එයාට කියන්න කීප දවසක්ම උත්සාහ කලා..ඒත් එයාට ඒව අහන්නවත් වෙලාවක් නෑ. ඒකයි මම එයා එක්ක තරහවෙලා එන්න ආවෙ.


"ඉතින් මගෙන් ඔයාට මොනවද වෙන්න ඕන? " ඇයි ඔයා මෙහාටම ආවෙ..

මම කතෘ බූතයාගෙන් ඇහුවා.


මම බටුවන්ගල මහත්තයගෙ කතෘ බූතයා. මට හැමෝවම විශ්වාස කරන්න බෑ. ඒත් ඔයා එක්ක කතා කලාම මට තේරුනා ඔයා විශ්වාස කරන්න පුළුවන් හොඳ දරුවෙක් කියලා..


"මගේ අගය බටුවන්ගල මහත්මයාට ආපහු තේරෙනකම් ඔයාට මාව ඔයාගෙ කාමරේ තියාගන්න පුළුවන් ද?" බූතයා ඇහුවා.


මේ අපූරු බූතයාව එළවල දාන්න මගෙ හිත මට ඉඩ දුන්නෙ නෑ. එයාගෙ අපූරු හැකියාව බලාගන්නත් මට පුදුමාකාර ආසාවක් තිබුනෙ..ඒ නිසා මම එයාට අලුත් ලේඛකයෙක් ලැබෙනකම් මගෙ කාමරේට වෙලා ඉන්න ඉඩදුන්නා. හැබැයි ඒ එක පොරොන්දුවක් උඩ.


ඒ තමයි එයාගෙ අපූරු බලය මටත් පෙන්නනව කියන පොරොන්දුව!!!


          මේ බූතයා ගැන අපූරු කතාවත් හංගගෙන එදා දවස ගෙදරට වෙලා ඉන්න එක ගොඩක් අමාරු දෙයක් වෙලයි තිබුනෙ.


අම්ම කීප වතාවක්ම මට මොකක්හරි ලෙඩක්වත් හැදීගෙන එනවද කියල ඇහුව මට ලාවට මතකයි.. 


කොහොමහරි රෑ මම කලින්ම නිදාගන්න කියල කාමරේට ආවෙ කතෘ බූතයගෙ අපූරු හැකියාව බලාගන්නත් එක්ක.


හොඳයි දරුවෝ. ඔයා නිදාගන්න කලින් ඔයාගෙ මනස හොඳට නිදහස් කරල එක දෙයක් ගැන හොඳට හිත යොමු කරන්න. ලස්සන දෙයක්..


මම කොච්චර හිතුවත් මට කිසිම  දෙයක් හිතාගන්න බැරිවුනා.. ඒත් ටිකක් කල්පනා කලාම මට මතක්වුනා  ඊයෙ රෑ බලපු ඡැක් සහ මායා බෝංචි වැල චිත්‍රපටය ගැන..


මට එච්චරයි මතක.


"ඡැක් පුතේ නැගිටින්න."


     මම අවදිවුනේ පුංචි කුඩා ගෙදරක. ඒ ගෙදර ලස්සන කාන්තාවක් හිටියා. එයා මගෙ අම්ම..


ඔව් මම තමයි ඡැක්..


මට බූතයගෙ බලයෙන් රෑ වෙච්ච දේවල් ඔක්කොම  ඔයාලට කියන්න බෑ. ඒත් මම එලදෙනව දීල ගත්ත බොංචි ඇටවලින් පැළවුන සුවිශාල බෝංචි වැලෙන් අහසෙ මාලිගාවට ගිහින් යෝධයගෙ රත්තරන් බිත්තර දාන කිකිලිව හොරකම් කරගෙන ඇවිත් ලොකු සල්ලිකාරයෙක් උන හැටි මට තාමත් මතකයි. 

          එලදෙනව දීල බොංචි ඇට ගෙනාව වෙලාවෙ අම්ම ඇන්න ටොක්කට තාමත් මගෙ ඔලුව රිදෙනව.


 ඒත් මම තාමත් ගෙදර ඇඳ උඩ. අද ඉරිද . දැන් වෙලාව උදේ අටයි.


එතකොට ඊයෙ රෑ උන දේවල්. මම ඒ ලෝකෙ ගතකරපු දවස් ගාන. මගෙ ඇගට දැනුන දැනීම්.



"පොඩ්⁣ඩෝ ඔයා නැගිට්ටද?" කතෘ බූත⁣යගෙ කටහඬ මගේ කණ ගාවින් ඇහුනෙ හීන් කෙදිරියක් වගේ..


"කොහොමද ඊයෙ රෑ"


මට හිතාගන්න බෑ ඒ මොකක්ද උනේ කියල..


"ඒක තමයි මගේ  බලය. මට  පුළුවන් ඔයා හිතන දේ ඇතුලට ඔයාව අරගෙන ගිහින් ඔයාගෙ සිතුවිලි අංගසම්පූර්ණ නිර්මාණයක් කරන්න.." බූතයා කිව්වා


ඕහ් ඒක නම් පුදුමාකාරයි..


"හරිනම් ඔයා ඒක ලියගන්න ඕන පොඩ්ඩෝ..ඒක ලස්සන කතාවක්"


ඔව් ඒක ගොඩක් ලස්සනයි. හැබැයි ඒක දැනටමත් ලෝකෙ හැමෝම දන්න කතාවක්. මම බූතයට කිව්වා..


ඊයෙ රෑ පුරාම ඇහැරිලා ඉදගෙන ඔයාගෙ සිතුවිලි වලට පණ දීල මට ටිකක් මහන්සියි.  මම පෙට්ටිය ඇතුලට වෙලා නිදාගන්නව. සුබ දවසක් පො⁣ඩ්ඩෝ. එහෙම කියපු බූතයා අර කාඩ්බොඩ් පෙට්ටිය ඇතුලට රිංගාගත්තා..


පෙට්ටිය මගේ මේසෙ කෙලවරකින් තියපු මං කාමරේටම වෙලා පොතක් කියවන්න ගත්තෙ බූතයව දාල යන්න හිත හදාගන්න අමාරු කමට..


පුතා මෙන්න ඔයාව හම්බවෙන්න කවුද ඇවිල්ලා..

අම්ම කතාකරන සද්දෙ එක්ක මම කියව කියව හිටපු පොත ඇඳ උඩින් තියල සාලයට ගියේ මගේ කරදරකාර යාලුව සිතිඡ ඇවිත් කියල හිතාගෙන. නමුත් ඒ ඇවිත් හිටියෙ මම තුන්හිතකින්වත් හිතපු කෙනෙක් නෙවෙයි..


බටුවන්ගල මහත්තයා!!!


 පුතා මට ගෙදරට එන්න කියන්නෙ නැද්ද. එතුමා නිවසේ දොරකඩට වෙලා ඉදගෙන ඇහුවා..

      එතුමා සිනාසුන බවක් පිටතට පෙන්නුවත් මට නම් පෙනුනෙ හිතේ තිබුල දුක්බර බව මුහුණෙන් පෙනෙන බවක්..


එන්න සර් ගෙට.. මම බටුවන්ගල මහතාට කිව්වා.


මේ කවුද පුතා . ඔයා මට ඒ ගැන කියන්නෙ නැද්ද?


ඒ කතා කලේ අම්මා..


මේ බටුවන්ගල සර් අම්මේ. අර පොත් ලියන සර්.   මට අර තෑග්ගක් එවනව කිව්ව කෙනා..


"එවනව කිව්වෙ තෑග්ග තාම ආවෙ නැද්ද?" බටුවන්ගල මහත්මයා කලබල වෙලා වගේ මගෙන් ඇහුවා..


ආව සර්.කලබලයට පත්වුන මම කිව්වා..

       

    මිස් මම මෙහෙට ආවෙ මිස්ගෙ පුතාව හම්බවෙන්න.මට හිතෙන්නෙ මගෙ අතින් වැරදීමකින් මගෙ වටින යමක් එයාගෙ තෑගි පෙට්ටියට වැටිල කියලයි..


"එතුමා කියන්නෙ බූතය ගැනද?" මගේ හදවත ඩිහ් ඩිහ් ගෑවා..


"මොකක්ද නැතිවෙලා තියෙන්නෙ මිස්ටර් බටුවන්ගල . ගොඩක් වටින දෙයක්ද?" මගෙ අම්මා ඇහුවා..


"නෑ නෑ මැඩම් කලබල වෙන්න එපා. එහෙම දෙයක් නෙවෙයි මේ මට ආව ලියුමක්." බටුවන්ගල මහතා අපහසුවෙන් පිළිතුරු දුන්නා..


"ඔයාට පුළුවන් නම් මට තෑග්ග ආව පෙට්ටිය පෙන්නනවද පුතේ."


මට කියන්න දෙයක් ඉතුරු උනේ නෑ. කාමරයට ගිය මම බූතයව ඇහැරවල සිද්ධිය ගැන කිව්වා..


ළමයෝ මම මෙහෙ ඉන්නව කියල බටුවන්ගලට දැනගන්න තියන්න එපා බූතයා  කිව්වා.


බූතය එළියට ආවට පස්සෙ මම පෙට්ටිය අරගෙන ගිහින් බටුවන්ගල මහත්මයාට පෙන්නුවා..


පෙට්ටිය අතට අරගෙන ටිකක් වෙලා ඒ දිහා බලාගෙන හිටපු බටුවන්ගල මහත්මයා ,


මට වැරදීමක් වෙලා වගේ මම ගිහින් එන්නම් කියල අපේ ගෙදරින් යන්න පිටත්වුනා....


ඔහුගේ පෙනුමෙ තිබුනෙ සතුටට පත්වුන බවක්...


      එතුමා අපේ ගෙදරින් පිටත්වුන ගමන් මම නැවතත් දුවගෙන ගියේ මගෙ කාමරේට. බූතයා මම එනකං මේසෙ උඩ වාඩිවෙලා හිටියා..


"එයාට දැන් මාව මතක්වෙලා වගේ ඇවිත් තියෙන්නෙ. පහුගිය කාලෙත් එයා ඔය වගේ මගෙ ගැන හෙව්වනං මට මෙහෙම එයාව දාල එන්න වෙන්නෙ නෑනෙ." එයාට තව ටිකක් මහන්සි වෙන්න අරින්න ඕන බූතයා කිව්වා...


කොහොමහරි එදා දවසම බූතයයි මමයි විවිධ දේවල් ගැන කතා කර කර තමයි ගත කලේ..


භූතයා විසින් ඈත සමයේ ප්‍රකට ලේඛක හැගාඩ් මහතා සමඟ ගතකල කාලය ගැන මට විස්තර කිව්වා..

 පෙනුමෙන් අවුරුදු තිහක පමණ තරුණයෙක් උනත් බූතයා අවුරුදු දහස් ගානක් වයස බවයි මට කතාවෙන් කතාවෙන් තේරුනේ..

  

බූතයා නිතරම වැනිල බොන්න පුරුදු වෙලා හිටපු නිසා එයාගෙ ලඟින් නිතරම වැනිල සුවඳ එන බවත් එයා කිව්වා.. මම ඒ සුවඳට ගොඩක් ආස කලා.


අපි ගොඩක් සතුටින් කාලය ගත කලා...


කොහොමහරි ඉරිද රෑත් උදාවුනා..


මම එදා රෑ නම් කිසිම දෙයක් හිතේ තියා නොගෙනයි නිදාගත්තෙ. මොකද බූතයව තවත් වෙහෙසට පත් කරන්න මට හිතුනෙ නෑ. මටත් නොදැනි මගේ හිත පුරාම හිටියෙ කතෘ බූතයා විතරමයි..


    පුදුමයකට වගේ කලින් දවසෙ වගේම කතෘ බූතයා එදා රෑත් මාව පුදුමාකාර සිදුවීමකට අරගෙන ගියා.

 

සඳුද උදේ නැගිටපු ගමන් මම මුලින්ම කලේ මම රාත්‍රීයෙ විදපු අද්දැකීම එක හුස්මටම මම ලෑස්ති කරගත්ත පොතක ලියපු එක.. 

         මම ඒකට ලස්සන නමකුත් දැම්මා.


ඒක ආයි පාරක් කියවල බැලුවම මට හිතුනෙ ඒක අමුතුම  කෙටිකතාවක් කියලයි.


අද ඉතින් සඳුදා. සතියෙ දවසක්!!!

 

 ඉතින් මට පාසල් යන්න උනා.. මම කතෘ බූතයට පෙට්ටිය ඇතුලෙ හැංගෙන්න කියලයි ඉස්කෝලෙ ගියේ.

මොකද අම්ම කාමරේට අැවිත් බූතයව දැක්කොත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියල මට තේරිලයි තිබුනෙ.


මට එදා දවසෙ , ඉස්කෝලෙ කිසිම පාඩමක් ගැන සිහියක් තිබුනෙ නෑ. මට ගෙදර එන්න තමයි ඕන උනේ.. කොහොමහරි ඉස්කෝලෙ ඇරෙන වෙලාව පැමිණීමත් එක්ක මම එක හුස්මටම ගෙදර දුවගෙන ගියේ කතෘ බූතයව දැකගන්න..


එ්ත් ගෙදර ගියාට මගෙ කාමරේ කතෘ බූතය හිටියෙ නෑ. මම හැමතැනම කතෘ බූතය හිටපු පෙට්ටිය හෙව්වා.ඒකත් නෑ..


හොයල හොයල බැරිමතැන මම අම්මගෙන් ඒ ගැන අහන්න තීරණය කලා..


අම්මේ කෝ මට අර බටුවන්ගල මහත්මයගෙන් තෑග්ග ලැබුන පෙට්ටිය ? මම අම්මගෙන් ඇහුවා..


"පුතේ ඔයා ඉස්කෝලෙ ගියාට පස්සෙ ආපහු බටුවන්ගල මහත්තයා ආවා.. එයාගෙ ලියුම එයා ඔයාට තෑගි දීපු පොතක් අස්සෙද දන්නෑ කියල එයාට ගෙදර ගියාට පස්සෙ හිතුනලු. මම එයාට කිව්ව ඔයාගෙ කාමරේට ගිහින් හොයල බලන්න කියල..

    ඒ ගිය ගමන් තමයි එයා ඔය පෙට්ටිය අරගත්තෙ. එයා මගෙන් ඒක ඉල්ලුව තව ලමයෙක්ට තෑග්ගක් යවන්න තියෙනව කියල..එයා ලඟ තිබුන පෙට්ටි ඔක්කොම ඉවරලු."


"මම කිව්ව කමක්නෑ ගෙනියන්න කියල. හිස් පෙට්ටියක්නෙ පුතේ. අනික ඒක ඔයාට එව්වෙත් එයානෙ....."


ඉවරයි!!"

ඔක්කොම ඉවරයි.


මට දැනුනෙ මුලු ඔක්කොම විනාස වෙලා වගේ. බටුවන්ගල මහත්තයා කොහොමහරි එයාගෙ බූතයව අරගෙන ගිහින්. මගෙ යාලුවව මට නොකියම අරගෙන ගිහින්..


මම අම්මට මුකුත්ම නොකියා කාමරේට ආවා.

ඇවිත් මට පුළුවන් තරම්ම ඇඬුවා..


එත් මොනව කරන්නද කතෘ  බූතය ආපහු එන්නෑ. බටුවන්ගල මහත්තයා එයාව අරගෙන ගිහින්. එයාල දෙන්න දැන් මොනව කරනවද දන්නෑ. ගෙදරින් පැනල ආවට බටුවන්ගල මහත්තයා බූතයට දඬුවම් කරනවද දන්නෙත් නෑ...


අඬල අඬල මගෙ නහයත් හිරවුනා. මම නහය පිහදාගන්න ලඟපාත ලේන්සුවත් නැති නිසා අැද උඩ තිබුන පොරවන රෙද්දවත්  අරගන්න ඕන කියල හිතල ඒක උස්සනකොට මම දැක්කා එතන ලියමක් තියෙනවා..


ඒක ලියල තිබුනෙ බටුවන්ගල මහත්තයා!!! හැබැයි එයා ඒක ලියල තිබුනෙ කතෘ බූතයා වෙනුවෙන්...


...................................................................


     ආදරණීය තරිඳු ,,


       ඔයා ඉස්කෝලෙ  ගියාට පස්සෙ බටුවන්ගල මහත්තයා  මාව හොයාගෙන ආවා. එයා මම ඔයාගෙ ලඟ ඉන්න බව දැනගෙන තියෙන්නෙ පොත් පෙට්ටිය ආව ලිපිනයෙන්. පෙට්ටියෙන් ආව වැනිල සුවඳින් එයා හරියටම මම මෙහෙ ඉන්නවා කියල දැනගෙන..  අද අපි දෙන්න පහුගිය කාලයේ වෙච්ච දේවල් ගැන ගොඩක් කතා කලා..ඒ වෙනකොටත් නිර්මාණ ශක්තිය නැතුව මම ගොඩක් දුර්වල වෙලයි හිටියෙ. බටුවන්ගල මහත්මයා  වෙච්ච දේවල් වලට මගෙන් සමාව ඉල්ලුවා. එයා අත්භූත භයානක කතාවල අත්දැකීම් රෑ පුරා විඳල වෙහෙසට පත්වුන නිසාලු වැඩිය නිර්මාණ වලට හිත යොමු නොකලේ. 

     මම එයාට කිව්වා අත්භූත පැත්තෙන් ටිකක් මිදිලා වික්‍රමාන්විත රහස්පරීෂක කතා පැත්ත⁣ට හිත යොමු කරන්න කියලා.

     මම දන්නවා ටිකක් කාර්යබහුල උනාට එයා හොඳ මනුස්සයෙක් කියල. එයා මට පොරොන්දු උනා ආයි මාව බඩගින්නෙ තියන්නෙ නෑ කියල. ඉතින් මම එයා එක්ක ආපහු යන්න තීරණය කලා. පහුගිය දවස් දෙකේ මාව බලාගත්තට ඔයාට ගොඩක් ස්තූතියි. ඔයාට පුළුවන් වෙලාවට මාව බලල යන්න එන්න. බටුවන්ගල මහත්මයා ඒකට මුකුත් කියන්නෑ කියල මට පොරොන්දු උනා..

        ඔයා කවදහරි දවසක හොඳ නිර්මාණ ශක්තියක් තියෙන දක්ෂ ලේඛකයෙක් වෙයි කියල මම විශ්වාස කරනවා.. එතකොට ඔයාව හොයාගෙන ඔයාගෙම කතෘ බූතයෙක් එයි..

  

               මීට ඔයාගෙ යාලු කතෘ බූතයා


ඊට යටින් බටුවන්ගල මහත්මයාත් වචන ස්වල්පයක් ලියල තිබුනා..


       තරිඳු පුතේ , ඔයා මගේ කතෘ බූතයව පරිස්සමට බලාගෙන තියෙනවා කියල මට පේනවා. ඒකට ගොඩාක් ස්තූතියි. ඔයාට කැමති වෙලාවක මගේ ගෙදර අැවිත් කතෘ බූතයව බලල යන්න. මගේ අලුත්ම පොත් පිරුණු රාක්කයකුත් ඔයා වෙනුවෙන් එහේ බලාගෙන ඉන්නවා. අපේ පුංචි රහස රහසක් විදහටම තියාගන්න...


තාමත් ඔයාගේ ප්‍රියතම ලේඛකයා යැයි සිතන මම බටුවන්ගල.


......................................................................


ලියුම කියවපු මම , ලඟදිම බූතයව බලන්න යනව කියලත් හිතාගෙන ඒ ලියුම පරිස්සමට නවලා කතෘ බූතයා ගැන මට ඉතුරු වුන අනෙක් වටිනාම මතක සටහන ඇතුලෙන් දැම්මා..

    ඔව් ඒ මතක සටහන තමයි මම කතෘ බූතයගෙ බලයෙන් ඉරිද රෑ සිහිනයෙන් විදපු අත්දැකීම් ගැන ලියපු පොත. මට දැනුනෙ ඒ ලියුමත් එ් පොතේ තිබුන කතාවෙම කොටසක් වගේ..


 ඒ පොත වහද්දි මම ඒදා රෑ විඳපු අත්දැකීම සම්බන්ධ කෙටිකතාවට දාපු නම රතුපාටින් පැහැදිලිව පෙනුනා.


ඒකෙ නම තමයි කතෘ බූතයා!!!

     




1 comment:

  1. උඹ මහ පුදුම බූතයෙක් තරිඳු...

    ReplyDelete

ලංකාපුර දේව

      කාලයේ වැලි තලාවට යටවුණු එක්තරා වීරයෙකුගේ කතාවක්!!!              මේ ක්‍රිස්තු වර්ෂ 1166 අවුරුද්දයි. එක්තරා සුවිශාල මහා දේශයක පිහිටි තවත...