~ මානසික රෝගියා ~
"නම..?"
"පුංචප්පු"
"ගම..?"
"මාතර"
"වයස..?"
"අවුරුදු 243 යි.."
මෙතෙක් වෙලා රෝගීන්ගේ තොරතුරු සටහන් කරගන්නා පොත දෙස බලාසිටි වෛද්‍යවරයා එදින දහවල් ආහාරයට පෙර තමාව හමු වීමට පැමිණි අවසන් රෝගියා දෙස අවධානයෙන් බැලීමට ගත්තේ එම ප්‍රකාශයෙන් පසුවයි....
වෛද්‍යවරයා ඉදිරියේ වාඩි වී සිටියේ හොදින් ඇඳ පැළඳගත් වයස අවුරුදු 30 පමණ ගැමි පෙනුමකින් යුත් ප්‍රියමනාප තරුණයෙකි..
"වයස අවුරුදු 243 වෙනවා ඔහේට..?"
"ඔව්.."
ඒ වචනය ඇසීමෙන්ම මොහු මානසික රෝගී පුද්ගයෙක් වන බව වෛද්‍යවරයාට වැටහුණි.
මම දැන් මෙයාට මොකක්ද කරන්නෙ..? මම මෙතනින් නැගිටලා යන්න ගියොත් මේ මනුස්සයා කලබල කරන්න පුළුවන්. මේ වෙලාවෙ කරන්න පුළුවන් හොඳම දේ තමයි මෙයා එක්ක හිමින් සීරුවේ කතා කරලා මෙයාගෙ විස්තර ටිකක් අරගන්න එක. ඊට පස්සෙ පුළුවන් උනොත් මම මෙයාව කැමැත්තෙන්ම මානසික රෝග සායනයට යවනවා. එහෙම බැරි උනොත් මිනිහගෙන් විස්තර අරන් ඒ ටික ඩොක්ටර් ජයමාන්නට දීල මේ මනුස්සයව මානසික රෝහලකට හරි යවන්න ඕන.. මෙසේ කල්පනා කල වෛද්‍යවරයා රෝගියාගේ විශ්වාසය දිනාගැනීම පිණිස ඔහු සමඟ කතා කිරීම ආරම්භ කලේය...
"අවුරුදු 243 ක්. හ්ම්ම් ..ඒ කියන්නෙ ලොකු කාලයක්.. එහෙනං ඔහේ නිදහස් සටනටත් ඉදල තියෙනව නේද? "
"ඔව් මම හිටියා."
"සුද්දො එක්ක සටන් එහෙමත් කරන්න ඇති..?"
"නෑ. මම සටන් කලේ සිංහල මිනිස්සු එක්ක.."
"ඒ මොකද ඒ..?"
"මොකද මම හිටියෙ සුද්දන්ගෙ පැත්තෙ නිසා.." රෝගියා සිනාසෙමින් පැවසීය..
"ඔහේ පුදුම මනුස්සයෙක්නෙ.. සිංහලයෙක් වෙලත් ඇයි ඒ විදිහට වැඩ කලේ..?"
"මොනා කරන්නද මහත්තයෝ. මගෙ ලෙඩේ හොඳ කරගන්න නම් මට ඒක කරන්නම උනා.."
"මොනවා ලෙඩේට බෙහෙත් කරන්න..? මොකක්ද සිංහලයන්ට ද්‍රෝහි වෙන්න තරම් තමුසෙට හැදිල තිබුන ලෙඩේ..?" වෛද්‍යවරයා එය ඇසුවේ රෝගියාගේ අසනීපය ගැන දැනුවත් වීමටත් වඩා , මෙම කතාව තුළින් ඔහු තුළ මතු වූ කුතුහලය නිවාගැනීමේ අටියෙනි..
"වයසට යන එක."
"වයසට යන එක ලෙඩක් නෙවෙයිනෙ..ඉපදුන හැමෝම වයසට යනවා.." වෛද්‍යවරයා පැවසුවේ වැඩිහිටියෙකු දරුවෙකුට නොදන්නා යමක් පැහැදිලි කරදෙන ස්වරූපයෙනි..
"ඒ ඔබතුමා හිතන හැටි."
"වයසට යන එක ලෙඩක් නම් , තමුසෙ ලඟ ඒකට බෙහෙතකුත් තියෙනව නම් , තමුසෙ මට කියනවකො බලන්න තමුසෙ ඒකට හොයාගත්ත බෙහෙත.." වෛද්‍යවරයා පැවසුවේ කෝපයෙනි.. රෝගියාගේ කතාව වෛද්‍යවරයා තුළ ඇතිකල කෝපය ඔහු මානසික රෝගියෙක් බව පවා අමතක කර දැමීමට පවා සමත්විය..
"මම බෙහෙතක් හොයාගත්තෙ නෑ , මට බෙහෙතක් දුන්නා.."රෝගියා පැවසීය..
"කවුද දුන්නෙ..?"
"රීරි යකා.."
"යක්කුන්ට පුළුවන් ද මනුස්සයෝ මිනිස්සුන්ට බෙහෙත් කරන්න..?"
"මමත් ඒ යකාව හම්බවෙන්න කලින් ඔහොම තමයි හිතාගෙන හිටියෙ.."
"ඉතින් මොකක්ද යකා ඔහේට දීපු බෙහෙත..?"
"වරමක්..!!!"
"වරමක්..?" වෛද්‍යවරයා ඇසීය.
"ඔව් වරමක්..මම ඒ කාලෙ ලංකායෙ රජතුමාගෙ ගහලයා විදිහට රස්සාව කලේ. මම දවසට මිනිස්සු විස්සක් තිහක් එළොව යැව්වා.. ඒක රීරි යකාට කැපවුණ භූමිය , ඉතින් ඒ සතුටට දවසක් රීරි යකා ඇවිත් මට වරමක් දුන්නා.."
"මොකක්ද ඒ වරම..?"
" මම අහිංසක නිර්දෝෂී ගුණයහපත් මනුස්සයෙක්ව මරන වාරයක් ගානෙ යකා මට ජීවත්වෙන්න අවුරුදු දහයක ආයු කාලයක් දෙනවා.යක්කු හරි ආසයි හොඳ මිනිස්සුව බිලි ගන්න."
"ඉතින් ඔහේ පහුගිය කාලෙම ඔය වරම ගන්න මිනිස්සු මැරුවද?" මෙම පුද්ගලයා ඝාතන මානසිකවයකින් පෙළෙන බව වටහා ගත් වෛද්‍යවරයා විමසුවේ බියෙනුයි..
"හපෝ නෑ.."
"මම කලිනුත් කිව්වනෙ මම නිදහස් සටනෙදි ඉංග්‍රීසින්ගෙ පැත්තෙ හිටියා කියලා..ඉතින් මගෙ වැඩ නිසා අහිංසක නිර්දෝෂී ගුණයහපත් මිනිස්සු ගොඩාක් මැරිල ගියා.ඉතින් මට ලොකු කාලෙකට මගෙ ආයුෂ වැඩි කරගන්න කාවවත් මරන්න ඕන උනේ නෑ.."
එය ඇසූ වෛද්‍යවරයා හට දැනුනේ විශාල සැනසීමකි.
" මීට අවුරුදු බර ගානකට කලින් සිද්ධවුන දේවල් කියල හිතින් මවාගත්ත දේවල් ගැන කියන්නෙ මිනිහ තාම ඝාතන මානසිකවයකට ඇවිත් නෑ." වෛද්‍යවරයා එසේ කල්පනා කලේය..
"ඉතින් ඉතින් , ඔහේට තියෙන ලෙඩෙත් ඔහේ දන්නව නම් , බෙහෙතත් ඔහේ දන්නව නම්. ඇයි ඔහේ මාව හම්බවෙන්න ආවෙ..?" මේ වන විට වෛද්‍යවරයා සතුව තිබූ කුතුහලය නිසා රෝගියා මානසික රෝගියෙක් බවද අමතක කරමින් වෛද්‍යවරයා නැවතත් ඔහු වෙත ප්‍රශ්නයක් යොමු කෙරුවේය..
"මට ආරංචි උනා ඔබතුමා ගිය සතියෙ ලෙඩ්ඩු වගේකට නොමිලේ ඇස් කණ්ණාඩි වගයක් බෙදල දුන්න කියල.."
"ආ.. ඒ කියන්නෙ ඔහේටත් ඇස් කණ්ණාඩියක් ඕනද? ඔහේව දැක්කම නම් පෙනීම වරදක් තියෙනව කියල පෙනුනෙම නෑ , තාම තරුණ වයසෙ කෙනෙක්නෙ.. මගෙ ලඟ නොමිලේ බෙදල දෙන්න තිබුන කණ්ණාඩි ටික නම් දැන් බෙදල ඉවරයි. ඒත් මට පුළුවන් වෙයි ඔහේටත් එකක් හොයල දෙන්න.. මට ඔහේගෙ නමයි , ගමයි ඇඩ්රස් එකයි දෙනවකො." වෛද්‍යවරයා රෝගියාගේ තොරතුරු ලබාගැනීමේ අරමුණින් කපටි ප්‍රශ්නයක් රෝගියා වෙත එල්ල කරමින් විමසීය..
"මගෙ නම තමයි අමල්ක හිමේෂාන් , මම පදිංචි වෙලා ඉන්නෙ හෝමාගම.. ඒත් ඩොක්ටර් මට ඇස් කණ්ණාඩි අවශ්‍ය නෑ.."
මෙය ඇසීමත් සමඟ වෛද්‍යවරයා පත්වූයේ තවත් පැටලිලි සහගත තත්වයකටයි.. නමුත් මානසික රෝගියෙකුගෙන් මීට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු විය නොහැකි බව ඔහු දැන සිටියේය. බොහෝදුරට තරුණයාගේ ඇත්ත නම මෙය විය හැකි බව වෛද්‍යවරයා තුළ විශ්වාසයක් විය. එම නිසා ඒ ගැන තහවුරු කර ගැනීම සදහා වෛද්‍යවරයා මෙසේ විමසීය..
"ඔහේ දැන් ටිකකට කලින් ඔහේගෙ නම පුංචප්පු කියල කිව්වා..දැන් කියනවා අමල්ක කියල.දැන් ටිකකට කලින් කිව්වා මාතර තමයි ගම කියල , දැන් කියනවා හෝමාගම තමයි ගම කියලා.. ඇත්තටම තමුසෙ කියන දේවල් තේරුම් ගන්න හරිම අමාරුයිනේ..."
"ඔය දෙකම හරි නම් තමයි මහත්තයෝ.. ඔබතුමා හිතුවද අවුරුදු 243 ක් ජීවත්වෙනකොට එකම නම දාගෙන එකම ගමේ ජීවත්වෙන්න තරම් මට පිස්සුවක් තියෙනව කියලා.ඒ විදිහට මම එකම නමකින් එකම තැන හිටිය නම් යකෙක් කියල හිතල මිනිස්සු මාව අල්ලගෙන ඇඟේ ගලක් ගැට ගහල ගඟට දායි , නැත්නම් මාව කට්ටිය අල්ලගෙන ගිහින් හිරකරල වද දීල පරීක්ෂණ කරයි."
"මම කාලෙන් කාලෙට මගේ නම් වෙනස් කලා , ගම් වෙනස් කලා. එහෙම තමයි මම මෙච්චර කාලයක් ආරක්ෂිත විදිහට ජීවත්වුනේ..මම කාටවත් මේව කියන්න නෙවෙයි හිතාගෙන හිටියෙ..."
"ඉතින් දැන් ඔහේ ඔය ඔක්කොම මට කිව්වනෙ? මාව එච්චර විශ්වාස ද?"
"මහත්තය නම් විශ්වාස තියන්න පුළුවන් මිනිහෙක් විත්තිය මම දන්නවා. ඒත් ඒක නෙවෙයි මම මහත්තයට ඇත්ත කියන්න හේතුව..අතන කවුලුවෙන් අපි දිහා බලන් ඉන්න නර්ස් නෝනා දවල් කෑමට යනකං මම මොනාහරි කිය කිය ඔබතුමා එක්ක ඉන්නත් එපැයි...ඔන්න දැනුයි ඒ නෝනා කෑමට ගියේ..එතකං තමයි මම ඔබතුමාට මගේ ජීවිත කතාව කිව්වෙ.."
"ඒ මොකටද තමුසෙ ඒ නර්ස් නෝනා යනකං ඉන්නෙ..?" වෛද්‍යවරයා විමසුවේ පුදුමයට පත්වයි..
මෙන්න මේකට..!
තම ඉණෙහි සඟවාගෙන සිටි කිණිස්ස එළියට ගත් රෝගියා වෛද්‍යවරයා වෙත ඉන් ප(හ)ර කිහිපයක් එල්ල කර ඔහුව ඝාතනය කලේය..
අනතුරුව ලේ වැකුණු කිණිස්ස තව සාක්කුවෙන් ගත් රෙදි කැබැල්ලකින් පිස දැමූ ඔහු එය නැවතත් තම ඉණෙහි සගවාගෙන වෛද්‍යවරයාගේ මළකඳ දෙස බැලුවේය...
"නොමිලේ ඇස් කණ්ණාඩි නොබෙදුව නම් , මම කියන දේ අහගෙන ඉන්නෙ නැතුව වෙන මිනිස්සු වගේ මාව මෙතනින් පන්නල දැම්ම නම්..., ඔබතුමා තාමත් ජීවතුන් අතර..,
අහිංසක නිර්දෝෂී ගුණයහපත් මිනිස්සු කියන්නෙම විහින් අමාරුවෙ වැටිල මැරෙන්නම ඉපදුණු කට්ටියක්..!!!මට දුක තියෙන්නෙ මේ රටේ එහෙම උන් බොහොම ටිකක් ඉන්න එක ගැන විතරයි.."
එසේ තමා හටම පවසාගත් රෝගියා ඔහු මානසික රෝගියෙක්ද එසේත් නැත්නම් සැබෑ ලෙසම වරමක් හිමි කර ගත් අයෙක්ද යන්න ගැන ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරමින් එම ස්ථානයෙන් පිටව ගියේය..
නිමි..
මානසික රෝගියෙක් පිටින් දාලා තමන්ට ඕන ටික කියන එකත් මානසික රෝගයක්ද?
ReplyDeleteඒක තීරණය වෙන්නෙ කියන දේ සහ කියන කෙනා අනුව
Deleteහුම්... මරු වරම 😏
ReplyDeleteමරු නේන්නං
Delete++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ReplyDeleteකාලෙකට පස්සෙ තරිඳුව බලන්න ආවා. හොද කතාවක් ඒක. දිගටම ලියමු ආයිත්. මම දුමී...
ReplyDeleteජයවේවා
අයියගෙ බ්ලොග් එකේ නම වෙනස් වෙලා නොවැ. මට ඒ නිසා එකපාරටම හොයාගන්නත් බැරිවුනා
Deleteදැන් දන්නවනේ. ඇවිත් යන්න ඒ පැත්තේ. ජයවේවා
Deleteඅදයි මේකට ගොඩ උනේ. මැද හරියට එනකොට අවසානය ගැන හිතාගන්න පුළුවන් උනත් හොඳ කතාවක්.
ReplyDeleteබොහොම ස්තූතියි ගොඩවැදිල යන්න ආවට..
Delete