Tuesday, January 31, 2023

බිලී පස්වන සහ අවසාන කොටස



උදේට පාඩම් කරන්නයි , හවසට පල්ලි යන්නයි.., ආච්චිගෙ නීති එක්ක ආච්චිට ඕන විදිහට ඉන්න එක මට මේ වෙනකොට  එපාවෙලයි  තියෙන්නෙ.  ලොකු ජෝර්ජ් සීයා ගැන හොයන එක පස්සට දාලා මුලින්ම ආච්චිව ම(ර)ල දාල ඉන්න  මම තීරණය කලේ අන්න ඒ නිසයි...
    එදා හරිම සීතල දවසක් , පල්ලි ගිහින් ආව ආච්චි ගෙදර සාලෙ මැද්දෙ තියෙන ලොකු ලී පුටුවෙන් වාඩිවෙලා රෙද්දකුත් පොරවගෙන ඇස් පියාගෙන ඉන්නව මම දැක්කා.ආච්චිට නින්ද ගිහින් වගේ.. සීයා ඒ වෙලාවෙ රොජර්ට කෑම දාන්න ගෙදරින් එළියට ගිහින්..මේක තමයි ආච්චිව ඉවර කරන්න හොඳම වෙලාව.. මම කුස්සියට ගිහින් එතන තිබුන මස් කපන ලොකුම ලොකු පිහිය අතට ගත්තා..
පස්සෙ මම හිමීට පිහියත් අරගෙන ආච්චි ලඟට ගිහින් ආච්චිට ඒකෙන් ගහන්න අත් දෙකෙන්ම පිහිය ඉස්සුවා...

ඒත් මට ඒක කරන්න බැරිවුනා . මට තේරෙන්නෙ නෑ ඇයි එහෙම උනේ කියල.. මම හිතන්නෙ ආච්චි මළ කරදරයක් උනත් එයා නැති වෙනවට මගෙ හිත  කැමති උනේ නෑ..

මම පිහියත් අරගෙන ආපහු කුස්සියට යන්න හැරුනා. එතකොට තමයි මම දැක්කෙ සීයා සද්ද නැතුව ඇවිත් මගෙ පිටිපස්සට වෙලා ඉන්න බව..

සීය මට සද්ද කරන්න එපා කියල හිමින් කියල මගෙ අතින් අල්ලගෙන ගෙදරින් එළියෙ තිබුන ලොකු ගබඩාවට එක්කගෙන ගියා. ඊට පස්සෙ එයා  එතන තිබුන පරණ පෙට්ටියක් උඩින් මාව වාඩි කරවලා මගෙන් මෙහෙම ඇහුවා..

ඔයාට ආච්චව ම(ර)න්න බැරිවුනා නේද?

ඔව් මට බැරිවුනා. මම සීයට ඇත්තම කිව්වා..

ඔයා ඒ ඇයි කියල දන්නවද? සීය මගෙන් ඇහුවා..

මම දන්නෙ නෑ..

ඒකට හේතුව තමයි අපේ හිත් හැඟීම් දැනීම් වලින් කොච්චර ඈත් උනත් ඒවා අපිට ආදරේ අය එක්ක බැඳිල තියෙන එක..,
මම හිතුව වැරදියි. ඔයා ලොකු ජෝර්ජ් සීයා වගේ කෙනෙක් නෙවෙයි. එහෙම කියපු මගෙ සීයා ආදරෙන් මගෙ ඔලුව අතගෑවා.., ඊලඟට එයා මගේ ලඟින් වාඩිවෙලා මගෙ අත්දෙක අල්ලගත්තා..

ඔයත් මම වගේ බිලී.. සීයා කිව්වා.  මම ඔයා වගේ...? මගෙ කොන්ඩෙ ඉදිලත් නෑ , කොන්ද නැමිලත් නෑ , ඉතින් මම කොහොමද සීය වගේ වෙන්නෙ..?
සීය කියන කතා මට තේරෙන්නෙ නෑ. මම කිව්වා..

අපේ පරම්පරාවෙ ගොඩක් අයට හැඟීම් දැනීම් කියන දේ බොහොම අඩුවෙන් තමයි පිහිටල තිබුනෙ.. ඔයාගෙ ලොකු ජෝර්ජ් සීයා , ඔයා දන්නෙවත් නැති උනාට ඉස්සර ඔයාට හිටපු ලොකු තාත්තා එහෙම කිසිම හැඟීමක් දැනීමක්  නැති තිරිසන්නු වගේ මිනිස්සු..එතකොට ඔයයි මමයි.. අපි දෙන්නට පොඩ්ඩක් හැඟීම් තියෙනවා...

එතකොට ඔයාගෙ තාත්තා...
ඔයාගෙ තාත්ත ⁣අපි වගේ නෙවෙයි  බිලී. එයා හැඟීම් , දැනීම් තියෙන හොඳ මනුස්සයෙක්.. එයා ඔය දේවල් ගැන දන්නෙවත් නෑ..
      
ඔයාට මේ කියන දේවල් තේරුම් ගන්න ඔයාට ගොඩක් කල් යයි බිලී. දැනට ඔයා මම මේ කියන එක හොඳට අහගන්නකෝ..
      ඔයා සීයට චුට්ටක් හරි ආදරෙයි නේද..? එහෙමනං ඔයා මට පොරොන්දුවක් වෙන්න ඕන. සීයා මගේ අත උඩින් එයාගෙ අත්දෙක තියාගෙන තද කරගෙන කිව්වා. ඔයා දන්නව නේද පොරොන්දු ගැන. ඒවා කවදාවත් බිඳල දාන්න හොඳ නැති දේවල්. ඔයා කාටහරි පොරොන්දුවක් වෙලා ඒක කැඩුවොත් ඔයාට අපායෙ යන්න වෙනවා..

සීය ඒක කිව්ව විදිහට  මට ගොඩක් බය හිතුනා.  මම පොරොන්දු ⁣වෙන්නම් මම හිමින් සීයට කිව්වා..

ඔයාට කොච්චර කේන්ති ගියත් , කවුරුහරි ඔයාට කොච්චර කරදර කලත් කවදාවත් ඔයා කාවවත් ම(ර)න්න යන්න එපා. ඔයා එහෙම කලොත් , ඔයාට ආයි කවදාවත් ඔයාගෙ අම්මවයි තාත්තවයි බලන්න වෙන එකක් නෑ. මිනිස්සු ඔයාව අල්ලගෙන ගිහින් කාවවත් හම්බවෙන්න බැරි තැනක හිරකරයි.ඊලඟට ඔයා මැරුනට පස්සෙ ඔයාට අපායටත් යන්න වෙයි.. සීය ඒ විදිහට බර කතාවක් මට කිව්වා..

මම ඔයාට පොරොන්දු වෙනව සීයේ.. මම ආයි කවදාවත් කාවවත් ම(ර)න්න යන්නෙ නෑ.. මම ⁣එහෙම කිව්වා........,,

***** ***   *****    ***   *********** ***

කෝ ඔන්න ඕක දෙන්න මට.. මම මේක ගබඩා කාමරේ ලාච්චුවෙනෙ දාල තිබ්බෙ..ඔයාට කොහොමද මේක හම්බවුනේ..? රැකියාව නිම වී නිවස වෙත පැමිණි බිලී ඇසුවේ පුදුමයට සහ බියට පත් ස්වරූපයකින්..

මට ඒක හම්බවුන විදිහ ඔයාට වැඩක්නෑනෙ.. ඔයා මට මේ පොතේ ඉතුරු ටික බලන්න දෙන්නෙ නැද්ද?  ඇඳ උඩට වී බිලීගේ දිනපොත කියවමින් සිටි ක්‍රිස්ටිනා එසේ විමසුවේ ඇය දිනපොතේ ඉතුරු කොටස් කියවීමටත් පෙර බිලී ඇයගෙන් දිනපොත උදුරා ගත් නිසායි..

මට ඒ දවස්වලත් ඔයා අමුතු මනුස්සයෙක් කියල හිතුන , එ්ත් මේ වගේ අමුතු විකාර දිනපොත් ලියන්න තරම් ඔයා පිස්සු විකාරකාරයෙක් කියල නම් මම හිතුවෙ නෑ.. ඇය පැවසුවේ සිනාසෙමින්..

ඔයා මම පොත කියවනවටනෙ කැමති නැත්තෙ.ඔයාම කියන්නකො ඒකෙ ඊලඟට මොකද උනේ කියල.., මම බිලී  ආයෙ කාවවත් ම(ර)න්නෙ නෑ කියල සීයට පොරොන්දු වෙන තැනට වෙනකං කියෙව්වා..

ම්ම්ම් ....  ටික දවසකට පස්සෙ අපරාධයක් කලා කියල ඔප්පු කරන්න සාක්ෂි නැතිවුන නිසා තාත්ත හිරෙන් නිදහස් වෙලා ආවා., අම්මත් සනීප වෙලා ගෙදර ආවා. ඊට පස්සෙ බිලී ආච්චිටයි සීයටයි සමුදීලා එයාලගෙ ගෙදර ගිහින් හොදට ⁣ඉගෙනගෙන දොස්තර කෙනෙක් වෙලා ඔයාවත් කසාඳ බැඳගෙන දරුවෙකුත් හදාගෙන සතුටින් ජීවත්වුනා..

එතකොට බිලී ආයෙ කාවවත් මැ(රු)වෙම නැද්ද? මම කියන්නෙ හිතාමතා නෙවෙයි..අත්වැරදීමකින්වත්..?

බිලී ඉක්මනින්ම ලොකු ළමයෙක් උනා. සමාජෙ ජීවත්වෙන හැටි එයා ඉක්මනින්ම තේරුම් ගත්තා...

පොඩි බිලි එහෙම උනාට ලොකු බිලී නම් අද එක්කෙනෙක්ව මරන්න ඉන්නෙ..

කාවද?

අනුන්ගෙ දිනපොත් හොරෙන් කියවන ඔයාව. බිලී සිනාසමින් පැවසුවා..

කොහෙන් එනවද මන්ද අනේ ඔයාට මේ විකාර අදහස්. ඔයාට ශල්‍ය වෛද්‍යවරයෙක් නොවී නවකතා රචකයෙක් උනා නම් මීට වඩා ජනප්‍රිය වෙන්නයි , සල්ලි හොයන්නයි තිබුනා. පොඩිකාලෙ මෙච්චර බොරු ගොතල නවකතාවක් වගේ දිනපොතක් ලිව්ව කියන්නෙ දැන් ඔයාට කොච්චර හොඳට පොත් ලියන්න පුළුවන් ඇතිද?

ඒ කියන්නෙ ඔයාගෙ සැමියා යුරෝපයේ ඉන්න දක්ෂතම ශල්‍ය වෛද්‍යවරයෙක් වෙලා ඉන්න එකත් ඔයාට  මදිද..? බිලී ඇසුවේ සිනාසෙමින්..

අනේ විහිලු නොකර ඉන්න බිලී . මට ඒ හොඳටෝම ඇති..

හැබැයි ඒක එහෙම වෙන්නෙ ඔයා මට මේ දිනපොතේ ඉතුරු ටික කියවන්න දුන්නොත් විතරයි..

බෑ බෑ , මට ඔයාට ඉතුරු ටික කියවන්න දෙන්න  නම් කොහොමත්ම බෑ. ඒක මගෙ රහසක්..බිලී සිනාසෙමින් පැවසුවා..
ඔයා ඔච්චරටම කියවන්න ආස නම් මම ඔයාට කියවන්න දෙන්නම් වෙන පොතක්..

මට මොන පොතක් බැලුවත් මේ පොත බලන එක තරම් සතුටක් ගන්න බැරිවෙයි. ක්‍රිස්ටිනා කි⁣ව්වෙ නෝක්කාඩු ස්වරයෙන්...

බිරිඳව කාමරයේ තබා පොතද රැගෙන ගබඩා කාමරය වෙත ගිය බිලී එහි තිබූ පැරණි මේසයේ ලාච්චුව විවර කර තම දිනපොත එහි තැම්පත් කලා..

අනතුරුව ක්‍රිස්ටිනා හට කියවීම සඳහා ලබා දීමට ඔහු එහි තිබූ තවත්  පොතක් ඉවතට ගත්තා.. එය දිනපොතක් නම් නෙවෙයි. කාලෙකට පෙර කිසියම් ප්‍රකාශන ආයතනයකින් පළ කළ මුද්‍රිත පොතක්..

පිස්සු ජෝර්ජ්..!!! යුරෝපය සසල කල ඝාතකයා පොතේ ඉදිරිපස රතු පැහැයෙන් එසේ මුද්‍රණය කර තිබූ අතර එම වචන වලට යටින් සුදු පැහැයෙන් මීට සියවසකට පමණ පෙර සිටි බිහිසුණු ඝාතකයෙකුගේ සත්‍ය කතාවක් යන්න සටහන් කර තිබුනා..

තරමක් වෙලා පොත දෙස බලා සිටි බිලී අනතුරුව තම අදහස වෙනස් කරගත්තා. එම පොතත් නැවතත් ලාච්චුවටම දමා ⁣ යතුරු කරකවා යතුර තම සාක්කුවට දමා ගත් ඔහු තම නිදන කාමරය වෙත ගොස් තම බිරිඳව ඇමතුවා..

ජොනතන් තාම නිදිද? එයාවත් ඇහැරවල ලෑස්ති කරගන්න. අපි අද රෑ කෑමකට එළියට යනවා.අපි ආපහු එනකොට මම ඔයාට කියවන්න නවකතා පොත් කඩයක්ම අරන් දෙන්නම්කො...

නිමි.

1 comment:

හොල්මන

තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...