Monday, November 26, 2018

සිද්ධාලේප ටැක්ටරය හදන හැටි සරලව ඡායාරූප හා වීඩියෝ


   අද මම ඔයාලට කියල දෙන්න  හදන්නෙ පොඩ්ඩන්ට සෙල්ලම් කරන්න ගෙදර තියෙන සරල දේවල් කිහිපයකින් හදාගන්න පුළුවන් සෙල්ලම් බඩුවක් වෙන සිද්ධාලේප ටැක්ටරේ හදන හැටි ගැන. මේ සෙල්ලම් බඩුවට ඒ අපූරු නම වැටෙන්න හේතුව තමයි මේක හදන්න හිස් සිද්ධාලේප කුප්පියක් යොදා ගැනීම. එහෙනම් කතා ඇති, අපි බලමුකො කොහොමද මේක හදන්නෙ කියල.

අවශ්‍ය ද්‍රව්‍යය

1.මැදින් සිදුරු කරන ලද හිස් සිද්ධාලේප කුප්පියක්

2.මැදින් සිදුරු කරල ලද කුඩා ඉටිපන්දම් කැබැල්ලක් (නූල ඉවත්කර එම සිදුර විශාල කරගන්න)

3.රබර්පටියක්

5.ඉරටු කැබැල්ලක්



සාදන ආකාරය

1.මුලින්ම රබර්පටිය අරගෙන ඒක සිද්ධාලේප කුප්පියෙ හදපු  සිදුර හරහා ඉවතට අරගන්න.


2. ඊට පස්සෙ සිද්ධාලේප කුප්පියේ මූඩිය පැත්තෙන් එළියට ගත්ත රබර්පටිය, සිදුරු කරගත්ත ඉටිපන්දම් කැබැල්ලෙ සිදුර හරහාත් යවල එළියට ගන්න.

3. ඊලඟට ඉරටු කෑල්ල අරගෙන එ්කෙන් පොඩි කෑල්ලක් කඩල , ඒක සිද්ධාලේප කුප්පිය පිටිපස්සෙ තියෙන රබර්පටියේ ඇතුලෙන්  යවල  රබර්පටිය එළියට එන එක වැළකෙන්න හිරකරගන්න.



4.දැන් ඉතුරු ඉරටු කෑල්ල අරගෙන ඉටිපන්දම් කැබැල්ලෙ සිදුරෙන් එළියට ආපු රබර්පටි කොටසෙ ඒක හොඳට පටලවා ගන්න.ඇදල ගැටයක් ගැහුවත් කමක්නෑ(ඉරටු කැබැල්ල ඉටිපන්දම් කොටසට හිරවන ආකාරයට)

5. දැන් සිද්ධාලේප ටැක්ටරය සූදානම්. මේක යවන්න ඔයාලට කරන්න තියෙන්නෙ , ඉරටු කෑල්ල සිද්ධාලේප කුප්පිය වටේට කරකවල හොඳට වයින් කරල බිමින් තියන එක විතරයි. ටැක්ටරේ නියමෙට යන්න පටන්ගනියි.

මේ වීඩියෝ එක බලන්න >>


මුලින්ම පැන පැන කඩාගෙන යයි. නමුත් මේක පදම් උනාට පස්සෙ කොච්චර වයින් කලත් එකම වේගයක් තමයි තියෙන්නෙ.. හරියට ගමන්කරන ටැක්ටරේ , සිද්ධාලේප කුප්පිය කැරකුනාට ඉටිපන්දම් කැබැල්ල කරකැවෙන්නෙ නැහැ, ඒක සිද්ධාලේප කුප්පියෙ මූඩියෙ දැවටෙමින් වේගය අඩාල කරනව..

* මේ සෙල්ලම් බඩුව හදන්න ඔයාල ගාව සිද්ධාලේප කුප්පි නැත්නම් ඔයාලට ඉවරවුන බයින්ඩර් ගම් බෝතල⁣යකින් උනත් මේක  හදාගන්න පුළුවන්.එ්කට හොඳ ප්‍රතිඵල ලබා ගන්න ලොකු ඉටිපන්දම් කැබැල්ලකුත් භාවිතා කරන්න ඕන.

ටැක්ටරේ උඩ අතට හරවල තිබ්බම , රවුම වටේට කැරකෙන ඉරටුව, ඔයාට සෙක්කුවකුත් සිහිපත් කරයි.

 මේ වීඩියෝ එක බලන්න >>



Thursday, November 22, 2018

ගණදෙවියන්ට අලි හිසක් ලැබීම ගැන කතා දෙකක්

 
    ගණ දෙවියන්ට අලියෙකුගෙ හිසක් ලැබීම කියන්නෙහින්දු දේව කතා වල එන තවත් අපූරු කතාවක්. මෙහිදී හින්දු භක්තිකයන් විශ්වාස කරන ප්‍රධාන කතාවයි , ඊට අමතරව මගේ සීය මට කුඩා කාලෙ කියල දීපු අපූරු කතාවකුයි කතා දෙකක් මම ඔයාලට අරගෙන ආව.අපි මුලින්ම හින්දු භක්තිකයන් විශ්වාස කරන ප්‍රධාන කතාව කියවල බලමුකො.
   ඔයාලට මතක ඇති මම පළවෙනි ලිපියෙන් ගණ දෙවියන්ගෙ උපත ගැන ඔයාලට කියල දුන්න. ඒක බලපු නැති කෙනෙක් ඉන්නව නම් මෙතනින් ගිහින් බලල එන්න >>ගණ දෙවිඳුන්ගේ උපත

   ඉතින් මේ කතාවෙ හැටියට ගණ දෙවියො කියන්නෙ හරිම ආඩම්බරකාර , අම්මගෙ කීම විතරක් අහන කොලු පැටියෙක්.
මෙයා උපදින දවස් වෙනකොට ශිව දෙවියන් කෛලාෂයෙ හිටියෙ නැහැ. එතුමා දීර්ඝ තපසක නිරතවෙලා තමයි හිටියෙ.
ඔන්න ඉතින් දෛවයේ හැටියට දවසක් ශිව දෙවියො තමන්ගෙ කටුක තපසින් අවධි වෙලා තමන්ගෙ නිවස උන කෛලාෂයට යන්න පිටත්උනා..
ශිව දෙවියො අවධිවෙලා කෛලාෂයට යන්න පිටත්උන බව දැනගත්ත දෙවිවරුත් පුළුවන් තරම් ඉක්මනින් කෛලාෂය යන්න පිටත්වුනා.ඒ ශිව දෙවියන්ව පිළිගන්න.
       මෙන්න මේ වැදගත් ආරංචිය ලැබෙන දවසෙ උදේ, සිද්ධිය ගැන කිසිම දෙයක් ආරංචි නොවුන පාර්වතී දේවිය වෙනද වගේම ඡල ස්නානයට යන්න පිටත්වුනා.
 ඇය ඡලය ස්නානය කරන වෙලාවට කවුරුවත් කෛලාෂයට එනවට ඇය කැමති උනේ නැහැ. ඒ නිසා ඇය ඇගේ පුතණුවන් උන ගණේෂට රාඡකාරියක් බාර දුන්න.ඒ තමයි ඇය ඡලය ස්නානය කරල අවසන් වෙලා එනකම් කිසිවෙකුටත් මාලිගයට එන්න නොදී ආරක්ෂා කරන එක.
   අම්මගෙ කීම එකහෙළාම පිළිගන්න ගණේෂ කෛලාෂයේ දොරටුව ලඟට වෙලා දොරටුව මුර කරන්න පටන්ගත්ත.මේ අවස්ථාවේදී තමයි ශිව දෙවියන් තපසෙන් අවධිවෙලා කියන ආරංචිය අරගෙන දෙවිවරු කෛලාෂයට ආවෙ.නමුත් කෛලාෂයෙ දොරටු පාලක උන ගණේෂ ඒ කිසිම කෙනෙක්ට ඇතුළට යන්න ඉඩ දුන්නෙ නැහැ. ඉඩනොදී හිටිය විතරක් නෙවෙයි, ගණේෂ එයාල කියන වචනයකවටත් ඇහුන්කන් දුන්නෙ නෑ.
⁣ගණේෂ කියන්⁣ෙන කවුද කියල හරියට නොදැන හිටපු දෙවිවරු අවසානයේ ගණේෂට පහර දීල කෛලාෂයට ඇතුල් වෙන්න තීරණය කලා. නමුත් ගණේෂ ඉතාමත් පහසුවෙන් ඔවුන්ව පරාඡය කරල සිරකරල දැම්ම.
   ඊලඟට ආවෙ ප්‍රධාන ශිව භක්තිකයෙක් වගේම ශිව දෙවියන්ගෙ වාහනය නන්දි ගවයා
. ගණේෂ ඔහුවත් ඉතාමත් පහසුවෙන් පරාඡය කරල දැම්ම.
කුඩා ළමයෙකුගෙ අතින් මේ උන පරාඡය නිසා සම්පූර්ණයෙන්ම අසරණ තත්වයට පත්උන දෙවිවරු ත්‍රිමුර්තියෙන් උදව් ඉල්ලන්න තීරණය කලා.(ත්‍රිමූර්තිය කිව්වෙ විශ්ණු , බ්‍රහ්ම හා ශිව කියන ප්‍රධාන දෙවිවරු තිදෙනා)
     විෂ්ණු සහ බ්‍රහ්ම දෙවිවරු ගණේෂගෙ උපත ගැන හැමදේම දන්නව. ඔවුන් ඇවිත්  ගණේෂට මේ වෙන සිදුවීම පහදා දෙන්න උත්සාහ කලා. නමුත් ගණේෂ ඒ වෙනකොට හිටියෙ කිසිවෙක්ට සවන් නොදෙන තත්වයක. ඔහු විෂ්ණු දේවයන්ට සහ බ්‍රහ්ම දේවයන්ටත් පහර එල්ලකලා.
    මෙන්න මේ අවස්ථාවේදී තමයි ශිව දෙවියන් කෛලාෂයට පැමිණියෙ. ඔහු සම්පූර්ණ සිද්ධියම දැක්ක.
තමන්ගෙම පුත්‍රයා උනත් කිසිවෙක්ට ඇහුම්කන් නොදී ඔහු මේ කරන පහරදීම් දැකල ශිව දෙවියන්ගෙ කෝපයත් ඉහළ ගියා. ශිව දෙවියන්ව දැකපු ගණේෂ තවත් ආගන්තුකයෙක් කියල හිතල ශිව දෙවියන්ට පහර දෙන්න උත්සාහ කලා.ඒකෙන් තවත් කෝපයට පත් උන ශිව දෙවියො එයාගෙ ත්‍රිශූලය අරගෙන ගණේෂට පහරක් එල්ල කලා. එයින් ගණේෂගෙ හිස කඳින් වෙන් වෙලා අලු බවට පත් උනා.

(ශිව දෙවියන්ගෙ මේ හදිසි කෝපය සහ තමන්ගෙ පුත්‍රයට පහර දීම පිටුපස තවත් කතාවක් තියෙනව. කාලෙකට ඉහතදි තමන්ගෙ බලයෙන් උඩඟු බවට පත් උන සූර්ය දෙවියන් තමන්ගෙ රාඡකාරි කිසිවක් ඉටු නොකර ලෝකයට පීඩා කරන්න පටන්ගත්ත.මේක දැකපු ශිව දෙවියො ඔහුට සත්‍ය තේරුම් කරල දෙන්න ඔහු ලඟට ගියා. නමුත් උඬගු බවින් හිටපු සූර්ය දෙවියො ශිව දෙවියන්ට පහර දුන්න. මෙයින් කෝපයට පත් උන ශිව දෙවියනුත් ඔහුට සිහි නැති වෙන්න පහරක් එල්ල කලා. සිහි නැති උන සූර්ය දෙවියන්ව දැකපු ඔහුගේ පියා කාශ්‍යප ඝෘෂි තුමා  හිතුව ශිව දෙවියන් තමන්ගෙ පුතාව මරල දැම්ම කියලයි. ඔහු ශිව දෙවියන්ට ශාප කලා කවදහරි දවසක තමන්ගෙ අධික කෝපයෙන් තමන්ගෙම පුතාව මරන තත්වයකට ශිව දෙවියො පත් වේවා කියල. පස්සෙ පුතාට සිහි නැතිවුනා විතරයි කියල ඝෘෂි තුමා දැනගත්තත්, එතුමා කරපු ශාපය නැවත ගන්න ක්‍රමයක් තිබුනෙ නෑ. ඒ ශාපය තමයි මේ අවස්ථාවෙදි ශිව දෙවියන්ට බලපෑව කියල කියවෙන්නෙ)

 මේ අවස්ථාවේදී තමයි පාර්වතී මෑනියො ඡල ස්නානය අවසන් කරල  කෛලාෂයෙ දොරටුව දිහාවට එන්නෙ.
තමන්ගෙ පුත්‍රයාට මේ උන විපත දැකල ඇය ඉතාමත් දුකට පත් උනා.
මවගේ කීම අහපු දරුවෙක්ට මේ කරපු දේ ඉතාමත් අයුක්ති සහගත බව ඇය පැවසුවා.
අවසානයේ ශිව දෙවියන්ටත් ඇගේ කීම පිළිගන්න සිද්ධවුනා.
 නමුත් ගණේෂට පණ ⁣ෙදන එක ඔහුව විනාශ කරපු තරම්  ්සරල දෙයක් උනේ නෑ.ශිව දෙවියන්ගෙ ත්‍රිශූලයෙන් විනාශ උන යමක් නැවත ගොඩනගන එක ශිව දෙවියන්ටවත් කරන්න පුළුවන් කමක් තිබුනෙ නැහැ. ඒකෙ තේරුම උනේ ගණේෂගෙ අලු බවට පත් උන හිස කවදාවත් තිබුන විදියට නැවත හදන්න බෑ කියන එක.
නමුත් පුත්‍රයාට ප්‍රාණය දීම අත්‍යවශ්‍ය දෙයක් නිසා ශිව දෙවියො දේවි වරුන්ට කිව්ව හිරු නැ⁣ෙගන දිශාවට ගිහින් මුලින්ම හම්බවෙන කෙනාගෙ හිස හෝරාවක් අැතුලත අරගෙන එන්න කියල.
මොවුන් හිසක් සොයාගෙන බොහෝ වෙලා ගියත් කිසිවෙක්ව හමු උනේ නෑ.හෝරාව අවසන් වෙන්න කිට්ටු වෙලාවෙදි ඔවුන්ට  මිය යෑමට ආසන්න අලුත උපන් ඇත් පැටවෙක්ව හමු උනා.ශිව දෙවියන්ගෙ වචනය මතක්කරගත්ත ඔවුන් ඇත් පැටියගෙ හිස අරගෙන ආපසු ආව..
ශිව දෙවියො තමන්ගෙ බලය භාවිතා කරල ගණේෂගේ හිස සුන් සිරුරට අලි හිස සවි කරල ඡීවය ලබා දුන්න.
අලි හිස සවි කිරීමෙන් පස්සෙ ඡීවය ලැබුණු ගණේෂ පෙර සිටිය කෙනාටත් වඩා බුද්ධිමත් උන බව තමයි සැලකෙන්නෙ.

       දැන් අපි යමු මට අපේ සීය කියල දීපු දෙවනි කතාවට.මේ කතාව පළවෙනි කතාවට වඩා ගොඩක් වෙනස් මුරුගන් හෙවත් කතරගම දෙවියනුත් ලංකාවත් සම්බන්ධ වෙනස්ම විදිහෙ ලස්සන කතාවක්.

    මේ කතාන්දරයෙ හැටියට තාරක අසුරයව මරා දැමීමෙන් පස්සෙ ලංකාවට එන මුරුගන් හෙවත් කතරගම දෙවිඳුන්ට ආරංචියක් ලැබෙනව , ලංකාවෙ ඈත වනාන්තරයක වැද්දන් සමඟ දිවි ගෙවන දිව්‍යාංගනාවක් වගේ ලස්සන වල්ලි කියන වැදි තරුණියක් ගැන.
මේ ලස්සන තරුණිය ගැන ආරංචි උන මුරුගන් තීරණය කලා මේ සුන්දර වැදි තරුණියව තමන්ගේ බිරිඳ කරගන්න. ඉතින් මුරුගන් තීරණය කලා ඈත වනාන්තරයට ගිහින් ඇයව මුණ ගැසිල ආදරය දිනාගන්න. මුරුගන් දෙවියෙක් උනත් කලු වර්ණයෙන් යුත් දමිල තරුණයෙක්ගෙ පෙනුමට තමයි හිටියෙ. ඉතින් ඉතාමත් රූමත් කාන්තාවක් උන වල්ලි මොහුව දැකපු ගමන් බයේ පැනල ගියා.
මේ සිද්ධිය නිසා හිත අවුල්ගිය මුරුගන්, තමන්ගෙ ආදර ප්‍රශ්නයට මල්ලිගෙන් එහෙමත් නැත්නම් ගණේෂගෙන් උපදෙස් ගන්න කියල කෛලාෂයට ගියා..
සිද්ධිය හොඳට අහ⁣ගෙන හිටපු ගණේෂ තමන්ගෙ බුද්ධිය පාවිච්චි කරල සැලැස්මක් හැදුව..
මෙහෙමයි සැලැස්ම.

ගණේෂ ඉතාමත් දරුණු ඇතෙක්ගෙ රූපයක් දරාගෙන කැලේ තනියෙම ඉන්න වල්ලි ඉදිරියට එනව. ඇය ඇතාට බයවෙලා දුවන අවස්ථාවේදී මුරුගන් ඉදිරිපත් වෙලා ඇයව ඇතාගෙන් බේරගන්නව.

    ගණේෂ ස්වරූපය වෙනස් කරගත්තට ඔහුට සැබෑ ස්වරූපය ගන්න නම් ඔහුට මතුරපු ඡලය ඉහින්න අවශ්‍ය උනා. ඊට අමතරව ගණේෂ හෝරාවකට වඩා ඇත් ස්වරූපයෙන් හිටියොත් ඒක ස්ථීර තත්වයට හැරෙනව. එහෙම උනොත් ආයෙ ගණේෂට මනුෂ්‍ය ස්වරූපයක් ගන්නත් බැහැ.
ඉතින් වැඩේ පටන්ගන්න කලින්ම ගණේෂ ඔය කතාව මුරුගන්ට කියල. මතුරපු වතුර මුට්ටිය මුරුගන්ට දුන්න. ඒ නිසි වෙලාවට ඇවිත් තමන්ට වතුර ඉහළ සැබෑ ස්වරූපය අරගෙන දෙන්න කියල පොරෙ⁣ාන්දුවකුත් අරගෙන..

   දැන් දෙන්න ලංකාවෙ තිබුන  වනාන්තරයට ඇවිත් කතාකරගත්ත විදියට සැළසුම දියත් කලා.
දරුණු ඇතාව දැකල බයවුන වල්ලි දුවගෙන ගිහින් කවුරුත් බලාපොරොත්තු නොවුන විදියට මුරුගන්ට තුරුලු උනා. මේ උන සිද්ධියෙන් අන්දමන්ද උන මුරුගන් වතුර මුට්ටිය පැත්තට දාල ප්‍රේමයෙන් මුසපත් වෙලා ඇයත් එක්ක වනයේ අැවිදින්න ගියා...ලු

   අයිය එනකම් බලාගෙන හිටපු ගණේෂ , දැන්  වෙලාවත් පහුවීගෙන එන බව දැකල කලබල වෙලා හයියෙන් කුඥ්චනාද කලා.. අන්න ඒ සද්දෙ ඇහුනට පස්සෙ තමයි මුරුගන්ට ආපහු සහෝදරය ගැන මතක්උනෙ. ඔහු මතුරපු ඡලය තියපු මුට්ටිය හෙව්ව හෙව්ව ඔහුට ඒක හොයාගන්න බැහැ. අන්තිමේදි මුලු කැලෑවම පීරල ඔහු ඒක හොයාගත්ත..
   ඔහු ගණේෂ ගාවට දුවගෙන එනකොටත් ගණේෂ කියපු කාලය අවසන් වීගෙන යමිනුයි තිබ්බෙ..මුරුගන් හැකිතාක් වේගයෙන් ගණේෂට වතුර විසි කලා. ඒ සමඟම කාලයත් ගෙවිල ගියා..
 අවාසනාවට මුරුගන් ඡලය ඉසින කොටම කාලයත් ගෙවිල යන්න පටන් අරගෙන ඉවරයි..
 මුලින්ම ඡල පහර වැදුන ගනේෂගෙ ශරීරය නැවතත් මුලින් තිබුන තත්වයට ආවත්, ගණේෂගෙ හිසට ඡලය වැටුනෙ පරක්කු වෙලා. එතකොට හෝරාව ගෙවිල ඉවරයි.

   ඉතින් අහිංසක තරුණියක් බියපත් කරල සහෝදරයට උදව් කරන්න ගිය ගණේෂට සිද්ධ උනේ අලි හිසක් සහ මනුෂ්‍ය ශරීරයක් ඇතිව සදහටම දිවි ගෙවන්න.

කොහොම උනත් ගණේෂගෙ සැලැස්ම නම් වැඩකලා.. වැඩි කාලයක් යන්න කලින් මුරුගන් වල්ලි සමඟ විවාහ උනා.. කතරගම දෙවියන් සහ වල්ලි අම්මා මෑණියන් අදටත් ලංකාවෙ ප්‍රසිද්ධ දේව යුවලක්.

Wednesday, November 7, 2018

ගණදෙවියන්ගේ උපත

 ගණේෂ් / විනායගර් / පුල්ලෙයාර් එහෙමත් නැත්නම් ගණ දෙවියො කියල කියන්නෙ ශිව දෙවියන්ගෙ එහෙමත් නැත්නම් ඊශ්වර දෙවියන්ගෙ සහ පාර්වතී මාතාවගෙ බාල පුතාටයි. ඔවුන්ගෙ වැඩිමහල් පුතා තමයි කාර්තිකේයන් හෙවත් කතරගම දෙවියන්..
   බාල පුතා උනාට ගණ දෙවියන් නුවණට අධිපති කියල තමයි කියන්නෙ.මෙයාගෙ මේ අසීමිත නුවණ නිසාම මෙයා හින්දු දේව මණ්ඩලේ ප්‍රධාන දෙවියන් කියන තනතුර ලබාගෙන තියෙනව. ඒ නිසා හින්දු භක්තිකයන් මොන සුබ වැඩේ පටන්ගත්තත් ගණේෂට පූඡාවක් තියලයි වැඩ ආරම්භ කරන්න ඕන.
     ගණ දෙවියො මෙච්චර බුද්ධිමතෙක් වෙන්න හේතුව තමයි ඔහුට මනුෂ්‍ය හිසක් වෙනුවට අලියෙකුගෙ හිසක් පිහිටා තිබීම කියල කට්ටිය කිව්වට ඒක එක්තරා කතා ගොඩකින් එක කතාවක් විතරයි
ගනේෂට මේ අලි හිස ලැබීම ගැන කතන්දර කිහිපයක්ම තියෙනව. අපි ඉදිරියෙදි ඒ ගැනත් බලමුකො.
ශිව දෙවියන්ගෙ පළමු බිරිඳ උනේ ආදි ශක්ති මාතාවගේ පළමු මනුෂ්‍ය උපත උන සතී දේවියයි.
නමුත් සති දේවියගෙ පියා උන බ්‍රහ්ම පුත්‍ර මහා ප්‍රඡාපතී දක්ෂිණන්ගෙ ක්‍රියාකලාපය නිසා සති සහ ශිව අතර රංඩුවක් ඇති වෙලා සති දේවිය පියා ලඟට ගියා. අනතුරුව පියා ඇයට කරන අපහාස නිසා ඒව ඉවසගන්න බැරුව ඇය සියදිවි නසාගත්ත.
සති කියන මනුෂ්‍ය ශරීරයෙන් මිය ගිය ආදි ශක්ති මාතාව කාලයක් ගිහින් පාර්වතී කියන නමින් නැවත මනුෂ්‍ය උප්පත්තියක් ලැබුව.ඒ නැවත ශිව දෙවියන්ව ලබාගන්න කියල හිතාගෙන.වෙන් වෙලා හිටපු ශිව දෙවියන්ව සහ පාර්වතී දේවියව එකතු කරන්න වැදගත් කාර්යභාරයක් කරපු කෙනෙක් තමයි අනංග දේවය හෙවත් අනංගයා. වසර ගානක් දෑස් පියාගෙන භාවනාවක අතරමන් වෙලා හිටපු ශිව දෙවියන්ව අවධිකරල පාර්වතී දේවිය ගැන ආදරයක් පහළ කරන්න කියල හිතාගෙන අනංගය ශිව දෙවියන්ට මල් දුන්නෙන් විදිනව ,(ඒ හීය වදින කෙනා ප්‍රේමයෙන් අන්ධ වෙන බව තමයි කියවෙන්නෙ) එ් හී පහර නිසා යෝග භාවනාවෙන් අවධි වෙලා කෝපයට පත් වන ශිව දෙවියන්  එතුමගෙ තෙවනි ඇස විවෘත කරල අනංගයා හෙවත් මල්සරාව දවා අලු කරල දානව.
 (තෙවනි ඇස කියන්නෙ ශිව දෙවියන්ට පමණක් තිබෙන විශේෂ ශක්තියක්. නළල මැද තිබෙන තුන්වෙන් ඇසක් විවෘත කිරීම මගින් අති බලවත්  ගින්නක් පිට කිරීම තමයි එහිදී වෙන්නෙ, ශිව දෙවියන් අධික කෝපයට පත් වුන අවස්ථා වලදි විතරක් මෙම ඇස විවෘත වෙනව.මේ තෙවනි ඇසෙන් එන ගින්න කොපමණ බලවත්ද කියනව නම් මේකට අහුවෙන මනුෂ්‍ය / අසුර / දේව යන කිසිම කෙනෙක්ට මේකෙ ප්‍රහාරයකින් දිවි බේරගන්න බැහැ. ඔවුන් ඕනම කෙනෙක් දැවිල අලු බවට පත් වෙනව)

තමන්ගෙ සැමිය නැතිවුන එම අවස්ථාවේදී දුකටත් කෝපයට පත් උන අනංගයගෙ බිරිඳ හෙවත් රති දේවිය පාර්වතී දේවියට ශාපයක් කලා කවදාවත් පාර්වතී දේවියගෙ ගර්භයෙන් දරුවෙක් බිහි නොවේවා කියල. මේ නිසා පාර්වතී දේවිය හා ශිව දෙවියන් දරුවන් නැතුව බොහෝ කාලයක් හි⁣ටිය.
  පසුව විශ්වයේ පවතින ගැටලු ගැන හිතල පාර්වතී හා ශිව දරුවෙක් හදන්න තීරණය කලා. රති දේවියගෙ ශාපය නිසා කුසින් දරුවෙක් නොලැබෙන නිසා ඔවුන් දෙදෙනා භාවනා කරල යෝගී බලයෙන් ඔවුන් පළමු දරුවා වන කාර්තිකේයන්ව මැවීම සිදුකලා.
    කාර්තිකේයන්ගෙ උපතින් කාලයකට පස්සෙ ඔහු දේව සභාවෙ සේනාපති තනතුර ලබාගෙන අසුරයන්ගෙන් ලෝකය ආරක්ෂා කිරීමට පිටත්වෙලා යනව.
ඊට ටික කාලයකට පස්සෙ ශිව දෙවියොත් තමන්ගෙ තපස නැවතත් ආරම්භ කිරීමට පිටත්වෙන්න තීරණය කරනව. නමුත් මනුෂ්‍ය කාන්තාවක් උන පාර්වතී දේවියට ශිව දෙවිඳුන් වගේ දීර්ඝ තපස් රකින්න ආසාවක් නැහැ. (පාර්වතී දේවිය කියන්නෙ ආදි ශක්තිගෙ මනුෂ්‍ය ස්වරූපයකට, මේ ආදිශක්ති කියන්නෙ පුරාණ විශ්ව බලයක මනුෂ්‍ය ඉපදීමක්. ඒ බලය මනුෂ්‍ය ස්වරූපයෙන් ඉපදුන නිසා එය තුළ තවමත් මනුෂ්‍ය ගති තියෙනව කියල කියවෙනව.මනුෂ්‍යයෙක් උනත් පාර්වතී උත්සාහය අත් නොහැර කටුක තපස් රැකල ශිව දෙවිඳුන්ව තමන්ගෙ සැමිය බවට පත් කරගෙන දේවත්වයට පත්වෙනව. නමුත් ඇය දේවත්වයට පත් උනත් ඇය තුළ තිබෙන මනුෂ්‍ය ගතිගුණ පහවෙලා යන්නෙ නැහැ)
ඉතිං සැමියයි පුත්‍රයයි පිටත්වෙලා ගියාට පස්සෙ පාලුවෙන් තනියෙම ඉන්න පාර්වතී දේවිය තීරණය කරනව තවත් පුතෙක්ට ඡන්මය ලබා දෙන්න. ඒ ඇගේ තනිකම සහ පාලුව මකා ගැනීමටයි.
නමුත් ඇය මැවීම් ගැන හරියට දන්නෙ නැහැ. ශිව දෙවියන් නැති නිසා දරුවෙක්ව ලබාගන්න ක්‍රමයක් නැති බව කල්පනා කරන පාර්වතී දේවිය ඉතාමත් පාලුවෙන් කල් ගෙවනව , දිනක් ඇය ස්නානය කරන ගමන් ඇයගේ ඇගේ ගාපු කහ ස්වල්පයක්(ඇතැම් අය මෙය කුණු කියලත් අර්ථ දක්වනව) අරගෙන තමන්ගෙ හිතේ ඇඳිල ඉන්න දරුවාව එයින් අඹනව..
ඒ අතරම ඇය පාර්ථනය කරනව මේ දරුවා,

විෂ්ණු තරමටම රූමත්,
මහා බ්‍රහ්මය තරමටම බුද්ධිමත්,
ඊශ්වර නැත්නම් ශිව වගේම බලවත්

සැබෑ දරුවෙක් වේවා කියල.

ඉන් අනතුරුව ඇය ස්නානය කරල ඉවරවෙලා ඇවිත් පසෙකින් තබපු කහ රූපය දිහා බලනකොට එය සැබෑ බවට පත් වෙලා තියෙනව.
   ඒ වගේම ඒ දරුව අැය බලාපොරොත්තු උන සියලුම දේවල් වලින් සමන්විත වෙලා සිටිය කියල තමයි කියවෙන්නෙ..
   විශ්ණු වගේම රූමත් උන, බ්‍රහ්ම තරමටම බුද්ධිමත් උන මේ දරුව කවදාවත් තමන්ගෙ මවගෙ කීමට පිටින් කිසිම දෙයක් නොකරන අයෙක්. ඔහුගේ දිවියෙ අරමුණ වෙන්නෙ මෑණියන්ගෙ නියෝග වලට කීකරු වීම පමණමයි.මොහු වැනි බලවත් ශක්තිමත් බුද්ධිමත් දේව දරුවෙක් කිසි කලෙක බිහි වෙලා තිබුනෙ නැහැ. ඉතින් මොහු කාර්තිකේයන් වගේ මෑනියන්ගෙන් දුරස් නොවී මෑනියන් අසලටම වෙලා කාලය ගත කර කර හිටිය.

දෙවනි ලිපිය
(ගණ දෙවිඳුන්ට අලියෙකුගේ හිසක් ලැබීමේ පුවත බලාපොරොත්තු වන්න)

Monday, September 24, 2018

පේන කාරිය හා අත්භූත ආගන්තුකයා (ඉතිහාසයේ අතුරු කතාවක්)

1899 අවුරුද්ද අවසන් භාගයේ දිනයකි.
ඉතාමත් රූමත් කාන්තාවක් වූ ඡෙනිෆර් මෙනවිය පේන කියන්නියක ලෙස තම රට තුළ ඉමහත් ප්‍රසිද්ධියට පත්ව සිටියාය. ඕනෑම පුද්ගලයෙකුගේ මුහුණ දෙස බලා ඔහුගේ සමස්ථ අනාගතයම දැකීමට ඇයට තිබුනේ අසීමිත හැකියාවකි.දිනක් අැය තම ව්‍යාපාරික කටයුත්තක් සඳහා යන අතරතුර රාත්‍රිය ගත කිරීම සඳහා වුල්ෆ්ස්බර්ග් නගරයේ එක්තරා ලැගුම්හළක නතර වූවාය.
  රාත්‍රී ආහාරය නිම වීමෙන් පසු ඡෙනිෆර් මෙනවිය ඇගේ සහයකයා වූ , මයිකල් සමඟ එහි තිබූ බොඡුන්හලේ කෙළවරක පිහිටි ආසනයක වාඩි වී දවසේ තොරතුරු පිළිබඳව කතා බහ කළාය.
ඒ අතරතුර ඔවුන් අසලට පැමිණියේ ළැගුම්හලේ නතර වී සිටි තවත් අමුත්තෙකි. වයස විස්සක් පමණ වූ හේ තරුණ මහතෙකි.

" මහත්මිය,
ඔබතුමිය නේද ලෝකප්‍රසිද්ධ පේන කියන්නිය,"

"ලෝක ප්‍රසිද්ධද කියල නම් මම දන්නැ , මම පේන කියන්නියක් නම් තමයි."
ඇය සිනාසෙමින් පැවසුවාය.

"ඔබව හඳුනාගැනීම සතුටක් මහත්මිය."
"මමත් මෙතනින් අසුන් ගන්නද?"

"හොඳයි."

ඉන් අනතුරුව තිදෙනා අතර ඇති වූයේ ඉතා මිත්‍රශීලී සංවාදයකි. එයට රට තොට පුවත් හා විනෝදකාමී තොරතුරු ඇතුළත් විය.
ඔබතුමියගෙ පේන කීමේ හැකියාව ඔච්චරටම ප්‍රසිද්ධ වෙලා තියෙන එකේ, ඔබතුමියගෙ හැකියාවෙන් ටිකක් මටත් පෙන්නන්නකො.තරුණයා ඡෙනිෆර් මහත්මියට ඇරයුම් කලේය.
ඔහු දෙස බලා සිනාසුන ඇය තම තීක්ෂණ දෑසින් ඔහු දෙස බැලීය.

"ඔයා තාම අවිවාහකයි. හරිද?"

ඕක කියන්නනම් විශේෂ හැකියාවක් අවශ්‍ය වෙන්නෙ නෑ. ඔහු සිනාසෙමින් පැවසීය.

"හොඳයි හොඳයි.."

ඔයාට දැන් වයස විස්සයි.
ඔයා තව අවුරුදු කිහිපයකින් පාසල් ගුරුවරයෙක් විදිහට පත්වීමක් ලැබෙනව ඊලඟට ඔයා විවාහ වෙන්නෙ රෙදි මහන රැකියාවක් කරන කාන්තාවක් සමඟ.
ඔයාලට දරුවො තුන් දෙනෙක් ලැබෙනව.තුන් දෙනාම කෙල්ලො,
ලොකු කෙල්ලට ඔයා දාන නම තමයි ලීස් , බාලම කෙනා මාග්‍රට්. එතකොට දෙවනිය, වැදගත්ම කෙනා..,

"හපොයි දෙවියනේ!!!"

ඡෙනිෆර් මෙනවිය දෑස් විසල් කරමින් භෝඡනාගාරයේ එක් කෙළවරක් දෙස බලා සිටිනු මයිකල් සහ අමුත්තා දුටුවෝය.
එම ස්ථානයේ වූයේ වසර දහයක් වූ කොලු ගැටයෙකි.
එයා . එයා . එයා තමයි මුලු ලෝකෙම වෙනස්කරන්නෙ..,එයා ඉදලත් බෑ, නැතුවත් බෑ.. ඇය තනිවම කියවන්නට විය.
කවුද ඒ පොඩි එකා,අමුත්තා ඇසීය.
එයා විනාශකාරයෙක්,
ලෝකෙම විනාශ කරන කෙනෙක්,
නමුත් දෛවයෙ හැටියට එයා ඒක කළ යුතුම දෙයක්.නොකලොත් ලෝකෙ ඊටත් වඩා විනාශයක් වෙලා තමයි නතර වෙන්නෙ. දවසක ලෝකයට සාමය, සමඟිය අවශ්‍ය බව මතක්කරල දෙන්නෙ මෙයා තමා.
සිනාසෙමින් භෝඡනාගාරය වෙත දිව ගිය කොලුවා, ඉන් පසු ඔවුන් දෙසද බලා එම ස්ථානයෙන් පිටත්වී ගියේය
ඇය එක්වරම දෑස් දල්වා ලඟ සිටි තරුණයා දෙස බැලීය.. දෛවය පුදුමාකාරයි, නමුත් මම මේක ඔබට කියන්නම ඕන , ඔය දැන්  මෙතන හිටපු කොලුව ඔහු දවසක මේ රටේ ඉහළම පුරවැසියෙක් වෙනව. ඒ වගේම ඔහුම තමයි ඔබේ දෙවනි දුවගෙ ස්වාමිය වෙන්නෙත්.
"⁣ෙමාකක්"
"ඔව් ඒක එහෙම තමයි දෛවයෙ ලියවිලා තියෙන්නෙ.."
මහත්මිය , තරුණයා ඇය දෙස බැලුවෙ කෝපයෙන් රතු කරගත් මුහුණෙන් යුතුව ඇය ඇමතීය.
මම කවදාවත් හිතුවෙ නෑ ඔබතුමී මෙහෙම විකාර කතා කියල මිනිස්සුන්ගෙ සල්ලි ගරාගන්න පහත් කාන්තාවක් කියල. ඔබතුමී එක්ක මේ කතා කරපු ටික කාලය මට හොඳ විනෝද දායක අත්දැකීමක් උනා, හැබැයි මගෙ අනාගතය කිව්ව එකට මම ඔබට එක යූරෝවක්  ගෙවන්නෑ. එහෙනං මම දැන් යනව. ඔබට සුභ රාත්‍රියක්.
ඡෙනිෆර් මහත්මිය මහත් දුකකින් යුතුව ඇයගේ කාමරයට පිය නැගුවාය. පසුදා උදෑසන හෝටලයෙන් නික්ම යාමට පෙර ඇය පෙරදා රාත්‍රියේ හමුවූ තරුණයා ගැන සොයා බැලුවාය..
මිස්ටර් බ්‍රවුන් ගැනද ඔබතුමිය අහන්නෙ. එතුම අද  උදේ පාන්දරම පිටත් උනානෙ..
කවුන්ටරයේ සිටි යුවතිය පිළිතුරු දුන්නාය.
"මැඩම්, ඔබතුමී ඔච්චරටම ඔය මනුස්සය ගැන හොයන්නෙ මොකටද?"
ඒ මනුස්සය ඔබතුමීට කලෙ සුලුපටු අපහාසයක් නෙවෙයි. මයිකල් පැවසීය..
මට දුක වැදගත්ම දේ එ් මනුස්සයට කියා ගන්න බැරි උන එක ගැන..
"ඒ මොකක්ද?"
"එයාට ලැබෙන දෙවනි දුවගෙ නම" යැයි පැවසූ ඡෙනිෆර් මහත්මිය , ඊවා යනුවෙන් තොල් මතුරමින්  ශෝකයෙන් යුතුව නැවතත් තම ගමන යාමට පිටත්වූවාය.

කතාව කියවල ඉවරද , දැන් හොඳට කල්පනා කරල බලන්න, ඉතිහාසය තුළ ඊව කියල කෙනෙක් ගැන අහල තියෙනව ද කියල.
මතක් උනාද?
තාමත් නැද්ද?
එයාගෙ ⁣පෙම්වතා?
හොඳට හිතන්න...
මගේ මතය තමයි ඊවගෙ පෙම්වතා, එහෙමත් නැත්නම් සැමිය, ලෝකයට කරපු විනාශය ලෝකෙ වෙන කවුරුවත් කරපු විනාශයන්ට සම කරන්න බැහැ.ඒක ඒ තරමටම දරුණුයි නමුත් ඔහු ඒක නොකළනම්, සිද්ධිය තව කල් ඇදිල ගිහින් ඊටත් වඩා භයානක විදිහට සිදු වෙන්න ඉඩ තිබුන.
දැන් ඉතිහාසය ගත වෙලා අහවර වෙලා.ඒත් ඉතිහාසයෙ මතක සටහන් අහුලන එක නං කවදාවත් අහවර වෙන් නැති දෙයක්.

Friday, August 3, 2018

රිලා මොටාලාගේ දස්කම් විස්කම් ගොංකම් හා ශෝකාන්ත

මේ කතාව ටිකක් විතර යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ එකක් , මම හිතලම තමා එහෙම ලිව්වෙ. මොකද මෙතන සිද්ධවුන කතන්දරේ , ඔලුවට පොල්ලෙන් ගැහුව වගේ කිව්වම කිසිම රසයක් නෑ කියලයි මට හිතෙන්නෙ.
ඕං එහෙනං කියවන්න....

  රිලව කියන්නෙ පට්ටම අහිංසක සතෙක්.රිලවෙක්ගෙ මූණ දිහා බැලුවත් පුදුම අහිංසක කමක් තමයි පේන්නෙ. තායිලන්තය වගේ රටවල්වල ගස් නැගල පොල් කඩල දෙන්නත් රිලවුන්ව පුරුදු කරල තියෙන්නෙ ඒකයි. ඇත්තටම රිලවුන්ට පැහිච්ච පොල්ගෙඩි තෝර ගන්න තියෙන්නෙ පුදුම හැකියාවක්.උන්ට ඒක උපතින්ම එන හැකියාවක්..
   රිලා මස් කියන්නෙ චීනයෙ අති විශේෂ කෑමක්. ඉස්සර ලංකාවෙත් එහෙම තමා,නමුත් චීනයේ රිලා මස් කන්නෙ සතා පණපිටින් හිටිද්දිමයි.ඒකෙදි එයාල රිලවට පණ තියෙද්දි රිලා මොලය ආහාරයට ගන්නව.(ඒ වගේ ආහාර ගැන සම්පූර්ණ තොරතුරු ඇතුලත් ලිපියක් මම ඊලඟ පෝස්ට් එකෙන් දාන්න බලාපොරොත්තු වෙන නිසා , තව මුකුත් කියන්නැ)
      මට මතකයි මම පුංචි කාලෙ රිලව් නටවන අය අපේ පාරෙ යනව. අපේ සීය රිලව් නටවන මනුස්සයව නවත්තල, ගෙදර හැමෝවම අඬගහගෙන ඇවිල්ල රිලා නැටුම් පෙන්නවනව.රු 150 විතර මුදලකට තමයි එයා ඒ කාලෙ නැටුම් පෙන්නන්නෙ , ගෙදරක නැතුව පාරෙ හංදියක පෙන්නවනව නං සෙනඟ එකතුවෙනකං ඉදල මිසක් මිනිහ මොන නැටුමක්වත් පෙන්නන්නෑ.ඒ කාලෙ රිලවෙක් එක්ක යන අහිකුණ්ඨිකයෙක් කියන්නෙ මැඡික් එකක්. එයාලත් ඒක දැනගෙන හිටිය. අහිකුණ්ඨිකයන් කොච්චර හිටියත් , පුහුණු කරපු රිලවෙක් ඉන්න අය පළාතටම එක්කෙනයි වගේ හිටියෙ.
   "පුතා මනමාලි බලන්න ගිය හැටි පෙන්නන්න"

  "පුතා මනමාලි උබේ දිහා බලල මූණ හංග ගත්ත හැටි පෙන්නන්න"

"පුතා නැන්දම්මවයි මාමණ්ඩිවයි බලන්න නෑගම් ගිය හැටි පෙන්නන්න"

      ඔහොම කිව්වම රිලව බොහොම අපූරුවට එ්ව රඟදක්වල පෙන්නනව.

      ඕං ඔය වගේ සිද්ධි නිසා මට රිලව් ගැන තිබුනෙ මාරම ඉන්ටරෙස්ට් එකක්.
     අපේ ගම් පළාතට එක කාලෙක ලොකුම ලොකු රිලා රංචුවක් ආව. මෙයාලට
කලිනුත් රංචුවක් හි⁣ටිය, ඒත් එයාලට නං පමණ ඉක්මවා ගිය පෙරේතකම නිසා බොහොම අවාසනාවන්ත ඉරණමකට ලක් උනා.අපේ පලාතෙ රබර් වතු වගේම කටුපොල් වතුත් ගොඩාක් තියෙනව. රබර් ඇට ගිලපු රිලව්, තටමල තටමල පට්ටම අමාරුවෙන් තමයි  ඒව පිට කරන්නෙ.ඉතිං එක පාරක් හරි ඔය අත්දැකීමට මුහුණ දීපු රිලවෙක් ආයෙ රබර් ඇ⁣ට දිහා නං හීනෙන්වත් බලන්නෑ..
        ඉතිං මේ පරණ රිලා රංචුව වතු පාලු කරගෙන යන ගමන් දවසක් කටුපොල් වත්තකට පැනල.රතට රතේ රටඉඳි වගේ තියෙන කටුපොල්
 දැකපු රිලා රංචුව, කටුපොල් ටික සට සට ගාල ගිලල දාල තියෙනව.ගිල්ලට මොකද ගිලපුව පිට කරන්නෙ කොහොමද, කට වගේද පු#. පස්ස පැත්තෙ කටුපොල් ඇට හිරවෙල තිහක් විතර හිටපු රිලව් රංචුවෙන් 20 විතර කටුපොල් වත්තෙ තැන තැන අභාවප්‍රාප්ත වෙලා.වත්තෙ වැඩකරපු දෙමළ මනුස්සයෙක් තමා මටත් මේ සීන් එක කිව්වෙ. එයා දකින කොටත් වැඩේ ඉවරවෙලාලු. ගඳ ඉවසන්න බැරි නිසා , එයා සමූහ මිනි වලක් කැනල කට්ටියවම දාල වහල තිබුන.
     දැන් පරණ කතාව අමතක කරල දැන් ඉන්න සෙට් එක ගැන කතාකරමුකො.
මුන් ටිකත් ගහක කොලක මෙලෝම දෙයක් ඉතුරු කරන්නෑ. තත්වෙ කොච්චර දරුණුද කිව්වොත් අපේ වත්තෙ මගෙ කාමරේ ගාව තියෙන රඹුටන් ගහේ හැදුන රඹුටන් ගෙඩි වලින් , මම කෑවෙ ගෙඩි පහයි හයයි ඉතුරු ටිකට වෙච්ච දේ ඉතිං කියන්න දෙයක් නෑනෙ.
      අපේ මාම කෙනෙක් ඉන්නව පට්ටම සත්ව කරුණාවක් තියෙන. මිනිහ කුරුල්ලන්ට කෑම දාන ලෑල්ලටත් මේ රිලා රංචුව එන්න පටන් අරගෙන.
මාමගෙ සත්ව කරුණාවෙ තරම කොහොමද කියන්නෙ, මාම රතිඤ්ඤා පත්තු කරල ,අහස්කූරු යවල පොලු කෑල්ලක් අරගෙන වනල තමා සෙට් එක එලවල තියෙන්නෙ.. මේ රිලව් රංචුවෙ ඉන්නව අනෙක් එවුන්ට වඩා ටිකක් විතර ලොකු නායක රිලවෙක් ⁣මූ නම් නියම නසරාණිය. ඒ වගේම පට්ටම ගේම් කාරය. ඔය පොලු සීන් එක නිසා මූ අපේ මාමත් එක්ක පට්ටම ⁣තරහකින් තමා ඉදල තියෙන්නෙ.
ඉතිං දවසක් මාම ඉරිද දවසක නිවාඩු පාඩුවෙ ටිවි එක බලනකොට එකපාරටම චැනල් පේන්නෙ නැතුව ගියාලු. ගේ අැතුලෙ ඉදල කරන්න පුළුවන් හැම ගොඩ වෙදකමක්ම කරල බැරිම තැන, මාම මිදුලට බැහැල. මෙන්න බොලේ රිලව ඇන්ටනාව අතින් ඇදල කරකවනවලු. මාමව දැක්ක විතරයි රිලව පුදුම වේගෙකින් පැනල ගිහින්.
ඉතිං මක් කරන්නද, මාම බොහොම අමාරුවෙන් ඉනිමගකුත් ගෙනල්ල වහලට නැගල ඇන්ටනාව හදන්න. මාම ඇන්ටනාව ලඟට ගියා විතරයිලු කොහෙද හැංගිලා හිටපු රිලව පුදුම වේගෙකින් එනවලු මාමගෙ ඇඟට. අතේ කිසිම ආයුධයක් තිබිලත් නෑ. මාම වහල දිගේ  දුවල.
 රිලවත් ගේම අත් නොහැරම එනවලු.කලබලේට මාමගෙ සරමත් කැඩිල. නිවාඩු පාඩුවෙ ගෙදර හිටපු දවස නිසා මිනිහ සිවිල් පිට ඉදල තියෙන්නෙත්.
රිලවත් එක්ක සරම ඇද ඇද ඉන්න පුලුවන්යෑ. ඒ මදිවට අමු නිර්වස්තරෙන් වහළ උඩට වෙලා චිත්‍රපටියයක් පෙන්නන්නයෑ,කරගන්න දෙයක් නැති තැන මාම වහලෙන් බිමට පැනල.. වැඩි අමාරුවක් නෑ. තාම කකුලට පත්තු බඳිනව.
අන්න එහෙමයි රිලා මොටා එයාගෙ පළිය ගත්තෙ.
        ඊලඟ සිද්ධිය උනේ අපේ ගෙවල් ලඟ ආච්චි කෙනෙක්ට, එයාගෙ පොල් ගස් වලටත් මේ රිලා රංචුව කරදර කරනව. රතිඤ්ඤා පත්තු කලාම රිලව් රංචුවම ගියත් මේ නායක රිලව හෙලවෙන්නෑ. ඌ උගෙ පාඩුවෙ හිමීට පොල් ටික කොටා බානව. මේ වැඩේ ඉවසන්න බැරිම තැන ආච්චි ගහ යටට ගිහින් ඌට හොඳටම බැනල..
   චොර චොර සද්දයක් ඇහුණලු , බලනකොට මූ ආච්චිගෙ ඇඟට චූ දානවලු. දුවාගන්න ලැබිල නැ. ආච්චි රිලා චූ නාල. මූ ආච්චි දිහා බල බල විරිත්තනවලු.
  ගමටම ගේම දීපු මේ රිලව දවසක් වැඩ වරද්ද ගත්ත.ඒ අපේ දඩෝරියව කන්න ගිහින් තමයි..
      දවසක් ඔය රිලා නායකය ප්‍රමුඛ රිලා රංචුව ගස් වලින් බිමට බැහැල අපේ ද⁣ඩෝරියව කෑව.දඩෝරියට තෙල් බෙහෙත් සාත්තුවක් කරන ගානට තුවාල. දඩෝරිය එදා ඉදල රිලා රංචුව ගැනම තමයි අවධානයෙන් හිටියෙ.දවසක් වත්ත පහළ කලබලයක් ඇහිල මම යනකොට දඩෝරිය එයාගෙ වාඩුව අර ගන්න ලෑස්ති වෙලා.. නායක රිලවගෙ බෙල්ලෙන්ම අල්ලගෙන. මම බොහොම අමාරුවෙන් රිටකින් ඇනල රිලවව බේරුව.එදායින් පස්සෙ නං එයා අපේ වත්ත පැත්තට පය තියන්නෑ.

     ඔන්න ඔහොමයි ඉතිං රිලා කතා. කොහොම නසරාණි වැඩ කලත් මම නං රිලවුන්ට කැමතියි. ඊලඟ රඹුටන් වාරෙට කලින් වායු රයිෆල් එකක් ගන්න ඕනද නැද්ද  කියන ආදරබර සිතුවිල්ල එක්ක තමයි මම මේ දවස්වල ඉන්නෙ.
.A/l සිතුවිලි නං අහල පහලකවත් නැලු..

Wednesday, June 13, 2018

අඳුරු කුමරා නොහොත් සයිබර් යක්ෂයාගේ ආගමනය(විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව)

ඔයා හොල්මන් විශ්වාස කරනවද?

කොහෙත්ම නෑ.

       ෆේස්බුක් එකේ හැම හොල්මන් ගෘප් එකකම වගේ ගොඩක් අය නිතර  අහන ප්‍රශ්නෙට මම උත්තර දුන්නෙ ඔන්න ඔය විදියට . මම හොල්මන් කතා ගෘප් වලට ගියෙ විනෝදෙට හොල්මන් කතා කියවන්න විතරයි.එහෙම නැතුව ඒව ගැන විශ්වාස කරන්නවත් , ඒව කියන අයට හිනාවෙන්නවත් නෙවෙයි.
     නමුත් facebook ගෘප් එකක තිබුණ හොල්මන් කතාවකින් මගේ මුලු ඡීවි⁣තේම උඩු යටිකුරු වෙයි කියල මම කවදාවත් හිතුවෙ නෑ.

""ඔයා හොල්මන් විශ්වාස කරනවද"" ඔය ලංකාවෙ ප්‍රසිද්ධ හොල්මන් කතා ගෘප් එකක දාල තිබුණ පෝස්ට් එකක්.ඒක දාල තිබුණෙ අඳුරු කුමරා කියල කෙනෙක්.
 ඒ ගෘප් එකේ ගොඩක් අය හොල්මන් විශ්වාස කරනව කියල කොමෙන්ට් කරල තිබුණ. ඒත් කීප දෙනෙක් විතරක් විශ්වාස කරන්නෑ කියල  තිබුණ. මමත් ඉතිං සුපුරුදු විදියට විශ්වාස කරන්නෑ, පුළුවන් නං සාක්ෂි එක්ක ඔප්පු කරන්න කියල කොමෙන්ට් එකක් දැම්ම. එදා රෑ දොළහට විතර අඳුරු කුමරා මගෙ කොමෙන්ට් එකට උත්තර දීල තිබුණ, ඔයා ඇත්තටමද හොල්මන් විශ්වාස කරන්නෑ කිව්වෙ කියල. මම ඔව් කියල උත්ත⁣රයක් දැම්ම. එයාගෙන් උත්තරයක් ආව ඔයා ලඟදිම විශ්වාස කරයි කියල. 
මම ඔය විකාර විශ්වාස කරන්නෑ කියල මම දාපු කොමෙන්ට් එකකින් පස්සෙ අපේ හොල්මන් කතාව අවසන් වුනා..
 ඊට පහුවෙනිද උදේ මම වෙනද වගේම fb ආවහම අඳුරු කුමරගෙන් friend request එකක් තිබුණ.මම සාමාන්‍යයෙන් fake account වල අයව ඇඩ් කරගන්නෑ.ඒත් මොනව උනත් මේත් මම වගේම හොල්මන් කතා පිස්සෙක්නෙ කියල හිතල මම request එක accept කලා.
 එදා රෑ දොලහට විතර අඳුරු කුමරා මට මැසේඡ් එකක් දාල තිබුන ඔයා තාමත් හොල්මන් විශ්වාස කරන්නෙ නැද්ද කියල. පිස්සුද බං කියල මම එයාට උත්තර දුන්න.
 මෙන්න එයා මට එක එක ඡාතියෙ පොටෝ එවන්න පටන්ගත්ත..
 එයා පොටෝ තුනක් එවල තිබුණ. එකක හිටියෙ ලස්සන කෙල්ලෙක් , හැබැයි මූණ තැලිල විකෘති වෙලා හරියට වාහනේකට අහුවෙල වගේ. දෙවනි එකේ හිටියෙ computer එකකින් එඩිට් කරල හදපු කැත ⁣යකෙක්⁣. තුන්වෙනි එකේ හිටියෙ අවුරුදු තිහක් විතර උන නෝමල් පෙනුමක් තියෙන මැදිවයේ පිරිමියෙක්.
    කෑල්ලනං මරු මූණ ලස්සන උනානං , දෙවනි එකට නං බය හිතෙන්නෑ , තුන්වැනි එකේ ඉන්නෙ උබද , මම මැසේඡ් කලා.
   තුන්වැනි එකේ ඉන්නෙ මම තමයි , එයා උත්තර දුන්න. හා හා ලස්සනයි කියල මැසේඡ් එකක් දාල මම නිදාගත්ත. මොකද ඒ වෙනකොටත් හොඳටම රෑ වෙලා.
    පහුවෙනිද උදේ මම ඡොබ් එකට යන්න බස් එකේ ටවුමට ගියාම තමයි මේ දේ උනේ. අර පොටෝ එකේ කෙල්ල කලුතර පාරක් අයිනෙ ඉන්නව මම බස් එක ට්‍රැපික් එකේ තියෙනකොට දැක්ක. මූණ කෑල්ල නැතත් , ඇඳුමෙනුයි පෙනුමෙනුයි 100% ක්ම ඒ කෙල්ල කියල කියතෑකි.මම පෝන් එක අතට අරන් අර පොටෝ එක බැලුව , එයාම තමයි.මම බස් එකේ ඡනේලෙන් ඔලුව දාගෙන එබිල බැලුව , හැඩහුරු කම බලාගන්න , එතකොටම ඒ කෙල්ල පාර පනින්න ගිය.පාරෙ එහාපැත්තෙන් වේගෙන් ආපු වෑන් එකකට එයාව හැප්පුන. ගොඩක් කට්ටිය එතනට දුවනව මම දැක්ක.
එයාගෙ ඔලුව😱😱😱
ඒ ගැන කියන්නත් බෑ , මට එවපු පොටෝ එකේ විදිහමයි, මගෙ ඔලුවත් කැරකෙන්න පටන්ගත්ත , මම පුළුවන් තරම් ඉක්මනින් බස් එකෙන් බැහැල ආපහු ගෙදර ගියා.වෙච්ච දේ ගැන හිතාගන්නවත් බෑ. මේ ගැන හිතල මට පිස්සු වගේ , කවුද මේ අඳුරු කුමරා. යකෙක්ද , අනාගතේ දකින කෙනෙක්ද. මෙයා කොහොමද අද වෙච්ච දේ කලින්ම පොටෝ ගහල මට එවුවෙ කොහොමද , මම fb එකට ගිහින් අඳුරු කුමරාට මැසේඡ් එකක් දැම්ම.
තමුසෙ කවුද ?  තමුසෙ කොහොමද මේ වෙච්ච දේවල් දැනගත්තෙ. , එයාගෙන් උත්තරයක් එනකං මම දවස පුරාම බලාගෙන හිටිය. රෑ දොළහට⁣ , ඔවු රෑ දොළහට එයා මට reply කලා, ඔයා තාමත් හොල්මන් විශ්වාස කරන්නැද්ද? එයා ඒක විතරමයි ඇහුවෙ. වෙන කිසිම දෙයක් මැසේඡ් කලේ නෑ. මේපාර නං මගෙ හිත චුට්ටක් ගැස්සුන. ඇක්සිඩන්ට් එකකයි මේ හොල්මන් කතාවෙයි කිසිම සම්බන්ධයක් නෑ කියල තදටම හිතාගෙන හිත හදාගත්ත මම,, මම තාමත් හොල්මන් විශ්වාස කරන්නෑ කියල යැව්ව.
  "හොඳයි"
එච්චරයි එයා එව්වෙ..එයා ආපහු offline.  මට හෙන අප්සට් , මම ඒ ගැන අමතක කරල නිදාගත්ත. එදා රෑ මම හීනෙන් බයවුන , අර පොටෝ එකේ හිටපු යකා හීනෙන් ඇවිත් මගෙ බෙල්ල මිරිකන්න ට්‍රයි කලා, මම එයත් එක්ක හීනෙන් රංඩු කල, දඩස් ගාල ඇදෙන් බිමට වැටුනහම තමයි මාව ඇහැරුනෙ, තාමත් කරුවලයි , මම පෝන් එකෙන් වෙලාව බැලුව , පාන්දර හතරයි.මේක හීනයක්නෙ කියල හිතල, මම ආපහු නිදාගන්න ඇදට නගින්න හදනකොටම මම කාමරේ දොර ගාව ඡායාවක් දැක්ක. හම්මට පොටෝ එකේ හිටපු යකා😱😱😱
 එතකොට අඳුරු කුමරා මාව හොයන් ඇවිල්ලද මම ඔලුවෙ ඉඳලම රෙද්ද පොරෝගෙන බයේ ගැහි නිදාගත්ත.
   ඊලඟ දවසෙ උදේ මට ටිකක් සනීප මදි වගේ දැනුන. මම ඒක නිසා එදත් ඡොබ් එකේ නිවාඩුවක් දැම්ම. ගෙදර අයට වෙච්ච දේ ගැන කිවුවෙ නෑ, එදත් රෑ මම කොයි එකටත් කියල facebook එක පැත්තට ගිය. රෑ දොළහට සුපුරුදු වෙලාවට අඳුරු කුමරා ඔන්ලයින් , එයා මගෙන් සුපුරුදු ප්‍රශ්නයම ඇහුව. ඔයා තාමත් හොල්මන් විශ්වාස කරන්නැද්ද? 
මු නං මනුස්සයෙක් නෙවෙයි කියල මට දැන් හොඳට විශ්වාසයි..
මට එදා නං හොඳටම අප්සට්. ඒත් මම  එයාට මම ඕව විශ්වාස කරන්නෑ කියල තව කුණුහරප කන්දරාවකුත් කියල දැම්ම. කුණුහරප වලට හොල්මන් බයලුනෙ😂😂😂
හොඳයි මම ම ඇවිත්  ඔයාට තේරුම් කරන්නම්කො එයා මැසේඡ් කලා. 
මේ මොන කරදරයක්ද මම එයාව මගෙ fb friend list එකෙන් බ්ලොක් කල. 
එදා රෑ මට හොඳට නින්ද ගිය.
   අද ඒ කියන්නෙ අර සිදුවීම වෙච්ච දවසට පස්සෙ දවස, අද මම වෙනද වගේම මගෙ රස්සාවට පටත්වුන. අද අපේ ඔෆිස් එකට සීනියර් මැනේඡර් කෙනෙක් ඇවිත්, එයා උදෙන්ම ඇවිල්ල රූම් එකේ වැඩ. එයාව පුද්ගලිකවම හම්බවෙල සුභපතන එක අපේ යුතුකමක්, මම යනකො⁣ට හැමෝම ගිහින් සුභ පතල තිබුණ.ඉතිං මමත් සුභපතන්න කියල ගියා.
 මම යනකොට අලුත් බොසා පත්තරයක් බලනව. එයා එහෙම්මම ටේක් අ සීට් කියල මට කිවුව. මමත් ටැන්ක්යූ සර් කියල වාඩි වුන. 

   සර් මම සර්ට සුභ පතන්න කියල ආවෙ ආවෙ.. 

     සර් මූණ වැහෙන්න බල බල හිටපු පත්ත⁣රේ දෙකට නවල මගෙ මූණ දිහා කෙලින්ම බලල මෙහෙම කිවුව.

දැන්වත් ඔයා හොල්මන් විශ්වාස කරනවද

අඳුරු කුමරා !!!

මම හිතට ධෛර්යය අරගෙන බොස් දිහා බැලුව. අර තුන්වැනි ච⁣ායාරූපයෙ හිටිය තරුණය තමයි බොස්...

 නෑ සර් මම හොල්මන් විශ්වාස කරන්නෑ...

මම බොහොම අපහසුවෙන් කිව්ව..

මගේ සුභ පැතුම් ගයාන්, ඔයාව අපි අපේ අලුත්ම ප්‍රොඡෙක්ට් එක මෙහෙයවන්න තෝර ගන්නව..බොස් හිනා වෙවී කිව්ව.

මට මේක හීනයක් වගේ...

ගයාන් අපේ මාධ්‍ය ආයතනය පහුගිය කාලෙ හොල්මන් අත්භූත දේවල් පිළිබඳව ගවේශනාත්මක වැඩසටහනක් කරන්න තීරණය කලා. ඒකෙ ප්‍රොඡෙක්ට් එක බාර දෙන්න ඔයාවයි තව තුන්දෙනෙක්වයි යෝඡනා උනෙ . ඒත් මේ ප්‍රො⁣ඡෙක්ට් එක ලේසි පහසු වැඩක් නෙවෙයි , රටෙ හැමතැනම තියෙන අත්භූත හොල්මන් ගැවසෙනව කියන කතා පවතින ස්ථාන වලට ඔයාල යන්න ඕන.ඉතිං මේක ලීඩ් කරන කෙනා හොල්මන් වලට බය නැති කෙනෙක් වෙන්න ඕන , ඉතින් අපි ඔයාල තුන් දෙනාට පොඩි මානසික පරීක්ෂණයක් තිබ්බ...

ඒකෙන් සමත්වෙච්ච එකම කෙනා තමයි ඔයා..
අනිත් අය මේ පරික්ෂණයෙදි හොඳටම බයවුන .ඉතිං එයාලට තරඟ කොන්දේසි කියල තරඟයෙන් ඉවත් කරන්න උනා.

ගොඩක් ස්තූතියි සර්...

සර් එතකොට අර පොටෝ එකේ හිටපු කෙල්ල , මම දැකපු හීන , මගෙ කාම⁣ෙර් දි දැකපු ඡායාව මේ ඔක්කොම කොහොමද කලේ.

ආ...  ඒ කෙල්ල අපි computer එකෙන් හදපු කෙනෙක්.ඔයා බස් එකේ එනකො⁣ට අපි කලින් කරපු පටිගත කිරීමක් ඔයාගෙ මනසට මවල පෙන්නුව. ඔයාගෙ පිටිපස්සෙ සිට් එකේ හිටපු මගෙ ඇසිස්ටන් රංගන තමයි ඒ පුංචි උපකරණය ඔයාගෙ කණ ගාව රැඳෙව්වෙ,ඒකෙන් ඔයාට තාවකාලික මායාවන් දර්ශය උනා.. 
හීන  ගැන කියනවනං , අපි ඔයා ඔෆිස් එකන් දෙන ෆ්ලැට් එකේ පදිංචි බව කලින්ම දන්නව. ඉතිං අපි ඔයාගෙ කාමරේ හීන පාලක ස්ප්‍රේ එකක් ගැහුව..
අද වෙච්ච සිදුවීම නිසා ඔයාගෙ යටි සිතේ තියෙන දේ උද්දීපනය වෙයි අපි  විශ්වාස කලා ,ඒ වගේම ඒක ඒ විදිහටම උනා.
අර ඔයා කාමරේ ඔයා දැකපු ඡායාව තමයි , රංගන..
 මමයි එයාට ඒ හොල්මන් ඇඳුම දීල ඔයාගෙ කාම⁣ෙර්ට එව්වෙ. බය වෙලා නැත්තං තව චුට්ටක් බය කරන්න කියල.
එහෙනං දැං ප්‍රොඡෙක්ට් එකේ වැඩ බාරගන්න , හෙට අලුත් අවුරුද්දත් එනවනෙ , අද කලින් වැඩ ඇරිල  ගියාට ප්‍රශ්නයක් නෑ.

මම නිවාස සංකීර්ණය වෙත ගමන් කරන අතරද මේ සිදුවීම ගැන කල්පනා කලෙමි... රැකියාවේ මානසික යෝග්‍යතාවය පරික්ෂා කිරීමට කළ දෙයක තරම.,
නිවස වෙත පැමිණි මා තනිවම සිනාසුනෙමි. අනතුරුව විද්‍යුත් කැලැන්ඩරයේ දිනය දෙස බැලුවෙමි.

2099, 12 , 31

 හෙට නව වසරක් උදාවෙයි.අලුත් රාඡකාරිය බාර ගැනීම පිණිස උදෙම අවදිවිය යුතුය.මම නිදාගත්තෙමි...මට එදින නම් කිසිදු නපුරු සිහිනයක් නොපෙනුනි.

Thursday, April 26, 2018

පැනයාම (කෙටිකතාව)

"මචං ඒකි තාම නැද්ද"
තව ටිකක්වෙලා හිටියොත් අපිව මාට්ටු වෙයි...
උබ නිසා මාත් දාගන්න ලෙඩ.

රවිදු කීප වරක්ම රහසේ මා හට පැවසීය.

ඔහුට ත්‍රීවිල් එකක් නොතිබුණා නම් , මෙවැනි වැඩකට මා ඔහුව කෙසේවත් රැගෙන නොයන්නෙමි.
  මන්දයත් ඔහු මාගේ මිතුරන් අතරින් ලොකුම බියසුල්ලා බව නොරහසකි.
  පහල හංදියේදී කොලු රැළ හා සිදුවූ රංඩුවේදී , මා අතහැර දමා ඔහු ත්‍රීරෝද රථයෙන් පලා ගිය අයුරු මට කිසිදා අමතක නොවේ.

මුතූ මෙතරම් වෙලා කුමක් කරනවාද?
මාගේ ඉවසීමද කෙමෙන් කෙමෙන් අවසන් වී යාමට පටන්ගැණිනි..
තවත් පරක්කු උවහොත් දුම්රියද මඟහැරෙනු ඇත..

මගේ ඉවසීම නැතිවී ගිය නිසා  මම ඇයව බැලීමට ඇගේ නිවස වෙත යාමට තීරණය කලෙමි. හාත්පස අඳුරේ ගිලී පැවතියත් , මුතුගේ කාමරයෙන් යම් තරමක ආලෝකයක් නිකුත් වන අයුරු මම දුටුවෙමි. ඇයව දෙමව්පියන්ට අසුවුනාවත්ද ,මම වහාම ඇගේ නිවස වටා වූ කම්බි වැටෙන් පැන නිවස වෙත යාමට තීරණය කලෙමි..

...........................................
මුතු ""
මුතු යනු මා කලක සිට ආදරය කල තරුණියයි. මා පාසල් යන සමයේ දී පාසලේ සිටි හැඩකාරම මෙන්ම  ආඩම්බරකාරම තරුණිය වූ ඇයගේ සිත දිනාගැනීමට මා ඇතුලු බොහෝ කොල්ලන් උත්සාහ කල නමුත් ඒ සියල්ලම ගඟට කැපූ ඉණි මෙන් ව්‍යර්ථ විය. අනතුරුව ඇගේ මතකයන් මගේ දිවියෙන් ඈත් වී ගොස්,පාසල් සමය ගතවී වසර පහක් ගතවිය.. නමුත් දිනක් මා රැකියාවට යන අතරතුර ඇයව දුම්රියේදී හමු වූයේ දෛවය නිසා යැයි කිසිවිවෙකු පැවසුවහොත්, එය මුසාවක් නම්  නොවේ.
මෙවර නම් නම් මා ඇගේ ආලය දිනා ගැනීමට සමත්වුවෙමි. නමුත් අපගේ ආලය විවාහය දක්වා ගෙනයාමට නොහැකි ලෙස විශාල බාදකයක් ගොඩනැගී තිබුණි.ඒ ඇගේ දුප්පත් කමයි.
     මා අති විශාල කෝටිපතියෙකුගේ පුත්‍රයෙක් නොවූ නමුත් , මගේ පවුල මා ඡීවත්වන ප්‍රදේශය තුළ තරමක් ඉහළ තත්වයක සිටින පවුලකි. මා මුතූගෙ පවුල වැනි දුප්පත් පවුලකින් විවාහයක් කර ගන්නවාට පවුලේ කිසිවෙකුත් කැමති නොවන බව ,, ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි සරල කරුණකි. එමනිසා මම මේ කරුණ ගැන මගේ පවුලේ කිසිවෙකුට නොපැවසීමි.

  ""නමුත් මුතූගේ දෙමව්පියන්""

 මම ඔවුන් හමුවී මේ කරුණ ගැන සාකච්ඡා කලෙමි. වැදගත් තරුණයෙකු ලෙස ඔවුන්ගේ දියණියට මා විවාහ කර දීමට ඔවුන් කැමතිවූවද , මගේ දෙමව්පියන්ගේ කැමැත්තෙන් තොරව මෙම විවාහයට කිසිදා කැමති නොවන බව ඔවුන් මා හට පැවසුවෝය...
 අවසානයේ මටත් මුතූටත් ඉතිරි වූ අවසාන විකල්පය නම් , පැන ගොස් හොරෙන් විවාහ වීමයි.
ඇයව හොරෙන් රැගෙන ගොස් විවාහ කරගෙන , කාලයක් ගත වී නිවසේ අය සන්සුන් වූ පසු ඇයත් සමඟ මගේ නිවස වෙත යාම මගේ සැලසුම විය.
නමුත් මුතූ මෙයට කිසිසේත්ම කැමති නොවීය. ඇය එකහෙලාම පැවසුවේ මෙය නොකලයුත්තක් බවයි. නමුත් මම තරයේ ඉල්ලා සිටීමෙන් පසු ඇය එයට එකඟ වූවාය..

 අවසානයේ අප පැන යාමට දිනයක් ලෑස්ති කර ගත්තෙමු. අද මම පැමිණියේ , නිවසේ අයට හොරෙන් මුතූව කැටුව යාමටයි...

..............................................
තවත් ඇගේ නිවසට ලං වූ විට
ඇගේ කාමරයේ විදුලි පහන් දැල්වී තිබෙන අයුරු මම දුටුවෙමි.එය දුටු මා බියපත් වීමි. නිසැකවම අපගේ සැලසුම ඇගේ දෙමව්පියන්ට අසුවී විය යුතුය.
මම කෙමෙන් කෙමෙන් ඇගේ කාමරයේ ඡනේලය කරා ලඟා වීමි...
ඒ තුළින් කෙදිරිලි හඩින් යම් කතාවක් සිදු වන අයුරු මට ශ්‍රවනය විය.

මට යන්න බෑ අම්මෙ,
මට බයයි අම්මේ,

බය නැතුව ඉදහං කෙල්ලේ කොහොමද කෙල්ලෙ , ආයෙ පොඩ්ඩක් හිතල බලපං උබ ආයෙ ඔය වගේ පවුලක කොල්ලෙක් කොහොම අල්ලගන්නද?
අතට ආපු වාසනාවට පයින් ගහන්න එපා...
ඉතින් අම්ම කසාදෙට කැමතියි කිව්වනං ඉවරයිනෙ.ඇයි අම්මේ මෙහෙම විකාර වැඩක් කරන්න ඕන...

 එහෙම කලොත් අපි කොහොම ඔය කොල්ලගෙ පවුලෙ එවුන් එක්ක පෑහෙන්නෙ, අපි උබව බලෙන් උගෙ කරේ එල්ලුව කියයි.උබ ඌව රවට්ටගත්ත කියයි.

උබව ඌ උස්සන්ගියාම උන්ට අපිට බනින්න එන්න බෑ.අපි උන්ට බැන්නත් උන්ට කර බාගෙන තමා ඉන්න වෙන්නෙ.

 උන්ගෙ කොල්ලගෙ වැරැද්ද උන්ට බාරගන්නම වෙනව...

මම අද උදෑනැක්කෙම කොල්ලගෙ මහ එකාගෙ ගෙදට්ට ගිහින් කොලුවගෙ කෙරුවාව මුලු ගමටම ඇහෙන්න කියන්නංකො..
එතකොට උන්ට කවදාවත් උබව එලෝගන්න වෙන්නෑ මයෙ දුවේ.
ඒ අතර මුතු ඉකිබිඳින හඩක් ඇසෙන්නට විය,
ඔය ඇඩිල්ල නතර කරගනිං , අර කොලුව ගෙදර දොරකඩටම ඇවිල්ල ද දන්නැ ,

මම එයාට ඉස්සරහ තුන් මං හන්දියෙ ඉන්න කියල කිවුව අම්මේ..
හරි හරි සුනංගු නොවී මේ බඩු බෑග් එකත් අරං පලයං

බුදුසරණයි මගෙ දුවේ..

මම පුලුවන් වේගයෙන් එම ස්ථානයෙන් දිව ගොස් ත්‍රීරෝද රථයට ගොඩ උනෙමි..

තවත් විනාඩි පහකට පසු මුතු , බෑගයක්ද රැගෙන පැමිණියාය.

අම්මාත් තාත්තාත් , නිදි බවත් , ප්‍රධාන දොර ඇරීමෙන් ශබ්දයක් ඇසේ යැයි බියෙන් ඇය ඡනේලයෙන් පැන ආ බවත් මට පැවසුවාය.. මම ඇයට කිසිත් නොකීමි.. හිස වනා එය පිළිගත් බව ඇඟවීමි.

හරි එහෙනං තැනට ආව..

උබ එහෙනං පරිස්සමෙන් පලයන්
  මම රවිදුට පැවසීමි.

අනතුරුව මමත් මුතූත් දුම්රියට ගොඩ වී වාඩි උනෙමු.
මුතු මොන මොනවාදෝ පැවසුවාය. නමුදු මම කල්පනා සාගරයේ අතරමන් වීමි..

මුතු ඔයා ඔහොම ඉන්න, මම කන්න දෙයක් අරන් එන්නං, ගමනත් ටිකක් දුරයිනෙ,

දැන් කෝච්චිය යන්නත් කිට්ටුයි , ඔයාට යන්න ඕනෙමද,
හා එහෙනම් ඉක්මනින් එන්න.

මම දුම්රියෙන් බැස දුම්රිය පළෙහි වූ ආපනශාලාව වෙත ගොස් බනිස් කිහිපයක් මිලදී ගත්තෙමි..

ඒ සමඟම දුම්රියේ ගමන ආරම්භ වන සංඥාව නිකුත් විය..

මුතූ දුම්රිය කවුලුවෙන් එබෙමින් මට දිව එන ලෙස කෑ ගැසුවාය..

එවිට උදෑසන මුතුගේ හා ඇගේ මවගේ කතාව මා හට සිහිපත් විය. මෙතරම්  විශාල රැවටීමක්,

මා ආදරය කළ දෙමව්පියන්ටද විරුද්ධව ගොස් මා ඇයව රැගෙන යන්නේ විවාහ කර ගැනීමටයි.. නමුත් ඇයත් , ඇගේ මවත්  , මගේ පවුලේ අයව පාගන අයුරු ගැන සැලසුම් සකස් කරයි...

දුම්රිය ගමනාරම්භ කරන ලදී.
මා දුම්රියට ගොඩ වීමට පමා කරන බව දුටු ඈ කෑ ගසමින් දුම්රියෙන් පැනීමට උත්සාහ කරන අයුරුද , දුම්රිය මගීන් කිහිපදෙනෙකු ඇයව වලක්වන අයුරුද මා නෙත් කොනෙන් දුටුවෙමි.

  දුම්රියෙහි දොරටුව අසලට වී කෑ ගසන මුතූ දෙස හිස් බැල්මක් යොමුකළ මා දුම්රිය ස්ථානයෙන් පිටවන දොරටුව කරා ගමන් කලෙමි....

හොල්මන

තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...