Tuesday, January 31, 2023

බිලී සිවුවන කොටස



          ආච්චිගෙ පරණ කාර් එකේ නැගලා ආච්චිත් එක්ක හැමදාම හවසට පල්ලි යන එක මහ එපාවෙන වැඩක්.. ආච්චි පල්ලිය ලඟ කාර් එක නවත්තලා කාර් එකෙන් බැස්සට පස්සෙ අල්ලගන්න මගෙ අත එයා පල්ලිය ඇතුළට ගිහිල්ලත් අතහරින්නෙම  නෑ. එයා එහෙම කරන්නෙ හොඳ ළමයෙක් නිසා දෙවියො මාව දිව්‍යලෝකෙ අරන් යයි කියල හිතලද , එහෙමත් නැත්නම් වයස වැඩි නිසා දෙවියො ආච්චිව දිව්‍යලෝකෙ ගෙනියන්න හැදුවොත් මගෙ අතේ එල්ලිලා ආච්චි ඒකෙන්  බේරෙන්න හිතාගෙනද කියල මට නම් තේරුම් ගන්න බැහැ..
     කොහොම උනත් විශේෂ දේව මෙහෙය තියෙන ඉරිදා දවස තමයි මම පල්ලි යන්න ආසම දවස. එදාට ආච්චි වෙනද වගේ නෙවෙයි උදේ එකොළහ වෙද්දිම පල්ලියට යනවා. එදාට ගමේ ඉන්න හැමෝම වගේ කට්ටිය එතනට එන නිසා ආච්චිට මාව අතින් අල්ලගෙන බලාගන්න වෙලාවක් නෑ. අන්න ඒ වෙලාවට තමයි මම ආච්චිට හොරෙන් හෙමින් පල්ලියෙන් එළියට ඇවිත් ගම වටේ ඇවිදින්න යන්නෙ.එදාට ගමේ මිනිස්සුත් වැඩිය නැති නිසා මට ගොඩක් නිදහසේ හැමතැනම ඇවිදින්න පුළුවන්. හැබැයි කොච්චර ඇවිදින්න ගියත් හවසට දේව මෙහෙය ඉවර වෙන්න කලින් මම ආපහු පල්ලියට යනවා. ඒ දේව මෙහෙය ඉවරවුන ගමන් ආච්චි මාව හොයන්න ගන්න බව මම හොඳින්ම දන්න නිසයි..
         ගිය ඉරිද ගොඩක් සතුටු දවසක්.එදා ආච්චිගෙන් බේරිලා ඇවිදින්න ගියේ විල පැත්තට. ආච්චිලගෙ ගම මැද්දෙම තියෙන ඒ විල ගොඩාක් ලස්සන තැනක්. හැබැයි ඒක ගොඩක් ගැඹුර විලක් කියලයි ගමේ අය කියන්නෙ. එදා මම විල පැත්තට යද්දි ඉරිල ගිය ඇඳුමක් ඇඳගත්ත වයසක සීය කෙනෙක් විල අයිනට වෙලා බිලී පිත්තක් අරගෙන මාලු අල්ල අල්ල හිටියා..

මම ඒ සීය ලඟට ගිහින් කතා කරන්න උත්සාහ කලත් , එයාට මගෙත් එක්ක කතා කරන්න කිසිම උවමනාවක් තිබුනෙ නෑ..

"කරදරකාර ළමයා මට වද නොදී  යනවා" කියලයි එයා මට කේන්තියෙන් කිව්වෙ..

වයසක අයට කේන්ති යන එක සාමාන්‍ය දෙයක් කියල අම්ම මට කියල දීලයි තියෙන්නෙ.. ඒ නිසා ඒ සීය කියපු කතාවෙන් මගේ හිත රිදුනෙ නෑ..

සීයේ ඇයි ඔයා මේ මාලු අල්ලන්නේ.? මම සීයගෙන් ඇහුවා..

දෙවියො හැමෝවම රත්තරං තොටිලි වල දාල මේ ලෝකෙට එවන්නෙ නෑ , අපි කන්න  ඕන,  ජීවත්වෙන්න ඕන... ඒ සීයා කියවගෙන ගියා..

මට නං ඔය කතා තේරෙන්නෙ නෑ..

ඒ නිසා මම ආපහු ඒ සීයගෙන් මේ විල කොච්චර ගැඹුරද කියල ඇහුවා..

වතුරට පැනල තමයි බලන්න වෙන්නෙ කියල එයා කිව්වෙ මම දිහා බලන්නෙවත් නැතුව..

මට විලට පැනල වතුරෙ ගැඹුර බලන්න ආස හිතුනත් මට නම් බෑ පල්ලියට ඇඳගෙන ආව ලස්සන අැඳුම වතුරෙන් තෙමාගෙන ගිහින් ආච්චිගෙන් බැනුම් අහන්න..

හැබැයි  සීයා නම් ඇඳගෙන ඉන්නෙ පරණ ඉරිච්ච ඇඳුමක්. ඒක තෙමුනට වේලගන්න එක සීයට ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ඉතින් මම පිටිපස්සෙන් ගිහින් විල අයිනට වෙලා හිටපු සීයව විලට තල්ලු කලා..

ඒ සීයා අමුතු විදිහට කෑ  ගහලා අත්දෙක වන ඉදලා දිය යටට කිමිදුනා.. මට පෙනුන විදිහට එයා විලේ පතුල හොයන්න තමයි ගියේ..

එයා විලේ පතුල හොයාගෙන එනකං කරන්න දෙයක් නැති නිසා මම එයාගෙ බිලි පිත්තත් අරගෙන මාලු බාන්න ගත්තා...

මම කොච්චර බලාගෙන හිටියත්  සීයා මතුවුනේම නෑ.. ඒ කියන්නෙ විල ගොඩක් ගැඹුරයි..

මට සීයා උඩට එනකං දවසම බලාගෙන ඉන්න පුළුවන් කමක් තිබුනෙ නෑ , මොකද පල්ලියෙ පූජාව ඉවරවෙනවනෙ. ඉතින් සීය ගොඩට ආව වෙලාවක අරගන්න මම අල්ලපු මාලු ටිකත් සීය අල්ලල තිබ්බ මාලු ගොඩ ලඟින්ම කියලා  ආපහු පල්ලියට ගියා..

දේව මෙහෙය ඉවර වෙලා මායි ආච්චියි ආපහු ගෙදර යනකොට විල ගාව මිනිස්සු ගොඩක් එකතු වෙලා ඉන්නව අපි දැක්කා.මටත් එතනට ගිහින් මොකද වෙලා තියෙන්නෙ කියල බලන්න ඕන උනත් ආච්චි මට කාර් එකෙන් බහින්න දුන්නෙ නෑ.එයා තනියෙම එතනට ගිහින් වෙලා තියෙන දේ බලල ආවා..ආච්චි ඒ වෙලාවෙ මට මුකුත්ම කිව්වෙ නෑ..

මම පස්සෙ වෙලාවක ආච්චිගෙන් එදා මොකක්ද වෙලා තිබුනෙ කියල ඇහුවා..

ආච්චි කියපු විදිහට  එදා මාලු අල්ලන්න ගිය සීය කෙනෙක් ලිස්සලා ගිහින් විලට වැටිලා විලේ ගිලිල මැරිලලු. විලේ කමිසයක් පාවෙනව දැකල තමයි කට්ටිය හොයල බලල තියෙන්නෙ. අපි එදා දැකපු වෙලාවෙ කට්ටිය එකතුවෙලා එයාගෙ මිනිය ගොඩට අරන්. ආච්චි කියන විදිහට  පල්ලියෙ දේව මෙහෙයට හැමෝම පල්ලි ගිහින් තිබුන නිසා කිසිම කෙනෙක් එයා දියේ ගිලෙනව දැකලත් නෑ. එයාට වෙන වෙලාවක මේක උනා නම් කවුරුහරි එයාව බේරගන්නත් තිබුනලු..
         එ් සීයා විකුණන්න අල්ලපු මාලු ලොකුම ලොකු ගොඩකුත් විල ලඟ තිබුන කියල ආච්චි කිව්වා. ඉරිදට තියෙන විශේෂ දේව මෙහෙයටවත්  නොයා සල්ලි හොයන්න පවුකාරකම් විතරක්ම කර ඉන්න අයට ඔහොම තමයි වෙන්නෙ කියලත් ආච්චි විස්තරේ කියල ඉවරවෙලා අන්තිමට කිව්වා.

      මම හිතන්නෙ එදා හවස ඒ මැරුන සීයා මට එදා උදේ හම්බවුන සීය වගේ අතපය වනලා වතුරෙ කිමිදෙන්න ඉගෙනගෙන නැති සීයා කෙනෙක් වෙන්න ඇති. ලෝකෙ හැමෝටම එක වගේ දක්ෂකම් නෑනෙ. ආච්චි කියනව වගේ දෙවියො ඒ මැරුන සීයගෙ පවුකාරකම් වලට සමාව දීලා එයාගෙ ආත්මයට සැනසීමක් ගෙනාවොත් හොඳයි..

බිලී පස්වන සහ අවසන් කොටසින් හමුවෙමු..

No comments:

Post a Comment

හොල්මන

තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...