Tuesday, January 31, 2023

බිලී දෙවන කොටස



පළවෙනි කොටස බලන්න මෙතන click කරන්න - පළවෙනි කොටස

       වත්ත පහළ තිබුන ⁣සාරගෙ මිනිය බලන්න පොලීසියෙන් ආවට පස්සෙ අපේ ගෙදර හරි ජරමරයක් තමයි උනේ. පොලීසියෙන් මුලින්ම ලොකු වාහනයක් අරන් ඇවිත් සාරාගෙ මිනිය එ්කෙ පටවගෙන ගියා.ඊට පස්සෙ එයාල අපේ ගෙදර අස්සක් මුල්ලක් නෑරම හොයල බැලුවෙ හරියට අපි සාරා⁣ගෙ ගෙදර කට්ටියවත් හංඟගෙන තියන් ඉන්නව කියල හිතාගෙන වගේ... එයාල පරණ මඩුවෙ තිබුන රොකීගෙ කූඩුව දිහාවට ඇඟිල්ල දික් කර කර තාත්තගෙන් මොනවහරි අහනවත් මම කාමරේ ජනේලෙන් දැක්කා. ඒ දවස් ටිකේ රහස් පරීක්ෂකයො , පත්තර වාර්තාකාරයො විතරක් නෙවෙයි ටීවි එකේ කට්ටියත් අපේ ගෙදරට ඇවිල්ලයි හිටියෙ. සමහරවිට අපේ ගේ ටීවි එකෙත් පෙන්නනව ඇති. මේක  සතුටු වෙන්න ඕන කාරණාවක් උනත් අම්මයි තාත්තයි දෙන්නම මට කාමරෙන් එළියට එන්න දුන්නෙ නැති නිසා මම නම් ගොඩක් දුකෙන් තමයි හිටියෙ.
       ගෙදරට ආපු අය කියන විදිහට අපේ ගෙදර හිටපු ගෑණු ළම⁣යගෙ නම සාරා නෙවෙයිලු.. එයාගෙ නම ජෝර්ජියානාලු. ඒක හරිම දිග නමක්. කවුරු එයාට ඒ විකාර නම තියලද කියල මට නම් හිතාගන්න බෑ. එයා ගෙදර අය එක්ක තරහ වෙලා ගෙදරින් පැනල යද්දි අතුරුදන් වෙලා කියල තමයි කට්ටිය කිව්වෙ.  ⁣තරහ අයව මරල දාල පාඩුවෙ තමන්ගෙ ගෙදරටම වෙලා ඉන්න පුළුවන්කම තියෙද්දි , එයා ගෙදරින් ගියේ මොකද කියලත් මට හිතාගන්න බෑ. එයා ගෑණු ළමයෙක්නෙ.. සමහරවිට ඒ ගෑණු ළමයින්ගෙ හැටි වෙන්න ඇති. කොහොමහරි ඒ සිද්ධියෙන් පස්සෙ වෙනදට මාව ලඟට අරගෙන තුරුල් කරගන්න අම්මයි තාත්තයි වැඩිය මගෙ ලඟට ආවෙ නෑ. එයාල දෙන්නා මට ඇහෙන්නෙ නැති වෙන්න හොරෙන් රහස් කියාගන්නවත් මම දැක්කා.. සමහරවිට එයාල මට හොරෙන්  වෙනස්ම විදිහක සෙල්ලමක් කරන්න හදනව වෙන්න ඇති. මම ඒවට ⁣හොරෙන් ඇහුකන් දුන්නත් එයාල කියපු කිසිම දෙයක් මට තේරුනේ නෑ..

"එයා අපේ පුතා ඩේවිඩ්..

ඔව් මට එක තේරෙනව මේරී..

          අපි අපේ පුතාව මේ හැමදේකින්ම ආරක්ෂා කරන්න ඕන..."

                  ඔන්න ඔය වගේ දේවල්  තමයි එයාල රහසින් කතා කලේ..

        ඔය දේවල් වෙලා  දවස් දෙකකට විතර පස්සෙ පොලීසියෙන් ඇවිත් අපේ තාත්තව අරගෙන ගියා.එයාල කියන විදිහට ඒ ගෑණු ළමයව හිර කරගෙන ඉදල වහ දීල තියෙන්නෙ අපේ තාත්තලු.  මට ඒක එහෙම නෙවෙයි කියන්න ඕන උනත් අපේ අම්මා මට  කතා කරන්නවත් , කාමරෙන් එළියට එන්නවත් ඉඩ දීපු නැති නිසා මට මුකුත්ම කියන්න උනේ නෑ.
           තාත්තව පොලීසියෙන් අරන් ගියාට පස්සෙ අම්ම හිටියෙ පිස්සු හැදිල වගේ.අම්ම කෑම කන්නෙත් නැතුව අඬල අඬලම අසනීප උනා. අම්මව බලන්න ආපු දොස්තර අංකල් කිව්වෙ කෑම නොකා ඉදල අම්මගෙ ඇඟ දුර්වල වෙලා කියලයි. අම්මට ඇඳට වෙලා විවේක ගන්න දීලා පෝෂදායී කෑම ටිකක් දුන්න නම් අම්මගෙ අසනීපෙ හොඳටම හොඳ වෙයි කියලත් දොස්තර අංකල් කිව්වා..     
         තාත්ත පොලීසියෙන් අරන් ගියාට පස්සෙ අහල පහළ අය උනත් වැඩිය අපි එක්ක කතා කරන්න ආවෙ නෑ , අපේ ගෙදර වැඩට උදව් කරන්න ආව ජෙනී නැන්දත් ඒ සිද්ධියෙන් පස්සෙ  අපේ ගෙවල් පැත්ත පලාතක ආවෙ නෑ. එයාල අපේ ගෙදරට මිනිමරුවගෙ ගෙදර කියල නමකුත් දාලා කියල ලියුම් බෙදන්න ආව කෙනා අපේ අම්මට රහසින් කියනව මම අහගෙන. නොකරපු වැරැද්දකට අරගෙන ගිය තාත්තව බේර ගන්න නම් අම්ම සනීපෙන් ඉන්න ඕන.. ඒක නිසයි මම අම්මට සුප් එකක් හදල දෙන්න තීරණය කලේ..
        මට සුප් එක හදන්න පැය දෙකක් විතර ගියා. ඒක ගොඩක් මහන්සි දැනෙන වැඩක්. කුස්සියෙ තිබුන අම්මගෙ ලොකු කෝප්පෙ ගත්ත මං ඒක පිරෙන්නම සුප් වත්කරගෙන ගිහින් ඇඳේ හේත්තු වෙලා හිටපු අම්මට කතා කලා..

අම්මේ මම ඔයාට සුප් හදාගෙන ආවා..
මේක බොන්න.. මම අම්මගෙ ඔලුව අතගාන ගමන් කිව්වා...

අම්ම බොහොම අමාරුවෙන් පොඩ්ඩක් කෙලින් වෙලා හැන්දෙන්  සුප් ටික බීල ආපහු හාන්සි උනා..

එයා වචනයක්වත් කතා කලේ නෑ. හැබැයි එයාගෙ දුකින් පිරුණ මූණ දැක්කම මට ගොඩාක් දුක හිතුනා..

අම්ම බය වෙන්න එපා , අම්මට ඉක්මනින් සනීප වෙයි.. පෝලී අම්මව සනීප කරනව කියල මට හොඳටම විශ්වාසයි අම්මේ...  මම අම්මට කිව්වා..

පෝලී කියන්නෙ ගෙදර ඉස්සරහ වහලෙ එල්ලල තිබුන කූඩුවෙ හිටපු අපේ හුරතල් කතා කරන ගිරවා. ගිය අවුරුද්දෙ තිබුන විවාහ සංවත්සරයට එයාව අම්මට තෑග්ගක් විදිහට ගෙනල්ල දුන්නෙ තාත්තා..අම්ම කියන විදිහට නම් ඒ ගිරවත් තාත්ත වගේම වාචාල ගිරවෙක්.

පෝලී..!!! අම්ම කතා කලේ කෙඳිරි ගාමින්.

ඔව් අම්මා පොලී. මට දවසක් සීයා කිව්වා චීනෙ මිනිස්සු ලෙඩ හොඳ වෙන්න කුරුලු සුප් බොනව කියල... ඒක ඇඟට ගොඩක් ශක්තිය ගේන දෙයක්ලු.. ඒත් මෙහෙ මස් කඩේ සුප් හදන්න කුරුල්ලො ගන්න නෑනෙ. ඒකයි මම අම්මව ඉක්මනින් සනීප කරන්න කියල හිතාගෙන පොලීව දාල සුප් එකක් හැදුවෙ..මම අම්ම දිහා බලල ආදරෙන් කිව්වා..
             අම්ම ඇස් ලොකු කරල මගෙ දිහා බැලුවා.අම්මගෙ ඇස් වල තිබුනෙ ආදරයක්ද  , බයක්ද කියල මට තේරෙන්නෙ නෑ. සමහරවිට මට පිස්සු දේවල් හිතෙනව වෙන්න ඇති.. අම්ම මොකටද මට බය වෙන්නෙ. එයා මට ගොඩාක් ආදරෙයිනෙ..මම එයාගෙ මැණිකනේ..
             
දෙවනි කොටසේ නිමාව...

No comments:

Post a Comment

හොල්මන

තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...