Saturday, October 14, 2023

රුසියානුවා



    මම දිව්වෙ වැටි වැටී.. දැන් ඔයාල අහන්න පුළුවන් ඇයි මම වැටි වැටි දිව්වෙ කියල.. ඒ හිම නිසා.. දණකට වඩා හිම.. අඩිය තියන්න තියන්න එරෙනවා.. 

       මාව මරන්න එන රුසියානු සොල්දාදුවන්ගෙන් බේරිලා ක්‍රිස්ටෝ ඉන්න පුංචි ගෙදරට දිව්වෙ මට තියෙන එකම බලාපොරොත්තුව එයා නිසා...


දැන් ඔයාල බලනව ඇති ක්‍රිස්ටෝ කියන්නෙ කවුද කියල.  ක්‍රිස්ටෝ කියන්නෙ ක්‍රිස්ටෝපර් ජේකබ්ට.  එයා නිව්යෝර්ක් ටයිම්ස් පත්තරේ පත්තර වාර්තාකාරයෙක්.  ඒත් එයා රුසියාව ගැන තොරතුරු එකතු කරන ඇමරිකානු ඔත්තුකාරයෙක් විදිහට තව රස්සාවකුත් කලා.. මට එයාව හමුවුනේ මීට අවුරුදු තුනකට කලින් මම ක්‍රෙම්ලීන් වල තේ හදන කොල්ලෙක් වෙලා හිටපු කාලෙ..

     ක්‍රෙම්ලීන් තමයි රුසියානු යුධ සැලසුම් හදන තැන. තේ හැදුවට එයාල මට ගෙව්වෙ බොහොම පුංචි ගානයි.. ඒත් දවසක් අහම්බෙන් මට හම්බවුන ක්‍රිස්ටෝ මට හීනෙන්වත් හිතන්න බැරි තරම් ගානක් ගෙව්ව..ඒ හිතන්නවත් බැරි තරම් පුංචි තොරතුරු වලට..


උදාහරණයක් විදිහට කිව්වොත් අපේ හමුදාව උදේ ඉන්නෙ කොතනද කියව්වත් මට මගෙ මාසෙ පඩිය විතර ගානක් ගන්න පුළුවන් උනා... තමන්ගෙ රටට ආදරය කරන රුසියානුවෙක් විදිහට මම ක්‍රිස්ටෝව හමුදාවට අල්ලල දෙන්න ඕන උනත් මම එහෙම කලේ නෑ. ඒකට හේතුව මම රටට ආදරේ නැති නිසා නෙවෙයි.. අපේ සොල්දාදුවො හොඳ නැති නිසා.  උන් මට සැලකුවෙ සතෙක්ට වගේ. ඉතින් මම මොකටද උන්ට උදව් කරන්නෙ.. ඕක තමයි අපේ කතාව..


ඒත් මෙදාපාර මට වැරදුනා.. උන් දැනගත්තා මම තමයි රහස් පිට කරන්නෙ කියල.. ඉතින්  මම පුළුවන් ⁣වෙලාවෙ ජෙනරාල්ගෙ සැලසුමක් හොරකම් කරගෙන ක්‍රිස්ටෝ හොයාගෙන දිව්වා.. අපේ සොල්දාදුවො මගෙ පස්සෙ පැන්නුවෙ පිස්සු බල්ලො වගේ..


ඒත් මම උන් අල්ලගන්න කලින්  ක්‍රිස්ටෝගෙ ගෙදරට රිංගන්න වාසනාවන්ත උනා..


"මොකද ඉවාන් බයවෙලා.?" ක්‍රිස්ටෝ ඇහුවා.


"ඔක්කොම ඉවරයි. මාව අහුවෙන්න ගියා.. මම මේකත් අරන්  පැනගත්තා.. උන් පිස්සු බල්ලො වගේ මාව හොයනව ඇති.. ක්‍රිස්ටෝගෙ අතට ෆයිල් කවරෙ දෙන ගමන් මම කිව්වා.."


"එහෙනං මෙතනින් පැනගන්න වෙලාව හරි"කියපු ක්‍රිස්ටෝ මගෙ අතට සල්ලි වගයක් දීල සුබ ගමන් කිව්වා..


" සුබ ගමන්..? මම කොහෙ හැංගෙන්නද.? මේ පාලු පැත්තටම තියෙන්නෙ මේ ගෙදර විතරයි..එළියෙ හිමට බැස්සොත් මම මැරෙයි.. මාවත් අරන් යන්න" මම ක්‍රිස්ටෝට කිව්වා..


" හිම කරත්තෙ දෙන්නෙක් ගියොත් වේගෙත් අඩුවෙනවා... ඒත් කමක්නෑ. මම කරත්තෙ ලෑස්ති කරන්නං. තමුසෙ මේකත් තියාගෙන ඔතනින් ඉන්නවා.." වොඩ්ක බෝතලයක් මගෙ අතට දීපු ක්‍රිස්ටො හිම කබායකුත් ඇඳගෙන ගෙයින් එළියට බැහැල ගෙට එහාපැත්තෙ තිබුන මඩුවට ගියා.  හිම කරත්තෙයි බල්ලො ටිකයි හිටියෙ ඒකෙ...


ඇමරිකන්කාරයො කියන්නෙ විශ්වාස කරන්න බැරි එවුන් කියල මම දැනගෙන හිටියා.. ඒත් ක්‍රිස්ටො පහුගිය අවුරුදු තුන ඇතුළත මගෙ හොඳම මිත්‍රයෙක් උනා..ඉතින් මිනිහ මාව දාල යන්නෙ නෑ කියල මට හොඳ විශ්වාසක් තිබ්බා..


වොඩ්ක උගුරක් බිබී ජනේලෙන් මඩුව පැත්ත බල ඉන්න මට එකපාරටම එළියෙන් අමුතු සද්දයක් ඇහුන නිසා මම එහා පැත්තෙ ජනේලෙන් මම ආව පාර දිහා බැලුවා... 


සොල්දාදුවෝ.. බල්ලොත් අරගෙන උන් මගේ ඉව පස්සෙ ඇවිත්..  මම දොර පැත්තට දිව්වා.. එතකොට මම දැක්කෙ මොකක්ද දන්නවද..?


කාලකණ්ණි ක්‍රිස්ටෝ කරත්තෙ නැගල තනියෙම පැනල යනවා.


දුවල වැඩක්නැති බව මම තේරුම් ගත්තා. ලඟ තිබුන පුටුවෙන් වාඩිවුන මම වොඩ්ක උගුරක් බිබී සෙබලු ටික මගෙ ලඟට එනකං බලන් හිටියා...


*****  ******   *******  ********* **** 


අවුරුදු 40.. ඔව් මගෙ දඬුවම් කාලෙ උනේ අවුරුදු 40 ක්.. මම හිරෙන් එළියට එනකොට මට වයස අවුරුදු 65 ක්.. ඔව් මම උන්ට අහුනේ වයස අවුරුදු 25 දි..


හිරෙන් එළියට ආව මට කන්න අදින්න තියා ජීවත්වෙන්නවත් විදිහක් තිබුනෙ නෑ.. අවුරුදු හැට ගණන්වල මනුස්සයෙක්ට රස්සාවක් දෙන්න කවුරුවත් කැමති උනෙත් නෑ..


ඒත් ගොඩක් උත්සාහ කරල ලොකු මහත්තයෙක්ගෙ ගෙදර වත්ත සුද්ද කරන රස්සාවක් මට හොයාගන්න පුළුවන් උනා.."මේක තමයි ජීවිතේ" මට හැමවෙලාවෙම හිතුනෙ එහෙම.. එතනින්ම කකා සත පහක්වත් වියදම් නොකර අවුරුදු දෙකක් රස්සාව කලාට පස්සෙ ඇමරිකාවට යන නැවක ටිකට් එකක් ගන්න මට පුළුවන් උනා..


මම මගෙ ජීවිතේ ගත්ත මෝඩ තීන්දු තීරණ එක්ක රස්සාව අතහැරල ඇමරිකාවට යන්න ගත්ත තීරණය මහලොකු තීරණයක් උනේ නෑ..


ඉතින් මම ඇමරිකාවට ගොඩබැස්සා..ඇමරිකාවට ආපු මට ක්‍රිස්ටෝව හොයාගන්න එක මහ දෙයක් උනේ නෑ.. මොකද ඇමරිකාව කොච්චර විශාල රටක් උනත් මිනිහ වැඩ කරපු නිව්යෝර්ක් ටයිම්ස් පත්තර තිබුනෙ රටටම එකයි... මම ගිහින් ප්‍රධාන කාර්‍යයාලයෙන් ඉස්සර යුද වාර්තා ලිපි ලියපු ක්‍රිස්ටෝ ගැන ඇහුවම එයාල මිනිහගෙ ගෙදර විස්තර පවා මට කිව්වා. දැන් ඔයාල බලයි මම කොහොමද ඉංග්‍රීසි දන්නෙ කියලා.. ඒ කාලෙ ක්‍රිස්ටෝ තමයි මට ඉංග්‍රීසි කතා කරන්න ඉගැන්නුවෙ..හොඳටම බැරි උනත් යමක් අහන්න ⁣, තේරුම් ගන්න පුළුවන්  තරමට මිනිහා මට ඉංග්‍රීසි ඉගැන්නුවා.  ඒ අතින් මිනිහ හොඳ මිනිහෙක්...


   අන්තිමට මම ක්‍රිස්ටෝගෙ ගේ හොයාගත්තා.. එ්ක ලොකු මන්දිරයක්.. ඒකෙ ආරක්ෂාව උපරිමයි..මට ඒ වත්තට යන්න පුළුවන්කමක් කොහොමවත් ලැබෙන්නෙ නෑ..


   එත් මම කලිනුත් කිව්ව වගේ මම වාසනාවන්ත මනුස්සයෙක්.. අද ඒ ගෙදර ළමයෙක්ගෙ උපන්දිනේ.. ක්‍රිස්ටෝගෙ මිනිපිරීගෙ උපන්දිනේ.. ⁣ගේට්ටු ඔක්කොම අැරල දාලා.. පවුලෙ අය ඔක්කොම මිදුලට වෙලා උත්සවයක් සමරනවා..


මමත් හිමින් හිමින් ඇතුළට ගියා.. මේන් ක්‍රිස්ටෝ.. මිනිහා අවුරුදු 75 ක විතර නාකියෙක්.. කවුද හි⁣තුවෙ හැඩකාර ක්‍රිස්ටොත් මේ විදිහට නාකි වෙයි කියලා..


මම සෙනඟ අස්සෙන් හිමීට ක්‍රිස්ටො ලඟට ගිහින් එයාගෙ මූණ දිහා බැලුවා.. ඒත් එයා මාව අඳුරගත්තෙ නෑ. එයා පුදුමෙන් වගේ මගෙ දිහා බැලුවා..


"ක්‍රිස්ටෝ.. මම ඉවාන්.." මම හිමීට එහෙම කියද්දි  ක්‍රිස්ටෝගෙ ඇස් ලොකුවුනා.. මම කබාය අස්සෙ හංගගෙන හිටපු පිහිය මිනිහගෙ පපුව හරහා යවද්දිත් මිනිහගෙ අැස් තිබුනෙ ඒ විදිහටමයි...


කට්ටියට කියන්න පුළුවන් මට සමාව දෙන්න තිබුන කියලා. ඒත් අපි රුසියානුවෝ.. අපි මැරෙනකං සමාව දෙන මිනිස්සු නෙවෙයි..


ක්‍රිස්ටොගෙ පවුලෙ හැමෝම බයේ ඒ මේ අත දුවන්න ගත්තා.. මම එතන තිබුන පුටුවකින් වාඩිවෙලා මාව අල්ලං යන්න නිළධාරියො එනකං කබාය අස්සෙ හංගං හිටපු වොඩ්ක බෝතලය අරන් බොන්න පටන්ගත්තෙ මීට අවුරුදු 43 කට කලින් ක්‍රිස්ටො මාව දාල ගියහම රුසියානු හමුදාව මාව අල්ලන්න එද්දි බිව්ව විදිහටමයි..


නිමි..


Friday, September 22, 2023

නිදර්ශකය



ජර්මනියේ පැවති භෞතික විද්‍යා සම්මේලනයකි.ලොව නන්දෙසින් පැමිණි විද්වතුන්ගෙන් පිරී පැවති ශාලාව පැවතියේ අඩ අඳුරේයි.වේදිකාව පමණක් ලා පැහැති සියුම් ආලෝකයකින් ආලෝකමත් කර තිබුණි.

     ආරාධිත කථිකයා වූ වයස අවුරුදු හැටක් පමණ වන මහාචාර්ය ලියනාඩෝ සභාවේ වේදිකාව මතට පැමිණියේ කුඩා පර්යේෂණ නළයක් ද රැගෙනයි. එම නළය විද්‍යාගාර තුළ  භාවිතා කරන පාරදෘශ්‍යය වීදුරු නළයක් බවත් , එම අවස්ථාවේදී එය හිස්ව පැවති බවත් සියලුදෙනාටම බැලූ බැල්මට පෙනුනි. කෙසේ නමුත් එය හොඳින් වැසෙන ලෙස එහි ඉහළින් කිරළ මූඩියක් සවිකර තිබුනි..


වේදිකාව මැද තිබූ මේසය මතින් සැමටම පෙනෙන පරිදි ආධාරකයක් සවිකර එහි පර්යේෂණ නළය රැඳවු ඔහු බැරෑරුම් ස්වරයෙන් මෙසේ පැවසීය..


"මම මේ සභාවට භූතයෙක් ගෙනාවා..."


ඒ සමඟම සභාවේ සිටි සියල්ලෝම සිනාසුනෝය.


නමුත් එම සිනාවට මහාචාර්යවරයාගේ බැරෑරුම් ස්වරූපය වෙනස් කිරීමට හැකියාවක් නොපැවතුණි.එවර ඔහු සභාව දෙස බලා නිර්භීත අයෙක් සිටී නම් ඇවිත් මෙම පර්යේෂණ නළයේ මූඩිය විවර කරන්න යැයි පැවසීය..


 ඒ සමඟ මුලු සභාව පුරාම  පැතිර ගියේ දැඩි නිශ්ශබ්දතාවයකි.


අදාල සිදුවීම සම්බන්ධයෙන්  සිනාසීමට පහසු වූවත් භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් සම්මානලාභී මහාචාර්ය ලියනාඩෝගේ අභියෝගය භාර ගැනීමට තරම් ධෛර්යයක්  ඔවුන් කිසිවෙකු තුළ නොවුනි.මන්ද කොතරම් සිනාසුනද සිතේ අභ්‍යන්තරයේ ඈත කොනක මෙම සම්මානලාභී මහාචාර්යවරයා නිවැරැදි වේදෝයි යන සැකයක් ඔවුන්ගේ සිත් තුළ සැඟවී පැවතුණි..


සභාවේ නිහඬ බව තේරුම් ගත් මහාචාර්යවරයා ඊලඟට තම සාක්කුවට අත දමා ගත්තේ ජායාරූපයකි.එහි තිබුනේ පර්යේෂණ නලයක ජායාරූපයකි.අනතුරුව ඔහු තම කතාව ආරම්භ කලේය.


"මෙතන ඉන්න බහුතරයක් භෞතික විද්‍යා මහාචාර්යවරු , අනෙක් අයත් ලෝකය පිළිගත්ත විද්‍යාව සම්බන්ධ මහාචාර්ය තනතුරු හොබවන පිරිස්. ඔයාල හැමෝම දන්නවා මේ ජායාරූයේ තියෙන්නෙ මොකක්ද කියල. හැමෝම දන්න විදිහට මේකෙ තියෙන්නෙ තෝමස් අල්වා එඩිසන්ගේ අන්තිම හුස්ම ඇතුළත් පර්යේෂණ නළයේ ජායාරූපයක්..." (මෙය මිචිගන්හි හෙන්රි ෆෝඩ් කෞතුකාගාරයේ අදටත් දැක ගත හැකිය.)

        "හුස්මක් කියන්නෙ මොකක්ද කියල මම වගේම ඔයාලත් දන්නවනේ.ඒ ගැන අමුතුවෙන් කියල දෙන්න අවශ්‍ය නෑනේ. මනුස්සයෙක්ගෙ හුස්ම වල තියෙන්නෙ වායූන් එකතුවක්..හරියටම කිව්වොත් වැඩිපුරම තියෙන්නෙ ඔක්සිජන් සහ කාබන්ඩයොක්සයිඩ් .හැම මනුස්සයම හුස්ම ගන්නකොට ඒ වායූන් පිටවෙනවා. එහෙනං ඇයි මේ මිනිස්සු තෝමස් අල්වා එඩිසන්ගෙන් පිටවුන වායූන් ටිකක් පර්යේෂණ නළයක දාගෙන ඒක මහ වටින දෙයක් විදිහට සමාජයට පෙන්නන්නෙ. විද්‍යාඥයො විදිහට දැන් මට හිනාවුනා වගේ අපි ඇයි ඒකට මහ සද්දෙන් හිනා වෙන්නෙ නැත්තෙ..? ⁣

     ඒකට හේතුව තමයි හිත ඇතුලෙන් ඔයාල දන්නවා ඒ අවසන් හුස්ම කියන දේ සමහරවිට නිකම්ම වායූන් එකතුවක් වෙන්න පුළුවන් වගේම නොවෙන්නත් පුළුවන් කියලා.ඒ අදහස තියෙන්නෙ ඔයාලගෙ හිතේ අභ්‍යන්තරයේ ඈත කොනක.. ඔයාල ඒක ලේසියෙන් පිළිගන්නෙ නෑ. නමුත් ඔයාල දන්නවා.." මහාචාර්යවරයා අවසාන කොටස පැවසුවේ ආවේගශීලී ස්වරූපයකිනි..


     "හොඳයි අපි මේ කතාව තවත් රසවත් කරමුකො.. මම කියනවා මේ සභාවෙ බූතයෙක් ඉන්නව කියල. ඔහේලා ඒකට හිනාවෙනවා.හැබැයි මම ඔහේලට ඇවිත් මේ බෝතලේ අරින්න කිව්වම ඔහේලා කවුරුවත් ඒක කරන්න කැමති නෑ. හරි එහෙනං මම මේක අරින්නම්කො.මහාචාර්යවරයා පවසන්ද්දී කිසිවෙක් වචනයක්වත් නොකීවෝය.. 


 පර්යේෂණ නළය ආධාරකයෙන් ගලවා තම අතට ගත් මහාචාර්යවරයා ඉන් අනතුරුව එහි ගසා තිබූ කිරළ මූඩිය ගලවා දැමීය..


සියලු දෙනාම දෑස් දල්වා බලා සිටියෝය..


කිසිවක් සිදු නොවුනි..


 මහාචාර්යවරයාගේ සමකාලීනයෙකු වූ මහාචාර්ය බෙල් අවසානයේ තම හඬ අවධි කිරීමට සමත් විය..


"කෝ මුකුත් නෑනෙ."


ඒත් සමගම මහාචාර්යවරයා මහ හඬින් සිනාසෙන්නට විය..බෙල් මගෙ මිත්‍රයා.  ඔබත්...?


ඔහේල ඔක්කොම මේ ලෝකය දිහා බලන්නෙ බොහොම පුංචි රාමුවකින් , මමත් ඉස්සර එහෙම තමයි බැලුවෙ.. ඒ නිසා ඔහේලට ඒ ගැන වැරැද්දක් කියන්නත් බෑ. ඒත් දැන් කාලය ඇවිත් ලෝකෙ තියෙන ලොකු පින්තූරය දිහා බලන්න , බලල ඉගෙන ගන්න..! මම ඔහේල ගැන මෙච්චරටම හිතන නිසයි මේ වැඩේ කලේ.. මම අද ඔහේලට ලබා දුන්නෙ ලෝකෙ කවුරුවත් ලබා නොදෙන අවස්ථාවක්...!


අනතුරුව මහාචාර්යවරයා තවත් යමක් පැවසීමට ගියත් ඔහුට කැස්සක් පැමිණියේය.., ආයාසයෙන් තම කැස්ස යටපත් කරගත් ඔහු , මම ඉක්මනින් එළියට ගිහින් එන්නම් යනුවෙන් පවසමින් වේදිකාව පසුපස තිබූ කුඩා දොරටුවෙන් පිටවිය..


මහාචාර්යවරයා පිටව ගිය පසු සියලු දෙනාම කතාකලේ ඔහුගේ මෙම අරුම පුදුම පර්යේෂණ නළයේ සිදුවීම සම්බන්ධවයි. ඔවුන් එසේ සාකච්ඡා කරමින් අතරතුර එකවරම ශාලාවේ දොරටු විවර විය..


විවෘත වූ දොරෙන් එම ස්ථානයට පැමිණියේ අදාල දේශනය සංවිධානය කළ පිරිසෙන් අයෙකි.. 


ඔහුගේ මුහුණ කිසියම් භීතියකට නිරාවරණය උනාක් මෙන් විරූපී වී පැවතුණි..


සියලු දෙනාම තම කතාබස් නවත්වා ඔහු දෙස බැලීය..


ඔහු බියපත් හඬකින් මෙසේ පැවසීය...


"දැන් ටිකකට කලින් මහාචාර්ය ලියනාඩෝ නවාතැන් අරන් හිටපු හෝටලයෙන් අපිට කතා කලා"


"මහාචාර්යතුමා රාත්‍රීයේ ඇතිවුන හදිසි හෘදයාබාධයකින් මිය ගිහින්. ඔවුන් දැන් ටිකකට කලින් කාමරේ තිබිල එතුමගෙ සිරුර හොයාගෙන..!"


නිමි..


             - තරිඳු ලක්ශාන් -

ගුරුකම



       මහා රාත්‍රීයේ බොරැල්ල කනත්ත වෙත පැමිණි ගුරුන්නාන්සේත් මමත් සූදානම් වූයේ මීට දින තුනකට මත්තෙන් නැසී මිය පරළොව ගිය කෝටිපති ව්‍යාපාරික ජයසිංහ කොඩිතුවක්කු මහතාගේ මෘත දේහය සම්බන්ධයෙන් සුවිශේෂී රාජකාරියක් සිදු කිරීමටයි.නැසී යාමට ප්‍රථම රෝගාතුරව සිටියදී එතුමා ගුරුන්නාන්සේ සමඟ මෙම ගුරුකම සම්බන්ධයෙන් සාකච්ඡා කොට ගාස්තු වශයෙන් ඉතා විශාල මුදලක් ගෙවා තිබූ අතර මුදලාලි හට පොරොන්දු වූ පරිදි ගුරුන්නාන්සේත් , ඔහුගේ හොඳම ගෝලයා වූ මමත් , ජයසිංහ මුදලාලි⁣ගේ එකම පුත්‍රයා වූ සංජීවත් මුදලාලිගේ මරණයෙන් තුන් දිනකට පසුව මෙම රාජකාරිය සඳහා බොරැල්ල කනත්ත වෙත පැමිණියෙමු.. ගමේ බසින් කිවහොත් නාහෙට නාහන ඉලන්දාරියෙකු වූ සංජීව මෙම ගමනට එකතු වූයේ එතරම් කැමැත්තෙන් නොවේ..

    ⁣  අපගේ රාජකාරියේ බරපතළ බව මෙන්ම රහස්ගත බව නිසා අපි වෙන කිසිවෙකුට මේ ගමන ගැන නොපැවසූ අතර , කිසිවෙකු මේ ගමනට රැගෙන නොආවෙමු..


 කනත්තේ මුරකරුවා හට ගුරුන්නාන්සේ විසින් සවස් වරුවේදීම  පුංචි සන්තෝෂමක් දී තිබූ අතර ඔහු මේ වනවිටත් එය රැගෙන තැබෑරුමක් සොයා ගොස් තිබුණි.. නැවත පැමිණියද බීමතින් සිටින ඔහුගෙන් අපට ගැ⁣ටලුවක් නොවන බව ගුරුන්නාන්සේගේ විශ්වාසය විය..


මුදලාලිගේ මිනිය පැවතියේ ඔහු වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය කරන ලද සොහොන් ගෙයක් තුළයි.. රැගෙන ආ යතුරෙන් සොහොන්ගෙය විවෘත කර ඇතුල් වී රැගෙන ආ විශාල විදුලි ලාම්පුව දල්වා සොහොන් ගෙයි කොනකින් තැබූ ගුරුන්නාන්සේ ,


"හ්ම්ම් ඔය ගල් ලෑල්ල පැත්තකට කරලා පෙට්ටිය එළියට අරන් මිනිය හොඳට පේන්න සැලැස්සුව නං" යනුවෙන් අප දෙදෙනා හට පැවසුවේය..


ඒ අනුව මුදලාලිගේ පුතා වූ සංජීවත් මමත් ⁣දේහය සහිත පෙට්ටිය තැම්පත් කර තිබූ විශාල ගල් පෙට්ටියේ පියන පසෙකට ඇද දමා මිණි පෙට්ටිය ඉන් ඉවතට ගෙන , එය විවෘත කර  මුදලාලිගේ දේහය සොහොන් කුටියෙයි බිම වැතිරුවෙමු..


ගුරුන්නාන්සේ විසින් පෙර උපදෙස් දී තිබූ පරිද්දෙන් සැකසූ මුදලාලිගේ අන්තිම කැමති පත්‍රයට අනුව මුදලාලිගේ මිනිය එම්බාම් කර නොතිබූ හෙයින් මිනියෙන් පැමිණියේ අමු මිණී කුණු ගඳකි.. ඊට අමතරව  මුදලාලිගේ මිණියේ  මුහුනේ මතුව තිබූ තුවාල වැනි කැලැල් තුළින් ඔජස් ගලනුද ලාම්පු එළියෙන් අපි දුටුවෙමු..


"තුහ් විතරක්" , සංජීව පිළිකුල දරා ඉවසාගත නොහැකිව නාසය වසාගෙන එළියට ගොස් කෙළ ගසා ඇතුලට නොපැමිණ එළියටම වී සිටින්නට විය..


අනාථයෙක් වී සිටි මා හදා වඩාගෙන කුඩා කල සිට යන්ත්‍ර මන්ත්‍ර උගන්වා පුරුදු පුහුණු කලේ ගුරුන්නාන්සේ විසිනි..මටද එම ගඳ දරාගත නොහැකි වූවත් ගුරුන්නාන්සේගේ ප්‍රධාන ගෝලයා වශයෙන් ඉටු කළ යුතු යුතුකම් කොටසක් පැවති බැවින් මම එය අපහසුවෙන් උවද දරාගෙන එම ස්ථානයටම වී සිටියෙමි..


"මෙහාට වරෙන්..! ඔය තොගෙ තාත්ත යකෝ.." එකවරම ගුරුන්නාන්සේ කල නියෝගයෙන් සංජීව තක්කු මුක්කු වී ගිය අතර ඒ සමඟ බියත් පිළිකුලත් ⁣අපහසුවෙන් සඟවාගත් සංජීව නැවතත් කුටිය තුළට පැමිණියේය..


"ඔය දොර වහල දාපං.. මේක හදල තියෙන්නෙ ඇතුලෙන් කිසිම සද්දයක් එළියට ඇහෙන්නෙ නැති වෙන්න..නැත්නම් අපි මෙතන මතුරන්න ගන්නකොට පාරෙ යන එවුනුත් මොකක්ද සද්දෙ බලන්න එයි.." ගුරුන්නාන්සේ පැවසීය..


අවසානයේ ගුරුන්නාන්සේ මැතිරීම ආරම්භ කලේ සොහොන් ගෙයි දොර වසා අපි මිනිය වටේ හිටගත් පසුවයි..


"ඕ රීන් ගිරු ගරූං , සල්යා වාඩි පොඩි තුරා.මාරා බලා තුලා වාහ්" එසේ මැතිරූ ගුරුන්නාන්සේ "ඕං රී යක්ෂයා එනවා හොඳයි... මහමුහුද පලාගෙන ඇවිත් මගේ අණ ඉෂ්ට කරනවා හොඳයි.."  වැන  අණකිරීම්ද ගුරුකම අතරතුර සිදුකරන්නට විය..


බොහෝ වේලාවක් මැතිරීම් සහ ජප කිරීම් සිදු කිරීමෙන්  පසු අවසානයේ ගුරුන්නාන්සේ විසින් මා හට අවශ්‍ය කරන ඉඟිය ලබා දුන්නේය..    "උක්කුවා දැන්..."


එ් සමගම මම ඉණෙහි සඟවාගෙන තිබූ කිණිස්ස ඉවතට ගෙන මා ඉදිරියට වී යාතුකර්මය දෙස බලා සිටින සංජීවගේ පපුවට ඉන් වේගවත් පහරක් එල්ල කලෙමි..


⁣කිණිස්ස පපුව සිදුරු කරමින් ඇතුල්වීමත් සමඟ සංජීව කපා හෙලූ ගසක් සේ බිමට පතිත විය..බිම වැටුණු ඔහුගේ හිස පැත්තට කඩා වැටී තිබූ නමුත් කට යන්තමින් සෙලවුණේ උදව් ඉල්ලන්නාක් මෙනි..


හ්ම්ම් .. දැන් ගුරුකම සම්පූර්ණ කරමු.. 


මියගිය සංජීවගේ වම් අත ගෙන මුදලාලිගේ දේහයේ දකුණු අත උඩින් තැබූ මා  , ඉණේ තිබූ උෟරු තෙල් කුප්පියෙන් තෙල් ටිකක් ගෙන ගුරුන්නාන්සේගේ කලමණා පෙට්ටියෙන් ගත් පහණක් ඉන්  පත්තු කර දෙදෙනාගේ අත් උඩින් තබා  සියල්ල සූදානම් කලෙමි...


ගුරුන්නාන්සේ මහ හඬින් මතුරන්නට විය..මම ඒ අසලට වී බලා සිටියෙමි.


ටික වේලාවක්  ගුරුන්නාන්සේ මතුරන විට ජයසිංහ මුදලාලිගේ මිනියේ යම් දැඟලීමක් මම දුටුවෙමි..මම සෙමෙන් ගුරුන්නාන්සේට තට්ටු කලෙමි..


එසෙද බැලූ ගුරුන්නාන්සේ මැතිරීම වේගවත් කරන්නට විය..ඒ සමඟම මිනියේ දැඟලීමද වේගවත් විය..


"දැන් තමයි වෙලාව , මාරු කරපං කැවුත්ත.." එකවරම ගුරුන්නාන්සේ මහ හඬින් අණ දීමත් සමඟ මම වහාම ක්‍රියාත්මක වීමී..


මුදලාලිගේ පුත්‍රයාගේ මිනියේ පපුව විවෘත කල මම ඔහුගේ හදවත ගලවා පැත්තකින් තැබුවෙමි.. මීලඟට මම පැලුවේ මුදලාලිගේ මිනියයි..පුත්‍රයාගේ හදවත නිහඬව පැවතියත් මුදලාලිගේ හදවත වේගයෙන් ගැහෙමින් පැවතුනි..


"වෙලාව පරක්කු වෙනවා. ඉක්මන් කරහං" ගුරුන්නාන්සේගේ ගෝරනාඩුව මගේ කාර්‍යය තවත් ඉක්මන් කලේය..


 මුදලාලිගේ හදවත පුත්‍රයාගේ සිරුරට ඇතුල් කල මම , පුත්‍රයාගේ හදවත මුදලාලිගේ සිරුරට ඇතුලු කලෙමි..මගේ කටයුතු නිමා කලත්ම ගුරුන්නාන්සේ මැතිරීම නවත්තා දෑසට නොපෙනෙන යම් බලවේගකට අණ ලබා දෙන්නට විය.


"එකම ලේ ධාතුව , තොපි ඌ වෙනුවට මූව අරන් පලයල්ලා.." 


ඒ සමඟම  මුදලාලිගේ පුත්‍රයාගේ ශරීරයේ තිබූ තුවාලය සම්පූර්ණයෙන්ම සුවවී අතුරුදන් වී ගිය අතර එකවරම ඔහු තම දෑස් ඇර වටපිට බලන්නට විය..


ඔහු අසලට ගිය ගුරුන්නාන්සේ තම දෑත දිගු කොට ඔහුට නැගී සිටීමට උපකාර කලේය..


"ගුරුන්නාන්සෙ අපූරුවට වැඩේ කලා" මියගිය මුදලාලි තම පුත් සංජීවගේ ශරීරය තුළින් නැගී සිටිමින් පැවසීය..


"කොල්ලො උබ ඔය බඩු ටිකයි මිනියයි ඔක්කොම එකතු කරල ඔය ගල් පෙට්ටියට දාල වහල දාපං.." මා හට එසේ පැවසූ ගුරුන්නාන්සේ මුදලාලි සමඟ දොර විවෘත කර සොහොන් ගෙයින් පිටතට ගියේය...


වැඩකටයුතු අවසන් කළ යුතු වූවත් , ගුරුන්නාන්සේ හා මරණයෙන් අවධි වූ මුදලාලි අතර සිදුවන කතාබහ අසා ගැනීමට ඇතිවූ අසීමිත ආසාව නිසා මම විවෘතව පැවති දොර අයිනට ගොස් ඔවුන්ගේ කතා බහට කන් දුන්නෙමි..


ඔවුන් කතා කරමින් සිටියේ ගුරුකමේ තත්වය පිළිබඳවයි..


"කොහොමද සරීරේ..?" ගුරුන්නාන්සේ මුදලාලිගෙන් විමසීය..


"කලින් එකාට වඩා හොඳයි..මූ කොහොමත් ඔක්කොටම වඩා ඇඟපත ගැන හිතපු එකානේ.." මුදලාලි  පැවසීය..


"එහෙනං වැඩේ හරි. දැන් ඉතින් කලින් කලා වගේම නාකි වෙනකං මේ කොලුවගෙ ඇඟට වෙලා ඉන්න එක තමයි තියෙන්නෙ.." ගුරුන්නාන්සේ මුදලාලි දෙස බලා පැවසීය..


"මට කොලුව පවු කියලත් හිතෙනව බං.."  මුදලාලි පැවසීය..


"මොනා කරන්නද බං. අපිට මේ ගුරුකම කරන්න නම් එකම ලේ ධාතුව තියෙන තරුණ එකෙක් හොයා නොගෙනම බෑ." ගුරුන්නාන්සේ පැවසීය..


"උබත් දැන් නාකි වීගෙන එන්නෙ. උබට තරුණ වෙන්න අදහසක් එහෙම නැද්ද ගුරුන්නාන්සේ."මුදලාලි විමසීය.


මොකෝ බං නැත්තෙ.."කාලෙ ආවම මම වැඩේ කොරගන්නංකෝ.."


"ගුරුන්නාන්සෙට පුතාල ඉන්නවැයි..?"


"අර ඉන්නෙ ඇතුළට වෙලා."


"අර අරූ , ගෝල කොලුවා..ඔව්. ඌ හිතාගෙන ඉන්නෙ ඌ අනාතයෙක් කියලා..ඒත් ඌ මගෙ එකා.පුංචි කාලෙම උගෙ අම්ම නැති උනානෙ.."


"මොකෝ බං උබ ඌට ඇත්ත කිව්වෙ නැත්තෙ..?"


"ඇත්ත කියලා මම ඌව ලන්කර ගත්ත කියමුකො.. එහෙම කෙරුවැයි කියල මම ඌව නොමර ඉන්නද? මෙදාපාර මට ඉන්න එකම පුත්තරයා ඌ විතරයි. මේ නහින දෙහින කාලෙ ඉන්න මම ආයි ළමයි හදන්න යෑ. ඌව ආරක්ෂා කරන්න ගියොත් මට මැරෙන්නයි වෙන්නෙ.." ගුරුන්නාන්සේ ආවේගයෙන් මෙන් පවසාගෙන ගියේය..


එය ඇසූ මගේ සියොළඟ වෙවුලා ගියේය.. "එහෙනං ඒ මගෙ තාත්තා.."  

"අමුනුස්සයෙක් වගේ වැඩ අරන් මට අගුපිළේ නිදියගන්න ඇරලා මාව බිලිදෙන්න හිතාගෙන ඉන්න තාත්තා.."


කෝපය සමඟ අා වේදනාව මගේ නහර රත් කරමින් ගලාගෙන යනු මට දැනිණි..


සිත තදකරගත් මා කිසිවක් නොවුනා සේ වැඩ අවසන් කර ශබ්ද නගා හති අරිමින් සොහොන් කුටියෙන් පිටතට පැමිණියෙමි..


"වැඩ ටික ඔක්කොම ඉවරද බං..?" ගුරුන්නාන්සේ මගෙන් විමසීය..


ඔක්කොම හරි ගුරුන්නාන්සේ ,තව එක වැඩයි තියෙන්නෙ.. අර ගල් ලෑල්ල දාල පෙට්ටිය වහගන්න ඕන..ඒක මට උස්සගන්න බෑ..මගෙ පපුවත් රිදෙනව වගේ ඒක උස්සන්න ගිහින්..


"කොල්ලෙක් නේද උබ..? අනේ මන්දා අද කාලෙ හැදෙන කොල්ලෝ.., උබ ඔහෙන් වාඩි වෙලා හිටපං මමයි මුදලාලියි ඒක වහල දාල එන්න.." එසේ පැවසූ ගුරුන්නාන්සේ මුදලාලි සමඟ සොහොන් ගෙය තුළට පිවිසුනෝය..


අපහසුවෙන් සොහොන් ගෙයි දොර ලඟට ගොස් ඔවුන් දෙදෙනා ගල් ලෑල්ල අසලට යන අයුරු බලා සිටි මා , ඔවුන් ගල් ලෑල්ල ඔසවත්ම වහාම සොහොන් ගෙයි දොර වසා දමා , මා දොරේ තවමත් රැදී තිබූ යතුරෙන් එය අගුලු ලා ඔවුන්ව සොහොන්ගෙය ඇතුලේ සිර කලෙමි..


කිසිඳු ශබ්දයක් නැත. ගුරුන්නාන්සේ පෙර සඳහන් කළ පරිදිම සොහොන්ගෙය සාදා තිබුනේ ඇතුලේ කිසිම සද්දයක් පිටතට නොඇසෙන පරිද්දෙනි.. එය ගුරුකම කිරීමට උපකාර වූ විලසම මෙම මෘර්ග මිනිසුන් දෙදෙනාව මරණය තෙක් සිර කිරීමටද උපකාර වනු ඇත..


 සොහොන්ගෙය අසල ගුරුන්නාන්සේ විසින් හේත්තු කර තිබූ බෙරය ගෙන කරේ එල්ලාගත් මා ,  බීමතින් කනත්තේ දොරටුව අසල මුර මඩුවේ වැතිර නිදා සිටි මුරකරුවා දෙසද බලා , කිසිවක් නොවූ විලස එම ස්ථානයෙන් පිටත්ව ආවෙමි..


නිමි..


                      - තරිඳු ලක්ශාන් -

Friday, September 15, 2023

මානසික රෝගියා

 ~ මානසික රෝගියා ~



"නම..?"


"පුංචප්පු"


"ගම..?"


"මාතර"


"වයස..?"


"අවුරුදු 243 යි.."


   මෙතෙක් වෙලා රෝගීන්ගේ තොරතුරු සටහන් කරගන්නා පොත දෙස බලාසිටි වෛද්‍යවරයා එදින දහවල් ආහාරයට පෙර තමාව හමු වීමට පැමිණි අවසන්  රෝගියා දෙස අවධානයෙන් බැලීමට ගත්තේ එම ප්‍රකාශයෙන් පසුවයි....


වෛද්‍යවරයා ඉදිරියේ වාඩි වී සිටියේ හොදින් ඇඳ පැළඳගත් වයස අවුරුදු 30 පමණ ගැමි පෙනුමකින් යුත් ප්‍රියමනාප තරුණයෙකි..


"වයස අවුරුදු 243 වෙනවා ඔහේට..?"


"ඔව්.."


ඒ වචනය ඇසීමෙන්ම මොහු මානසික ⁣රෝගී පුද්ගයෙක් වන බව වෛද්‍යවරයාට වැටහුණි.


    මම දැන් මෙයාට මොකක්ද කරන්නෙ..? මම මෙතනින් නැගිටලා යන්න ගියොත් මේ මනුස්සයා කලබල කරන්න පුළුවන්. මේ වෙලාවෙ කරන්න පුළුවන් හොඳම දේ තමයි මෙයා එක්ක හිමින් ⁣සීරුවේ කතා කරලා මෙයාගෙ විස්තර ටිකක් අරගන්න එක. ඊට පස්සෙ පුළුවන් උනොත් මම මෙයාව කැමැත්තෙන්ම මානසික රෝග සායනයට යවනවා. එහෙම බැරි උනොත් මිනිහගෙන් විස්තර අරන් ඒ ටික ඩොක්ටර් ජයමාන්නට දීල මේ මනුස්සයව මානසික රෝහලකට හරි යවන්න ඕන.. මෙසේ කල්පනා කල වෛද්‍යවරයා රෝගියාගේ විශ්වාසය දිනාගැනීම පිණිස ඔහු සමඟ කතා කිරීම ආරම්භ කලේය...


"අවුරුදු 243 ක්. හ්ම්ම් ..ඒ කියන්නෙ ලොකු කාලයක්.. එහෙනං ඔහේ නිදහස් සටනටත් ඉදල තියෙනව නේද? "


"ඔව් මම හිටියා."


"සුද්දො එක්ක සටන් එහෙමත් කරන්න ඇති..?"


"නෑ. මම සටන් කලේ සිංහල මිනිස්සු එක්ක.."


"ඒ මොකද ඒ..?"


"මොකද මම හිටියෙ සුද්දන්ගෙ පැත්තෙ නිසා.." රෝගියා සිනාසෙමින් පැවසීය..


"ඔහේ පුදුම මනුස්සයෙක්නෙ.. සිංහලයෙක් වෙලත් ඇයි ඒ විදිහට වැඩ කලේ..?"


"මොනා කරන්නද මහත්තයෝ. මගෙ ලෙඩේ හොඳ කරගන්න නම් මට ඒක කරන්නම උනා.."


"මොනවා ලෙඩේට බෙහෙත් කරන්න..? මොකක්ද සිංහලයන්ට ද්‍රෝහි වෙන්න තරම් තමුසෙට හැදිල තිබුන ලෙඩේ..?" වෛද්‍යවරයා එය ඇසුවේ රෝගියාගේ අසනීපය ගැන දැනුවත් වීමටත් වඩා , මෙම කතාව තුළින් ඔහු තුළ මතු වූ කුතුහලය නිවාගැනීමේ අටියෙනි..


"වයසට යන එක."


"වයසට යන එක ලෙඩක් නෙවෙයිනෙ..ඉපදුන හැමෝම වයසට යනවා.."  වෛද්‍යවරයා පැවසුවේ වැඩිහිටියෙකු දරුවෙකුට නොදන්නා යමක් පැහැදිලි කරදෙන ස්වරූපයෙනි..


"ඒ ඔබතුමා හිතන හැටි."


"වයසට යන එක ලෙඩක් නම් , තමුසෙ ලඟ ඒකට බෙහෙතකුත් තියෙනව නම් , තමුසෙ මට කියනවකො බලන්න තමුසෙ ඒකට හොයාගත්ත බෙහෙත.." ⁣වෛද්‍යවරයා පැවසුවේ කෝපයෙනි.. රෝගියාගේ කතාව වෛද්‍යවරයා තුළ ඇතිකල කෝපය ඔහු මානසික රෝගියෙක් බව පවා අමතක කර දැමීමට පවා සමත්විය..


"මම බෙහෙතක් හොයාගත්තෙ නෑ , මට බෙහෙතක් දුන්නා.."රෝගියා පැවසීය..


"කවුද දුන්නෙ..?"


"රීරි යකා.."


"යක්කුන්ට පුළුවන් ද මනුස්⁣සයෝ මිනිස්සුන්ට බෙහෙත් කරන්න..?"


"මමත් ඒ යකාව හම්බවෙන්න කලින් ඔහොම තමයි හිතාගෙන හිටියෙ.."


"ඉතින් මොකක්ද යකා ඔහේට දීපු බෙහෙත..?"


"වරමක්..!!!"


"වරමක්..?" වෛද්‍යවරයා ඇසීය.


"ඔව් වරමක්..මම ඒ කාලෙ ලංකායෙ රජතුමාගෙ ගහලයා විදිහ⁣ට රස්සාව කලේ. මම දවසට මිනිස්සු විස්සක් තිහක් එළොව යැව්වා.. ඒ⁣ක රීරි යකාට කැපවුණ භූමිය , ඉතින් ඒ සතුටට දවසක් රීරි යකා ඇවිත් මට වරමක් දුන්නා.."


"මොකක්ද ඒ වරම..?"


" මම අහිංසක නිර්දෝෂී ගුණයහපත් මනුස්සයෙක්ව මරන වාරයක් ගානෙ යකා මට ජීවත්වෙන්න අවුරුදු දහයක ආයු කාලයක් දෙනවා.යක්කු හරි ආසයි හොඳ මිනිස්සුව බිලි ගන්න."


"ඉතින් ඔහේ පහුගිය කාලෙම ඔය වරම ගන්න මිනිස්සු මැරුවද?" මෙම පුද්ගලයා ඝාතන මානසිකවයකින් පෙළෙන බව වටහා ගත් වෛද්‍යවරයා විමසුවේ බියෙනුයි..


"හපෝ නෑ.."


"මම කලිනුත් කිව්වනෙ මම නිදහස් සටනෙදි ඉංග්‍රීසින්ගෙ පැත්තෙ හිටියා කියලා..ඉතින් මගෙ වැඩ නිසා අහිංසක නිර්දෝෂී ගුණයහපත් මිනිස්සු ගොඩාක් මැරිල ගියා.ඉතින් මට ලොකු කාලෙකට මගෙ ආයුෂ  වැඩි කරගන්න කාවවත් මරන්න ඕන උනේ නෑ.."


එය ඇසූ වෛද්‍යවරයා හට දැනුනේ විශාල සැනසීමකි.


" මීට අවුරුදු බර ගානකට කලින් සිද්ධවුන දේවල් කියල හිතින් මවාගත්ත දේවල් ගැන කියන්නෙ මිනිහ තාම ඝාතන මානසිකවයකට ඇවිත් නෑ." වෛද්‍යවරයා එසේ කල්පනා කලේය..


"ඉතින් ඉතින් , ඔහේට තියෙන ලෙඩෙත් ඔහේ දන්නව නම් , බෙහෙතත් ඔහේ දන්නව නම්. ඇයි ඔහේ මාව හම්බවෙන්න ආවෙ..?" මේ වන විට වෛද්‍යවරයා සතුව තිබූ කුතුහලය නිසා රෝගියා මානසික රෝගියෙක් බවද අමතක කරමින් වෛද්‍යවරයා නැවතත් ඔහු වෙත ප්‍රශ්නයක් යොමු කෙරුවේය..


"මට ආරංචි උනා ඔබතුමා ගිය සතියෙ ලෙඩ්ඩු වගේකට නොමිලේ ඇස් කණ්ණාඩි වගයක් බෙදල දුන්න කියල.."


"ආ.. ඒ කියන්නෙ ඔහේටත් ඇස් කණ්ණාඩියක් ඕනද? ඔහේව දැක්කම නම් පෙනීම වරදක් තියෙනව කියල පෙනුනෙම නෑ , තාම තරුණ වයසෙ කෙනෙක්නෙ.. මගෙ ලඟ නොමිලේ බෙදල දෙන්න තිබුන කණ්ණාඩි ටික නම් දැන් බෙදල ඉවරයි. ඒත් මට පුළුවන් වෙයි ඔහේටත් එකක් හොයල දෙන්න.. මට ඔහේගෙ නමයි , ගමයි ඇඩ්රස් එකයි දෙනවකො." වෛද්‍යවරයා රෝගියාගේ තොරතුරු ලබාගැනීමේ අරමුණින් කපටි ප්‍රශ්නයක් රෝගියා වෙත එල්ල කරමින් විමසීය..


"මගෙ නම තමයි  අමල්ක හිමේෂාන් , මම පදිංචි ⁣වෙලා ඉන්නෙ හෝමාගම.. ඒත් ඩොක්ටර් මට ඇස් කණ්ණාඩි අවශ්‍ය නෑ.."


මෙය ඇසීමත් සමඟ වෛද්‍යවරයා පත්වූයේ තවත් පැටලිලි සහගත තත්වයකටයි.. නමුත් මානසික රෝගියෙකුගෙන් මීට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු විය නොහැකි බව ඔහු දැන සිටියේය.  බොහෝදුරට තරුණයාගේ ඇත්ත නම මෙය විය හැකි බව වෛද්‍යවරයා තුළ විශ්වාසයක් විය. එම නිසා ඒ ගැන තහවුරු කර ගැනීම සදහා වෛද්‍යවරයා මෙසේ විමසීය..


"ඔහේ දැන් ටිකකට කලින් ඔහේගෙ නම පුංචප්පු කියල කිව්වා..දැන් කියනවා අමල්ක කියල.දැන් ටිකකට කලින් කිව්වා මාතර තමයි ගම කියල , දැන් කියනවා හෝමාගම තමයි ගම කියලා.. ඇත්තටම තමුසෙ කියන දේවල් තේරුම් ගන්න හරිම අමාරුයිනේ..."


"ඔය දෙකම හරි නම් තමයි මහත්තයෝ.. ඔබතුමා හිතුවද අවුරුදු 243 ක් ජීවත්වෙනකොට එකම නම දාගෙන එකම ගමේ ජීවත්වෙන්න තරම් මට පිස්සුවක් තියෙනව කියලා.ඒ විදිහට මම එකම නමකින් එකම තැන හිටිය නම් යකෙක් කියල හිතල මිනිස්සු මාව අල්ලගෙන ඇඟේ ගලක් ගැට ගහල ⁣ගඟට දායි , නැත්නම් මාව කට්ටිය අල්ලගෙන ගිහින් හිරකරල වද දීල පරීක්ෂණ කරයි."


"මම කාලෙන් කාලෙට මගේ නම් වෙනස් කලා , ගම් වෙනස් කලා.  එහෙම තමයි මම මෙච්චර කාලයක් ආරක්ෂිත විදිහට  ජීවත්වුනේ..මම කාටවත් මේව කියන්න නෙවෙයි හිතාගෙන හිටියෙ..."


"ඉතින් දැන් ඔහේ ඔය ඔක්කොම මට කිව්වනෙ? මාව එච්චර විශ්වාස ද?" 


"මහත්තය නම් විශ්වාස තියන්න පුළුවන් මිනිහෙක් විත්තිය මම දන්නවා. ඒත් ඒක නෙවෙයි මම මහත්තයට ඇත්ත කියන්න හේතුව..අතන කවුලුවෙන් අපි දිහා බලන් ඉන්න නර්ස් නෝනා දවල් කෑමට යනකං ⁣මම මොනාහරි කිය කිය ඔබතුමා එක්ක ඉන්නත් එපැයි...ඔන්න දැනුයි ඒ නෝනා කෑමට ගියේ..එතකං තමයි මම ඔබතුමාට මගේ ජීවිත කතාව කිව්වෙ.."


"ඒ මොකටද තමුසෙ ඒ නර්ස් නෝනා යනකං ඉන්නෙ..?" වෛද්‍යවරයා විමසුවේ පුදුමයට පත්වයි..


මෙන්න මේකට..!


තම ඉණෙහි සඟවාගෙන සිටි කිණිස්ස එළියට ගත් රෝගියා වෛද්‍යවරයා වෙත ඉන් ප(හ)ර කිහිපයක් එල්ල කර ඔහුව ඝාතනය කලේය.. 


අනතුරුව ලේ වැකුණු කිණිස්ස තව සාක්කුවෙන් ගත් රෙදි කැබැල්ලකින් පිස දැමූ ඔහු එය නැවතත් තම ඉණෙහි සගවාගෙන වෛද්‍යවරයාගේ මළකඳ දෙස බැලුවේය...


"නොමිලේ ඇස් කණ්ණාඩි නොබෙදුව නම් ,  මම කියන දේ අහගෙන ඉන්නෙ නැතුව වෙන මිනිස්සු වගේ මාව මෙතනින් පන්නල දැම්ම නම්..., ඔබතුමා තාමත් ජීවතුන් අතර..,

        අහිංසක නිර්දෝෂී ගුණයහපත් මිනිස්සු කියන්නෙම විහින් අමාරුවෙ වැටිල මැරෙන්නම ඉපදුණු කට්ටියක්..!!!මට දුක තියෙන්නෙ මේ රටේ එහෙම උන් බොහොම ටිකක් ඉන්න එක ගැන විතරයි.."

     එසේ තමා හටම පවසාගත්  රෝගියා ඔහු මානසික රෝගියෙක්ද එසේත්  නැත්නම් සැබෑ ලෙසම වරමක් හිමි කර ගත් අයෙක්ද යන්න ගැන ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරමින් එම ස්ථානයෙන් පිටව ගියේය..


නිමි..


                 

 

Tuesday, January 31, 2023

බිලී පස්වන සහ අවසාන කොටස



උදේට පාඩම් කරන්නයි , හවසට පල්ලි යන්නයි.., ආච්චිගෙ නීති එක්ක ආච්චිට ඕන විදිහට ඉන්න එක මට මේ වෙනකොට  එපාවෙලයි  තියෙන්නෙ.  ලොකු ජෝර්ජ් සීයා ගැන හොයන එක පස්සට දාලා මුලින්ම ආච්චිව ම(ර)ල දාල ඉන්න  මම තීරණය කලේ අන්න ඒ නිසයි...
    එදා හරිම සීතල දවසක් , පල්ලි ගිහින් ආව ආච්චි ගෙදර සාලෙ මැද්දෙ තියෙන ලොකු ලී පුටුවෙන් වාඩිවෙලා රෙද්දකුත් පොරවගෙන ඇස් පියාගෙන ඉන්නව මම දැක්කා.ආච්චිට නින්ද ගිහින් වගේ.. සීයා ඒ වෙලාවෙ රොජර්ට කෑම දාන්න ගෙදරින් එළියට ගිහින්..මේක තමයි ආච්චිව ඉවර කරන්න හොඳම වෙලාව.. මම කුස්සියට ගිහින් එතන තිබුන මස් කපන ලොකුම ලොකු පිහිය අතට ගත්තා..
පස්සෙ මම හිමීට පිහියත් අරගෙන ආච්චි ලඟට ගිහින් ආච්චිට ඒකෙන් ගහන්න අත් දෙකෙන්ම පිහිය ඉස්සුවා...

ඒත් මට ඒක කරන්න බැරිවුනා . මට තේරෙන්නෙ නෑ ඇයි එහෙම උනේ කියල.. මම හිතන්නෙ ආච්චි මළ කරදරයක් උනත් එයා නැති වෙනවට මගෙ හිත  කැමති උනේ නෑ..

මම පිහියත් අරගෙන ආපහු කුස්සියට යන්න හැරුනා. එතකොට තමයි මම දැක්කෙ සීයා සද්ද නැතුව ඇවිත් මගෙ පිටිපස්සට වෙලා ඉන්න බව..

සීය මට සද්ද කරන්න එපා කියල හිමින් කියල මගෙ අතින් අල්ලගෙන ගෙදරින් එළියෙ තිබුන ලොකු ගබඩාවට එක්කගෙන ගියා. ඊට පස්සෙ එයා  එතන තිබුන පරණ පෙට්ටියක් උඩින් මාව වාඩි කරවලා මගෙන් මෙහෙම ඇහුවා..

ඔයාට ආච්චව ම(ර)න්න බැරිවුනා නේද?

ඔව් මට බැරිවුනා. මම සීයට ඇත්තම කිව්වා..

ඔයා ඒ ඇයි කියල දන්නවද? සීය මගෙන් ඇහුවා..

මම දන්නෙ නෑ..

ඒකට හේතුව තමයි අපේ හිත් හැඟීම් දැනීම් වලින් කොච්චර ඈත් උනත් ඒවා අපිට ආදරේ අය එක්ක බැඳිල තියෙන එක..,
මම හිතුව වැරදියි. ඔයා ලොකු ජෝර්ජ් සීයා වගේ කෙනෙක් නෙවෙයි. එහෙම කියපු මගෙ සීයා ආදරෙන් මගෙ ඔලුව අතගෑවා.., ඊලඟට එයා මගේ ලඟින් වාඩිවෙලා මගෙ අත්දෙක අල්ලගත්තා..

ඔයත් මම වගේ බිලී.. සීයා කිව්වා.  මම ඔයා වගේ...? මගෙ කොන්ඩෙ ඉදිලත් නෑ , කොන්ද නැමිලත් නෑ , ඉතින් මම කොහොමද සීය වගේ වෙන්නෙ..?
සීය කියන කතා මට තේරෙන්නෙ නෑ. මම කිව්වා..

අපේ පරම්පරාවෙ ගොඩක් අයට හැඟීම් දැනීම් කියන දේ බොහොම අඩුවෙන් තමයි පිහිටල තිබුනෙ.. ඔයාගෙ ලොකු ජෝර්ජ් සීයා , ඔයා දන්නෙවත් නැති උනාට ඉස්සර ඔයාට හිටපු ලොකු තාත්තා එහෙම කිසිම හැඟීමක් දැනීමක්  නැති තිරිසන්නු වගේ මිනිස්සු..එතකොට ඔයයි මමයි.. අපි දෙන්නට පොඩ්ඩක් හැඟීම් තියෙනවා...

එතකොට ඔයාගෙ තාත්තා...
ඔයාගෙ තාත්ත ⁣අපි වගේ නෙවෙයි  බිලී. එයා හැඟීම් , දැනීම් තියෙන හොඳ මනුස්සයෙක්.. එයා ඔය දේවල් ගැන දන්නෙවත් නෑ..
      
ඔයාට මේ කියන දේවල් තේරුම් ගන්න ඔයාට ගොඩක් කල් යයි බිලී. දැනට ඔයා මම මේ කියන එක හොඳට අහගන්නකෝ..
      ඔයා සීයට චුට්ටක් හරි ආදරෙයි නේද..? එහෙමනං ඔයා මට පොරොන්දුවක් වෙන්න ඕන. සීයා මගේ අත උඩින් එයාගෙ අත්දෙක තියාගෙන තද කරගෙන කිව්වා. ඔයා දන්නව නේද පොරොන්දු ගැන. ඒවා කවදාවත් බිඳල දාන්න හොඳ නැති දේවල්. ඔයා කාටහරි පොරොන්දුවක් වෙලා ඒක කැඩුවොත් ඔයාට අපායෙ යන්න වෙනවා..

සීය ඒක කිව්ව විදිහට  මට ගොඩක් බය හිතුනා.  මම පොරොන්දු ⁣වෙන්නම් මම හිමින් සීයට කිව්වා..

ඔයාට කොච්චර කේන්ති ගියත් , කවුරුහරි ඔයාට කොච්චර කරදර කලත් කවදාවත් ඔයා කාවවත් ම(ර)න්න යන්න එපා. ඔයා එහෙම කලොත් , ඔයාට ආයි කවදාවත් ඔයාගෙ අම්මවයි තාත්තවයි බලන්න වෙන එකක් නෑ. මිනිස්සු ඔයාව අල්ලගෙන ගිහින් කාවවත් හම්බවෙන්න බැරි තැනක හිරකරයි.ඊලඟට ඔයා මැරුනට පස්සෙ ඔයාට අපායටත් යන්න වෙයි.. සීය ඒ විදිහට බර කතාවක් මට කිව්වා..

මම ඔයාට පොරොන්දු වෙනව සීයේ.. මම ආයි කවදාවත් කාවවත් ම(ර)න්න යන්නෙ නෑ.. මම ⁣එහෙම කිව්වා........,,

***** ***   *****    ***   *********** ***

කෝ ඔන්න ඕක දෙන්න මට.. මම මේක ගබඩා කාමරේ ලාච්චුවෙනෙ දාල තිබ්බෙ..ඔයාට කොහොමද මේක හම්බවුනේ..? රැකියාව නිම වී නිවස වෙත පැමිණි බිලී ඇසුවේ පුදුමයට සහ බියට පත් ස්වරූපයකින්..

මට ඒක හම්බවුන විදිහ ඔයාට වැඩක්නෑනෙ.. ඔයා මට මේ පොතේ ඉතුරු ටික බලන්න දෙන්නෙ නැද්ද?  ඇඳ උඩට වී බිලීගේ දිනපොත කියවමින් සිටි ක්‍රිස්ටිනා එසේ විමසුවේ ඇය දිනපොතේ ඉතුරු කොටස් කියවීමටත් පෙර බිලී ඇයගෙන් දිනපොත උදුරා ගත් නිසායි..

මට ඒ දවස්වලත් ඔයා අමුතු මනුස්සයෙක් කියල හිතුන , එ්ත් මේ වගේ අමුතු විකාර දිනපොත් ලියන්න තරම් ඔයා පිස්සු විකාරකාරයෙක් කියල නම් මම හිතුවෙ නෑ.. ඇය පැවසුවේ සිනාසෙමින්..

ඔයා මම පොත කියවනවටනෙ කැමති නැත්තෙ.ඔයාම කියන්නකො ඒකෙ ඊලඟට මොකද උනේ කියල.., මම බිලී  ආයෙ කාවවත් ම(ර)න්නෙ නෑ කියල සීයට පොරොන්දු වෙන තැනට වෙනකං කියෙව්වා..

ම්ම්ම් ....  ටික දවසකට පස්සෙ අපරාධයක් කලා කියල ඔප්පු කරන්න සාක්ෂි නැතිවුන නිසා තාත්ත හිරෙන් නිදහස් වෙලා ආවා., අම්මත් සනීප වෙලා ගෙදර ආවා. ඊට පස්සෙ බිලී ආච්චිටයි සීයටයි සමුදීලා එයාලගෙ ගෙදර ගිහින් හොදට ⁣ඉගෙනගෙන දොස්තර කෙනෙක් වෙලා ඔයාවත් කසාඳ බැඳගෙන දරුවෙකුත් හදාගෙන සතුටින් ජීවත්වුනා..

එතකොට බිලී ආයෙ කාවවත් මැ(රු)වෙම නැද්ද? මම කියන්නෙ හිතාමතා නෙවෙයි..අත්වැරදීමකින්වත්..?

බිලී ඉක්මනින්ම ලොකු ළමයෙක් උනා. සමාජෙ ජීවත්වෙන හැටි එයා ඉක්මනින්ම තේරුම් ගත්තා...

පොඩි බිලි එහෙම උනාට ලොකු බිලී නම් අද එක්කෙනෙක්ව මරන්න ඉන්නෙ..

කාවද?

අනුන්ගෙ දිනපොත් හොරෙන් කියවන ඔයාව. බිලී සිනාසමින් පැවසුවා..

කොහෙන් එනවද මන්ද අනේ ඔයාට මේ විකාර අදහස්. ඔයාට ශල්‍ය වෛද්‍යවරයෙක් නොවී නවකතා රචකයෙක් උනා නම් මීට වඩා ජනප්‍රිය වෙන්නයි , සල්ලි හොයන්නයි තිබුනා. පොඩිකාලෙ මෙච්චර බොරු ගොතල නවකතාවක් වගේ දිනපොතක් ලිව්ව කියන්නෙ දැන් ඔයාට කොච්චර හොඳට පොත් ලියන්න පුළුවන් ඇතිද?

ඒ කියන්නෙ ඔයාගෙ සැමියා යුරෝපයේ ඉන්න දක්ෂතම ශල්‍ය වෛද්‍යවරයෙක් වෙලා ඉන්න එකත් ඔයාට  මදිද..? බිලී ඇසුවේ සිනාසෙමින්..

අනේ විහිලු නොකර ඉන්න බිලී . මට ඒ හොඳටෝම ඇති..

හැබැයි ඒක එහෙම වෙන්නෙ ඔයා මට මේ දිනපොතේ ඉතුරු ටික කියවන්න දුන්නොත් විතරයි..

බෑ බෑ , මට ඔයාට ඉතුරු ටික කියවන්න දෙන්න  නම් කොහොමත්ම බෑ. ඒක මගෙ රහසක්..බිලී සිනාසෙමින් පැවසුවා..
ඔයා ඔච්චරටම කියවන්න ආස නම් මම ඔයාට කියවන්න දෙන්නම් වෙන පොතක්..

මට මොන පොතක් බැලුවත් මේ පොත බලන එක තරම් සතුටක් ගන්න බැරිවෙයි. ක්‍රිස්ටිනා කි⁣ව්වෙ නෝක්කාඩු ස්වරයෙන්...

බිරිඳව කාමරයේ තබා පොතද රැගෙන ගබඩා කාමරය වෙත ගිය බිලී එහි තිබූ පැරණි මේසයේ ලාච්චුව විවර කර තම දිනපොත එහි තැම්පත් කලා..

අනතුරුව ක්‍රිස්ටිනා හට කියවීම සඳහා ලබා දීමට ඔහු එහි තිබූ තවත්  පොතක් ඉවතට ගත්තා.. එය දිනපොතක් නම් නෙවෙයි. කාලෙකට පෙර කිසියම් ප්‍රකාශන ආයතනයකින් පළ කළ මුද්‍රිත පොතක්..

පිස්සු ජෝර්ජ්..!!! යුරෝපය සසල කල ඝාතකයා පොතේ ඉදිරිපස රතු පැහැයෙන් එසේ මුද්‍රණය කර තිබූ අතර එම වචන වලට යටින් සුදු පැහැයෙන් මීට සියවසකට පමණ පෙර සිටි බිහිසුණු ඝාතකයෙකුගේ සත්‍ය කතාවක් යන්න සටහන් කර තිබුනා..

තරමක් වෙලා පොත දෙස බලා සිටි බිලී අනතුරුව තම අදහස වෙනස් කරගත්තා. එම පොතත් නැවතත් ලාච්චුවටම දමා ⁣ යතුරු කරකවා යතුර තම සාක්කුවට දමා ගත් ඔහු තම නිදන කාමරය වෙත ගොස් තම බිරිඳව ඇමතුවා..

ජොනතන් තාම නිදිද? එයාවත් ඇහැරවල ලෑස්ති කරගන්න. අපි අද රෑ කෑමකට එළියට යනවා.අපි ආපහු එනකොට මම ඔයාට කියවන්න නවකතා පොත් කඩයක්ම අරන් දෙන්නම්කො...

නිමි.

බිලී සිවුවන කොටස



          ආච්චිගෙ පරණ කාර් එකේ නැගලා ආච්චිත් එක්ක හැමදාම හවසට පල්ලි යන එක මහ එපාවෙන වැඩක්.. ආච්චි පල්ලිය ලඟ කාර් එක නවත්තලා කාර් එකෙන් බැස්සට පස්සෙ අල්ලගන්න මගෙ අත එයා පල්ලිය ඇතුළට ගිහිල්ලත් අතහරින්නෙම  නෑ. එයා එහෙම කරන්නෙ හොඳ ළමයෙක් නිසා දෙවියො මාව දිව්‍යලෝකෙ අරන් යයි කියල හිතලද , එහෙමත් නැත්නම් වයස වැඩි නිසා දෙවියො ආච්චිව දිව්‍යලෝකෙ ගෙනියන්න හැදුවොත් මගෙ අතේ එල්ලිලා ආච්චි ඒකෙන්  බේරෙන්න හිතාගෙනද කියල මට නම් තේරුම් ගන්න බැහැ..
     කොහොම උනත් විශේෂ දේව මෙහෙය තියෙන ඉරිදා දවස තමයි මම පල්ලි යන්න ආසම දවස. එදාට ආච්චි වෙනද වගේ නෙවෙයි උදේ එකොළහ වෙද්දිම පල්ලියට යනවා. එදාට ගමේ ඉන්න හැමෝම වගේ කට්ටිය එතනට එන නිසා ආච්චිට මාව අතින් අල්ලගෙන බලාගන්න වෙලාවක් නෑ. අන්න ඒ වෙලාවට තමයි මම ආච්චිට හොරෙන් හෙමින් පල්ලියෙන් එළියට ඇවිත් ගම වටේ ඇවිදින්න යන්නෙ.එදාට ගමේ මිනිස්සුත් වැඩිය නැති නිසා මට ගොඩක් නිදහසේ හැමතැනම ඇවිදින්න පුළුවන්. හැබැයි කොච්චර ඇවිදින්න ගියත් හවසට දේව මෙහෙය ඉවර වෙන්න කලින් මම ආපහු පල්ලියට යනවා. ඒ දේව මෙහෙය ඉවරවුන ගමන් ආච්චි මාව හොයන්න ගන්න බව මම හොඳින්ම දන්න නිසයි..
         ගිය ඉරිද ගොඩක් සතුටු දවසක්.එදා ආච්චිගෙන් බේරිලා ඇවිදින්න ගියේ විල පැත්තට. ආච්චිලගෙ ගම මැද්දෙම තියෙන ඒ විල ගොඩාක් ලස්සන තැනක්. හැබැයි ඒක ගොඩක් ගැඹුර විලක් කියලයි ගමේ අය කියන්නෙ. එදා මම විල පැත්තට යද්දි ඉරිල ගිය ඇඳුමක් ඇඳගත්ත වයසක සීය කෙනෙක් විල අයිනට වෙලා බිලී පිත්තක් අරගෙන මාලු අල්ල අල්ල හිටියා..

මම ඒ සීය ලඟට ගිහින් කතා කරන්න උත්සාහ කලත් , එයාට මගෙත් එක්ක කතා කරන්න කිසිම උවමනාවක් තිබුනෙ නෑ..

"කරදරකාර ළමයා මට වද නොදී  යනවා" කියලයි එයා මට කේන්තියෙන් කිව්වෙ..

වයසක අයට කේන්ති යන එක සාමාන්‍ය දෙයක් කියල අම්ම මට කියල දීලයි තියෙන්නෙ.. ඒ නිසා ඒ සීය කියපු කතාවෙන් මගේ හිත රිදුනෙ නෑ..

සීයේ ඇයි ඔයා මේ මාලු අල්ලන්නේ.? මම සීයගෙන් ඇහුවා..

දෙවියො හැමෝවම රත්තරං තොටිලි වල දාල මේ ලෝකෙට එවන්නෙ නෑ , අපි කන්න  ඕන,  ජීවත්වෙන්න ඕන... ඒ සීයා කියවගෙන ගියා..

මට නං ඔය කතා තේරෙන්නෙ නෑ..

ඒ නිසා මම ආපහු ඒ සීයගෙන් මේ විල කොච්චර ගැඹුරද කියල ඇහුවා..

වතුරට පැනල තමයි බලන්න වෙන්නෙ කියල එයා කිව්වෙ මම දිහා බලන්නෙවත් නැතුව..

මට විලට පැනල වතුරෙ ගැඹුර බලන්න ආස හිතුනත් මට නම් බෑ පල්ලියට ඇඳගෙන ආව ලස්සන අැඳුම වතුරෙන් තෙමාගෙන ගිහින් ආච්චිගෙන් බැනුම් අහන්න..

හැබැයි  සීයා නම් ඇඳගෙන ඉන්නෙ පරණ ඉරිච්ච ඇඳුමක්. ඒක තෙමුනට වේලගන්න එක සීයට ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ඉතින් මම පිටිපස්සෙන් ගිහින් විල අයිනට වෙලා හිටපු සීයව විලට තල්ලු කලා..

ඒ සීයා අමුතු විදිහට කෑ  ගහලා අත්දෙක වන ඉදලා දිය යටට කිමිදුනා.. මට පෙනුන විදිහට එයා විලේ පතුල හොයන්න තමයි ගියේ..

එයා විලේ පතුල හොයාගෙන එනකං කරන්න දෙයක් නැති නිසා මම එයාගෙ බිලි පිත්තත් අරගෙන මාලු බාන්න ගත්තා...

මම කොච්චර බලාගෙන හිටියත්  සීයා මතුවුනේම නෑ.. ඒ කියන්නෙ විල ගොඩක් ගැඹුරයි..

මට සීයා උඩට එනකං දවසම බලාගෙන ඉන්න පුළුවන් කමක් තිබුනෙ නෑ , මොකද පල්ලියෙ පූජාව ඉවරවෙනවනෙ. ඉතින් සීය ගොඩට ආව වෙලාවක අරගන්න මම අල්ලපු මාලු ටිකත් සීය අල්ලල තිබ්බ මාලු ගොඩ ලඟින්ම කියලා  ආපහු පල්ලියට ගියා..

දේව මෙහෙය ඉවර වෙලා මායි ආච්චියි ආපහු ගෙදර යනකොට විල ගාව මිනිස්සු ගොඩක් එකතු වෙලා ඉන්නව අපි දැක්කා.මටත් එතනට ගිහින් මොකද වෙලා තියෙන්නෙ කියල බලන්න ඕන උනත් ආච්චි මට කාර් එකෙන් බහින්න දුන්නෙ නෑ.එයා තනියෙම එතනට ගිහින් වෙලා තියෙන දේ බලල ආවා..ආච්චි ඒ වෙලාවෙ මට මුකුත්ම කිව්වෙ නෑ..

මම පස්සෙ වෙලාවක ආච්චිගෙන් එදා මොකක්ද වෙලා තිබුනෙ කියල ඇහුවා..

ආච්චි කියපු විදිහට  එදා මාලු අල්ලන්න ගිය සීය කෙනෙක් ලිස්සලා ගිහින් විලට වැටිලා විලේ ගිලිල මැරිලලු. විලේ කමිසයක් පාවෙනව දැකල තමයි කට්ටිය හොයල බලල තියෙන්නෙ. අපි එදා දැකපු වෙලාවෙ කට්ටිය එකතුවෙලා එයාගෙ මිනිය ගොඩට අරන්. ආච්චි කියන විදිහට  පල්ලියෙ දේව මෙහෙයට හැමෝම පල්ලි ගිහින් තිබුන නිසා කිසිම කෙනෙක් එයා දියේ ගිලෙනව දැකලත් නෑ. එයාට වෙන වෙලාවක මේක උනා නම් කවුරුහරි එයාව බේරගන්නත් තිබුනලු..
         එ් සීයා විකුණන්න අල්ලපු මාලු ලොකුම ලොකු ගොඩකුත් විල ලඟ තිබුන කියල ආච්චි කිව්වා. ඉරිදට තියෙන විශේෂ දේව මෙහෙයටවත්  නොයා සල්ලි හොයන්න පවුකාරකම් විතරක්ම කර ඉන්න අයට ඔහොම තමයි වෙන්නෙ කියලත් ආච්චි විස්තරේ කියල ඉවරවෙලා අන්තිමට කිව්වා.

      මම හිතන්නෙ එදා හවස ඒ මැරුන සීයා මට එදා උදේ හම්බවුන සීය වගේ අතපය වනලා වතුරෙ කිමිදෙන්න ඉගෙනගෙන නැති සීයා කෙනෙක් වෙන්න ඇති. ලෝකෙ හැමෝටම එක වගේ දක්ෂකම් නෑනෙ. ආච්චි කියනව වගේ දෙවියො ඒ මැරුන සීයගෙ පවුකාරකම් වලට සමාව දීලා එයාගෙ ආත්මයට සැනසීමක් ගෙනාවොත් හොඳයි..

බිලී පස්වන සහ අවසන් කොටසින් හමුවෙමු..

බිලී තෙවනි කොටස



      මම හිතපු විදිහට කුරුලු සුප් බිව්වට අම්මට සනීප උනේ නෑ. කුරුලු සුප් බීල දවසක් දෙකක් යද්දි දොස්තර අංකල් ඇවිත් අම්මව ඉස්පිරිතාලෙ නවත්තන්න කියන තත්වයටම අම්මගෙ ලෙඩේ වැඩිවුනා. අම්මව ඉස්පිරිතාලෙ ගිහින් නතර කරන්න ආවෙ මගේ ආච්චියි සීයයි. එයාල අම්මව එක්කගෙන ගිහින් ඉස්පිරිතාලෙ නවත්තලා අම්මව හොඳ වෙනකන්  බලාගන්න ලස්සන නර්ස් ඇන්ටි කෙනෙක්වත් අම්ම ලඟ නතර කලා.ආච්චි එයාලගෙ වත්තෙ වැඩ කරන්න එන අයට බොරු වැරදි පෙන්නලා පඩි නොගෙවා ඉන්නව වගේ දෙයක් නොකර පඩිය හරියට ගෙව්වොත් ඒ නර්ස් ඇන්ටි බෙහෙත් වරද්දල දීලා අම්මව ම(ර)ල දාන්නෙ නැතුව එයාව හොඳට බලා ගනියි කියල මට හොඳටම විශ්වාසයි..
        අම්මව ඉස්පිරිතාලෙ නතර කලාට පස්සෙ මට නම් ඕන උනේ තනියෙම අපේ ගෙදරට වෙලා ඉන්න. ඒත් මගෙ ආච්චිට ඕන උනේ අම්මට හොඳ වෙනකං මාව ආච්චිගෙ ගෙදර ගිහින් තියාගන්න. මම ආච්චිගෙ ගෙදර කිව්වට හරියටම කිව්වොත් ඒක මගේ සීයගෙ ගෙදර.. මගේ තාත්තගෙ තාත්තට තමයි ඒ ගෙදර අයිති. ඒත් මම සීයට වඩා ආච්චිට ආදරේ නිසා මම එහෙට කියන්නෙ ආච්චිගෙ ගෙදර කියලයි.මගේ ආච්චිගෙ ගෙදර තිබුනෙ දුර ඈත පළාතක ලොකුම ලොකු ඉඩමක හරි මැද්දට වෙන්න. ඒ ගෙදර ගෙයක් කිව්වට ගල් වලින් හදපු මහා විසාල මන්දිරයක් වගේ එකක්.ආච්චියි සීයයි මැරුනට පස්සෙ එයාලගෙ එකම පුතා උන අපේ තාත්තට තමයි කවදහරි ඒක අයිති වෙන්නෙ. තාත්ත මැරුනම ඒක මට අයිති වෙනව.. මට සමහර ⁣වෙලාවට හිතෙනව හැමෝවම ම(ර)ල දාල ඉක්මනින්ම ඒ ගෙදර මගේ කරගන්න.ඒක එච්චරටම ලස්සන ගෙයක්.ඒත් පවුලෙ කට්ටිය නැතුව තනියෙම ඒ ලොකුම ලොකු ⁣ගෙදර ඉන්න එක කම්මැලි වෙයි කියල හිතෙන නිසා මම කවදහරි කසාද  බදිනකං එයාලව ම(ර)න්නෙ නෑ කියල මම තීරණය කරලයි තියෙන්නෙ..
         ඉතින් ආච්චි මාව කොහොමහරි එයාලගෙ ගෙදර අරගෙන ආවා. අපේ අම්ම වගේ නෙවෙයි , ආච්චි හැමදාම වැඩ කරන්නෙ එකම එක පිළිවෙළකට. ආච්චි හැමදාම උදේම නැගිටලා කෑම හදනවා. ඊට පස්සෙ මට කෑම කවලා හවස් වෙනකන්ම එයා මට පාඩම් කියල දෙනවා..පාඩම් වැඩ කියන්නෙ මහ එපාවෙන වැඩක්. ඒත් ඉගෙන ගන්නෙ නැතුව කවදාවත් ඉහළට යන්න බෑ කියල අම්ම මට කියල තියෙන නිසා මම උනන්දුවෙන් පාඩම් වැඩ කරනවා..  මගෙ ආච්චි හරිම භක්තිමත් කාන්තාවක්.ඔක්කොම වැඩ ඉවර කරාට පස්සෙ ආච්චි හවසට පල්ලියට යනවා..එතකොට සීයා..? එයා තාත්තව බේරගන්න නීතිඥයො හම්බවෙන්න ගිහින් ගෙදර එන්නෙ ගොඩක් රෑ වෙලා. එයා ගෙදර ඉන්න දවසටත් පත්තරයක් බල බල තනියෙම ඉන්න තමයි ගොඩක්ම කැමති..
             හවස තමයි මගේ සෙල්ලම් කරන වෙලාව. ආච්චිලගෙ ගෙදර ඒකට මට අපූරු යාලුවෙකුත් ඉන්නවා. ඒ තමයි රොජර්.. රොජර් කියන්නෙ ආච්චිලගෙ ගෙදර හුරතලේටයි ආරක්ෂාවටයි දෙකටම ඉන්න බලු තඩියා..මහතම මහත බෝලයක් වගේ ඉන්න රොජර්ට මම හරිම ආසයි.. එයා අපේ ගෙදර හිටපු රොකී වගේ කේන්ති ගියාම මාව කන්න පනින ජාතියෙ නරක බල්ලෙක් නෙවෙයි. ඉතින් ආච්චි පල්ලි ගියහම මමයි රොජරුයි වත්ත පුරාම දුවන එක තමයි කලේ..
           ආච්චිලගෙ වත්තෙ එක තැනක තියෙනව ලොකුම ලොකු සොහොන් කොතක්.අපේ තාත්ත ඉස්සර මට කියල දීල තියෙන විදිහට එතන මිහිදන් කරල ඉන්නෙ මගේ සීයගෙ තාත්ත උන ලොකු  ජෝර්ජ් සීයා. එයා තමයි ආච්චියි සීයයි ඉන්න ඒ විශාල ගෙදර හදපු කෙනා.. අපේ පවුලෙ කවුරුවත් එයා ගැන වැඩිය කතා කරන්නෙ නෑ..එයාල කියන විදිහට ලොකු ජෝර්ජ් සීයා කියන්නෙ පවුලට ලොකු අපකීර්තියක් ගෙනාපු නරක මනුස්සයෙක්..  මට ඔය අපකීර්තිය වගේ ලොකු වචන තේරෙන්නැ..  හැබැයි ලොකු ජෝර්ජ් සීයා  හදපු ගෙදරට වෙලා ඉදගෙන එයාව අමතක කරනවා එක නං නරක නපුරු වැඩක් කියල මට තේරෙනවා. මම ලොකු ජෝර්ජ් සීයා උනා නං රෑට මිනි වලෙන් නැගිටලා ඇවිත් ගෙදර ඉන්න හැමෝගෙම බෙලි ටික කපලා ම(ර)ල දාලා යනවා..  ඒත් ජෝර්ජ් සීයා දැනටමත් මැ(රි)ලා නිසා එයාට ආපහු පළිගන්න එන්න බෑ.. ඒක හරිම දුකක්..
    මොනා උනත් ලොකු ජෝර්ජ් සීයට සාදාරණයක් කරන්න ඕන කියන එක කාලයක් තිස්සෙම මගේ හිතට ගොඩක් වද දුන්න කාරණාවක්.. අන්න ඒක නිසයි එදා හවස මම ඒ දේ  කරන්න තීරණය කලේ..

     සීත කාලෙට රස්නෙ තියාගන්න ගෙදර මැද්දෙ හදල තියෙන තියෙන ගිණි උදුනෙ උස කණ්ඩිය තමයි ආච්චිලගෙ ගෙදර තියෙන වටිනාම සහ වැදගත්ම තැන. මම ඒක එහෙමයි කියල හිතුවෙ අපේ ආච්චි එතන දෙවියන් වහන්සේගේ ප්‍රතිමාව තියන්න තෝරගෙන තිබුන නිසා.

           මම හැමදාම හවසට ගේ පිටිපස්සෙ තිබුන සවල අරන් ගිහින් ටික ටික ලොකු ජෝර්ජ් සීයගෙ මිනිවල හාරලා අන්තිමට ගොඩට ගත්ත ලොකු ජෝර්ජ් සීයගෙ මිනි ඔලුව එදා හවස ගෙදරට ගෙනල්ලා ගිණි උඳුනෙ කණ්ඩිය උඩ දේව ප්‍රතිමාව ලඟින්ම තියල මිනි ඔලුව උඩින් ඉටිපන්දමක් පත්තු කලාට ආච්චිට මෙච්චර කේන්ති ගිහින් තියෙන්නෙ ඇයි කියල මට නම් තේරෙන්නෙ නෑ...

මම ලොකු ජෝර්ජ් සීයගෙ මිනි ඔලුව එතනින් තියලා ඉටිපන්දමක් පත්තු කලේ මේ ගේ හදපු ලොකු ජෝර්ජ් සීයට ගෞරව කරන්නයි..

පල්ලි ගිහින් ආව ආච්චි ඒක දැකලා මට කෑ ගැහුවෙ , "මේ ළමයට යක්ෂයෙක් වැහිලා"  කියලයි..

ආච්චිගෙ කෑ ගැහිල්ල ඇහිල එතනට ආව සීය ඒක දිහා බලලා , ඊට පස්සෙ මගෙ දිහාත් අමුතු විදිහට බලල  "එයා මගෙ තාත්ත වගේ කෙනෙක්" කියලත් කිව්වා.

ඒ කියන්නෙ මම ලොකු ජෝර්ජ් සීය වගේද? ඒක නං සතුටු හිතෙන කාරණාවක්..මේ වගේ ලොකු ගෙයක් හදපු මනුස්සයෙක් වගේ වෙනව කියන්නෙ ඒක ලේසි පහසු කාරණාවක් නෙවෙයි..

මොනා උනත් ආච්චිගෙ කරදරේ නිසා සීයට ලොකු ජෝර්ජ් සීයගෙ  මිනි ඔලුව ආපහු  මම හාරපු මිනී වලටම ගිහින් දාන්න උනා.  ඒ වගේම ආච්චි මට ආපහු හවසට සෙල්ලම් කරන්න වත්තට යන එකත් තහනම් කලා , එයා හවසට මාව පල්ලි එක්කගෙන යන්න ගත්ත තීරණයත් ඒ වගේමයි. සීයටවත් ඒක වෙනස් කරන්න බැරිවුනා.

දැන් ඉතින් මම හවසට පල්ලි යන්නත් ඕන..

ඒ උනාට මේ වෙච්ච  දේවල් නිසා මගේ පුංචි හිත ඇතුලෙ මේ ලොකු ජෝර්ජ් සීයා කවුද?
එයාගෙ නම කිව්වත් අපේ ආච්චිට මෙච්චර තරහ යන්න එයා මොනාද කරල තියෙන්නෙ..? වගේ ප්‍රශ්න ගොඩාක් ඇති උනා. අම්මට සනීප වෙලා අාච්චිලගෙ ගෙදරින් ආපහු මගේ ගෙදරට යන දවස එන්න කලින් මම මේ ප්‍රශ්න වලට අනිවාර්යයෙන්ම උත්තර හොයාගන්න ඕන..නැත්නම් මට රෑට නින්ද යන එකකුත්  නෑ..

ඇත්තටම කවුද මේ ලොකු ජෝර්ජ් සීයා..?

බිලී තෙවන කොටසේ නිමාව..

හොල්මන

තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...