Tuesday, January 31, 2023

බිලී සිවුවන කොටස



          ආච්චිගෙ පරණ කාර් එකේ නැගලා ආච්චිත් එක්ක හැමදාම හවසට පල්ලි යන එක මහ එපාවෙන වැඩක්.. ආච්චි පල්ලිය ලඟ කාර් එක නවත්තලා කාර් එකෙන් බැස්සට පස්සෙ අල්ලගන්න මගෙ අත එයා පල්ලිය ඇතුළට ගිහිල්ලත් අතහරින්නෙම  නෑ. එයා එහෙම කරන්නෙ හොඳ ළමයෙක් නිසා දෙවියො මාව දිව්‍යලෝකෙ අරන් යයි කියල හිතලද , එහෙමත් නැත්නම් වයස වැඩි නිසා දෙවියො ආච්චිව දිව්‍යලෝකෙ ගෙනියන්න හැදුවොත් මගෙ අතේ එල්ලිලා ආච්චි ඒකෙන්  බේරෙන්න හිතාගෙනද කියල මට නම් තේරුම් ගන්න බැහැ..
     කොහොම උනත් විශේෂ දේව මෙහෙය තියෙන ඉරිදා දවස තමයි මම පල්ලි යන්න ආසම දවස. එදාට ආච්චි වෙනද වගේ නෙවෙයි උදේ එකොළහ වෙද්දිම පල්ලියට යනවා. එදාට ගමේ ඉන්න හැමෝම වගේ කට්ටිය එතනට එන නිසා ආච්චිට මාව අතින් අල්ලගෙන බලාගන්න වෙලාවක් නෑ. අන්න ඒ වෙලාවට තමයි මම ආච්චිට හොරෙන් හෙමින් පල්ලියෙන් එළියට ඇවිත් ගම වටේ ඇවිදින්න යන්නෙ.එදාට ගමේ මිනිස්සුත් වැඩිය නැති නිසා මට ගොඩක් නිදහසේ හැමතැනම ඇවිදින්න පුළුවන්. හැබැයි කොච්චර ඇවිදින්න ගියත් හවසට දේව මෙහෙය ඉවර වෙන්න කලින් මම ආපහු පල්ලියට යනවා. ඒ දේව මෙහෙය ඉවරවුන ගමන් ආච්චි මාව හොයන්න ගන්න බව මම හොඳින්ම දන්න නිසයි..
         ගිය ඉරිද ගොඩක් සතුටු දවසක්.එදා ආච්චිගෙන් බේරිලා ඇවිදින්න ගියේ විල පැත්තට. ආච්චිලගෙ ගම මැද්දෙම තියෙන ඒ විල ගොඩාක් ලස්සන තැනක්. හැබැයි ඒක ගොඩක් ගැඹුර විලක් කියලයි ගමේ අය කියන්නෙ. එදා මම විල පැත්තට යද්දි ඉරිල ගිය ඇඳුමක් ඇඳගත්ත වයසක සීය කෙනෙක් විල අයිනට වෙලා බිලී පිත්තක් අරගෙන මාලු අල්ල අල්ල හිටියා..

මම ඒ සීය ලඟට ගිහින් කතා කරන්න උත්සාහ කලත් , එයාට මගෙත් එක්ක කතා කරන්න කිසිම උවමනාවක් තිබුනෙ නෑ..

"කරදරකාර ළමයා මට වද නොදී  යනවා" කියලයි එයා මට කේන්තියෙන් කිව්වෙ..

වයසක අයට කේන්ති යන එක සාමාන්‍ය දෙයක් කියල අම්ම මට කියල දීලයි තියෙන්නෙ.. ඒ නිසා ඒ සීය කියපු කතාවෙන් මගේ හිත රිදුනෙ නෑ..

සීයේ ඇයි ඔයා මේ මාලු අල්ලන්නේ.? මම සීයගෙන් ඇහුවා..

දෙවියො හැමෝවම රත්තරං තොටිලි වල දාල මේ ලෝකෙට එවන්නෙ නෑ , අපි කන්න  ඕන,  ජීවත්වෙන්න ඕන... ඒ සීයා කියවගෙන ගියා..

මට නං ඔය කතා තේරෙන්නෙ නෑ..

ඒ නිසා මම ආපහු ඒ සීයගෙන් මේ විල කොච්චර ගැඹුරද කියල ඇහුවා..

වතුරට පැනල තමයි බලන්න වෙන්නෙ කියල එයා කිව්වෙ මම දිහා බලන්නෙවත් නැතුව..

මට විලට පැනල වතුරෙ ගැඹුර බලන්න ආස හිතුනත් මට නම් බෑ පල්ලියට ඇඳගෙන ආව ලස්සන අැඳුම වතුරෙන් තෙමාගෙන ගිහින් ආච්චිගෙන් බැනුම් අහන්න..

හැබැයි  සීයා නම් ඇඳගෙන ඉන්නෙ පරණ ඉරිච්ච ඇඳුමක්. ඒක තෙමුනට වේලගන්න එක සීයට ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ඉතින් මම පිටිපස්සෙන් ගිහින් විල අයිනට වෙලා හිටපු සීයව විලට තල්ලු කලා..

ඒ සීයා අමුතු විදිහට කෑ  ගහලා අත්දෙක වන ඉදලා දිය යටට කිමිදුනා.. මට පෙනුන විදිහට එයා විලේ පතුල හොයන්න තමයි ගියේ..

එයා විලේ පතුල හොයාගෙන එනකං කරන්න දෙයක් නැති නිසා මම එයාගෙ බිලි පිත්තත් අරගෙන මාලු බාන්න ගත්තා...

මම කොච්චර බලාගෙන හිටියත්  සීයා මතුවුනේම නෑ.. ඒ කියන්නෙ විල ගොඩක් ගැඹුරයි..

මට සීයා උඩට එනකං දවසම බලාගෙන ඉන්න පුළුවන් කමක් තිබුනෙ නෑ , මොකද පල්ලියෙ පූජාව ඉවරවෙනවනෙ. ඉතින් සීය ගොඩට ආව වෙලාවක අරගන්න මම අල්ලපු මාලු ටිකත් සීය අල්ලල තිබ්බ මාලු ගොඩ ලඟින්ම කියලා  ආපහු පල්ලියට ගියා..

දේව මෙහෙය ඉවර වෙලා මායි ආච්චියි ආපහු ගෙදර යනකොට විල ගාව මිනිස්සු ගොඩක් එකතු වෙලා ඉන්නව අපි දැක්කා.මටත් එතනට ගිහින් මොකද වෙලා තියෙන්නෙ කියල බලන්න ඕන උනත් ආච්චි මට කාර් එකෙන් බහින්න දුන්නෙ නෑ.එයා තනියෙම එතනට ගිහින් වෙලා තියෙන දේ බලල ආවා..ආච්චි ඒ වෙලාවෙ මට මුකුත්ම කිව්වෙ නෑ..

මම පස්සෙ වෙලාවක ආච්චිගෙන් එදා මොකක්ද වෙලා තිබුනෙ කියල ඇහුවා..

ආච්චි කියපු විදිහට  එදා මාලු අල්ලන්න ගිය සීය කෙනෙක් ලිස්සලා ගිහින් විලට වැටිලා විලේ ගිලිල මැරිලලු. විලේ කමිසයක් පාවෙනව දැකල තමයි කට්ටිය හොයල බලල තියෙන්නෙ. අපි එදා දැකපු වෙලාවෙ කට්ටිය එකතුවෙලා එයාගෙ මිනිය ගොඩට අරන්. ආච්චි කියන විදිහට  පල්ලියෙ දේව මෙහෙයට හැමෝම පල්ලි ගිහින් තිබුන නිසා කිසිම කෙනෙක් එයා දියේ ගිලෙනව දැකලත් නෑ. එයාට වෙන වෙලාවක මේක උනා නම් කවුරුහරි එයාව බේරගන්නත් තිබුනලු..
         එ් සීයා විකුණන්න අල්ලපු මාලු ලොකුම ලොකු ගොඩකුත් විල ලඟ තිබුන කියල ආච්චි කිව්වා. ඉරිදට තියෙන විශේෂ දේව මෙහෙයටවත්  නොයා සල්ලි හොයන්න පවුකාරකම් විතරක්ම කර ඉන්න අයට ඔහොම තමයි වෙන්නෙ කියලත් ආච්චි විස්තරේ කියල ඉවරවෙලා අන්තිමට කිව්වා.

      මම හිතන්නෙ එදා හවස ඒ මැරුන සීයා මට එදා උදේ හම්බවුන සීය වගේ අතපය වනලා වතුරෙ කිමිදෙන්න ඉගෙනගෙන නැති සීයා කෙනෙක් වෙන්න ඇති. ලෝකෙ හැමෝටම එක වගේ දක්ෂකම් නෑනෙ. ආච්චි කියනව වගේ දෙවියො ඒ මැරුන සීයගෙ පවුකාරකම් වලට සමාව දීලා එයාගෙ ආත්මයට සැනසීමක් ගෙනාවොත් හොඳයි..

බිලී පස්වන සහ අවසන් කොටසින් හමුවෙමු..

බිලී තෙවනි කොටස



      මම හිතපු විදිහට කුරුලු සුප් බිව්වට අම්මට සනීප උනේ නෑ. කුරුලු සුප් බීල දවසක් දෙකක් යද්දි දොස්තර අංකල් ඇවිත් අම්මව ඉස්පිරිතාලෙ නවත්තන්න කියන තත්වයටම අම්මගෙ ලෙඩේ වැඩිවුනා. අම්මව ඉස්පිරිතාලෙ ගිහින් නතර කරන්න ආවෙ මගේ ආච්චියි සීයයි. එයාල අම්මව එක්කගෙන ගිහින් ඉස්පිරිතාලෙ නවත්තලා අම්මව හොඳ වෙනකන්  බලාගන්න ලස්සන නර්ස් ඇන්ටි කෙනෙක්වත් අම්ම ලඟ නතර කලා.ආච්චි එයාලගෙ වත්තෙ වැඩ කරන්න එන අයට බොරු වැරදි පෙන්නලා පඩි නොගෙවා ඉන්නව වගේ දෙයක් නොකර පඩිය හරියට ගෙව්වොත් ඒ නර්ස් ඇන්ටි බෙහෙත් වරද්දල දීලා අම්මව ම(ර)ල දාන්නෙ නැතුව එයාව හොඳට බලා ගනියි කියල මට හොඳටම විශ්වාසයි..
        අම්මව ඉස්පිරිතාලෙ නතර කලාට පස්සෙ මට නම් ඕන උනේ තනියෙම අපේ ගෙදරට වෙලා ඉන්න. ඒත් මගෙ ආච්චිට ඕන උනේ අම්මට හොඳ වෙනකං මාව ආච්චිගෙ ගෙදර ගිහින් තියාගන්න. මම ආච්චිගෙ ගෙදර කිව්වට හරියටම කිව්වොත් ඒක මගේ සීයගෙ ගෙදර.. මගේ තාත්තගෙ තාත්තට තමයි ඒ ගෙදර අයිති. ඒත් මම සීයට වඩා ආච්චිට ආදරේ නිසා මම එහෙට කියන්නෙ ආච්චිගෙ ගෙදර කියලයි.මගේ ආච්චිගෙ ගෙදර තිබුනෙ දුර ඈත පළාතක ලොකුම ලොකු ඉඩමක හරි මැද්දට වෙන්න. ඒ ගෙදර ගෙයක් කිව්වට ගල් වලින් හදපු මහා විසාල මන්දිරයක් වගේ එකක්.ආච්චියි සීයයි මැරුනට පස්සෙ එයාලගෙ එකම පුතා උන අපේ තාත්තට තමයි කවදහරි ඒක අයිති වෙන්නෙ. තාත්ත මැරුනම ඒක මට අයිති වෙනව.. මට සමහර ⁣වෙලාවට හිතෙනව හැමෝවම ම(ර)ල දාල ඉක්මනින්ම ඒ ගෙදර මගේ කරගන්න.ඒක එච්චරටම ලස්සන ගෙයක්.ඒත් පවුලෙ කට්ටිය නැතුව තනියෙම ඒ ලොකුම ලොකු ⁣ගෙදර ඉන්න එක කම්මැලි වෙයි කියල හිතෙන නිසා මම කවදහරි කසාද  බදිනකං එයාලව ම(ර)න්නෙ නෑ කියල මම තීරණය කරලයි තියෙන්නෙ..
         ඉතින් ආච්චි මාව කොහොමහරි එයාලගෙ ගෙදර අරගෙන ආවා. අපේ අම්ම වගේ නෙවෙයි , ආච්චි හැමදාම වැඩ කරන්නෙ එකම එක පිළිවෙළකට. ආච්චි හැමදාම උදේම නැගිටලා කෑම හදනවා. ඊට පස්සෙ මට කෑම කවලා හවස් වෙනකන්ම එයා මට පාඩම් කියල දෙනවා..පාඩම් වැඩ කියන්නෙ මහ එපාවෙන වැඩක්. ඒත් ඉගෙන ගන්නෙ නැතුව කවදාවත් ඉහළට යන්න බෑ කියල අම්ම මට කියල තියෙන නිසා මම උනන්දුවෙන් පාඩම් වැඩ කරනවා..  මගෙ ආච්චි හරිම භක්තිමත් කාන්තාවක්.ඔක්කොම වැඩ ඉවර කරාට පස්සෙ ආච්චි හවසට පල්ලියට යනවා..එතකොට සීයා..? එයා තාත්තව බේරගන්න නීතිඥයො හම්බවෙන්න ගිහින් ගෙදර එන්නෙ ගොඩක් රෑ වෙලා. එයා ගෙදර ඉන්න දවසටත් පත්තරයක් බල බල තනියෙම ඉන්න තමයි ගොඩක්ම කැමති..
             හවස තමයි මගේ සෙල්ලම් කරන වෙලාව. ආච්චිලගෙ ගෙදර ඒකට මට අපූරු යාලුවෙකුත් ඉන්නවා. ඒ තමයි රොජර්.. රොජර් කියන්නෙ ආච්චිලගෙ ගෙදර හුරතලේටයි ආරක්ෂාවටයි දෙකටම ඉන්න බලු තඩියා..මහතම මහත බෝලයක් වගේ ඉන්න රොජර්ට මම හරිම ආසයි.. එයා අපේ ගෙදර හිටපු රොකී වගේ කේන්ති ගියාම මාව කන්න පනින ජාතියෙ නරක බල්ලෙක් නෙවෙයි. ඉතින් ආච්චි පල්ලි ගියහම මමයි රොජරුයි වත්ත පුරාම දුවන එක තමයි කලේ..
           ආච්චිලගෙ වත්තෙ එක තැනක තියෙනව ලොකුම ලොකු සොහොන් කොතක්.අපේ තාත්ත ඉස්සර මට කියල දීල තියෙන විදිහට එතන මිහිදන් කරල ඉන්නෙ මගේ සීයගෙ තාත්ත උන ලොකු  ජෝර්ජ් සීයා. එයා තමයි ආච්චියි සීයයි ඉන්න ඒ විශාල ගෙදර හදපු කෙනා.. අපේ පවුලෙ කවුරුවත් එයා ගැන වැඩිය කතා කරන්නෙ නෑ..එයාල කියන විදිහට ලොකු ජෝර්ජ් සීයා කියන්නෙ පවුලට ලොකු අපකීර්තියක් ගෙනාපු නරක මනුස්සයෙක්..  මට ඔය අපකීර්තිය වගේ ලොකු වචන තේරෙන්නැ..  හැබැයි ලොකු ජෝර්ජ් සීයා  හදපු ගෙදරට වෙලා ඉදගෙන එයාව අමතක කරනවා එක නං නරක නපුරු වැඩක් කියල මට තේරෙනවා. මම ලොකු ජෝර්ජ් සීයා උනා නං රෑට මිනි වලෙන් නැගිටලා ඇවිත් ගෙදර ඉන්න හැමෝගෙම බෙලි ටික කපලා ම(ර)ල දාලා යනවා..  ඒත් ජෝර්ජ් සීයා දැනටමත් මැ(රි)ලා නිසා එයාට ආපහු පළිගන්න එන්න බෑ.. ඒක හරිම දුකක්..
    මොනා උනත් ලොකු ජෝර්ජ් සීයට සාදාරණයක් කරන්න ඕන කියන එක කාලයක් තිස්සෙම මගේ හිතට ගොඩක් වද දුන්න කාරණාවක්.. අන්න ඒක නිසයි එදා හවස මම ඒ දේ  කරන්න තීරණය කලේ..

     සීත කාලෙට රස්නෙ තියාගන්න ගෙදර මැද්දෙ හදල තියෙන තියෙන ගිණි උදුනෙ උස කණ්ඩිය තමයි ආච්චිලගෙ ගෙදර තියෙන වටිනාම සහ වැදගත්ම තැන. මම ඒක එහෙමයි කියල හිතුවෙ අපේ ආච්චි එතන දෙවියන් වහන්සේගේ ප්‍රතිමාව තියන්න තෝරගෙන තිබුන නිසා.

           මම හැමදාම හවසට ගේ පිටිපස්සෙ තිබුන සවල අරන් ගිහින් ටික ටික ලොකු ජෝර්ජ් සීයගෙ මිනිවල හාරලා අන්තිමට ගොඩට ගත්ත ලොකු ජෝර්ජ් සීයගෙ මිනි ඔලුව එදා හවස ගෙදරට ගෙනල්ලා ගිණි උඳුනෙ කණ්ඩිය උඩ දේව ප්‍රතිමාව ලඟින්ම තියල මිනි ඔලුව උඩින් ඉටිපන්දමක් පත්තු කලාට ආච්චිට මෙච්චර කේන්ති ගිහින් තියෙන්නෙ ඇයි කියල මට නම් තේරෙන්නෙ නෑ...

මම ලොකු ජෝර්ජ් සීයගෙ මිනි ඔලුව එතනින් තියලා ඉටිපන්දමක් පත්තු කලේ මේ ගේ හදපු ලොකු ජෝර්ජ් සීයට ගෞරව කරන්නයි..

පල්ලි ගිහින් ආව ආච්චි ඒක දැකලා මට කෑ ගැහුවෙ , "මේ ළමයට යක්ෂයෙක් වැහිලා"  කියලයි..

ආච්චිගෙ කෑ ගැහිල්ල ඇහිල එතනට ආව සීය ඒක දිහා බලලා , ඊට පස්සෙ මගෙ දිහාත් අමුතු විදිහට බලල  "එයා මගෙ තාත්ත වගේ කෙනෙක්" කියලත් කිව්වා.

ඒ කියන්නෙ මම ලොකු ජෝර්ජ් සීය වගේද? ඒක නං සතුටු හිතෙන කාරණාවක්..මේ වගේ ලොකු ගෙයක් හදපු මනුස්සයෙක් වගේ වෙනව කියන්නෙ ඒක ලේසි පහසු කාරණාවක් නෙවෙයි..

මොනා උනත් ආච්චිගෙ කරදරේ නිසා සීයට ලොකු ජෝර්ජ් සීයගෙ  මිනි ඔලුව ආපහු  මම හාරපු මිනී වලටම ගිහින් දාන්න උනා.  ඒ වගේම ආච්චි මට ආපහු හවසට සෙල්ලම් කරන්න වත්තට යන එකත් තහනම් කලා , එයා හවසට මාව පල්ලි එක්කගෙන යන්න ගත්ත තීරණයත් ඒ වගේමයි. සීයටවත් ඒක වෙනස් කරන්න බැරිවුනා.

දැන් ඉතින් මම හවසට පල්ලි යන්නත් ඕන..

ඒ උනාට මේ වෙච්ච  දේවල් නිසා මගේ පුංචි හිත ඇතුලෙ මේ ලොකු ජෝර්ජ් සීයා කවුද?
එයාගෙ නම කිව්වත් අපේ ආච්චිට මෙච්චර තරහ යන්න එයා මොනාද කරල තියෙන්නෙ..? වගේ ප්‍රශ්න ගොඩාක් ඇති උනා. අම්මට සනීප වෙලා අාච්චිලගෙ ගෙදරින් ආපහු මගේ ගෙදරට යන දවස එන්න කලින් මම මේ ප්‍රශ්න වලට අනිවාර්යයෙන්ම උත්තර හොයාගන්න ඕන..නැත්නම් මට රෑට නින්ද යන එකකුත්  නෑ..

ඇත්තටම කවුද මේ ලොකු ජෝර්ජ් සීයා..?

බිලී තෙවන කොටසේ නිමාව..

බිලී දෙවන කොටස



පළවෙනි කොටස බලන්න මෙතන click කරන්න - පළවෙනි කොටස

       වත්ත පහළ තිබුන ⁣සාරගෙ මිනිය බලන්න පොලීසියෙන් ආවට පස්සෙ අපේ ගෙදර හරි ජරමරයක් තමයි උනේ. පොලීසියෙන් මුලින්ම ලොකු වාහනයක් අරන් ඇවිත් සාරාගෙ මිනිය එ්කෙ පටවගෙන ගියා.ඊට පස්සෙ එයාල අපේ ගෙදර අස්සක් මුල්ලක් නෑරම හොයල බැලුවෙ හරියට අපි සාරා⁣ගෙ ගෙදර කට්ටියවත් හංඟගෙන තියන් ඉන්නව කියල හිතාගෙන වගේ... එයාල පරණ මඩුවෙ තිබුන රොකීගෙ කූඩුව දිහාවට ඇඟිල්ල දික් කර කර තාත්තගෙන් මොනවහරි අහනවත් මම කාමරේ ජනේලෙන් දැක්කා. ඒ දවස් ටිකේ රහස් පරීක්ෂකයො , පත්තර වාර්තාකාරයො විතරක් නෙවෙයි ටීවි එකේ කට්ටියත් අපේ ගෙදරට ඇවිල්ලයි හිටියෙ. සමහරවිට අපේ ගේ ටීවි එකෙත් පෙන්නනව ඇති. මේක  සතුටු වෙන්න ඕන කාරණාවක් උනත් අම්මයි තාත්තයි දෙන්නම මට කාමරෙන් එළියට එන්න දුන්නෙ නැති නිසා මම නම් ගොඩක් දුකෙන් තමයි හිටියෙ.
       ගෙදරට ආපු අය කියන විදිහට අපේ ගෙදර හිටපු ගෑණු ළම⁣යගෙ නම සාරා නෙවෙයිලු.. එයාගෙ නම ජෝර්ජියානාලු. ඒක හරිම දිග නමක්. කවුරු එයාට ඒ විකාර නම තියලද කියල මට නම් හිතාගන්න බෑ. එයා ගෙදර අය එක්ක තරහ වෙලා ගෙදරින් පැනල යද්දි අතුරුදන් වෙලා කියල තමයි කට්ටිය කිව්වෙ.  ⁣තරහ අයව මරල දාල පාඩුවෙ තමන්ගෙ ගෙදරටම වෙලා ඉන්න පුළුවන්කම තියෙද්දි , එයා ගෙදරින් ගියේ මොකද කියලත් මට හිතාගන්න බෑ. එයා ගෑණු ළමයෙක්නෙ.. සමහරවිට ඒ ගෑණු ළමයින්ගෙ හැටි වෙන්න ඇති. කොහොමහරි ඒ සිද්ධියෙන් පස්සෙ වෙනදට මාව ලඟට අරගෙන තුරුල් කරගන්න අම්මයි තාත්තයි වැඩිය මගෙ ලඟට ආවෙ නෑ. එයාල දෙන්නා මට ඇහෙන්නෙ නැති වෙන්න හොරෙන් රහස් කියාගන්නවත් මම දැක්කා.. සමහරවිට එයාල මට හොරෙන්  වෙනස්ම විදිහක සෙල්ලමක් කරන්න හදනව වෙන්න ඇති. මම ඒවට ⁣හොරෙන් ඇහුකන් දුන්නත් එයාල කියපු කිසිම දෙයක් මට තේරුනේ නෑ..

"එයා අපේ පුතා ඩේවිඩ්..

ඔව් මට එක තේරෙනව මේරී..

          අපි අපේ පුතාව මේ හැමදේකින්ම ආරක්ෂා කරන්න ඕන..."

                  ඔන්න ඔය වගේ දේවල්  තමයි එයාල රහසින් කතා කලේ..

        ඔය දේවල් වෙලා  දවස් දෙකකට විතර පස්සෙ පොලීසියෙන් ඇවිත් අපේ තාත්තව අරගෙන ගියා.එයාල කියන විදිහට ඒ ගෑණු ළමයව හිර කරගෙන ඉදල වහ දීල තියෙන්නෙ අපේ තාත්තලු.  මට ඒක එහෙම නෙවෙයි කියන්න ඕන උනත් අපේ අම්මා මට  කතා කරන්නවත් , කාමරෙන් එළියට එන්නවත් ඉඩ දීපු නැති නිසා මට මුකුත්ම කියන්න උනේ නෑ.
           තාත්තව පොලීසියෙන් අරන් ගියාට පස්සෙ අම්ම හිටියෙ පිස්සු හැදිල වගේ.අම්ම කෑම කන්නෙත් නැතුව අඬල අඬලම අසනීප උනා. අම්මව බලන්න ආපු දොස්තර අංකල් කිව්වෙ කෑම නොකා ඉදල අම්මගෙ ඇඟ දුර්වල වෙලා කියලයි. අම්මට ඇඳට වෙලා විවේක ගන්න දීලා පෝෂදායී කෑම ටිකක් දුන්න නම් අම්මගෙ අසනීපෙ හොඳටම හොඳ වෙයි කියලත් දොස්තර අංකල් කිව්වා..     
         තාත්ත පොලීසියෙන් අරන් ගියාට පස්සෙ අහල පහළ අය උනත් වැඩිය අපි එක්ක කතා කරන්න ආවෙ නෑ , අපේ ගෙදර වැඩට උදව් කරන්න ආව ජෙනී නැන්දත් ඒ සිද්ධියෙන් පස්සෙ  අපේ ගෙවල් පැත්ත පලාතක ආවෙ නෑ. එයාල අපේ ගෙදරට මිනිමරුවගෙ ගෙදර කියල නමකුත් දාලා කියල ලියුම් බෙදන්න ආව කෙනා අපේ අම්මට රහසින් කියනව මම අහගෙන. නොකරපු වැරැද්දකට අරගෙන ගිය තාත්තව බේර ගන්න නම් අම්ම සනීපෙන් ඉන්න ඕන.. ඒක නිසයි මම අම්මට සුප් එකක් හදල දෙන්න තීරණය කලේ..
        මට සුප් එක හදන්න පැය දෙකක් විතර ගියා. ඒක ගොඩක් මහන්සි දැනෙන වැඩක්. කුස්සියෙ තිබුන අම්මගෙ ලොකු කෝප්පෙ ගත්ත මං ඒක පිරෙන්නම සුප් වත්කරගෙන ගිහින් ඇඳේ හේත්තු වෙලා හිටපු අම්මට කතා කලා..

අම්මේ මම ඔයාට සුප් හදාගෙන ආවා..
මේක බොන්න.. මම අම්මගෙ ඔලුව අතගාන ගමන් කිව්වා...

අම්ම බොහොම අමාරුවෙන් පොඩ්ඩක් කෙලින් වෙලා හැන්දෙන්  සුප් ටික බීල ආපහු හාන්සි උනා..

එයා වචනයක්වත් කතා කලේ නෑ. හැබැයි එයාගෙ දුකින් පිරුණ මූණ දැක්කම මට ගොඩාක් දුක හිතුනා..

අම්ම බය වෙන්න එපා , අම්මට ඉක්මනින් සනීප වෙයි.. පෝලී අම්මව සනීප කරනව කියල මට හොඳටම විශ්වාසයි අම්මේ...  මම අම්මට කිව්වා..

පෝලී කියන්නෙ ගෙදර ඉස්සරහ වහලෙ එල්ලල තිබුන කූඩුවෙ හිටපු අපේ හුරතල් කතා කරන ගිරවා. ගිය අවුරුද්දෙ තිබුන විවාහ සංවත්සරයට එයාව අම්මට තෑග්ගක් විදිහට ගෙනල්ල දුන්නෙ තාත්තා..අම්ම කියන විදිහට නම් ඒ ගිරවත් තාත්ත වගේම වාචාල ගිරවෙක්.

පෝලී..!!! අම්ම කතා කලේ කෙඳිරි ගාමින්.

ඔව් අම්මා පොලී. මට දවසක් සීයා කිව්වා චීනෙ මිනිස්සු ලෙඩ හොඳ වෙන්න කුරුලු සුප් බොනව කියල... ඒක ඇඟට ගොඩක් ශක්තිය ගේන දෙයක්ලු.. ඒත් මෙහෙ මස් කඩේ සුප් හදන්න කුරුල්ලො ගන්න නෑනෙ. ඒකයි මම අම්මව ඉක්මනින් සනීප කරන්න කියල හිතාගෙන පොලීව දාල සුප් එකක් හැදුවෙ..මම අම්ම දිහා බලල ආදරෙන් කිව්වා..
             අම්ම ඇස් ලොකු කරල මගෙ දිහා බැලුවා.අම්මගෙ ඇස් වල තිබුනෙ ආදරයක්ද  , බයක්ද කියල මට තේරෙන්නෙ නෑ. සමහරවිට මට පිස්සු දේවල් හිතෙනව වෙන්න ඇති.. අම්ම මොකටද මට බය වෙන්නෙ. එයා මට ගොඩාක් ආදරෙයිනෙ..මම එයාගෙ මැණිකනේ..
             
දෙවනි කොටසේ නිමාව...

බිලී පළමු කොටස



මගේ නම තමයි බිලී. මම අවුරුදු 12 ක පිරිමි ළමයෙක්. අපේ ඉස්කෝලෙ ඉන්න හැමෝම කියන්නෙ මම මහ අමුතු ගතිගුණ තියෙන ළමයෙක් කියල.ඒ නිසා මට ඉස්කෝලෙ කිසිම යාලුවෙක් නෑ..
     හැබැයි ඉස්කෝලෙ යාලුවො නැති උනාට මට එකම එක යාලුවෙක් ඉන්නව. එයාගෙ නම තමයි සාරා. මට එයාව හම්බවෙලා දැන් මාසයක් විතර ඇති. මම තමයි එයාට ඒ ලස්සන නම තිබ්බෙත්. සාරා අවුරුදු විස්සක් විතර වෙන ලස්සන ගොලු ගෑණු ළමයෙක්. එයා ඉන්නෙ අපේ ගෙදර පිටිපස්සෙ තියෙන අතහැරල දාපු පරණ මඩුවෙ. අම්මයි තාත්තයි දොරවල් ඇරගෙන ඒක ඇතුළට යන්නෙ නැති නිසා මම එතනට වෙලා සාරත් එක්ක සතුටින් සෙල්ලම් කලා.මට සාරව හම්බවුනේ මාව තනියෙම ගෙදර තියල මගේ අම්මයි තාත්තයි ආච්චිලගෙ ගෙදර ගිය දවසෙදියි. එයා අපේ ගේ පිටිපස්සෙ තියෙන කැලේ සිහිය නැතුව වැටිලයි හිටියෙ. මම එයාව බොහොම අමාරුවෙන් අරගෙන ඇවිත් අපේ රොකීගෙ කූඩුවට දැම්මා. රොකී කියන්නෙ මගෙ හුරතල් බල්ලා. එයා ගිය සතියෙ තමයි මැරුනෙ. මම සාරට කෑම බීම එහෙමත් ගෙනල්ල දෙනවා. හැබැයි අපේ අම්මයි තාත්තයි නම් මට කියන්නෙ එයාව අමතක කරන්න කියලයි. එයාල කියන විදිහට මනංකල්පිත යාලුවො එක්ක සෙල්ලම් කරන්න මම දැන් ලොකු වැඩියි. අවුරුදු විස්සක ගෑණු ළමයෙක්ව යාලුවෙක් කරගන්න ඔයාට තව කල් තියෙනව කියලත් එයාල කියනව. හැබැයි මම සාරට ගිහින් දෙන්න කෑම ඉල්ලද්දි අපේ අම්ම මට මුකුත් කියන්නෙ නැතුව කෑම ගොඩාරියක් දෙනවා..අම්ම කියන විදිහට මම ගොඩක් මහත් වෙලා තියෙන්නෙ සාරට කෑම ගිහින් දෙන නිසාලු. ඒත් සාරා කෑම කෑවහම මාව මහත් වෙන්නෙ කොහොමද කියල මට නම් කොහොමටවත්ම හිතාගන්න බෑ..
           මම මේ කියන සිද්ධිය උනේ ඊයෙ හවස. ඊයෙ හවස අපේ අම්මයි තාත්තයි මට එන්න කියල නරක ආරංචියක් කියන්න තියෙනව කිව්වා. ඒ තමයි තාත්ත අලුත් කාර් එකක් ගේන නිසා එයාලට පරණ මඩුව කඩල අලුත් මඩුවක් ගහන්න වෙනව කියන එක. එ් නිසා සාරාව අමතක කරන්න කියලත් එයාල මට කිව්වා. අපේ තාත්තට ඉස්සර ඉදලම සාරාව පෙන්නන්න බෑ.මම එයා ගැන කතා කරන්න හදනකොට තාත්ත මගෙ දිහා රවල බලල එතනින් යන්න යනවා. මෙදා පාර අම්මත් තාත්තගෙ අදහසට එකඟවෙලා..
             මට මේක දරාගන්න බෑ. ඒත් දෙමව්පියන්ගෙ තීරණ වලට දරුවෙක් විදිහට විරුද්ධ වෙන්න බෑ කියල මට තේරෙනව.. මම එයාව මරල රොකීව වලලපු තැනින් වළලන්නද කියල එයාලගෙන් ඇහුවා. වත්තෙ වලවල් හාරන්නෙ නැතුව ඕන දෙයක් කරන්න කියලයි තාත්ත කිව්වෙ..මට හරි දුකයි ඒත් කරන්න ඕන දේ කරන්නම වෙනවා..

මට අද උදේ ඇහැරුනේ සද්දයක් ඇහිලා..මගේ අම්මයි තාත්තයි මහ හයියෙන් කෑ ගහනව.මට පේන විදිහට එයාලට වත්ත පිටිපස්සෙ කැලෑවෙ තිබිල සාරගෙ මිනිය හම්බවෙලා..එයාල පොලීසියට කෝල් කරන්න වගේ හදන්නෙ...

      සාරට කැමති දෙයක් කරන්න කියල එයාල කිව්ව නිසයි මම මීට කලින් රොකී එක්ක තරහවුන දවසෙ රොකීට දුන්න විදිහටම වහ කලවම් කරපු කෑම එකක් සාරටත් දුන්නෙ. ගෙදර වත්තෙ වලවල් හාරන්න එපා කිව්වෙත් ඒ දෙන්නමයි. ඒක නිසයි මට සාරගෙ මිනිය වළ නොදා වත්ත පිටිස්සෙ කැලෑවට ගිහින් දාන්න උනෙත්. මට කරන්න ඕන හැමදේකටම උපදෙස් දීලා දැන් එයාල බයවෙලා වගේ කෑ ගහනව. ඇත්තටම මට තේරෙන්නෙ නෑ මේ වැඩිහිටියො හැසිරෙන විදිහ.

පළමු කොටසේ නිමාව..

Sunday, January 29, 2023

අයිස්ක්‍රීම් කෙටිකතාව



           අපේ අම්මට හැම සෙනසුරාදම  ඔෆිස් එකේ රෑ වෙනකං වැඩ කරන පුරුද්දක් තියෙනව.. එදාට තාත්තයි මම විතරයි ගෙදර ඉන්නෙ.. තාත්තයි මායි එදාට කඩේට ගිහින් අයිස්ක්‍රීම් ගේනව.. පස්සෙ තාත්ත හදන රසම රස කෑම කාල අපි දෙන්නම අයිස්ක්‍රීම් කකා අම්ම ආපහු ගෙදර එනකං බලාගෙන ඉන්න එක තමයි කරන්නෙ..
     මම කුස්සියට ගියේ තාත්ත  උයනවද බලන්න. ඒත් තාත්ත කුස්සියෙ නෑ. මම අන්තිමට තාත්තව හොයා ගත්ත. එයා ගරාජ් එකේ තියෙන කාර් එක ඇතුලට වෙලා නිදාගෙන ඉන්නව. සමහරවිට තාත්තට මහන්සි ඇති. අද අපිට රෑට කෑම කන්න අම්ම එනකං ඉන්න වෙයි වගේ..
       ඒ වෙලාවෙ තමයි මම දැක්කෙ තාත්තයි මමයි ගෙනාපු අයිස්ක්‍රීම් එක ගරාජ් එකේ මේසෙ උඩ තියෙනව.. තාත්ත අද මටත් හොරෙන් අයිස්ක්‍රීම් ටිකක් කාලා. ඉතින් මම කෑවම මොකෝ..මමත් අයිස්ක්‍රීම් කන්න පටන් ගත්තා. අද අයිස්ක්‍රීම් එකේ රසත් ටිකක් අමුතුයි. එත් ඕව ගණන් ගන්න පුළුවන් දේවල් නෙවෙයි. මොකද ඒ අයිස්ක්‍රීම්නෙ..
        වෙනද අම්ම ඉන්නකොට මට රෑ කෑමට කලින් අයිස්ක්‍රීම් කන්න දෙන්නෑ. එයා කියන්නෙ රෑ කෑමට කලින් අයිස්ක්‍රීම් කන එක හරිම නරක පුරුද්දක් කියලයි. ඒත් අද අම්ම ආවම එයාට මට බනින්න  බැරි හේතු තියෙනව.අද  අයිස්ක්‍රීම් ගේන්න ගියාම අයිස්ක්‍රීම් කඩේ මාම අපේ තාත්තට කිව්ව අම්මයි , අම්මගෙ ඔෆිස් එකේ ජේම්ස් අංකලුයි අයිස්ක්‍රීම් වගේකුත් අරගෙන කොහේදෝ ගියා කියල. ඒ කියන්නෙ අද අම්ම රෑ කෑම කන්නත් කලින් අයිස්ක්‍රීම් කන්න ඇති. ඒ නිසා මමයි තාත්තයි අයිස්ක්‍රීම් කෑව කියල එයාට මුකුත් කියන්න පුළුවන් කමක් නෑ.
     මම අයිස්ක්‍රීම් ටික නම් කාල ඉවරයි.. ඒත් අද වෙනද වගේ නෙවෙයි. අද  මට හරිම  නිදිමතයි. තාත්ත සමහර වෙලාවට කියනව අයිස්ක්‍රීම් කෑවම සෙම ඇවිස්සෙනව කියල. සමහරවිට ඒ කතාව ඇත්ත වෙන්න ඇති..තාත්තගෙ කාර් එකේ එහා පැත්තෙ දොර ඇරල දාලයි තියෙන්නෙ. සමහරවිට තාත්ත නිදාගන්න ඇත්තෙ මම එයි කියල බලාගෙන ඉදල වෙන්න ඇති. දැන් ඉතින් මමත් ගිහින් ඒකට නැගලා තාත්තගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියාගෙන චුට්ටක් නිදාගන්න ඕන.. අම්ම ආවම රස කෑමක් හදල අපි දෙන්නව ඇහැරවයි..

නිමි.

Monday, December 7, 2020

ලංකාපුර දේව

      කාලයේ වැලි තලාවට යටවුණු එක්තරා වීරයෙකුගේ කතාවක්!!!

  


          මේ ක්‍රිස්තු වර්ෂ 1166 අවුරුද්දයි. එක්තරා සුවිශාල මහා දේශයක පිහිටි තවත් එක සුවිශාල රාඡධානියක රඡකම වෙනුවෙන් මහා බල අරගලයක් නිර්මාණය වෙමින් පැවතිණි. තරුණ කුමාරයෙක්  රාඡධානියේ රඡකම වෙනුවෙන් එවකට සිටි රඡතුමා හා සටනට පිවිසියේය. එම මහා දේශයේ බල කෑදර කුමන්ත්‍රණකාරී වෙනත් රාඡ්‍යන්ගෙන් ද උපකාර ලබාගත් තරුණ කුමරා යුද්ධයයේ වාසිය තමා වෙත ලඟාකරගනිද්දී අසරණ වූ රඡතුමා තම පැරණි මිත්‍රයෙකු වූ මුහුදෙන් එතෙර පිහිටි කුඩා දූපත්  රාඡ්‍යයක රඡ කෙනෙකුගෙන් උපකාර පැතීය.

    උපකාර පැතූ රාඡ්‍යය  දූපත්වාසී කුඩා රාඡ්‍යයක් වූවද එම රාඡ්‍යයේ රඡතුමා මහා චක්‍රවර්තී අධිරාඡ්‍යයෙකුට නොදෙවනි වූවෙකු විය. සතර දිශාවෙහි අධිරාඡ්‍යන්ගෙන් පවා ගරු බුහුමන් ලැබූ මෙම රඡතුමා තමා⁣ගෙන් උදව් ඉල්ලූ කෙනෙකුට කිසිදා පිටු නොපාන අන්දමේ සුරු විරු පාලකයෙක් විය..

           හසුන්පත අතලැබූ මහරඡතුමා වහාම තම සෙනෙවියන්ගෙන්⁣ ⁣ශ්‍රේෂ්ඨතම  සෙනෙවියන්ගෙන් කෙනෙක් කැඳවීය..


ඔහු නමින් "ලංකාපුර දේවයි"


මිත්‍රවරුනි මෙය තවත් සුරංගනා කතාවක් නෙවේ.. මෙය ඉතිහාසයයේ වැලි තලාවෙන් යටවී ගිය අපේ ඡාතියේ ශ්‍රේෂ්ඨත්වය පෙන්නූ කාලයයි.

 

මේ පරාක්‍රමබාහු යුගයයි!!!


     ඉන්දියාවේ පාණ්ඩ දේශයේ සිංහාසනයට එකල විශාල බල අරගලයක් ඇතිවිය. සිහසුනට උරුමකම් කියූ කුලසේකර නම් කුමාරයා පාණ්ඩ පාලක පරාක්‍රම රඡුගේ මදුරාවේලිය නම් නුවරට චෝල රඡුගේ උපකාර ඇතිව තද බල ප්‍රහාරයක් එල්ල කලේය.

          අසරණ වූ පාණ්ඩ පාලක පරාක්‍රම රඡු ලංකාවේ පරාක්‍රමබාහු රඡුගෙන් උදව් පැතුවේය.


   හසුන්පත ලැබූ වහාම ලංකාපුර මහසෙනවි යටතේ ලංකාවේ විශාල සේනාවක් ඉන්දියාව ආක්‍රමණය සඳහා පිටත්කිරීමට රඡතුමා තීරණය කලේය.

          නමුත් ලංකාපුර සෙනෙවි තම හමුදාවන් සූදානම් කරන අතරතුර ලංකාවට තවත් පුවතක් ලැබුණි.


එනම්


"" පාණ්ඩ පාලක  පරාක්‍රම රඡු හා පවුලේ සියලු දෙනාවම සතුරන් විසින් මරා දමා ඇති බවයි"""


    තම රැකවරණය පැතූ අසරණ රඡු , තමන්ගේ උපකාර ලබා දීමටද පෙර මියයාම පරාක්‍රමබාහු රඡතුමාහට සිදුවූ මහා අපහාසයක් මෙන් විය.


  නැවතත් තම සේනාපති ලංකාපුර කැඳවූ පරාක්‍රමබාහු රඡු වහාම ඉන්දියාව ආක්‍රමණය කර බලෙන් පාණ්ඩ්‍ය දේශයේ සිහසුන ලබාගත් කුලසේකර රඡු පරදවා රඡකමට සුදුසු වෙනත් කෙනෙක් හට එහි රඡකම ලබාදෙන ලෙස අණකෙරීය.


          තම රඡුගේ අණ හිස්මුදුනෙන්  පිළිගත් මහා වීරයෙකු වූ ලංකාපුර , තම මහා සේනාවද ගෙන නැව් නැග ඉන්දියාව කරා යාත්‍රා කලේ මුලු මහත් ලංකාවටම ⁣මහා ගෞරවයක් ගෙන දෙන යුධ පෙරමුනේ නායකයා වෙමිනි.මෙය ලංකා ඉතිහාසයේ අමරණීය ගමනකි


      පාණ්ඩ්‍ය දේශයේ සතුරන් හට තම මරණය මතක් කරමින් ,, ලංකාපුර මහ සෙනෙවි ප්‍රමුඛ ලාංකික හමුදාව පාණ්ඩ්‍ය දේශයේම නැව් තොටකට බලෙන්ම ගොඩ බැස්සෝය.

          ලංකාවේ සිංහනාදය මහා අධිරාජ්‍යයක් සසල කල පළමු පියවර එය විය.ඉන් අනතුරුව ඇති වූයේ මහා විශාල සුවිශාල යුද්ධයකි.

       දිනෙන් දිනම මහ සටන් තුළින් ඡයග්‍රහණ පිට ඡයග්‍රහණ ලබා ගත් මහ සෙනෙවි ඉන්දියාවේ එක්තරා ප්‍රදේශයක් ඡයගෙන පරාක්‍රම පුර නමින් නව නගරයක්ද එ⁣හි බිහි කෙරීය.  මෙය ලංකා ඉතිහාසයේ තවත් එක පරිච්ඡේදයකි.


       නව නගරයේ මහා යුධ අගල් වලින් සපිරි අංගසම්පූර්ණ බලකොටුවක් ගොඩ නැගූ ලංකාපුර ඉන් අනතුරුව ඉන්දියාවෙන් සිරකරුවන් සහ සුවිශාල  වස්තුවද ලබා ගෙන එ්වා නැව් වලින් තම මාතෘභූමිය වූ  ලංකාව වෙත එවීමටද සමත්විය.

       ලංකාපුර බලකොටුවකට වී සිටින බව දැනගත් කුලසේකර ලංකාපුර පරාඡය කිරීමට සේනාවක් ගෙන ආවද ලංකාවේ අභිමානය රැන්දූ මේ මහා වීරයා ඒ සටන ඉතා පහසුවෙන් ඡය ගත්තේය..

         අනතුරුව ලංකාපුර ඉතා සැලසුම් සහගතව ඉන්දියානු දේශයේ කොටසින් කොටස යටත් කරගැනීමට පය තැබීය. සටන් කලාවන් මෙන්ම දේශපාලනයද හොඳින් දැන සිටි මොහු පාණ්ඩ්‍ය දේශයේ දමිළ ප්‍රධානීන් තෑගි බෝග ලබා දී තම පක්ෂයට ගැනීමටද සමත්විය. 


       මෙසේ ඡයග්‍රහණ ලබමින් සිටින ලංකාපුරට මියගිය පාණ්ඩ්‍ය පාලක පරාක්‍රමගේ එක් පුතෙකු ඡීවතුන් අතර සැඟවී සිටින බව සැල විය. තම ඔත්තුකරුවන් ලවා වහාම තරුණ කුමරා තමා ලඟට ගත් ලංකාපුර ,,


හසුනක් යවා තම රඡුගේ ආශිර්වාදය ලබාගෙන සටනේ දෙවනි පියවර තබන්නට විය.

 

       තරුණ කුමාරයාට තම රැකවරණය ලබා දුන් ලංකාපුර මහ සෙනවි පාණ්ඩ්‍ය දේශයේ නව අගනුවර වූ මධුරාපුරයට තම ආක්‍රමණය මෙහෙය වීය. ලංකාපුර සතු හමුදාවේ ප්‍රභල බව හා ශ්‍රෙෂ්ඨත්වය දැක බියට පත් වූ කුලසේකර කුමරුගේ පිරිස්ද ලංකාපුර හට සහයදීමට පැමිණියෝය..

       ඔවුන් සියලු දෙනාගේ සහය ඇතිව ලංකාපුර සෙනෙවි මධුරාපුරය යටත් කර ගැනීමට සමත්විය. පරාඡය වී ගිය කුලසේකර නැවත පැමිණියද ඔහුව නැවතත් පරාඡය කිරීමට ලංකාපුරට හැකි විය.

       අවසානයේ පාණ්ඩු කිරුළ උරුමකරුට ලබා දීමට ලංකාපුර සෙනෙවිට හැකි විය.


     ලංකා ඉතිහාසයේ ලංකාපුර විරුවා සහ පිරිස පිළිබඳව කතාව එතනින් අවසන් වේ.මොහු නැවත ලංකාවට පැමිණියාද ඔහුට සහ ඔහුගේ සේනාවට කුමක් සිදුවුනාද  යන්න ඉතිහාසයේ කාලයේ වැලි තලාවෙන් වැසුණු රහසකි.

       නමුත් ඉන්දියානු ශිලා ලිපියක චෝල අධිරාජ්‍යයාට එරෙහිව සටන් කිරීමට ගොස් පරාජය වූ  ලංකාපුර සහ ඔහුගේ සහයක සියලු සෙනෙවි වරුන්ගේ හිස් ,, චෝල රාඡ්‍යයේ අධිරාජ්‍යයාගේ තාප්පයේ ගසා තිබූ බව සටහන්ව ඇත.නමුත් ඔහුගේ මධුරාපුරය ඡයග්‍රහණය , සහ ඔහුගේ ආක්‍රමණය ගැන ඉන්දියානු ඉතිහාසයේ කිසිඳු සඳහනක් නැත.


ඇතැම් විට හමුදාව සඳහා යොදාගත් ඉන්දියානුවන්ගේ පාවාදීමකට ලක් වූ ලංකාපුර චෝළ භූමියේ සටන් භූමියක මිය යන්නට ඇත. 

නැත්නම්  ඇතැම් ඉන්දියානු සෙල්ලිපි අනුව යමින් චෝල අධිරාජ්‍යයා තම නම්බුව රැක ගැනීම පිණිස බොරුවක් රචනා කරන්නට ඇත.

       ඇතැම් විට ලංකාපුර තම ඡයග්‍රහණය ද රැගෙන ලංකාවට පැමිණ ඡීවත්වන්නට අැත.

         කෙසේ වෙතත් ලංකාපුර සහ ඔහුගේ වීර සෙබලුන් පිරිස කළ රාඡකාරිය ඉතිහාසයට එකතු වී ඇත. අප  ඒ ඉතිහාසය අමතක කොට දමා ඇත.


මේ ඒ ඉතිහාසය මතක් කරදීමට දැරූ ඉතා කුඩා වෑයමකි. 


(ඡායාරූපය අන්තර්ඡාලයෙනි , තොරතුරු මගේ මතකයේ පරිදි ගොනු කර ඇති අතර අඩුපාඩු ඇත්නම් පෙන්වා දෙන ලෙස ඉල්ලා සිටිමි)


~තරිදු ලක්ශාන්~


     


Wednesday, October 28, 2020

බජිරා

                                           


බස්නාහිර පළාතේ කොළඹ ඇතුලු අනෙකුත් දිස්ත්‍රික්ක සමඟ සැසදීමේදී කලුතර දිස්ත්‍රික්කය පහුගිය කාලය පුරාම ඉතාමත් සාමකාමී දිස්ත්‍රික්කයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලාගෙන පැවතුණි.අතරින් පතර අල්ලාගත් සොරුන් , කුඩුකාරයන් හා තක්කඩියන් කිහිපදෙනෙකු හැරෙන්නට වෙනස් කිසිදු සාහසික  අපරාධයක් අසන්නට නොලැබුණු  මෙම කළුතර දිස්ත්‍රික්කය එක්වරම සලිත වූයේ කලුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සමඟයි.  

  

කලුතර දිස්ත්‍රික්කයම සසල කරමින් මියගොස් සිටියේ ඩැනියෙල් කරූ නැමැති තිස් පස් හැවිරිදි විවාහක පුරුෂයෙකි. තිදරු පියෙක් වූ මොහුව හවස තම වෙළඳසැල වසා දමා නිවසට පැමිණෙන අතරතුර කිසිවෙකු විසින් හිසට පොල්ලකින් පහර දී මරා දමා තිබුණි. මොහුගේ ඝාතනය රටේ , ලෝකයේ සිදුවන මිනිමැරුම් සමඟ ගත් කල සාමාන්‍ය සිදුවීමක් විය හැකි වූවත් , මෙම සිදුවීම ඒවායින් වෙනස් වූයේ මෙම සිද්ධියේ ඇති එක් සුවිශේෂී ලක්ෂණයක් නිසායි. එම ලක්ෂණය නම් මියගොස් සිටි පුද්ගලයාගේ හෘද වස්තුව මෘත ශරීරය තුළ නොමැති වීමයි. මිනිමරුවා විසින් මිය ගිය පුද්ගලයාගේ පපු ප්‍රදේශය කපා විවර කර හෘද වස්තුව රැගෙන ගොස් තිබුනි. මෙම මරණය සමඟ ආරම්භ උන කලුතර භීතිය තවත් උත්සන්න වූයේ, මේ පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී මාස තුනක් යන්නටත් පෙර තවත් මරණ තුනක් මේ ආකාරයෙන්ම සිදු වීමෙනි. 


ප්‍රාදේශීය පොලිස් ස්ථාන කිසිවකට මෙම සිද්ධිය පිළිබඳව කිසිවක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ අතර මෙම සිදුවීම්වල බරපතළ බව තේරුම් ගත් දිස්ත්‍රික් බාර ප්‍රධාන පොලිස්පතිතුමා විසින් මේ සිද්ධිය අනාවරණය කිරීම සඳහා පොලිස් පරීක්ෂක එදිරිමුණි ඡයවික්‍රම ප්‍රමුඛ කණ්ඩායමකට බාර දෙන ලදී. අපරාධ විශාල සංඛ්‍යාවක් අනාවරණය කරගෙන සම්මානයට පාත්‍ර වී සිටි අකුරටම වැඩ කරන පොලිස් නිළධාරියෙකු වූ එදිරිමුණි මහතා මෙම පරීක්ෂණය බාර ගත්තේ නිසැකවම අපරාධකරුවා අල්ලා නීතිය හමුවට ගෙන ඒමේ අදිටනෙනි. එදිරිමුණි මහතා සමඟ සෑම විටම ඔහුගේ හිතවත්ම මිත්‍රයෙකු බඳු වූ  උප පොලිස් පරීක්ෂක රත්නවීර විය. 


"රත්නවීර , ඔයා දන්නවද අපේ පොලීසි වලට මේ අපරාධය අල්ලගන්න බැරි වෙලා තියෙන්නෙ මොකද කියල?" එදිරිමුණි මහතා ඇසීය. 


"නෑ සර්" 


"මේ ඝාතන ඔක්කොම වෙලා තියෙන්නෙ එක එක පොලිස් වසම්වල. කොච්චර කොහොම උනත් රත්නවීර , එක පොලීසියකින්වත් කැමති නෑ තවත් පොලීසියක් ඇවිත් තමන්ගෙ පැත්තෙ වැඩ වලට ඇඟිලි ගහනවට.මේ වැඩේ නිසා තමා පොලීසියට  ඕන කරන ගොඩක් වටිනා  සාක්ෂි යට යන්නෙ" 


"ඉතින් සර් මේ තත්ව යටතෙ අපි  කොහොමද බාදා වීම් නැතුව මේ පරීක්ෂනේ කරන්නෙ?" 


අපිට තියෙනව පොලිස්පතිතුමා අපේ පරික්ෂණය නිදහසේ කරගෙන යන්න දීපු අවසරය. අපිට ඕන තැනකට ගිහින් ඔන විදියකට ප්‍රශ්න කරල තොරතුරු අරගෙන මේක විසඳන්න පුලුවන්. 


"ඉතින් සර් අපි කොහෙන්ද මේක පටන්ගන්නෙ?" 


"අපි යමු පළවෙනි ගොදුර ඩැනියල්  කරූ ගේ ගෙදරට"


"අනිත් කට්ටියව යවන්න අනිත් මර්ඩර් තුන සිද්ධවුන ගෙවල් වලට, ඒ ගෙවල්වල විස්තර , නෑයන්ගෙ විස්තර , මරණය ගැන මරණ පරීක්ෂක වාර්ථා , ඒ ගැන අදාල පොලිස් වාර්ථා විතරක් නෙවෙයි , එයාලට කියන්න සිද්ධිය ගැන පරීක්ෂණ කරපු නිළධාරීන් එක්කත් ටිකක් කතා බහ කරල තොරතුරු අරගෙන හෙට හවස් වෙන්න කලින් හොයාගත්ත තොරතුරු මගේ මේසෙ උඩ තියන්න කියල’’ 


“හොඳයි සර් මම ඒ ඔක්කොම ලෑස්ති කරන්නම්.’’ 


මිනිමරුවාගේ පළවෙනි ගොදුර වූ ඩැනියල් කරූ මහතා වෘත්තීයෙන් ව්‍යාපාරිකයෙක් විය. ඔහු විසින් බේරුවල ප්‍රදේශයේ හාඩ්වෙයාර් එකක් කරගෙන යමින් සිටියේය. 


"ගෙදර කවුද?..ගෙදර කවුද?.. අපි මේ පොලීසියෙන්’’ 


 අවුරුදු පහක පමණ ලමයෙක් වඩාගෙන තිස් හය හැවිරිදි වියේ  පමණ පසුවන කාන්තාවක්  නිවසේ දොර විවෘත කලාය. 


" එන්න සර් ඇතුලට " 


අපි මේ ආවෙ ඩැනියල් කරූ මහත්මයගෙ මරණය ගැන කරුණු ටිකක් ගැන දැනගන්න. 


"සර් අපි හැමදෙයක්ම කලින් ආපු පොලීසියෙ සර්ලට කියුවනේ ... අනේ සර් ... මගෙ මහත්තයව මරපු කෙනාව අල්ලල දඬුවම් දෙන්න මහත්තයා ‘’ 


"අපි ඒකට තමයි මේ මහන්සි වෙන්නේ, මට ඔබතුමියගෙන් අහන්න ප්‍රශ්න කිහිපයක් තියෙනව , මහත්තයට හතුරො එහෙම හිටියද’’ 


"මගෙ මහත්තයට හතුරො කියල කවුරුවත් හිටියෙ නෑ, මගෙ මහත්තය ගොඩක් අහිංසක කෙනෙක්. උදේ හාඩ්වෙයාර් එකට ගිහින් හවසට එනව හැරෙන්න එයාට කා එක්කවත් කතා කරන්නවත් වෙලාවක් තිබුනෙ නෑ’’ 


"එතකොට මහත්තයගෙ යාලුවො’’ 


"එයාට යාලුවොත් හිටියෙ නෑ. එයා වැඩිය කාවවත් ආශ්‍රය කරන මනුස්සයෙක් නෙවෙයි’’ 


"ගෙදරයි හාඩ්වෙයාර් එකයි හැරුනහම එයාට වෙන ඡීවිතයක් තිබුනෙ නෑ" 


"එතකොට හාඩ්වෙයාර් එකේ සේවකයො?" 


"ඒක පොඩි හාඩ්වෙයාර් එකක් සර්, මගෙ මහත්තය ඒකෙ වැඩ ටික තනියෙමයි කරගත්තෙ" 


"එතකොට මහත්තය වැඩ ඇරිල එනකොට හාඩ්වෙයාර් එකේ දවසෙ ආදායම එහෙම ගෙදර ගේනවද" 


"නෑ සර්  එයා හාඩ්වෙයාර් එකේ සල්ලි ඔක්කොම හාඩ්වෙයාර් එකේම තියෙන සේප්පුවෙ දාල තියන්නෙ. එයා හැම සෙනසුරාදම සේප්පුව ඇරල ඔක්කොම ගණන් හදල බඩු ගේන්න ඕන වෙන සල්ලි එහෙම තියල , වැඩිපුර සල්ලි බැංකුවට දාල ගෙදර පාවිච්චියට අවශ්‍ය ගාන විතරයි අරගෙන එන්නෙ’’ 


"හොඳයි අපි ගිහින්  එන්නං, නැවත ඕන උනොත් අපි එනවා ‘’ 


"හොඳයි සර්. ඉක්මනින්ම මේ  අපරාධකාරයට දඬුවම් ලබාදෙන්න’’ 


"නිවසින් එළියට බැස ජිප් රථය අසලට ගිය එදිරිමුණි මහතා රථයට නොනැගම බර කල්පනාවක නියැලී සිටියේය...⁣ 


"මොකක්ද සර් ප්‍රශ්නෙ?" 


“මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනව රත්නවීර” 


“මේ මනුස්සයට යාලුවෙක් කියන්න කෙනෙක් නෑ , තරහකාරයෙක් කියන්න කෙනෙක් නෑ. අපි හෘද වස්තුව ගැන ප්‍රශ්නෙ ටිකකට අමතක කරමුකො. ඒත් මේ මනුස්සයව මංකොල්ල කන්නවත් හේතුවක් නෑ. මේ මනුස්සය සල්ලි ගේන්නෙ සෙනසුරාදා දවසක. ඒත් මරල දාල තියෙන්නෙ බදාදා දවසක.... මම මුලින්ම හිතුවෙ මේ ඔක්කොම මුදල් හොරකම් කරන අපරාධ කල්ලියක වැඩක් වෙන්න පුලුවන් කියලයි.  නමුත් ඒකත් එහෙම නෙවෙන පාටයි ‘’ 


“සර් මෙයාගෙ වයිෆ්ගෙ වෙන සම්බන්ධයක්’’ 


‘’මම හිතන්නෑ රත්නවීර දරුවො තුන්දෙනෙක් එක්ක හෙළවෙන්න බැරුව ඉන්න මේ ගෑනු කෙනාට වෙන සම්බන්ධයක් තිබුන කියල. මොකද පොඩි ළමය උනත් නිතරම අම්ම එක්ක ගෙදර. අනිත් එක කරූගෙ තාත්තත් මේ ගෙදරලු ඉන්නෙ ... මේක නං මම හිතුවට  වඩා ලොකු  ප්‍රශ්නයක් වෙන පාටයි... අපි යමුකො පොලීසියට අනිත් කට්ටිය දැන් වාර්තා ටිකත් හදල එවල ඇතිනෙ’’ 


පොලිසියට නැවත පැමින ඝාතන පහ සම්බන්ධ වාර්තා අතට ගත් එදිරිමුණි මහතා නැවතත් එකින් එක කියවා බලා මේසය උඩින් තැබීය..ඔහු මේවා නැවතත් කියවූයේ දසවන වතාවටයි, කොතරම් වෙහෙස වූවද තමාට මරණකරුවන් අතර ශක්තිමත්  සම්බන්ධයක් ගොඩනගාගැනීමට නොහැකි වීම ගැන ඔහුට ඔහු කෙරෙහිම ආවේ පුදුම කෝපයකි. මරණකරුවන් සියලුම දෙනා මරා දමා තිබුනේ කිසිවෙකුත් නොදකින  අවස්ථා වලයි. එමෙන්ම තම දෛනික රාඡකාරි සිදුකරන විටයි.හරියට අපරාධකරු නිවැරැදිවම තම ගොදුර ඩැහැගත හැකි තැන දැනසිටියාක් මෙන්විය. 


එදිරිමුණි මහතා හිස් කඩදාසි කොළයක් ගෙන තම සාක්ෂි සටහන් කරගන්නට විය.. 


ඩැනියල් කරූ මහතා (බේරුවල) හවස හාඩ්වෙයාර් එකේ සිට නිවසට එනවිට හිසට පොල්ලකින් පහර දී මරා දමා හෘදය ගලවා ගැනීම.*සාක්ෂි කරුවන් හෝ කිසිදු සාක්ෂියක් නොමැත 


ප්‍රියංකර ඡයසුන්දර මහතා (මතුගම) හවස වැඩ නිමවී එන විට පාලු පාරකදී හිසට පොල්ලකින් පහරදී හෘද වස්තුව ගලවා ගැනීම.*සාක්ෂි කරුවන් හෝ කිසිදු සාක්ෂියක් නොමැත 


සාගර කස්තුරිආරච්චි මහතා (පානදුර) හවස මුහුදු වෙරළේ සක්මන් කිරීමට ගිය විට හිසට පොල්ලකින් පහර දී හෘද වස්තුව ගලවා ගැනීම *සාක්ෂි කරුවන් හෝ කිසිදු සාක්ෂියක් නොමැත 


කරුණාතිලක සූරියආරච්චි මහතා (පයාගල) සවස මෝටර් බයිසිකලයෙන් වැඩ ඇරී නිවසට එන අතරතුර මගදී බයිසිකලය නවතා , ඔහුව ලන්දකට ගෙන ගොස් පොල්ලකින් පහර දී මරාදමා හෘද වස්තුව ගලවාගෙන තිබුනි *සාක්ෂි කරුවන් හෝ කිසිදු සාක්ෂියක් නොමැත. 


ඒ ඒ ප්‍රදේශ බාර පොලිසි විසින් මරණ කරුවන් පිළිබඳව සම්පූර්ණ විමර්ශනයක් සිදු කර තිබූ අතර වාර්තා පරික්ෂා කිරීමේදී එදිරිමුණි මහතාට පෙනී ගියේ මේ ඝාතන සියල්ල පෞද්ගලික හේතු හෝ මුදල් කොල්ලකෑමේ අරමුණින් කල ඒවා නොවන බවයි.. 


හෘද වස්තුව ගලවා ගැනීම හැර  , මරණකරුවන් අතර සම්බන්ධයක් හෝ එකම එක සුවිශේෂී  කරුණක් , මිනිමරුවා අතින් සුලු අත්වැද්දක් සිදු වී තිබුනා නම්!!! .... එදිරිමුණි මහතාගේ හිස යකාගේ කම්මල මෙන් විය, ඔහු නැවතත් කරුණාතිලකගේ සිද්ධිය දෙස බලද්දී බයිසිකලය ගැන එකවරම හිතට සැකයක් ආවේය , ඔහු වහාම ඇමතුමක් ගත්තේ තම සහයකයා වූ රත්නවීරටයි. 

"රත්නවීර ...අර පයාගල කේස් එක ගැන විස්තර ගෙනාව කෙනාට ඉක්මනින් මෙහෙට එන්න කියනව’’ 


"සර් මට කතා කලාද?" 


"ආ නිශ්ශංක , තමුසෙද විස්තර හොයන්න ගියේ?" 


“ඔව් සර්’’ 


“මට දැනගන්න ඕන  සිද්ධිය උන තැන තිබුන බයිසිකලය ගැන.. මොනවද නිශ්ශංකට ඒ බයිසිකලේ  ගැන හොයාගන්න පුලුවන් උනේ. ඔයා මට ගෙනල්ල දීපු වාර්තාවෙ ඒ ගැන හරි තොරතුරක් නෑ ‘’ 


“ බජාජ් 125 බයික් එකක්, මරණකාරය හැමදාම එකෙන් තමයි වැඩට යන්නෙ එන්නෙ. මරණය උන දවසෙත් ඔහු ඒකෙන් තමයි වැඩට ගිහින් තිබුනෙ. හවස එනකොට තමයි ඔහුව මරල දාල තියෙන්නෙ. මිනිය හම්බවුන තැනට ආසන්නයේම පාර අයිනෙ බයිසිකලේ නවත්තල තියෙනකොට තමා හම්බවෙලා තියෙන්නෙ සර්’’ 


"බයිසිකලේ ස්ටෑන්ඩර්ඩ් ගහලද නවත්තල තියෙන්නෙ?" 


“ඔව් සර්..’’ 


"එතකොට බයිසිකලේ නවත්තල තිබුන එක ගැන පයාගල පොලීසිය මොකක්ද නිගමනය කරල තියෙන්නෙ .. ‘’ 


“සර් ඒ හරිය ගොඩක් පාලු පැත්තක්. බයිසිකලේ බලෙන් නවත්ත ගන්න ඇති කියලයි එයාල හිතන්නෙ” 


“එතකොට නිශ්ශංක... මරණය සිද්ධවුන තැන පාරෙ ලී කොටයක් , එහෙම නැත්නම් මොකක්හරි බාදකයක් දාපු සලකුණක් දකින්න ලැබිල තියෙනව ද?" 


“නෑ සර් , සර් නිතරම ඔය වගේ  ප්‍රශ්න අහන නිසා මම කේස් එක හැඩ්ල් කරපු නිලධාරියවම හම්බවෙලා ඔය ගැන ඇහුව. එයා කියපු හැටියට එතන එහෙම කිසිම දෙයක් තිබිල නෑ ‘’ 


“එතකොට බයිසිකලේට මොනවහරි හානි එහෙම වෙලා තිබිල තියෙනව ද ‘’ 


“නෑ සර් එහෙම දෙයක් වෙලා නෑ. මම යනකොටත් පොලිස් රථ ගාලෙ බයිසිකලේ තිබුන. මම පරික්ෂා කරල බැලුව’’ 


"හ්ම්ම් ඔයාට යන්න පුලුවන්!" 


"හොඳයි සර්" 


ඔය කියන ආකාරයට බයිසිකල්කරුව බලෙන්  නවත්වාගෙන නැති බව තීරණය කිරීමට දක්ෂ අපරාධ පරීක්ෂකයෙකු වූ එදිරිමුණි මහතාට දෙපාරක් සිතීමට අවශ්‍ය නොවීය. බලෙන් බයිසිකලය නවතාගෙන මිනිහෙක් මැරීමට බලාපොරොත්තු අයෙක් හෝ පිරිසක් ඔහු බයිසිකලයේ ස්ටෑන්ඩ් එක ගසන තුරු ඉවසිලිමත් නොවන බව ඔහුගේ පළපුරුදු ඉවට තහවුරු විය. ඔවුන් කලබල වී කරුණාතිලක මහතාව ..බයිසිකලයෙන් ඇද ගන්නට ගියා නම් බයිසිකලය බිම පෙරළි තැලීම් සහ සීරීම් ලකුණු තිබිය යුතු බවද එදිරිමුණි මහතා කල්පනා කලේය. අනිවාර්යයෙන් හඳුනන කිසියම් අයෙකු මොහුව වැඩ ඇරී යන අතරමගදී නවතාගෙන ඇතිබව ඔහුට ඉතාමත් හොඳින් අවබෝධවිය. මරණකරු පාරේ යන විට ඔහුට පෙනෙන්නට සිටිමින් ඔහුගේ අවධානය ලබාගෙන කතාබහක් සඳහා ඔහුව මාර්ගයෙන් ඈතට රැගෙන ගොස් මරා දමා ඇති බව තේරුම් ගැනීමට එදිරිමුණි මහතාගේ පළපුරුදු තීක්ෂණ ඥානයට වැඩි වේලාවක් නොගියේය, මේ මනුස්සයට ඔහොම නං උනේ අනික් අයටත් වෙන්න ඇත්තෙ ඔහොම වෙන්න පුලුවන්, මේ මිනිස්සු ගැන හොඳටම දන්න කෙනෙක් තමයි මේක කරල තියෙන්නෙ, ඒත් මෙයාල හැමෝම දන්න මේ කෙනා කවුද.. එදිරිමුණි මහතා වහාම රත්නවීරව තම කාර්යාල කාමරයට කැඳවීය. 


“රත්නවීර , අර මැරණ අයගෙ ගෙවල් වලට ගිහින් ඒ මිනිස්සු  ඡීවත්උන දවස්වල පොටෝ  ටිකක් එකතු කරගන්නව.ඊට පස්සෙ  පොටෝ ටිකත් අරගෙන මැරුන අය  හැමෝගෙම ගෙවල් වලට ආපහු යනව,  

ගිහින් එයාලට ඔය පිංතූර පෙන්නල ඒවයෙ ඉන්න අයව  කලින් දැකල තියෙනව ද අහනව’’ 


“සර් දැනටම අනික් පොලීසි වලින් ඒ ගැන හොයල ඇති.. ‘’ 


“ඒකෙන් වැඩක්නෑ රත්නවීර. මට ඕන ඔයා මේ දේ කරනව දකින්න ‘’ 


"හොඳයි සර්" 


ප්‍රශ්නය ගැන කල්පනා කරමින් එදිරිමුණි මහතා දවසම තම කාර්යාලයට වී සිටියේය, හවස වැඩ නිමවීමට මොහොතක පෙර උප පොලිස් පරීක්ෂක රත්නවීර පැමිණියේය. 


“තමුසෙ වෙලාවට ආව රත්නවීර. ඉතින් කොහොමද මම බාරදීපු රාඡකාරියෙ ප්‍රතිඵල?" 


“වැඩක් නෑ සර් එයාලගෙ පවුල් වල  කවුරුවත්ම කාවවත් අඳුර ගත්තෙ නෑ.’’ 


“ශික්, මම හිතුව මෙතනින් හරි අපිට පොටක් පාද ගන්න පුලුවන් වෙයි කියල , ගන්නව බලන්න තමුසෙ ඒ ගෙවල්වලින් ඉල්ල ගත්ත පොටෝ ටික’’ 


"මේ තියෙන්නෙ සර්" 


“මේ ප්‍රියන්කරගෙ පොටෝ එක කවද ගත්ත එකක්ද කියල තමුසෙ අහගත්තද රත්නවීර..’’ 


“ඔව් සර් , පැහැදිලිව අඳුරගන්න ඕන නිසා මම ලඟදි ගහපු ෆෝටෝමයි ඉල්ලගත්තෙ.  මේක මේ මනුස්සය මැරෙන්න සතියකට කලින් ගහපු එකක් සර්..’’ 



“ඩ්‍රයිවර්ට කියනව ඉක්මනින් වාහනේ ලෑස්ති කරන්න කියල. අපි ඉක්මනින්ම යන්න ඕන ඩැනියල් කරූගෙ ගෙදරට’’ 


"ඒත් ඒ මොකටද සර්?" 


“මගේ යකා අවුස්සන්නේ නැතුව මං කියන එක කරනවා රත්නවීර ඉක්මනට‘’ 


........................................... 


‘’ගෙදර කවූද ..මිසිස් ඩැනියෙල් අපි පොලිසියෙන් .. දොර අරින්න’’ 


‘’සර් ආයෙමත් ‘’ 


‘’සමාවෙන්න මිසිස් ඩැනියෙල්  අද දවසෙම ආපහු පාරක් කරදර කරන්න උනාට, එත් ඔබතුමියගෙන් මේ ගැන මටම දැනගෙන තහවුරු කරගන්න ඕන උන නිසාමයි මම ආපහු  මේ ආවෙ, මැඩම් කලිනුත් බැලුවට කමක්නෑ , මම කියනවට මැඩම් ආපහු පාරක්  මෙන්න මේ පොටෝ ටික අරගෙන හොඳට බලන්න. දැකල පුරුදු මූණක් තියෙනව ද කියල’’ 



‘’නෑ ඉන්ස්පෙක්ටර් නෑ’’ 


‘’එහෙනං කමක්නෑ මැඩම්, මම දැන් අනෙක් ගෙවල්වලටත් ගිහින් මේව පෙන්නල බලන්න ඕන, මේ අපේ කට්ටිය මම කියන හැටියටම වැඩ කරනවද කියල කවුද දන්නෙ. ඒ නිසා මමම ගිහින් බලන එකනෙ හොඳ , එදිරිමුණි ඇය දෙස බලා සිනා සෙමින් පැවසීය’’ 


එය ඇසූ උප පොලිස් පරීක්ෂක රත්නවීරගේ මුහුණ කඡු ලෙල්ලක් මෙන් ඇඹරී යනු එදිරිමුණි මහතා දුටුවේය.. 


“ඔබතුමිය අපිට දීපු සහයෝගයට ගොඩක් ස්තූතියි ... කෝ පොඩි එක්කෙනා ... මටත් ඉන්නවා ඒ වයසෙම  කොල්ලෙක් ‘’ 


එසේ පවසා වටපිට බලත්ම කාමරයේ සැඟවී සිටි අවුරුදු පහක් පමණ වු කුඩා දරුවා , සැඟවී සිටි තැනින් එළියට පැමිණ මව හාදැවටෙන්නට විය. 


"ආ මේ ආවෙ .... කෝ එන්ඩ බලන්ඩ  චූටී පුතා ‘’ 


යැයි පවසා දරුවා ලඟට ගෙන ටික වේලාවක් සුරතල් කරමින් සිට 


“ආ පුතාට ලස්සන මාලෙකුත් තියෙන්නේ ....  කවුද පුතාට මේ මාලේ ඇරගන දුන්නේ ‘’


“දරුවට අපලයි කියල සුරය දැම්මේ... මහත්තයගේ මළගේ නිසා නිසා කිල්ලට අහුවෙනවට ගලවල තියල ... දැන් තුන්මාසෙත් ඉවර නිසා ආපහු දැම්මා’’ 


“මගේ පුතාගෙත් වෙළාව  බැලුවම කිව්වා එයාට හොඳටම අපලයි කියල. මාත් සෙත්සාන්තියක් කරගන්න හොද තැනක් හොය හොය හිටියේ ‘’ 


‘’යටදොළ දේවාලේ ගුණතුංග කපු මහත්තය ලඟට යන්න  සර්, තක්කෙටම හරියනවා , අපේ මහත්තයත් අවුරුදු ගානක ඉදල එහෙන් තමයි  වැඩකරගත්තේ ... මේ සුරයත් හදලා දුන්නේ ඒ ගුරුන්නාන්සෙම තමා’’


‘’කලින් වෙලාව වෙන්කරගන්ඩ   ඕනද ..ෆොන් නම්බර් එකක් එහෙම තියනවද ‘’ 


‘’නෑ නෑ සර් එතන එච්චර ප්‍රසිද්ධ තැනක් නං නෙවෙයි.. නොම්බරය තියනවා මම දෙන්නං ‘’ 


‘’ බොහොම ස්තුතියි මැඩම්  ... අපි ගිහින් එන්නං ‘’ 


ජිප් රථයට නැගුන එදිරිමුණි  මැද කණ්ණාඩිය හරහා පිටු පස සිටින කෝපය සහ කලකිරීම මුසුවූ රත්න වීරගේ මුහුණ දැක සිනාසෙමින් 


"මොකද රතන්වීර තමුසෙට මළපැනලා" 


‘’නෑ සර් එහෙම එකක්නෑ...’’ 


‘’නැත්තෙ මොකද ඕයි ... තමුසේ දැන් හිතන්නේ මං අර ගෑණිට වහවැටිලා, ඒ ගෙදරට රිංගලා, ඒ ගෑනි ඉස්සරහ තමුසෙව පාච්චල් කරලා කතා කරා කියලනේ ... මම තමුසේ රාජකාරි හරියට කරනවද බලන්ඩ ආවා කියුවේ .. බැරිවෙලා හරි ඒ මනුස්සයා මේකට සම්බන්දයක් තිබුන නං තොරතුරු වසන්කරන හින්දා ... බලනවා මේ පින්තුරේ’’ 


එදිරිමුණි ඡායාරූපයක් අතට ගෙන වාහනයේ පිටුපස ආසනයේ සිටි රත්නවීර අතට දුන්නේය.. 


"මේ අර මම අරගෙන ආව  මැරිච්ච ප්‍රියංකරගෙ ෆොටෝ එකනෙ සර්?" 


‘’ඔව් ඒක තමා, ආයේ පාරක් හොදට බලනව මිනිහගෙ බෙල්ල දිහා’’ 


‘’සර් පෙන්නුවමනෙ සර් මමත් ඒක දැක්කෙ. අර ගෙදර පොඩි ළමයගේ ඡාතියෙම සුරයක්නෙ මේ මනුස්සය දාගෙන ඉන්නෙත්’’  


‘’ඔය ඡාතියෙ සුර කඩවල්වල ගන්ඩ නෑ. ඕක සුවිශේෂී ක්‍රමයකට කැටයම් කප්පවල හදවපු සුරයක්, මම කලින් ආපු පාර ළමයගේ කරේ තිබුන සුරේ දැක්කා, මේ කේස්වල සමානකමක් තිබුනට සම්බන්දයක් තිබුනේ නැනේ... දැන් අපිට පොටක් පෑදුන මනුස්සයෝ... අපි මෙහෙම්මම යටදොළ ඔය කියන දේවාලයට යන්ඩ ඕන’’ 



හිතුවාට වඩා සුවිශාල දේවාලයක් වූ එම දේවාලය , පුරාණ රඡ කාලයට අයිති වූවක් බව එහි ගලින් බැඳ තිබූ බිත්ති වලින් පෙනී ගියේය,නමුත් ඔවුන් යන අවස්ථාව වන විට දේවාලය වසා දමා තිබුණි. දේවාල භූමියේ පසෙක වාඩි සිටි වයස අවුරුදු හැටක පමණ  පුද්ගලයෙකු දුටු එදිරිමුණි මහතා ඔහුගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසීමට තීරණය කළේය. 


"ලොකු උන්නැහේ, කෝ කපු මහත්තය නැද්ද" 


"මොකෝ මහත්තයෝ ඔය මහත්තුරු කපු මහත්තය ගැන හොයන්නෙ" 


‘’මම මේ ලඟ රාඡකාරි වැඩකට ආව ගමන්, කපුමහත්තයට කියලා සෙත්සාන්ති කරගත්ත කිහිප දෙනෙක්ම මට කියුවා මේ දේවාලේ හාස්කං තියන තැනක් කියලා ... මටත් පොඩි වැඩක් තියනවා කරගන්ඩ ...කපු මහත්තයව හම්බෙලා ඒ ගැන කතා කරගන්ඩ ආවේ’’ 


‘’අද නං කපු මහත්තය නෑ මහත්තයෝ, අද දවස අවුරුදු ගානකට පස්සෙ එන විශේෂ අමාවක දවසක්ලු, ඒ නිසා කපු මහත්තය විශේෂ පූඡාවක් තියන්න උදේ පාන්දරම රත්නපුරේ ගියා එන්න දවස් තුනක්වත් යයි කියල තමා කිව්වෙ, මං තමයි දේවාලේ බලාගන්නේ’’ 


"එතකොට කපු මහත්තයගේ ගේ තියෙන්නේ කොහෙද , මට වෙන දවසක ගෙදරට ගිහින් හරි හම්බෙන්ඩ බැරියෑ’’ 


‘’දැන්නං ගෙදරත් කවුරුත් නෑ ... කපු මහත්තය තනියමනේ ඉන්නේ .... ඔය මහත්තයල ආව ප්‍රධාන පාරන් මතුගම පැත්තට  යනකොට හැරෙන්න හම්බවෙන පළවෙනි  පාරෙ වම් පැත්තේ තුන්වෙනි ගේ’’ 


‘’එහෙනං අපි ගිහින් එන්නං ලොකු උන්නැහේ’’ 


පිරිස දේවාල භූමියෙන් එන්නට පිටත් වූ නමුත් එදිරිමුණි මහතාගේ සිත දීර්ඝ කල්පනාවක පැටලී තිබුණි.. 


‘’සර් අපි දැන් කොහේද යන්නේ’’  


‘’කපුවගේ ගේ පැත්තට හරවලා වාහනේ අයින් කරල නවත්තනවා’’ 


යැයි පවසා ජංගම දුරකථනය ගෙන කිසිවෙකු හෝ ඇමතු එදිරිමුණි 


‘’මචං .. ශාමන්ත මම එදිරී ... උඹට කොහොමද .. මට උදව්වක් ඕන,   පර්මිශන් ඇරගන්න වෙලාවක් නෑ රේඩ් එකක ඉන්නේ, පුලුවන් තරං ඉක්මනට මම කියන මේ නම්බර් එකේ ලෝකේෂන් ඩීටේල් මට දාහං, හෙඩ් ඔෆිස් හරහා රික්වෙස්ට් එකක් මම හෙට එවන්නං ..කම්පණි එකට.... රයිට් ඕකේ  ෂුවර් මචං ෂුවර්... ඒ විනාඩි පහ මම මෙතනම ඉන්නං’’ 


යැයි පවසා විනාඩි කිහිපයක් ජංගම දුරකතනය දෙසම බලා සිටි එදිරිමුණි 


‘’රත්නවීර ... කපුවා කොහේවත් ගිහින් නෑ ... අද උදේ පාන්දරම ගෙදර තියන හරියෙදි ෆෝන් එක වැඩකරලා තියනවා, ඉක්මනට ඒ ගෙදරට යමු’’ 


කපු මහතාගේ නිවස වෙත ගිය නිළධාරීන් ඇමතු එදිරිමුණි 


‘’ වටේ ගාඩ් කරනවා පැනල යන්ඩ දෙන්ඩ එපා , කඩනවා පිටිපස්සේ දොර ‘’ 


‘’සර් සෝදිසි වරෙන්තුවක් ‘’ 


‘’ මගෙන් කුණු හරප අහගන්ඩ එපා ඕයි ... කඩනවා දොර ... එකවගේ සුර .. මිනිස්සුන්ගේ පපු පළලා හදවත් ඇරගන ... මේක සීරියස් කේස් එකක්’’ 


‘’මෙතන ඇති දෙයක් නෑ සර්, අපරාදේ අපි ඇතුලට ආවේ, පැන්ෂන් එකටත් කෙලවෙයි සර්’’ 


‘’ මගුලක් කියවන්නේ නැතුව හොදට හොයනවා ඕයි’’


සර් මෙහෙට එන්න මේ ෆිඡ් එකේ ඇතුලෙ ලේ , රතන්වීර කෑ ගැසීය.. 


‘’පේන හැටියට මේව මිනිස් ලේ පැල්ලම් ... රත්නවීර..මේ කපුවා තමයි අර මිනිස්සු පස් දෙනාව මරල තියෙන්නෙ .. ගන්නව ඡීප් එක ඉක්මනින්ම යමු දේවාලෙට’’ 


පිරිස දේවාල භූමියට යන විටත් වයසක මිනිසා බුලත් විටක් කමින් දේවාල භූමියට වී සිටියේය.. ඔහුට කතා කිරීමටවත් අවසරක් ලබා නොදුන් එදිරිමුණි මහතා ඔහුගේ ගෙලින් අල්ලා තර්ඡනාත්මක ඔහු ඇමතීය 


‘’කෝ කපුවා’’ 


‘’මම සර්ලට කලිනුත් කිව්වෙ රත්නපුරේ ගියා’’ 


‘’මැරුම් කන්ඩ එපා මිනිහෝ, ඔක්කොම එළිදරව් වෙලා තියෙන්නෙ. තමුසෙගෙ කපුවා මිනීමරුවෙක්..’’ 


‘’මිනීමරුවෙක්’’ 


ඔහු විසල් දෑසෙන් යුක්තව ඇසීය.. 


‘’ඔව් මිනීමරුවෙක්.මිනිහ තමයි අර කලුතර දිස්ත්‍රික්කයම කළඹපු මිනීමැරුම් ටික කරල තියෙන්නෙ තමුසෙත් දන්න දේවල් දැන්ම කිව්වෙ නැත්නම් , තමුසෙටත් කපුව එක්කම පෝරකේට යන්න තමයි වෙන්නෙ, බලනව මේ පිංතූර ටික තමුසෙ දැකල තියෙන අය ඉන්නවද කියල, මෙයාලව තමයි ඒ මරල දාල තිබුනෙ’’ 


‘’මොනවා..කරූ මහත්තය, සාගර මහත්තය, මේ අනිත් අය හැමෝමත් දේවාලෙට ආවගිය මහත්තුරුනෙ..අනේ බුදු මහත්තයෝ මම මේ කිසිදෙයක් දැනන් උන්නේ නෑ , කපු මහත්තයා දේවාලෙ ඇතුලෙමයි ඉන්නෙ , එයා කිව්ව අද දවසම විශේෂ පූඡාවක් කරනවා ඒක ඉවරවෙනකං  කාටවත් එයා ඉන්න තැන කියන්න එපා, රත්නපුරේ ගියා කියල එන අයව හරවල යවන්න කියල’’ 


‘’රත්නවීර බලා ඉදල බෑ කඩමු දොර’’ 


‘’ ලොකු උන්නැහැ තමුසේ කොහේවත් ගිහින් වැඩ වරද්දගන්නැ මෙතනම ඉදගන ඉන්ඩ ඕන’’ 


ඉතාමත් අපහසුවෙන් දේවාලයේ දොරේ අගුල කඩා දැමූ පොලිස් නිලධාරීන්ට දේවාලයේ කොහෙන්වත්  කපුවා සොයා ගැනීමට නොහැකි විය, නමුත් විමසිලි සහගතව සොයා බැලීමේදී , දේවාලයේ ප්‍රධාන දේව රූපයට පිටුපසින් පොළව යටට යම් උමං මාර්ගයක් විවෘත වී ඇති බව ඔවුන්ට දැක ගැනීමට හැකි විය. ගලෙන් බැඳ තිබූ මෙම උමං මාර්ගය දේවාලය තරමටම පැරණි එකක් විය.. 


‘’රත්නවීර ලඟම පොලීසියට කතා කරල වහාම උදව් ඉල්ලනව.. හරි සර් මම මැසේඡ් එකක් දැම්මා, එයාල එන්න තව පැය බාගයක් විතර යයි..’’ 


‘’අපිට එච්චර වෙලා බලන්න ඉන්න බෑ.  කවුද දන්නෙ මෙතන මොනව වෙනවද කියල..අපි මේ උමගට ගිහින් බලන්න ඕන, බණ්ඩාර තමුසෙත් එනවා’’ 


පොලිස් පරීක්ෂක එදිරිමුණි පැවසීය. 


පොළව මතුපිටින් ආරම්භ වූ ගුහාව කෙමෙන් කෙමෙන් පොළව අභ්‍යන්තරය කරා දිවෙන බව මේ වන විට පොලිස් පරීක්ෂකතුමා හට අවධාරණය වී තිබුණි.. 


‘’මේක අපි හිතුවට වඩා ලොකු ගුහාවක්නෙ සර්.. කොච්චර ගියත් කෙළවරක් නෑ වගේ..මිනිමරු ගුණතුංගය උනත් මෙතන හැංගෙයි කියල මට නං හිතෙන්නෑ සර්’’ 


‘’ගුණතුංගය හැංගෙන තැනයි, හැංගෙන්නැති තැනයි දැනගන්න තමුසෙ ගුණතුංගගෙ තාත්තද බණ්ඩර කටපියාගෙන එනවා ‘’ 


උමග තුළ විනාඩි පහළොවක පමණ ගමනකින් පසු ඔවුන් බලාපොරොත්තු වූ ස්ථානයට පැමිණි බව ඔවුන් හට පැහැදිලි වූයේ , උමග කෙළවර වූ විශාල ශාලාවක යම් විශාල ආලෝකයක් දක්නට ලැබීමෙණි..හිමින් සීරුවේ ඒ දෙස බැලූ නිළධාරීන් හට දැකගත හැකි වූයේ ගුහාව තුළ වූ පිළිරුවක් වටා මනුෂ්‍ය හදවතක් තබාගෙන, ඒ පිළිමයට පහන් පත්තු කර වන්දනා කරමින් යම් යාතිකාවක නිරතවෙන ගුණතුංග කපුවායි.. නිළධාරීන් බලා සිටියදීම යාතිකාව  අවසන් කල ගුණතුංග කපුවා වේවැළක් ගෙන වේගයෙන් ඒ මේ අත හඩ නැගෙන පරිදි වනන්නට විය........ඒත් සමගම පුරාණ ප්‍රභූ වරයෙකු මෙන් සැරසුන, ආරෝහ පරිණාහ දේහයකින් යුතු  , කඩවසම් තරුණයෙක් දේවාලයේ අඳුරු කොනක සිට පැමිණියේය..ඔහුගේ දෑත දෙපය විශාල යකඩ දම්වැලකින් විලංගු දා තිබුණි. ඔහුට ඇවිදීමට හැකි වූයේ දම්වැලේ දිගට පමණි.


‘’කාපිය මේකත් කාපිය’’ 


යැයි අණකරමින් ගුණතුංග කපුවා වේවැළෙන් තරුණයාට පහර දෙන්නට විය, තරුණයා මිනිස් හෘදය ගෙන තම මුවට ලංකරන විට, තවත් බලා සිටිය නොහැකි වූ එදිරිමුණි මහතා තම රාඡකාරි පිස්තෝලය ගෙන ඉදිරියට පැමිණියේය.. 


‘’නවත්තපං ඔය පාහර වැඩේ’’ 


තමාගේ කෑ ගැසීමත් සමඟ බියපත් වන කපුවා වේවැළ බිම දමා යටත් වේයැයි එදිරිමුණි මහතා සිතුවත් සිදුවූයේ අනෙකකි.. 


බලවත්ව කිපුනු මුහුණකින් යුත් කපුවා එදිරිමුණි මහතාට පහරදීමට තැත් කලේය.. 


ඩොං... 


වෙඩි හඬින් මුලු ගුහාවම දෙදරුම් කෑවේය, එදිරිමුණි මහතාගේ පිටුපසින් සිටි රත්නවීර , එදිරිමුණි මහතාට පහර දීමට උත්සාහ කල කපු මහතාට වෙඩි තබා තිබුනි, බිම වැටුණු කපු මහතා පෙරළෙමින් කෙඳිරිගාමින්, කතා කරන්නට විය.. 


‘’ඕකට මම කැවුතු තුනක් කැව්වා  ඔය අන්තිම කැවුත්තත් ඌට  කන්න දියව් , නැත්නම් මගෙ මහන්සිය වතුරේ යනුවෙන් පවසමින් සදහටම දෑස් පියා ගත්තේය’’ 


කපුවාගේ ඡීවිතය බේරා ගැනීමට ඔවුන්ට කළ හැකි දෙයක් නොමැති බව තේරුම් ගත් එදිරිමුණි  තම දෑස දම්වැලින් බැඳි තරුණයා දෙසට යොමු කලේය...  පුරාණ ප්‍රභූ වරයෙකු මෙන් ඇඳුම හැර වෙනත් විශේෂත්වයක් නැති අහිංසක පෙනුමක් සහිත ඔහු කම්පනයට පත්ව සිටිනවා වැනි පෙනුමක් දිස්විය. 


‘’තමුන් කවුද, කොහොමද මූට අහුවුනේ, ගම කොහෙද’’ 


එදිරිමුණි මහතා තරුණයාගෙන් විමසුවේ ඔහුව දම්වැල් වලින් මුදාගෙන දේවාලයෙන් පිටතට රැගෙන ඒන අතරතුරය. 

  

වික්ශිප්ත බවක් පෙන්වූ තරුණයා , කිසිවක් නොපවසමින් එදිරිමුණි දෙස ඔහේ බලා සිටියේය 


‘’සර් සර් , රත්නවීර මහත්තය සර්ව ඉක්මනට පහලට එක්කං එන්න කියුවා’’ 


උමග තුල රැදී උන් බණ්ඩාර දේවාලයෙන් පිටතට පැමීන රත්නවීර නැවතත් තමන්ට උමග තුලට පැමිනෙනමෙන් යැයි ඉල්ලා සිටිනවා යැයි කියන්නේ මන්දැයි සිතමින් , ඒ වනවිටත් පොලිස් අණට කීකරුව රැදී උන් මහලු මිනිසා අසලින්ම තරුණයා බිම හිදුවා 


‘’ ලොකු උන්නැහැ මෙයාව හොදට බලාගන්නවා ‘’ 


යැයි පවසා බණ්ඩාරත් සමග නැවතත් උමග තුලට පිවිසුනේය 


‘’සර් මේ බලන්ඩ’’ 


රත්නවීර තම අත තිබූ සාක්කු විදුලි පහන කපුවා විසින්  පුඡා පැවැත්වූ පිළිමයට එල්ල කලේය, එම පිළිමයේ නෙළා තිබූ ඇඳුමේ සිට මුහුණේ හැඩය පවා සර්ව සම්පූර්ණයෙන්ම .. ඔවුන් විසින් බේරාගන පිටතට රැගෙන ගිය තරුණයාට සමාන විය, එම පිළිමට කෙලින් අනිත් පස තිබෙන පිළිමයේ බියකරු මුහුණක් සහ විශාල නිය පිරුණු අත්පාද සමඟ සතෙක් මෙන් පෙනෙන පිළිමයේ ඇඳුමද අනෙක් පිළිමයේ සහ තරුණයාගේ ඇඳුමට සමාන විය. 


‘’ ඉක්මන් කරනවා ... යමු එලියට’’ 


රත්නවීර සහ බන්ඩාරත් කැටුව එදිරිමුණි දේවාලයේ මිදුලට දිව එනවිට 


දේවාලය බලාගන්නා මහලු මිනිසාගේ මළ සිරුර වැලි පොලව මත වැතිර තිබුණි.. ඔහුගේ හදවත ගලවා කමින් සිටියේ අර්ධ මනුෂ්‍ය ස්වරූපයෙන් යුත් සත්වයෙකි.. ඒ සත්වයාගේ ශරීරය ආවරණය වී තිබුනේ පොලිස් නිළධාරීන් විසින් මීට සුලු වේලාවකට පෙර කපු මහතාගේ ග්‍රහණයෙන් බේරා ගත් තරුණයාගේ ඇඳුම් වලිනි. මහ හඬින් හූ හඩ තබමින් එදිරිමුණි මහතා සහ රත්නවීර මහතා දෙස බැලූ සත්වයා එක්වරම අතුරුදන් වී ගියේය.. 


‘’සර් සර් දැක්ක, රත්නවීර දාඩිය පිස දමමින් ඇසීය..’’ 


‘’ඔව් මම දැක්ක රත්නවීර’’ 


"ඒ මොකෙක්ද සර් ඒ" 


‘’මම දන්නෑ මනුස්සයෝ’’ 


‘’අපි කොහොමද සර් මේක රිපෝට් කරන්නේ, මේ මනුස්සයගෙ මරණෙ ගැන අපි කොහොමද සර් කියන්නෙ දැන්, අපි ලොකු අමාරුවක වැටුනෙ, දැන් අපේ කට්ටිය මේ ලගටම ඇවිත් ඇති’’ 


‘’නෑ රත්නවීර, අපි මේක ගැන කාටවත් කියන්නෑ , බණ්ඩාර තමුසෙත් අහගන නේද ඉන්නේ’’ 


ඒ වන විටත් අතිශයින් බියට පත්ව බිම හිදගන සිටි බණ්ඩාර ඇමතු එදිරිමුණි 


"මේ මනුස්සයව මැරුවෙත් කපුවම තමයි" 


සහයක පිරිස් එන තෙක් බලාසිට , දේවාල මුරකරුවාගෙ මරණයද කපු මහතාගේ ගිණුමට බැර කල එදිරිමුණි ඉතාමත් සාර්ථකව තම රාඡකාරිය ඉටු කරමින් අපරාධකරුවා පරාඡය කොට  තම ප්‍රධානීන්ගේ නොමද පැසසුමට භාඡනය වී කලක් ගෙවී ගියද එදිරිමුණි ගේ හිතට සැනසීම නොලැබුනේ මුහුණ දුන් සිද්ධියේ අත්භූතකම නිසාය. 


තමන්ගේ පාසැල් මිතුරෙකු වන ප්‍රසිද්ධ පුරාවිද්‍යාඥකු වන අබේසුමනට මුහුණ දුන්න සත්‍ය සිද්ධිය නොපවසා යටදොළ දේවාලය පිලිබදව පුරාවිද්‍යා විමර්ශනයක් කරන මෙන් ඉල්ලා සිටියේය , එම දේවාලය සහ කිසිවෙක් දැන නොසිටි උමග තුල තිබුන දේවාලය පිලිබදව කිසිදු පර්යේෂණයක් කලින් සිදුකර නොතිබුන නිසාම , පහසුවෙන්ම අවසර ලබාගන මාස කිහිපයක් ඒ වෙනුවෙන් වෙහෙසුන අබේසුමන දිනක් එදිරිමුණි හමු වීමට පැමිණියේය. 


‘’ගොඩක් ස්තූතියි... එදිරි .... මට මේ හෝඩුවාව දුන්නට, මීට කලින් මේ ගැන විමර්ශනයක් කරල නැත්තෙ ඇයි කියල මට හිතාගන්න බෑ. එතන ඒ තරමටම වටිනා අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් තියෙන තැනක්’’ 


"ඉතින් අබේ  මොනවද හොයාගන්න ලැබුනේ’’ 


‘’මම කලිනුත් කිව්ව වගේ මේක අවුරුදු දහස් ගානක ඉතිහාසයක් තියෙන තැනක්. මේක හදපු කෙනෙක්වත් , හදපු කාලයක් ගැනවත් තාම මට හරියටම නිගමනයකට එන්න බැරිවුනා. ඒකට කාබන් පරීක්ෂණයක් කරන්න වෙයි..’’ 


‘’අර උමග යට තියන පිළිම ගැන මොකද හිතෙන්නේ ‘’ 



‘’ඒ පිළිමයත් දේවාලය හදපු කාලෙම හදපු එකක්. මම ඒ ප්‍රදේශය පුරාම කරපු විමර්ශන වලින්  මට ගැමියන්ගෙන් මෙන්න මෙහෙම කතාවක් දැනගන්න ලැබුනා..’’ 


 ඔය පොළව යට තියන දේවාලෙ හදලා තියෙන්නේ "බජිරා" කියල ප්‍රාදේශිය දෙවි කෙනෙක් වෙනුවෙන්!!! 

      බජිර කියන්නෙ ඒ ප්‍රදේශයේ ඈත අතීතයේ හිටපු ප්‍රාදේශීය නායකයෙක්ගෙ පුතෙක්. මිනිහ ඒ කාලෙ ඒ පැත්තෙ වීරයෙක් වගේ හිටපු කෙනෙක්. මිනිහ තරුණ කාලෙදිම තමන්ගේ තාත්තට අයිති ප්‍රදේශයක් හතුරන්ගෙන් ආරක්ෂාකරගන්න කරපු සටනකදි මියගිහිල්ලා, ඊට පස්සෙ තමයි දේවත්වයට පත්වෙලා තියෙන්නෙ ,

    වසර සීයකට වරක් එන අමාවක රැයක ⁣එ් දෙවියා යක්ෂයෙක් බවට පත්වෙලා ඒ ප්‍රදේශයේම ඉන්න මිනිස්සු මරලා දානවා කියල ප්‍රදේශයේ පැරැන්නන්ගේ විශ්වාසයක් තියනවා , ඒකට හේතුව මිනිහ මරණයට පත්වෙන්නෙ අමාවක දවසක කාසි  වලට තමන්ගෙම ගමේ මිනිස්සු කරපු  පාවා දීමක් නිසාය කියලයි කියන්නේ. 


මේකට පිළියමක් විදියට ඒ දේවාලෙ පරණ කපු මහත්තුරු අවුරුදු ගානකින් එන විශේෂ අමාවක දවසකට මේ කියන අර්ධ දෙවියව මන්තර වලින්  අල්ලල බැඳල හිර කරනවලු, ඊට පස්සෙ ඔවුන් තෝරාගත්ත බැතිමත්තු හතර දෙනෙක්ගෙ හදවත් ඒ අර්ධ දෙවියාට කන්න දීල ඔහුගේ යක්ෂ ස්වරූපය සන්සුන් කරල ඊට පස්සෙ දවසෙ උදේට මුදාහරිනව කියලයි කියන්නෙ.... 


‘’මේ ගුණතුංග කියන කපුවත් මට හිතෙන හැටියට ඔය කියන පරම්පරාවෙ එකෙක්. මිනිහත් ඔය දේව පූජා කරන්ඩයි උත්සාහ කරන්ඩ ඇත්තේ , මිත්‍යා විශ්වාස පස්සෙ යන මෝඩ මිනිස්සු මේ සමාඡයටම පිළිලයක් , දරුපවුල් හතරකට පියා අහිමි උන එක විතරයි... නැද්ද එදිරී’’ 


තම මිතුරාට පෙනෙන ලෙස සැහැල්ලු සිනහමුසු මුහුණක් මවාගත් එදිරිමුණි 


"" ඔව් බහුබූත පස්සෙ යන මෝඩයෝ ""


යනුවෙන් පැවසීය.

හොල්මන

තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...